Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු!

යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු!

යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු!

“අපි අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලේටම ගමන් කරන්නෙමු.”—මීකා 4:5, NW.

1. මීකා තුනේ සිට පස්වන පරිච්ඡේදය දක්වා අන්තර්ගත වී තිබෙන පණිවිඩය මොනවාද?

යෙහෝවාට තම සෙනඟට යමක් කියන්නට තිබේ. ඒ සඳහා ඔහු සිය අනාගතවක්තෘ මීකාව යොදාගනී. වැරදි කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීම දෙවිගේ අරමුණයි. ඇදහිල්ලට එරෙහිව කැරලිගැසීම නිසා ඔහු ඊශ්‍රායෙල්ට දඬුවම් කිරීමට තීරණය කරගෙන සිටී. එහෙත්, යෙහෝවා තමන්ගේ නාමයෙන් ගමන් කරන අයට ආශීර්වාද කිරීම සන්තෝෂයට කරුණකි. මීකාගේ අනාවැකියේ තුන්වන පරිච්ඡේදයේ සිට පස්වන පරිච්ඡේදය දක්වා පැහැදිලිව ගලාගෙන යන්නේ මේ පණිවිඩයයි.

2, 3. (අ) ඊශ්‍රායෙලයේ නායකයන් විදහා පෑ යුත්තේ කිනම් ගුණාංගයද? නමුත් ඔවුන් ඇත්තටම කරමින් සිටින්නේ කුමක්ද? (ආ) මීකා 3:2, 3හි භාෂා ශෛලිය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

2 දෙවිගේ අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කරයි. “යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය [යුක්තිය NW] දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?” ඇත්තෙන්ම ඔව්! එය ඔවුන්ගේ යුතුකමයි. නමුත් ඇත්තටම ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද? මීකා මෙසේ පවසයි. “නුඹලා යහපතට ද්වේෂ කොට නපුරට ප්‍රේම වන්නහුය. නුඹලා ඔවුන්ගෙන් ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංසද ගලවන්නහුය. එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය. ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගලවන්නෝය. ඔවුන්ගේ ඇටද පොඩි කර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.”—මීකා 3:1-3.

3 පාලකයන් පීඩා කරන්නේ දිලිඳුන්ට මෙන්ම අසරණයන්ටයි! භාවිත කෙරෙන මෙම වාක්‍යාලංකාර මීකාට සවන් දෙන අයට පහසුවෙන් වැටහේ. මරා ඇති බැටළුවෙක් තම්බා පිළියෙළ කරන විට, පළමුව හම ගසනු ලැබ පසුව ශරීර කොටස් ගලවා දමනු ලැබේ. සමහරවිට ඇට කටු කඩා ඇට මිදුලු එළියට ගනු ලැබේ. මාංසය හා ඇට එකට විශාල භාජනයක දමා තම්බන්නේ හරියට මීකා විසින් සඳහන් කළ කටාරමේ මෙනි. (එසකියෙල් 24:3-5, 10) මෙම නපුරු පාලකයන්ගේ අත්වලින් වධවේදනා විඳින මිනිසුන්ගේ ගාවිනාව ගැන කියාපාන මෙය මොනතරම් උචිත නිදර්ශනයක්ද!

අප යුක්තිය ඉටු කිරීම යෙහෝවා බලාපොරොත්තු වෙයි

4. යෙහෝවා සහ ඊශ්‍රායෙලයේ නායකයන් අතර තිබෙන්නේ කිනම් වෙනසක්ද?

