Skip to content

පටුනට යන්න

අලුත් සභාවට හුරු වෙන්න අමාරුද?

අලුත් සභාවට හුරු වෙන්න අමාරුද?

“මෙහෙට එන එක ගැන මට පුංචි බයක් දැනුණා. ‘යාළුවෝ හොයාගන්න පුළුවන් වෙයිද? සභාවේ අය මාව කොහොම පිළිගනියිද’ වගේ දේවල් මගේ ඔළුවේ වැඩ කළා.” එහෙම කිව්වේ අලුත් සභාවකට ආපු ඇලන්. * දැන් එයා ඉන්න සභාව තියෙන්නේ එයාගේ මුල් සභාවේ ඉඳන් කි.මී. 1,400ක් විතර ඈතින්.

ඔයාත් වෙන සභාවකට මාරු වුණ කෙනෙක් නම් ඔයාටත් එහෙම හැඟෙනවා ඇති. අලුත් සභාවට හුරු වෙන්න මොනවාද කරන්න පුළුවන්? හුරු වෙන එක හිතුවාට වඩා අමාරු නම් මොනවාද කරන්න පුළුවන්? අනිත් අතට, වෙන සභාවකින් ඔයාගේ සභාවට එන අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

අලුත් සභාවට හුරු වෙන්න නම් . . .

ගහක් උගුල්ලලා තව තැනකට අරන් යද්දී ගහේ මුල්වලින් සෑහෙන ප්‍රමාණයක් කපන්න වෙන නිසා ඒක ගහට බලපානවා. ඒක අලුත් තැන හිටෙව්වත් මුලින් හේබාලා වගේ තියෙන්නේ ඒ නිසයි. ඉක්මනින්ම ගහ මුල් ඇද්දේ නැත්නම් ඒකට හොඳින් වැඩෙන්න බැහැ. ඔයාත් කලින් සභාවේ හිටියේ හරියට හොඳින් මුල් ඇදපු ගහක් වගේ. ඔයාට හොඳ යාළුවෝ හිටියා. සභාවේ වැඩ හොඳින් කරගෙන ගියා. ඒත් ඒ සභාවෙන් අලුත් සභාවට ආවාම ඔයාටත් ලොකු පීඩනයක් දැනෙන්න ඇති. හරියට මුල් කපලා දාපු ගහක් වගේ. අලුතෙන් මුල් ඇදලා ගහ ඉක්මනින්ම අලුත් පරිසරයට හුරු වෙනවා වගේ ඔයාත් අලුත් සභාවට හුරු වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට ඔයාට උදව් වෙන්නේ මොනවාද? මේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න.

දේවවචනය නිතිපතා කියවන කෙනෙක් “දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය.”ගීතා. 1:1-3.

ගහක් වැඩෙන්න නම් හොඳින් වතුර උරාගන්න ඕනෙ වගේ ඔයාත් නිතිපතා දේවවචනයෙන් පෝෂණයක් ලබාගන්න ඕනේ. යෙහෝවා දෙවි එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්න ඔයාට පුළුවන් එතකොටයි. හැමදාම බයිබලේ කියවන්න. නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන්න. පවුලේ නමස්කාරය, පෞද්ගලික අධ්‍යයනය අතපසු කරන්න එපා. කලින් සභාවේදි දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න ඔයාට උදව් වුණ හැම දෙයක්ම දැනුත් ඔයා කරන්න ඕනෙ කියලා අමතක කරන්න එපා.

“අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.”හිතෝ. 11:25.

