Skip to content

පටුනට යන්න

යාකොබ් සහ පේතෘස් යන පොත්වලින් විශේෂාංග

යාකොබ් සහ පේතෘස් යන පොත්වලින් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

යාකොබ් සහ පේතෘස් යන පොත්වලින් විශේෂාංග

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් වසර 30කට පමණ පසු යේසුස්ගේ ගෝලයෙක් වන යාකොබ් දෙවිගේ ඊශ්‍රායෙල්ට අයත් ‘ගෝත්‍ර දොළහට’ ලිපියක් ලියනවා. (යාකො. 1:1) ඔහු එසේ ලියන්නේ පීඩා විඳදරාගැනීමට හා ශක්තිමත් ඇදහිල්ලක් පෙන්වන්න කියා ඔවුන්ව උනන්දු කිරීමටයි. ඒ වගේම සභාවල ඇති වූ යම් තත්වයන් නිවැරදි කරන ආකාරය ගැනත් ඔහු ඉන් උපදෙස් ලබා දෙනවා.

ඇදහිල්ලේ ස්ථිරව සිටින්න කියා ක්‍රිස්තියානීන්ට උනන්දු කරමින් පේතෘස් ලිපියක් ලියනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 64දී රෝම අධිරාජ්‍යයා වන නීරෝ ක්‍රිස්තියානීන්ට විරුද්ධව පීඩා කරන්න ටික කලකට පෙරයි. ඒ සමඟම ඔහු තම දෙවන ලිපිය ලියමින් ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ දෙවිගේ වචනයට ඔවුන්ගේ අවධානය යොමු කරන්න කියායි. ඒ වගේම දෙවිගේ දවස පැමිණීම ගැනද ඔවුන්ට අනතුරු අඟවනවා. යාකොබ්ගේ හා පේතෘස්ගේ ලිපිවලට අවධානය දීම මගින් අපටත් ප්‍රයෝජන ගත හැකියි.—හෙබ්‍රෙ. 4:12.

‘ඇදහිල්ලෙන් ඉල්ලන්නන්ට’ දෙවි ප්‍රඥාව දෙයි

(යාකො. 1:1–5:20)

“පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය” කියා යාකොබ් පවසනවා. ඒ වගේම ‘ඇදහිල්ලෙන් ඉල්ලන’ අයට පීඩා විඳදරාගන්න අවශ්‍ය ප්‍රඥාව දෙවි ලබා දෙනවා.—යාකො. 1:5-8, 12.

සභාවේ “ගුරුවරුන්” හැටියට සේවය කරන අයටද ප්‍රඥාව හා ඇදහිල්ල අවශ්‍යයි. ‘දිවද කුඩා අවයවයක්’ වන නමුත් ඊට “මුළු ශරීරයම පලුදු” කිරීමට හැකි බවද පේතෘස් පවසනවා. ඒ වගේම දෙවි සමඟ ඇති අපගේ සම්බන්ධතාවයට හානි පැමිණිය හැකි මේ ලෝකයේ නැඹුරුවාවන් ගැන ඔහු අනතුරු අඟවනවා. එමෙන්ම කෙනෙකුගේ ඇදහිල්ල දුර්වල නම් ඉන් ගොඩ එන්න ඔහු කළ යුතු දේ ගැනත් යාකොබ් පවසනවා.—යාකො. 3:1, 5, 6; 5:14, 15.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:13—“විනිශ්චය පරදවා දයාව ජය නාද කරන්නේ” කෙසේද? අප දෙවිට ගණන් දෙන අවස්ථාවේදී අප අන් අයට දයාව පෙන්වා ඇති ආකාරය ගැන ඔහු සැලකිල්ලට ගෙන ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාව පදනම් කරගෙන අපට සමාව දෙනවා. (රෝම 14:12) අප නිතරම අන් අයට දයාව පෙන්වන්න සූදානමින් සිටිය යුතු බව මින් පැහැදිලියි.