4 ප්‍රේමණීය එඬේරා වන යෙහෝවා සහ මේ කෲර පාලකයන් අතර තිබෙන වෙනස අහසට පොළොව මෙනි. ඔවුන් යුක්තිය ඉෂ්ට නොකරන නිසා, තම රැළ ආරක්ෂා කරගැනීමට තමන්ට දී ඇති පැවරුම ඉටු කරන්නට ඔවුහු අපොහොසත් වෙති. ඒ වෙනුවට, ඔවුන් කරන්නේ මෙම සංකේතමය බැටළුවන්ව සූරා කෑමයි. එමෙන්ම ඔවුන්ට යුක්තිය ඉටු නොකරමින්, මීකා 3:10හි සඳහන් හැටියට “ලේ වැගිරීමේ ක්‍රියාවලට” ඔවුන්ව ලක් කිරීමයි. අපට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

5. යෙහෝවා තම ජනයා අතර පෙරමුණ ගන්නා අයගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

5 දෙවිගේ සෙනඟ අතර පෙරමුණ ගන්නා අය විසින් යුක්තිය ඉටු කිරීම දෙවි බලාපොරොත්තු වෙයි. අද දින යෙහෝවාගේ සේවකයන් සම්බන්ධයෙන් මෙය සැබෑවක් බව අපට පෙනේ. ඊටත් වඩා, මෙය යෙසායා 32:1ට එකඟයි. එහි අපට කියවීමට තිබෙන්නේ මෙයයි. “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය. අධිපතීහුද දැහැමින් [යුක්තියෙන්, NW] අධිපතිකම් කරන්නෝය.” නමුත්, මීකාගේ දවසේදී අපට දැකගත හැක්කේ කුමක්ද? ‘යහපතට ද්වේෂ කොට නපුරට ප්‍රේම කළාවූ’ අය දිගින් දිගටම යුක්තිය කණපිට පෙරළූ බවය.

පිළිතුරු ලැබෙන්නේ කාගේ යාච්ඤාවලටද?

6, 7. මීකා 3:4හි කැපීපෙනෙන්නට සලස්වා ඇත්තේ කිනම් වැදගත් කරුණද?

6 මීකාගේ සමකාලීනයන්ට යෙහෝවාගේ අනුග්‍රහය අපේක්ෂා කළ හැකිද? ඇත්තවශයෙන්ම නැත! මීකා 3:4හි ප්‍රකාශ කරන්නේ මෙසේයි. “ඔව්හු යෙහෝවාට මොරගසන්නෝය. නමුත් ඔහු ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමුන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නේය.” මේ තුළින් ඉතා වැදගත් වූ කරුණක් ඉස්මතු කරයි.

7 අප පුරුද්දක් ලෙස පව් කරනවා නම්, යෙහෝවා අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැත. මෙය සහතිකවම සැබෑවක් වෙන්නේ දෙවිට විශ්වාසවන්ත ලෙස සේවය කරන බවට බොරුවට මවා පාමින් වැරදි සඟවාගෙන අප දෙබිඩි ජීවිතයක් ගත කරන විටය. ගීතාවලිය 26:4ට අනුව, දාවිත් ගී ගැයුවේ මෙලෙස කියමිනි. “මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් [එනම්, තමා සැබවින්ම කෙබඳු අයදැයි සඟවන්නාවූ අය, NW] සමඟද නොයමි.” යෙහෝවාගේ වචනය හිතාමතා උල්ලංගනය කරන අයගේ යාච්ඤාවලට යෙහෝවා සවන් දෙන්නේ ඊටත් වඩා කොපමණ අඩුවෙන්ද!

දෙවිගේ ශුද්ධාත්මයෙන් බලවත් වී

8. මීකාගේ කාලයේ විසූ බොරු අනාගතවක්තෲන්ට අනතුරු අඟවනු ලැබුවේ කුමක් ගැනද?

