ශෙපනියා 3:1-20

3  කෲර ලෙස අධිපතිකම් කරන කැරලිකාර වූ දූෂිත නගරයට දුක් වේ!+  ඇය අකීකරුය.+ හික්මවීම පිළි නොගන්නීය.+ ඇය ඇගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ දැරුවේවත් නැත.+  ඇගේ පාලකයන් ගොරවන සිංහයන් මෙනි.+ ඇගේ විනිශ්චයකරුවන්, ඊළඟ දවසට කිසිවක් ඉතුරු නොකර ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දමන රාත්‍රියේ සැරිසරන වෘකයන් මෙනි.+  ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහීන් ලෙස කටයුතු කරන අහංකාර පුරුෂයෝය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙසන්නෝය. ඔවුහු නීතිය කඩ කරන්නෝය.+  එහෙත් යෙහෝවා දෙවි සැමවිටම ඔහුගේ සෙනඟ සමඟ ධර්මිෂ්ඨ ලෙස කටයුතු කළේය.+ ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකළේය.+ ඔහු සෑම උදෑසනකම+ නොවරදවාම ඔවුන්ට ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නේය.+ එහෙත් අධර්මිෂ්ඨ අය කිසිම ලැජ්ජාවක් නැතුව+ දිගටම අධර්මිෂ්ඨකම් කළෝය.  “මම ජාතීන්ව විනාශ කර දැමුවෙමි. ඔවුන්ගේ උස් බලකොටු* පාළු වී ගියේය. මංමාවත් විනාශ වී ගියේය. ඔවුන්ගේ නගරවල ඉතුරු වූයේ නටබුන් පමණි.+  එවිට ඇගේ වාසස්ථානය විනාශ නොවන පිණිස,+ ‘මා කෙරෙහි ගරුබියක් ඇතුව, මාගේ හික්මවීම පිළිගන්න’+ කියා මම ඇයට ආයාචනා කළෙමි. එහෙත් ඇගේ සිත ඇදී ගියේ දූෂිත දේ වෙතටමය.+ ඇය කළ හැම පාපයකටම ඇය මට ගණන් දිය යුතුයි.”+  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+  ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.+ එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත්+ එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.”+ 10  “ඉතියෝපියාවේ ගංගා දක්වාම විසිරී සිටින මාගේ සෙනඟ මට තෑග්ගක් රැගෙන එනු ඇත.+ 11  උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+ 12  යටහත්පහත්, නිහතමානී අය පමණක් ඔබ අතරේ ඉතුරු වන්නෝය.+ ඔවුහු යෙහෝවා යන මාගේ නාමය තම රැකවරණය කරගන්නෝය.+ 13  ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අය+ අධර්මිෂ්ඨකම් කරන්නේවත්+ බොරු කියන්නේවත් නැත.+ අන් අයව රවටන කිසිවෙක්ද ඔවුන් අතරේ සිටින්නේ නැත.+ ඔවුහු හොඳින් පෝෂණය වී කිසිවෙකුට බිය නොවී+ විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.”+ 14  සියොන් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+ ඊශ්‍රායෙල්, සතුටින් පිනා යන්න! යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+ 15  යෙහෝවා දෙවි ඔබට දුන් දඬුවම දැන් අවසන් වී ඇත.+ ඔහු ඔබේ සතුරාව පන්නා දැමුවේය.+ ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝවා දෙවි දැන් ඔබ සමඟය.+ ඔබ යළි කිසිදා විපත්තිවලට බිය වන්නේ නැත.+ 16  ඒ දවසේදී යෙරුසලමට මෙසේ කියනු ලබයි. “සියොන් දියණිය, භය නොවන්න.+ ඔබේ දෑත් සවිමත් කරගන්න.*+ 17  ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත. 18  “ඔබේ උත්සවයන්ට සහභාගි වීමට නොහැකිව ශෝකයෙන් සිටින අයව+ මම එක් රැස් කරන්නෙමි.+ ඔවුන්ට ඔබ ළඟට ඒමට නොහැකි වූයේ ඔවුන් අන් දේශයක නින්දා විඳිමින් සිටි නිසයි.+ 19  ඒ කාලයේදී ඔබට පීඩා කරන අයට විරුද්ධව මම ක්‍රියා කරන්නෙමි.+ කොරගසමින් සිටින සෙනඟව ගලවාගන්නෙමි.+ දසත විසිර සිටින සෙනඟව මම එකට එකතු කරන්නෙමි.+ ඔවුහු තමන් නින්දාවට ලක් වූ දේශයේදීම සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක් වනු ඇත. සියලුදෙනා ඉදිරියේ හොඳ නාමයකුත් මම ඔවුන්ට ලබා දෙන්නෙමි. 20  ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+

පාදසටහන්

ශෙප 1:16හි පාදසටහන බලන්න.
මූ.අ., “සැලෙන්න එපා.”