Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දෙවිට යාච්ඤා කළ යුත්තේ කොහොමද?

දෙවිට යාච්ඤා කළ යුත්තේ කොහොමද?

සියලු බලැති දෙවිට අපේ සිතේ ඇති දේවල් පැවසීමට ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! නමුත් බෙහෝදෙනෙකුට යාච්ඤා කරන්නේ කොහොමද කියා හරි අවබෝධයක් නැහැ. තවත් අය තම යාච්ඤා අර්ථවත්ව කිරීමට ඉගෙනගන්න දක්වන්නේ මහත් ආශාවක්. යේසුස්ගේ මුල් ගෝලයන් අර්ථවත්ව යාච්ඤා කරන ආකාරය ඉගෙනගැනීමට ආශාවක් දැක්වූවා. ඔවුන්ගෙන් කෙනෙක් යේසුස්ගෙන් මෙසේ ඉල්ලුවා. “අපටත් යාච්ඤා කරන්නේ කොහොමද කියා උගන්වන්න.” (ලූක් 11:1) යේසුස් ඔවුන්ට යාච්ඤා කරන ආකාරය කියා දුන්නා. යේසුස් කියා දුන් එම යාච්ඤාව හඳුන්වන්නේ ස්වාමීන්ගේ යාච්ඤාව හෙවත් පරමණ්ඩල යාච්ඤාව ලෙසයි. එම යාච්ඤාව සරල එකක් වුණත් දෙවිට පිළිගත හැකි ආකාරයෙන් යාච්ඤා කරන්නේ කොහොමද කියා ඉන් පැහැදිලි වෙනවා. බයිබලයේ ඇති ප්‍රධාන පණිවිඩය ගැනද එම යාච්ඤාවෙන් අවබෝධය ලබාගත හැකියි.

යේසුස් ඉගැන්වූ යාච්ඤාව

යේසුස් මෙසේ පැවසුවා. “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා. දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’”මතෙව් 6:9-13.

“ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි” කියා පැවසූ විට යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? එම යාච්ඤාවම කටපාඩමෙන් කීම නොවෙයි. ඊට හේතුව එම යාච්ඤාව කියා දීමට පෙර කටපාඩමෙන් යාච්ඤා කිරීම වැරදි බව ඔහු පවසා තිබීමයි. (මතෙව් 6:7) යාච්ඤා කරන විට මුල් තැන දිය යුත්තේ දෙවි වැදගත් කියා සලකන දේවලටයි. යාච්ඤා කිරීමේදී මුල් තැන දිය යුතු දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට නම් යේසුස් කියා දුන් යාච්ඤාවේ නියම අර්ථය වටහාගත යුතුයි.

යාච්ඤාවේ නියම අර්ථය

“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” පියෙකු දරුවෙකුව ආදරයෙන් රැකබලා ගන්නවා හා සමානව යෙහෝවා දෙවිද අපව ආදරයෙන් රැකබලා ගන්නවා. ඒ නිසා ඔහුව ‘පියාණන්’ කියා ඇමතීම සුදුසුයි. ඔහුගේ නම යෙහෝවායි. (ගීතාවලිය 83:18) එය ඔහුට දී තිබෙන පදවි නාම වන සියලු බලැති දෙවි, දෙවියන් වහන්සේ හා ස්වාමීන් වහන්සේ යන නම් සමඟ පටලවා නොගත යුතුයි. * ඔහුගේ නාමය ශුද්ධව පවතින්න කියා යේසුස් යාච්ඤා කළේ ඇයි? ඒ, දෙවිගේ නාමයට බොහෝ නින්දා අපහාස සිදු වී තිබෙන නිසයි.

සමහර මිනිසුන් දුක් කරදරවලට මුහුණ දෙන විට දොස් නඟන්නේ දෙවිටයි. නමුත් ඒ දේවලට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේම වැරදි හෝ නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සිදු වීමයි. (හිතෝපදේශ 19:3; දේශනාකාරයා 9:11) තවත් සමහරු ස්වාභාවික විපත් සිදු වන විටද දෙවිට දොස් නඟනවා. නමුත් බයිබලයේ පවසන්නේ මෙසේයි. “නපුරු දේ කරන්න [දෙවිව] පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) දුෂ්ට දේවල් සිදු කරන අයව දෙවි නිරයට දමා සදාකාලයටම වද දෙන බව බොහෝ ආගම්වලද උගන්වනවා. ඇත්තෙන්ම එය ප්‍රේමණීය දෙවිට කරන නිග්‍රහයක් මෙන්ම ඔහුගේ සිතට මහත් වේදනාවක් ගෙන දෙයි. (යෙරෙමියා 19:5; 1 යොහන් 4:8) රෝම 6:23හි පවසන්නේ “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණය” මිස සදාකාලික වද වේදනා දීම නොවන බවයි. *

“ඔබගේ රාජ්‍යය පැමිණේවා.” දෙවිගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. එහි රජු යේසුස් ක්‍රිස්තුස්. දානියෙල් 7:14හි පවසන්නේ ඔහුට ‘රාජ්‍යයද බලයද ගෞරවයද හිමි වන’ බවයි. දෙවිගේ රාජ්‍යය පොළොවේ ඇති සියලුම ආණ්ඩු විනාශ කර සදහටම මේ පොළොව පාලනය කරයි.—දානියෙල් 2:44.

“ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” දෙවිගේ පාලනය යටතේදී මනුෂ්‍ය වර්ගයා ඔහුට කීකරුව සිටියි. ඒ නිසා පොළොව පුරා සැබෑ සාමයක් තිබෙන අතර සෑම කෙනෙක්ම දෙවිට එක්සත්ව නමස්කාර කරයි. දේශපාලනික හා ආගමික බෙදීම් තවදුරටත් පවතින්නේ නැහැ. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.’—එළිදරව් 21:3, 4.

‘දිනපතා අපට අවශ්‍ය ආහාර ලබා දෙන්න.’ දෙවිගේ නමටත් ඔහුගේ රාජ්‍යයටත් මුල් තැන දිය යුතු බව පැවසීමෙන් පසු අපේ අවශ්‍යතාවලට අවධානය දීම ගැනද ඔහු කතා කළා. “දිනපතා අපට අවශ්‍ය” දේවලට වඩා වැඩියෙන් දේවල් සෙවීමට ඇති ආශාවෙන් අප වැළකිය යුතු බවත් ඔහුගේ වචනවලින් පැහැදිලියි. බයිබලයේ සඳහන් මෙම වදන් සිතට ගැනීම වැදගත්. “මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී, එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න.”—හිතෝපදේශ 30:8.

“අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.” පාපය ණයකට සමාන කර තිබෙනවා. (මතෙව් 6:12 පාද සටහන) අප දෙවිට අකීකරු වන සෑම අවස්ථාවකදීම අප ඔහුට ණය වෙනවා හා සමානයි. නමුත් දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා අපේ ණය අමතක කර අපට සමාව දෙනවා. නමුත් ඔහු එසේ කරන්නේ අපත් අන් අය අපට කරන වැරදිවලට සමාව දෙනවා නම් පමණයි.—මතෙව් 18:21-35.

වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” “දුෂ්ටයා” වන්නේ යක්ෂයායි. ඔහුව “වරදට පොලඹවන්නා” ලෙසද හඳුන්වා තිබෙනවා. (මතෙව් 4:3) අප පාපය උරුම කරගෙන තිබෙන නිසා සාතන් සහ ඔහුගේ පැත්ත ගන්නා පොළොවේ සිටින අය එල්ල කරන පීඩාවලට මුහුණ දීමට අපට දෙවිගේ උපකාර අත්‍යවශ්‍යයි.—මාක් 14:38.

ඔබ කරන යාච්ඤාවලදී මුල් තැන දිය යුතු දේවල් තේරුම්ගෙන එය වඩාත් අර්ථාන්විතව කිරීමට යේසුස් කියා දුන් යාච්ඤාව ඔබට උපකාරවත් වෙයි. බයිබලයේ සඳහන් ප්‍රධාන පණිවිඩයට එම යාච්ඤාව සම්බන්ධ වන්නේ කොහොමද? යේසුස්ගේ වචනවලින් පැහැදිලි වන්නේ බයිබලයේ ප්‍රධාන තේමාව වන්නේ දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කිරීම සහ මේ පොළොවේ තිබෙන දුෂ්ටකම් නැති කර දෙවිගේ රාජ්‍යයේ පාලනය මේ පොළොව පුරා ව්‍යාප්ත කිරීමයි. එසේනම් යේසුස් කියා දුන් එම යාච්ඤාව මොන තරම් අර්ථාන්විතද!

[පාදසටහන්වල]

^ 8 ඡේ. හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවලින් ලියූ බයිබලයේ මුල් පිටපත්වල දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ දැකගත හැකියි. කනගාටුවට කරුණක් වන්නේ වර්තමාන බයිබල් පරිවර්තනවල දෙවිගේ නාමය වෙනුවට පදවි නාම යොදා තිබීමයි.

^ 9 ඡේ. මිය ගිය අය ආත්මයක් ලබා වෙනත් ස්ථානයක ජීවත් වන්නේ නැහැ. ඔවුන්ව නැවත නැඟිටුවන තුරු ඔවුන් සිටින්නේ ‘තද නින්දක්’ හා සමාන ‘කිසිවක් නොදැනෙන’ තත්වයකයි.—යොහන් 5:28, 29; 11:11-13; දේශනාකාරයා 9:5.

මේ ගැන ඔබ සිතුවාද?

● “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?—මතෙව් 6:9.

● අප යාච්ඤා කරන විට මුල් තැන දිය යුත්තේ කුමන කාරණාවලටද?—මතෙව් 6:9, 10.

● අපට වැරදි කරන අයට අප සමාව දිය යුත්තේ ඇයි?—මතෙව් 6:12.

[13වන පිටුවේ පින්තූරය]

යාච්ඤා කරන විට මුල් තැන දිය යුත්තේ දෙවි වැදගත් කියා සලකන දේවලටයි. යේසුස් ඉගැන්වූ යාච්ඤාව අපට ඒ සඳහා උපකාරවත්