8 ඊශ්‍රායෙල්හි ආත්මික නායකයන් අතර මොනතරම් පහත් නරක ක්‍රියා පැතිර තිබෙනවාද! බොරු අනාගතවක්තෲහු දෙවිගේ සෙනඟව ආත්මිකව මුළා කරති. ගිජු මිනිස්සු “සමාදානය!” යයි මොරගසති. නමුත් ‘තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරති.’ එමනිසා යෙහෝවා මෙසේ කියයි. “නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑ වෙනවා ඇත. පේන කීමක් නැතුව නුඹලාට අන්ධකාර වෙනවා ඇත. අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත. දවාලද ඔවුන්ට උඩින් කළුවර වෙනවා ඇත. දර්ශනකාරයන් ලජ්ජාවටත් පේන කියන්නන් වියවුල්කමටත් පැමිණ, . . . ඔවුන් සෑමදෙනාම තමුන්ගේ තොල් [උඩු රැවුල, NW] වසාගන්නවා ඇත.”—මීකා 3:5-7.

9, 10. ‘උඩු රැවුල වසාගැනීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එවන් දෙයක් කිරීමට මීකාට කිසිදු හේතුවක් නැත්තේ මන්ද?

9 “උඩු රැවුල වසාගන්නවා ඇත.” ඒ ඇයි? මීකාගේ කාලයේ විසූ දුෂ්ටයන් ලජ්ජාව නිසා කළ දෙයකි මෙය. මේ නපුරු මිනිසුන් ලජ්ජා විය යුතුයි. ඔවුන්ට ‘දෙවිගෙන් කිසි උත්තරයක් නැත.’ (මීකා 3:7ආ) කිසිම දුෂ්ට උඩඟු පුද්ගලයෙකුගේ යාච්ඤාවලට යෙහෝවා කොයි ලෙසකින්වත් අවධානය දෙන්නේ නැත.

10 ‘උඩු රැවුල වසාගැනීමට’ මීකාහට කිසිදු හේතුවක් නැත. ඔහු ලජ්ජාවෙන් නොසිටී. යෙහෝවා ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දෙයි. මීකා 3:8හි ඇදහිලිවන්ත අනාගතවක්තෘවරයා පවසන දේ සැලකිල්ලට ගන්න. “එහෙත්, මම . . . යෙහෝවාගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.” තමාගේ විශ්වාසවන්ත දේවසේවය තුළ දිගු කලක් පුරා මීකා “යෙහෝවාගේ ආත්මය ඇතුව බලයෙන්ද යුක්තියෙන්ද” පිරී සිටීම ගැන ඔහු කොතරම් ස්තුතිවන්ත වෙනවාද! එමෙන්ම මෙය ඔහුට “යාකොබ්ට ඔහුගේ වරදත් ඊශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට” අවශ්‍ය ශක්තිය ලබා දී ඇත!

11. දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට මිනිසුන්ට බලය ලැබෙන්නේ කෙසේද?

11 දෙවිගේ විනිශ්චය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරන්නට මිනිස් ශක්තියට වඩා වැඩි යමක් මීකාට අවශ්‍යයි. යෙහෝවාගේ ආත්මය හෙවත් ප්‍රබල ක්‍රියාකාරී බලය අතිශයින් වැදගත්ය. එසේනම්, අප ගැන කුමක් කිව හැකිද? අපගේ දේශනා බලපැවරුම අපට ඉෂ්ට කළ හැක්කේ යෙහෝවා සිය ශුද්ධාත්මය මාර්ගයෙන් අපව ශක්තිමත් කළහොත් පමණි. අප හිතා මතා පුරුද්දක් ලෙස පව් කරනවා නම් දේශනා කිරීමට අප ගන්නා වෑයම නිෂ්ඵල වෙනවා සිකුරුයි. ඒ වගේම දෙවිගේ වැඩ කටයුතු කිරීම සඳහා ශක්තිය ඉල්ලා අප කරන යාච්ඤාවලට දෙවි අපට පිළිතුරු දෙන්නේද නැත. “යෙහෝවාගේ ආත්මය” අප කෙරෙහි රඳන්නේ නැත්නම් අපගේ පියාණන්ගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන්නට අපට කොහොමටවත් බැරිය. ඇහුම්කන් දෙන ලද යාච්ඤා තුළිනුත් ශුද්ධාත්මයේ උපකාරය මගිනුත් අපට මීකා මෙන් දෙවිගේ වචනය ධෛර්යයෙන් යුතුව කතා කරන්නට පුළුවනි.

