Skip to content

පටුනට යන්න

ඔබේ ඉගැන්වීම බලපෑමෙන් යුක්තද?

ඔබේ ඉගැන්වීම බලපෑමෙන් යුක්තද?

ඔබේ ඉගැන්වීම බලපෑමෙන් යුක්තද?

සෑම කෙනෙකුගෙන්ම පාහේ යම් ඉගැන්වීමක් අවශ්‍ය කෙරේ. දෙමාපියන්, වැඩිමහල්ලන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් යන සියල්ලන් ගුරුවරුන් විය යුතුය. දෙමාපියෝ තම දරුවන්ට උගන්වති. ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට වැඩිමහල්ලෝ උගන්වති. තවද ශුභාරංචිය දේශනා කරන අය උනන්දුවක් දක්වන නවකයන්ට උගන්වති. (ද්විතීය කථාව 6:6, 7; මතෙව් 28:19, 20; 1 තිමෝති 4:13, 16) ඔබේ ඉගැන්වීම වඩාත් බලපෑමෙන් යුතුව ඉදිරිපත් කිරීමට කළ හැක්කේ කුමක්ද? දේවවචනයෙහි සඳහන් දක්ෂ ගුරුවරුන්ගේ ආදර්ශ සහ ඔවුන් අනුගමනය කළ ක්‍රම අනුකරණය කිරීම එක් ක්‍රමයකි. එස්රා එවන් ගුරුවරයෙකු විය.

එස්රාගේ ආදර්ශයෙන් ඉගෙනීම

එස්රා යනු බබිලෝනියේ වසර 2,500කට පමණ පෙර ජීවත් වූ ආරොන්ගේ පෙළපතෙන් පැවතෙන පූජකයෙකි. පොදු යුගයට පෙර 468 වසරේදී යෙරුසලමෙහි විසූ යුදෙව්වන් අතර නිර්මල නමස්කාරය පිහිටුවීමේ අදහසින් ඔහු යෙරුසලම බලා ගමන් කළේය. (එස්රා 7:1, 6, 12, 13) මෙම කාර්යය ඉටු කිරීම සඳහා ජනයාට දෙවිගේ ව්‍යවස්ථාව ඉගැන්වීමට ඔහුට සිදු විය. බලපෑමෙන් යුතුව ඉගැන්වීම සඳහා එස්රා කළේ කුමක්ද? ඔහු අත්‍යවශ්‍ය පියවර කිහිපයක් ගත්තේය. මෙම පියවර අපගේ ප්‍රයෝජනය සඳහා එස්රා 7:10හි [NW] වාර්තා කර ඇත.

‘එස්රා [1] හදවත සූදානම් කරගත්තේ [2] යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බැලීමටත් [3] එය පැවැත්වීමටත් [4] ඉශ්‍රායෙල්හි පනත්ද යුක්තියද ඉගැන්වීමටත්ය.’ මෙම පියවර කිහිපය කෙටියෙන් සලකා ඒවායින් අපට උගත හැකි දේ පරීක්ෂා කර බලමු.

‘තමාගේ හදවත සූදානම් කරගත් එස්රා’

බීජ වැපිරීමට පෙර ගොවියෙකු නඟුලක් භාවිත කරමින් පස සකස් කරන්නාක් මෙන්, එස්රා දෙවිගේ වචනයෙහි සාරය උරාගැනීම සඳහා යාච්ඤා පූර්වකව තම හදවත සූදානම් කරගත්තේය. (එස්රා 10:1) වෙනත් වචනවලින් කිවහොත් ඔහු යෙහෝවාගේ ඉගැන්වීම්වලට ‘තම සිත යොමු කළේය.’—හිතෝපදේශ 2:2.

