Skip to content

පටුනට යන්න

මේ සමාජයේ අය හිතන විදිහට හිතන්න එපා

මේ සමාජයේ අය හිතන විදිහට හිතන්න එපා

‘ඔබ පරෙස්සම් වුණේ නැත්නම් යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි.’—කොලො. 2:8.

ගීතිකා: 38, 31

1. කොලොස්සි සභාවේ හිටපු අයට පාවුල් ලිපියක් ලිව්වේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

ක්‍රි.ව. 60ත් 61ත් අතර කාලෙදී කොලොස්සි සභාවේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් ලිපියක් ලිව්වා. දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන එකේ වැදගත්කම ගැන එයා ඒ ලිපියෙන් කාවැද්දුවා. (කොලො. 1:9) පාවුල් කිව්වේ මෙහෙමයි. ‘කිසිවෙකුගේ මුළා කරවනසුලු තර්කවලින් නොරැවටෙන පිණිස ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනියි.’ (කොලො. 2:4, 8) සමහර මත මිනිසුන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇයි කියලත් ඒවා ප්‍රතික්ෂේප කරන්න ඕනෙ ඇයි කියලත් පාවුල් සඳහන් කළා. උදාහරණෙකට ඒ වගේ මත දරන ගොඩක් අය හිතන්නේ එයාලා අනිත් අයට වඩා උසස්, බුද්ධිමත් අය කියලා. සමාජයේ රැල්ලට අහු නොවී ඉන්න සහෝදරයන්ට උදව් කරන්නයි පාවුල්ට ඕනෙ වුණේ.—කොලො. 2:16, 17, 23.

2. සමාජයේ මිනිසුන් හිතන විදිහ ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඇයි?

2 මේ සමාජයේ මිනිසුන්ට දෙවිගේ ප්‍රතිපත්ති ගැන කිසිම ගානක් නැහැ. අපිත් එයාලා වගේ හිතන්න පටන්ගත්තොත් දෙවිගේ මඟ පෙන්වීම් ගැන අපිටත් සැකයක් ඇති වෙන්න පුළුවන්. TV බලද්දී, අන්තර්ජාලය පාවිච්චි කරද්දී, ඉස්කෝලේ නැත්නම් වැඩපොළේ අයව ආශ්‍රය කරද්දී මේ සමාජයේ ආකල්ප ලේසියෙන්ම අපේ හිතට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ ආකල්ප 5ක් ගැනත් ඒ ආකල්පවලින් ඈත් වෙන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නම ඕනෙද?

3. දෙවි කෙනෙක් ගැන ගොඩක් අයට තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඒ ඇයි?

3 “ගුණ යහපත් කෙනෙක් වෙන්න දෙවිව විශ්වාස කරන්නම ඕනෙ නෑ.” අද ඉන්න ගොඩක් අය හිතන්නේ ඒ විදිහට. ඒ වගේ හිතන සමහර අය දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියලවත් හොයලා බලලා නැහැ. එයාලා හිතන්නේ නිදහසේ එයාලට ඕන ඕන විදිහට ජීවත් වෙන එක ගැන විතරයි. (ගීතාවලිය 10:4 කියවන්න.) “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්න දෙවියන්ව විශ්වාස කරන්න ඕනෙ නෑ” කියලා හිතන අයත් ඉන්නවා. එහෙම හිතන එකෙන් එයාලා පෙන්නන්න හදන්නේ එයාලා හරි බුද්ධිමත් අය කියලා.

4. නිර්මාණකරුවෙක් ගැන විශ්වාස නොකරන කෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

