Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි සදාචාරය ඉගෙනගෙන උගන්වන්න

ක්‍රිස්තියානි සදාචාරය ඉගෙනගෙන උගන්වන්න

ක්‍රිස්තියානි සදාචාරය ඉගෙනගෙන උගන්වන්න

“වෙන කෙනෙකුට උගන්වන ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද?”—රෝම 2:21, NW.

1, 2. බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ඔබ තුළ වුවමනාවක් තිබීමට බලපාන හේතු මොනවාද?

දේවවචනය අධ්‍යයනය කිරීම සඳහා ඔබට හේතු බොහොමයක් තිබෙන්න පුළුවන්. සමහරවිට ඔබ කැමති ඇති එහි සඳහන් මිනිසුන්, යම් සිද්ධීන්, ස්ථාන හා වෙනත් දේවල් ගැන දැනගන්න. නැත්නම් ඔබට දැනගන්න වුවමනා කරන්නේ ත්‍රිත්වය හෝ නිරාගින්න වැනි වැරදි ආගමික ඉගැන්වීම් පිළිබඳ සත්‍යය කුමක්ද කියා විය හැකියි. (යොහන් 8:32) යෙහෝවාව වඩාත් කිට්ටුවෙන් අනුකරණය කිරීමට හා ඔහු ඉදිරියෙහි අවංකව ගමන් කිරීමට හැකි වන පරිදි ඔහු ගැන තව තවත් ඉගෙනගැනීමේ වුවමනාවද ඔබට තිබිය හැකියි.—1 රාජාවලිය 15:4, 5.

2 දේවවචනය අධ්‍යයනය කිරීමට බලපාන තවත් වැදගත් හේතුවක් වන්නේ ඔබ ප්‍රේම කරන අයට, ඔබේ හිත මිතුරන්ට හා තවමත් ඔබ හඳුනන්නේ නැති අයට පවා ඉගැන්වීමට ඔබ හොඳින් සූදානම් වී සිටීම සඳහා තිබෙන අවශ්‍යතාවයි. මෙම ඉගැන්වීමේ කාර්යය සැබෑ ක්‍රිස්තියානීන් කැමති නම් පමණක් කළ යුතු දෙයක් නොවේ. මේ ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ ආඥා කළා. “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. . . . මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

3, 4. යේසුස්ගේ ආඥාවට කීකරු වී ඉගැන්වීම ඔබට ගෞරවය ගෙන දෙන කාර්යයක් වන්නේ ඇයි?

3 අන් අයට ඉගැන්වීමේ ආශාව ඇතුව බයිබලය අධ්‍යයනය කිරීම ගෞරවාන්විත දෙයක්. ඒ වගේම කල්පවතින තෘප්තියක්ද එයින් ලබන්න පුළුවන්. ඉගැන්වීම අතීතයේ සිට අද දක්වා ගෞරවයට පාත්‍ර වන වෘත්තියක් වී තිබෙනවා. එන්කාටා එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වෙනවා. “යුදෙව්වන් අතර සිටි වැඩිහිටියන් බොහෝදෙනෙක් ගුරුවරුන්ව සැලකුවේ ගැළවීමට මඟපෙන්වන්නන් ලෙසයි. එමෙන්ම දෙමාපියන්ට පවා වැඩියෙන් ගුරුවරුන්ට ගරු කරන්න කියා ඔවුන් දරුවන්ට උපදෙස් දුන්නා.” බයිබලය අධ්‍යයනය කිරීම තුළින් මුලින්ම තමන් ඉගෙනගෙන, පසුව අන් අයටද ඉගැන්වීම ක්‍රිස්තියානීන් සලකන්නේ ගෞරවාන්විත දෙයක් ලෙසයි.

4 “වෙනත් කිසිම වෘත්තියකට වඩා බොහෝදෙනෙක් නියැලී සිටින්නේ ගුරු වෘත්තියෙයි. ලොව පුරා සිටින ස්ත්‍රීන් හා පුරුෂයන් දශලක්ෂ 48ක් පමණ ගුරුවරුන්.” (ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා) යෞවනයන්ගේ මනස් ගුරුවරයෙකුට විශ්වාසයෙන් යුතුව භාර දෙනු ලබනවා. මේ නිසා ශිෂ්‍යයන්ගේ ජීවිතයේ ඉදිරි කාලය කෙරෙහි යම් බලපෑම් කරන්න ගුරුවරයෙකුට හැකියි. අන් අයට උගන්වන්න කියා යේසුස් දුන් ආඥාවට ඔබ කීකරු වන විට, එයින් ඇති කරන බලපෑම ඊටත් වඩා ප්‍රබලයි. මන්ද එය ඔබ උගන්වන අයගේ සදාකාලික අනාගතයට බලපෑ හැකියි. මේ බව ප්‍රේරිත පාවුල් තිමෝතිට දුන් මතු දැක්වෙන උපදේශය මගින් අවධාරණය කරනු ලැබුවා. “නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම් වෙන්න [නිරතුරුව අවධානය දෙන්න, NW]. ඒවායේ පවතින්න. මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.” (1 තිමෝති 4:16, අකුරු ඇල කළේ අපය.) මෙයින් පැහැදිලි වන්නේ ඔබේ ඉගැන්වීම හා ගැළවීම අතර සම්බන්ධයක් තිබෙන බවයි.

