Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ළදරු යේසුස්ව බැලීමට පැමිණි ශාස්ත්‍රවන්තයන් කවුද?

ළදරු යේසුස්ව බැලීමට “නැඟෙනහිර දෙසින්” තෑගිබෝග රැගෙන පැමිණි අමුත්තන් ගැන මතෙව් පොතේ සඳහන් වෙනවා. ඔවුන් එසේ පැමිණියේ පායා තිබුණු තාරකාවක් දැකීමෙනුයි. (මතෙව් 2:1) ඔවුන්ව ශාස්ත්‍රවන්තයන් ලෙසත් හඳුන්වා තිබෙනවා.

එවැනි ශාස්ත්‍රවන්තයන් ගැන මුලින්ම සඳහන් වී තිබුණේ ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ සිටි ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස්ගේ වාර්තාවලයි. ඔහුගේ වාර්තාවල පෙන්නුම් කර තිබෙන ආකාරයට එම ශාස්ත්‍රවන්තයන් පර්සියානු පූජකයන් වූ අතර ඔවුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, සිහිනවල අර්ථ පහදා දීම සහ හදිහූනියම් වැනි දේවල නියැලුණා. හෙරෝඩටස්ගේ කාලයේදී පර්සියාවේ පැවතුණේ සරතුස්ත්‍රවාදය නම් ආගමයි. ඒ අනුව එම ශාස්ත්‍රවන්තයන් සරතුස්ත්‍ර ආගමට අයත් පූජකයන් විය යුතුයි. එක් විශ්වකෝෂයක සඳහන් වී තිබුණේ, “ඔවුන්ට අසාමාන්‍ය දැනුමක් මෙන්ම මායා බලයෙන් දේවල් කිරීමට හැකියාවක් තිබූ” බවයි.—The International Standard Bible Encyclopedia.

අතීතයේ සිටි ජස්ටින් මාටර්, ඔරිගන් සහ ටර්ටූලියන් වැනි ඇපලෝජිස්තවරුන් පවසා තිබෙන්නේ යේසුස්ව බැලීමට පැමිණි ශාස්ත්‍රවන්තයන්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කියායි. උදාහරණයකට ටර්ටූලියන් ඔහුගේ පොතක මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “මායා බලයෙන් දේවල් කිරීම සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය අතර සම්බන්ධයක් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා යේසුස්ව බැලීමට පැමිණියේ තරුවල පිහිටීම ගැන සොයා බලන ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයනුයි.” ඒ අදහස සැලකිල්ලට ගෙන බොහෝ බයිබල් පරිවර්තකයන් යේසුස්ව බැලීමට පැමිණි ශාස්ත්‍රවන්තයන්ව “ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්” ලෙස සඳහන් කර තිබෙනවා.—On Idolatry.

සෙකරියා පැවසූ අනාවැකියක් යෙරෙමියා පැවසූ අනාවැකියක් ලෙස මතෙව් ගෙනහැර දැක්වූයේ ඇයි?

යේසුස්ව පාවා දීම සඳහා යූදස්ට මුදල් දීම පිළිබඳව සඳහන් වූ අනාවැකිය මතෙව් උපුටා දැක්වූයේ මෙලෙසයි. “එවිට අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් කියන ලද මේ දේ ඉටු විය. එනම්, ‘ඔහු වෙනුවෙන් නියම කළ මුදල වූ රිදී කාසි තිහ ගෙන, කුඹල්කරුගේ පිට්ටනිය සඳහා දුන්නෝය.’” (මතෙව් 27:9, 10) එය යෙරෙමියා පැවසූ අනාවැකියක් කියා මතෙව් සඳහන් කළත් ඇත්තෙන්ම එය සෙකරියාගේ අනාවැකියක්.—සෙකරියා 11:12, 13.

යම් කාලයක් පුරා ‘අනාවැකි පොත්’ අතරින් මුලින්ම ලැයිස්තුගත කර තිබුණේ යෙරෙමියාගේ අනාවැකි පොතයි. (මතෙව් 22:40) ඒ නිසා යෙරෙමියා යන නම සෙකරියා ඇතුළුව සියලුම අනාවැකි පොත් සඳහා භාවිත කළ පොදු නමක් වුණා. ඒ අනුව “යෙරෙමියා” කියා සඳහන් කිරීමෙන් මතෙව් යොමු දැක්වූයේ සෙකරියා පොත ඇතුළු සියලුම අනාවැකි පොත්වලටයි.

යේසුස්ද ඒ හා සමාන දෙයක් කළා. උදාහරණයකට එක් අවස්ථාවකදී ඔහු තමන් ගැන ‘ගීතාවලියේ’ සඳහන් වී තිබෙන අනාවැකි ඉටු විය යුතුයි කියා පැවසුවා. නමුත් එහිදී ඔහු යොමු දැක්වූයේ ගීතාවලිය පොතට පමණක් නොවෙයි. ඒ වෙනුවට ඔහු යොමු දැක්වූයේ ගීතාවලිය නමැති කාණ්ඩයට අයත් සියලුම පොත්වලටයි. ඒ නිසා ‘මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුයි’ කියා පැවසූ විට ඔහු යොමු දැක්වූයේ පැරණි ගිවිසුමේ අඩංගු සියලුම අනාවැකිවලටයි.—ලූක් 24:44.