12. යේසුස්ගේ මුල් ගෝලයන්ට ‘දේවවචනය නිර්භීතව කතා කිරීමට’ හැකි වූයේ කෙසේද?

12 සමහරවිට ක්‍රියා 4:23-31හි [NW] සඳහන් වාර්තාව ඔබට මතක ඇති. ඔබ පළමු සියවසේ විසූ යේසුස්ගේ ගෝලයන්ගෙන් එක් කෙනෙක් කියා සිතන්න. උන්මත්තක ලෙස හිංසා පීඩා කරන්නෝ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගේ කටවල් පියවීමට මාන බලමින් සිටිති. නමුත් මෙම පක්ෂපාත අය තමන්ගේ පරමාධිපති ස්වාමීන්ට යාච්ඤා කරන්නේ මෙසේ අයදිමිනුයි. “යෙහෝවා, ඔවුන්ගේ තර්ජන දෙස බලා සම්පූර්ණ නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න.” මෙහි ප්‍රතිඵලය කුමක් වීද? ඔවුන් යාච්ඤා කරන විට, ඔවුන් රැස්ව සිටි ස්ථානය සෙලවෙයි. එවිට ඒ හැමදෙනාම ශුද්ධාත්මයෙන් පිරී දෙවිගේ වචනය නිර්භීතව කතා කරති. එමනිසා, අපිත් අපගේ දේවසේවයේ යෙදෙද්දී යාච්ඤාව තුළින් දෙවිගේ උපකාරය පතා ඔහුගේ ශුද්ධාත්මය මත රඳා සිටිමු.

13. යෙරුසලමට හා සමාරියට කුමක් සිදු වේවිද? ඒ මන්ද?

13 මීකාගේ දවස ගැන යළිත් සිතන්න. මීකා 3:9-12ට [NW] අනුව, ලේ වරදට හසු වූ පාලකයන් විනිශ්චය කරන්නේ අල්ලසටයි. පූජකයන් උගන්වන්නේ කුලියටයි. බොරු අනාගතවක්තෲන් පේන කියන්නේ මුදලටයි. යූදාහි අගනුවර වන යෙරුසලම “නටඹුන් ගොඩක් බවට පත් වන” බව දෙවි ප්‍රකාශ කිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත! ඊශ්‍රායෙල්හි සහ යූදාහි බොරු වන්දනාව හා සදාචාර පිරිහීම දක්නට තිබෙන බැවින් දෙවි විසින් සමාරිය “නටඹුන් ගොඩක්” බවට පත් කරනු ඇති බවට අනතුරු අඟවන්ට මීකා දේවානුභාවය ලැබුවේය. (මීකා 1:6) ඇත්තවශයෙන්ම, ක්‍රි.පූ. 740දී ඇසිරියානුවන් අතින් කළ සමාරියේ විනාශය දකින්නට ඔහු ජීවත් වෙනවා ඇති. (2 රාජාවලිය 17:5, 6; 25:1-21) යෙරුසලමට හා සමාරියට එරෙහිව මෙම ප්‍රබල පණිවිඩයන් ඉදිරිපත් කළ හැක්කේ යෙහෝවාගේම ශක්තියෙන් බව මනාව පැහැදිලියි.

14. මීකා 3:12හි වාර්තා වී ඇති අනාවැකිය ඉෂ්ට වූයේ කෙසේද? එය අපට බලපෑ යුත්තේ කෙසේද?