4 ඇත්තටම දෙවි කෙනෙක් නැහැයි කියන්න පදනමක් තියෙනවාද? මේ ප්‍රශ්නෙට විද්‍යාවෙන් උත්තර හොයන්න ගිහින් අද මිනිස්සු ඉන්නේ අතරමං වෙලයි. හැබැයි ඇත්ත හරිම සරලයි. උදාහරණෙකට ගෙයක් ගැන හිතන්න. ගෙයක් ඉබේම හැදෙන්නේ නැහැ නේද? ඒක හදන්න කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනේ. ජීවය තියෙන පුංචිම දෙයක් වුණත් ගෙයකට වඩා සංකීර්ණ නැද්ද? පුංචි සෛලයක් ගැන හිතන්න. සෛලයකට හැකියාව තියෙනවා තවත් සෛල පිටපත් කරන්න. එහෙම කරද්දී මුල් සෛලයේ තිබුණ හැම තොරතුරක්ම අලුත් සෛලයට ලබා දෙන්න ඒකට හැකියාව තියෙනවා. අලුත් සෛලවලට පුළුවන් ඒ විදිහටම තවත් සෛල පිටපත් කරන්න. මේ තරම් විශිෂ්ට විදිහට සෛලයක් නිර්මාණය කළේ කවුද? බයිබලයේ මෙහෙම කියනවා. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.”—හෙබ්‍රෙ. 3:4.

5. දෙවිගේ උදව් නැතුව හරි වැරැද්ද තෝරගන්න පුළුවන් කියන අදහසට එකඟ වෙන්න පුළුවන්ද?

5 දෙවිගේ උදව් නැතුව හරි වැරැද්ද තෝරගන්න පුළුවන්ද? ඇත්ත, දෙවිව විශ්වාස නොකරන අයට පවා හොඳ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන් කියලා බයිබලයේ කියනවා. (රෝම 2:14, 15) එයාලා තමන්ගේ දෙමාපියන්ට ආදරෙන්, ගෞරවයෙන් සලකනවා. හැබැයි ඒ අය දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්නේ නැති නිසා හැම තිස්සෙම හරි දේ කරයි කියලා හිතන්න බැහැ. (යෙසා. 33:22) දෙවිගේ උදව් නැතුව මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න බැහැ කියලා බුද්ධිමත් අය පවා පිළිගන්නවා. (යෙරෙමියා 10:23 කියවන්න.) කවදාවත් හිතන්න එපා දෙවිව විශ්වාස නොකර, ඔහුගේ මඟ පෙන්වීම් නොසලකා හැරලා අපිට හරි වැරැද්ද තෝරගන්න පුළුවන් කියලා.—ගීතා. 146:3.

ආගමක් අදහන්නම ඕනෙද?

6. ආගම් ගැන ගොඩක් අය හිතන්නේ මොනවාද?

6 “සතුටින් ඉන්න ආගමක් ඕනෙ නෑ” කියලා ගොඩක් අය කියනවා. එයාලා හිතන්නේ ආගමක් අදහන එක තේරුමක් නැති, කම්මැලි වැඩක් කියලයි. ආගමික නායකයන් නිරාගින්න වගේ බොරු දේවල් උගන්වන නිසා, නිතරම සල්ලි ඉල්ලන නිසා, දේශපාලනයට සම්බන්ධ වෙන නිසා ගොඩක් අය දෙවිගෙන් ඈත් වෙලා. එහෙම බලද්දී නම් ආගමක් නැතුව සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන එක පුදුමයක් නෙමෙයි. “මම දෙවිව විශ්වාස කරනවා. ඒත් මට ආගමක් ඕනෙ නෑ” කියලා ගොඩක් අය කියනවා ඔයාත් අහලා ඇති.

7. සැබෑ ආගම අදහන එකෙන් නියම සතුට ලැබෙන්නේ කොහොමද?

7 ආගමක් නැතුව ඇත්තටම සතුටෙන් ඉන්න පුළුවන්ද? දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලින් නම් සතුටක් ලබන්න බැහැ තමයි. නියම සතුට අද්දකින්න “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවාගේ යාළුවෙක් වෙන්නම ඕනේ. (1 තිමෝ. 1:11) දෙවි හැම දෙයක්ම කරන්නේ අනිත් අයව සතුටින් තියන්නයි. දෙවිගේ සේවකයන් වෙන අපිත් අනිත් අයට උදව් කරන්න ලොකු වෑයමක් දරනවා. ඒ හින්දා අපිත් ඉන්නේ සතුටින්. (ක්‍රියා 20:35) පවුලක් විදිහට සතුටින් ඉන්න සැබෑ නමස්කාරය උදව් වෙන්නේ කොහොමද කියලා හිතන්න. බිරිඳ, සැමියා එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න විදිහ, හොඳ පුරුදු කියලා දීලා දරුවන්ව ඇතිදැඩි කරන විදිහ, සැබෑ ආදරය පෙන්නලා පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න විදිහ දෙවි අපිට කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ පුරා ඉන්න දෙවිගේ සෙනඟට සාමයෙන්, එකමුතුව වැඩ කරන්නත් සභාවේ ඉන්න අයට ආදරෙන් සලකන්නත් පුළුවන් වෙලා තියෙන්නේ එයාලා සැබෑ දෙවිට නමස්කාර කරන නිසයි.—යෙසායා 65:13, 14 කියවන්න.

