Skip to content

පටුනට යන්න

මුරකරු සමඟ වැඩ කිරීම

මුරකරු සමඟ වැඩ කිරීම

මුරකරු සමඟ වැඩ කිරීම

“[යෙහෝවා,] මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි.”—යෙසායා 21:8.

1. යෙහෝවාම සාක්ෂිකරුවෙක් වන්නේ කිනම් විශිෂ්ට පොරොන්දුවලටද?

 යෙහෝවා ශ්‍රේෂ්ඨ අරමුණුකරුයි. ඔහුගේ උදාර අරමුණ වන්නේ ඔහුගේ නාමය විශුද්ධවත් කිරීම සහ පාරාදීසමය පොළොවක් මත තේජවත් රාජ්‍ය පාලනයක් ව්‍යාප්ත කිරීමයි. එම අරමුණ කඩාකප්පල් කරන්ට සාතන් නමැති යක්ෂයා බවට පත් වූ ඒ කැරලිකාර දූතයාට කොහෙත්ම හැකි නොවෙයි. (මතෙව් 6:9, 10) ඒ රාජ්‍ය පාලනය යටතේ මනුෂ්‍යවර්ගයා සැබෑවටම ආශීර්වාද ලබනු ඇත. දෙවි ‘මරණය සදාකාලයටම ගිල දමන අතර, ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමයි.’ ප්‍රීතියෙන් එක්සත්ව සිටින මනුෂ්‍යවර්ගයා සමාදානය සහ සමෘද්ධිය සදාකාලයෙන් සදාකාලයට භුක්ති විඳිනු ඇත. (යෙසායා 25:8; 65:17-25) මේ විශිෂ්ට පොරොන්දුවලට සාක්ෂිදරන්නේ යෙහෝවා මිස වෙන කවුරුත් නොවෙයි!

2. යෙහෝවා මනුෂ්‍යයන් අතුරින් නැඟිටෙවූ සාක්ෂිකරුවන් කවුරුන්ද?

2 කෙසේවෙතත්, උදාර මැවුම්කරුට මනුෂ්‍යයන් අතරද සාක්ෂිකරුවන් සිටියි. ක්‍රිස්තියානි කාලයට පෙර, ආබෙල්ගෙන් ආරම්භ වූ ‘මහත් සාක්ෂිකාර සේනාවක්’ බොහෝ අවාසි මැද විඳදරාගනිමින් දිවීමේ තරඟයක නියැලිණ. ඔවුන්ගේ අතිවිශිෂ්ට ආදර්ශ අද දවසේ පක්ෂපාත ක්‍රිස්තියානීන්ට දිරි දෙයි. ධෛර්යවත් සාක්ෂිකරුවෙකු සඳහා අතිශ්‍රේෂ්ඨ ආදර්ශය වන්නේ ක්‍රිස්තුස් යේසුස්ය. (හෙබ්‍රෙව් 11:1–12:2) උදාහරණයක් හැටියට, පොන්තියුස් පිලාත් ඉදිරියේ ඔහු අවසාන වශයෙන් දුන් සාක්ෂිය ගැන සලකා බලන්න. යේසුස් ප්‍රකාශ කළේ “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය” කියායි. (යොහන් 18:37) පොදු යුගයේ 33 සිට පො.යු. 2000වන මේ වර්ෂය දක්වා ජ්වලිත ක්‍රිස්තියානීන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කර තිබේ. ඔවුන් ‘දෙවිගේ බලවත් ක්‍රියා’ ධෛර්යවත් ලෙස ප්‍රකාශ කරමින් සාක්ෂිදැරීමෙහි අඛණ්ඩව යෙදී සිටියි.—ක්‍රියා 2:11.

බබිලෝනීය නිකායවාදය

3. යෙහෝවා සහ ඔහුගේ කැමැත්ත පිළිබඳව දුන් සාක්ෂියට සාතන් විරුද්ධ වී තිබෙන්නේ කෙසේද?

3 අවුරුදු දහස් ගණනක් පුරා මහා විරුද්ධකරුවා වන සාතන් නමැති යක්ෂයා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය කටුගා දමන්ට දුෂ්ට උපා යොදා තිබේ. ‘මහා සර්පයා [මකරා, NW] නොහොත් පුරාණ සර්පයා,’ “බොරුවේ පියා” හැටියට ‘මුළු ලෝකයාවම රවටා’ තිබෙනවා. විශේෂයෙන්ම ඔහු මේ අන්තිම දවස්වලදී ‘දෙවිගේ ආඥා පවත්වන්නාවූ’ අයට විරුද්ධව කරන තම සටන වෙහෙස නොබලා ඉදිරියට ගෙන යයි.—යොහන් 8:44; එළිදරව් 12:9, 16.