4:5—යාකොබ් මෙම ශුද්ධ ලියවිලි පාඨය උපුටා ගෙන ඇත්තේ කොතැනින්ද? යාකොබ් මෙහිදී බයිබලයේ යම් නිශ්චිත ස්ථානයකින් මෙය උපුටා දක්වා නැහැ. කෙසේනමුත් දෙවිගේ බලයේ උපකාරය මත ලියැවුණු මෙම අදහස ඉදිරිපත් කරන්න ඔහු උත්පත්ති 6:5; 8:21; හිතෝපදේශ 21:10 සහ ගලාති 5:17 පදනම් කරගන්න ඇති.

අපට ගත හැකි පාඩම්:

1:14,15. කෙනෙක් පාපයට පෙලඹෙන්නේ වැරදි දේවල් ගැන දිගටම කල්පනා කිරීම මගිනුයි. ඒ නිසා අප එවැනි දේවල් ගැන කල්පනා නොකර සිටිමු. ඒ වෙනුවට අපගේ මනස් හා හදවත් අපව ගොඩනංවන දේවල්වලින් පුරවාගැනීම සඳහා එවැනි දේවල්වලට අපගේ මනස ‘දිගටම යොමු’ කරමු.—ෆිලි. 4:8.

2:8,9. “අනිසි අනුග්‍රහයක්” දැක්වීම ප්‍රේමය නමැති “රාජකීය නීතිය” උල්ලංගනය කිරීමක්. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් යම් කෙනෙකුට අනිසි අනුග්‍රහයක් දක්වන්නේ නැහැ.

2:14-26. අප අපගේ ‘ඇදහිල්ල නිසා ගැලවෙනවා’ මිස නමට ක්‍රිස්තියානියෙක් වීම නිසා හෝ මෝසෙස්ගේ නීතිය පිළිපැදීම නිසා ගැලවෙන්නේ නැහැ. ඒ වගේම දෙවිව විශ්වාස කරනවා කියා පැවසීමෙන් පමණක් අපට ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවා කියා කිව නොහැකියි. (එෆී. 2:8, 9; යොහ. 3:16) එසේ පැවසීමට නම් අප දෙවිගේ කැමැත්ත කළ යුතුයි.

3:13-17. “භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන්” ලැබෙන දැනුමට වඩා “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ශ්‍රේෂ්ඨයි! අප ‘සැඟවුණු නිධාන සොයන්නාක් මෙන් දිගටම දෙවිගේ ප්‍රඥාව සොයන්න’ අවශ්‍යයි.—හිතෝ. 2:1-5.

3:18. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සමාදානයෙන් ප්‍රකාශ කළ යුත්තේ “සාමය ඇති කරන්නන්” විසිනුයි. ඒ නිසා අප සමාදානය ඇති කරන අය වීමත්, කෝපයෙන් හා වාද විවාද කිරීමෙන් හෝ කෝලහල කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

ඇදහිල්ලේ ස්ථිරව සිටින්න’

(1 පේතෘ. 1:1–5:14)

තම සෙසු ඇදහිලිවන්තයන්ට තිබෙන ස්වර්ගයේ ජීවත් වීම නමැති “ජීවමාන බලාපොරොත්තුව” ගැන පේතෘස් සිහිගන්වනවා. ඔහු තවදුරටත් පවසන්නේ ඔවුන් “තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පංතියක්ද, ශුද්ධ වූ ජාතියක්ද” බවයි. යටත්කම සම්බන්ධයෙන් ඔවුන්ට යම් උපදෙස් දීමෙන් පසු ඔහු ඔවුන්ට මෙසේද උනන්දු කළා. “ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත්පහත් මනසක් ඇතිව සිටින්න.”—1 පේතෘ. 1:3, 4; 2:9; 3:8.