8. මතෙව් 5:3 කියන විදිහට නියම සතුට ලබාගන්න පුළුවන් කොහොමද?

8 දෙවිට නමස්කාර කරන්නේ නැතුව නියම සතුට ලබාගන්න පුළුවන්ද? සමහරු එයාලා කරන රැකියාවෙන්, ක්‍රීඩාවලින්, විනෝදාංශවලින් සතුටක් ලබනවා. තවත් අය සතුටු වෙන්නේ තමන්ගේ පවුලේ අය, යාළුවන් වෙනුවෙන් දේවල් කරලා. ඒ දේවලින් යම් සතුටක් ලැබුණත් නියම සතුට කියන්නේ ඒකට නෙමෙයි. ඒක තේරුම්ගන්න දෙවි අපිව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන හිතන්න. අපි සතුන්ට වඩා වෙනස්. අපේ නිර්මාතෘ ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරලා සතුටක් ලබන්න පුළුවන් විදහටයි අපිව හදලා තියෙන්නේ. නියම සතුට ලැබෙන්නේ එහෙම කළොත් විතරයි. (මතෙව් 5:3 කියවන්න.) දෙවිගේ සෙනඟ එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරද්දී අපිට කොච්චර සතුටක් දැනෙනවාද! (ගීතා. 133:1) ලෝක ව්‍යාප්ත පවුලකට එකතු වෙන්න ලැබුණ එකත් පවිත්‍ර ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබුණ එකත් අනාගතයට හොඳ බලාපොරොත්තුවක් ලැබුණ එකත් සතුටක් නෙමෙයිද?

සදාචාර ප්‍රමිති ඕනෙමද?

9. (අ) ගොඩක් අය ලිංගික සම්බන්ධකම් පවත්වන එක ගැන හිතන්නේ මොකක්ද? (ආ) විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා බයිබලේ කියන්නේ ඇයි?

9 “ලිංගිකව එක් වෙන්න පුළුවන් විවාහ වුණ දෙන්නෙක්ට විතරද” කියලා ගොඩක් අය අහනවා. එයාලා අපිට කියන්නේ “ජීවිතේ තියෙන්නේ විඳින්නනේ. ඇයි ඔයාලා නීතිවලට කොටු වෙලා ඉන්නේ” කියලා. ඒත් දෙවි දුරාචාරය හෙළාදකිනවා. * (1 තෙසලෝනික 4:3-8 කියවන්න.) යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ නිසා හරි වැරැද්ද ගැන කියලා දෙන්න ඔහුට අයිතිය තියෙනවා. දෙවි එහෙම කරන්නේ අපිට ආදරේ නිසයි. ඔහු කියන විදිහට ජීවත් වුණොත් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියලා දෙවි දන්නවා. ඔහු කියන්නේ ලිංගිකව එක් වෙන්න පුළුවන් විවාහ වුණ දෙන්නෙක්ට විතරයි කියලා. දෙවිට කීකරු වෙද්දී පවුලේ අය අතරේ තියෙන ආදරය, ගෞරවය වැඩි වෙනවා වගේම එයාලට ලොකු සුරක්ෂිතබවක් දැනෙනවා. ඒත් දැන දැනම දෙවි කියන දේ නොසලකාහරින අයව දෙවි විනිශ්චය කරනවා.—හෙබ්‍රෙ. 13:4.