4. මහා බබිලෝනිය බිහි වූයේ කෙසේද?

4 නෝවාගේ දවසේ ජලගැල්මෙන් පසු ‘යෙහෝවාට විරුද්ධ බලවත් දඩයක්කාරයෙක්’ හැටියට සාතන් නිම්රොද්ව නැඟිටවීය. ඒ, දැනට අවුරුදු හාරදහසකට පමණ පෙරය. (උත්පත්ති 10:9, 10) නිම්රොද්ගේ අගනුවර වූ බබිලෝනිය (බාබෙල්) යක්ෂ නමස්කාරක ආගම්වල මධ්‍යස්ථානයක් බවට පත් වුණා. යෙහෝවා බාබෙල් කොත ගොඩනඟන්නන්ගේ භාෂා අවුල් කළ විට ජනයා ලෝකය පුරාම විසිර ගිය අතර ඒ සමඟ ඔවුන් තමන්ගේ බොරු ආගම්ද ගෙන ගියා. මෙසේ බබිලෝනිය ලෝක ව්‍යාප්ත බොරු ආගමික අධිරාජ්‍යයක මූලාරම්භය බවට පත් වුණා. මෙය එළිදරව් පොතේ හඳුන්වා තිබෙන්නේ මහා බබිලෝනිය හැටියටයි. මේ ඉපැරණි ආගමික ක්‍රමයේ ඉරණම එම පොතේ පුරෝකථනය කරයි.—එළිදරව් 17:5; 18:21.

සාක්ෂිකරුවන්ගේ ජාතියක්

5. තමන්ගේ සාක්ෂිකරුවා ලෙස යෙහෝවා සංවිධානය කළේ කුමන ජාතියද? ඔවුන්ව වහල්කමට ගෙන යන්ට ඔහු ඉඩහැරියේ මන්ද?

5 නිම්රොද්ගේ කාලයෙන් අවුරුදු 500කට පමණ පසු, ඇදහිලිවන්ත ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ව යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය ලෙස සංවිධානය කළා. එසේ කළේ පොළොව මත තම සාක්ෂිකරුවා වීම සඳහායි. (යෙසායා 43:10, 12) එම ජාතියේ සිටි බොහෝදෙනෙක් යෙහෝවාට පක්ෂපාතීව සේවය කළා. කෙසේවෙතත්, සියවස් ගත වෙද්දී අසල්වැසි ජාතීන්ගේ බොරු විශ්වාසයන් හේතුවෙන් ඉශ්‍රායෙල් දූෂ්‍ය වුණා. එමෙන්ම යෙහෝවාගේ ගිවිසුම යටතේ සිටි ජනයා බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා ඔහුගෙන් ඉවතට හැරී ගියා. මේ නිසා පො.යු.පෙ. 607දී නෙබුකද්නෙශර් රජ විසින් මෙහෙයවූ බබිලෝනියේ හමුදා යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කර යුදෙව්වන් බොහෝදෙනෙකුව බබිලෝනියේ වහල්භාවයට ගෙන යනු ලැබුවා.

6. යෙහෝවාගේ අනාවැකිමය මුරකරුවා ප්‍රකාශ කළ ශුභාරංචිය කුමක්ද? එය ඉටු වූයේ කවදාද?

6 බොරු ආගමට එය මොනතරම් ජයග්‍රහණයක්ද! කෙසේවෙතත්, බබිලෝනියේ නැඟීම කෙටි කාලීන එකක්. මේ සිදුවීමට අවුරුදු 200කට පමණ පෙර යෙහෝවා අණ කළේ “නුඹ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා” කියායි. මේ මුරකරුවාට නිවේදනය කරන්න තිබූ පුවත කුමක්ද? “බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේය.” (යෙසායා 21:6, 9) පැවසූ ආකාරයටම පො.යු.පෙ. 539දී අනාවැකිමය ප්‍රකාශය සැබෑ වුණා. මහත් බබිලෝනිය වැටුණු අතර ඉක්මනින්ම තම මව්බිම කරා යන්ට දෙවිගේ ගිවිසුම යටතේ සිටි ජනයාට හැකි වුණා.