5. ක්‍රිස්තියානීන් විසින් කරනු ලබන ඉගැන්වීම විශිෂ්ටතම ඉගැන්වීම වන්නේ ඇයි?

5 ඉගෙනගෙන අන් අයට උගන්වන්න කියා ඔබට බලතල දී තිබෙන්නේ මුළු විශ්වයේම පරමාධිපති විසිනුයි. ලෝකයේ වෙන කිසිම ඉගැන්වීමේ කාර්යයකට වඩා යේසුස් ආඥා කළ ලෙස ඉගැන්වීම උසස් කාර්යයක් කියා පැවසීමට එම හේතුව පමණක්ම සෑහෙනවා. මෙම ඉගැන්වීම මූලික විෂයන් පිළිබඳව හෝ වෘත්තිමය හැකියාවන් හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම පිළිබඳව හෝ කරන ඉගැන්වීම සමඟ සම කළ නොහැකියි. දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස්ව අනුකරණය කිරීම සඳහා ශිෂ්‍යයා පෞද්ගලිකව ඉගෙනගෙන, ඒ දෙයම කිරීමට අන් අයට ඉගැන්වීම ක්‍රිස්තියානීන් විසින් කරනු ලබන ඉගැන්වීමට අයත් වෙයි.—යොහන් 15:10.

ඔබත් ඉගෙනගත යුත්තේ ඇයි?

6, 7. (අ) මුලින්ම අප ඉගෙනගත යුත්තේ ඇයි? (ආ) මුල් සියවසේ සිටි යුදෙව්වන් ගුරුවරුන් වීමට අසමත් වූයේ කිනම් ආකාරයෙන්ද?

6 අන් අයට උගන්වන්න කලින් මුලින්ම අප ඉගෙනගත යුතුයි කියා පවසන්නේ ඇයි? සරලව කියනවා නම්, මුලින්ම අප ඉගෙනගන්නේ නැත්නම් අපට බැහැ අනිත් අයට හොඳින් උගන්වන්න. මේ කාරණය පාවුල් ඔහුගේ කාලයේ සිටි යුදෙව්වන්ට සිතුවිලි කලතන තොරතුරු ඉදිරිපත් කළ කොටසක අවධාරණය කළා. අදදින සිටින ක්‍රිස්තියානීන්ට එහි වැදගත් පණිවිඩයක් තිබෙනවා. එම කොටසේදී පාවුල් මෙසේ ඇසුවා. “වෙන කෙනෙකුට උගන්වන ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද? ‘සොරකම් නොකරන්න’ කියා දේශනා කරන ඔබ, සොරකම් කරනවාද? ‘පරදාර සේවනය නොකරන්න’ කියා කියන ඔබ, පරදාර සේවනය කරනවාද? දේවතා රූප කෙරෙහි පිළිකුල ප්‍රකාශ කරන ඔබ, දේවස්ථාන කොල්ල කනවාද? නීතිය කෙරෙහි ආඩම්බර වන ඔබ, නීතිය උල්ලංගනය කිරීමෙන් දෙවිට අගෞරව කරනවාද?”—රෝම 2:21-23, NW.

7 කරුණු අවධාරණය කිරීම සඳහා පාවුල් ඇසූ එම ප්‍රශ්න මගින් දස පනතට ඇතුළත් සොරකම් නොකරන්න, පරදාර සේවනය නොකරන්න යන වැරදි දෙකකට කෙළින්ම යොමු දැක්වුවා. (නික්මයාම 20:14, 15) පාවුල්ගේ කාලයේ සිටි යුදෙව්වන් ඔවුන්ට දෙවිගේ ව්‍යවස්ථාව තිබීම ගැන ආඩම්බර වුණා. ඔවුන්ට ‘ව්‍යවස්ථාවෙන් වාචිකව උගන්වනු ලැබුවා. ඔවුන් අන්ධයන්ගේ මඟ පෙන්වන්නන් කියාද, අන්ධකාරයේ සිටින්නන්ට ආලෝකයක් කියාද, බිළිඳුන්ගේ ගුරුවරුන් කියාද ඔවුන්ට ඒත්තුගන්වා තිබුණා.’ (රෝම 2:17-20, NW) කෙසේවෙතත්, සමහරුන් රහසින් සොරකම් හා පරදාර සේවනය කළා. මෙසේ, ඔවුන් කටයුතු කළේ කුහකයන් ලෙසයි. ඔවුන් එලෙස කටයුතු කිරීම නිසා ව්‍යවස්ථාව මෙන්ම ස්වර්ගයේ සිටින එහි සම්පාදකයාව අගෞරවයට පත් වුණා. අනිත් අයට ඉගැන්වීමට ඔවුන් කොහොමටවත් සුදුසුකම් ලබා තිබුණේ නැති බව ඔබට තේරෙනවා ඇති. ඇත්තෙන්ම ඔවුන් තමන්ටම උගන්වාගනිමින් සිටියේ නැහැ.

