Skip to content

පටුනට යන්න

රෝම ඉතිහාසයෙන් පාඩමක්

රෝම ඉතිහාසයෙන් පාඩමක්

රෝම ඉතිහාසයෙන් පාඩමක්

“මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්” කියා ප්‍රේරිත පාවුල් 1 කොරින්ති 15:32හි වාර්තා කළේ රෝමයේ පොර පිටියක සටන් වැදීමට ඔහුට දණ්ඩනයක් ලැබූ නිසාය කියා සමහරු සිතති. ඔහු එසේ සටන් වැදුණා හෝ නැතා, පොර පිටිවල මරණය තෙක් සටන් කිරීම එදා පොදු දෙයක්ව පැවතියේය. මේ පොර පිටි ගැනත් ඒවායේ සිදු වූ දේ ගැනත් ඉතිහාසය අපට කියා දෙන්නේ කුමක්ද?

ක්‍රිස්තියානීන් හැටියට, අපේ හෘදය සාක්ෂිය යෙහෝවාගේ දෘෂ්ටි කෝණයට අනුව අඹාගැනීමට අපි කැමැත්තෙමු. මන්ද එසේ කිරීම, විශේෂයෙන්ම වර්තමාන විනෝදාස්වාදය පිළිබඳව තීරණ ගැනීමට අපට උපකාරවත් වන හෙයිනි. උදාහරණයක් හැටියට, සැහැසියාව පිළිබඳ දෙවිගේ හැඟීම මේ වදන්වල ගැබ් වී ඇති ආකාරය සලකා බලන්න. “බලහත්කාරකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.” (හිතෝපදේශ 3:31) තමන් අවට සිටි බොහෝදෙනෙක් රෝම ග්ලැඩියේටර් සටන් සඳහා මහත් උද්‍යෝගයක් පෙන්වමින් සිටින අවදියේදී, මුල් ක්‍රිස්තියානීන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ඒ වන විටත් ලැබී තිබුණි. එවන් අවස්ථාවලදී සිදු වූ දේවල් සලකා බලා අද සිටින ක්‍රිස්තියානීන්ට එයින් අදාළ කරගත හැකි පාඩම කුමක්දැයි අපි විමසා බලමු.

රෝම පොර පිටියක ග්ලැඩියේටර්වරු දෙදෙනෙකු මුහුණට මුහුණලා සිටගෙන සිටිති. උමතුවෙන් සිටින සෙනඟ පලිහට මුල්ම කඩු පහර වදිනවා ඇසීමත් සමඟම තමා වැඩියෙන් ප්‍රිය කරන පුද්ගලයාට දිරි දෙමින් මොරගසයි. එය දිවි ගලවාගැනීම සඳහා කෙරෙන අතිබිහිසුණු සටනකි. වැඩි වේලාවක් යන්ට මත්තෙන්, තවදුරටත් සටන් කළ නොහැකි වන සේ තුවාල ලැබූ ග්ලැඩියේටර්වරයා ඔහු අත ඇති ආයුධ බිම දමා, දණින් වැටෙන්නේ, පරාජය පිළිගෙන අභය දානය ඉල්ලීමක් හැටියටය. ඝෝෂාව එන්ට එන්ටම වැඩි වෙයි. සමහරු අභය දානය දෙන ලෙසටත්, අනිත් අය මරා දමන ලෙසටත් කෑමොර දෙති. සැමෝගේම ඇස් දැන් අධිරාජ්‍යයා වෙත යොමු වී තිබේ. ඔහු වැඩිදෙනාගේ කැමැත්තට හිස නමයි. පරාජිත සටන්කරුවා නිදහස් කර හරින්ට හෝ මහපොටැඟිලි පහතට සිටින සේ අභිනය කරමින් ඔහුගේ මරණය නියම කරන්ට හෝ ඔහුට හැකිය.