7. (අ) යෙහෝවාගේ හික්මවීමෙන් යුදෙව්වන් ඉගෙනගත්තේ කුමක්ද? (ආ) වහල්භාවයෙන් පැමිණි යුදෙව්වන් හසු වුණේ කුමන උගුල්වලටද? ප්‍රතිඵලය කුමක්ද?

7 රූප නමස්කාරමය, භූතවාදී ආගම් අත්හැරීම සඳහා නැවත පැමිණි යුදෙව්වන්ට ප්‍රමාණවත් දැනුමක් තිබුණා. එනමුත්, අවුරුදු ගෙවී යද්දී ඔවුන් වෙනත් උගුල්වලට හසු වුණා. සමහරුන් ග්‍රීක දර්ශනවාදයට ගොදුරු වුණා. අනිත් අය දෙවිගේ වචනය වෙනුවට මිනිසුන්ගේ පරම්පරාගත නියෝග උසස් කොට සැලකූ අතර තවත් සමහරුන් ජාතිවාදයට වසඟ වුණා. (මාර්ක් 7:13; ක්‍රියා 5:37) යේසුස් ඉපදුණු කාලය වන විට, ජාතිය නැවත වරක් නිර්මල නමස්කාරයෙන් ඉවත්ව ගොස් තිබුණා. යේසුස් ප්‍රකාශ කළ ශුභාරංචියට පෞද්ගලික මට්ටමින් යුදෙව්වන් ප්‍රතිචාරය දැක්වුවත්, ජාතියක් හැටියට ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කළා. මේ නිසා දෙවිද ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. (යොහන් 1:9-12; ක්‍රියා 2:36) ඉශ්‍රායෙල් තවදුරටත් දෙවිගේ සාක්ෂිකරුවා වූයේ නැහැ. පොදු යුගයේ 70දී යෙරුසලම සහ එහි දේවමාළිගාව නැවතත් පාළු වුණා. මේ වතාවේදී එසේ කළේ රෝම හමුදාවයි.—මතෙව් 21:43.

8. යෙහෝවාගේ සාක්ෂිකරුවා බවට පත් වූයේ කවුද? මේ සාක්ෂිකරුවාට පාවුල්ගේ අනතුරු ඇඟවීම කාලෝචිත වූයේ මන්ද?

8 මේ අතර, ක්‍රිස්තියානීන්ගෙන් යුත් ‘දෙවිගේ ඉශ්‍රායෙලයක්’ බිහි වුණා. මෙය දැන්, ජාතීන් ඉදිරියෙහි දෙවිගේ සාක්ෂිකරුවා ලෙස ක්‍රියාත්මක වුණා. (ගලාති 6:16) මේ අලුත් ජාතියත් දූෂ්‍ය කරන්ට සාතන් ඉතා ඉක්මනින්ම උපා යෙදවීය. මුල් සියවසේ අවසානය වන විට, සභා තුළ නිකායවාදී බලපෑම දක්නට තිබුණා. (එළිදරව් 2:6, 14, 20) මේ නිසා පාවුල්ගේ අනතුරු ඇඟවීම කාලෝචිත වුණා. ඔහු කීවේ “[ක්‍රිස්තුස්ට] එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද [දර්ශනවාදයද, NW] හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න” කියායි.—කොලොස්සි 2:8.

9. පාවුල් අනතුරු ඇඟවූ ආකාරයටම ක්‍රිස්තියානි ලෝකයේ පැවැත්මට දායක වූ සිද්ධීන් මොනවාද?

9 අන්තිමට ග්‍රීක දර්ශනවාදය, බබිලෝනීය ආගමික අදහස් සහ පසු කාලයේදී පරිණාමවාදය සහ බයිබල් සාහිත්‍ය විචාරය වැනි මිනිස් “ප්‍රඥාව” ක්‍රිස්තියානීන්යයි කියාගත් බොහෝදෙනෙකුව කෙලෙසා දැමීය. එය හරියට පාවුල් පුරෝකථනය කළා සේමය. “මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි. නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත” කියා ඔහු පැවසුවේය. (ක්‍රියා 20:29, 30) මෙසේ ඇදහිල්ල හැර යෑමේ ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තියානි ලෝකය බිහි වුණා.

10. ක්‍රිස්තියානි ලෝකයේ පවතින දූෂිත නමස්කාරමය පිළිවෙත්වලට සියලුදෙනාම යටපත් නොවූ බව පෙන්වන්නේ කුමන සිද්ධීන්ද?

