Skip to content

පටුනට යන්න

මගේ දරුවා පාසැල් යා යුතුද?

මගේ දරුවා පාසැල් යා යුතුද?

මගේ දරුවා පාසැල් යා යුතුද?

මේ පිටුවේ සඳහන් වචන ඔබට කියවන්න බැරි නම් ඔබට කොහොම හැඟෙයිද? ඔබේ රටේ නිල භාෂාව ඔබට කතා කරන්න බැරි නම්? ලෝක සිතියමේ ඔබේ රට තියෙන තැන හොයාගන්න බැරි නම්? ගණන් කළ නොහැකි තරම් දරු දැරියන් සංඛ්‍යාවක් සිටින්නේ මෙවැනි තත්වයකයි. ඔබේ දරුවා ගැන කුමක් කිව හැකිද?

ඔබේ දරුවා පාසැල් යා යුතුද? බොහෝ රටවල ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලැබිය යුතු අතර බොහෝවිට එය නොමිලේ ලබාගත හැකි වෙයි. ළමා අයිතීන් පිළිබඳ සමුළුවට අනුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්පාදනය කර තිබෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව පාසැල් අධ්‍යාපනයක් ලැබීම දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සැලකේ. කෙසේවෙතත්, සමහර රටවල නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නොමැති අතර දෙමව්පියන්ට ළමයින්ව පාසැල් යැවීම ආර්ථික වශයෙන් බරක් විය හැකියි. අපි දැන් මේ කාරණය ක්‍රිස්තියානි දෙමව්පියන්ගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බලමු. ඔවුන් කැමති වන්නේ පාසැල තුළින් හෝ වෙනත් මාර්ගයකින් තම දරුවන් සාක්ෂරතා දැනුම ලබාගන්නවා දැකීමටයි.

බයිබල් කාලවල සාක්ෂරතාව

බයිබලයේ සඳහන් දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකුට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණා. යේසුස්ගේ ගෝලයන් වන පේතෘස් හා යොහන් යුදෙව් ජාතික මසුන් මරන්නන් වුවද ඔවුන් බයිබල් පොත් ලිව්වේ ඔවුන් භාවිත කළ ගලීල උපභාෂාවෙන් නොව ග්‍රීක් භාෂාවෙනුයි. * ඔවුන්ගේ දෙමව්පියන් තම දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලබා දීමට වගබලා ගත් බව පැවසිය හැකියි. අනෙකුත් බයිබල් පොත් ලියූ අය අතර එඬේරෙක් වූ දාවිත්, කෘෂිකර්මාන්තයේ නියැලුණු ආමෝස් සහ වඩු කර්මාන්තයේ නිරත වූවායයි බොහෝදුරට සිතිය හැකි යේසුස්ගේ අර්ධ සහෝදර වූ යූද් යන අය සඳහන් කරන්න පුළුවන්.

යෝබ් නමැති මිනිසාට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණා පමණක් නොව යෝබ්ගේ පොතේ කරුණු සලකා බලද්දී පැහැදිලි වන්නේ ඔහුට විද්‍යාව පිළිබඳවත් යම් දැනුමක් තිබුණු බවයි. ඔහුට භාෂාමය පැත්තෙන් යම් දක්ෂතාවක් තිබුණා කියා විශ්වාස කළ හැක්කේ යෝබ් පොතේ උපුටා දක්වා ඇති ඔහුගේ සමහරක් වදන් කාව්‍යමය ශෛලියෙන් ලියා තිබෙන නිසයි. තවද මුල් ක්‍රිස්තියානීන්ට සාක්ෂරතා හැකියාවක් තිබුණු බව අප දන්නේ සොයාගන්නා ලද වළං කැබලිවල ඔවුන් ඇතැම්විට ශුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් ගත් කෙටි සටහන් සඳහන්ව තිබෙන නිසයි.