ග්ලැඩියේටර ප්‍රදර්ශන නැරඹීමට රෝමවරුන් දැක්වූයේ මහත් කෑදරකමකි. මෙවන් සටන් මුලින්ම පවත්වනු ලැබුවේ කුලීනයන්ගේ අවමංගල්‍යවලදී බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකිය. මෙම තරඟවල ප්‍රාරම්භය සිදු වූයේ වර්තමාන මධ්‍යම ඉතාලිය ලෙස හඳුන්වන ප්‍රදේශයේ විසූ ඔස්කන් නැතහොත් සැම්නයිට් සෙනඟ අතර පැවති මිනිස් බිලි පූජාවලිනැයි විශ්වාස කෙරේ. මෙම බිලි පූජා පැවැත්වූයේ මළවුන්ගේ ආත්ම සන්සිඳුවීමටය. එවන් සටන් හඳුන්වනු ලැබුවේ මූනුස් නැතහොත් “තෑග්ග” (බහු වචනය මූනෙරා) හැටියටය. රෝමයේ එවැනි සටනක් මුල් වරට පවත්වනු ලැබුවේ පො.යු.පෙ. 264දීය. ඒ අවස්ථාවේදී සටනට සහභාගි වූයේ ග්ලැඩියේටර්වරුන් ජෝඩු තුනකි. සටන කෙරුණේ ගව වෙළඳ පොළකදීය. මාකස් ඊමිලියුස් ලෙපිඩස්ගේ අවමංගල්‍යයේදී ජෝඩු 22ක්ද, පබ්ලියුස් ලිසිනියුස්ගේ අවමංගල්‍යයේදී ජෝඩු 60ක්ද මුහුණට මුහුණලා සටන් කළෝය. පොදු යුගයට පෙර 65දී, ජූලියස් සීසර් විසින් ග්ලැඩියර්වරු ජෝඩු 320ක් පොර පිටියට යවන ලදි.

ඉතිහාසඥ කීත් හොප්කින්ස් කියන අන්දමට, “රදළයන්ගේ අවමංගල්‍යයන් කූට දේශපාලනික අභිමතාර්ථ ඉටු කරගැනීම සඳහා යොදාගැනුණි. එමෙන්ම ඡන්ද දායකයන් අතර අවමංගල්‍යය ක්‍රීඩා ජනප්‍රියව තිබූ හෙයින් ඒවා දේශපාලනික මුහුණුවරක් ගෙන තිබුණි. ඇත්තෙන්ම, මේ ග්ලැඩියේටර ප්‍රදර්ශනවල උත්කර්ෂවත්බව වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ අභිලාෂකාමී රදළයන් අතර පැවති දේශපාලනික තරඟකාරිත්වයයි.” ඔගස්ටස්ගේ පාලන සමය (පො.යු.පෙ. 27 සිට පො.යු. 14 දක්වා) වන විට, ධනවත් රජයේ නිලධාරීන් තමන්ගේ දේශපාලනික පැවැත්ම ස්ථිර කරගැනීම සඳහා මහජනයාගේ විනෝදාස්වාදය වූ මූනෙරා නොමසුරු තෑග්ගක් බවට පත් කර තිබුණි.