10 නිර්මල නමස්කාරයට ඇත්තටම ලැදිව සිටි අයට “එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් [පොර අල්ලන්ට]” සිදු වුණා. (යූද් 3) නිර්මල නමස්කාරය වෙනුවෙන් සහ යෙහෝවා වෙනුවෙන් දෙන සාක්ෂිය පොළොවෙන් තුරන් වෙයිද? නැහැ. කැරලිකාර සාතන් සහ ඔහුගේ සියලුම ක්‍රියා විනාශ කර දැමීමට කාලය ළඟා වෙත්ම සෑමදෙනාම ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල හැර ගිය අයගේ නමස්කාර පිළිවෙත්වලට යටත් වී නැති බව පැහැදිලියි. දහනවවන සියවසේ අගභාගයේදී අ.එ.ජ. පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි රැස් වූ අවංක බයිබල් ශිෂ්‍යයන් කණ්ඩායමක් දෙවිගේ වර්තමාන දින සාක්ෂිකරුවන්ගේ න්‍යෂ්ටිය බවට පත් වුණා. වර්තමාන ලෝක පිළිවෙළේ අවසානය අත ළඟ බව මොවුන් ශුද්ධ ලියවිලිමය සාක්ෂි තුළින් අවධානයට යොමු කළා. බයිබල් අනාවැකි සැබෑ කරමින් 1914දී මේ ලෝකයේ ‘අවසානය’ ඇරඹුණු අතර පළමුවන ලෝක යුද්ධයෙන් එය සනිටුහන් වුණා. (මතෙව් 24:3, 7) ඒ අවුරුද්දෙන් පසු සාතන්වත් ඔහුගේ භූත රංචුවත් ස්වර්ගයෙන් හෙළනු ලැබූ බවට තදබල සාක්ෂි තිබේ. ගැටලු පිරි 20වන සියවස, සාතන්ගේ ක්‍රියාකාරකම් සහ ස්වර්ගීය රාජ්‍ය බලයට යේසුස්ගේ රාජකීය පැමිණ සිටීම සම්බන්ධ ලකුණේ විශිෂ්ට ඉටුවීමට පැහැදිලි සාක්ෂියකි.—මතෙව් 24 සහ 25 පරිච්ඡේද; මාර්ක් 13; ලූක් 21; එළිදරව් 12:10, 12.

11. සාතන් උත්සාහ කළේ කුමක් කරන්ටද? එහෙත් උත්සාහය ව්‍යාර්ථ වූයේ කෙසේද?

11 වර්ෂ 1918 ජූනි මාසයේදී ඒ වන විටත් රටවල් ගණනාවක දේශනා කරමින් සිටි බයිබල් ශිෂ්‍යයන්ව අතුගා දැමීමට සාතන් වියරු උත්සාහයක යෙදුණා. බයිබල් ශිෂ්‍යයන්ගේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි නමැති නීතික සංස්ථාව විනාශ කර දමන්ටද ඔහු මාන බැලුවා. මුල් සියවසේදී යේසුස්ට කළාක් මෙන් ආණ්ඩු විරෝධී කැරලිගැසීම්වලට උල්පන්දම් දෙනවාය යන බොරු චෝදනාව මත සමිතියේ වගකිව යුත්තන්ව සිර භාරයට ගත්තා. (ලූක් 23:2) එහෙත් 1919දී මේ වගකිව යුත්තන්ව නිදහස් කළ අතර ඔවුන් තම දේවසේවය දිගටම කරගෙන ගියා. පසුව, ඔවුන්ව චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරනු ලැබුවා.

‘මුරකරුවෙක්’ කිට්ටු අවධානයෙන්

12. අදදින සිටින යෙහෝවාගේ මුරකරු පංතිය හෝ ‘මුරකාරයා’ කවුද? ඔවුන්ට තිබෙන ආකල්පය කුමක්ද?