අලුත් සභාවට ගිය ගමන්ම සේවයේ හවුල් වෙන එක සභාවට ඉක්මනින්ම හුරු වෙන්න ඔයාට ලොකු උදව්වක් වෙයි. ඒක හරියට හේබාලා තිබුණ ගහ පණ ගහලා එනවා වගේ. කෙවින් මෙහෙම කියනවා. “අලුත් සභාවට ආපු ගමන්ම අපි දෙන්නා සහායක පුරෝගාමි සේවය පටන්ගත්ත නිසා සහෝදරයන්ව, පුරෝගාමීන්ව හොඳින් අඳුරගන්න පුළුවන් වුණා. සභාවට අයිති ප්‍රදේශයටත් හුරු වුණා.” කි.මී. 1,600කට එහායින් තිබුණ සභාවකට මාරු වුණ රොජර් මෙහෙම කිව්වා. “අලුත් සභාවට හුරු වෙන්න පුළුවන් හොඳම විදිහ තමයි පුළුවන් හැම වෙලාවෙම සේවයේ හවුල් වෙන එක. පිරිසිදු කරන වැඩවලට හවුල් වෙන එකෙන්, පැවරුමක් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එකෙන්, රැස්වීම්වලට එන්න කාට හරි උදව් කරන එකෙන් ඔයාට පුළුවන් සභාවේ වැඩවලට සහය දෙන්න ඔයා කැමතියි කියලා පෙන්නන්න. ඔයා මහන්සි වෙලා කරන සේවය දකිද්දී ඔයාට ළං වෙන්න සහෝදරයන් පෙලඹෙයි.”

“ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.”2 කොරි. 6:13.

තව වැඩියෙන් සහෝදර ස්නේහය පෙන්නන්න. පවුලේ අයත් එක්ක වෙන සභාවකට මාරු වුණ මෙලිසා මෙහෙම කියනවා. “රැස්වීම්වලට කලිනුයි, පස්සෙයි අපි වෙලාව අරන් කට්ටිය එක්ක කතා කළා. ඒකෙන් අපිට පුළුවන් වුණා එයාලව හොඳින් අඳුරගන්න.” සභාවේ අයගේ නම් මතක තියාගන්නත් ඒක එයාලට උදව් වුණා. කෑමකට එයාලගේ ගෙදරට එන්න කියලා සභාවේ අයට ආරාධනා කරපු එකෙනුත් මිතුදම් තව ශක්තිමත් කරගන්න පුළුවන් වුණා. “අපි අපේ ෆෝන් නම්බර්ස් සභාවේ අයට දුන්නා. එයාලගේ ඒවාත් ඉල්ලගත්තා. එතකොට සභාවේ දේවලට අපිව හවුල් කරගන්න එයාලට ලේසියිනේ” කියලා මෙලිසා කියනවා.

සමහරවිට අඳුරන්නේ නැති අය එක්ක කතා කරන එක ඔයාට අමාරු ඇති. එහෙමනම් පුංචි පියවරකින් පටන්ගන්න. මුලින්ම හිනා වෙන්න. හිනා වෙලා ඉද්දී ඔයා එක්ක කතා කරන්න අනිත් අයට පහසුයි. පොඩි කාලේ ඉඳන් හිටපු සභාවෙන් වෙන සභාවකට ගිය රේචල්ගේ අද්දැකීම බලන්න. “මං ටිකක් ලැජ්ජායි. ඒ නිසා සභාවේ අය ළඟට ගිහින් කතා කරන්න මට ලොකු වෑයමක් දරන්න වෙනවා. කවුරු හරි පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා දැක්කාම මට හිතෙනවා එයාත් මං වගේ ලැජ්ජා ඇති කියලා. ඒ නිසා මං එයා ළඟට ගිහිල්ලා කතා කරනවා.” සභාවේ මීට කලින් කතා කරලා නැති කෙනෙක් එක්ක කතා කරන්න ඔයාත් ඉලක්කයක් තියාගන්න.

අනිත් අතට, ඔයා අලුත් අයව අඳුරගන්න ගොඩක් කැමති කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් සභාවකට ගිය මුල් කාලේ එයාලව අඳුරගන්න එකෙන් ඔයා ලොකු සතුටක් ලබයි. ඒත් කාලයක් යද්දී ඒ උනන්දුව ටිකක් අඩු වෙයි. ඔයාටත් එහෙම දැනෙනවා නම් මිතුදම් ඇති කරගන්න ඔයා දිගටම උත්සාහයක් දරන්න ඕනේ.

