ද්විතීය කතාව 29:1-29

29  යෙහෝවා දෙවි හොරෙබ් කඳුකරයේදී ඊශ්‍රායෙල්වරුන් සමඟ ඇති කරගත් ගිවිසුමට අමතරව මෝවබ් දේශයේදී ඔවුන් සමඟ තවත් ගිවිසුමක් ඇති කරගත්තේය.+ මෝසෙස් මාර්ගයෙන් ඇති කරගත් ඒ ගිවිසුමේ සඳහන් දේවල් මතු දැක්වේ.  මෝසෙස් මුළු ඊශ්‍රායෙල් සෙනඟ රැස් කරවා ඔවුන්ට මෙසේ පැවසීය. “යෙහෝවා දෙවි ඊජිප්තුවේ පාරාවෝටත් ඔහුගේ සියලුම සේවකයන්ටත් ඔහුගේ මුළු දේශයටත් කළ දේවල් ඔබ දුටුවා නේද?+  එහිදී දෙවි තම මහත් බලයෙන් කළ පුදුමසහගත ක්‍රියාවන්+ හා ආශ්චර්යයන්+ මාර්ගයෙන් ඔවුන්ව සෝදිසි කර බැලූ ආකාරයත් ඔබ දුටුවා.+  නමුත් අද වන තුරු ඔබ ඇසූ දුටු මේ දේවල නියම අර්ථය තේරුම්ගන්න තරම් ශක්තියක් ඔබට යෙහෝවා දෙවිගෙන් ලැබී නැහැ.+  දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘පාළුකරයේ අවුරුදු හතළිහක් පුරා ගමන් කරද්දී ඔබට මඟ පෙන්වූයේ මමයි.+ එහෙත් ඒ කාලය තුළදී ඔබේ ඇඳුම් පැළඳුම් දිරා ගියේවත් ඔබේ පාවහන් ගෙවී ගියේවත් නැහැ.+  ඒ කාලයේදී ඔබට කන්න රොටිවත්+ බීමට වයින් හෝ වෙන කිසි මත්පැන් වර්ගයක්වත් තිබුණේ නැහැ. ඔබ ඒ තත්වයේ සිටියදී මම ඔබව රැකබලා ගත්තා. එසේ කළේ මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබට වටහා දෙන්නයි.’  කල් යත්ම, අප දැන් සිටින මේ ස්ථානයට ඔබ පැමිණියා. ඒ කාලයේදී හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්, බාෂාන්හි රජු වූ ඕග්+ සමඟ එකතු වී අපට විරුද්ධව සටනට ආවා. නමුත් අපිට හැකි වුණා ඔවුන්ව පරාජය කරන්න.+  ඔවුන්ට අයත් ප්‍රදේශය යටත් කරගෙන රූබෙන් සහ ගාද් ගෝත්‍රවල අයටත් මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකටත් ඒ ප්‍රදේශය උරුමයක් ලෙස ලබා දුන්නා.+  දැන් මේ දේ මතක තබාගන්න. ඔබ කරන සෑම දෙයක්ම සාර්ථක කරගැනීමට නම් ඔබ මේ ගිවිසුමේ සඳහන් සියලුම කොන්දේසිවලට අනුව ක්‍රියා කළ යුතුයි.+ 10  “ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ අද ඔබ සියලුදෙනාම රැස්ව සිටිනවා. ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන්, ඔබේ වැඩිමහල්ලන් සහ ඔබේ අධිපතීන් ඇතුළුව ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලුම පුරුෂයන්ද+ 11  ස්ත්‍රීන්ද+ දරුදැරියන්ද ඔබ අතරේ දර කපන්නන් සහ වතුර අදින්නන්+ ලෙස සේවය කරන විදේශිකයන්ද+ මෙහි රැස්ව සිටිනවා. 12  ඔබ සියලුදෙනාම මෙහි රැස්ව සිටින්නේ ඔබේ දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක්+ ඇති කරගැනීමටයි. ඒ ගිවිසුමට එකඟ වන බව ඔබ දැන් දිවුරා පොරොන්දු විය යුතුයි.+ එම ගිවිසුම ඔබ සමඟ ඇති කරගන්න යෙහෝවා දෙවි දැන් සූදානමින් සිටිනවා. 13  දෙවි මේ ගිවිසුම ඔබ සමඟ ඇති කරගන්නේ ඔබව ඔහුගේ සෙනඟ ලෙස+ ඔහු භාරගත් බව ස්ථිර කිරීමටයි. ඒ වගේම ඔබටත් ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්,+ ඊසාක්+ සහ යාකොබ්ටත්+ දිවුරා පොරොන්දු වූ ආකාරයටම ඔහු ඔබේ දෙවි+ බව පෙන්වීමටයි. 14  “දෙවි දිවුරුමකින් ස්ථිර කරන මේ ගිවිසුම ඇති කරගන්නේ ඔබ සමඟ පමණක් නොවෙයි.+ 15  අද යෙහෝවා දෙවි ඉදිරියේ මෙහි රැස්ව සිටින අප පමණක් නොව, අපෙන් බිහි වන මතු පරම්පරාවත්* මේ ගිවිසුමට ඇතුළත්.