ද්විතීය කතාව 3:1-29

3  “ඉන්පසු අපි බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළා. ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජු වන ඕග්+ අපට විරුද්ධව සටන් කරන්න ඔහුගේ මුළු සේනාව සමඟ එද්රෙයි+ නුවරට පැමිණියා.  ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඕග් රජුට භය නොවන්න.+ මම ඔහුවත් ඔහුගේ සෙනඟවත් ඔහුගේ දේශයත් ඔබේ අතට දෙන්නම්. හෙෂ්බොන්හි ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ව+ ඔබ විනාශ කළ ලෙසම ඔහුවත් විනාශ කරන්න.’  යෙහෝවා දෙවි කී ලෙසම බාෂාන්හි රජු වූ ඕග්වත් ඔහුගේ මුළු සේනාවත් අපේ අතට දුන්නා. ඔවුන්ගෙන් කිසිවෙකුව අපි ඉතුරු කළේ නැහැ.+  ඒ කාලයේදී ඔහු යටතේ තිබුණු සෑම නුවරක්ම අපි අල්ලාගත්තා. බාෂාන්+ දේශයේ රජු වූ ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ්+ පළාත පුරාම නුවරවල් හැටක් තිබුණා.+ අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.  ඒ සෑම නුවරක්ම විශාල පවුරුවලින් වට වූ දොරගුලු සහිත සුරක්ෂිත නුවරවල්. ඊට අමතරව ඒ ප්‍රදේශයේ තිබූ බොහෝ පිටිසර ගම්මානද අපි යටත් කරගත්තා.  හෙෂ්බොන්හි රජු වූ සීහොන්ගේ රාජධානියට කළාක් මෙන් අපි එහි සෑම නුවරක්ම විනාශ කර දැමුවා.+ එහි සිටි කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් කුඩා දරුවෙක්වත් අපි ඉතුරු කළේ නැහැ.+  නමුත් සියලුම සතුන්ව හා නුවරවල තිබූ වස්තුවද අපි අයිති කරගත්තා.+  “අපි යොර්දාන් ගඟ අසල සිටි අමෝරිවරුන්ගේ+ ඒ රජවරුන් දෙදෙනාට අයිති මුළු ප්‍රදේශයත් අත් පත් කරගත්තා. එම ප්‍රදේශය ආනොන්+ නිම්නය සිට හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී ගියා.  (සීදොන් වැසියන් හෙර්මොන් කන්ද හැඳින්වූයේ සිරියොන්+ ලෙසයි. අමෝරිවරුන් එය හැඳින්වූයේ සෙනීර්+ ලෙසයි.) 10  අපි උස් තැනිතලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද් දේශයද සලෙකා+ හා එද්රෙයි+ නුවරවල් ඇතුළුව බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට අයත් මුළු ප්‍රදේශයද අල්ලාගත්තා. 11  ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා. 12  ඒ කාලයේදී අපි ඒ මුළු ප්‍රදේශයම අයිති කරගත්තා. ඉන්පසු ආනොන් නිම්නයේ පිහිටි අරෝයේර්+ නුවර සිට ගිලියද් දේශ සීමාව දක්වා විහිදී යන ප්‍රදේශයද ගිලියද්හි කඳුකර ප්‍රදේශයෙන් භාගයක්ද එහි තිබුණු නුවරවල්ද මම රූබෙන් සහ ගාද් ගෝත්‍රයට+ භාර දුන්නා. 13  ගිලියද්+ දේශයේ ඉතුරු කොටසත් ඕග් රජුගේ රාජධානිය වූ බාෂාන්+ දේශයත් මම භාර දුන්නේ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි. මුළු අර්ගොබ්+ පළාත එනම්, බාෂාන් දේශය කලින් අයිතිව තිබුණේ රෙෆායිවරුන්ටයි.+ 14  “ගෙෂූර්වරුන්ගේ+ හා මයකාත්වරුන්ගේ+ දේශ සීමා දක්වා විහිදී යන අර්ගොබ්+ පළාත අයිති කරගත්තේ මනස්සේගේ පුත් යායිර්+ විසිනුයි. බාෂාන් දේශයේ පිහිටි එම ගම්මානවලට ඔහු තම නම තැබුවා. එතැන් පටන් ඒවා හැඳින්වූයේ හව්වෝත්-යායිර්*+ ලෙසයි. 15  මම ගිලියද්+ දේශය දුන්නේ මාකීර්ටයි.