ගහක් උගුල්ලලා තව තැනකට අරන් යද්දී ඒක ගහට බලපානවා. ඒත් අලුත් තැන හිටෙව්වාම ගහ ආයෙත් මුල් ඇදලා හොඳින් වැඩෙනවා

හුරු වෙන්න කල් දෙන්න

හොඳට මුල් ඇදලා අලුත් පරිසරයට හුරු වෙන්න සමහර ගස්වලට කාලයක් යනවා. ඒ වගේ අලුත් සභාවකට යන හැමෝම එකම වේගයෙන් සභාවට හුරු වෙන්නේ නැහැ. සභාවට ඇවිත් කාලයක් ගිහින් තිබුණත් ඒකට හුරු වෙන එක තාමත් ඔයාට අමාරුයි නම් මේ බයිබල් ප්‍රතිපත්ති ඔයාට උදව් වෙයි.

“අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”ගලා. 6:9.

හුරු වෙන්න තව කාලේ දෙන්න. ගිලියද් පාසලෙන් පුහුණුව ලබපු මිෂනාරිවරු හුඟදෙනෙක් එයාලගේ පැවරුමට ගියාම අවුරුදු කීපයක් යන කල් ආයේ ගෙදර යන්නේ නැහැ. එයාලා එහෙම කරන්නේ අලුත් රටට, සංස්කෘතියට හුරු වෙන්න කාලේ දෙන්න ඕනෙ නිසයි. සහෝදරයන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ඒක එයාලට උදව් වෙලා තියෙනවා.

ඉක්මනින් සභාවකට හුරු වෙන්න හිතුවාට ඔයා හිතන තරම් වේගයෙන් ඒක වෙන්නේ නැහැ. සභාවන් කීපයකට මාරු වුණ අලෙහන්ද්‍රෝ මෙහෙම කියනවා. “අන්තිම පාර අපි සභාව මාරු කරපු වෙලාවේ මගේ නෝනා කිව්වා ‘කලින් සභාවේ තමයි මගේ යාළුවෝ ඔක්කොම ඉන්නේ’ කියලා.” ඊට අවුරුදු 2කට කලින් සභාව මාරු කරද්දීත් එයා ඒකම කිව්වා කියලා අලෙහන්ද්‍රෝ මතක් කළා. ඒත් ඒ අවුරුදු 2 ඇතුළත ඒ සභාවේ අය එයාගේ කිට්ටු යාළුවන් වුණා.

“‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ.”දේශ. 7:10.

අලුත් සභාව කලින් සභාව එක්ක සසඳන්න එපා. අලුත් සභාවේ අය ටිකක් ලැජ්ජාශීලී අය වෙන්න පුළුවන්. නැත්නම් හුඟක් මිත්‍රශීලී අය වෙන්න පුළුවන්. සසඳනවා වෙනුවට දැන් සභාවේ අයට තියෙන හොඳ ගතිගුණ දිහා බලන්න. එයාලත් ඔයාගේ හොඳ ගතිගුණ දකිනවාට නෙමෙයිද ඔයා කැමති? සමහර වෙලාවට අලුත් සභාවකට ගියාම තමයි කෙනෙක් හිතන්න පෙලඹෙන්නේ ‘මං සහෝදරයන් හැමෝටම ඇත්තටම ආදරෙයිද’ කියලා.—1 පේතෘ. 2:17.

“නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි.”ලූක් 11:9.

