සෙකරියා 11:1-17

11  “ලෙබනොන්හි වැසියෙනි,+ ඔබේ දේශය තුළට ගින්නක් පැමිණ ඔබේ දේවදාර ගස් දවා දමනු ඇත.+ එබැවින් ඔබේ දේශයේ දොරටු විවෘත කර තබන්න.  ජුනිපර් වෘක්ෂයෙනි, දැවී ගිය දේවදාර ගස් වෙනුවෙන් හඬා වැලපෙන්න. අතිවිශාල ගස් ගින්නෙන් දැවී ගියේය.+ බාෂාන්හි දැවැන්ත වෘක්ෂයෙනි, දැවී ගිය ඝන වනාන්තර වෙනුවෙන් හඬා වැලපෙන්න.+  එඬේරුන්ගේ විලාප හඬට ඇහුම්කන් දෙන්න.+ මන්ද සරුසාර තණබිම් විනාශ වී ගියේය.*+ තරුණ කේශර සිංහයන්ගේ ගර්ජනාවට ඇහුම්කන් දෙන්න. මන්ද යොර්දාන් ගඟ අසල තිබුණු වනළැහැබ විනාශ වී ගියේය.+  “මගේ දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. ‘මරණයට නියම වූ බැටළු රැළක් මෙන් සිටින මේ සෙනඟව රැකබලා ගන්න.+  මන්ද ඔවුන්ගේ එඬේරු ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නේ නැත.+ ඔවුන්ව විකුණන අය,+ “අපව පොහොසත් කළ යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා” කියා පවසති.+ ඔවුන්ව මිල දී ගන්නා අය ඔවුන්ව මරා දැමුවත්+ දඬුවම් විඳින්නේ නැත.’+  “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මම දේශයේ වැසියන්ට තවදුරටත් අනුකම්පා නොකරන්නෙමි.+ එබැවින් එක් එක් කෙනා තමාගේ සහෝදරයන්ට විරුද්ධව නැඟී සිටිනු ඇත.+ ඔවුන්ගේ රජුද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නේය.+ ඔවුන් නිසා මුළු දේශයම නැති නාස්ති වී යනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් බේරා නොගන්නෙමි.’”+  මම මරණයට නියම වූ+ බැටළු රැළ රැකබලා ගැනීමට එකඟ වුණෙමි.+ මා එසේ කළේ රැළේ හිරිහැර විඳින බැටළුවන් වෙනුවෙනි.+ මම සැරයටි දෙකක් අතට ගෙන+ එක් සැරයටියක් ‘ප්‍රසන්නකම’ ලෙසද+ අනික් සැරයටිය ‘එකමුතුකම’ ලෙසද+ හැඳින්වූවෙමි. මම ඒ සැරයටි රැගෙන බැටළු රැළ රැකබලා ගැනීමට පටන්ගත්තෙමි.  මාසයක් ගත වන්නත් කලින්+ මම එඬේරුන් තුන්දෙනෙකුව පන්නා දැමුවෙමි. මන්ද ඔවුන් කරන දේවල් මට තවදුරටත් ඉවසාගත නොහැකි විය.+ ඔවුහුද මට වෛර කළෝය.  නමුත් කලක් ගත වූ පසු මම මෙසේ කීවෙමි. “මම තවදුරටත් ඔබව රැකබලා නොගන්නෙමි.+ ඒ නිසා පණ අදින අයට මිය යෑමට ඉඩහරිනු ඇත. අතරමං වූ අයව අත්හරිනු ඇත.+ ඉතුරු වී සිටින අය එකිනෙකාව මරාගන්නෝය.”+ 10  එබැවින් මම, ‘ප්‍රසන්නකම’ යන නමින් හැඳින්වූ මගේ සැරයටිය රැගෙන+ එය කෑලි කෑලිවලට කඩා දැමුවෙමි.+ මා එසේ කළේ මාගේ සෙනඟ සමඟ මා ඇති කරගත් ගිවිසුම අහෝසි කළ බව පෙන්වීමටය.+ 11  ඔවුන් සමඟ ඇති කරගත් ඒ ගිවිසුම එදිනම අවසන් විය. ඉන්පසු සෙනඟ අතරේ හිරිහැර විඳිමින් සිටි අය,+ මා මේ සියල්ල කළේ යෙහෝවා දෙවිගේ අණ පරිදි බව තේරුම්ගත්තෝය. 12  ඉන්පසු මම ඔවුන්ට මෙසේ කීවෙමි. “ඔබ සුදුසුයි කියා සිතනවා නම් මට ලැබිය යුතු කුලිය දෙන්න. නමුත් ඔබ අකමැති නම් එය නොදී සිටින්න.” එවිට ඔවුහු මාගේ කුලිය ලෙස රිදී ෂෙකෙල් තිහක් දුන්නෝය.+ 13  එය දුටු යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔවුන් මාව කොතරම් සුළු කොට සලකනවාද කියා ඔබ දුටුවාද?+ ඔබට ලැබුණු රිදී ෂෙකෙල් භාණ්ඩාගාරයට විසි කරන්න.”+ එබැවින් මම ඒ රිදී ෂෙකෙල් තිහ රැගෙන යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන භාණ්ඩාගාරයට විසි කළෙමි.+ 14  ඉන්පසු මම ‘එකමුතුකම’ යන නමින් හැඳින්වූ මගේ අනික් සැරයටිය රැගෙන+ එයත් කෑලි කෑලිවලට කඩා දැමුවෙමි. එසේ කළේ යූදා සහ ඊශ්‍රායෙල් අතර+ තිබුණු සහෝදරත්වය+ නැති වන බව පෙන්වීමටය. 15  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “දැන් කිසි කමකට නැති එඬේරෙකුගේ+ ආම්පන්න අතට ගන්න. 16  මන්ද මම මේ දේශයට එවැනි එඬේරෙකුව එවන්නෙමි.+ නැති වූ බැටළුවන් ගැන ඔහු කිසිදු සැලකිල්ලක් නොදක්වයි.+ ඔහු බැටළු පැටවුන් ගැන සොයා බලන්නේවත් තුවාල වූ බැටළුවන්ව සුව කරන්නේවත් නැත.+ ශක්තිමත්ව සිටින බැටළුවන්ට ඔහු කෑම නොදෙන්නේය. ඔහු තර සතාව මරා කන්නේය.+ ඔහු උන්ගේ කුරද කඩා දමන්නේය.+ 17  නමුත් රැළ ගැන කිසිදු තැකීමක් නොකරන,+ කිසි කමකට නැති එඬේරා පිටට මහත් විපතක් පැමිණෙනු ඇත.+ සතුරෝ පැමිණ කඩුවකින් ඔහුගේ දකුණතටත් දකුණු ඇසටත් පහර දෙන්නෝය. ඔහුගේ අත වැහැරී යනු ඇත.+ ඔහුගේ ඇස අන්ධ වනු ඇත.”

පාදසටහන්

මූ.අ., “ඔවුන්ගේ තේජස නැති වී ගියේය.”