“[යුදෙව් සමාජයේ] අවසානය ළං වී” තිබුණු නිසා “හොඳ සිහිකල්පනාවෙන් සිට, යාච්ඤා කිරීම සඳහා අවදිව සිටින්න” කියා පේතෘස් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. තවදුරටත් ඔහු මෙසේද පැවසුවා. ‘සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඇදහිල්ලේ ස්ථිරව සිට, ඔහුට [සාතන්ට] විරුද්ධව සිටින්න.’—1 පේතෘ. 4:7; 5:8, 9.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3:20-22—බව්තීස්මය මගින් අප ගැලවීම ලබන්නේ කෙසේද? ගැලවීම ලැබීමට කැමති අය බව්තීස්ම වීම අත්‍යවශ්‍යයි. නමුත් බව්තීස්ම වූ පමණින් කෙනෙක් ගැලවීම ලබන්නේ නැහැ. එය ලැබෙන්නේ ‘යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම මාර්ගයෙනුයි.’ එමනිසා බව්තීස්මය අපේක්ෂාවෙන් සිටින කෙනෙක් මූලිකවම යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම අවශ්‍යයි. එමෙන්ම දෙවි යේසුස්ව නැවත නැඟිටෙවූ බවත් දැන් ඔහු “දෙවිගේ දකුණු පැත්තේ” සිටින බවත් මළවුන් හා ජීවතුන් කෙරෙහි බලය ඔහුට තිබෙන බවත් විශ්වාස කළ යුතුයි. “අටදෙනෙක් අනතුරක් නැතිව වතුරෙන් සුරක්ෂිතව ගෙන යනු” ලැබුවේ ඔවුන්ටත් ඒ හා සමාන ශක්තිමත් ඇදහිල්ලක් තිබූ නිසයි.

4:6—“මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශ කරනු” ලැබුවා කියද්දී එහි සඳහන් මළවුන් කවුද? ඒ අයට ඇතුළත් වන්නේ ශුභාරංචිය පිළිගැනීමට පෙර තම “වැරදි සහ පාපවල මැරී සිටිය” හෙවත් දෙවි සමඟ කිසිම සම්බන්ධතාවයක් නොතිබූ අයයි. (එෆී. 2:1) නමුත් ශුභාරංචියට කීකරු වීමෙන් පසු ඔවුන් “ජීවත්” වීමට පටන්ගත්තා. එනම් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත්තා.

අපට ගත හැකි පාඩම්:

1:7. අපගේ ඇදහිල්ල ඉතා වටිනා එකක් වන්නේ එය පීඩා හා පරීක්ෂාවන්ට මුහුණ දී පන්නරයක් ලැබූ විටයි. එවන් ඇදහිල්ලක් තුළින් අපගේ ‘ජීවිතය රැකගත’ හැකියි. (හෙබ්‍රෙ. 10:39) එමනිසා අපගේ ඇදහිල්ලට පැමිණෙන අභියෝගවලින් අප පලා නොයා යුතුයි.

1:10-12. යෙහෝවා දෙවි බොහෝ කලකට පෙර තම අනාගතවක්තෘවරුන් තුළින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන පැවසූ ගැඹුරු සත්‍යයන් සොයා දැනගැනීමට දේවදූතයන් මහත් ආශාවෙන් සිටියා. කෙසේනමුත් දේවදූතයන්ට ඒවා තේරුම්ගන්න හැකි වුණේ යෙහෝවා දෙවි එම ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් පැවසූ දේවල් හෙළි කළ අවස්ථාවේදීයි. (එෆී. 3:10) අපත් දේවදූතයන් මෙන් “දෙවිගේ ගැඹුරු” දේවල් සොයා දැනගැනීමට උත්සාහ කළ යුතුයි.—1 කොරි. 2:10.

2:21. අප යේසුස්ව අනුකරණය කරන්නන් හැටියට දෙවිගේ පාලනයට පක්ෂපාත වීම වෙනුවෙන් අපගේ ජීවිතය දීමට පවා සූදානමින් සිටිය යුතුයි.

5:6, 7. අප අපගේ සියලු කරදර යෙහෝවා දෙවිට භාර දෙනවා නම් සැබෑ නමස්කාරයට මුල් තැන දී කටයුතු කිරීමට අවශ්‍ය උපකාර ඔහු අපට ලබා දෙනවා. එවිට හෙට දවස ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වීමට අපට සිදු වන්නේ නැහැ.—මතෙ. 6:33, 34.

