ලූක් 24:1-53

24  සතියේ පළමුවෙනි දිනේදී එම ස්ත්‍රීහු තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන පාන්දරින්ම සොහොන් ගෙට ගියෝය.+  නමුත් සොහොන් ගෙයින් ගල අහකට පෙරළා තිබෙන ආකාරය+ ඔවුන්ට දැකගත හැකි විය.  ඔවුන් ඇතුළට ගිය විට ස්වාමීන් වන යේසුස්ගේ දේහය එහි දක්නට ලැබුණේ නැත.+  එහෙයින් ඔවුහු බොහෝ සෙයින් කලබල වූහ. ඒ මොහොතේදීම දීප්තියෙන් බැබළෙන වස්ත්‍ර පැළඳ සිටි පුද්ගලයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගත්තෝය.+  එම ස්ත්‍රීන් කොතරම් බිය වූවාද කිවහොත් ඔවුහු තම හිස ඔසවා බැලුවේවත් නැත. එවිට ඒ පුද්ගලයෝ ඔවුන්ට මෙසේ කීවෝය. “ජීවමාන වූ තැනැත්තාව ඔබ මිය ගිය අය අතරේ සොයන්නේ ඇයි?  [[ඔහු දැන් මෙහෙ නැහැ. මන්ද ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.]]+ ඔහු ගලීලයේ සිටියදී ඔබට පැවසූ දේ මතකද?+  මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අතට පාවා දෙනු ලබන බවත් ඔහුව කණුවක ඇණ ගසා මරා දමනු ලබන බවත් තුන්වෙනි දවසේ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලබන බවත් ඔහු පැවසුවා.”+  යේසුස් පැවසූ දේවල් එවිට ඔවුන්ට සිහි විය.+  එහෙයින් ඔවුහු සොහොන් ගෙයින් පිටත් වී ගෝලයන් එකොළොස්දෙනාවත් අන් සියලුදෙනාවත් හමු වී සිදු වූ සියලු දේවල් දැන්වූහ.+ 10  ඒ ස්ත්‍රීන් නම් මග්දලායේ මරියා, යොවානා+ සහ යාකොබ්ගේ මව වූ මරියාය. ඔවුන් සමඟ සිටි අනිකුත් ස්ත්‍රීහුද+ යේසුස්ගේ නියෝජිතයන්* එකළොස්දෙනාට ඒ ගැන කීවෝය. 11  නමුත් එම ස්ත්‍රීන් පැවසූ දේවල් විශ්වාස නොකළ+ ඔවුහු ඒවා විකාර දේවල් ලෙස සලකා ප්‍රතික්ෂේප කළෝය. 12  [[නමුත් පේතෘස් සොහොන් ගෙය ළඟට දුවගෙන ගියේය. ඔහු එය අසලට ගොස් එබී බැලූ විට රෙදි පටි පමණක් තිබෙනවා දුටුවේය. එහෙයින් ඔහු සිදු වී තිබූ දේ ගැන පුදුම වෙමින් පිටත් වී ගියේය.]] 13  එදිනම ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමෙන් සැතපුම් හතක් පමණ දුරින් පිහිටි එම්මාවුස් නම් ගම බලා ගමන් කරමින් සිටියෝය. 14  එම ගමන අතරවාරයේදී ඔවුහු සිදු වූ සෑම දෙයක් ගැන+ කතාබහ කරමින් සිටියහ. 15  ඔවුන් කතාබහ කරමින් යද්දී යේසුස්ද ඔවුන්ගේ ගමනට එක් විය.+ 16  නමුත් ඔහුව හඳුනාගැනීමට ඔවුන්ට නොහැකි විය.+ 17  ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මෙතරම් වේලාවක් කතා කරමින් යන්නේ මොනව ගැනද?” එවිට ශෝකයෙන් සිටි ඔවුහු නතර වූහ. 18  ක්ලෙයෝපස් නම් තැනැත්තා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ කතා කරන්නේ හරියට පිට ගමකින් ඇවිත් කිසි කෙනෙක් එක්ක කතාබහ නොකර තනියෙන් වාසය කරන කෙනෙක් වගෙයි. මේ දිනවල යෙරුසලමේ සිදු වූ දේවල් ගැන ඔබට ආරංචි වුණේ නැද්ද?” 19  එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා. 