Skip to content

පටුනට යන්න

අපට නොපෙනෙන බලවත් පිරිසක්

අපට නොපෙනෙන බලවත් පිරිසක්

අපට නොපෙනෙන බලවත් පිරිසක්

අපේ ඇස්වලට නොපෙනුණත් අපට වඩා බලවත්, බුද්ධිමත් පිරිසක් ඇත්තටම සිටිනවා. ඔවුන්ට විවිධාකාර පෞද්ගලිකත්වයන් මෙන්ම විවිධ නම්ද තිබෙනවා. ඒ අතරින් එක් පිරිසක් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අතර තවත් පිරිසක් මිනිසුන්ට හානි කරනවා.

එකම සැබෑ දෙවිවත් අපිට පෙනෙන්නේ නැහැ. (යොහන් 4:24) ඔහුගේ නාමය යෙහෝවායි. (ගීතාවලිය 83:18) ඒ අර්ථවත් නාමය නිසා වෙනත් දෙවිවරුන්ට වඩා ඔහු කොතරම් අද්විතීය කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. ඔහු ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය. අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය. මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය. නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය. ගෞරවයත් තේජශ්‍රීයත් ඔහු ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් ඔහුගේ ශුද්ධස්ථානයෙහි ඇත.”—ගීතාවලිය 96:4-6.

සැබෑ දෙවි ගැන බයිබලයේ සඳහන් දේ

“කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියා බයිබලයේ සඳහන් වී තිබෙනවා. (යොහන් 1:18) එහි පෙන්වා තිබෙන ආකාරයට දෙවිගේ තේජශ්‍රීය අද්විතීයයි. එය විස්තර කිරීමට උත්සාහ කිරීම ඇස් නොපෙනෙන කෙනෙකුට පාට කියා දෙනවා හා සමානයි. ඒත් දක්ෂ ගුරුවරයෙක් සිසුන්ට හුරුපුරුදු දේවල් උදාහරණ ලෙස ගෙන ඔවුන්ට නොතේරෙන කාරණා උගන්වනවා හා සමානව යෙහෝවා දෙවිත් අපට හුරුපුරුදු දේවල් යොදාගෙන ඔහුගේ තේජශ්‍රීය කොතරම්ද කියා බයිබලය තුළින් තේරුම් කර දී තිබෙනවා. මදකට අතීතයේ සිටි අනාගතවක්තෘවරුන් දුටු දර්ශනවල දෙවිගේ තේජශ්‍රීය විස්තර කර තිබෙන ආකාරය ගැන සලකා බලන්න.

අනාගතවක්තෘ එසකියෙල් දුටු දර්ශනයක යෙහෝවා දෙවිගේ තේජස ගිනිමය දීප්තියට, දේදුන්නකට සහ නිල් මැණිකකට සමාන කර තිබෙනවා. යේසුස්ගේ අනුගාමිකයෙකු වූ යොහන්ද සිංහාසනය මත ඉඳගෙන සිටි දෙවිගේ තේජශ්‍රීය ගැන දර්ශනයක් දුටුවා. ඔහු එය විස්තර කරන්නේ මෙසේයි. ඒ තැනැත්තා “පෙනුමෙන් ජැස්පර් ගලක් මෙන්ද අනර්ඝ රතු පැහැති මැණිකක් මෙන්ද විය.” ඔහුගේ “සිංහාසනය වටා මරකත මැණිකක වර්ණයෙන් යුත් දේදුන්නක් තිබිණ.”—එළිදරව් 4:2, 3; එසකියෙල් 1:26-28.

අනාගතවක්තෘ දානියෙල්ද යෙහෝවා දෙවි ගැන දර්ශනයක් දුටුවා. ඒ දර්ශනයේදී ‘යෙහෝවා දෙවි ඉදිරියේ දසදහස් වර දසදහසක්’ දේවදූතයන් සිටින බවත් ඔහු දුටුවා. (දානියෙල් 7:10) එක් දේවදූතයෙකුව පවා දර්ශනයකින් දැකීම ගරුබිය ඇති කරවන්නක් බවට සැකයක් නැහැ. එසේනම් ගණන් කළ නොහැකි තරම් දේවදූතයන් සංඛ්‍යාවක් දැකීම මොන තරම් ගරුබිය උපදවන අද්දැකීමක් වන්න ඇද්ද!