ක්‍රිස්තියානීන් අධ්‍යාපනය ලැබීම වැදගත්

දෙවිව සතුටු කිරීමට නම් සියලුම ක්‍රිස්තියානීන් බයිබලය පිළිබඳ දැනුම වර්ධනය කරගත යුතුයි. (පිලිප්පි 1:9-11; 1 තෙසලෝනික 4:1) බයිබලය හා බයිබලය මත පදනම් පොත් පත් උද්‍යෝගයෙන් අධ්‍යයනය කිරීමෙන් ආත්මික ප්‍රගතියක් ලබාගත හැකියි. දෙවි ඔහුගේ වචනය ලිඛිතව ලබා දීමේදී බලාපොරොත්තු වූයේ ඔහුට නමස්කාර කරන්නන් හැකි පමණින් සාක්ෂරතා හැකියාව දියුණු කරගැනීමයි. බයිබලය කියවා තේරුම්ගැනීමේ හැකියාව වැඩි වන තරමට එහි උපදෙස් අදාළ කරගැනීමද පහසු වෙයි. කෙසේවෙතත් එහි කොටස් සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන මෙනෙහි කිරීමට නම් ඒ කොටස් එක වතාවකට වඩා කියවීම අවශ්‍ය විය හැකියි.—ගීතාවලිය 119:104; 143:5; හිතෝපදේශ 4:7.

‘විශ්වාසවන්ත නුවණ ඇති දාස’ පන්තියේ අධීක්ෂණය යටතේ සෑම අවුරුද්දකම යෙහෝවාගේ සෙනඟට ලිඛිතව සකසන ලද ප්‍රයෝජනදායක පිටු සිය ගණන් ලැබෙනවා. (මතෙව් 24:45-47) එම පොත් පත්වල පවුල් ජීවිතය, චාරිත්‍ර වාරිත්‍ර, ආගම, විද්‍යාව සහ වෙනත් බොහෝ විෂයන් ගැන සාකච්ඡා කර තිබෙනවා. වඩා වැදගත් ලෙස ශුද්ධ ලියවිලි මත පදනම් වූ ආත්මික උපදෙස් ඒවායේ අඩංගු වෙනවා. ඔබේ දරුවන්ට කියවීමේ හැකියාව නැත්නම් මෙවැනි අතිවැදගත් තොරතුරු ලබාගැනීමට ඔවුන්ට නොහැකි වෙයි.

මිනිස් ඉතිහාසය ගැන ඉගෙනගැනීම වැදගත් වන්නේ දේවරාජ්‍යයක අවශ්‍යතාව වඩාත් හොඳින් තේරුම්ගැනීමට එය උපකාරවත් වන නිසායි. භූගෝලය ගැන මූලික දැනුමක් තිබීමද වැදගත්. ඊශ්‍රායෙලය, ඊජිප්තුව සහ ග්‍රීසිය වැනි බොහෝ ස්ථාන ගැන බයිබලයේ සඳහන් වෙනවා. මේ ස්ථාන ලෝක සිතියමක සොයාගන්න ඔබේ දරුවාට පුළුවන්ද? ඔහු ජීවත් වන රට ඔහුට සොයාගන්න පුළුවන්ද? කෙනෙකුට සිතියමක් කියවා තේරුම්ගත නොහැකි නම් ඔහුට යම් ප්‍රදේශයක දේවසේවය කිරීමට පවරනු ලැබූ විට එය ඉටු කිරීමේ හැකියාව සීමා විය හැකියි.—2 තිමෝති 4:5.

සභාවේ වරප්‍රසාද

ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට කියවීම හා සම්බන්ධ වගකීම් රාශියක් තිබෙනවා. උදාහරණයකට රැස්වීමේ කොටස් සූදානම් වෙන්න අවශ්‍යයි. සභාවේ පොත් පත් හා ලැබෙන පරිත්‍යාග පිළිබඳ වාර්තා පිළියෙළ කරන්න තිබෙනවා. මූලික අධ්‍යාපනයක් නැතිව කෙනෙකුට මෙම වගකීම් සාර්ථකව ඉටු කිරීම අසීරු වෙනවා.

