Skip to content

පටුනට යන්න

මනස විස කරන ඊර්ෂ්‍යාව

මනස විස කරන ඊර්ෂ්‍යාව

මනස විස කරන ඊර්ෂ්‍යාව

නැපෝලියන් බොනපාට්, ජූලියස් සීසර් හා මහා ඇලෙක්සැන්ඩර් ගැන ඔබ අසා ඇති. ඔවුන් ලොව ප්‍රකට බලවත් පාලකයන් වුණත් ඔවුන් තිදෙනාටම පොදු ලක්ෂණයක් තිබුණා. වාර්තා වී තිබෙන්නේ ඔවුන් තිදෙනාම අනුන් සතු දේවල් ගැන ඊර්ෂ්‍යා වූ බවයි.

කෙනෙක් කුමන තානාන්තරයක් දැරුවත්, දුප්පත් වුණත් පොහොසත් වුණත් හොඳ ගතිගුණ තිබෙන කෙනෙක් වුණත් ඒ පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාව ඇති විය හැකියි.

ඊර්ෂ්‍යා කිරීම වැරදි බව අපි කවුරුත් දන්නවා. ඊර්ෂ්‍යාව කීමෙන් අදහස් කරන්නේ තවත් කෙනෙකුගේ තනතුර, සාර්ථකත්වය හෝ ඔහු සතු දේවල් තමන්ට ලබාගැනීමට තිබෙන දැඩි ආශාවයි. එම ආශාව කෙනෙකුගේ සිතේ මුල් බැසගත් විට දුෂ්ට සිතුවිලි ඇති විය හැකියි. එවිට ඒ පුද්ගලයා සතු දේවල් තමා සතු කරගැනීමට ඔහු වෑයම් කරයි. එසේ කළ නොහැකි වුණොත් ඒ දේවල් විනාශ කර දැමීමට පවා පෙලඹෙයි. එවැනි කෙනෙක් කුඩුකේඩු කෙනෙක් කියාත් හැඳින්විය හැකියි.

ඊර්ෂ්‍යාව අප තුළ ඇති වෙන්නේ කොහොමද කියාත් එමගින් ඇති වෙන ප්‍රතිඵල මොනවාද කියාත් එයින් අපේ මනස විස වීම වළක්වාගැනීමට කළ හැකි දේ ගැනත් සොයා බැලිය යුතුයි.

ඊර්ෂ්‍යාවට මුල

අපේ පව්කාර ස්වභාවය නිසා ‘තණ්හාවටත් ඊර්ෂ්‍යා කිරීමටත් අප තුළ’ නැඹුරුවාවක් තිබෙනවා. (යාකො. 4:5) මේ නැඹුරුවාව උත්සන්න කරන එක් හේතුවක් පාවුල් අපිට හඳුන්වා දුන්නා. ඔහු පැවසුවේ “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු” කියායි. (ගලා. 5:26) අප තුළ තරඟකාරි ස්වභාවයක් තිබෙනවා නම් ඊර්ෂ්‍යාසහගත හැඟීම් උත්සන්න විය හැකියි. ක්‍රිස්ටිනා හා හොසේගේ * අද්දැකීම්වලින් එය ඔප්පු වෙනවා.

ක්‍රිස්ටිනා ස්ථාවර පුරෝගාමියෙක්. “අනිත් අයට තියෙන දේවල් දකිද්දී මට නිතරම ඊර්ෂ්‍යාවක් ඇති වුණා” කියා ඇය පැවසුවා. දවසක් සංචාරක සේවයේ යෙදෙන යුවළක් සමඟ කෑම ගනිද්දී ඒ යුවළ තමාගේ හා තම සැමියාගේම වයසේ සිටින බවත් කාලෙකට පෙර ඔවුන්ටත් තිබුණේ තමන්ට තිබෙන සේවා වරප්‍රසාදම බවත් ක්‍රිස්ටිනා දැනගත්තා. ඒ වෙලාවේ ක්‍රිස්ටිනාගේ කටින් මෙවැනි දෙයක් පැන්නා. “මගේ මහත්තයත් වැඩිමහල්ලෙක්නේ. කොහොමද ඔයාලට විතරක් සංචාරක සේවය කරන්න හම්බුණේ?” තරඟකාරී ස්වභාවය නිසා ක්‍රිස්ටිනා තුළ ඊර්ෂ්‍යාවක් ඇති වී තිබුණා. ඒ නිසා ඇය සැමියා සමඟ දෙවිට කරමින් සිටි සේවය අගය කළේ නැහැ.

හොසේ සහායක සේවකයෙක් වෙන්න ආශාවෙන් සිටියා. තමන්ව පත් නොකර අන් අයව සහායක සේවකයන් ලෙස පත් කරද්දී ඔහු වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක සමඟ අමනාප වුණා. “අනිත් අය ගැන තිබුණ ඊර්ෂ්‍යාව නිසා මම සම්බන්ධීකාරකට වෛර කරන්න පටන්ගත්තා. ඊටපස්සේ එයා කරන හැම දේකම ඇදයක් හොයන්නත් පටන්ගත්තා. ඊර්ෂ්‍යාව කැකෑරෙනකොට සාධාරණව හිතන්න බැහැ. හිතන්නේ තමන් ගැන විතරයි” කියා හොසේ පැවසුවා.