එහි හවුල්වන්නෝ හා ඔවුන් ලද පුහුණුව

‘ග්ලැඩියේටර්වරුන් කියන්නේ කවුරුන්දැයි’ ඔබ අසාවි. ඔවුන් වහලුන්, මරණයට නියම වූ අපරාධකරුවන්, යුධ සිරකරුවන් හෝ උද්‍යෝගය නිසා නැතහොත් කීර්තිය හා ධනය අපේක්ෂාවෙන් ආකර්ෂණය වූ නිදහස් මිනිසුන් වන්නට ඇත. ඒ සියලුදෙනාවම පුහුණු කරන ලද්දේ සිරගෙයක් බඳු පාසැලකය. ජෝකී එ ස්පෙටාකොලි (තරඟ හා ප්‍රදර්ශන) නමැති පොත වාර්තා කරන්නේ මෙලෙසයි. පුහුණුව ලබමින් සිටි ග්ලැඩියේටර්වරුන්ව “ආරක්ෂකයන්ගේ තියුණු ඇසට නතු වූ අතර, දැඩි හික්මවීමටත් දරුණුම නීතිවලටත් විශේෂයෙන්ම කුරිරු දඬුවම්වලටත් ඔවුන් භාජන විය. . . . මෙවන් සැලකිලි බොහෝවිට සිය දිවි නසාගැනීම්, විරෝධතා හා කැරලිගැසීම්වලට මඟ පෑදීය.” රෝමයේ තිබූ විශාලම ග්ලැඩියේටර පාසැල්වල දහස්දෙනෙකුවවත් දැමිය හැකි කුඩා කුටි තිබුණි. එක් එක් ග්ලැඩියේටර්වරයාටම ආවේණික වූ හැකියාවන් විය. සමහරු ආයුධ, පලිහ හා කඩුවකින්ද වෙනකෙක් දැලකින් හා ත්‍රිශූලයකින්ද සන්නද්ධ වී සිටියහ. එමෙන්ම, සමහරෙකුට තවත් ජනප්‍රිය ප්‍රදර්ශනයක් වූ වන මෘග දඩයම සඳහා විශේෂිත පුහුණුවක් දෙන ලදි. පාවුල් හරියටම පවසමින් සිටියේ එවැනි ඉසව්වක් ගැන විය හැකිද?

වයස අවුරුදු දහහතේදී හෝ දහඅටේදී බඳවාගෙන ග්ලැඩියේටර්වරුන් ලෙස පුහුණු කළ අයව ලබාගැනීමට සංවිධායකයෝ ව්‍යවසායකයන් වෙත එළඹුණහ. මිනිසුන්ව විකිණීම විශාල ව්‍යාපාරයක් විය. යුධ ජයග්‍රහණයක් සැමරීම සඳහා පැවැත්වූ එක්තරා ප්‍රකට ප්‍රදර්ශනයක් සඳහා ට්‍රේජන් අධිරාජයා ග්ලැඩියේටර්වරුන් 10,000කුත් මෘගයන් 11,000කුත් ඉදිරිපත් කළේය.

පොර පිටියක දවසක්

පොර පිටියේ පැවති වැඩසටහනේ උදෑසන වරුව වෙන් කර තිබුණේ දඩයමටයි. සෑම වර්ගයකම වාගේ වන මෘගයන්ව පොර පිටියට එවනු ලැබීය. ගවයෙකු හා වලසෙකු අතර සිදු වන පොරය නැරඹීමට ජනයා මහත් රුචියක් දැක්වූහ. බොහෝ අවස්ථාවලදී, මේ සතුන් දෙදෙනාව එකට බැඳ පොරයට යවනු ලැබූ අතර, එකෙක් මැරුණු පසු ඉතිරි වූ එකාව දඩයක්කරුවෙකු විසින් මරා දමනු ලැබීය. අනිකුත් ජනප්‍රිය පොර ඇල්ලුණේ, සිංහයන් හා කොටියන් අතර හෝ අලියන් හා වලසුන් අතරය. අධික මිල ගෙවා අධිරාජ්‍යයේ සෑම මුල්ලකින්ම ගෙනා විවිධාකාර සතුන්ව උන්ගේ වටිනාකම ගැනවත් නොතකා මරා දමමින් දඩයක්කරුවෝ උනුන්ගේ නිපුණතා පෙන්නුවෝය. ඒ සතුන් අතර, දිවියන්, රයිනෝසරයන්, හිපපොටේමසයන්, ජිරාෆයන්, හයිනාවන්, ඔටුවන්, වෘකයන්, වල් ඌරන් හා ඇන්ටිලෝපයන්ද විය.