ඒ හා සමානව, යෙහෝෂාපාට් රජද “සැබෑ දෙවිව සෙවීම සඳහා [තම] හදවත සූදානම් කරගත්” බව බයිබලයෙහි සඳහන්ව ඇත. (2 ලේකම් 19:3, NW) ඊට වෙනස්ව, “මුරණ්ඩු කැරලිකාර” පරම්පරාවක් ලෙස ඉශ්‍රායෙලිතයන්ව හඳුන්වා ඇත්තේ “තමුන්ගේ හදවත් සූදානම් කර නොගත්” [NW] අය ලෙසිනි. (ගීතාවලිය 78:8) යෙහෝවා “සිතේ ඇතුල් මනුෂ්‍යයා” දකියි. (1 පේතෘස් 3:4) ඔහු “යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වයි.” (ගීතාවලිය 25:9) එස්රා මුලින්ම කළේ යාච්ඤාපූර්වකව තම හදවත නිසි ආකාරයකින් සකස් කිරීමයි. ඔහුගේ එම ආදර්ශය වර්තමානයේ සිටින ගුරුවරුන් විසින්ද අනුගමනය කිරීම කොතරම් වැදගත්ද!

‘යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බැලීමටත්’

දක්ෂ ගුරුවරයෙකු වීමට එස්රා දේවවචනය පිළිබඳව විමසා බැලීය. නිදසුනකට, වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතීමද එක්තරා විමසීමකි. එවැනි අවස්ථාවකදී ඔහු පවසන හෝ නිර්දේශ කරන සෑම දෙයක්ම අවබෝධ කරගන්නා පිණිස ඔබ ඔහුට සාවධානව සවන් දෙන්නේ නැද්ද? ඔබේ සෞඛ්‍ය තත්වය අවදානම් තත්වයක තිබෙන නිසා ඔබ ඔහුට හොඳින් සවන් දෙනවාට සැකයක් නැත. එසේනම්, යෙහෝවා තම වචනය වන බයිබලය හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපට පවසන දේට හෝ නිර්දේශ කරන දේට අප ඊටත් වඩා කොපමණ ගැඹුරින් අවධානය යොමු කළ යුතුද! ඇත්තෙන්ම ඔහුගේ උපදෙස් අපගේ ජීවිතයට බෙහෙවින් බලපායි. (මතෙව් 4:4; 24:45-47) වෛද්‍යවරයෙකු දෙන උපදෙස් පවා ඇතැම් අවස්ථාවලදී වැරදිසහගත විය හැකි වුවත්, “යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය.” (ගීතාවලිය 19:7) දෙවිගේ උපදෙස්වල නිවැරදි බව තහවුරු කරගැනීමට අපට කිසිවිටෙකත් වෙනත් කෙනෙකුගේ මතය අවශ්‍ය නැත.

එස්රා ඉතා උනන්දුමත් ශිෂ්‍යයෙකු බවට වූ කාරණය ඔප්පු වන්නේ බයිබලයේ ලේකම් නමැති පොත් දෙක දෙස බැලීමෙනි. (එස්රා මුලින්ම ඒවා එක වෙළුමක් සේ පිළියෙළ කළේය.) මෙම පොත් ලිවීමට හෙතෙම නොයෙකුත් මූලාශ්‍රවලින් තොරතුරු ලබාගත්තේය. a කෙටි කලකට පෙර බබිලෝනියෙන් පැමිණි යුදෙව්වන්ට තම ජාතියේ ඉතිහාසය පිළිබඳ සාරාංශයක් දැනගැනීමට අවශ්‍ය විය. ඔවුන්ගේ ආගමික පිළිවෙත්, දේවමාළිගාවේ සේවාවන් සහ ලෙවීවරුන්ගේ කාර්යයන් සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණේ අල්ප දැනුමකි. අනික් අතට ඔවුන්ගේ පෙළපත් පිළිබඳ වාර්තා සුවිශේෂ වැදගත්කමක් ඉසිලීය. මේ අනුව, එස්රා මෙම කාරණා වෙතට විශේෂ අවධානයක් යොමු කළේය. මෙසියස් පැමිණෙන තෙක්, තමාගේම දේශයක, දේවමාළිගාවක්, පූජක තන්ත්‍රයක් සහ ආණ්ඩුකාරයෙකු ඇතුව ජාතියක් ලෙස සංවිධානය වී සිටීමට යුදෙව්වන්ට සිදු විය. එස්රා එක්රැස් කළ තොරතුරුවලට ස්තුතිවන්ත වන්නට එක්සත්කම සහ සැබෑ නමස්කාරය ආරක්ෂා කරගත හැකි විය.