12 එමනිසා, “අන්තිම කාලය” ආරම්භ වෙද්දී, තම අරමුණු ඉටුවීමට අදාළ සිද්ධීන් වෙත ජනතාවගේ අවධානය යොමු කරවීමේ අටියෙන් යෙහෝවා දර්ශන පථයට තවත් මුරකරුවෙකුව එක් කළා. (දානියෙල් 12:4; 2 තිමෝති 3:1) අද දවස දක්වා ඒ මුරකරු පංතිය එනම් ආලේප ලත් ක්‍රිස්තියානීන් හෙවත් දෙවිගේ ඉශ්‍රායෙල්, අනාවැකිමය මුරකරුවා පිළිබඳ යෙසායාගේ විස්තරයට එකඟව ක්‍රියා කරමින් සිටියි. එහි කියන්නේ “[ඔහු] ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි [කීවේය.] ඔහු සිංහයෙකු මෙන් මොරගසා: [යෙහෝවා,] මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි” කියායි. (යෙසායා 21:7, 8) මොහු තම යුතුකම් නොපිරිහෙළා ඉටු කරන මුරකරුවෙකි!

13. (අ) යෙහෝවාගේ මුරකරුවා ප්‍රචාරය කරන පණිවිඩය කුමක්ද? (ආ) මහා බබිලෝනිය වැටී ඇති බව කිව හැක්කේ කෙසේද?

13 මුරකරුවා දුටුවේ කුමක්ද? නැවත වරක් යෙහෝවාගේ මුරකරුවා එනම් ඔහුගේ සාක්ෂිකාර පංතිය මෙසේ නිවේදනය කරයි. ‘බබිලෝනිය වැටුණාය, වැටුණාය. ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම [යෙහෝවා] කඩා බිම දමන ලද්දේය!’ (යෙසායා 21:9) මෙවර, ලෝක මහ යුද්ධයෙන් පසු තම ආධිපත්‍යයේ කීර්තිමත් තත්වයෙන් බිඳ වැටුණේ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියයි. (යෙරෙමියා 50:1-3; එළිදරව් 14:8) මෙය පුදුමයක් විය යුතු නැහැ. මන්ද එදා මහා යුද්ධය නමින් හැඳින්වූ ඒ යුද්ධය ක්‍රිස්තියානි ලෝකයෙන් ආරම්භ වූ නිසයි. අගනා යොවුන් පරපුරට යුදපිටිවලට යන්ට දිරි දෙමින් දෙපැත්තේම සිටි පූජකයන් ගින්නට පිදුරු දමමින් මීට වේදිකාව සැකසුවේය. මොනතරම් අපරාධයක්ද! එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නවත්වන්ට 1919දී මහා බබිලෝනියට නොහැකි වුණා. එනම් ඔවුන්ගේ අක්‍රියාශීලී තත්වයෙන් ගොඩ ඒමටත්, මේ දක්වා ක්‍රියාත්මක වන ලෝක ව්‍යාප්ත සාක්ෂිදැරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම නවත්වන්ටවත් ඔවුන්ට නොහැකි වුණා. (මතෙව් 24:14) එමගින් මහා බබිලෝනියේ වැටීමක් සනිටුහන් වුණා. මෙය හරියට පො.යු.පෙ. හයවන සියවසේදී ඉශ්‍රායෙල්වරුන් ලද නිදහස මගින් පුරාණ බබිලෝනියේ වැටීම ඇඟෙව්වාක් මෙනි.

14. යෙහෝවාගේ මුරකරු පංතිය මූලිකව පාවිච්චි කළ සඟරාව කුමක්ද? ඊට යෙහෝවා ආශීර්වාද කර තිබෙන්නේ කෙසේද?