+ 16  රූබෙන්+ හා ගාද් යන ගෝත්‍රවලට මම ගිලියද්+ දේශයේ සිට ආනොන් නිම්නය දක්වා විහිදෙන ප්‍රදේශය දුන්නා. ආනොන් නිම්නය මැදින් දිව යන මායිමේ සිට ගිලියද් දේශයේ අම්මොන්වරුන්ගේ+ දේශ සීමාවේ පිහිටි යබ්බොක් නිම්නය දක්වා එම ප්‍රදේශය විහිදී යනවා. 17  මහ අරබා නිම්නය හා යොර්දාන් ගඟද එහි ඉවුර දිගේ දිව යන ප්‍රදේශයද ඔවුන්ට අයිතියි. කින්නෙරෙත්+ මුහුදේ* දකුණු මායිමේ සිට අරබා මුහුද ලෙසත් හඳුන්වන ලුණු මුහුදේ+ උතුරු මායිම දක්වාද එතැන් සිට නැඟෙනහිරෙන් පිහිටි පිස්ගා+ කඳු පාමුල දක්වාද ඔවුන්ගේ දේශ සීමාව දිව යයි. 18  “පසුව මම ඔවුන්ට මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි මේ දේශය ඔබට උරුමයක් ලෙස දී තිබෙනවා. නමුත් ඔබ අතරේ සිටින සියලු එඩිතර පුරුෂයන් යුද්ධයට සැරසී අනික් ගෝත්‍රවල සිටින ඔබේ සහෝදරයන්ගේ සහයට යා යුතුයි.+ 19  ඔබේ භාර්යාවන්ටත් කුඩා දරුවන්ටත් මම ඔබට දුන් නුවරවල සිටිය හැකියි. ඔබට සත්ව රැළවල් ගණනාවක් සිටින බව මම දන්නවා. ඒ සතුන්වත් ඔබට ඒ නුවරවල තබා යන්න පුළුවන්.+ 20  නමුත් ඔබ ඔබේ සහෝදරයන් සමඟ යොර්දාන් ගඟෙන් එගොඩ වී යෙහෝවා දෙවි ඔවුන්ට උරුමයක් ලෙස දෙන දේශය අත් පත් කරගන්න ඔවුන්ට උදව් කරන්න. යෙහෝවා දෙවි ඔබට මෙන් ඔබේ සහෝදරයන්ටත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන තුරු ඔබ ඔවුන්ට උදව් කළ යුතුයි. ඉන්පසු ඔබට පුළුවන් ඔබ හිමි කරගත් මේ දේශයට නැවත එන්න.’+ 21  “ඉන්පසුව කළ යුතු දේ ගැන මම යොෂුවාට+ පැවසුවේ මෙයයි. ‘යෙහෝවා දෙවි මේ රජවරුන් දෙදෙනාට කළ දේ ඔබ ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා දෙවි අනික් සියලුම රාජ්‍යයන්ද ඒ විදිහටම ඔබට ලබා දෙයි.+ 22  ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. මන්ද ඔබ වෙනුවෙන් සටන් කරන්නේ ඔබේ දෙවි වන යෙහෝවායි.’+ 23  “පසුව මම යෙහෝවා දෙවිට ඉතා බැගෑපත්ව මෙසේ කන්නලව් කළා. 24  ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා. 25  දෙවියනි, යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන ඒ සරුසාර දේශයටත්+ එහි සුන්දර කඳුකරයටත්+ ලෙබනොන්+ දේශයටත් යන්න මටත් අවස්ථාවක් දෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.’ 26  නමුත් ඔබේ පියවරුන් නිසා මා අතින් සිදු වූ වරදට යෙහෝවා දෙවි මා සමඟ උදහසෙන් සිටියා.+ ඒ නිසා යෙහෝවා දෙවි මගේ ඉල්ලීමට එකඟ නොවී මට මෙසේ පැවසුවා. ‘මා සමඟ මේ කාරණය ගැන නැවත කතා නොකරන්න. මගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. 27  පිස්ගා+ කඳු මුදුනට නැඟ මුළු දේශයම බලාගන්න. නමුත් යොර්දාන් ගඟෙන් එගොඩ වී ඒ දේශයට යන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ.+ 28  ඔබෙන් පසුව නායකයා+ හැටියට යොෂුවාව පත් කරන්න. ඒ සඳහා ඔහුව ධෛර්යවත් කර ශක්තිමත් කරන්න. ගඟෙන් එගොඩ වී+ ඒ දේශයට සෙනඟව රැගෙන යන්නේ ඔහුයි. ඔබ දකින මේ දේශය ඊශ්‍රායෙල් සෙනඟ උරුම කරගන්නේ ඔහුගේ නායකත්වය යටතෙයි.’+ 29  ඒ සෑම දෙයක්ම සිදු වුණේ අපි බෙත්-පෙයෝර්+ නුවර ඉදිරියේ පිහිටා තිබුණු නිම්නයේ සිටි කාලයේදීයි.

පාදසටහන්

උත් 6:15හි පාදසටහන බලන්න.
තේරුම, “යායිර්ගේ කූඩාරම් ගම්මාන.”
ගලීල මුහුද මුලින් හැඳින්වූයේ මෙම නමින්ය.