ඔබේ අධ්‍යයන පුරුදු එස්රාගේ පුරුදු හා සසඳද්දී හෙළි වන්නේ කුමක්ද? ඔබ කඩිසරව බයිබලය අධ්‍යයනය කළහොත් බයිබලය බලපෑමෙන් යුක්තව ඉගැන්වීමට එය ඉමහත් රුකුලක් වනු ඇත.

පවුලක් වශයෙන් ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බලන්න’

යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බැලීමේ කාර්යය පෞද්ගලික පාඩමට සීමා වූ දෙයක් නොවේ. එය කිරීමට සුවිශේෂ ප්‍රස්තාවක් උදා වන්නේ පවුලේ පාඩම කරන අතරතුරේදීය.

නෙදර්ලන්තයේ වෙසෙන යුවළක් වන යාන් සහ යූල්යාගේ ආදර්ශය සලකා බලමු. ඔවුන්ගේ පුතුන් දෙදෙනා උපන් දා සිට ශබ්ද නඟා කියවීමට ඔවුන් පුරුදුව සිට ඇත. දැන් ඊවෝගේ වයස අවුරුදු 15යි. ඒඩෝට අවුරුදු 14යි. තවමත් ඔවුන්ගේ පවුලේ පාඩමද සතියකට දෙවරක් පවත්වනු ලැබේ. යාන් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්නේ මෙසේය. “අපේ පරමාර්ථය පාඩමේදී පුළුවන් තරම් තොරතුරු සම්භාරයක් පියවීම නම් නොවෙයි. සාකච්ඡා කරන දේ දරුවන්ට වටහා දීමයි අපගේ ඉලක්කය.” ඔහු මෙසේද පැවසීය. “ළමයි දෙන්නා සෑහෙන පර්යේෂණ කරනවා. නුහුරු වචන, බයිබලයෙහි සඳහන් පුද්ගලයන්, ඔවුන් ජීවත් වූයේ කොහේද, ඔවුන් මොන වගේ පුද්ගලයන්ද, ඔවුන් කළ වෘත්තිය මොකක්ද යනාදිය ඔවුන් පරීක්ෂා කර බලනවා. කියවන්නට ඉගෙනගත් විට, ඔවුන් ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, ශබ්දකෝෂ සහ විශ්වකෝෂ යනාදියෙන් තොරතුරු ලබාගන්නට උත්සාහ කර තිබෙනවා. මේ නිසා පවුලේ පාඩම ඉතා රසවත්. ඔවුන්ට පවුලේ පාඩම කරන්න තිබෙන්නේ ඉමහත් ආශාවක් සහ කැමැත්තක්.” අමතර ප්‍රයෝජනයක් ලෙස භාෂාමය හැකියාවන් අතින් මෙම දරුවෝ දෙදෙනාටම පංතියේ පළමු ස්ථානය හිමිව ඇත.

ජොන් සහ ටිනි යනු නෙදර්ලන්තයේ වෙසෙන තවත් යුවළක්ය. ඔවුහුද තම පුතු එස්ලි සමඟත්, දියණිය වන ලින්ඩා සමඟත් අධ්‍යයන කටයුතුවල නිරත වූහ. (එස්ලි දැන් 24 වියේ පසුවන අතර, වෙනත් සභාවක පුරෝගාමී සේවය කරයි. ලින්ඩාට දැන් අවුරුදු 20ක් වන අතර, ඇය ඉතා ආදර්ශවත් තරුණ සහෝදරයෙකු හා විවාහ වී සිටියි.) එනමුත්, ඔවුන් යම්කිසි ප්‍රකාශනයක් සාමාන්‍ය ප්‍රශ්නෝත්තර ක්‍රමයට අධ්‍යයනය කළේ නැත. ඒ වෙනුවට, ඔවුන් තම පවුලේ පාඩම සකස් කළේ දරුවන්ගේ වයස සහ අවශ්‍යතාවලට අනුවය. එසේනම්, ඔවුන් භාවිත කළේ කවර අන්දමේ ක්‍රමයක්ද?