8. පාවුල්ගේ කාලයේ සිටි ඇතැම් යුදෙව්වන් සමහරවිට ‘දේවස්ථාන කොල්ල කන්න’ ඇත්තේ කෙසේද?

8 දේවස්ථාන කොල්ල කෑම ගැන පාවුල් සඳහන් කළා. සමහර යුදෙව්වන් ඇත්තටම දේවස්ථාන කොල්ල කෑවාද? මේ ගැන සඳහන් කරද්දී පාවුල්ගේ මනසේ තිබුණේ කුමක්ද? අවංකවම කියනවා නම්, මේ ශුද්ධ ලියවිලි කොටසෙහි තිබෙන සීමිත තොරතුරු සලකා බලමින් අපට නිශ්චිතව කියන්න බැහැ, සමහර යුදෙව්වන් ‘දේවස්ථාන කොල්ල කෑවේ’ කොහොමද කියා. කලින් අවස්ථාවකදී එපීසයේ නගරාධිපති පාවුල්ගේ සගයන් ‘දේවස්ථාන කොල්ලකන්නන්’ [NW] නොවේ කියා ප්‍රකාශ කර තිබුණා. මෙයින් ඇඟවෙන්නේ දේවස්ථාන කොල්ල කෑමේ චෝදනාව යුදෙව්වන්ට එල්ල වූ බව අඩුම තරමින් ටිකදෙනෙක්වත් විශ්වාස කළ බවයි. (ක්‍රියා 19:29-37) විජයග්‍රාහීන් හෝ ආගමික අන්තවාදීන් විසින් මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ දේවස්ථාන කොල්ල කා ගත් වටිනා දේවල් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කරමින් සිටියාද නැත්නම් ඒවා විකුණමින් සිටියාද? දෙවිගේ ව්‍යවස්ථාවට අනුව දේවතා රූපවල තිබූ රන් රිදී විනාශ කළ යුතුව තිබුණා. ඒවා පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගැනීමට අවසර තිබුණේ නැහැ. (ද්විතීය කථාව 7:25) * මේ අනුව පාවුල් වක්‍රාකාරව සඳහන් කරන්න ඇත්තේ දෙවිගේ නියෝගය නොසලකමින් මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ දේවස්ථානවලින් ගත් දේවල් තමන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කළ හෝ විකුණා ලාභ ලැබූ යුදෙව්වන් ගැන විය හැකියි.

9. දේවමාළිගාව කොල්ල කෑමට සමාන වන්නේ ඇතමුන් යෙරුසලමේ දේවමාළිගාව සම්බන්ධයෙන් කළ කුමන වැරදි ක්‍රියාවන්ද?

9 යුදෙව්වන් හතරදෙනෙකු විසින් රෝමයේ ඇති කළ අපකීර්තියක් ගැනද ජොසීෆස් සඳහන් කළා. මේ හතරදෙනාගේ නායකයා ව්‍යවස්ථාව උගන්වන්නෙක්. මේ හතරදෙනා එකතු වෙලා යුදෙව් ආගම වැලඳගත් රෝම ජාතික ස්ත්‍රියක් සතුව තිබූ රත්රන් හා වෙනත් වටිනා දේවල් යෙරුසලමේ දේවමාළිගාවට සම්මාදමක් හැටියට ලබාගැනීමට ඇයව කැමති කරවාගත්තා. ඇය ඔවුන්ට ඒවා දුන් පසු ඔවුන් කළේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ වටිනා දේවල් යොදාගැනීමයි. ඔවුන් කළ මේ දෙය හරියට දේවස්ථාන කොල්ල කෑවා හා සමානයි. * තවත් අය දේවමාළිගාවෙන් කොල්ල කෑවේ වටිනාකමක් නැති පලුදු වූ දේවල් පූජා කිරීමෙන් හා දේවමාළිගා භූමියේ ගිජු ව්‍යාපාරික කටයුතුවලට අනුබල දීමෙනුයි. මේ දේවල් කිරීමෙන් ඔවුන් දේවමාළිගාව “කොල්ලකාරයන්ගේ ගුහාවක්” [NW] බවට පත් කළා.—මතෙව් 21:12, 13; මලාකී 1:12-14; 3:8, 9.

ක්‍රිස්තියානි සදාචාරය ගැන උගන්වන්න

10. රෝම 2:21-23හි වාර්තා වී ඇති පාවුල්ගේ වදන්වල සාරය අප නොසලකා නොහැරිය යුත්තේ ඇයි?