20  නමුත් අපේ නායක පූජකයන් සහ පාලකයන් ඔහුට මරණ දණ්ඩනය නියම කර ඔහුව කණුවක එල්ලා මරා දැමුවා.+ 21  අප සිතාගෙන සිටියේ ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා ඔහු කියායි.+ ඇත්තෙන්ම ඒ හැම දේම වෙලා තවම දවස් තුනක්වත් ගත වෙලා නැහැ. 22  ඒ විතරක් නෙවෙයි, අප අතර සිටි ස්ත්‍රීන් කිහිපදෙනෙක්+ අපට පුදුම හිතෙන දෙයක් කිව්වා. ඔවුන් උදේ පාන්දරින්ම සොහොන් ගෙය ළඟට ගිය විට, 23  ඔහුගේ දේහය එහි තිබුණේ නැහැ කියා ඔවුන් පැවසුවා. ඉන්පසු මහත් තේජසකින් බැබළෙන දේවදූතයන් ඇවිත් යේසුස් ජීවත් වෙනවා කියා පැවසූ බවත් ඔවුන් අපට කිව්වා. 24  ඒ නිසා අප අතර සිටි කිහිපදෙනෙක් සොහොන් ගෙය බලන්න ගියා.+ එම ස්ත්‍රීන් පැවසූ ආකාරයටම එය තිබුණේ හිස්වයි. ඔවුන්ට එහි යේසුස්ව දකින්න ලැබුණේ නැහැ.” 25  එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට කිසිම දෙයක් තේරුණේ නැද්ද? අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්+ විශ්වාස කරන්න ඔබ මැළි වන්නේ ඇයි? 26  ක්‍රිස්තුස් තේජසට පත් වෙන්න නම්+ ඒ සෑම දුකක්ම ඔහුට අනිවාර්යයෙන්ම විඳින්න සිදු වෙනවා.”+ 27  එවිට ඔහු මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන+ සියලු අනාගතවක්තෘවරුන්+ ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට පැහැදිලි කර දුන්නේය. 28  යම් වේලාවක් ගත වූ පසු ඔවුන් යෑමට අදහස් කළ ගමට ඔවුහු ළඟා වූහ. නමුත් තමන්ට තව දුර ගමන් කළ යුතු බව යේසුස් ඔවුන්ට දැන්වූ විට, 29  ඔවුහු ඔහුට මෙසේ පෙරැත්ත කළෝය. “දැන් හොඳටම හවස් වී ඇති නිසා අපත් සමඟ නැවතී සිටින්න.” එහෙයින් ඔහු ඔවුන් සමඟ නැවතී සිටීමට නිවසකට ඇතුල් වුණේය. 30  ඔහු ඔවුන් සමඟ කෑමට ඉඳගෙන සිටියදී, ඔහු රොටියක් ගෙන දෙවිට ස්තුති කර එය කඩා ඔවුන් අතට දුන්නෝය.+ 31  එවිට ඔවුහු ඔහුව හඳුනාගත්හ. ඒ මොහොතේම යේසුස් ඔවුන් අතරින් අතුරුදහන් වී ගියේය.+ 32  ඔවුහු එකිනෙකාට මෙසේ පැවසූහ. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!” 