බයිබල් චරිතවලින් ඉගෙනගත හැකි දේ

බයිබලයේ සඳහන් විවිධ චරිතවලින් පාඩම් ඉගෙනගත හැකියි. (1 කොරි. 10:11) ඔවුන්ගෙන් සමහර අය තුළ ඊර්ෂ්‍යාව ඇති වුණේ කොහොමද කියාත් ඉන් ලැබුණු ප්‍රතිඵල මොනවාද කියාත් දැන් අපි බලමු.

කායින් ඔහුගේ මල්ලි වූ ආබෙල් සමඟ අමනාප වුණා. යෙහෝවා දෙවි කායින්ගේ පූජාව පිළි නොගෙන ආබෙල්ගේ පූජාව පිළිගැනීම ඊට හේතුවයි. කායින් තුළ ඇති වූ ඊර්ෂ්‍යාව නිසා අවසානයේදී ඔහු මල්ලිව ඝාතනය කළා. (උත්. 4:4-8) කායින් ‘දුෂ්ටයාගේ බලපෑමට හසු වුණා’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—1 යොහ. 3:12.

යෝසෙප්ට ඔහුගේ පියා හුඟක් ආදරේ කළ නිසා යෝසෙප්ගේ අයියලා දහදෙනා ඔහුට වෛර කළා. පසුව තමා දුටු සිහිනය ගැන සහෝදරයන්ට පැවසූ විට ඔහුව මරන්න තරම් ඊර්ෂ්‍යාවක් ඔවුන් තුළ ඇති වුණා. අවසානයේදී ඔවුන් යෝසෙප්ව වහලෙකු ලෙස විකුණා ඔහු මියගිය බව පියාට පැවසුවා. (උත්. 37:4-11, 23-28, 31-33) වසර ගණනකට පසු ඔවුන් තම වරද පිළිගනිමින් මෙසේ පැවසුවා. “අපේ සහෝදරයාට අපි කළේ ලොකු අසාධාරණයක්. අනුකම්පා කරන්න කියා ඔහු අඬඅඬා අපෙන් ඉල්ලුවත් අපි ගණන් ගත්තෙවත් නැහැ.”—උත්. 42:21; 50:15-19.

කෝරා, දාතාන් හා අබිරාම් තමන්ට ලැබී තිබුණ වරප්‍රසාද අගය නොකර මෝසෙස්ට හා ආරොන්ට ලැබී තිබුණු තනතුරුවලට ඊර්ෂ්‍යා කළා. මෝසෙස්ට පැවරුම ලැබුණේ දෙවිගෙන් කියා පිළිගන්නවා වෙනුවට මෝසෙස් ඔවුන්ව පාලනය කිරීමට තැත් කරනවා කියා ඔවුන් චෝදනා කළා. (ගණන්. 16:13) නමුත් එය බොරු චෝදනාවක්. (ගණන්. 11:14, 15) ඔවුන්ගේ ඊර්ෂ්‍යාව නිසා අවසානයේදී දෙවි ඔවුන්ව විනාශ කර දැමුවා.—ගීතා. 106:16, 17.

ඊර්ෂ්‍යාව නිසා ඇති වන ප්‍රතිඵල ගැන සලමොන් රජත් තේරුම්ගත්තා. එක් ස්ත්‍රියක් තම අලුත උපන් දරුවා මිය ගිය අවස්ථාවේදී තම මිතුරියගේ දරුවාව සොරකම් කරගෙන, තමාගේ මිය ගිය දරුවාව මිතුරිය ළඟ තැබුවා. නඩු විභාගයේදී පණ පිටින් සිටි දරුවාව තමාට නොලැබෙන බව දැනගත් ඇය දරුවාව මරනවාට පවා කැමති වුණා. නමුත් සලමොන් ඒ බව තේරුම්ගෙන දරුවාව සැබෑ මවට භාර දුන්නා.—1 රාජා. 3:16-27.

ඉහත සඳහන් බයිබල් චරිත හා සිද්ධීන්වලින් පැහැදිලි වෙන්නේ ඊර්ෂ්‍යාව නිසා අසාධාරණ දේවල් කිරීමට හා වෛර කිරීමට පමණක් නොව මිනී මැරීමටත් පෙලඹිය හැකි බවයි. ඒ හැම අවස්ථාවේම ඊර්ෂ්‍යාව නිසා පීඩා වින්ද තැනැත්තා අතින් කිසි වරදක් සිදු වී තිබුණේ නැහැ. මෙතරම් භයානක ඊර්ෂ්‍යාව නමැති විසෙන් අපි අපව ආරක්ෂා කරගන්නේ කොහොමද?