14 යෙහෝවාගේ අප්‍රසාදය පළ කරන විනිශ්චයෙන් ගැලවෙන්නට යූදාට නොහැකි බව සහතිකයි. මීකා 3:12හි වාර්තා වී ඇති අනාවැකියේ ඉටුවීමක් ලෙස සියොන් “කෙතක් මෙන් හානු ලබන්නේය.” අප දැන් 21වන සියවසේ සිට බලන කල, මේ දේවල් සිදු වුණේ ක්‍රි.පූ. 607දී බැබිලෝනියයන් විසින් යූදා සහ යෙරුසලම මත විනාශය ගෙනා විට බව අපි දනිමු. මේවා සිදු වුණේ මීකා අනාගතවාක්‍ය කියා වසර ගණනාවක් ගත වූවායින් පසුවයි. නමුත් එය පැමිණෙමින් තිබූ බවට ඔහුට ස්ථිරභාවයක් තිබිණි. දැන් පවතින මේ දුෂ්ට සමාජ ක්‍රමයත් පුරෝකථනය කළ අන්දමටම ‘යෙහෝවාගේ දවසේදී’ නිමාවට පත් වේය කියා අපද නිසැකව සිටිය යුතුමය.—2 පේතෘස් 3:11, 12.

යෙහෝවා කාරණා නිවැරදි කරයි

15. ඔබේම වචනවලින් ඔබ මීකා 4:1-4හි වාර්තා කර ඇති අනාවැකිය විස්තර කරන්නේ කෙසේද?

15 ආපසු හැරී බලන කල, මීකා ඉතා චමත්කාරජනක ලෙස බලාපොරොත්තුවේ පණිවිඩයක් ඊළඟට ඉදිරිපත් කරන බව අපට පෙනේ. අපට මීකා 4:1-4හි මොනතරම් හද උණුසුම් කරවන වචන කිහිපයක් දැකගන්නට පුළුවන්ද! මීකා එහි කොටසක මෙසේ කියයි. “මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස් වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය. . . . ඔහු බොහෝ ජනයන් අතරේ විනිශ්චය කොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියන්නේය; ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත. තවද ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.”

16, 17. මීකා 4:1-4 අද දින ඉෂ්ට වනු ඇත්තේ කෙසේද?

16 මෙහි සඳහන් වී ඇති “බොහෝ ජනයන්” සහ “බලවත් ජාතීන්” කවුරුන්ද? ඔවුන් වනාහි මේ ලෝකයේ ජාතීන් සහ ආණ්ඩු නොවේ. ඒ වෙනුවට, මෙම අනාවැකිය අදාළ වෙන්නේ සැබෑ නමස්කාරය නමැති යෙහෝවාගේ කන්දේ පරිශුද්ධ සේවය තුළ එක්සත් වී සිටින්නාවූ, විවිධ ජාතීන්ගෙන් පැමිණි පුද්ගලයන්ටයි.

17 මීකාගේ අනාවැකියට එකඟව යෙහෝවාට කරන පවිත්‍ර නමස්කාරය ළඟදීම ලෝක ව්‍යාප්තව පූර්ණ අර්ථයකින් පොළොව මත ක්‍රියාත්මක වේවි. දැන් පවා, “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයට යෙහෝවාගේ මාර්ග උගන්වනු ලැබේ. (ක්‍රියා 13:48, NW) රාජ්‍යය උදෙසා ස්ථාවරයක් ගන්නාවූ ඇදහිලිවන්තයන් වෙනුවෙන් යෙහෝවා ආත්මික වශයෙන් විනිශ්චය කොට, තීන්දුව කියයි. ඔවුන් “මහත් සමූහයේ” කොටසක් වශයෙන් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වනු ඇති. (එළිදරව් 7:9, 14) තමුන්ගේ කඩුවලින් හීවැල් තළාගෙන තිබෙන නිසා ඔවුන් අද දින පවා යෙහෝවාගේ සෙසු සාක්ෂිකරුවන් සහ තවත් අය සමඟ ජීවත් වන්නේ සාමයෙන්ය. ඔවුන් අතර සිටීම මොනතරම් ප්‍රීතියක්ද!

යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමට අදිටන් කරගෙන

18. ‘තමන්ගේම මිදිවැල හා අත්තික්කා ගස යට වාසය කිරීම’ කීමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?