14 මුරකරු පංතිය සැමවිටම මහත් ජ්වලිතයකින් මෙන්ම හරි දේ කිරීම සඳහා වූ තදබල ආශාවකින් තම වගකීම ඉටු කර තිබේ. වර්ෂ 1879 ජූලි මාසයේදී, බයිබල් ශිෂ්‍යයන් මෙම සඟරාව ප්‍රකාශයට පත් කිරීම ඇරඹීය. එවකට මෙය හැඳින්වූයේ සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රියිස්ට්ස් ප්‍රෙසන්ස් ලෙසයි. වර්ෂ 1879 සිට 1938 දෙසැම්බර් 15වනදා දක්වා සෑම කලාපයකම මුල් පිටුවේ පළ කළ වදන් පෙළක් තිබුණා. ඒ “‘මුරකාරය, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද්ද?’—යෙසායා 21:11” යන්නයි. a මෙසේ අවුරුදු 120ක් පුරා මුරටැඹ සඟරාව ඉතා විශ්වාසවන්ත ලෙස ලෝක සිදුවීම් කෙරෙහිත් ඒවායේ අනාවැකිමය වැදගත්කම කෙරෙහිත් අවධානය යොමු කර තිබේ. (2 තිමෝති 3:1-5, 13) දෙවිගේ මුරකරු පංතිය සහ එහි සහායක පිරිස වන ‘වෙනත් බැටළුවන්’ මේ සඟරාව යොදාගෙන ඇත්තේ ක්‍රිස්තුස්ගේ රාජ්‍යය මගින් යෙහෝවාගේ පරමාධිපත්‍ය නිදොස් කිරීමට කාලය අත ළඟ බව මනුෂ්‍යවර්ගයාට ප්‍රබල ලෙස ප්‍රචාරය කිරීම සඳහාය. (යොහන් 10:16) මේ සාක්ෂිදැරීමේ වැඩය සඳහා යෙහෝවාගේ ආශීර්වාදය ලැබී තිබේද? ඔව්. වර්ෂ 1879දී එළි දුටු මුල් මුරටැඹ පිටපතට තිබුණේ පිටපත් 6,000ක තරම් සුළු බෙදාහැරීමක් පමණයි. දැන් එය පිටපත් 2,20,00,000කට වැඩි ප්‍රමාණයක් භාෂා 132කින් ලොව පුරා බෙදාහැරෙන අතර ඉන් භාෂා 121ක්ම සමගාමීව ප්‍රකාශයට පත් කරනු ලැබේ. එසේ නම්, පොළොව මත තිබෙන වැඩියෙන්ම බෙදාහැරෙන ආගමික සඟරාව යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා යොදාගැනීම මොනතරම් උචිතද!

ක්‍රමානුකූලව පවිත්‍ර කිරීම

15. වර්ෂ 1914ට කලින් ආරම්භ වූ ක්‍රමානුකූල පවිත්‍ර කිරීම කුමක්ද?

15 බයිබල් ශිෂ්‍යයන් 1914දී ක්‍රිස්තුස්ගේ ස්වර්ගීය පාලනය පටන්ගන්නා තුරු අවුරුදු 40ක පමණ කාලයක් පුරා ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රිස්තියානි ලෝකයේ මූලධර්මවලින් නිදහස්ව සිටියා. බිළිඳු බව්තීස්මය, ආත්මයේ අමරණීයභාවය, ශුද්ධ ගිනිස්ථානය, නරකාදියේ වධ විඳීම සහ ත්‍රිත්ව දෙවිකෙනෙක් යනාදිය ඉන් සමහරක්. එහෙත් සෑම වැරදි අදහසක්ම මුලිනුපුටා දැමීමට තවත් කාලයක් ගත වුණා. උදාහරණයක් හැටියට, 1920 ගණන්වලදී බොහෝ බයිබල් ශිෂ්‍යයන් කුරුසයක් සහ ඔටුන්නක ලකුණක් දක්වන කට්ටක් ඔවුන්ගේ ඇඳුම්වල පැළඳුවා. ඔවුන් නත්තල් සහ වෙනත් මිථ්‍යා නිවාඩු පැවැත්වූවා. කෙසේවෙතත්, නමස්කාරය පවිත්‍ර එකක් වීමට නම් රූප නමස්කාරයේ සෑම අංශුමාත්‍රයක්ම ඉවත් කළ යුතුයි. ක්‍රිස්තියානියෙකුගේ ඇදහිල්ලේ සහ ජීවිත මාර්ගයේ එකම පදනම විය යුත්තේ දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලයයි. (යෙසායා 8:19, 20; රෝම 15:4) දෙවිගේ වචනයට යමක් එකතු කිරීමත් ඉන් යමක් ඉවත් කිරීමත් වරදක්.—ද්විතීය කථාව 4:2; එළිදරව් 22:18, 19.

16, 17. (අ) දශක ගණනාවක් පුරා මුරකරු පංතිය පිළිගෙන තිබූ මිථ්‍යා අදහස් මොනවාද? (ආ) ‘මිසරයේ’ “පූජාසනය” සහ “කණුව” පිළිබඳ නිවැරදි විග්‍රහය කුමක්ද?