ස්වේච්ඡා සේවකයන් ලෝකය පුරා තිබෙන බෙතෙල් ගෘහවල සේවය කරනවා. මෙම ස්වේච්ඡා සේවකයන්ට හොඳින් අදහස් හුවමාරු කරගැනීම සඳහාත්, පොත් පත් පරිවර්තනය කිරීම සහ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම වැනි ඔවුන්ගේ වගකීම් හරියාකාරව ඉටු කිරීම සඳහාත් තමන්ගේ රටේ නිල භාෂාව හොඳින් කියවීමේ හා ලිවීමේ හැකියාව තිබිය යුතුයි. ඔබේ දරුවන්ට මෙවැනි වරප්‍රසාද කවදා හෝ අත් කර දීමට නම් ඔවුන්ට මූලික අධ්‍යාපනයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඔබේ දරුවා පාසැල් යා යුතු වීමට බලපාන තවත් සමහර ප්‍රායෝගික හේතු මොනවාද?

දිලිඳුකම සහ මිථ්‍යා විශ්වාස

දිලිඳුකමින් දිවි ගෙවන සමහර අය ඇතැම් අවස්ථාවලදී කිසි දෙයක් කර කියාගත නොහැකි අසරණ තත්වයක සිටිනවා විය හැකියි. නමුත් තවත් අවස්ථාවලදී ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා තිබීම අපේ දරුවන්ටත් අපටත් අනවශ්‍ය කරදරවලින් ආරක්ෂා වීමට උපකාරවත් වේ. සාක්ෂරතා හැකියාව නැති ජනයාගෙන් බහුතරය ජීවිතය ගැටගසා ගන්නේ ඉතාමත් අමාරුවෙනි. දිලිඳුකම නිසා වෛද්‍ය උපකාර ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් විතරක් නොවෙයි සමහර අවස්ථාවලදී දෙමව්පියන් පවා ජීවිතක්ෂයට පත් වෙනවා. පාසැල් අධ්‍යාපනය අඩුවෙන් ලබන හෝ සම්පූර්ණයෙන්ම නොලබන අය බොහෝදුරට මන්දපෝෂණයෙන් පෙළෙන අතර ජීවත් වන්නේද පැල්පත්වලයි. මෙම තත්වයන් යටතේ අධ්‍යාපනය ලබා තිබීම නැතහොත් අඩුතරමින් කියවීමේ හෝ ලිවීමේ හැකියාව තිබීම යම් ආකාරයකට උපකාරවත් විය හැකියි.

සාක්ෂරතා හැකියාව මිථ්‍යාදෘෂ්ටික අදහස්වලට යටත් වීමේ නැඹුරුවාව අවම කිරීමටද දායක වෙයි. උගත් හා නූගත් දෙකොටසම අතර මිථ්‍යාදෘෂ්ටික අදහස් තිබෙන බව ඇත්තයි. නමුත් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා නොමැති අයව ඉක්මනින්ම රවටාගැනීමට හෝ නොමඟ යැවීමට හැකි වී තිබෙන්නේ මෙම රැවටිලි කතා හෙළි කරන තොරතුරු කියවා තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසයි. මිථ්‍යා මත බොහෝසෙයින් විශ්වාස කිරීමටත්, කට්ටාඬීන් මාර්ගයෙන් ආශ්චර්යවත් ලෙස ලෙඩ සුව කරගත හැකි බව විශ්වාස කිරීමටත් ඔවුන් වැඩියෙන් නැඹුරු වෙනවා.—ද්විතීය කථාව 18:10-12; එළිදරව් 21:8.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය රැකියාවක් කිරීමම නොවේ