+ 16  (අප ඊජිප්තුවේ ජීවත් වූ ආකාරයත් අප එතැනින් පිට වී විවිධ ජාතීන්ගේ දේශයන් මැදින් ගමන් කළ ආකාරයත් ඔබට හොඳින් මතක ඇති.+ 17  ඒ ජාතීන් කළ පිළිකුල්සහගත දේවලුත් ලී, ගල්, රන් රිදී ආදියෙන් සාදා තිබූ ඔවුන්ගේ පිළිකුල් රූපත්* ඔබට මතක ඇති.)+ 18  ඔබ අතරේ සිටින කිසිම පුරුෂයෙකුටවත් ස්ත්‍රියකටවත් කිසිම පවුලකටවත් ගෝත්‍රයකටවත් යෙහෝවා දෙවිගෙන් ඈත් වී ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට+ නමස්කාර කරන්න ඉඩ දෙන්න එපා. මන්ද එවැනි කෙනෙක් හොඳින් වැඩී විස සහිත තිත්ත පල හටගන්වන පැළෑටියක මුලක් හා සමානයි.+ 19  “දෙවි ඔබ සමඟ ඇති කරගන්නා මේ ගිවිසුමේ සඳහන් ශාප ගැන ඇසූ විට+ කෙනෙක් උඩඟු වී, ‘මම කරන්නේ මට ඕන දේ.+ එහෙම කළා කියලා මට කිසි කරදරයක් වෙන්නේ නැහැ’+ කියා සිතන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ සිතමින් නැති බැරි අයව විතරක් නොව අන් සියලුදෙනාවත්* විනාශ කර දමන්න උත්සාහ කළොත් 20  යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි. 21  යෙහෝවා දෙවි ඔහුට දඬුවම් කරන පිණිස ඊශ්‍රායෙල්හි සියලුම ගෝත්‍ර අතරින් ඔහුව වෙන් කරයි.+ එවිට ගිවිසුමේ සඳහන් කළ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. 22  “ඔබෙන් පැවතෙන ඔබේ දූපුතුන් සහ බොහෝ දුර බැහැර දේශවලින් පැමිණෙන විදේශිකයන්ට දකින්න ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් පහර ලැබූ,+ විවිධ වසංගත හා ලෙඩ රෝග නිසා නාස්ති වී ගිය දේශයක්. 23  ගිනි,+ ගෙන්දගම් හා ලුණුවලින්+ නාස්ති වී ගිය නිසරු භූමියත් ඔවුන් දකියි. යෙහෝවා දෙවි මහත් උදහසකින් විනාශ කළ+ සොදොම්, ගොමෝරාව,+ අද්මා+ සහ ෂෙබොයිම්+ යන දේශවලට සමානව මුළු දේශයම කිසි වගා කටයුත්තක් කිරීමටවත් කිසි පැළෑටියක් හටගැනීමටවත් සුදුසු නැති තත්වයකට පත් වී ඇති ආකාරය ඔවුන්ට දකින්න ලැබෙයි. 24  සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි. 25  එවිට ඔවුන්ට ලැබෙන පිළිතුර මෙයයි. ‘යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ පසු+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. නමුත් ඒ ගිවිසුමට ඔවුන් ද්‍රෝහි වුණා.+ ඒ නිසයි මෙවැනි දෙයක් සිදු වුණේ. 26  ඔවුන් දෙවිට ද්‍රෝහි වී කිසි කලෙක හඳුනාගෙන නොසිටි බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටෙන්න පටන්ගත්තා. එසේ කරන්න දෙවි කවදාවත් ඔවුන්ට ඉඩ දී තිබුණේ නැහැ.+ 27  ඉතින් යෙහෝවා දෙවිගේ උදහස මේ දේශයට විරුද්ධව ඇවිළී ගියා. ඒ නිසා නීතියේ ලියා ඇති සියලුම ශාප දේශය පිටට පැමිණියා.+ 28  යෙහෝවා දෙවි මහත් උදහසකින් ඔහුගේ සෙනඟව දේශයෙන් උදුරා දමා+ වෙනත් දේශයකට පිටමං කළා.’+ 29  “ඇතැම් දේවල් අපේ දෙවි වන යෙහෝවා අපට හෙළි කර නැහැ.+ ඒ කාරණා දන්නේ දෙවි පමණයි. නමුත් දැනගත යුතු කාරණා+ දෙවි අපටත් අපේ දූපුතුන්ටත් හෙළි කර තිබෙනවා. ඒ දේවල් අපිට හෙළි කර තිබෙන නිසා දෙවිගේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපදින්න අපට හැකියි.+

පාදසටහන්

මූ.අ., “අද අප සමඟ මෙහි නොසිටින අයත්.”
ලෙවී 26:30හි පාදසටහන බලන්න.
මූ.අ., “පිපාසයෙන් සිටින්නා සේම වතුරෙන් කිසි හිඟයක් නැති තැනැත්තාවද.”