Skip to content

පටුනට යන්න

මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක්

මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක්

මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක්

ශ්‍රේෂ්ඨතම ඓතිහාසික පුද්ගලයන් අතරින් එක් අයෙකි මෝසෙස්. නික්මයාම සිට ද්විතීය කථාව දක්වා වූ බයිබල් පොත් සතරේ වැඩි වශයෙන් සඳහන් වන්නේ මෝසෙස්ගේ නායකත්වය යටතේ සිටි ඉශ්‍රායෙලිතයන් සමඟ දෙවි කටයුතු කළ ආකාරය ගැනයි. මිසරයේ සිට ඉශ්‍රායෙලිතයන්ගේ නික්මයාම මෙහෙයවනු ලැබුවෙත් ව්‍යවස්ථා ගිවිසුමේ මැදහත්කරු ලෙස කටයුතු කරනු ලැබුවෙත් පොරොන්දු දේශයේ සීමා වෙත ඉශ්‍රායෙලිතයන්ව ගෙන යනු ලැබුවෙත් ඔහු විසිනි. ඵාරාවෝගේ නිවස තුළ හැදී වැඩුණත් දෙවිගේ ජනයාව පාලනය කිරීමේ අධිකාරියද අනාගතවක්තෘවරයෙකු, විනිශ්චයකරුවෙකු හා දේවානුභාවය ලත් ලේඛකයෙකු වීමේ වරප්‍රසාදයද මෝසෙස්ට හිමි වුණි. එය එසේ වුවද, ඔහු “සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.”—ගණන් කථාව 12:3.

බයිබලය තුළ මෝසෙස්ගේ ජීවිතය ගැන වැඩි වශයෙන්ම තොරතුරු සපයා ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු 40 පිළිබඳවයි. ඉශ්‍රායෙලිතයන් මිසරයේ වහල්භාවයෙන් නිදහස ලැබීමේ සිට වයස අවුරුදු 120ක් වයසැතිව සිටි මෝසෙස්ගේ මිය යෑම දක්වා වූ කාලපරිච්ඡේදය එමගින් ආවරණය කෙරේ. වයස අවුරුදු 40 සිට 80 දක්වා කාලය තුළදී මෝසෙස් මිදියන් දේශයේ එඬේරෙකු ලෙස කටයුතු කළේය. කෙසේවෙතත්, එක් මූලාශ්‍රයක සඳහන් වන පරිදි “ඔහුගේ ජීවිතයේ වඩාත්ම කුහුල දනවන කාලපරිච්ඡේදය” වන්නේ ඔහුගේ උපතේ සිට ඔහු මිසරයෙන් පලා ගිය කාලය දක්වා වූ ඔහුගේ ජීවිතයේ මුල් අවුරුදු 40යි. “එනමුත් ඒ පිළිබඳව ඇත්තේ තොරතුරු බිඳක් පමණයි.” මෙම කාලපරිච්ඡේදයෙන් අපට උගත හැක්කේ කුමක්ද? මෝසෙස්ගේ පෞද්ගලිකත්වය ඇඹීමට ඔහු හැදී වැඩුණු පරිසරය හා තත්වයන් දායක වූයේ කෙසේද? ඔහු කිනම් බලපෑම්වලට නිරාවරණය වන්ට ඇද්ද? ඔහු මුහුණ දුන්නේ කුමනාකාරයේ අභියෝගයන්ටද? එමෙන්ම මේ සියල්ලෙන්ම අපට උගත හැක්කේ කිනම් පාඩම්ද?

මිසරයේ වහල්භාවය

මිසරයේ පදිංචි වී සිටි ඉශ්‍රායෙලිතයන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඵාරාවෝ බියෙන් පසු වූ බව නික්මයාම පොතේ විස්තර කර තිබේ. තමා “නුවණින්” ක්‍රියා කරනවායයි සිතමින් ඔහු ඉතා කෲර ලෙස ඔවුන්ව වහල් මෙහෙකාරකමට යොදවාගත්තේය. ඔහු එසේ කළේ ඔවුන් තව තවත් බෝ නොවන පිණිසය. ඔවුන්ට බර වැඩ කිරීමට, කුඹල් කර්මාන්තයේ යෙදීමට හා දිනපතාම නියමිත ගඩොල් ප්‍රමාණයක් සෑදීමට සිදු වූයේ විධායකයන්ගේ කෲර කස පහරවල්ද අත් විඳිමිනුයි.—නික්මයාම 1:8-14; 5:6-18.

