Skip to content

පටුනට යන්න

ඔබෙන් ප්‍රශ්න ඇසීමට ඔබ යෙහෝවා දෙවිට ඉඩ දෙනවාද?

ඔබෙන් ප්‍රශ්න ඇසීමට ඔබ යෙහෝවා දෙවිට ඉඩ දෙනවාද?

ඔබෙන් ප්‍රශ්න ඇසීමට ඔබ යෙහෝවා දෙවිට ඉඩ දෙනවාද?

බයිබලය තුළ ප්‍රශ්න සිය ගණනක් සඳහන් වී තිබෙනවා. එම ප්‍රශ්න කියවන කෙනෙක් එය තමන්ගෙන්ම අසාගනිද්දී ඔහුගේ හැඟීම් හා චේතනා මොනවාද කියා අවබෝධ කරගැනීමට ඔහුට හැකියි. යෙහෝවා දෙවි අපට වැදගත් කාරණා ඉගැන්වීම සඳහා එවැනි ප්‍රශ්න යොදාගන්නවා. උදාහරණයක් ලෙස කායින්ගේ දුෂ්ට හැසිරීම නිවැරදි කිරීමට යෙහෝවා දෙවි ඔහුගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයක් බයිබලයේ වාර්තා වී තිබෙනවා. (උත්. 4:6, 7) ඒ වගේම යෙසායාව ක්‍රියාවට පෙලඹවීමට යෙහෝවා දෙවි ඇසූ ප්‍රශ්න උපකාරවත් වුණා. “මා යවන්නේ කාවද? අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද” කියා දෙවි අසූ විට යෙසායා, “මම යන්න කැමතියි. මාව යවන්න” කියා පිළිතුරු දුන්නා.—යෙසා. 6:8.

උතුම් ගුරුවරයා වන යේසුස්ද දක්ෂ ලෙස ප්‍රශ්න භාවිත කළා. ඔහු විසින් ඇසූ ප්‍රශ්න 280කට වැඩි ප්‍රමාණයක් සුවිශේෂ පොත් සතරේ සඳහන් වී තිබෙනවා. තමන්ව විවේචනය කළ අයව නිශ්ශබ්ද කිරීමට අවශ්‍ය නිසා සමහර අවස්ථාවලදී ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවත් යේසුස් ඇසූ බොහෝ ප්‍රශ්නවල අරමුණ වුණේ අසන්නන්ට දෙවි සමඟ ඇති මිත්‍රත්වය ගැන සිතීමට පෙලඹවීමයි. (මතෙ. 22:41-46; යොහ. 14:9, 10) ඒ වගේම පාවුල්ද අසන්නන්ව ක්‍රියාවට පොලඹවන ප්‍රශ්න ඇසූ බව ඔහු ලියූ පොත් 14 කියවීමෙන් පැහැදිලි වෙනවා. (රෝම 10:13-15) ඔහු රෝමවරුන්ට ලියූ ලිපියේ පමණක් ප්‍රශ්න රාශියක් සඳහන් කර තිබෙනවා. “දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද” කියා අවබෝධ කරගන්නත් එය අගය කරන්නත් පාවුල්ගේ එම ප්‍රශ්න අපට උපකාරවත් වෙනවා.—රෝම 11:33.

බයිබලයේ සඳහන් සමහර ප්‍රශ්න අසනු ලැබුවේ වාචික පිළිතුරු බලාපොරොත්තුවෙනුයි. අසන්නන්ව කල්පනා කිරීමට පොලඹවන ප්‍රශ්නද එහි ඇතුළත් වෙනවා. යේසුස් බොහෝවිට යොදාගත්තේ එවැනි ප්‍රශ්නයි. එක් අවස්ථාවක ඔහු තම අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “පරිසිවරුන්ගේ මුහුන්වලින්ද හෙරොද්ගේ මුහුන්වලින්ද පරෙස්සම් වීමට වගබලා ගන්න.” ඔහු ඉන් අදහස් කළේ ඔවුන්ගේ කුහක හා බොරු ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම ගැනයි. (මාක් 8:15; මතෙ. 16:12) නමුත් යේසුස්ගේ ගෝලයන්ට එය නිවැරදිව අවබෝධ කරගැනීමට නොහැකි වූ නිසා ඔවුන් තමන් ළඟ රොටි නොතිබීම ගැන එකිනෙකාට චෝදනා කිරීමට පටන්ගත්තා. ඉන්පසු සිදු වූ සංවාදයේදී යේසුස් යොදාගත් මේ ප්‍රශ්න ගැන මොහොතකට සිතා බලන්න. ‘ඔබ ළඟ රොටි නැති එක ගැන එකිනෙකාට චෝදනා කරන්නේ ඇයි? ඔබට තවම මා කියූ දේ වැටහෙන්නේවත් එහි අර්ථය තේරෙන්නේවත් නැද්ද? ඔබට එය තේරුම්ගන්න අමාරුද? ඇස් තිබුණත් ඔබට පෙනෙන්නේ නැද්ද? කන් තිබුණත් ඔබට ඇසෙන්නේ නැද්ද? තවමත් ඔබට තේරෙන්නේ නැද්ද?’ තමන් පැවසූ දේවල අර්ථය අවබෝධ කරගැනීම සඳහා ඔවුන්ව සිතීමට පොලඹවන්න යේසුස්ගේ එම ප්‍රශ්න ඔවුන්ට උපකාරවත් වුණා.—මාක් 8:16-21.