10 පාවුල් සඳහන් කළ සොරකම් කිරීම, පරදාර සේවනය හා දේවස්ථාන කොල්ල කෑම වැනි පළමු සියවසේදී කළ වැරදි දේවල් කුමක් වුණත්, ඔහු පැවසූ දේවලින් අදහස් කළ දේ අපි නොසලකා නොහරිමු. ඔහු මෙසේ ඇසුවා. “වෙන කෙනෙකුට උගන්වන ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද?” පාවුල් සඳහන් කළ උදාහරණ සදාචාරය හා බැඳී තිබීම සැලකිල්ලට ගැනීම වටිනවා. මෙහිදී ප්‍රේරිතවරයා අවධාරණය කළේ බයිබල් ඉගැන්වීම් ගැන හෝ බයිබල් ඉතිහාසය ගැන නොවෙයි. පාවුල් සඳහන් කළ ආකාරයට මුලින්ම තමන් ඉගෙනගෙන පසුව අන් අයට ඉගැන්වීම ක්‍රිස්තියානි සදාචාරය හා සම්බන්ධ දෙයක්.

11. ඔබ දේවවචනය අධ්‍යයනය කරන විට ක්‍රිස්තියානි සදාචාරය හා බැඳි කරුණුවලට හොඳ අවධානයක් දිය යුත්තේ ඇයි?

11 රෝම 2:21-23හි උගන්වන පාඩම අප අදාළ කරගැනීමට නම් දේවවචනයේ තිබෙන ක්‍රිස්තියානි සදාචාරය ගැන අප ඉගෙනගත යුතුයි. එමෙන්ම අප ඉගෙනගන්න දේවලට එකඟව ජීවත් වෙමින්, ඒ දෙයම කරන්න අන් අයටද ඉගැන්විය යුතුයි. මේ නිසා ඔබ බයිබලය අධ්‍යයනය කරන විට යෙහෝවාගේ ප්‍රමිති ගැන පවසන පාඨ කෙරෙහි විශේෂ අවධානයක් දෙන්න. මන්ද සැබෑ ක්‍රිස්තියානි සදාචාරය පදනම් වන්නේ ඒවා මතයි. ඔබ බයිබලයෙන් සොයාගත් උපදෙස් හා ආදර්ශ පාඩම් ගැන මෙනෙහි කරන්න. හිත හිත ඉන්නේ නැතුව එඩිතරව ඒවා අදාළ කරගන්න. මේ සඳහා ධෛර්යය මෙන්ම අධිෂ්ඨාන ශක්තියද අවශ්‍යයි. නිදහසට කරුණු කියන එක අසම්පූර්ණ මිනිසුන්ගේ ගතියක්. ඒ වගේම යම් සිද්ධියකදී ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති නොසලකා හැරියේ ඒ අවස්ථාවේදී මතු වුණ තත්වයක් නිසා කියා හෝ ඒ වේලාවේ හැටියට එහෙම කරන්න සිදු වුණා කියා කළ වරද සාධාරණීකරණය කිරීම අසම්පූර්ණ මිනිසුන් අතින් පහසුවෙන් සිදු වෙනවා. සමහරවිට මෙහිදී පාවුල් සඳහන් කළ යුදෙව්වන්, තමන් කළ දේවල් සාධාරණීකරණය කිරීමට හෝ අන් අයව මුළා කිරීමට හෝ සූක්ෂ්ම ලෙස කරුණු ගෙනහැර දැක්වීම සම්බන්ධයෙන් හොඳ පළපුරුද්දක් ලැබූ අය වන්නට ඇති. පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වන්නේ කිසිවෙකු සටකපට උපක්‍රම යොදාගනිමින් ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති බාල කිරීම හෝ නොසලකා හැරීම නොකළ යුතු බවයි.

12. හොඳ හෝ නරක හැසිරීම යෙහෝවා දෙවි ගැන අන් අය තුළ ඇති කරවන්නේ කුමන හැඟීමක්ද? මේ කාරණය නිතරම මනසේ තබාගැනීම උපකාරවත් වන්නේ ඇයි?