වැඩිදෙනෙක් සිතන්නේ අධ්‍යාපනය ලැබීමේ මූලික පරමාර්ථය මුදල් හම්බ කිරීමයි කියා. නමුත් සමහර උගත් අය විරැකියාවෙන් සිටිනවා හෝ එහෙමත් නැත්නම් තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමසාගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් හම්බ නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දෙමව්පියන් සිතන්න පුළුවන් තමන්ගේ දරුවන්ට පාසැල් අධ්‍යාපනයක් දීමෙන් පලක් නැතැයි කියා. පාසැල් අධ්‍යාපනයෙන් ඉෂ්ට කෙරෙන්නේ මුදල් ඉපයීමේ මාර්ගයක් ඉගැන්වීමට වඩා වැඩි යමක්. ජීවිතයේ සියලුම පැති සඳහා පන්නරයක් ලබා දෙයි. (දේශනාකාරයා 7:12) යම් කෙනෙකුට රාජ්‍ය භාෂාව කතා කිරීමට, කියවීමට හා ලිවීමට හැකි නම් එය වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතුවලදී, සිවිල් පරිපාලන කටයුතුවලදී හෝ බැංකු කටයුතුවලදී පහසුවක් වන අතර එම කාර්යයන්වලදී අපහසුතාවට ලක්වීමට සිදු වන්නේද නැහැ.

සමහර රටවල අධ්‍යාපනයක් නොලත් දරුවන්ව මේසන් වැඩ කිරීම, මාළු ඇල්ලීම, මැහුම් ඉගෙනගැනීම හෝ වෙනත් ශිල්පයක් ඉගෙනගැනීම සඳහා ආධුනිකත්ව පුහුණුවක් ලබා දෙන කෙනෙකුට බාර දෙනවා. රැකියාවක් කිරීම සඳහා පුහුණුවක් ලැබීම හොඳ දෙයක්. හැබැයි මේ දරුවන් කවදාවත් පාසැල් අධ්‍යාපනයක් ලබලා නැත්නම් බොහෝවිට ඔවුන් කවදාවත් නිවැරදිව ලියන්න කියවන්න ඉගෙනගන්නේ නැහැ. වෘත්තීමය පුහුණුවක් ලබා දීමට පළමුව අධ්‍යාපනයක් ලබා දීම තුළින් අන් අයට දරුවන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම පහසු නොවන අතර දරුවන්ට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටද හැකි වෙනවාට සැකයක් නැහැ.

නාසරෙත්හි යේසුස් පෙනෙන විදියට තම සුරැකි පියා වන යෝසෙප් යටතේ ආධුනිකයෙකු ලෙස වඩු කර්මාන්තය ඉගෙනගත්තා. (මතෙව් 13:55; මාර්ක් 6:3) යේසුස්ට වයස අවුරුදු 12දී හොඳ සාක්ෂරතා හැකියාවක් තිබුණු බව පෙනී යන්නේ ඔහු උගත් මිනිසුන් සමඟ කළ අර්ථවත් සංවාදය නිසයි. (ලූක් 2:46, 47) වෘත්තීය පුහුණුවක් ලබාගැනීම වෙනත් පැතිවලින් අධ්‍යාපනයක් ලැබීම සඳහා යේසුස්ට බාධාවක් වුණේ නැහැ.

දියණියන්ටත් අධ්‍යාපනය ලබා දිය යුතුද?

දෙමව්පියන් සමහර අවස්ථාවලදී පුතුන්ව පාසැල් යවන අතර දියණියන්ට එම අවස්ථාව අහිමි කරයි. දියණියන්ට අධ්‍යාපනයක් ලබා දීමට අධික වියදමක් දැරිය යුතුයැයි සිතන දෙමව්පියන් ඔවුන්ව ගෙදර තබාගැනීමෙන් මවට ගෙදර දොරේ වැඩකටයුතු කරගැනීමට උපකාර ලබාගන්න හැකියැයි සිතනවා. නමුත් සාක්ෂරතා හැකියාව නොමැති වීම දියණියකගේ දිවියට විශාල බාධාවක්. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ප්‍රකාශනයක සඳහන් වන්නේ මෙලෙසයි. “බොහෝ අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනය දීම දුප්පත්කම තුරන් කිරීමට තිබෙන හොඳම මඟක් බවයි.” (Poverty and Children Lessons of the 90s for Least Developed Countries) උගත් ගැහැනු දරුවන් ජීවිතයේ ප්‍රශ්න ගැටලු හා කටයුතු කිරීමේදී ප්‍රඥාවන්ත තීරණ ගැනීමට හොඳින් සෑදී පැහැදී සිටින නිසා මෙය මුළු පවුලේම ශුභසිද්ධියට දායක වෙයි.

