යෙසායා 21:1-17

21  මුහුද අසල පිහිටි පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ දකුණු දිශාවෙන් හමා එන බිහිසුණු කුණාටුවක්+ වැනි වූ විපතක් පැමිණෙයි. පාළුකරයේ සිට බිය උපදවන ජාතියක් එන්නේය.+  දරුණු සිද්ධීන් ඇතුළත් මේ දර්ශනය+ මා ඉදිරියේ දිගහැරිණ. වංචනික ලෙස කටයුතු කරන්නා තව තවත් වංචා කරන්නේය. කොල්ලකරුවා තව තවත් කොල්ල කන්නේය.+ ඒලාම් දේශයේ වැසියෙනි, දැන් ඒ දේශයට විරුද්ධව ගොස් යුද්ධ කරන්න! මේදිය+ වැසියෙනි, දේශය වටලන්න! මන්ද ඔවුන් අනුන්ට ඇති කරන දුක් පීඩා මම නවත්වන්නෙමි.+  මෙය දුටු පසු මගේ ශරීරය පුරාම දරුණු වේදනාවක් දිව ගියේය.+ දරු ප්‍රසූතියේදී ස්ත්‍රියකට ඇති වන වේදනාව මෙන් දැඩි වේදනාවක් මට දැනිණ.+ කිසිම දෙයක් නොඇසෙන තරමටම මගේ සිත අවුල් වුණේය. කිසිම දෙයක් නොපෙනෙන තරමටම මගේ සිත කැලඹුණේය.  මගේ හදවත ගැහෙයි. මම භයෙන් වෙවුලමි. මා නිසංසල සන්ධ්‍යා වරුවට ප්‍රිය කළ නමුත් දැන් සවස් වී ගෙන එද්දී මගේ සිතට මහත් භයක් දැනෙයි.+  භෝජන සංග්‍රහයට මේසය සූදානම් කරන්න. අසුන් සූදානම් කරන්න. ඇති තරම් කන්න, බොන්න!+ පාලකයෙනි,+ දැන් නැඟිට පලිහට තෙල් ආලේප කරන්න.+  මන්ද යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔබ දැන් මුරකරුවෙකුව පත් කර දකින දේ වාර්තා කරන්න කියා ඔහුට පවසන්න.”+  මුරකරු අශ්වයන් දෙදෙනෙකු බැඳ සිටි යුධ රථයක්ද බූරුවන් බැඳ සිටි රථයක්ද ඔටුවන් බැඳ සිටි රථයක්ද දුටුවේය. ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලූ ඔහු,  සිංහයෙකු ගර්ජනා කරන්නාක් මෙන් හඬ නඟා+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවියනි, මම මුරටැඹට වී රෑ දාවල් බලා සිටින්නෙමි.+  දැන් මිනිසුන් කිහිපදෙනෙකු අශ්ව රථයක එනවා මට පෙනේ!”+ ඉන්පසු මුරකරු මෙසේ කීවේය. “ඇය වැටුණාය! බැබිලෝනිය වැටුණාය.+ දෙවි ඇගේ දේවතා රූප සියල්ල විනාශ කර පොළොවට සමතලා කර දැමුවේය!”+ 10  කමතේ ධාන්‍ය මෙන් මඩිනු ලැබූ මගේ සෙනඟෙනි,+ මා ඔබට දැනුම් දුන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති හා ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට පැවසූ දේය. 11  දූමා දේශයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. සේයිර්+ දේශයේ සිට යමෙක් හඬගසා මගෙන් මෙසේ ඇසීය. “මුරකරුව, එළි වෙන්න තව කොපමණ වෙලා තියෙනවාද? තව කොපමණ වෙලා තියෙනවාද කියා මට කියන්න.”+ 12  එවිට මුරකරු මෙසේ පිළිතුරු දුන්නේය. “එළිය වැටෙයි. ආපසු රාත්‍රියත් උදා වෙයි. ඔබ කැමති නම් ඇවිත් විමසන්න. යළිත් එන්න!” 13  පාළුකරයට* විරුද්ධව දුන් තීන්දුව මෙයයි. දෙදාන් ගෝත්‍රයට අයත් තවලම්කරුවෙනි,+ පාළුකරයේ පිහිටි වනයක ඔබට රාත්‍රිය ගත කරන්න සිදු වෙයි. 14  තේමා+ දේශයේ වැසියෙනි, පිපාසිතයන්ට බොන්න වතුර දෙන්න. පලා යන අයව මුණගැසී ඔවුන්ට කෑමට යමක් දෙන්න. 15  මන්ද සතුරෝ ඔවුන්ට විරුද්ධව යුද්ධයට සැරසී ඇත. කඩුවෙන්ද දුන්නෙන්ද මැරුම් නොකන පිණිස ඔවුහු පලා යන්නෝය. 16  යෙහෝවා දෙවි මට මෙසේ කියා තිබේ. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක්+ මෙන් තව අවුරුද්දකින් කේදාර්+ ගෝත්‍රිකයන්ගේ තේජස මුළුමනින්ම පහ වී යයි. 17  ඔවුන් අතරේ සිටින බලවත් දුනුවායන්ගෙන් ඉතුරු වන්නේ අතළොස්සක් පමණි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා යමක් පැවසුවොත් එය එලෙසම සිදු වනු ඇත.”+

පාදසටහන්

මෙය, පුරාණ බැබිලෝනියේ දකුණු ප්‍රදේශය විස්තර කිරීමට භාවිත කළ යෙදුමක් බව පෙනී යයි. යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා දෙක අවුරුද්දකට වරක් පිටාර ගලා එම ප්‍රදේශය යටපත් කළේය.
ඒදොම් දේශයට දුන් නමකි.
හෝ, “පාළු සමභූමිය.” සිරියැක් පෙෂිටා හා ලතින් වල්ගේට් පිටපත්වල ‘අරාබිය’ යනුවෙන් සඳහන් වේ.