10. වේශ්‍යාකමින් වළකින්න අපිට පුළුවන් කොහොමද?

10 වේශ්‍යාකමින් වළකින්න පුළුවන් කොහොමද කියලා බයිබලේ අපිට උගන්වනවා. අපි බලන දේවලින් අපේ හිතට ලොකු බලපෑමක් වෙනවා කියලා යේසුස් කිව්ව මේ දෙයින් පැහැදිලියි. ‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත. ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න.’ (මතෙ. 5:28, 29) අසභ්‍ය දේවල් බලන එක වගේම දුරාචාරයට පොලඹවන සංගීතයෙනුත් අපි වළකින්න ඕනේ. පාවුල් කිව්වේ ‘වේශ්‍යාකම් කිරීමට ඇති ආශාව සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි’ කියලා. (කොලො. 3:5) ඒ නිසා අපි කතා කරන දේවල් වගේම හිතන දේවල් ගැන පවා සැලකිලිමත් වෙමු.—එෆී. 5:3-5.

සමාජයේ ඉහළටම යන්න හිතුවාට කමක් නැද්ද?

11. සමාජයේ ඉහළට යන්න අපිට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන් ඇයි?

11 හුඟක් අය කියන්නේ “හොඳ රස්සාවක් නැතුව සතුටින් ඉන්න බෑ” කියලා. අපේ කාලය, ශක්තිය වැය කරලා මේ සමාජයේ ඉහළටම යන්න කියලයි එයාලා දිරිගන්වන්නේ. එයාලා කියන්නේ හොඳ රස්සාවක් කරලා ධනය, ප්‍රසිද්ධිය, බලය ලබාගන්න කියලා. ඒ වගේ අදහස් නිසා නියම සතුට ලබන්න නම් හොඳ රස්සාවක් හොයාගන්න ඕනෙ කියලා අපිටත් හිතෙන්න පුළුවන්.

12. හොඳ රස්සාවක් කරන එකෙන් නියම සතුට ලබන්න පුළුවන්ද?

12 හොඳ රස්සාවක් කරද්දී ප්‍රසිද්ධ වෙන්න, බලය ලබාගන්න පුළුවන් තමයි. ඒත් ඒකෙන් නියම සතුටක් ලැබෙයිද? මේ ගැන හිතන්න. සාතන්ටත් ඕනෙ වුණේ බලවත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න. ඇත්ත, සාතන්ට ඕනෙ දේ ලැබුණා. ඒත් එයා ඉන්නේ සතුටෙන්ද? නැහැ. සාතන් ඉන්නේ කේන්තියෙන්. (මතෙ. 4:8, 9; එළි. 12:12) අනිත් අතට යෙහෝවා දෙවි ගැන, ඔහුගේ පොරොන්දු ගැන අනිත් අයට කියලා දෙන එකෙන් මොන තරම් සතුටක් ලැබෙනවාද කියලා හිතන්න. සමාජයේ කොච්චර ඉහළට ගියත් ඒ වගේ සතුටක් නම් කවදාවත් ලබාගන්න බැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු අනිත් අයව පාගලා හරි සමාජයේ ඉහළට යන්නයි බලන්නේ. එයාලගේ හිත් ඊර්ෂ්‍යාවෙන් පිරිලා. හිතේ කිසිම සතුටක් නැහැ. එයාලා කරන්නේ ‘සුළඟ පසුපස හඹා යනවා’ වගේ වැඩක්.—දේශ. 4:4.

13. (අ) අපි කරන රස්සාව ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? (ආ) පාවුල් නියම සතුටක් ලැබුවේ කොහොමද?