ළදරු මරණ පිළිබඳව බටහිර අප්‍රිකාවේ බෙනින්හි කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ සාක්ෂරතා හැකියාව නොමැති මව්වරුන්ගේ අවුරුදු පහට අඩු සෑම දරුවන් 1,000කින්ම 167දෙනෙක් මිය යන බවත් ද්විතීක පාසැල් අධ්‍යාපනය ලැබූ මව්වරුන්ගේ දරුවන් මිය යන සංඛ්‍යාව 38ක් බවත්ය. මේ අනුව යුනිසෙෆ් නිගමනය කර ඇත්තේ “බෙනින්වල පමණක් නොව මුළු ලෝකයේම යථාර්ථය නම් මවකගේ අධ්‍යාපන මට්ටම ළදරු මරණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බවයි.” එසේනම් ඔබේ දියණියන්ට අධ්‍යාපනය ලබා දීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කර දිය හැකියි.

සාක්ෂරතා පන්ති ප්‍රමාණවත්ද?

කියවීමට නොහැකි ප්‍රදේශවල පිහිටි සභාවල සිටින සාමාජිකයන්ට අවශ්‍යතාවක් ඇත්නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සාක්ෂරතා පන්ති පවත්වනවා. * ප්‍රයෝජනවත් වන මෙම පන්තිවලින් විශේෂයෙන්ම එම රටේ භාෂාවෙන් කියවීමට ජනයා ඉගෙනගන්නවා. මෙම පන්ති පාසැල් අධ්‍යාපනය සඳහා ආදේශකයක් ලෙස සැලකිය හැකිද? පාසැල් අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි රටවල සභාවෙන් ඔබේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියා බලාපොරොත්තු වීම සුදුසුද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සභා මට්ටමෙන් පන්ති පැවැත්වීම ඉතා ප්‍රේමණීය විධිවිධානයක් වුවත් ඒවා පවත්වන්නේ දරුවන් හැටියට පාසැල් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු වැඩිහිටියන් වෙනුවෙනුයි. සමහරවිට ඔවුන්ගේ දෙමව්පියන් සාක්ෂරතාවේ ඇති වටිනාකම නොදැන සිටියා හෝ ඒ කාලයේ පාසැල් නැති නිසා අධ්‍යාපනයක් නොලැබුවා විය හැකියි. එවැනි අයට සභා මට්ටමෙන් පවත්වන සාක්ෂරතා පන්තිවලට යෑමෙන් උපකාර ලබාගත හැකියි. මෙම පන්ති පාසැල් අධ්‍යාපනය වෙනුවට පවත්වන ආදේශ පන්තිවත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීමට සැලසුම් කළ පන්තිවත් නොවෙයි. මෙම සාක්ෂරතා පන්තිවල විද්‍යාව, ගණිතය සහ ඉතිහාසය වැනි විෂයන් උගන්වන්නේ නැහැ. බොහෝදුරට ඒවා පාසැල් විෂය මාලාවට ඇතුළත් විෂයන්.