මෝසෙස් ඉපදෙන විට මිසරයේ තිබුණායයි පැවසෙන තත්වයන් ඓතිහාසික වාර්තාවලින් මැනවින් සනාථ වේ. පොදු යුගයට පෙර දෙවන සියවසේ නැත්නම් ඊට පෙර සිටි වහලුන් මඩවලින් ගඩොල් සෑදූ ආකාරය විස්තර කරන ඉපැරණි පැපිරස් පත්‍ර කිහිපයක්ද සොහොනක තිබී ගොඩගන්නා ලද බිතු සිතුවමක්ද සොයාගෙන ඇත. ගඩොල් සැපයීමේ වගකීම පැවරී තිබූ නිලධාරීහු තමන් යටතේ සිටි සියගණන් වහලුන්ව කණ්ඩායම් වශයෙන් වෙන් කර ඒ ඒ කණ්ඩායම්වලට නායකයන් පත් කළහ. කණ්ඩායමක සාමාන්‍යයෙන් වහල්ලු 6ත් 18ත් අතර සංඛ්‍යාවක් සිටියහ. ගඩොල් සෑදීම සඳහා බිම හාරා මැටි සොයාගැනීමටත් ගඩොල් සාදන ස්ථානය වෙත පිදුරු ගෙන යෑමටත් ඔවුන්ට සිදු විය. වතුර පිරවූ භාජන ඇදගෙන ඒමෙන් අනතුරුව විවිධ ජාතීන්ගෙන් යුත් කම්කරුවෝ උදැලි භාවිත කරමින් මැටි සහ පිදුරු වතුර සමඟ මිශ්‍ර කළහ. ඉන්පසු එම මිශ්‍රණය එක දිගට පෙළ ගසා තිබූ ඍජුකෝණාස්‍රාකාර අච්චුවලට දමා අව්වේ වියළීමට තැබීය. ඉන්පසු වේළාගත් ගඩොල් කත් බැඳගෙන ගොඩනැඟිලි සාදන තැන් කරා ගෙන ගියහ. ඇතැම්විට මෙම බර රැගෙන යෑමට සිදු වූයේ බෑවුම් සහිත මඟක් හරහාය. ඒ අතරතුර, වාඩිගෙන හෝ එහෙට මෙහෙට ඇවිදිමින් සිටි බැටන් පොලුවලින් සන්නද්ධ මිසර ජාතික නිලධාරීහු වැඩ අධීක්ෂණය කළහ.

ඉපැරණි ගිණුම් වාර්තාවක කම්කරුවන් 602දෙනෙකු ගඩොල් 39,118ක් සෑදූ බව සඳහන් කෙරුණි. මින් අදහස් කරන්නේ වැඩ මුරයකදී එක් මිනිසෙකු ගඩොල් 65ක් සෑදූ බවයි. පොදු යුගයට පෙර 13වන සියවසට අයත් ලියවිල්ලක මෙසේ සඳහන් විය. “මිනිස්සු . . . දිනපතා තමන්ට පවරා ඇති ගඩොල් ප්‍රමාණය සාදති.” මේ සෑම විස්තරයකින්ම මතකයට නැඟෙන්නේ නික්මයාම පොතේ විස්තර කර ඇති ලෙස ඉශ්‍රායෙලිතයන්ගෙන් බලෙන් වැඩගත් ආකාරයයි.

හෙබ්‍රෙව්වරුන්ට කොතරම් පීඩා එල්ල කළත් ඔවුන්ගේ ජනගහන වර්ධනය අඩු කිරීමට නම් හැකි වූයේ නැත. “[මිසරවරුන්] ඔවුන්ට පීඩා කරන්ට කරන්ට ඔවුහු වඩ වඩා බෝ වී . . . ගියෝය. මිසරවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා බියපත් [වූහ].” (නික්මයාම 1:10, 12) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඵාරාවෝ මුලදී හෙබ්‍රෙව් වින්නඹුවන්ටද පසුව තම සියලු ජනයාටද ඉශ්‍රායෙලිතයන්ගේ අලුත උපන් සෑම පිරිමි දරුවෙකුවම මරා දැමීමට නියෝග කළේය. යොඛෙබෙද්ට සහ අම්රාම්ට මෝසෙස් නම් වූ ප්‍රියකරු පුතෙකු බිහි වූයේ මෙම බිහිසුණු තත්වයන් යටතේදීය.—නික්මයාම 1:15-22; 6:20; ක්‍රියා 7:20.