විස නසමු

ප්‍රේමය හා සහෝදර ස්නේහය වර්ධනය කරගන්න. පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා. “දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.” (1 පේතෘ. 1:22) සහෝදර සහෝදරියන් අතර තිබිය යුතු ප්‍රේමය ගැන පාවුල් විස්තර කළේ මේ ආකාරයටයි. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත.” (1 කොරි. 13:4, 5) එවැනි ප්‍රේමයක් වර්ධනය කරගැනීමෙන් ඊර්ෂ්‍යාව නමැති විස නසන්න අපිට පුළුවන්. (1 පේතෘ. 2:1) යොනාතාන් ඊට කදිම ආදර්ශයක්. දාවිත්ට ඊර්ෂ්‍යා නොකර ඔහු ‘තම පණට මෙන් දාවිත්ට ආදරේ කළා.’—1 සාමු. 18:1.

දෙවිට ප්‍රේම කරන අයව ඇසුරු කරන්න. බයිබලයේ 73වන ගීතිකාව ලියූ තැනැත්තා තුළත් ඊර්ෂ්‍යාව තිබුණා. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ දුෂ්ට අයට ඔහු ඊර්ෂ්‍යා කළා. නමුත් ‘දෙවිගේ ශුද්ධස්ථානයට’ යෑමෙන් ඔහු ඊර්ෂ්‍යාව නමැති විස නසා දැමුවා. (ගීතා. 73:3-5, 17) දෙවිට ප්‍රේම කරන අයව ඇසුරු කිරීමෙන් තමාට තිබෙන ආශීර්වාද ගීතිකාකරුට මතක් වුණා. ඒ වගේම “දෙවිට ළං වී සිටීම” යහපතක් ලෙස ඔහු සැලකුවා. (ගීතා. 73:28) අපේ රැස්වීම්වලදී සෙසු නමස්කාරකයන් සමඟ ඇසුරු කරන විට ඊර්ෂ්‍යාව නමැති විස නසා දැමිය හැකියි.

යහපත් ක්‍රියා කිරීමට උත්සාහ කරන්න. කායින් තුළ ඊර්ෂ්‍යාව හා වෛරය වර්ධනය වන බව දුටු විට දෙවි පැවසුවේ ‘යහමඟට හැරෙන්න’ කියායි. (උත්. 4:7) ඉන් අදහස් කළේ යහපත් ක්‍රියාවල නැවත යෙදෙන්න කියායි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. ‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න.’ (මතෙ. 22:37-39) දේශනා සේවයේ යෑම, නැවත බැලීම් හා බයිබල් පාඩම් කිරීම එසේ කිරීමට උපකාරයක්. අපි අන් අය වෙනුවෙන් කාලය යොදවන විට ඊර්ෂ්‍යාසහගත හැඟීම් පහ කර දැමිය හැකියි. දේවසේවයේ යෙදීමෙන් “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය” අපිට ලැබෙනවා.—හිතෝ. 10:22.

‘ප්‍රීති වන අය සමඟ ප්‍රීති වන්න.’ (රෝම 12:15) යේසුස්ගේ ගෝලයන් දේශනා සේවයේ යෙදී නැවත ඔහු වෙත පැමිණියේ ඉතා සතුටින්. ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන් සමඟ සතුටු වී තමා කළ සේවයට වඩා විශාල සේවයක් ඔවුන්ට කරන්න තිබෙන බව පැවසුවා. (ලූක් 10:17, 21; යොහ. 14:12) අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ එක්සත් සෙනඟක් ලෙසයි. (1 කොරි. 12:25, 26) ඒ නිසා අප අතර තරඟකාරී ස්වභාවයක් නොතිබිය යුතුයි. සභාවේ කෙනෙකුට වැඩි වගකීම් හා සේවා වරප්‍රසාද ලැබෙන විට ඊර්ෂ්‍යා නොකර ඒ ගැන සතුටු වෙමු.

සටන අත් නොහරිමු

කලින් සඳහන් කළ ක්‍රිස්ටිනා පවසන්නේ මෙයයි. “මං කැමති නැති වුණත් ඉඳලා හිටලා අනිත් අය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එවැනි හැඟීම් පාලනය කරන්න මට සෑහෙන වෑයමක් දරන්න වෙනවා.” හොසේ පැවසුවේ “සම්බන්ධීකාරකගේ හොඳ ගුණාංග අගය කරන්න මට යෙහෝවා දෙවි උපකාර කළා. දෙවි එක්ක බැඳීමක් ඇති කර නොගත්තා නම් කවදාවත් ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ” කියායි.

ඊර්ෂ්‍යාව හා කුඩුකේඩුකම ඇති වෙන්නේ අපේ පව්කාර ස්වභාවය නිසයි. එමනිසා අපට නිතරම එවැනි හැඟීම් සමඟ සටන් කරන්න සිදු වෙනවා. (ගලා. 5:19-21) අපව පාලනය කිරීමට ඊර්ෂ්‍යාවට ඉඩ නොදී දෙවිව සතුටු කරමින් ප්‍රීතියෙන් ජීවත් වෙමු.

[පාදසටහන]

^ 7 ඡේ. නම් වෙනස් කර ඇත.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ප්‍රීති වන අය සමඟ ප්‍රීති වන්න’