16 මේ ප්‍රතිපත්තිය කොතරම් වැදගත්ද යන්න අවධාරණය කරන එක් උදාහරණයක් සලකා බලමු. වර්ෂ 1886දී සී.ටී. රසල් මනුෂ්‍යවර්ගයා පිළිබඳ දිව්‍ය සැලැස්ම (ඉංග්‍රීසියෙන්) නමැති පොත ප්‍රකාශයට පත් කළා. මනුෂ්‍යවර්ගයාගේ යුග, මිසරයේ මහා පිරමිඩය සමඟ සම්බන්ධ කළ රූප සටහනක් මේ වෙළුමේ ඇතුළත් වුණා. යෙසායා 19:19, 20හි යොමු දක්වන කණුව ඛූෆූ ඵාරාවෝගේ මේ අනුස්මරණ පිරමිඩය කියා සිතුවා. එහි කියන්නේ “ඒ දවසෙහි [යෙහෝවාට] මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ [යෙහෝවාට] කණුවකුත් වන්නේය. . . . සේනාවල [යෙහෝවා] උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය” කියායි. මේ පිරමිඩයට බයිබලය සමඟ ඇති සම්බන්ධය කුමක්ද? උදාහරණයක් හැටියට මෙසේ කිව හැකියි. එවකට තේරුම්ගෙන තිබූ ආකාරයට මේ මහා පිරමිඩයේ එක් අභ්‍යන්තර මාර්ගයක දිග, මතෙව් 24:21හි සඳහන් “මහත් පීඩාව” ආරම්භ වන කාලය අඟවන බව සිතුවා. සමහර බයිබල් ශිෂ්‍යයන් මේ පිරමිඩයේ විවිධ අංගවල දිග පළල සහ විවිධ ගණිත කර්ම යනාදිය ගණනය කිරීමේ පූර්ණ ලෙස යෙදී සිටියේය. ඔවුන් මෙසේ කළේ තමන් ස්වර්ගයට යන දවස දැනගැනීමේ අභිප්‍රායෙන්!

17 බයිබලයේ දී ඇති සාක්ෂිය තහවුරු කිරීමට, මිථ්‍යාදෘෂ්ටික මිසර රජවරුන් ජ්‍යෙතිඃශාස්ත්‍රයට සම්බන්ධ යක්ෂ බලි රූප ඇති ගලින් තැනූ ස්මාරක යෙහෝවාට අවශ්‍ය නැති බව 1928 නොවැම්බර් 15 සහ දෙසැම්බර් 1 යන මුරටැඹ කලාපවලින් පැහැදිලි කරන තුරු ගලින් තැනූ බයිබලය ලෙස මේ පිරමිඩයට දශක ගණනාවක් පුරා මහත් ගෞරවයක් පිදුවා. ඒ වෙනුවට යෙසායාගේ අනාවැකියේ ආත්මික අදාළත්වයක් ඇති බව දුටුවා. එළිදරව් 11:8හි මෙන් “මිසරය” සංකේතවත් කරන්නේ සාතන්ගේ ලෝකයයි. ‘යෙහෝවාට පූජාසනයක්’ තිබීම අපට මතක් කරන්නේ, ආලේප ලත් ක්‍රිස්තියානීන් මේ ලෝකයේ තාවකාලික පදිංචිකරුවන්ව සිටින විට ඉදිරිපත් කරන පිළිගත හැකි වූ පූජාවන්ය. (රෝම 12:1; හෙබ්‍රෙව් 13:15, 16) “[මිසරයේ] සීමාව ළඟ” තිබෙන කණුව අඟවන්නේ, “සැබෑවේ කනුව සහ අත්තිවාරම” වන ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවයි. එය ඔවුන් ඉතා ඉක්මනින් දමා යන ලෝකයේ එනම් “මිසර දේශයෙහි” සාක්ෂියක් වශයෙන් පවතියි.—1 තිමෝති 3:15.

18. (අ) අවංක බයිබල් ශිෂ්‍යයන්ට යෙහෝවා දිගටම කාරණා පැහැදිලි කර තිබෙන්නේ කෙසේද? (ආ) බයිබල් පදයක පැහැදිලි කිරීම අවබෝධ කරගැනීම දුෂ්කරයි කියා ක්‍රිස්තියානියෙකුට හැඟුණොත් ඔහුට තිබිය යුතු ඥානවන්ත ආකල්පය කුමක්ද?