සඟවනු ලැබ, සොයාගනු ලැබ හා දරුකමට ගනු ලැබ

ඵාරාවෝගේ දරුණු නියෝගය නොසලකා හරිමින් මෝසෙස්ගේ දෙමව්පියෝ තම පුංචි පුතාව සඟවා තැබූහ. ඔවුන්ට මෙසේ කරන්න සිදු වූයේ බිලිඳන් සොය සොයා ගිය ඔත්තුකරුවන්ගෙන් හා ගෙයක් ගෙයක් පාසා ඇවිද ගිය පරීක්ෂකයන්ගෙන් එල්ල වූ තර්ජනවලට මුහුණ දෙමින්ද? අපට ඒ පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැක. ඒ කෙසේ වුවද, මාස තුනක් සඟවාගත් පසු මෝසෙස්ව තවදුරටත් සඟවා තැබීමට ඔහුගේ දෙමව්පියන්ට නොහැකි විය. වෙන කළ හැකි කිසිවක් නොතිබූ නිසා ඔහුගේ මව පැපිරස් බටවලින් පෙට්ටියක් සාදා එතුළට ජලය නොයන පිණිස එහි පිට පැත්තේ කීල් සහ ලාටු තවරා දරුවා එහි තැබීය. ඉන්පසු පෙට්ටිය නයිල් ගඟෙහි පා කර හැරීය. අලුත උපන් සෑම හෙබ්‍රෙව් පිරිමි දරුවෙකුවම නයිල් ගඟට දමන්න යන ඵාරාවෝගේ නියෝගයේ නියම අර්ථයට එකඟව කටයුතු නොකළත් යොඛෙබෙද් එම නියෝගයට කීකරු වූවායයි පැවසිය හැකියි. ඉන් අනතුරුව මෝසෙස්ගේ සහෝදරිය වන මිරියාම් ගඟ අසල සිටිමින් පෙට්ටිය රැකබලා ගත්තාය.—නික්මයාම 1:22–2:4.

යොඛෙබෙද් මෝසෙස්ව ගඟ මත පා කර හැරියේ ඵාරාවෝගේ දියණිය එහි නෑමට එන විට ඔහුව සම්බ වේවිය යන්න අපේක්ෂාව ඇතුවද කියා අපට නිශ්චිතව පැවසිය නොහැකියි. එහෙත් සිදු වූයේ එයයි. දරුවා හෙබ්‍රෙව්වරුන්ගේ බව කුමාරිකාවට වැටහුණි. ඇය ගත් තීරණය කුමක්ද? පියාගේ නියෝගයට කීකරු වෙමින් දරුවාව මරන්න කියා ඇය අණ කළාද? නැත, ඇය බොහෝ කාන්තාවන් මෙන් දයානුකම්පිත ලෙස ක්‍රියා කළාය.

මිරියාම් විගස ඇය වෙත දුව ගොස් “ඔබ උදෙසා දරුවාට කිරි දෙන පිණිස මා ගොස් හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් කිරිමවක් කැඳවාගන එන්ටදැයි” ඇසුවාය. එම වාක්‍යයේ උපහාසාත්මක ගුණයක් ගැබ් වී තිබෙන බව ඇතමෙක් පවසති. හෙබ්‍රෙව්වරුන් සමඟ “නුවණින්” ක්‍රියා කරන්න තම උපදේශකයන් සමඟ කුමන්ත්‍රණය කළ ඵාරාවෝට වඩා කොයිතරම් වෙනස් ආකාරයකින්ද මෝසෙස්ගේ සහෝදරිය කටයුතු කළේ! කොහොම වුණත්, මෝසෙස්ගේ ආරක්ෂාව තහවුරු වූයේ ඔහුගේ සහෝදරියගේ යෝජනාවට කුමාරිකාව එකඟ වූවායින් පසුවයි. ඵාරාවෝගේ දියණිය මිරියාම්ට “යන්න” කියා පැවසූ විට ඇය ගොස් තම මව කැඳවාගෙන ආවාය. ඉන්පසු යොඛෙබෙද් හා කුමාරිකාව ඉතා පුදුමාකාර ගිවිසුමකට එළඹුණි. එනම්, රජ පවුලේ ආරක්ෂාව යටතේ තමාගේම දරුවාට කිරි දී හදා වඩා ගැනීම වෙනුවෙන් යොඛෙබෙද්ට කුලියක් දෙනු ලැබීමටයි.—නික්මයාම 2:5-9.