‘යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේය’

(2 පේතෘ. 1:1–3:18)

“අනාවැකියක් කිසි කලෙක මිනිසෙකුගේ අදහසකින් පැමිණියේ නැත. නමුත් මිනිස්සු ශුද්ධාත්මය [දෙවිගේ බලය] විසින් මඟ පෙන්වනු ලැබ දෙවිගෙන් ලැබූ දේ කතා” කළා කියා පේතෘස් පැවසුවා. එමනිසා අප එම අනාවැකි වදන්වලට හොඳ අවධානයක් දුන්නොත් “බොරු ගුරුවරුන්” හා මුළා කරවන මිනිසුන්ගේ ඉගැන්වීම්වලින් අප නොමඟ යන්නේ නැහැ.—2 පේතෘ. 1:21; 2:1-3.

“අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය.” නමුත් “යෙහෝවා දෙවිගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය” කියා පේතෘස් අනතුරු ඇඟෙව්වා. “යෙහෝවා දෙවිගේ දවස පැමිණීම බලා සිටිමින් එය මනසේ ප්‍රමුඛව තබාගන්න” යන පැහැදිලි උපදෙස මගින් පේතෘස් තම ලිපිය අවසන් කරනවා.—2 පේතෘ. 3:3, 10-12.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:19—මෙහි සඳහන් “පහන් තාරකාව” කවුද, එය පෑයුවේ කවදාද, ඒ බව අප දන්නේ කෙසේද? “පහන් තාරකාව” කියන්නේ දේවරාජ්‍යයේ රජු බවට පත් වූ යේසුස් ක්‍රිස්තුස්ටයි. (එළි. 22:16) යේසුස් මුළු මැවිල්ල ඉදිරියේ 1914දී දේවරාජ්‍යයේ රජු බවට පත් වුණා. ඔහු පොළොවේ සිටියදී අන් ස්වරූපයකට පත් වීමෙන් පෙන්වූයේ අනාගතයේදී ඔහු දේවරාජ්‍යයේ තේජවත් රජු ලෙස කටයුතු කිරීමට නියමිතයි යන අනාවැකි මොන තරම් සත්‍යයද යන්නයි. එම අනාවැකිවලට හොඳ අවධානයක් දීමෙන් එම පහන් තරුව පායා ඇති බව එනම්, යේසුස් රජ වී ඇති බව අපට තේරුම්ගත හැකියි.

2:4—“ටාටරස්” යනු කුමක්ද, කැරලිකාර දූතයන්ව ඊට හෙළුවේ කවදාද? ටාටරස් කියන්නේ දේවදූතයන් පව් කළ අවස්ථාවේදී දෙවි ඔවුන්ගේ බලය සීමා කොට ඔවුන්ව තැබූ තත්වයයි. එමෙන්ම එම තත්වයේ සිටින අයට දෙවිගේ පුදුමාකාර අරමුණු ගැන හා අනාගත බලාපොරොත්තු ගැන කිසිම අවබෝධයක් ලබන්න බැහැ. ඒ අනුව ඔවුන් සිටින තත්වය ඝන අන්ධකාර තත්වයකට සමාන කරන්න පුළුවන්. දෙවි ඔවුන්ව එවැනි තත්වයකට පත් කළේ නෝවාගේ දවස්වලදී වන අතර ඔවුන්ගේ විනාශය තෙක් ඔවුන් එවැනි තත්වයක් අද්දකිනවා.

3:17—“කලින් දැනගෙන සිටින” දේවල් කියද්දී පේතෘස් ඉන් අදහස් කළේ කුමක්ද? ඔහු ඉන් අදහස් කළේ ඔහු ඇතුළු සෙසු බයිබල් ලේඛකයන්ට දෙවිගේ බලයේ උපකාරයෙන් දැනගැනීමට ලැබුණු, අනාගතයේ සිදුවීමට නියමිත දේවලුයි. ඒ වුණත් ඉදිරියේදී සිදුවීමට නියමිත සෑම දෙයක්ම දැනගන්න ඔවුන්ට හැකියාව තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට දැනගන්න ලැබුණේ සිදුවීමට නියමිතව තිබූ දේවල මූලික තොරතුරු පමණයි.