18 මුළු පොළොව පුරා ඝනාන්ධකාරය රජයන මේ කාලයේදී, බොහෝදෙනෙකු යෙහෝවාගේ මාර්ග ඉගෙනගන්නවා දැකීම අපට ඉමහත් සතුටකි. දෙවිට ප්‍රේම කරන එවැනි අය තවත් යුද්ධ ඉගෙන නොගන්නවා පමණක් නොව දැන් අත ළඟටම පැමිණ තිබෙන තමන්ගේම මිදිවැල හා අත්තික්කා ගස යට වාසය කරන්නාවූ කාලය දෙස අපි ඉතා ආශාවෙන් බලා සිටින්නෙමු. අත්තික්කා ගස් බොහෝ විට වගා කර තිබෙන්නේ මිදි වතුවලයි. (ලූක් 13:6) තමාගේම අත්තික්කා ගස යට වාඩි වී සිටීමෙන් සංකේතවත් කරන්නේ සාමකාමී, සෞභාග්‍යවත් මෙන්ම සුරක්ෂිත තත්වයකි. දැන් පවා යෙහෝවා සමඟ අපට තිබෙන සම්බන්ධය නිසා අපට මනසේ සමාදානයද ආත්මික සුරක්ෂිතභාවයද ලැබී තිබේ. රාජ්‍ය පාලනය යටතේ එවන් තත්වයන් පවතින විට, අප කිසි භයක් නැතුව සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතව සිටිනවා ඇත.

19. යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

19 දිව්‍ය අනුග්‍රහය හා ආශීර්වාද ලැබීමට නම්, අප යෙහෝවාගේ නාමයෙන් ගමන් කළ යුතුයි. මෙය අපට ඉතා ප්‍රබල ලෙස මීකා 4:5හි ප්‍රකාශ කර තිබේ. අනාගතවක්තෘ ප්‍රකාශ කරන්නේ මෙසේයි. “සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය [ගමන් කරන්නෝය, NW]. අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව [ගමන් කරන්නෝය, NW].” යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීම කීමෙන් අදහස් කරන්නේ ඔහු අපගේ දෙවි බව නිකම්ම ප්‍රකාශ කිරීම පමණක් නොවේ. අප ක්‍රිස්තියානි රැස්වීම්වලදී සහභාගි වීම හා රාජ්‍ය දේශනා කිරීම වැනි දේවල නිරත වීම අතිවැදගත් වුණත්, ඊටත් වඩා දෙයක් ඊට ඇතුළත් වෙයි. අප යෙහෝවාගේ නාමයෙන් ගමන් කරමින් සිටිනවා නම් අප ඔහුට කැප වී සිටින අතර, අපගේ මුළු ආත්මයෙන්ම නැඟෙන ප්‍රේමයකින් ඔහුට සේවය කිරීමට දැඩි වෑයමක් ගනිමු. (මතෙව් 22:37) තවද ඔහුගේ සැබෑ නමස්කාරකයන් වශයෙන්, අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදහටම ගමන් කරන්නට අපි අදිටන් කරගෙන සිටිමු!

20. මීකා 4:6-13හි පුරෝකථනය කරනු ලැබුවේ කුමක්ද?

20 දැන් අපි මීකා 4:6-13හි අනාවැකිමය වචන ගැන සලකා බලමු. ‘සියොන් දුවට’ “බැබිලෝනිය” කරා වහල්භාවයට යන්නට සිදු වෙයි. ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේදී යෙරුසලමේ වැසියන්ට හරියටම සිදු වූයේ මෙයයි. කෙසේවෙතත්, ඉතිරි කොටසක් යූදාට පැමිණෙනු ඇත. සියොන් නැවත පිහිටුවීමේදී ඇගේ සතුරන්ව විනාශ කිරීමටත් යෙහෝවා වගබලා ගනීවි. මේ කාරණා මීකාගේ අනාවැකියේ අඟවා තිබේ.