මේ දඩයම් ඇතුළත් වැඩසටහන් අමතක නොවන ඒවා කිරීමට සුන්දර දසුන්ද නිමවා තිබුණි. පර්වත, පොකුණු හා ගස් වැනි දෑ කැලයක ස්වරූපයක් ගෙන දුන්නේය. සමහර පොර පිටිවලට සතුන් පැමිණියේ විජ්ජා බලයෙන් මෙනි. එසේ කළේ උන්ව භූගත ආරෝහකයක හෝ බිම් දොරක ආධාරයෙන් පිටතට ගෙන ඒමෙනි. සතුන්ගේ අනපේක්ෂිත චර්යා රටා නරඹන්නන්ගේ උනන්දුව වැඩි කළේය. එහෙත්, දඩයම වඩාත්ම චිත්තාකර්ෂණීය කළේ කෲරත්වය මගිනි.

වැඩසටහනේ ඊළඟට පැමිණියේ මරා දැමීමයි. දර්ශන හැකිතාක් තාත්විකව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔවුහු ඕනෑම දෙයක් කළෝය. මිථ්‍යා කතා වටා ගෙතූ නාට්‍යයන් ඉදිරිපත් කිරීමේදී නළුවෝ ඇත්තටම මැරුණෝය.

දහවල් කාලයේදී, විවිධ කණ්ඩායම්වලට අයත් ග්ලැඩියේටර්වරුන් එකිනෙකාට ආවේණික වූ ආයුධ සමඟ, උනුන්ව පුහුණු කර ඇති ආකාරයට එකිනෙකා සමඟ සටන් කළෝය. මළ කඳන් ඇදගෙන පැමිණි සමහර ග්ලැඩියේටර්වරුන් යමපල්ලන් ලෙස සැරසී පැමිණියෝය.

නරඹන්නන් මත ගෙනා බලපෑම

ලේ හළන දර්ශන දැක බලාගැනීම සඳහා සෙනඟ තුළ වූ ගිජුකම සන්සිඳවිය නොහැකි විය. එසේ හෙයින් පසුබසින සටන්කරුවන්ට කසපහර දෙමින් හා ගිනියම් කළ යකඩවලින් පුච්චමින් නැවතත් ඔවුන්ව සටනට යවනු ලැබීය. සෙනඟ මෙසේ කෑ ගැසූහ. “මිනිහා ඔච්චර නිවට විදිහට කඩු පහර කන්නේ ඇයි? පණ නැති ගානට පහර දෙන්නේ ඇයි? මිනිහා [කැමැත්තෙන්ම] නොමැරෙන්නේ ඇයි? කසෙන් ගහලා ආයෙත් සටනට යවව්! උඩු වස්ත්‍ර ගලවා කඩුවෙන් ඇන කොටාගන්ට ඉඩහරිව්!” ප්‍රදර්ශනයේ විවේක කාලයේදී කළ නිවේදනයක් ගැන රෝම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ සෙනෙකා මෙසේ ලියයි. “විනෝදේ නතර නොකර බෙලි කිහිපයක් සිඳ දමව්!”

තමා නැවත නිවස බලා පිටත් වූයේ “වඩා කෲරයෙකු වගේම අමානුෂිකයෙකු” මෙනැයි සෙනෙකා පිළිගැනීම පුදුමයක් නොවේ. මේ නරඹන්නාගේ අවංක හැඟීම අපි බැරෑරුම් ලෙස සැලකිල්ලට භාජන කළ යුතුය. අදදින තිබෙන සමහර ක්‍රීඩා ඉසව් නරඹන අයත් එවැනිම ආකාරයේ බලපෑමකට ලක් වෙමින් “කෲර මෙන්ම අමානුෂික” අය බවට පත් විය හැකිද?

නැවතත් නිවෙස් බලා යෑමට තරම් තමන් වාසනාවන්තැයි සමහරු සිතන්ට ඇත. එක් නරඹන්නෙක් ඩොමීෂියන් අධිරාජ්‍යයා ගැන උපහාසාත්මක යමක් පැවසූ විට ඔහු එම පුද්ගලයාව අසුනෙන් ඇද බල්ලන්ට දැමුවේය. මරණයට නියම කළ අපරාධකරුවන්ගේ හිඟයක් ඇති වූ නිසා නරඹන්නන්ගෙන් එක්තරා කොට්ඨාශයක් වන මෘගයන්ට ඇද දමන ලෙස කැලිග්‍යුලා අණ කළේය. පොර භූමිය තුළ ක්‍රියාත්මක කරන යන්ත්‍ර තමන්ට ඕනෑ ආකාරයට ක්‍රියාත්මක නොවූ විට ඊට අදාළ කාර්මිකයන්ව පොර පිටියේ සටනට යවන ලෙස ක්ලෝඩියස් ආඥා කළේය.