තම පුතා සහ දුව “පාඨකයන්ගෙන් ප්‍රශ්න” (මුරටැඹ සඟරාවෙන්) සහ “බයිබලයේ දෘෂ්ටිකෝණය” (පිබිදෙව්! සඟරාවෙන්) යන ලිපිවලින් සිත්ගත් විෂයක් තෝරාගන්නා බව ජොන් පැහැදිලි කරයි. ඊළඟ පියවර වූයේ ඔවුන් සූදානම් කරගත් දේ ඉදිරිපත් කිරීමයි. මෙය පවුලක් වශයෙන් ඉතා සිත්ගන්නා සාකච්ඡාවලට මඟ පෑදීය. මෙසේ කිරීමෙන් මෙම යෞවනයෝ පර්යේෂණ කරන අන්දම ගැනත්, ඔවුන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵල සාකච්ඡා කරන අන්දම ගැනත් පුහුණුව ලැබුවෝය. ඔබ ඔබේ දරුවන් සමඟ ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බලනවාද?’ ඔබ එසේ කරනවා නම්, ඔබේ ඉගැන්වීමේ හැකියාවන් පෞද්ගලිකව ප්‍රගුණ කරගැනීමට පමණක් නොව, ඔබේ දරුවන්ට බලපෑමෙන් යුක්ත ගුරුවරුන් වීමටත් එය මහෝපකාරි වේ.

“එය පැවැත්වීමටත්”

එස්රා තමා ඉගෙනගත් දේ අදාළ කරගත්තේය. නිදසුනකට, බබිලෝනියෙහි ජීවත්ව සිටියදී ඔහුගේ ජීවිතයට යම් ස්ථාවරත්වයක් තිබෙන්නට ඇත. කෙසේවෙතත්, යෙරුසලමෙහි සිටි තම ජනතාවට උපකාර කිරීමට තමාට හැකි බව තේරුම්ගත් ඔහු නොයෙකුත් අපහසුතා, ගැටලු සහ අතුරු අන්තරාවලින් යුත් ඈත යෙරුසලම් නුවර බලා යෑමට බබිලෝනියේ ගත කරමින් සිටි තම සැප පහසු ජීවිතය පසෙක දැමීය. මින් පැහැදිලි වන්නේ එස්රා බයිබල් දැනුම මනසට ගත්තා පමණක් නොව තමා උගත් දේ අනුව ක්‍රියා කිරීමටද ඔහු සූදානමින් සිටි බවයි.—1 තිමෝති 3:13.

පසු අවස්ථාවකදී, යෙරුසලමෙහි සිටින විට, තමා උගත් දේ සහ උගන්වමින් සිටි දේ පෞද්ගලිකව අදාළ කරගන්නා බව එස්රා නැවතත් පෙන්වීය. මෙවැන්නක් ප්‍රත්‍යක්ෂ වූයේ ඉශ්‍රායෙල් පුරුෂයන් මිථ්‍යාදෘෂ්ටික ස්ත්‍රීන් හා විවාහ වූ බව එස්රාට ආරංචි වූ විටයි. එස්රා ‘තම වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, තමාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්ත වී හිඳගත්’ බව බයිබල් වාර්තාව අපට දන්වයි. ඔහු යෙහෝවා දෙසට ‘තම මුහුණ ඔසවන්ට පවා විළිබියෙන් සිටියේය.’—එස්රා 9:1-6.

දෙවිගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම එස්රාට කොතරම් ගැඹුරින් බලපා තිබුණාදැයි මෙයින් මොනවට පැහැදිලි වේ. ජනතාවගේ අකීකරුකමෙහි භයානක ප්‍රතිඵල ගැන එස්රා ඉතා පැහැදිලිව දැන සිටියේය. නැවත පදිංචි වූ යුදෙව්වන්ගේ සංඛ්‍යාව ඉතා කුඩා විය. ඔවුන් අන්‍ය ජාතික ස්ත්‍රීන් හා විවාහ වී අවට පිහිටි මිථ්‍යාදෘෂ්ටික ජාතීන් සමඟ මිශ්‍ර වූවා නම් එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිර්මල නමස්කාරය පොළෝතලයෙන් තුරන් වීමේ අවදානම තිබිණ.

කෙසේවෙතත්, ඉමහත් භක්තියකින් ක්‍රියා කළ එස්රාගේ ආදර්ශයෙන් දිස් වූ දේවභය සහ ජ්වලිතය හේතුවෙන්, ඉශ්‍රායෙලිතයෝ තම වැරදි නිවැරදි කරගැනීමට පෙලඹුණෝය. ඔවුහු තම විදේශීය භාර්යාවන් අත්හැරියෝය. මාස තුනක් ඇතුළත සියල්ල නිවැරදි කරන ලදි. එසේනම්, එස්රාගේ ඉගැන්වීම බලපෑමෙන් යුත් එකක් වීමට බෙහෙවින් දායක වූයේ දෙවිගේ ව්‍යවස්ථාවට ඔහු පෞද්ගලිකව දැක්වූ පක්ෂපාතකමයි.