13 ජීවත් වෙන්න අපිට රස්සාවක් ඕනේ. අපි ආස විදිහේ රස්සාවක් තෝරගන්න එකේ වරදකුත් නැහැ. ඒත් ‘හැම දේටම වඩා මට වටින්නේ රස්සාවද’ කියලා කල්පනා කරන එක වැදගත්. යේසුස් මෙහෙම කිව්වා. ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැත්නම් එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. දෙවිට සේවය කරන අතරම මුදල් පසුපස හඹා යන්න බැහැ.’ (මතෙ. 6:24) යෙහෝවා දෙවිට සේවය කරද්දී, අනිත් අයට ඔහු ගැන කියලා දෙද්දී ලැබෙන සතුට කිසිම දේකට සම කරන්න බැහැ. පාවුල් ඒක අද්දැක්කා. තරුණ කාලේ එයා හොඳට ඉගෙනගෙන සමාජයේ ඉහළට යන්න හැදුවා. හැබැයි පස්සේ එයා මිනිසුන්ට දෙවි ගැන කියලා දෙන්න ජීවිතේ කැප කළා. දෙවි ගැන ඉගෙනගෙන අනිත් අය ජීවිත වෙනස් කරගන්නවා දකිද්දී එයාට දැනුණේ පුදුම සතුටක්. (1 තෙසලෝනික 2:13, 19, 20 කියවන්න.) දෙවිට ළං වෙන්න අනිත් අයට උදව් කරන්න මුළු ජීවිතේම කැප කරද්දී ලැබෙන සතුට වෙන කිසිම දේකින් අපිට ලැබෙන්නේ නැහැ.

අනිත් අයට දෙවි ගැන කියලා දෙන එකෙන් අපි ලොකු සතුටක් ලබනවා (12 සහ 13 ඡේද බලන්න)

ලෝකේ ප්‍රශ්න විසඳන්න මිනිසුන්ට පුළුවන්ද?

14. ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මිනිසුන්ටම තමයි කියලා ගොඩක් අය හිතන්නේ ඇයි?

14 “මිනිසුන්ට තියෙන ප්‍රශ්න විසඳගන්න දෙවි කෙනෙක් ඕනෙ නෑ.” ගොඩක් අය එහෙම හිතෙන්නේ ඇයි? ඒක ඇත්තක් නම් ඒකෙන් අදහස් කරන්නේ දෙවිගේ මඟ පෙන්වීම් නැතුව කැමති විදිහට දේවල් කරන්න අපිට නිදහස තියෙනවා කියන එකයි. යුද්ධ, අපරාධ, ලෙඩ රෝග, දුප්පත්කම දැන් ඉස්සරට වඩා අඩුයි කියලා සමහර අය කියනවා ඔයා අහලා ඇති. ඒ ගැන වාර්තාවක මෙහෙම කියනවා. “ලෝකේ හුඟක් ප්‍රශ්න විසඳිලා තියෙන්නේ මිනිස්සු ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන නිසා.” ඒක ඇත්තද? ප්‍රශ්න විසඳන විදිහ මිනිස්සු හොයාගෙන තියෙනවාද? දැන් අපි ඒ ගැන බලමු.

15. ලෝකේ තියෙන ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

15 යුද්ධ නවත්තන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවාද? 1වෙනි සහ 2වෙනි ලෝක යුද්ධ නිසා මිනිසුන් මිලියන 60කටත් වඩා මැරුණා. 2015 වෙද්දී යුද්ධ සහ හිංසා පීඩා නිසා තමන්ගේ ගෙවල් අත්හැරලා යන්න වුණ අයගේ ගාණ මිලියන 65ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 2015දී විතරක් මිලියන 12.4කට එයාලගේ ගෙවල් අහිමි වුණා. අපරාධ ගැන කියන්න පුළුවන් මොනවාද? ඇත්ත, සමහර ප්‍රදේශවල අපරාධ අඩු වෙලා තියෙනවා. හැබැයි අන්තර්ජාලය හරහා සිදු වෙන අපරාධ, ගෘහස්ථ හිංසනය, ත්‍රස්තවාදය, දූෂණය එන්න එන්නම වැඩි වෙනවා. අනිත් අතට වෛද්‍ය විද්‍යාවෙන් සමහර ලෙඩ රෝග සුව කරලා තියෙනවා. ඒත් හැම අවුරුද්දකම හෘදයාබාධ, ආඝාතය, පිළිකා, දියවැඩියාව, ස්වසන රෝග නිසා අවුරුදු 60ට අඩු මිලියන 9ක් විතර මැරෙනවා කියලා 2013 පළ වුණ වාර්තාවක සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝක බැංකු වාර්තාවට අනුව 1990 ඉඳලා 2012 වෙද්දී අප්‍රිකාවේ අන්ත දුගී තත්වයෙන් ජීවත් වුණ අයගේ ගණන මිලියන 280 ඉඳන් 330ක් දක්වා වැඩි වුණා.