12 බයිබලයෙහි සඳහන් සදාචාරය ගැන ඉගෙනගෙන, එයට අනුව ජීවත් වීම සඳහා ප්‍රධාන හේතුවක් ප්‍රේරිතවරයා විශේෂ කොට දැක්වුවා. යුදෙව්වරුන්ගේ වැරදිසහගත හැසිරීම යෙහෝවා ගැන වැරදි අදහසක් දුන්නා. “නීතිය කෙරෙහි ආඩම්බර වන ඔබ, නීතිය උල්ලංගනය කිරීමෙන් දෙවිට අගෞරව කරනවාද? මන්ද, ලියා තිබෙන පරිදි, ‘ඔබ නිසා අන්‍යජාතීන් අතරේ දෙවිගේ නාමය අපහාස කරනු ලැබේ.’ ” (රෝම 2:23, 24 NW) මෙය අදටත් සත්‍යයක් වෙනවා. අපි ක්‍රිස්තියානි සදාචාරය නොසලකා හරිනවා නම් අපට එය දී තිබෙන තැනැත්තාව අප අගෞරවයට පත් කරනවා. අනිත් අතට අපි දෙවිගේ ප්‍රමිති ස්ථිර ලෙස රකිනවා නම් ඔහු කෙරෙහි හොඳ හැඟීමක් අනිත් අය තුළ ඇති වන අතර, ප්‍රතිඵලයක් වශයෙන් ඔහුව ගෞරවයට පත් වෙයි. (යෙසායා 52:5; එසකියෙල් 36:20) මේ ගැන ඔබ දැන සිටීම, ඔබ යම් පරීක්ෂාවලට මුහුණ දෙන අවස්ථාවලදී හෝ ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති නොසලකා හැරීම කියා සිතෙන අවස්ථාවලදී එම ප්‍රමිතිවලට ඇලී සිටීමට වූ ඔබේ අධිෂ්ඨානය ශක්තිමත්ව තබාගැනීමට උපකාරයක් වෙනවා. ඒ විතරක් නොවෙයි, පාවුල්ගේ වදන්වලින් අපට තවත් දෙයක් උගන්වනවා. එනම් අපේ හැසිරීමෙන් දෙවිව ගෞරවයට හෝ අගෞවරයට පත් කළ හැකි බව අප අවබෝධ කරගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අප අන් අයට උගන්වද්දී ඔවුන් ඉගෙනගනිමින් සිටින සදාචාර ප්‍රමිති අදාළ කරගැනීම ඔවුන් යෙහෝවා ගැන අන්‍යයන් තුළ ඇති කරන හැඟීමට බලපාන බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුයි. ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති පිළිපැදීමෙන් ලැබෙන්නේ හුදෙක් තෘප්තිය හා සෞඛ්‍යාරක්ෂාව පමණක් නොවෙයි. එමගින් සිදු වන්නේ එම සදාචාර ප්‍රමිති පිහිටුවා, ඒවාට දිරි දෙන තැනැත්තා ගැන හිතකර හැඟීමක් මිනිසුන් තුළ ඇති කිරීමයි.—ගීතාවලිය 74:10; යාකොබ් 3:17.

13. (අ) සදාචාරය හා සම්බන්ධ කාරණාවලදී බයිබලය අපට උපකාරවත් වන්නේ කෙසේද? (ආ) 1 තෙසලෝනික 4:3-7හි සඳහන් උපදේශයේ සාරය කුමක්ද?

13 අපේ සදාචාරය අනිත් මිනිසුන්ටද බලපානවා. දේවවචනයේ සඳහන් උදාහරණවලින් ඔබට ඒ බව තේරුම්ගන්න පුළුවන්. දෙවිගේ සදාචාර ප්‍රමිති අදාළ කරගැනීමේ වටිනාකම හා ඒවා නොසලකා හැරීමෙන් අත් වන ප්‍රතිඵල ගැන එහි උදාහරණ මගින් පැහැදිලි කෙරෙනවා. (උත්පත්ති 39:1-9, 21; යෝෂුවා 7:1-25) සදාචාරය හා සම්බන්ධ ඉතා පැහැදිලි උපදේශයක් දේවවචනයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවිගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය. නුඹලා වේශ්‍යාකමින් වැළකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවි නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව, ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්, මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය [තම සහෝදරයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමවත්, පැහැරගැනීමවත් නොකළ යුතුය, NW]. . . . දෙවි අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.”—1 තෙසලෝනික 4:3-7.

14. පළමුවන තෙසලෝනික 4:3-7හි සඳහන් උපදේශය ගැන ඔබට ඔබගෙන්ම අසාගත හැකි ප්‍රශ්න මොනවාද?

14 ලිංගික දුරාචාරය ක්‍රිස්තියානි සදාචාරයට සම්පූර්ණයෙන්ම පටහැනි බව ඒ කොටස කියවන ඕනෑම කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. නමුත් මේ කොටසේ මතුපිට අර්ථයට වඩා දෙයක් ගැඹුරින් සොයා බලන්න ඔබට පුළුවන්. පුළුල්ව අධ්‍යයනය කිරීමට හා මෙනෙහි කිරීමට සමහර ශුද්ධ ලියවිලි පාඨ මගින් අවස්ථාව සැලසෙනවා. මෙසේ කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඒ පාඨ ගැන තීක්ෂ්ණ බුද්ධියක් ලබාගැනීමට හැකිවීමයි. උදාහරණයක් හැටියට, යමෙක් වේශ්‍යාකමේ යෙදෙන විට ‘තම සහෝදරයාගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් සහ පැහැරගැනීමක්’ ඉන් සිදු වන බව පැවසීමෙන් පාවුල් අදහස් කළ දෙය ගැන ගැඹුරින් සිතා බලන්න ඔබට පුළුවන්. එහි සඳහන් අයිතිවාසිකම්වලට අයත් වන්නේ මොනවාද? මේ කාරණය වඩාත් හොඳින් තේරුම්ගැනීමෙන් ක්‍රිස්තියානි සදාචාරය රැකගැනීමට ඔබට අමතර ශක්තියක් සැපයෙන්නේ කෙසේද? අන් අයට ඉගැන්වීමටත් දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා ඔවුන්ට උපකාර කරන්නත් මෙවැනි පර්යේෂණයක් කිරීමෙන් අත් වන ප්‍රතිඵල මගින් ඔබව සූදානම් කරවන්නේ කොහොමද?