අපට ගත හැකි පාඩම්:

1:2, 5-7. ‘දෙවි හා යේසුස් පිළිබඳ නිවැරදි දැනුම’ ලබාගැනීමට උත්සාහ කරනවාට අමතරව අප ඇදහිල්ල, විඳදරාගැනීම හා දේවභක්තිය වැනි ගුණාංගද වර්ධනය කරගැනීමට උත්සාහ කළ යුතුයි. එවිට අප “අක්‍රිය තත්වයකට හෝ පල නොදරන තත්වයකට” පත් වන්නේ නැහැ.—2 පේතෘ. 1:8.

1:12-15. අප ‘සත්‍යයයේ ස්ථිරව පිහිටා සිටීමට’ නම් අපට නොකඩවා සිහිගැන්වීම් අවශ්‍ය වන අතර රැස්වීම් තුළින්, පෞද්ගලික අධ්‍යයනය තුළින් හා බයිබලය කියවීම මඟින් දෙවි ඒවා අපට ලබා දෙනවා.

2:2. අපගේ හැසිරීම තුළින් දෙවිට හා ඔහුගේ සංවිධානයට නිග්‍රහා ඇති නොවන ලෙස අප කටයුතු කළ යුතුයි.—රෝම 2:24.

2:4-9. ‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව කපාහරින පිණිස විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දෙවි දන්නවා.’ ඔහු අතීතයේදී කර තිබෙන දේවල් අධ්‍යයනය කිරීම තුළින් ඒ බව අපට තහවුරු කරගත හැකියි.

2:10-13. “තේජවත් අය” ලෙස හඳුන්වන සභා වැඩිමහල්ලන් අතින් පවා යම් අඩුපාඩුකම් හෝ සමහරවිට වැරදි පවා සිදු විය හැකියි. නමුත් අපි ඔවුන් ගැන නිග්‍රහාත්මක ලෙස කතා නොකළ යුතුයි.—හෙබ්‍රෙ. 13:7, 17.

3:2-4, 12. ‘ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් කියන ලද දේවල් සහ ගැලවුම්කාර ස්වාමීන්ගේ ආඥාවලට’ කිට්ටු අවධානයක් දීම මගින් යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟ බව තේරුම්ගැනීමට අපට හැකි වෙනවා.

3:11-14. ‘යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්නා’ අය හැටියට අප (1) ‘ශුද්ධ වූ හැසිරීම’ පවත්වා ගත යුතුයි. එයට ශාරීරිකව, මානසිකව, සදාචාරමය ලෙස පිරිසිදුව සිටීමත් අපගේ නමස්කාරය දූෂ්‍ය කරවන දේවලින් වැළකී සිටීමත් ඇතුළත්. (2) “දේවභක්තිය” ප්‍රකාශ වන ක්‍රියා එනම් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා මිනිසුන්ව ගෝලයන් කිරීම වැනි කාර්යයන්වල අප වැඩි වැඩියෙන් හවුල් විය යුතුයි. (3) මේ ලෝකය සමඟ කටයුතු කරද්දී අපගේ හැසිරීම “නිකැළැල්ව” පවත්වාගෙන යෑමට අවශ්‍යයි. (4) අප “නොකිලිටිව” කටයුතු කළ යුතුයි. එනම් අප කරන කියන සෑම දෙයක්ම පවිත්‍ර චේතනාවෙන් කළ යුතුයි. (5) අප දෙවි සමඟත් අපගේ සෙසු ඇදහිලිවන්තයන් මෙන්ම සෙසු මිනිසුන් සමඟත් “සමාදානයෙන්” සිටීමට වැයම් කළ යුතුයි.