33  එහෙයින් ඔවුහු ඒ පැයේදීම එකොළොස්දෙනාවත් ඔවුන් සමඟ සිටි අයවත් හමු වීමට නැවත යෙරුසලම බලා ගියෝය. ඔවුන්ව හමු වූ විට, 34  “ස්වාමි වූ යේසුස් ඇත්තටම මරණයෙන් නැවත නැඟිටලා! සීමොනුත් ඔහුව දැක්කා”+ කියා එතැන සිටි අයද ඔවුන්ට කියන්න පටන්ගත්හ. 35  එවිට ඔවුහුද, ඔවුන් තම ගමන යන අතරතුරේදී සිදු වූ දේවල් ගැන හා යේසුස් ඔවුන් සමඟ කෑම ගන්නා අතරේ රොටි කැඩූ විට+ ඔවුන් ඔහුව හඳුනාගත් ආකාරය ගැන විස්තර කළෝය. 36  ඔවුන් ඒ දේවල් ගැන කතා කරමින් සිටියදී යේසුස් ඔවුන් අතරට ඇවිත්, [[“ඔබට සමාදානය වේවා” කියා කීවේය.]] 37  නමුත් ඔවුන් බියෙන් වෙළී සිටි නිසා+ ඔවුන් සිතුවේ තමන් දේවදූතයෙක් දුටු බවයි. 38  එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ කලබල වී සිටින්නේ ඇයි? ඔබ සැකයෙන් බලන්නේ ඇයි? 39  මගේ අත් පා දෙස බලන්න. මේ මා බව තේරුම්ගන්න. මාව අල්ලා බලන්න.+ මටත් තිබෙන්නේ ඇට මස් නහරවලින් යුත් ශරීරයක්.+ දේවදූතයෙකුට මෙවැනි ශරීරයක් නැහැ.” 40  [[මෙසේ පැවසුවායින් පසු ඔහු තම අත් පා ඔවුන්ට පෙන්වූවේය.]] 41  පුදුමයකින් හා මහත් ප්‍රීතියකින් සිටි නිසා ඔවුන් දුටු දේ ඔවුන්ට විශ්වාස කරන්නවත් නොහැකි විය.+ ඒ අවස්ථාවේදී යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ ළඟ කෑමට යමක් තිබෙනවාද?”+ 42  එවිට ඔවුහු පිලිස්සූ මාළු කැබැල්ලක් ඔහුට දුන්නෝය.+ 43  යේසුස් සියලුදෙනා ඉදිරියෙහිම එය කෑවේය.+ 44  ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.” 45  ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල නියම අර්ථය අවබෝධ කරගැනීමට+ ඔවුන්ට උපකාර කළ ඔහු, 46  ඔවුන්ට මෙසේ කීවේය. “ශුද්ධ ලියවිල්ලේ ලියා තිබුණු ආකාරයට ක්‍රිස්තුස් දුක් විඳ මිය ගියත් තුන්වෙනි දවසේදී මරණයෙන් නැඟිටිය යුතුයි.+ 47  ඒ වගේම ඔහුව පිළිගෙන පසුතැවිලි වන සියලුදෙනාගේ පව්වලට සමාව ලැබෙනවා.+ මේ දේවල් යෙරුසලමෙන් පටන්ගෙන+ සියලු ජාතීන්ට දේශනා කරන්න අවශ්‍යයි.+ 48  මේ සෑම දෙයකටම සාක්ෂිකරුවන්+ වුණේ ඔබයි. 49  මගේ පියාණන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වූ දේ මම ඔබට සහතිකවම දෙනවා. නමුත් දෙවිගේ බලය ඔබට ලැබෙන තුරු+ නුවරෙහිම රැඳී සිටින්න.” 50  යේසුස් ඔවුන් සමඟ බෙතානිය දක්වා ගොස් තම අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළේය.+ 51  ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින් සිටියදීම ඔහු ඔවුන්ගෙන් සමුගත්තේය. මෙසේ යේසුස්ව ස්වර්ගයට ඔසවාගනු ලැබීය.+ 52  එසේ සිදු වූ විට ඔහු ඉදිරියේ දණින් වැටුණු ඔවුන් යෙරුසලමට ආපසු හැරී ගියේ මහත් ප්‍රීතියකිනි.+ 53  ඉන්පසු ඔවුහු නිරතුරුව දෙවිට ප්‍රශංසා කරමින් දේවමාලිගාවෙහි කාලය ගත කළෝය.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”