18 කාලය ගෙවෙද්දී, සත්‍යය පිළිබඳව තව තවත් පැහැදිලි කිරීම් යෙහෝවා නොකඩවාම සපයනු ලබයි. ඔහුගේ අනාවැකිමය වචනයේ පැහැදිලි තේරුම්ගැනීමක් ඊට ඇතුළත් වේ. (හිතෝපදේශ 4:18) අන්තිමය පැමිණීමට කලින් පහ නොවන පරම්පරාව, එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාව, පිළිකුල සහ එය ශුද්ධස්ථානයේ පිහිටුවන්නේ කවදාද යන්න, අලුත් ගිවිසුම, අන්‍යරූප විලාශ වීම මෙන්ම එසකියෙල්ගේ පොතේ මාළිගාව පිළිබඳ දර්ශනය වැනි කාරණා දෙස ගැඹුරු අවබෝධයකින් නැවතත් බැලීමට මෑත අවුරුදුවලදී අපට උනන්දු කරනු ලැබුවා. එවැනි අලුත් කරන ලද අවබෝධය තේරුම්ගැනීම සමහර අවස්ථාවලදී දුෂ්කර වුණත්, එසේ වීමට හේතුව නියමිත කාලයේදී පැහැදිලි වේ. බයිබල් වගන්තියක අලුත් පැහැදිලි කිරීමක් යම් ක්‍රිස්තියානියෙකුට සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැත්නම්, ඔහු අනාගතවක්තෘ මීකාගේ වචන සමඟ එකඟ වෙන එක යහපත් දෙයක්. ඔහු පැවසුවේ “මම මාගේ ගැළවීමේ දෙවි මත රැඳී සිටීමේ ආකල්පයක් පෙන්වන්නෙමි” කියායි.—මීකා 7:7NW.

19. ආලේප ලත් ඉතිරි අයත් ඔවුන්ගේ වෙනත් බැටළු සාමාජිකයනුත් මේ අන්තිම දවස්වල සිංහ අභීතකමක් විදහාපාන්නේ කෙසේද?

19 මුරකරුවා මෙසේ කී බව මතක් කරගන්න: “ඔහු සිංහයෙකු මෙන් මොරගසා: යෙහෝවා, මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි.” (යෙසායා 21:8) බොරු ආගම හෙළි කිරීමේ සහ මිනිසුන්ට මිදීමේ මාර්ගය පෙන්වීමේදී ආලේප ලත් ඉතිරි අය සිංහයෙකු බඳු නිර්භීතකමක් පෙන්වා තිබේ. (එළිදරව් 18:2-5) “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ලෙස ඔවුන් සේවය කරමින් “නියම වේලාවට කෑම” එනම්, විවිධ භාෂාවලින් බයිබල්, සඟරා සහ වෙනත් ප්‍රකාශන සපයා තිබෙනවා. (මතෙව් 24:45) ඔවුන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” එක්රැස් කිරීමේ මූලිකත්වය ගෙන තිබේ. ඔවුන්ද යේසුස්ගේ මිදීමේ මිල රුධිරයෙන් පවිත්‍ර වී සිටින අතර, දෙවිට ‘රෑ දාවල් සේවය කිරීමේදී’ අභීතකම විදහාපා තිබෙනවා. (එළිදරව් 7:9, 14, 15) යෙහෝවාගේ ආලේප ලත් සාක්ෂිකරුවන්ගේ ඉතිරි වී සිටින මේ කුඩා කණ්ඩායම සහ ඔවුන්ගේ සාමාජිකයන් වන මහත් සමූහය අද්දැක ඇති ප්‍රතිඵල මොනවාද? අපගේ මීළඟ ලිපිය ඒ ගැන කතා කරයි.

[පාදසටහන]

a වර්ෂ 1939 ජනවාරි 1වනදා සිට මෙය “‘මා යෙහෝවා බව ඔවුන් දැනගන්නවා ඇත.’—එසකියෙල් 35:15” ලෙස වෙනස් කෙරිණ.

ඔබට මතකද?

• අවුරුදු ගත වෙද්දී යෙහෝවා නැඟිටෙව්වේ කුමන සාක්ෂිකරුවන්වද?

• මහා බබිලෝනියේ මූලාරම්භය කුමක්ද?

• පොදු යුගයට පෙර 607දීත්, පො.යු. 70දීත් තම සාක්ෂිකරුවන්ගේ ජාතියේ අගනුවර වන යෙරුසලම විනාශ කර දමන්ට යෙහෝවා ඉඩහැරියේ මන්ද?

• යෙහෝවාගේ මුරකරු පංතිය සහ ඔහුගේ සාමාජිකයන් පෙන්වන්නේ කුමන ස්ප්‍රීතුවක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවා, මම මුරකොටුව උඩ නිතරම සිටිමි’

[10වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ මුරකරු පංතිය ඔවුන්ගේ වැඩය බැරෑරුම් ලෙස සලකයි