21, 22. මීකා 5:2 ඉෂ්ට වූයේ කෙසේද?

21 මීකා පස්වන පරිච්ඡේදයේදී තවත් චමත්කාරජනක සිදුවීම් කිහිපයක් පුරෝකථනය කෙරේ. නිදසුනක් වශයෙන්, මීකා 5:2-4හි පවසා ඇති දෙය සැලකිල්ලට ගන්න. දෙවි විසින් පත් කරන ලද පාලකයෙකු, එනම් “නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද” වූ තැනැත්තෙකු, බෙත්ලෙහෙමෙන් පැමිණෙනු ඇති බව මීකා පුරෝකථනය කරයි. ඔහු පාලකයෙකු ලෙස “යෙහෝවාගේ බලයෙන්” රැළ පෝෂ්‍ය කරනවා ඇත. එපමණක්ද නොවේ, මෙම පාලකයා ඊශ්‍රායෙලයේ පමණක් නොව ‘පොළොවේ සීමාව දක්වා’ ශ්‍රේෂ්ඨව සිටිනවා ඇත. ඔහුගේ මේ අනන්‍යතාව සාමාන්‍ය ලෝකයාට නම් ප්‍රහේලිකාවක් විය හැකියි. නමුත් අපට නම් එය අභිරහසක් නොවේ.

22 බෙත්ලෙහෙමේ මෙතෙක් උපන් වැදගත්ම පුද්ගලයා කවුද? “පොළෝ සීමාව දක්වා උතුම්ව” සිටින පුද්ගලයා කවරෙකු වනු ඇද්ද? ඒ වෙන කවරෙකුවත් නොව, මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්ය! මෙසියස් ඉපදෙන්නේ කොහේදැයි මහා හෙරොද් උත්තම පූජකයන්ගෙන් හා ලියන්නන්ගෙන් ඇසූ විට, ඔවුන් පිළිතුරු දුන්නේ ‘යූදා දේශයේ බෙත්ලෙහෙමේ’ කියායි. මීකා 5:2හි සඳහන් වචනද ඔවුහු උපුටා දැක්වූහ. (මතෙව් 2:3-6) පොදු ජනයා අතරින් සමහරදෙනෙක්ද මේ ගැන දැන සිටියහ. මන්ද යොහන් 7:42හි [NW] සඳහන් වූයේ මෙයයි. “ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනවා කියා නොවේද?”

ජනයා සඳහා සැබෑ ප්‍රබෝධයක්

23. මීකා 5:7හි ඉටුවීමක් ලෙස දැන් සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?

23 මීකා 5:5-15හි යොමු දක්වන්නේ ඇසිරියානු ආක්‍රමණය තුළින් සිදු වන්නේ ඉතාමත් තාවකාලික ජයග්‍රහණයක් පමණක් බවයි. ඒ වගේම දෙවි බොරු ආගම මුලිනුපුටා දමා අකීකරු ජාතීන්ට එරෙහිව පියවර ගනු ඇති බවද පෙන්වා තිබේ. පසුතැවිලි වන යුදෙව් ඉතිරි කොටසක්ව යළිත් තමන්ගේ මව්බිම කරා ගෙන එන බවට මීකා 5:7හි පුරෝකථනය කරයි. නමුත් මේ වචන අපගේ කාලයටද අදාළ වෙයි. මීකා ප්‍රකාශ කරන්නේ මෙලෙසයි. “මිනිසා කෙරෙහි බලාපොරොත්තු නොවන, මිනිස් පුත්‍රයන් සඳහා බලා නොසිටින, පලා ජාති පිටට බසින වැහි බින්දු මෙන්, යාකොබ්ගේ ඉතිරි වූ අය බොහෝ ජනයන් අතරෙහි යෙහෝවාගෙන් පැමිණෙන පිනි මෙන් විය යුතුය.” මීකා මෙම අලංකාර සංකේතය යොදාගන්නේ ආත්මික යාකොබ් හෙවත් ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටස, ජනයා උදෙසා දෙවි වෙතින් පැමිණෙන ආශීර්වාදයක් වන බව පුරෝකථනය කිරීමටයි. භූමික බලාපොරොත්තුවක් ඇති යේසුස්ගේ “වෙනත් බැටළුවන්” ‘දෙවිගේ ඊශ්‍රායෙල්ගේ’ නවීන දින ඉතිරි කොටස සමඟ උරෙන් උර ගැටී කටයුතු කරන්නේ ඉමහත් සතුටකිනි. ප්‍රතිඵලයක් ලෙස මේ දෙකොට්ඨාසයම අනුන්ව ආත්මිකව ප්‍රබෝධවත් කිරීමට කටයුතු කරති. (යොහන් 10:16; ගලාති 6:16; ශෙපනියා 3:9) මේ සම්බන්ධව, මෙනෙහි කිරීමට තවත් කාරණයක් තිබේ. රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපි සියලුදෙනාම අන්‍යයන්ට සැබෑ ප්‍රබෝධයක් ගෙන දීමට වූ අපගේ වරප්‍රසාදය අප ඉතා අගේ කොට සැලකිය යුතුයි.