දිගටම යාච්ඤා කරන්න. වැඩිමහල්ලෙක් වන ඩේවිඩ් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ උදව් නැතුව අපිට කරන්න බැරි හුඟක් දේවල් තියෙනවා. අලුත් සභාවට හුරු වෙන එකත් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ගැන යාච්ඤා කරන්න.” රේචල්ගේ අද්දැකීමත් ඒකයි. “සභාවේ අයට අපිව අමතක වෙලා කියලා දැනෙද්දී අපි ඒ ගැන යාච්ඤා කරනවා. ‘අනේ යෙහෝවා, අපිට ළං වෙන්න අනිත් අයට අමාරු වෙන දෙයක් අපේ අතින් වෙනවා නම් ඒක අපිට පෙන්නලා දෙන්න’ කියලා අපි දෙවිට කියනවා. ඊටපස්සේ සභාවේ අය එක්ක තව වැඩියෙන් කාලේ ගත කරනවා” කියලා එයා කියනවා.

දෙමාපියෙනි, සභාවට හුරු වෙන්න දරුවන්ට අමාරුයි කියලා තේරෙනවා නම් ඒ ගැන එයාලත් එක්ක යාච්ඤා කරන්න. සභාවේ අය එක්ක එකට කාලේ ගත කරන්න දරුවන්ට අවස්ථාවන් හදලා දෙන්න. එතකොට යාළුවෝ හොයාගන්න දරුවන්ට පුළුවන් වෙයි.

සභාවට එයාලව ඕනෙ කියලා දැනෙන්න සලස්වන්න

වෙන සභාවකින් ඔයාගේ සභාවට එන අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? හොඳ යාළුවෙක් වෙන්න. ඔයා වෙන සභාවකට ගියොත් එහේ අය ඔයාට කොහොම සලකනවාටද ඔයා කැමති කියලා හිතලා ඒ විදිහටම එයාලටත් සලකන්න. (මතෙ. 7:12) පවුලේ නමස්කාරයට හරි බ්‍රෝඩ්කාස්ටිං එක බලද්දී හරි එයාලවත් හවුල් කරගන්න. ඔයා එක්ක සේවයේ යන්න එයාලටත් එන්න කියන්න. කෑමකට ආරාධනා කරන්නත් පුළුවන්. ඔයා පෙන්නන සැලකිල්ල එයාලට කවදාවත් අමතක වෙන එකක් නැහැ. එයාලට උදව් කරන්න පුළුවන් තවත් පැති තියෙනවාද?

කාලෝස් කියන දේ බලන්න. “ලාබෙට හොඳ බඩු ගන්න පුළුවන් කඩ කීපයක් ගැන සභාවට ආපු අලුතම වගේ සහෝදරියක් අපිට කිව්වා. ඒක අපිට ගොඩක් උදව් වුණා.” වෙන රටකින් ආපු කෙනෙක්ට නම් සමහරවිට ඔයාට කියලා දෙන්න වෙයි ශීත කාලෙට, රස්නේ කාලෙට නැත්නම් වහින කාලෙට අඳින්නේ මොන වගේ ඇඳුම්ද කියලා. ප්‍රදේශය ගැන විස්තර, මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් ගැන කියලා දෙන එකෙන් සේවය තව හොඳින් කරන්න එයාට පුළුවන් වෙයි.

උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙනවා

ලිපිය මුලදී කතා කරපු ඇලන් අලුත් සභාවට ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි. එයා මෙහෙම කියනවා. “සභාවේ අයව අඳුරගන්න මුලින් ලොකු වෑයමක් දරන්න වුණා. ඒත් දැන් එයාලා මගේ පවුලේ අය වගේ. මං උත්සාහය අත්හැරපු නැති එක ගැන අද මට සතුටුයි.” සභාවන් මාරු වෙද්දී යාළුවෝ නැති වෙනවා වෙනුවට තව හොඳ යාළුවෝ හම්බ වෙනවා කියලා එයා තේරුම්ගත්තා. ඇති වෙන ඒ මිතුදම් හැමදාටම තියෙනවා.

^ 2 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.