දේවදූතයන් ගැන බයිබලයේ අවස්ථා 400ක පමණ සඳහන් වී තිබෙනවා. ස්වර්ගයේ සිටින දේවදූතයන් අතරට සෙරාෆ්වරු සහ කෙරුබ්වරු යන කණ්ඩායම් දෙකත් ඇතුළත්. “දේවදූතයා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක සහ හෙබ්‍රෙව් වචන දෙකේම අර්ථය “පණිවිඩකරුවා” යන්නයි. ඉන් පෙනී යන්නේ දේවදූතයන්ට ඔවුන් එකිනෙකා සමඟත් මිනිසුන් සමඟත් කතාබහ කිරීමට හැකියාව ඇති බවයි. දේවදූතයන් කියන්නේ පොළොවේ ජීවත් වී පසුව ස්වර්ගයට ගනු ලැබූ මිනිසුන් නොවෙයි. ඔවුන්ව යෙහෝවා දෙවි නිර්මාණය කළේ මුල්ම මිනිස් යුවළව පොළොව මත නිර්මාණය කිරීමටත් කලිනුයි.—යෝබ් 38:4-7.

කලින් සඳහන් කළ දානියෙල්ගේ දර්ශනයේ ඔහු දුටු දේවදූතයන් සමූහය එක් රැස් වී සිටියේ යම් විශේෂ අවස්ථාවක් සඳහායි. ඒ දර්ශනයේදී “මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු” යෙහෝවා දෙවි ඉදිරියට එනවා දානියෙල් දුටුවා. එමෙන්ම ‘සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද දෙවි ඔහුට දුන් බවත්’ දානියෙල් ඒ දර්ශනයෙන් දුටුවා. (දානියෙල් 7:13, 14) ඔහු ඒ දර්ශනයෙන් දුටුවේ ‘මනුෂ්‍ය පුත්‍රයා’ ලෙස හඳුන්වන යේසුස්, මරණයෙන් නැවත නැඟිට ස්වර්ගයට ගොස් පොළොවේ රජකම ලබාගන්නා ආකාරයයි. ඔහුගේ පාලනය යටතේ ලෙඩ දුක්, කරදර, දිලිඳුකම සහ මරණය වැනි කිසිවක් පවතින්නේ නැහැ.—දානියෙල් 2:44.

යේසුස්ව රජකමට පත් කළ අවස්ථාවේ මිනිසුන්ගේ යහපත ගැන සිතන විශ්වාසවන්ත දේවදූතයන් ඒ ගැන මහත් සේ ප්‍රීති වුණා. නමුත් සියලුදෙනාටම එය ප්‍රීතිමත් අවස්ථාවක් වුණේ නැහැ.

දෙවිගෙත් මිනිසුන්ගෙත් පරම සතුරෝ

මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම ස්වර්ගයේ සිටි දේවදූතයෙක් යෙහෝවා දෙවිට පමණක් හිමි නමස්කාරය ලබාගැනීමට තැත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දෙවිගේ සතුරා බවට පත් වුණා. ඔහුව හඳුන්වන්නේ යක්ෂයා ලෙසයි. ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවිගේ විරුද්ධකාරයා වන ඔහු, දෙවිට වඩා හාත්පසින්ම වෙනස්. ඔහු ඉතා දුෂ්ට මෙන්ම නපුරු පුද්ගලයෙක්. ස්වර්ගයේ සිටි වෙනත් දේවදූතයන්ද යක්ෂයාට එකතු වුණා. භූතයන් කියා හඳුන්වන්නේ ඔවුන්වයි. යක්ෂයා ඇතුළු ඔහුගේ පැත්තේ සිටින භූතයන් මිනිසුන්ගේද පරම සතුරන්. අද අපි පොළොවේ දකින අසාධාරණයට, ලෙඩ දුක්වලට, දිලිඳුකමට සහ යුද්ධවලට ඔවුන්ද වග කිව යුතුයි.

අපි අද ජීවත් වන සමාජයේ යක්ෂයා ගැන වැඩිදෙනෙක් කතාබහ කරන්නේ නැහැ. ඒ වුණත් යක්ෂයා පිළිබඳ පැහැදිලි විස්තරයක් බයිබලයේ අඩංගු වී තිබෙනවා. යක්ෂයා මොන වගේ කෙනෙක්ද කියාත් ඔහුගේ අරමුණ කුමක්ද කියාත් එයින් අපට දැනගත හැකියි. එක් අවස්ථාවක ‘සැබෑ දෙවිගේ පුත්‍රයන් එනම් දේවදූතයන් යෙහෝවා දෙවි ඉදිරියෙහි පෙනී සිටීමට පැමිණි විට සාතන් හෙවත් යක්ෂයාද එතැනට පැමිණියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු යෝබ් නමැති නිර්දෝෂ මිනිසා ගැන දෙවිට චෝදනා කරමින් පැවසුවේ යෝබ් වාසි ප්‍රයෝජන තකා දෙවිට සේවය කරන බවයි. ඒ බොරු චෝදනාව තහවුරු කිරීමට ඔහු යෝබ්ට නොයෙක් පීඩා ඇති කළා. ඒ නිසා යෝබ්ගේ දරුවන් දසදෙනාව සහ ජීවනෝපාය ලෙස ඇති කළ සතුන්ව මරා දැමීමට යක්ෂයා පියවර ගත්තා. ඉන්පසු ඔහු යෝබ්ගේ ශරීරය පුරාම දරුණු කුෂ්ඨ රෝගයක් ඇති කළා. යක්ෂයා එලෙස කොතරම් උත්සාහ කළත් යෝබ් සම්බන්ධයෙන් නැඟූ චෝදනාව තහවුරු කිරීමට ඔහුට හැකි වුණේ නැහැ.—යෝබ් 1:6-19; 2:7.

