Skip to content

පටුනට යන්න

නොපෙනෙන දෙවි කෙනෙකුට යාච්ඤා කළ හැකිද?

නොපෙනෙන දෙවි කෙනෙකුට යාච්ඤා කළ හැකිද?

නොපෙනෙන දෙවි කෙනෙකුට යාච්ඤා කළ හැකිද?

යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටින තම විශ්වාසවන්ත සේවකයන්ට විවිධ වගකීම් පවරා තිබෙනවා. උදාහරණයකට ශුභාරංචිය පොළොව පුරා ප්‍රචාරය කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා තම සේවකයන්ට මඟ පෙන්වන්න ඔහු දේවදූතයන්ව පත් කර තිබෙනවා. (එළිදරව් 14:6) එමෙන්ම ඔහු ස්වර්ගයේ සිටින යේසුස්ට පොළොවේ රජකම භාර දී තිබෙනවා. නමුත් අපේ යාච්ඤාවලට සවන් දීමේ වගකීම ඔහු කිසිම කෙනෙකුට පවරා නැහැ. එමනිසා අපි යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි.

බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ, ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ ලෙසයි. (ගීතාවලිය 65:2) ඔහු අපේ යාච්ඤාවලට සවන් දෙන අතර ඒවාට පිළිතුරුත් දෙනවා. “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන” බවත් ‘අප ඔහුගෙන් ඒ දේවල් ඉල්ලූ නිසා ඒවා අපට ලැබෙන බවත් අපි දනිමු’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—1 යොහන් 5:14, 15.

මිනිසුන් තමන් හට යාච්ඤා කිරීම දේවදූතයන් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මන්ද යාච්ඤාව සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ඇති කර තිබෙන සැලැස්ම කුමක්ද කියා ඔවුන් හොඳින් දන්නවා. ඒ වුණත් අවශ්‍ය නම් තම සේවකයන්ගේ යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා යෙහෝවා දෙවිට ඔවුන්ව යොදාගන්න පුළුවන්. උදාහරණයකට අනාගතවක්තෘ දානියෙල්ගේ යාච්ඤාවට සවන් දුන් යෙහෝවා දෙවි ඔහුව දිරිමත් කිරීම සඳහා ගාබ්‍රියෙල් නම් දේවදූතයාව යොදාගත්තා.—දානියෙල් 9:3, 20-22.

මිය ගිය අය අප සමඟ කතා කරනවාද?

මිය ගිය අය සමඟ තමන් කතා කර තිබෙනවා කියා බොහෝ අය පවසනවා. උදාහරණයකට අයර්ලන්තයේ ජීවත් වන එක් වැන්දඹුවකගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඇයට මායාකාරියක්ව මුණගැසුණා. ඒ මායාකාරිය වැන්දඹු ස්ත්‍රියට පැවසුවේ සති කිහිපයකට කලින් මිය ගිය ඇගේ ස්වාමිපුරුෂයා වූ ෆ්‍රෙඩ් තමා සමඟ කතා කළා කියායි. ඉන්පසු “ෆ්‍රෙඩ්” තමාට පැවසූ දේවල් ඒ මායාකාරිය ඇයට පැවසුවා. පුදුමයට හේතුවක් වන්නේ මායාකාරිය පැවසූ දේවල් ෆ්‍රෙඩ්ගේ බිරිඳ පමණක් දැන සිටි ඒවා වීමයි. එවැනි දෙයක් සිදු වූ විට ඇත්තටම මිය ගිය අයගේ ආත්ම කොහේ හෝ තැනක ජීවත් වෙනවා කියා සිතන්න මිනිසුන් ඉක්මන් වන බවට සැකයක් නැහැ. නමුත් බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයට අමරණීය ආත්මයක් කියා දෙයක් නැහැ.—කොටුව බලන්න.

එසේනම් මිය ගිය අයගේ ආත්ම සමඟ තමන් කතා කළායයි ඇතැම් අය කියන කතාවල සත්‍යයක් තිබෙනවාද? නැහැ. මිනිසුන් එවැනි දේවල් පැවසුවත් ඇත්තටම ඔවුන් කතා කරන්නේ මිය ගිය අය සමඟ නොව භූතයන් සමඟයි. මිය ගිය අය මෙන් පෙනී සිටිමින් මිනිසුන්ව රවටා ඔවුන්ව දෙවිගෙන් ඈත් කිරීමට භූතයන් එවැනි දේවල් කරනවා. යක්ෂයා ඇතුළු භූතයන් “මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්, මිනිසුන්ව නොමඟ යැවීමට සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම කරයි” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—2 තෙසලෝනික 2:9, 10.