අප්‍රිකාවේ බොහෝවිට මෙම පන්ති පවත්වනු ලබන්නේ ගෝත්‍රික භාෂාවෙන් වන අතර රාජ්‍ය භාෂාවෙන් පන්ති පැවැත්වීම අඩුයි. නමුත් පාසැල් අධ්‍යාපනය දෙනු ලබන්නේ රාජ්‍ය භාෂාවෙනුයි. වැඩිපුර පොත් පත් සහ වෙනත් සඟරා මුද්‍රණය වී තිබෙන්නේ රාජ්‍ය භාෂාවෙන් නිසා දරුවන්ට පාසැල් අධ්‍යාපනය මගින් අමතර ප්‍රයෝජන අත් කරගත හැකි වෙයි. සභාවේ පවත්වන සාක්ෂරතා පන්තිවලින් දරුවන්ගේ අධ්‍යාපනයට යම් රුකුලක් ලැබුණුද එය කිසිසේත් පාසැල් අධ්‍යාපනයේ තැන ගන්නේ නැහැ. එසේනම් පාසැල් අධ්‍යාපනයක් ලබා දීම ප්‍රායෝගික වන විටදී දරුවන්ට එම අවස්ථාව ලබා නොදෙන්නේ මන්ද?

දෙමව්පියන්ගේ වගකීමක්

සභාවේ ආත්මික අවශ්‍යතාවන් පිරිමැසීමේදී පෙරමුණගෙන කටයුතු කරන පුරුෂයන් ආදර්ශමත් වීම අපේක්ෂා කරනු ලබනවා. ඔවුන් තමන්ගේ ගෙයි වැසියන්ව හා දරුවන්ව “හොඳින් හසුරුවන” අය විය යුතුයි. (1 තිමෝති 3:4, 12, NW) “හොඳින් හසුරුවන” යන්නට ඇතුළත් වන්නේ අපේ දරුවන් අනාගතයේදී කිසි දෙයක් කර කියාගත නොහැකි තත්වයන්ට මුහුණ දීමෙන් වළක්වාගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමයි.

ක්‍රිස්තියානි දෙමව්පියන්ට දෙවි විශාල වගකීමක් පවරා තිබෙනවා. ඔවුන් තම දරුවන්ව දෙවිගේ වචනයේ ඇති උපදෙස්වලට අනුව ඇති දැඩි කරමින් ‘දැනගැන්මට ප්‍රේම කරන්නන්’ කළ යුතුයි. (හිතෝපදේශ 12:1; 22:6; එපීස 6:4) ප්‍රේරිත පාවුල් ලිව්වේ “යමෙක් තමාගේ නෑයන්ට, විශේෂයෙන් තමාගේ පවුලේ සාමාජිකයන්ටඅවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකා හැර තිබේ. ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරක වේ” කියායි. (1 තිමෝති 5:8, NW) එමෙන්ම අපේ දරුවන්ට යෝග්‍ය අධ්‍යාපනයක්ද ලබා දිය යුතුයි.

සමහර අවස්ථාවලදී පාසැල්වල අධික ළමුන් සංඛ්‍යාවක් සිටින නිසාත්, අඩු අරමුදල් ලැබෙන නිසා හෝ එසේත් නැත්නම් ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන නිසා සතුටින් වැඩ නොකරන ගුරු මණ්ඩලයක් සිටින නිසාත් බලාපොරොත්තු වන තරම් හොඳ අධ්‍යාපනයක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් පාසැලේ ඉගෙනගන්නා දේවල් කෙරෙහි දෙමව්පියන් උනන්දු වී කටයුතු කිරීම වැදගත්. ගුරුවරුන්ව දැනහඳුනා ගැනීම ප්‍රඥාවන්ත ක්‍රියා මාර්ගයක්. විශේෂයෙන්ම හැම පාසැල් වාරයක් ආරම්භයේදීම ගුරුවරුන්ව මුණගැසීමත් දරුවන් වඩා හොඳ ශිෂ්‍යයන් වීමට කළ යුතු දේවල් සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමත් යෝග්‍යයි. මෙසේ කිරීමෙන් ගුරුවරුන්ගේ සේවය අගය කරන බවක් ඔවුන්ට හැඟෙන අතර මෙමගින් දරුවන්ගේ අධ්‍යාපන ශුභසාධනය සඳහා කළ හැකි උපරිමය කිරීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති විය හැකියි.