මෙතරම් කාලයක් පුරා යක්ෂයාට ජීවත් වීමට දෙවි ඉඩ දී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. නමුත් දෙවි වැඩි කලක් ඔහුට ජීවත් වෙන්න ඉඩ තබන්නේ නැහැ. යක්ෂයාව විනාශ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගෙන තිබෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් [එනම් යේසුස්] සහ ඔහුගේ දූතයෝ මකරාට [එනම් යක්ෂයාට] විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි තිබුණු ස්ථානය අහිමි විය. එහෙයින් ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.

ඉහත බයිබල් වගන්තිවල යක්ෂයාව හඳුන්වා තිබෙන්නේ, “මුළු පොළොවම නොමඟ යවන” කෙනෙක් ලෙසයි. ඔහු ප්‍රධාන වශයෙන් මිනිසුන්ව නොමඟ යවා ඔවුන්ව දෙවිගෙන් ඈත් කරන්නේ අසත්‍යය උගන්වන ආගම් හරහා බයිබලයට පටහැනි ඉගැන්වීම් ප්‍රචාරය කිරීමෙනුයි. එවැනි එක් ඉගැන්වීමක් වන්නේ මිය ගිය පසු ශරීරයෙන් පිට වන අමරණීය ආත්මයක් තිබෙනවා යන ඉගැන්වීමයි. මිනිසුන් ඒ ඉගැන්වීම ගැන දරන අදහස් විවිධාකාරයි. මිය ගිය කෙනෙකුගේ ආත්මය ශරීරයෙන් පිට වී මුතුන්මිත්තන් ළඟට යනවා කියා සමහරු විශ්වාස කරනවා. තවත් අය සිතන්නේ ආත්මය ශුද්ධගිනිස්ථානයට හෝ අපායට යනවා කියායි. එමෙන්ම මිය ගිය යහපත් මිනිසුන් ස්වර්ගයට යනවා කියා විශ්වාස කරන බොහෝදෙනෙකුත් සිටිනවා.

මිය ගිය පසු ස්වර්ගයට යනවාද?

සියලුම යහපත් මිනිසුන් මිය ගිය පසු ස්වර්ගයට යන්නේ නැහැ. බයිබලයේ සඳහන් වන්නේ “පොළොවෙන් මිල දී ගනු ලැබූ” 1,44,000දෙනෙක් පමණක් ස්වර්ගයට තෝරාගනු ලබනවා කියායි. ඔවුන්ට “පොළොවේ රජකම” භාර දී තිබෙන අතර ස්වර්ගයේදී ඔවුන් “පූජකයන්” ලෙසත් සේවය කරනවා. (එළිදරව් 5:9, 10; 14:1, 3) ඒ පිරිස මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස් සමඟ හවුල් වී දෙවිගේ රාජ්‍ය පාලනය ස්වර්ගයේ සිට ක්‍රියාත්මක කරනවා. යක්ෂයාවත් ඔහු සමඟ සිටින භූතයන්වත් විනාශ කර දමා මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන්නේ ඒ රාජ්‍යයයි. මිය ගිය බොහෝදෙනෙකුට එදාට නැවත ජීවිතය ලැබෙන අතර ඔවුන්ට සදාකාලයටම පාරාදීස පොළොව මත ජීවත් වීමට අවස්ථාව හිමි වෙනවා.—ලූක් 23:43.

අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් නොපෙනෙන බලවත් අය කවුද කියා දැනගත්තා. ඒ අතරින් අතිශ්‍රේෂ්ඨතම තැනැත්තා වන්නේ යෙහෝවා දෙවියි. ඊට අමතරව ස්වර්ගයේ දෙවිට විශ්වාසවන්තව සිටින දේවදූතයන් අසංඛ්‍යාත ගණනක්ද සිටිනවා. අපිට හානි කරන නොපෙනෙන පිරිසට අයත් වන්නේ යක්ෂයා සහ භූතයනුයි. ස්වර්ගයේ ජීවත් වීම සඳහා පොළොවෙන් සීමිත පිරිසක්ව ‘මිල දී ගෙන’ තිබෙන බවත් ඒ අයට ස්වර්ගයේ විශේෂ වැඩ කොටසක් කිරීමට තිබෙනවා කියාත් අපි ඉගෙනගත්තා. ඒ තොරතුරු මතකයේ තබාගෙන අපි ඊළඟ ලිපිය කියවා බලමු.