24. ඔබගේ සිතට කාවැදී ඇත්තේ මීකා තුන්වන පරිච්ඡේදයේ සිට පස්වන පරිච්ඡේදය දක්වා තිබෙන කවර තොරතුරුද?

24 මීකාගේ අනාවැකියේ තුන්වන පරිච්ඡේදයේ සිට පස්වන පරිච්ඡේදය දක්වා වූ කොටසින් ඔබ උකහාගෙන තිබෙන්නේ මොනවාද? සමහරවිට මෙවැනි කරුණු විය හැකියි. (1) දෙවි සිය ජනයා අතර සිටින වගකීම් දරන අය විසින් යුක්තිය ඉෂ්ට කරනු ලබන බවට බලාපොරොත්තු වෙයි. (2) අප පසුතැවිලි නොවී පුරුද්දක් ලෙස පව් කරනවා නම් යෙහෝවා අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ නැත. (3) අපගේ දේශනා කිරීමේ වැඩය ඉෂ්ට කළ හැක්කේ දෙවි සිය ශුද්ධාත්මය ලබා දී අපව ශක්තිමත් කළහොත් පමණයි. (4) දිව්‍ය අනුමැතිය භුක්ති විඳීමට නම් අප යෙහෝවාගේ නාමයෙන් ගමන් කළ යුතුයි. (5) රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන්, ජනයාට සැබෑ ප්‍රබෝධය ගෙන ඒමේ අපගේ වරප්‍රසාදය ඉතා අනර්ඝ දෙයක් ලෙස අගය කළ යුතුයි. වෙනත් තොරතුරුද ඔබේ සිත් ගත්තා විය හැකියි. නමුත් බයිබලයේ මෙම අනාවැකිමය පොතෙන් අපට තවත් ඉගෙනගත හැක්කේ මොනවාද? මීකාගේ ඇදහිල්ල ශක්තිමත් කරවන අනාවැකියේ අන්තිම පරිච්ඡේද දෙකෙන් මීකා 6, 7 අපට උගත හැකි ප්‍රායෝගික පාඩම් ගැන අපට ඊළඟ ලිපියෙන් පැහැදිලි කෙරේ.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ ජනයා අතර පෙරමුණ ගන්නා අයගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

• යෙහෝවාට අප කරන සේවයේදී යාච්ඤාව සහ ශුද්ධාත්මය වැදගත් වන්නේ මන්ද?

• ජනයා ‘යෙහෝවාගේ නාමයෙන් ගමන් කරන්නේ’ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

කටාරම සම්බන්ධ මීකාගේ උපමාව පැහැදිලි කිරීමට ඔබට හැකිද?

[16වන පිටුවේ පින්තූර]

මීකා මෙන් අපත් අපගේ දේවසේවය ධෛර්යවත්ව ඉටු කරමු