කුමාරිකාවගේ දයානුකම්පිත ස්වභාවය ඇගේ පියාගේ කෲර ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇය දරුවා හදාගැනීමට තීරණය කළේ ඇත්ත තත්වය නොදැන මුළා වී සිටි නිසා නොවේ. ඇගේ හද උණු වී දරුවා ගැන අනුකම්පාවක් ඇති වූ නිසයි, ඇය එසේ කිරීමට පෙලඹුණේ. එමෙන්ම ඇය හෙබ්‍රෙව් කිරිමවක් කැඳවීමට එකඟ වීමෙන් හෙළි වන්නේ හෙබ්‍රෙව්වන් පිළිබඳව පියාට තිබූ අගතිසහගත හැඟීම් ඇයට නොතිබූ බවයි.

ඇති දැඩි කිරීම හා අධ්‍යාපනය

යොඛෙබෙද් “දරුවා ගෙන ගොස් කිරි දී හැදුවාය. දරුවා වැඩුණු කල ඈ ඔහු ඵාරාවෝගේ දියණිය වෙතට ගෙනාවාය. ඔහු ඇගේ පුත්‍රයා වුණේය.” (නික්මයාම 2:9, 10) මෝසෙස් තම නියම දෙමව්පියන් සමඟ කොතරම් කාලයක් ජීවත් වූවාදැයි බයිබලයේ සඳහන් කරන්නේ නැත. කිරි වැරීම දක්වා, එනම් ඔහුට අවුරුදු 2ක් හෝ 3ක් වන තෙක් ඔහු ඔවුන් සමඟ සිටින්න ඇතැයි යන්න ඇතමෙකුගේ මතයයි. එහෙත් ඊටත් වඩා කාලයක් ගත වූවායයි සිතීමට ඉඩ තිබේ. නික්මයාම පොතෙහි සඳහන් වන්නේ ඔහු තම දෙමව්පියන් සමඟ සිටියදී ‘වැඩුණා’ කියායි. ඒ වන විට ඔහුගේ වයස කොපමණ වූවාද කියා සඳහන් වී නොමැත. ඒ කෙසේවුවද, තමා හෙබ්‍රෙව් ජාතිකයෙකුය යන කාරණය පැහැදිලි කිරීමටත් යෙහෝවා පිළිබඳව ඉගැන්වීමටත් අම්රාම් හා යොඛෙබෙද් එම කාලය යොදාගත් බව නිසැකයි. මෝසෙස්ගේ හෘදයේ ඇදහිල්ලක් හා ධර්මිෂ්ඨකම සඳහා ඇල්මක් පැලපදියම් කිරීමේදී ඔවුන් කොතරම් දුරකට සාර්ථක වූවාදැයි කාලයාගේ ඇවෑමෙන් හෙළි විය.

ඵාරාවෝගේ දියණියට නැවත භාර දුන් පසු “මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්” මෝසෙස්ට උගන්වනු ලැබීය. (ක්‍රියා 7:22) එයින් අදහස් කරන්නේ මෝසෙස් ලද පුහුණුව මගින් ඔහු රජයේ නිලතල දැරීමට තරම් සුදුසුකම් ලැබූ බවයි. ගණිතය, ජ්‍යාමිතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ගොඩනැඟිලි කර්මාන්තය ඇතුළු වෙනත් ශාස්ත්‍රයන් හා විද්‍යාවන් මිසරවරුන්ගේ දැනුම් සම්භාරයට අයත් විය. මිසරයේ ආගම ගැනද මෝසෙස් ඉගෙනගන්නවාට රජ පවුල කැමැත්තක් දැක්වූ බව සිතිය හැකියි.