‘මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න’

නිර්මාණකරු ලෙස තමන් යෝබ්ට වඩා මොන තරම් උසස්ද කියා යෝබ්ට අවබෝධ කර දී ඔහුගේ ආකල්ප වෙනස් කරගන්න දෙවි ඔහුගෙන් ප්‍රශ්න ඇසුවා. (යෝබ් 38-41 දක්වා පරිච්ඡේද) ඒවාට දෙවි යෝබ්ගෙන් පිළිතුරු බලාපොරොත්තු නොවුණා විය හැකියි. උදාහරණයක් ලෙස මෙම ප්‍රශ්නය ගැන සිතන්න. “මා පොළොවේ අත්තිවාරම් දැමූ විට ඔබ සිටියේ කොහේද?” ඉන් දෙවි බලාපොරොත්තු වුණේ යෝබ්ව සිතීමට පෙලඹවීමට බව කිසිම සැකයක් නැහැ. දෙවි ඇසූ එවැනි ප්‍රශ්න කිහිපකයට පසු යෝබ් මෙසේ පැවසුවා. “මා ඔබට පිළිතුරු දෙන්නේ කෙසේද? මම අතින් මාගේ කට වසාගන්නෙමි.” (යෝබ් 38:4; 40:4) යෙහෝවා දෙවි තමාගෙන් මෙලෙස ප්‍රශ්න අසන හේතුව යෝබ් තේරුම්ගත් නිසා තමන් නිහතමානී විය යුතු බව පිළිගත්තා. කෙසේවෙතත් දෙවිට අවශ්‍ය වුණේ යෝබ්ට නිහතමානිකම ගැන උගන්වන්න පමණක් නොවෙයි. ඔහු තවදුරටත් ඔහුගේ ආකල්ප නිවැරදි කරගන්නවා දකින්න දෙවිට අවශ්‍ය වුණා. අපි දැන් ඒ ගැන සලකා බලමු.

යෝබ් “අවංක, නිර්දෝෂ” කෙනෙක් වුණත් යම් දේවල් සම්බන්ධයෙන් ඔහුට වැරදි ආකල්ප තිබුණා. යෝබ් “දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම්” කරන බව තේරුම්ගත් එලීහු ඔහුව නිවැරදි කළා. (යෝබ් 1:8; 32:2; 33:8-12) එමනිසා ඔහුගේ අවබෝධය නිවැරදි කරගන්න යෝබ්ට හැකි වුණා. සැඩ සුළඟ මැදින් කතා කරමින් දෙවි යෝබ්ට මෙසේ පැවසුවා. “කිසි අවබෝධයක් නොමැතිව කතා කරමින්, මා ගත් තීරණ විවේචනයට ලක් කරන මේ තැනැත්තා කවුද? දැන් ශක්තිමත් මිනිසෙකු මෙන් නැඟිට, මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වෙන්න.” (යෝබ් 38:1-3) ඊටපසු ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් දෙවිගේ අසීමිත ප්‍රඥාව හා බලය ඔහුගේ නිර්මාණ තුළින් අවබෝධ කරගැනීමට දෙවි යෝබ්ට උපකාර කළා. යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය හා ඔහුගේ තීරණ නිවැරදි බව වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට දෙවි ඇසූ ප්‍රශ්න යෝබ්ට උපකාරවත් වුණා. සියලු බලය හිමි දෙවි, තමාගෙන් ප්‍රශ්න ඇසීම ගැන යෝබ් මොන තරම් පුදුම වන්න ඇද්ද!