දරුවෙකුගේ වර්ධනය සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක්. හිතෝපදේශ 10:14 පවසන්නේ “ඥානවන්තයෝ දැනගැන්ම රැස් කරගනිති” කියායි. විශේෂයෙන්ම මෙය බයිබල් දැනුම සම්බන්ධයෙන් සත්‍යයක්. යෙහෝවාගේ සෙනඟ අතරේ සිටින බාල මහලු සියලුදෙනාම හැකි තරම් දැනුම ලබාගත යුතු වන්නේ අන් අයට ආත්මිකව උපකාර කළ යුතු නිසාත් “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලැජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකාරයෙකු ලෙසද, අනුමැතිය ලැබූ තැනැත්තෙක් ලෙසද, දෙවි ඉදිරියෙහි පෙනී සිටීමට” උත්සහ කළ යුතු නිසාත්ය. (2 තිමෝති 2:15, NW; 1 තිමෝති 4:15) එහෙමනම් ඔබේ දරුවන් පාසැල් යා යුතුද? කිසිම සැකයක් නැහැ ඔබ තීරණය කරාවි ඔවුන් යා යුතුයි කියා. නමුත් ඔබේ රටේ තත්වයට අනුව වඩාත් ප්‍රායෝගික වන්නේ කවර දේද යන්න තීරණය කිරීමට ඔබට සිදු වෙයි. කෙසේවෙතත්, ‘මගේ දරුවන්ට අධ්‍යාපනයක් දිය යුතුද’ යන වඩාත් වැදගත් ප්‍රශ්නයට ක්‍රිස්තියානි දෙමව්පියන් පිළිතුරු දිය යුතුයි. ඔබ කොහේ ජීවත් වුණත් මෙම ප්‍රශ්නයට එක සිතින් ඔව් කියා පිළිතුරු දිය යුතු බවට ඔබ එකඟ වෙන්නේ නැද්ද?

[පාදසටහන්වල]

^ 5 ඡේ. ඔවුන්ගේ මව් බස ගලීලියේ උපභාෂාවක් වන ඇරමයික හෝ හෙබ්‍රෙව් උපභාෂාවක් විය හැකියි. වැඩි විස්තර සඳහා ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it, සිංහලෙන් නොමැත) නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයේ පළමුවන කාණ්ඩයේ 144-6 දක්වා පිටු බලන්න.

^ 25 ඡේ. වැඩි විස්තර සඳහා 2000 දෙසැම්බර් 22 පිබිදෙව්! සඟරාවේ 8 සහ 9 පිටු බලන්න.—සිංහලෙන් නොමැත.

[12, 13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පාසැල් යෑමට නොහැකි නම්

සමහර තත්වයන් යටතේ පාසැල් යෑම ඉතා අසීරුයි. උදාහරණයකට සරණාගතයින් (සිංහලෙන් නොමැත) නමැති සඟරාවේ වාර්තා කර තිබුණේ, සරණාගත කඳවුරුවල සිටි දරුවන්ගෙන් පාසැල් යෑමේ අවස්ථාව උදා වුණේ පස්දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බවයි. සමහර අවස්ථාවලදී ගුරු වර්ජන නිසා පාසැල් දීර්ඝ කාලයක් වසා තබනු ලබනවා. එසේ නැත්නම් පාසැල් පිහිටා තිබෙන්නේ ඉතා දුරින් විය හැකියි. නැතහොත් එම ප්‍රදේශයේ පැසැල් නොතිබෙනවා විය හැකියි. එමෙන්ම ක්‍රිස්තියානීන්ට කරන පීඩාවල ප්‍රතිඵලයක් ලෙසද දරුවන්ව පාසැලෙන් අස් කරන්න පුළුවන්.