මෝසෙස් මේ විශේෂ පුහුණුව ලබන්ට ඇත්තේ රජ පවුලේ වෙනත් දූ දරුවන් සමඟ විය හැකියි. එවන් අධ්‍යාපනයක් ලැබුවේ වරප්‍රසාද ලත් සුළු පිරිසක් පමණි. ඒ අතර “මිසරයට ඇපකරුවන් වශයෙන් යවනු ලැබූ හෝ ඇපයට ගනු ලැබූ විදේශ පාලකයන්ගේ දරුවන්ද” විය. “‘ශිෂ්ට සම්පන්න’ තත්වයකට ගෙන ඒමෙන් පසු නැවත තම මව්බිම කරා ඔවුන්ව යවනු ලැබූ අතර [ඵාරාවෝගේ පක්ෂපාතී] දාසයන් වශයෙන් ඔවුන්ට පාලන බලයද හිමි කර දුණි.” (බෙට්සි එම්. බ්‍රයන් විසින් රචිත IVවන තුට්මෝස්ගේ පාලනය [සිංහලෙන් නොමැත]) රජයේ නිලතල දැරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබීමට රජ මාළිගාවලට යාබදව තිබූ ළමාගාරවලදී දරුවන්ව පුහුණු කළ බවක් පෙනෙන්ට තිබේ. * මිසරයේ මධ්‍යතන හා නූතන රාජ්‍ය යුගවලට අයත් ශිලා ලේඛනවලින් හෙළි වන්නේ ඵාරාවෝගේ පෞද්ගලික උපස්ථායකයන් හා උසස් නිලතල දැරූ රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු වැඩිහිටියන් වූ පසුත් “ළමාගාරයේ දරුවා” යන ගෞරවනීය පදවි නාමය දැරූ බවයි.

රජ මාළිගාවේ ජීවිතය මෝසෙස්ට පරීක්ෂාකාරි එකක් වූ බව සිතිය හැකියි. එමගින් ධනසම්පත්, සුඛෝපභෝගි ජීවන රටාවක් හා බලය අත් කරගැනීමට කදිම ප්‍රස්තා විවෘත කර දුණි. තවද සදාචාරයටද එමගින් තර්ජනයක් එල්ල වුණි. මෝසෙස් මේ සියල්ලට මුහුණ දුන්නේ කෙසේද? ඔහු පක්ෂපාතකම දැක්වූයේ කාටද? ඔහු හෘදයාංගමව යෙහෝවාට නමස්කාර කළ අයෙකු වූවාද? ඔහු පීඩාවට පත් වූ හෙබ්‍රෙව්වරුන්ගේ සහෝදරයෙකු බව ඔප්පු කළාද? එසේ නැතහොත් ඔහු මිථ්‍යාදෘෂ්ටික මිසරවරුන්ගේ ග්‍රහණයට හසු වූවාද?

වැදගත් තීරණයක්

මිසරවරුන්ගේ ජීවන රටාවට මුළුමනින්ම ඔහුව ඈඳාගැනීමට ප්‍රමාණවත් කාලයක් ගත වූ පසු, එනම් ඔහුට අවුරුදු 40ක් වූ විට මෝසෙස් ‘තම සහෝදරයන් කරමින් සිටි බර වැඩ බැලීමට’ ගියේය. එසේ ගියේ නිකම්ම කුතුහලයකින් පසු වූ නිසා නොව ඔවුන්ට උපකාර කිරීමට තිබූ දැඩි ආශාව නිසයි. ඔහු ඉන්පසු කළ දෙයින් එය පැහැදිලි වේ. හෙබ්‍රෙව්වරයෙකුට මිසර ජාතිකයෙකු තළනවා දුටු විට ඔහු විගස මැදිහත් වී මිසර ජාතිකයා මරා දැමුවේය. මෙම ක්‍රියාවෙන් පෙනී යන්නේ මෝසෙස්ට තම සහෝදරයන් ගැන කැක්කුමක් තිබූ බවය. මිය ගිය මිනිසා නිලධාරියෙකු වන්නට ඇති අතර ඔහුව ඝාතනය කරනු ලැබුවේ තම රාජකාරිය ඉටු කරන අතරතුරේදීය. මිසරවරුන්ගේ කෝණයෙන් බලන කල ඵාරාවෝට පක්ෂපාතී වීමට මෝසෙස්ට සෑම හේතුවක්ම තිබුණි. එහෙත් එවැනි දෙයක් කිරීමට මෝසෙස් පෙලඹුණු තවත් හේතුවක් වූයේ ඔහු යුක්තියට ප්‍රිය කිරීමයි. ඊළඟ දවසේදී අයුක්තිසහගත ලෙස තම සහෝදරයෙකුට තළමින් සිටි හෙබ්‍රෙව් ජාතිකයෙකුට අවවාද කළ විට ඔහු නැවතත් මෙම ගුණාංගය පිළිබිඹු කළේය. මෝසෙස්ට වුවමනා වූයේ හෙබ්‍රෙව්වන්ව කෲර වහල්භාවයෙන් මුදන්ටයි. එහෙත් මෝසෙස් මිසර ජාතිකයා මරා දැමූ බව දැනගත් විගස ඵාරාවෝ ඔහුව මරන්න සෙවීය. එනිසා මිදියන් දේශය වෙතට පලා යෑමට මෝසෙස්ට සිදු විය.—නික්මයාම 2:11-15; ක්‍රියා 7:23-29. *