අපගෙන් ප්‍රශ්න ඇසීමට දෙවිට ඉඩ දෙමු

බයිබලයේ වාර්තා කර ඇති ප්‍රශ්න ගැන කල්පනා කර, ඒ තුළින් යෙහෝවා දෙවි අපට කියා දෙන්න උත්සාහ කරන දේ තේරුම්ගන්නවා නම් අපට බොහෝ ආශීර්වාද ලබාගත හැකියි. කියවන්නාව ක්‍රියාවට පෙලඹවිය හැකි තරම් බලයක් බයිබලයේ සඳහන් ප්‍රශ්නවලට තිබෙනවා. ‘දෙවිගේ වදන් බලවත්ය. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැකියි’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 4:12) එම ප්‍රශ්නවලින් ප්‍රයෝජන ගැනීමට නම් එම ප්‍රශ්න දෙවි අපගෙන්ම අසා ඇති ඒවා සේ සලකන්න අවශ්‍යයි. (රෝම 15:4) අපි දැන් ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සලකා බලමු.

“මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?” (උත්. 18:25) සොදොම් සහ ගොමෝරා යන නුවරවල් විනාශ කිරීමට මොහොතකට පෙර ආබ්‍රහම් යෙහෝවා දෙවිගෙන් එම ප්‍රශ්නය ඇසුවා. දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශ කිරීමට තරම් දෙවි අසාධාරණව ක්‍රියා නොකරන බව ආබ්‍රහම් ස්ථිරවම දැන සිටියා. ඔහු ඇසූ ප්‍රශ්නයෙන් ඒ බව පැහැදිලි වෙනවා.

ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද? දෙවි තීරණය කළ යුතු දේවල් එනම්, ඉදිරියේදී නැවත නැඟිටීම ලබන්නේ කවුද සහ හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්නේ කවුද වැනි දේවල් අනුමාන කරන්න අප පෙලඹිය හැකියි. එවැනි අවස්ථාවකදී ආබ්‍රහම් ඇසූ ප්‍රශ්නය ගැන කල්පනා කිරීම අපට ප්‍රයෝජනවත්. යෙහෝවා දෙවි යුක්තිසහගත හා කරුණාවන්ත මෙන්ම ප්‍රේමණීය කෙනෙක් බව අප වටහාගෙන තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය දේවල් ගැන සිතමින්, සැකයන් ඇති කරගනිමින් හා තේරුමක් නැති වාද විවාදවලට පැටලීමෙන් අප වැළකී සිටිනවා.

“කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?” (මතෙ. 6:27) යෙහෝවා දෙවි අප ගැන මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියා කාවැද්දවීමට යේසුස් එම ප්‍රශ්නය යොදාගත්තා. අප ජීවත් වන්නේ පවතින සමාජයේ අවසාන දවස්වල නිසා අපට බොහෝ කනස්සලුවීම් ඇති විය හැකියි. නමුත් ඒවා ගැන දිගින් දිගටම කල්පනා කිරීමෙන් අප ජීවත් වන දවස් ගණන වැඩි කරගන්නවත් ජීවිතයට කිසි යහපතක් කරගන්නවත් අපට බැහැ.

අපට හෝ අප ප්‍රේම කරන කෙනෙකුට ඇති වූ යම් ගැටලුවක් ගැන අප කනස්සල්ලෙන් සිටිනවා නම් යේසුස් ඇසූ එම ප්‍රශ්නය මතකයට ගැනීමෙන් එම ගැටලුව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගන්න අපට හැකියි. කුරුල්ලන්ව පෝෂණය කරන හා තණ බිමේ පැළෑටී අලංකාර කරන දෙවි අපගේ අවශ්‍යතා මොනවාද කියා හොඳින් දන්නවා. ඒ නිසා මානසිකව හා ශාරීරිකව වෙහෙසට පත් නොවී සිටීමටත් කනස්සලු නොවී සිටීමටත් අපට පුළුවන්.—මතෙ. 6:26-34.

“මිනිසෙකු ගින්දර තම ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?” (හිතෝ. 6:27) හිතෝපදේශ පොතේ මුල් පරිච්ඡේද නවයේ පියෙකු විසින් තම පුතාට ලබා දෙන ඥානවන්ත උපදෙස් අඩංගු වී තිබෙනවා. ඉහත ප්‍රශ්නය අසා ඇත්තේ අනාචාරයේ යෙදීම නිසා ඇති වන වේදනාකාරී ප්‍රතිඵල විස්තර කිරීමටයි. (හිතෝ. 6:29) අප නොහොබිනා හැසිරීමක යෙදෙන බව හෝ නුසුදුසු ලිංගික ආශාවක් ඇතුව සිටින බව අපට වැටහුණොත් එහි ඇති භයානක ප්‍රතිඵල ගැන අනතුරු අඟවන සංඥාවක් ලෙස අප ඉහත ප්‍රශ්නය සැලකිය යුතුයි. එපමණක්ද නොව ඕනෑම අඥාන ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹීමක් ඇති වන විට එම ප්‍රශ්නය අසාගැනීම බොහෝ සේ ප්‍රයෝජනවත්. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” යන ප්‍රතිපත්තියද එම ප්‍රශ්නයෙන් කාවද්දනවා.—ගලා. 6:7.

“ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?” (රෝම 14:4) සභාවේ ඇති වූ ගැටලුවක් ගැන පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළා. විවිධ පසුබිම්වලින් පැමිණි සමහර ක්‍රිස්තියනීන් සෙසු ක්‍රිස්තියානීන් ගත් යම් තීරණ හා ඔවුන් කටයුතු කළ ආකාරය විනිශ්චය කිරීමට පෙලඹුණා. සියලුදෙනාටම එක හා සමානව සලකන්නත් විනිශ්චය කිරීම යෙහෝවා දෙවිට බාර දෙන්නත් පාවුල් ඇසූ ප්‍රශ්නය ඔවුන්ට උපකාරවත් වුණා.

වර්තමානයේ සභාවේ සිටින්නේද විවිධ පසුබිම්වලින් පැමිණි සහ විවිධ තත්වයන්ට මුහුණ දෙන සහෝදර සහෝදරියනුයි. නමුත් ඒ සියලුදෙනාව දෙවි එකමුතු කර තිබෙනවා. ඒ නිසා සහෝදරයෙක් තමාගේ හෘදය සාක්ෂියට අනුව ගත් තීරණයක් විනිශ්චය කිරීමට අප ඉක්මන් වෙනවා නම් එම එකමුතුකමට අප බාධා ඇති කරනවා. එවැනි තත්වයකදී ඉහත ප්‍රශ්නය අපගෙන්ම අසාගැනීම මොන තරම් වැදගත්ද!

දෙවිට ළං වීමට උපකාරයක්

අප සලකා බැලුවේ බයිබලයේ ඇති ප්‍රශ්න යොදාගනිමින් අපවම සෝදිසි කිරීමට හැකි ආකාරය ගැන උදාහරණ කිහිපයක් පමණයි. බයිබලයේ ඇති ප්‍රශ්නවල අවට පද සලකා බැලීමෙන් ඒවා අප මුහුණ දෙන තත්වයට අදාළ වන ආකාරය වටහාගැනීමට අපට හැකි වෙනවා. ඒ වගේම අප නිතිපතා බයිබලය කියවන විට අපට එහි සඳහන් තවත් ප්‍රශ්න සොයාගත හැකියි.—14වන පිටුවේ ඇති කොටුව බලන්න.

බයිබලයේ සඳහන් සිතීමට පොලඹවන ප්‍රශ්න සලකා බැලීමෙන් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කිරීමට අපට හැකියි. යෙහෝවා දෙවි යෝබ්ගෙන් ප්‍රශ්න ඇසීමෙන් පසු යෝබ් මෙසේ පිළිගත්තා. “මම කලින් ඔබ ගැන අසා තිබුණත් දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි.” (යෝබ් 42:5) යෙහෝවා දෙවි තමා ඉදිරියේ සිටින්නා සේ යෝබ්ට දෙවි සැබෑ පුද්ගයෙක් වුණා. යාකොබ්ද මෙවැනි දෙයක් පැවසුවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකො. 4:8) දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්නත් ඔහුව වඩා හොඳින් ‘දකින්නත්’ බයිබලයේ ඇති ප්‍රශ්න ඇතුළු සෑම වචනයක්ම අපි හොඳින් අධ්‍යයනය කරමු.

[14වන පිටුවේ කොටුව]

යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතීමට පහත සඳහන් ප්‍රශ්න ඔබට උපකාරවත් වන්නේ කොහොමද?

▪ “යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද නැත්නම් තමාට කීකරුකම පෙන්වනවාටද?”—1 සාමු. 15:22.

▪ “දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?”—ගීතා. 94:9.

▪ “මිනිසෙකු තමාටම ගෞරවය සොයාගන්නේ නම් ඔහුට හිමි වන්නේ සැබෑ ගෞරවයක්යයි පැවසිය හැකිද?”—හිතෝ. 25:27.

▪ “ඔබට කෝප වීමට සාධාරණ හේතුවක් තිබෙනවා කියා ඔබ සිතනවාද?”—යෝනා 4:4.

▪ “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?”—මතෙ. 16:26.

▪ “ක්‍රිස්තුස් පෙන්වන ප්‍රේමයෙන් අපව වෙන් කළ හැක්කේ කාටද?”—රෝම 8:35.

▪ “ඔබ සතු දේවල් ඔබට ලැබුණේ දෙවිගෙන් නොවේද?”—1 කොරි. 4:7.

▪ “ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?”—2 කොරි. 6:14.

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ඇසූ ප්‍රශ්නවලින් යෝබ් ඉගෙනගත්තේ කුමක්ද?