ඉගැන්වීමේ අරමුණින් අධ්‍යයනය කරන්න

15. පෞද්ගලික අධ්‍යයනයේදී ඔබට ඉගෙනගැනීම සඳහා යොදාගත හැකි මෙවලම් මොනවාද?

15 ඉගෙනගැනීමේ හා අන් අයට ඉගැන්වීමේ අරමුණින් අධ්‍යයනය කරද්දී මතු වන ප්‍රශ්න ගැන පර්යේෂණය කිරීම සඳහා යොදාගත හැකි විවිධ මෙවලම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුව තිබෙනවා. සිංහලෙන් නොමැති වුවත් වෙනත් භාෂා බොහොමයකින් ලබාගත හැකි එක් මෙවලමක් වන්නේ වොච් ටවර් ප්‍රකාශන සූචියයි. (dx) ඔබට මෙය භාවිත කරන්න පුළුවන් නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් ප්‍රකාශනවලින් අවශ්‍ය තොරතුරු සොයාගත හැකියි. විෂය අනුව හෝ බයිබල් පදවල ලැයිස්තුව යටතේ තොරතුරු පර්යේෂණය කරන්න ඔබට පුළුවන්. ප්‍රධාන භාෂා බොහොමයකින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලබාගන්න පුළුවන් තවත් මෙවලමක් වන්නේ වොච්ටවර් පුස්තකාලයයි. සංයුක්ත තැටි මගින් පරිගණකගත කර තිබෙන මෙම වැඩසටහනෙහි ප්‍රකාශන රැසක තොරතුරු ඉලෙක්ට්‍රෝනික ලෙස ගබඩා කර තිබෙනවා. ශුද්ධ ලියවිලිවලට අදාළ විවිධ මාතෘකා යටතේ තොරතුරු පර්යේෂණය කිරීමට මෙම වැඩසටහන යොදාගන්න පුළුවන්. මෙම මෙවලම් දෙකම හෝ ඉන් එකක් හෝ ඔබට ලබාගන්න පුළුවන් නම් ඔබ අනිත් අයට ඉගැන්වීමේ අරමුණින් දේවවචනය නිතිපතා අධ්‍යයනය කරද්දී, ඒවායින් ප්‍රයෝජන ගන්න.

16, 17. (අ) ඔබට 1 තෙසලෝනික 4:6හි සඳහන් අයිතිවාසිකම් ගැන විස්තරාත්මක තොරතුරු සොයාගන්න පුළුවන් කොහෙන්ද? (ආ) වේශ්‍යාකම් කරන්නෙක් අනිත් අයගේ අයිතිවාසිකම් පැහැරගන්නේ කිනම් ආකාරවලින්ද?

16 පර්යේෂණය කිරීම සඳහා කලින් සඳහන් කළ උදාහරණය වන 1 තෙසලෝනික 4:3-7 දක්වා සඳහන් කොටස අපි දැන් සලකා බලමු. මෙහි සඳහන් අයිතිවාසිකම් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්න මතු වෙනවා. මෙහි සඳහන් වන්නේ කාගේ අයිතිවාසිකම් ගැනද? එම අයිතිවාසිකම් පැහැරගැනීමක් සිදු විය හැක්කේ කෙසේද? කලින් සඳහන් කළ අධ්‍යයන මෙවලම් යොදාගෙන ඔබට පුළුවන් මෙම වගන්ති ගැනත් පාවුල් සඳහන් කළ අයිතිවාසිකම් ගැනත් තොරතුරු රැසක් සොයාගන්න. මතු දැක්වෙන ප්‍රකාශනවලින් ඔබට අදාළ තොරතුරු ලබාගන්න පුළුවන්. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it-1, සිංහලෙන් නැත), 1වන කාණ්ඩය, 863-4 පිටු; සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ඔබට ලබාගත හැක්කේ කෙසේද? 151, 152 පිටු; ද වොච්ටවර් 1989 නොවැම්බර් 15, 31වන පිටුව.