ඉශ්‍රායෙල්වරුන්ව මුදවාගැනීමට මෝසෙස්ට ආශාවක් තිබුණද ඒ සඳහා යෙහෝවාගේ නියමිත කාලය පැමිණ තිබුණේ නැත. කොහොම නමුත්, ඔහුගේ ක්‍රියාවලින් පෙනී ගියේ ඔහුට ඇදහිල්ල තිබූ බවයි. හෙබ්‍රෙව් 11:24-26හි පවසා ඇත්තේ, “මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් [ඇදහිල්ලෙන්, NW] එපා කර . . . කලකට පාපයේ සැප භුක්ති විඳීමට වඩා දෙවිගේ සෙනඟ සමඟ දුක් විඳීම තෝරාගත්තේය” කියාය. ඒ මන්ද? ඔහු “විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්ගේ නින්දාව මහත් සම්පතක්යයි” සිතූ නිසාය. මෙහිදී “අභිෂේක ලත් තැනැත්තා” යන අරුත් ඇති “ක්‍රිස්තුස්” යන යෙදුම අසාමාන්‍ය ආකාරයකට යොදා ඇති අතර මෝසෙස් පසු කලෙක ඍජුවම යෙහෝවාගෙන් පැවරුමක් ලැබූ නිසා ඔහුට එය මනාව ගැළපේ.

මොහොතකට මේ ගැන සිතා බලන්න! මෝසෙස්ව ඇති දැඩි කළේ මිසරයේ රදළ පංතියට පමණක් සීමා වූ පරිසරයකයි. ඔහු සිටි තත්වය අනුව උසස් තනතුරකට ඒමටත් තමා ප්‍රිය කරන ඕනෑම දෙයක් ලබාගැනීමටත් ඔහුට පුළුවන් විය. එහෙත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය. යෙහෝවා සඳහාත් යුක්තිය සඳහාත් ඔහුට තිබූ ප්‍රේමය නිසා කෲර ආධිපත්‍යය දැරූ ඵාරාවෝගේ රජ මාළිගාවේ සිතට එකඟව ජීවත් වීමට ඔහුට නොහැකි විය. දිව්‍ය අනුමැතියට වඩාත් ප්‍රිය කිරීමට මෝසෙස් පෙලඹුණේ ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් යන තම මුතුන්මිත්තන්ට දෙවි දුන් පොරොන්දු පිළිබඳව දැන සිටීම හා ඒවා ගැන මෙනෙහි කිරීම නිසාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවා තමාගේ අරමුණ ඉටු කිරීම සඳහා මෝසෙස්ට ඉතා වරප්‍රසාද ලත් කාර්යභාරයක් ලබා දුණි.

වඩා වැදගත් දේ කුමක්ද යන්න පිළිබඳව අප සියලුදෙනාටම තීරණ ගැනීමට සිදු වේ. මෝසෙස්ට මෙන් ඔබටත් බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වෙනවා විය හැකියි. ඔබ ප්‍රිය කරන ඇතැම් ක්‍රියාකාරකම් හා භුක්ති විඳින ඇතැම් වාසි ප්‍රයෝජන අත්හැරිය යුතුද? කුමක් පරිත්‍යාග කිරීමට සිදු වුවත් එසේ කිරීමට ඔබ සූදානම් විය යුතුද? ඔබට එවන් තීරණයක් ගැනීමට සිදු වී ඇත්නම් මිසරයේ සියලු සැප සම්පත්වලට වඩා මෝසෙස් වටිනවායයි සැලකුවේ යෙහෝවා සමඟ වූ ඔහුගේ මිත්‍රත්වය බව මතක තබාගන්න. තවද මෝසෙස් තම තීරණය පිළිබඳව කෙදිනකවත් පසුතැවිලි වූයේ නැති බවද අමතක නොකරන්න.