කොහොමවුණත් මායාකරුවන් සහ ඔවුන් පසුපස යන ඇතැම් පුද්ගලයන් තරයේ විශ්වාස කරන්නේ තමන් ඇත්තටම මිය ගිය අය සමඟ කතාබහ කරනවා කියායි. නමුත් එය මුළාව යෑමක්. ඔවුන් ඇත්තටම කතාබහ කරන්නේ දෙවිගේ සතුරන් වන භූතයන් සමඟයි. සමහර අය දෙවිගේ අනුමැතිය තමන්ට තිබෙනවා කියා සිතාගෙන දෙවි අනුමත නොකරන ක්‍රමවලින් දෙවිට නමස්කාර කරනවා. එයත් ඉතා භයානකයි. මන්ද ඔවුන් එලෙස නමස්කාර කරන්නේ ‘දෙවිට නොව භූතයන්ටයි.’—1 කොරින්ති 10:20, 21.

මේ ගැන මොහොතක් සිතන්න. අපි ගැන සැලකිලිමත් වන අතිශ්‍රේෂ්ඨ මෙන්ම ප්‍රේමණීය යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවා නම් අපි වෙනත් අයට යාච්ඤා කළ යුතුද? දෙවි අප ගැන කොතරම් සැලකිලිමත්ද කියා බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි ගැන සැලකිලිමත් වන අතිශ්‍රේෂ්ඨ මෙන්ම ප්‍රේමණීය යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවා නම් අපි වෙනත් අයට යාච්ඤා කළ යුතුද?

[8, 9වන පිටුවල කොටුව⁄පින්තූරය]

සත්‍යය සහ අසත්‍යය

සත්‍යය: යක්ෂයා සැබෑ කෙනෙක්

“සාතන් [එනම් යක්ෂයා] පවා ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි.”—2 කොරින්ති 11:14.

“සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.”—1 පේතෘස් 5:8.

“පාපයේ නියැලී සිටින තැනැත්තා යක්ෂයාගේ බලපෑමට හසු වී සිටියි. මන්ද යක්ෂයා මුල සිටම පව් කර ඇත.”—1 යොහන් 3:8.

“දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.”—යාකොබ් 4:7.

යක්ෂයා “නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්. ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.”—යොහන් 8:44.

අසත්‍යය: මිනිසුන් තුළ අමරණීය ආත්මයක් තිබෙනවා

“භූමියෙන් ගන්නා ලද ඔබට, භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.

“ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශනාකාරයා 9:5.

“ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න. මන්ද ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:10.

“ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:4.

සත්‍යය: විශ්වාසවන්ත දේවදූතයන් අප ගැන සැලකිල්ලෙන් සිටිනවා

“යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ ඔවුන්ව ගලවාගන්නේය.”—ගීතාවලිය 34:7; 91:11.

“ඔවුන් සියලුදෙනා [එනම් දේවදූතයන්] ජනයා වෙනුවෙන් සේවය කිරීමට යවනු ලැබූ බලවත් දූතයන් නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට නොවේද?”—හෙබ්‍රෙව් 1:14.

“මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය. පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය. ඔහු මහත් හඬකින් පවසන්නේ මෙයයි. ‘දෙවිට ගරුබිය දක්වන්න. ඔහුට නිසි ගෞරවය දෙන්න.’”—එළිදරව් 14:6, 7.

අසත්‍යය: යේසුස් එකම සැබෑ දෙවියි

“සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත් ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.”—1 කොරින්ති 11:3.

“සියල්ල පුත්‍රයාට යටත් කළ පසු පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.”—1 කොරින්ති 15:28.

“ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පුත්‍රයාට තනි කැමැත්තෙන් කිසිම දෙයක් කළ නොහැකි බවයි. ඔහු තම පියාණන් කරන දේවල් බලාගෙන ඒ දේවල් එලෙසම ඉටු කරයි.”—යොහන් 5:19.