නරඹන්නන් අතර තිබූ උමතුවද විනාශයට හා කැරලිවලට හේතු පාදක විය. රෝමයේ උතුරට වෙන්ට පිහිටා තිබූ ඇම්ෆිතියටරයක් කඩා වැටීම නිසා දහස් ගණනක් මිය ගිය බව වාර්තා වේ. පොදු යුගයේ 59දී, පොම්පෙයිහිදී පැවැත්වූ ප්‍රදර්ශනයක් අතරතුරේදී කෝලහාලයක් ඇරඹුණි. එම නගරයේ සෙනඟ හා ළඟපාත නගරයක විසූ සෙනඟ අතර ඇති වූ මේ ගැටුම ඇරඹුණේ නින්දා අපහාස සමුදායකිනි. පසුව, ගල් මුල්වලින් පහර දීමකට පෙරළුණු මෙය අන්තිමේදී, කඩු පාවිච්චිය දක්වාම දුරදිග ගියේය. සමහරුන්ගේ ශරීර අවයව කපා දැමුණු අතර තවත් සමහරුන්ව මරා දැමුණි.

පැහැදිලි පාඩමක්

මෑතකදී රෝමයේ කොලොසියමෙහි පැවැත්වූ ප්‍රදර්ශනයකදී (“ලේ හා වැලි”) මුනෙරා හා සමාන දේවල් වර්තමානයේදීද සිදු වන බව කෙනෙකුට මතක් කර දුන්නේය. එහිදී ගොන් පොර, බොක්සිං, මෝටර් රථ හා මෝටර් සයිකල් රේස්වල සිදු වන අතිභයානක අනතුරු, තරඟකරුවන් අතර කෙරෙන දරුණු අඬ දබර හා නරඹන්නන් අතර සිදු වන කලකෝලහාල ඇතුළත් කෙටි විඩියෝ දර්ශන කිහිපයක් පෙන්වීමද සැලකිය යුත්තකි. මේ ඉදිරිපත් කිරීම අවසන් වූයේ ඉහළ සිට ගනු ලැබූ කොලොසියමේ දර්ශනයකිනි. අමුත්තන් එළඹෙනු ඇති නිගමනය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන්ගෙන් කීදෙනෙක් මෙයින් පාඩම් ඉගෙනගනු ඇද්ද?

අදදිනත් ඇතැම් රටවල බලු පොර, කුකුල් පොර, ගොන් පොර හා සැහැසික ක්‍රීඩාවන් ජනප්‍රියය. මෝටර් රථ තරඟවලදී ජනයාව කුල්මත් කිරීම සඳහා තරඟකරුවන් තමන්ගේ ජීවිත අවදානමේ හෙළනු ලැබේ. එපමණක් නොව, දිනපතා පෙන්වන රූපවාහිනි දර්ශන ගැන කල්පනා කර බලන්න. සාමාන්‍යයෙන් ටීවී බලන දරුවෙක් වයස අවුරුදු දහය වන විට මිනිමැරුම් 10,000ක් හා සැහැසිකකම් 1,00,000ක් පමණ දැක ඇති බව එක් බටහිර රටක කරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත.