[පාදසටහන්වල]

^ 17 ඡේ. මෙම අධ්‍යාපනය, බබිලෝනීය අධිරාජ්‍යයේ නිලධාරීන් වීම සඳහා දානියෙල්ට සහ ඔහුගේ මිතුරන්ට දුන් පුහුණුව හා සමාන එකක් වූවා විය හැකියි. (දානියෙල් 1:3-7) යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතෙහි 3වන පරිච්ඡේදය හා සසඳන්න.

^ 20 ඡේ. තමා පලා ගිය දේශය වන මිදියන්හිදී, බැටළු රැළවල් බලාගනිමින් සිටි අසරණ එඬේර කාන්තාවන් හිරිහැරයට ලක් වූ විට මෝසෙස් ඔවුන්ට උපකාර කළේය. මෝසෙස් යුක්තියට ප්‍රිය කරන පුද්ගලයෙකු වූ බවට මෙය තවත් සාක්ෂියකි.—නික්මයාම 2:16, 17.

[11වන පිටුවේ කොටුව]

කිරිමව් ගිවිසුම්

සාමාන්‍යයෙන් බිලිඳුන්ට කිරි දුන්නේ ඔවුන්ගේම මව්වරුන්ය. කොහොම වුවත් “ඇතැම් අවස්ථාවලදී රදළ පංතියට අයත් [මැද පෙරදිග] පවුල්වල කිරිමවකගේ සේවය පැතීය. සාමාන්‍යයෙන් මවකට තම බිලිඳාට නියම පෝෂණය ලබා දිය නොහැකි වූ විට හෝ බිලිඳාගේ නියම මවව සොයාගත නොහැකි වූ විටද ඔවුහු මෙසේ කළහ. යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට දරුවාව ඇති දැඩි කිරීමේ හා ඔහුට කිරි දීමේ වගකීම දැරුවේ කිරිමවයි” යනුවෙන් ජර්නල් ඔෆ් බිබ්ලිකල් ලිට්‍රෙචර් නම් කෘතියේ විශාරද බ්‍රෙවර්ඩ් චයිල්ඩ්ස් සඳහන් කර තිබුණි. ඉපැරණි මැද පෙරදිග යුගයට අයත් පැපිරස් පත්‍රවල කිරිමව් ගිවිසුම් කිහිපයක් ඇති බව සොයාගෙන තිබේ. මිසරයේ සුමේරියානු යුගයේ සිට හෙලනික යුගයේ අගභාගය දක්වා මෙම සිරිත පැවති බවට මෙම ලියවිලි සාක්ෂි සපයයි. ගිවිසුමට එළඹුණු පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශයක්, ගිවිසුම කොයිතරම් කාල සීමාවකට වලංගුද, වැඩ කළ යුත්තේ කුමන තත්වයන් යටතේද, දරුවාට ලබා දිය යුතු පෝෂණය පිළිබඳ විශේෂ තොරතුරු, ගිවිසුමේ කොන්දේසි අනුව වැඩ නොකළොත් ගෙවිය යුතු දඩ මුදල, වැටුප හා වැටුප ගෙවන ලද ආකාරය යනාදිය ගැන සඳහන් වී තිබීම මෙම ලියවිලිවල පොදුවේ දක්නට ලැබූ ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් “කිරිමවකගේ සේවය පැතුවේ අවුරුදු දෙකක හෝ තුනක කාලයක් සඳහායි” කියා චයිල්ඩ්ස් පැහැදිලි කළේය. “කිරිමව දරුවාව ඇගේ නිවසේ ඇති දැඩි කළ නමුත් විටින් විට දරුවාගේ තත්වය පරීක්ෂා කරනු ලැබීම සඳහා ඔහුගේ භාරකරුවන් වෙත රැගෙන යා යුතුව තිබුණි.”

[9වන පිටුවේ පින්තූර]

ඉපැරණි බිතු සිතුවම්වලින් හෙළි වන පරිදි මෝසෙස්ගේ කාලයේ සිට අද දක්වා ගඩොල් කර්මාන්තයේ එතරම් වෙනසක් සිදු වී නැත

[හිමිකම් විස්තර]

Above: Pictorial Archive (Near Eastern History) Est.; below: Erich Lessing/Art Resource, NY