එවැනි තත්වයන් යටතේදී ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? ඔබට දරුවන් කිහිපදෙනෙක් සිටිනවා නම් හා ඔබ ජීවත් වන ප්‍රදේශයේ හැටියට ඔවුන් හැමෝම පාසැල් යැවීමට අධික මුදලක් වැය වන නිසා එය දැරීමට ඔබට නොහැකි නම් කුමක් කළ හැකිද? ආත්මික අනතුරකට ලක් නොවන විදියට එක් දරුවෙක් හෝ දෙන්නෙක් පාසැල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට ඔබට හැකිද? එහෙමනම් ඒ දරුවන්ට පුළුවන් ඔවුන් පාසැලේ ඉගෙනගන්නා දේවල් අනිත් ළමයින්ට කියා දෙන්න.

සමහර රටවල දරුවන්ට ගෙවල්වලම උගන්වනු ලබනවා. * මෙම විධිවිධානය යටතේ මව්පියෙක් දවසකට පැය කිහිපයක් දරුවෙකුට උගන්වනවා. කුලදෙටුවන්ගේ කාලයේදී දෙමව්පියන් විසින් දරුවන්ට ඉගැන්වීමෙන් සෑහෙන්න සාර්ථකත්වයක් අද්දැක තිබෙනවා. පෙනෙන විදියට යාකොබ්ගේ පුත් යෝසෙප්ට දෙමව්පියන්ගෙන් ලැබුණු හොඳ පුහුණුව නිසා යෞවන කාලයේදීම අන් අයව අධීක්ෂණය කිරීමට ඔහුට හැකි වුණා.

අනාථ කඳවුරක් වැනි ස්ථානයක විධිමත් පාසැල් විෂය මාලාවක් හෝ ඉගැන්වීමේ වැඩසටහනක් දියත් කිරීම අසීරු වෙන්න පුළුවන්. නමුත් ඉගැන්වීම් සඳහා පදනමක් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මුදාහරින පොත් පත් යොදාගැනීමට දෙමව්පියන්ට හැකියි. කුඩා දරුවන්ට ඉගැන්වීමට මගේ බයිබල් කතන්දර පොත උපකාරවත් විය හැකියි. පිබිදෙව්! සඟරාවේ විෂයන් බොහොමයක් ගැන විවිධ තොරතුරු ඇතුළත් වෙනවා. විද්‍යාත්මක විෂයන් ඉගැන්වීම සඳහා ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත උපකාරවත් විය හැකියි. කුඩා ලෝක සිතියමක් අඩංගු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නොමැත) විවිධ රටවල ජීවන රටාවන් හා දේශනා සේවය සම්බන්ධ තොරතුරු ඇතුළත් කර තිබෙනවා.

දරුවන්ගේ වටහාගැනීමේ ශක්තියට සරිලන ලෙස හොඳින් සූදානම් වී උගන්වනවා නම් යහපත් ප්‍රතිඵල බොහොමයක් නෙළාගන්න පුළුවන්. ඔවුන් දිගටම කියවීමේ හා ඉගෙනගැනීමේ නිරත වී සිටිනවා නම් පාසැල් යෑමට අවස්ථාවක් ලැබුණු විට ඒ ජීවිතයට පහසුවෙන්ම සකස් වීමට ඔවුන්ට හැකි වෙයි. ඔබ මූලිකත්වය ගන්නවා නම් හා වෑයමක් දරනවා නම් ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට හැකි වනවා නියතයි. මෙය කොතරම් ප්‍රතිඵලදායක දෙයක් වේවිද!

[පාදසටහන]

^ 40 ඡේ. වැඩි විස්තර සඳහා 1993 ජූලි පිබිදෙව්! සඟරාවේ “නේවාසික අධ්‍යාපනය එය ඔබ සඳහාද?” යන ලිපියේ 9-12 දක්වා පිටු බලන්න.

[පින්තූරය]

ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඔබේ දරුවන්ට විධිමත් පාසැල් අධ්‍යාපනයක් ලබාගත නොහැකි නම් කුමක් කිරීමට පුළුවන්ද?