17 පාවුල්ගේ වචන මොනතරම් සත්‍යයක්දැයි එම ප්‍රකාශනවලින් පෙන්වා දෙන අයුරු ඔබ ඒ ගැන දිගටම අධ්‍යයනය කරගෙන යද්දී ඔබ දකීවි. වේශ්‍යාකම් කරන්නෙක් දෙවිට විරුද්ධව පව් කරන අතර තමාවද රෝගවලට නිරාවරණය කරගනියි. (1 කොරින්ති 6:18, 19; හෙබ්‍රෙව් 13:4) ඒ වගේම වේශ්‍යාකම් කරන කෙනෙක් ඔහු හා එක්ව මෙම පාපය කරන ස්ත්‍රියගේ නොයෙකුත් අයිතිවාසිකම් පැහැරගන්නවා. ඇගේ යහපත් සදාචාර ගති පැවතුම් හා යහපත් හෘදය සාක්ෂිය ඔහු නිසා ඇයට අහිමි වෙනවා. ඇය තනිකඩ තැනැත්තියක් නම් කන්‍යාවක ලෙස විවාහ වීමට ඇයට තිබෙන අයිතියත්, ඇගෙන් එවැන්නක් බලාපොරොත්තු වීමට ඇගේ අනාගත ස්වාමිපුරුෂයාට තිබෙන අයිතියත් ඔහු පැහැරගන්නවා. ඔහු ඇගේ දෙමාපියන්ට මෙන්ම ඇය විවාහක නම් ඇගේ ස්වාමිපුරුෂයාට මහත් සිත් වේදනාවක් ඇති කරනවා. දුරාචාරයේ යෙදුණු මේ තැනැත්තා ඔහුගේම පවුලේ අයට සදාචාරය පිළිබඳව හොඳ නමක් ඇතුව සිටීමේ අයිතියද නැති කර දමනවා. ඔහු ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් නම් ඔහු එහි කීර්ති නාමයට හානි පමුණුවමින් මහත් නින්දාවක් ගෙන එයි.—1 කොරින්ති 5:1.

18. ක්‍රිස්තියානි සදාචාරය පිළිබඳ බයිබලයේ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ඔබට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

18 පළමුවන තෙසලෝනික 4:3-7 දක්වා සඳහන් කොටසෙහි ගැඹුරු අර්ථය තේරුම්ගැනීමට අයිතිවාසිකම් පිළිබඳ ඉහත තොරතුරු අපට උපකාරවත් වන්නේ නැද්ද? මේ විදිහට අධ්‍යයනය කිරීමේ තිබෙන වටිනාකම කියා නිම කරන්න බැහැ. ඔබ මෙසේ දිගටම අධ්‍යයනය කරද්දී, ඔබ කරන්නේ ඔබටම උගන්වාගැනීමයි. ඒ වගේම සත්‍යය පිළිබඳ ඔබේ අවබෝධය මෙන්ම දෙවිගේ පණිවිඩය මගින් ඔබ කෙරෙහි ඇති කරන බලපෑමද එයින් තව තවත් වැඩි වෙනවා. කුමන පරීක්ෂාවක් යටතේ වුණත් ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති කඩ නොකිරීමට වූ ඔබේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. එසේ අධ්‍යයනය කිරීමෙන් ගුරුවරයෙක් හැටියට ඔබට කොතරම් හොඳින් ඵලදායක විය හැකිද කියා සිතා බලන්න. උදාහරණයක් හැටියට ඔබ අනිත් අයට බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන උගන්වද්දී ඔබට පුළුවන් 1 තෙසලෝනික 4:3-7හි සඳහන් කරුණු හොඳින් පැහැදිලි කර දෙන්න. එමගින් ක්‍රිස්තියානි සදාචාරය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මෙන්ම අගය කිරීමද වැඩි කරවන්න පුළුවන්. මෙසේ ඔබ අධ්‍යයනය කිරීමෙන් දෙවිව ගෞරවයට පත් කරන්න ඔබට හැකියි. ඒ වගේම එසේ කිරීම සඳහා තව බොහෝදෙනෙකුට උපකාර කරන්නත් ඔබට පුළුවන්. අප මෙහි සඳහන් කළේ පාවුල් තෙසලෝනිකවරුන්ට ලියූ ලිපියෙන් ගත් එක් උදාහරණයක් පමණයි. ක්‍රිස්තියානි සදාචාරයට තව බොහෝ කාරණා ඇතුළත් වෙනවා. ඒ වගේම ඔබට අධ්‍යයනය කිරීමට, අදාළ කරගැනීමට හා අන් අයට ඉගැන්වීමට යොදාගත හැකි තවත් උදාහරණ හා උපදෙස් බොහොමයක් බයිබලයේ තිබෙනවා.

19. ඔබ ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිතිවලට ඇලී සිටීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි?