නරඹන්නන්ගේ විනෝදය “සැබෑ ආගම හා සැබෑ දෙවිට සැබෑ ලෙස කීකරු වීම හා එකඟ වූ දෙයක් නොවුණු” බව තුන්වන සියවසේ ලේඛක ටර්ටූලියන් පැවසුවේය. ඒවා නැරඹීමට පැමිණි අය මිනිමරුවන්ගේ පංගුකාරයන් ලෙස ඔහු සැලකීය. අද ගැන කුමක් කිව හැකිද? කෙනෙකුට තමන්ගෙන්ම මෙසේ අසාගත හැකිය. ‘ලේ හැලීම, මරණය එහෙමත් නැත්නම් රූපවාහිනියේ හෝ අන්තර්ජාලයේ පෙන්වන සැහැසික ක්‍රියා නැරඹීමෙන් මම වින්දනයක් ලබනවාද?’ එසේනම්, ගීතාවලිය 11:5හි [NW] සඳහන් දෙය මතක් කරගැනීම වටී. “යෙහෝවා ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් විමසන්නේය. නමුත් ඔහුගේ ආත්මය සැහැසියාවට ප්‍රියවෙන්නාට ද්වේෂ කරයි.”

[28වන පිටුවේ කොටුව]

“මළවුන්ව සැනසීමට” කළ සටන්

ග්ලැඩියේටර් සටන්වල මූලාරම්භය ගැන තුන්වන සියවසේ විසූ ලේඛක ටර්ටූලියන් මෙසේ කියයි. “මෙවැනි ප්‍රදර්ශනවලට වඩාත් ශිෂ්ටසම්පන්නැයි හැඳින්වූ කෲරත්වයක් මුසු කළ පැරැන්නෝ එමගින් තමන් මළවුන්ට සේවයක් කළ බව සිතූහ. මැරුණු අයගේ ආත්ම මිනිස් ලේවලින් සැනසෙන බව අතීත වැසියන් විශ්වාස කළ බැවින් ඔවුන් මිල දී ගත් ගුණයෙන් බාල සිරකරුවන්ව හා වහලුන්ව අවමංගල්‍යවලදී පූජා කිරීමට යොදාගන්නා ලදි. ඔවුන් කළ වරද වැසීමට හැකි වන පරිද්දෙන් ඔවුහු එය විනෝදයක් බවට හැරවීය. පසුව, මිල දී ගත් අය සතුව තිබූ ආයුධ පාවිච්චි කරමින් සිය උපරිමයෙන් සටන් කිරීමට ඔවුන්ට පුහුණුවක් ලබා දුණි. ඔවුන්ට ලබා දුන් පුහුණුව වූයේ මැරෙන ආකාරය ඉගෙනගැනීමයි! පසුව අවමංගල්‍ය දිනයකදී, සොහොන වෙත ගෙන ගොස් ඔවුන්ව මරා දැමුණි. මෙසේ, ඔවුහු මිනිමරා තමන්ගේ දුකට සැනසිල්ලක් ලබන්ට උත්සාහ කළහ. මුනුස්හි මූලාරම්භය එයයි. ක්‍රම ක්‍රමයෙන් රෝම ශිෂ්ටාචාරය පැවති යුගයේදී අනිත් සෑම අතින්ම ඔවුහු ඉහළට ගියා සේ කෲරත්වයෙන්ද හිණි පෙත්තටම නැංගහ. මිනිසුන්ගේ සිරුරු කැබලිවලට ඉරා දැමීමට වන මෘගයන්ටත් අවස්ථාවක් ලබා නුදුන්නා නම් නිවාඩු දිනයක නියම රසය ඔවුන්ට නැති විය. මළවුන්ව සැනසීමට ඔප්පු කළ යමක් ඇද්ද එය අවමංගල්‍යය චාරිත්‍රයක් ලෙස සැලකුණි.”

[27වන පිටුවේ පින්තූරය]

පුරාණ ග්ලැඩියේටර් හිස්වැස්මක් හා දණහිසෙන් පහළ ආවරණයක්

[29වන පිටුවේ පින්තූර]

සැහැසික විනෝදාස්වාදය පිළිගත නොහැකි දෙයක් ලෙස පුරාණ ක්‍රිස්තියානීහු සැලකූහ. ඔබත් එසේමද?

[හිමිකම් විස්තර]

Boxing: Dave Kingdon/Index Stock Photography; car crash: AP Photo/Martin Seppala

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Phoenix Art Museum, Arizona/Bridgeman Art Library