16. (අ) මේ ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා කියන්නේ ඇයි? (ආ) යෙසායා සහ ගීතිකාකරු කියපු විදිහට දේවරාජ්‍යයෙන් මොන වගේ දේවල්ද කරන්න යන්නේ?

16 ආත්මාර්ථකාමී මිනිසුන් යටතේ තියෙන ව්‍යාපාර ලෝකෙට, දේශපාලනයට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කොහොමටවත් බැහැ. දේවරාජ්‍යයට විතරයි යුද්ධ, අපරාධ, ලෙඩ රෝග, දිලිඳුකම නවත්තන්න පුළුවන්. ආත්මාර්ථකාමී ආකල්ප, වංචා දූෂණ, ජාත්‍යාලය වගේ යුද්ධ ඇති වෙන්න හේතු වෙන හැම දෙයක්ම දෙවි නැති කරනවා. යුද්ධවලට උසිගන්වන අසත්‍ය උගන්වන ආගම් වගේම සාතන්වත් විනාශ කරනවා. කිසිම ආණ්ඩුවකට කරන්න බැරි තවත් දෙයක් දේවරාජ්‍යයෙන් කරනවා. ඒ තමයි එකිනෙකාට ආදරය පෙන්නන්න, අවංක වෙන්න මිලියන ගාණකට උගන්වන එක. (ගීතා. 46:8, 9) අපරාධ නැත්තටම නැති කරනවා කියන එකට ඒක සහතිකයක් නෙමෙයිද? (යෙසා. 11:9) ළඟදීම ලෙඩ රෝග නැති කරලා හැම අතින්ම නිරෝගී ජීවිතයක් මිනිසුන්ට ලබා දෙන්න යෙහෝවා දෙවි පොරොන්දු වෙනවා. (යෙසා. 35:5, 6) දෙවි දුප්පත්කමත් නැති කරනවා. දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගෙන සතුටෙන් ජීවත් වෙන්න එදාට හැමෝටම අවස්ථාව ලැබෙයි. ඒ වගේ සතුටක් සල්ලිවලට ගන්න පුළුවන්ද?—ගීතා. 72:12, 13.

‘පිළිතුරු දෙන්න ඕනෙ විදිහ ගැන අවබෝධයෙන්’ ඉන්න

17. මේ සමාජයේ අය හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?

17 ඔයාගේ විශ්වාසයන්ට විරුද්ධ අදහසක් ගැන අහන්න ලැබුණොත් මුලින්ම බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වගේ අදහස් ජනප්‍රිය ඇයි, ඒ අදහස් වැරදියි කියන්නේ ඇයි, ඒවා ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන් කොහොමද කියලා හොඳට හිතන්න. පාවුල් මෙහෙම කිව්වා. ‘සභාවෙන් පිටත සිටින අය සමඟ ඥානවන්තව කටයුතු කරන්න. එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කරන්න.’ එහෙම කළොත් මේ ලෝකේ අය හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න ඔයාටත් පුළුවන්.—කොලො. 4:5, 6.

^ 9 ඡේ. අනාචාරයේ යෙදෙන එක වැරදි නැහැයි කියන්න සමහරු යොහන් 7:53–8:11 පද යොදාගන්නවා. ඒකේ සඳහන් වෙන දේ නිසා අනාචාරය වැරදියි කියලා කියන්න පුළුවන් පව් නොකරපු කෙනෙක්ට විතරයි කියලා එයාලා කියනවා. හැබැයි එයාලා දන්නේ නැහැ ඒ පද බයිබලේ මුල් පිටපත්වල සඳහන් වෙලා නැහැ කියලා. ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ අනාචාරය ගැන දෙවි පැහැදිලිවම කියලා තිබුණේ මෙහෙමයි. “පුරුෂයෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිර එය හසු වුණොත් ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි.”—ද්වි. 22:22.