මෙය අදදිනටත් සැබෑ වේ. එක් ක්‍රිස්තියානි පියෙක් මෙසේ පැවසීය. “දරුවන් ඔබ කියන දේ නොව කරන දෙයයි කරන්නේ!” මෙම ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි සභාවටද අදාළ වේ. කදිම ආදර්ශයක් තබන වැඩිමහල්ලන්ට, සභාව ඔවුන්ගේ ඉගැන්වීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බව අපේක්ෂා කළ හැකිය.

“ඉශ්‍රායෙල්හි පනත්ද යුක්තියද ඉගැන්වීමටත්”

එස්රාගේ ඉගැන්වීම් බලපෑමෙන් යුතු ඒවා වීමට තවත් හේතුවක් තිබේ. ඔහු තමාගේ අදහස් නොව “පනත්ද යුක්තියද” ඉගැන්වීය. පනත් යන්නෙන් අදහස් කළේ යෙහෝවාගේ නීතීන්ය. පූජකයෙකු ලෙස ඔහු දැරූ වගකීමට මේවා ඉගැන්වීම ඇතුළත් විය. (මලාකී 2:7) ඔහු විනිශ්චයන් නැතහොත් යුක්තියද ඉගැන්වීය. මීට අමතරව, තමා ඉගැන්වූ දෙය සම්බන්ධයෙන් ආදර්ශයක්ද තැබීය. එසේ කළේ, යම් ප්‍රමිතියකට අනුව හරි දේට ඉතා සාධාරණ මෙන්ම පැති නොගන්නා අන්දමකින් ඇලී සිටීමෙනි. යම් අධිකාරයක් හොබවන අය යුක්තිය ඉටු කරන විට යම් ස්ථාවරත්වයක් ගොඩනැඟෙන අතර ඉන් ස්ථිරසාර ප්‍රතිඵලද නෙළාගත හැකි වේ. (හිතෝපදේශ 29:4) සමානාකාරයෙන් දෙවිගේ වචනය ගැන හසළ දැනුමක් ඇති ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, දෙමාපියන් සහ රාජ්‍ය ප්‍රකාශකයන්, සභාවෙහි සිටින, පවුල්වල සිටින සහ වෙනත් උනන්දුව දක්වන අයට යෙහෝවාගේ පනත් සහ යුක්තිය පිළිබඳව ඉගැන්වීමේදී ආත්මික ස්ථාවරත්වයක් ගොඩනැඟීමට හැකි වේ.

විශ්වාසවන්ත එස්රාගේ ආදර්ශය පූර්ණ ලෙස අනුකරණය කිරීමෙන් ඔබේ ඉගැන්වීම් වඩාත් බලපෑමෙන් යුක්ත විය හැකි බවට එකඟ වීමට හේතු නැද්ද? එමනිසා, ‘ඔබේ හදවත සූදානම් කරගන්න, යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බලන්න, එය පවත්වන්න, යෙහෝවාගේ පනත් සහ යුක්තිය උගන්වන්න.’—එස්රා 7:10, NW.

[පාදසටහන]

a එස්රා භාවිත කළ මූලාශ්‍ර 20හි ලැයිස්තුවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළ කරන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (සිංහලෙන් නැත) යන පොතෙහි 1වන වෙළුමෙහි 444-5 පිටුවල සොයාගත හැක.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එස්රාගේ ඉගැන්වීම් බලපෑමෙන් යුක්ත වූයේ කුමක් නිසාද?

1. ඔහු තම හදවත නිසි ආකාරයෙන් සකස් කළේය

2. ඔහු යෙහෝවාගේ ව්‍යවස්ථාව විමසා බැලීය

3. තමා ඉගෙනගත් දේ අදාළ කරගැනීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබීය

4. ශුද්ධ ලියවිලිමය ස්ථාවරය ඉගැන්වීමට ඔහු උත්සාහ දැරීය