19 ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති රැකීම ප්‍රඥාවන්ත යමක් බවට කිසිම සැකයක් නැහැ. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” එනම් යෙහෝවා දෙවිගෙන් පැමිණෙන ප්‍රඥාව “පළමුකොට පිරිසිදුව” තිබේ කියා යාකොබ් 3:17හි සඳහන් වෙනවා. මින් පැහැදිලිවම අඟවන්නේ දෙවිගේ සදාචාර ප්‍රමිති අනුගමනය කළ යුතු බවයි. බයිබලයේ සඳහන් දේවල් ඉගැන්වීමෙන් තමන්ව නියෝජනය කරන අය ‘පිරිසිදුව’ නොහොත් සදාචාරමය ලෙස පවිත්‍රව සිටීම යෙහෝවා අපේක්ෂා කරනවා. (1 තිමෝති 4:12) පාවුල් හා තිමෝති ජීවත් වූ ආකාරයෙන් තහවුරු වන්නේ මුල් ගෝලයන් සදාචාර සම්පන්න ලෙස ජීවත් වූ බවයි. ඔවුන් සදාචාරයට පටහැනි දේවල් කළේ නැහැ. පාවුල් මෙසේ ලිව්වා. “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා. එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද මෝඩ කතාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය.”—එපීස 5:3, 4.

20, 21. පළමුවන යොහන් 5:3හි ප්‍රේරිත යොහන් ලියූ දෙය සමඟ ඔබ එකඟ වන්නේ මන්ද?

20 දේවවචනයෙහි සඳහන් සදාචාර ප්‍රමිති පැහැදිලියි. නිශ්චිතයි. ඒවා අනවශ්‍ය බරක් ඇති කරන්නේ නැහැ. වැඩිම කාලයක් ජීවත් වූ ප්‍රේරිතවරයා වන යොහන් එය පැහැදිලිව තේරුම්ගත්තා. දශක ගණනාවක් පුරා ඔහු නිරීක්ෂණය කළ දේවලින් ඔහු තේරුම්ගත්තේ ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති කිසිවිටකත් හානිදායක නොවන බවයි. ඇත්තෙන්ම එම ප්‍රමිති සුචරිතවත් ජීවිතයකට මඟ පාදන බවත් ප්‍රයෝජනදායක බවත් ඔප්පු වී තිබෙනවා. යොහන් මෙසේ ලියමින් එය අවධාරණය කළා. “දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.”—1 යොහන් 5:3.

21 ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙමින් දෙවිට කීකරු වීම යමෙකුට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි. මෙසේ පැවසීමට එකම හේතුව එය ගැටලුවලින් හා ඒවාට විරුද්ධ වීමෙන් ඇති වන හානිවලින් අපව ආරක්ෂා කරන නිසා බව යොහන් අදහස් කළේ නැහැ. ඔහු මුලින්ම පිළිගත්තේ ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති පිළිපැදීම යෙහෝවා දෙවිට අප සතු ප්‍රේමයේ ප්‍රකාශයක් බවයි. එනම්, ඔහු සඳහා අපට තිබෙන ප්‍රේමය පෙන්නුම් කිරීමට තිබෙන අනගි ප්‍රස්තාවක් බවයි. මෙසේ කිරීමෙන් ඔහු දෙවිට කීකරු වීම සම්බන්ධයෙන් තිබිය යුතු නිවැරදි දෘෂ්ටිය ඉදිරිපත් කළා. ඇත්තෙන්ම දෙවිට ප්‍රේම කිරීමට තමන් ඉගෙනගැනීමේදී හා එසේ කිරීමට අන් අයට ඉගැන්වීමේදී අපි ඔහුගේ උසස් සදාචාර ප්‍රමිති පිළිගෙන අදාළ කරගැනීම අවශ්‍යයි. මෙයින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි සදාචාරය මුලින්ම තමන් ඉගෙනගෙන අන් අයට ඉගැන්වීමයි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. යුදෙව්වන් පරිශුද්ධ දේවල් අගෞරවනීය ලෙස සැලකූ බව කෙළින්ම නොකියා ජොසීෆස් දෙවිගේ ව්‍යවස්ථාව ගැන නැවතත් මෙලෙස ප්‍රකාශ කළා. “වෙනත් නගරවල වැසියන් නමස්කාර කරන දෙවිවරුන්ට කිසිවෙක් අපහාස නොකෙරේවා. වෙනත් දේශවල දේවස්ථාන කොල්ල කෑමට ඉඩ නොතබන්න. අන් දෙවි කෙනෙකුගේ නමින් කැප කර තිබෙන වටිනා දේවල් නොගන්න.” (අකුරු ඇල කළේ අපය.)—ජුවිෂ් ඇන්ටික්විටීස්, 4වන පොත, 8වන පරිච්ඡේදය, 10වන ඡේදය.

^ 9 ඡේ. ජුවිෂ් ඇන්ටික්විටීස්, 18වන පොත, 3වන පරිච්ඡේදය, 5වන ඡේදය.

ඔබට මතකද?

• අන් අයට ඉගැන්වීමට කලින් අපි අපටම ඉගැන්විය යුත්තේ ඇයි?

• අපේ හැසිරීම යෙහෝවාට බලපෑ හැක්කේ කෙසේද?

• වේශ්‍යාකම් කරන්නෙක් ඇතැම්විට පැහැරගන්නේ කාගේ අයිතිවාසිකම්ද?

• ක්‍රිස්තියානි සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් ඔබ ගන්න අධිෂ්ඨානය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

“ඔහුගේ ආඥා බර නැත”