යෙරෙමියා 19:1-15

19  යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “කුඹල්කරුවෙකුගෙන් මැටි බඳුනක් ඉල්ලාගන්න.+ ඉන්පසු සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙකුද ප්‍රධාන පූජකයන් කිහිපදෙනෙකුද සමඟ  කුඹල් දොරටුව අසල තිබෙන බෙන්හින්නොම් නිම්නයට යන්න.+ මම ඔබට දැනුම් දෙන පණිවිඩය එහිදී ඔවුන්ට ප්‍රකාශ කරන්න.+  ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝවා දෙවි පැවසූ දේට ඇහුම්කන් දෙන්න.+ ස්වර්ගයේ සේනාවල අධිපතිද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “‘“මම මේ ස්ථානය පිටට විපත්තියක් ගෙනෙන්නෙමි. ඒ ගැන අසන සියලුදෙනා භයෙන් තිගැස්සෙන්නෝය.+  මා එසේ කරන්නේ සෙනඟ මාව අත්හැර ගිය නිසාය.+ එමෙන්ම මේ සෙනඟද ඔවුන්ගේ මුතුන්මිත්තන්ද යූදාහි රජවරුන්ද තමන් කලින් නොදැන සිටි වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර,+ මේ ස්ථානය මට හඳුනාගත නොහැකි තරම් දූෂිත තත්වයකට පත් කළ නිසාය.+ ඔවුහු මේ ස්ථානය අහිංසකයන්ගේ ලෙයින් පිරෙව්වෝය.+  ඔවුහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා බාල් දෙවියාට ඔප්පු කරන පිණිස මේ ස්ථානයේ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ එසේ කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වූයේ නැත.”’+  “‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ස්ථානය තෝෆෙත් කියාවත්+ බෙන්හින්නොම් නිම්නය කියාවත්+ හඳුන්වන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත. ඒ වෙනුවට මෙය, මිනී මරන නිම්නය කියා ඒ කාලයේදී හඳුන්වනු ඇත.  මම මේ ස්ථානයේදී යූදා සහ යෙරුසලමේ වැසියන්ගේ සැලසුම් සියල්ල අසාර්ථක කරන්නෙමි.+ මම ඔවුන්ට ඔවුන්ගේ සතුරන් අතින් පහර කෑමට සලස්වන්නෙමි. ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මඟක් සොයන අයගේ අතට මම ඔවුන්ව හසු කර දෙන්නෙමි.+ ඔවුන්ගේ මළ කඳන් අහසේ පක්ෂීන්ටද පොළොවේ මෘගයන්ටද ආහාරයක් ලෙස දෙන්නෙමි.+  මේ නගරය පිටට මා ගෙනෙන විනාශය දැක අන් අය පුදුමයට පත් වනු ඇත. එය සියල්ලන්ගේ නින්දාවට ලක් වීමටද මම ඉඩහරින්නෙමි.+ එය පසු කර යන සෑම කෙනෙක්ම පුදුමයෙන් එදෙස බලනු ඇත. එයට සිදු වූ විපත දැක ඔවුහු සමච්චල් කරනු ඇත.+  එහි සෙනඟට තමන්ගේම දරුදැරියන්වද තමන් අතරේ සිටින අයවද මරා ඔවුන්ගේ මාංස කෑමට සිදු වනු ඇත. ඔවුන්ට එලෙස ක්‍රියා කිරීමට සිදු වන්නේ ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මාන බලන අයද ඔවුන්ව කොටු කරගෙන ඔවුන් පිටට පමුණුවන දරුණු පීඩා නිසාය. ඒ සියල්ල සිදු වීමට මම ඉඩහරින්නෙමි.”’+ 10  “ඔබ ගෙන ගිය මැටි බඳුන ඔබ සමඟ ගිය අය ඉදිරිපිටම බිඳ දමන්න. 11  ඉන්පසු ඔබ ඔවුන්ට මෙසේ පවසන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කුඹල්කරු සෑදූ මේ මැටි බඳුන නැවත සකස් කිරීමට නොහැකි වන ලෙස බිඳ දැමූ ආකාරයටම මම මේ නගරයත් එහි සෙනඟවත් විනාශ කර දමමි.+ එවිට තැන්පත් කිරීමට ඉඩ නැති වන තරමටම තෝෆෙත්හි+ මළ කඳන් ගොඩගැසෙනු ඇත.”’+ 12  “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මැටි බඳුනට කළ දේම මම මේ නගරයටත් එහි වැසියන්ටත් කරන්නෙමි. මම මේ නගරය තෝෆෙත් මෙන් වීමට සලස්වන්නෙමි.+ 13  යූදාහි රජවරුන්ගේ මාලිගාවල හෝ යෙරුසලමේ වැසියන්ගේ නිවෙස්වල හෝ පිහිටි පැතලි වහල මත සිට සෙනඟ ආකාශ වස්තූන්ට සුවඳ දුම් ඔප්පු කළ නිසාත්+ වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කළ නිසාත්+ ඒ සෑම ස්ථානයක්ම තෝෆෙත් මෙන් අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.’”+ 14  තෝෆෙත් වෙතට+ යෙහෝවා දෙවි විසින් අනාවැකි කීම සඳහා යවනු ලැබූ යෙරෙමියා ඉන්පසු එතැනින් පිටත්ව ඇවිත් යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය. ඔහු එහි මළුවේ සිටගෙන සෙනඟට මෙසේ පැවසුවේය.+ 15  “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘සෙනඟ මට අකීකරු වී මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසා+ මම කලින් පැවසූ සෑම විපතක්ම මේ නගරය පිටටත් ඒ අවට පිහිටි සියලු කුඩා නගර පිටටත් ගෙනෙන්නෙමි.’”

පාදසටහන්