Skip to content

පටුනට යන්න

මුළුමනින්ම වෙනස් වෙන්න

මුළුමනින්ම වෙනස් වෙන්න

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.”—රෝම 12:2.

1, 2. අපි ඇතිදැඩි වෙන පරිසරය අපිට කොයි තරම් බලපෑමක් කරනවද?

අපි කරන කියන දේවල්, අඳින පළඳින විදිහ විතරක් නෙවෙයි කන බොන විදිහත් අපි එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒ ඇයි කියලා ඔබ දන්නවද? ඒකට හේතුව අපි ඇතිදැඩි වෙන පරිසරය, අපි ආශ්‍රය කරන අය, අපේ සංස්කෘතිය එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් නිසයි.

2 ඒත් ඔබ දන්නවද, ඒ දේවලට වඩා හුඟක් වැදගත් දේකුත් අපි ඇතිදැඩි වෙන පරිසරයට අනුව වෙනස් වෙනවා කියලා? ඒ තමයි අපි හිතන පතන විදිහ. උදාහරණයකට සමහර දේවල් හරියි කියලත් සමහර දේවල් වැරදියි කියලත් අපි හිතන්න පුරුදු වෙන්නේ පුංචි කාලේ ඉඳලා දෙමව්පියන් අපිට කියලා දීපු දේවලට අනුවයි. හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියන එක ගැන එක් එක් කෙනාට විවිධ මත තියෙනවා. අපේ හෘදය සාක්ෂියට අනුවත් අපි ගන්න තීරණ වෙනස් වෙනවා. (රෝම 2:14) ඒත් හැම කාරණයකදීම අපිට හරියි කියලා හිතෙන විදිහට තීරණ ගන්න එක හරිද?

3. අපිට හරියි කියලා හිතෙන විදිහට තීරණ ගන්න එක සුදුසු නැත්තේ මොන හේතු දෙක නිසාද?

3 දෙවිට සේවය කරන අපි, අපිට හරියි කියලා හිතෙන විදිහට තීරණ ගන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි අපි අසම්පූර්ණ අය නිසා ජීවිත ගමනේදී අපි ගන්න තීරණ හුඟක් වෙලාවට වරදින එක. (හිතෝ. 28:26; යෙරෙ. 10:23) ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත. එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.” (හිතෝ. 16:25) තවත් හේතුවක් තමයි “මේ සමාජයේ දෙවියා” වන සාතන්ගේ පාලනය යටතේ මේ පොළොව තියෙන එක. (2 කොරි. 4:4; 1 යොහ. 5:19) හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන එකත් ජනප්‍රිය වෙන්න ඕනෙ මොන වගේ දේවල්ද කියන එකත් ගැන මිනිසුන් ගන්න තීරණ පිටිපස්සේ ඉන්නේ සාතන්. අපිට හරියි කියලා හිතෙන විදිහට අපි තීරණ ගන්න එක සුදුසු නැත්තේ ඒ හේතු නිසයි. අපිට ඕනෙ විදිහට තීරණ ගන්නේ නැතුව යෙහෝවා දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්නත් ඔහුගේ ආශීර්වාද ලබාගන්නත් අපි කැමති නම් රෝම 12:2හි (කියවන්න.) තියෙන උපදෙසට අපි කීකරු වෙන්න ඕනෙ.

4. අපි මේ ලිපියේ කතා කරන්නේ මොනවා ගැනද?

 4 රෝම 12:2හි අපිට කියන්නේ “මුළුමනින්ම වෙනස්” වෙන්න කියලයි. අපි “මුළුමනින්ම වෙනස්” වෙන්න ඕනෙ ඇයි? “මුළුමනින්ම වෙනස්” වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු මේ ලිපියෙන් බලමු.

අපි “මුළුමනින්ම වෙනස්” වෙන්න ඕනෙ ඇයි?

5. රෝම 12:2හි තියෙන උපදෙස පාවුල් ලිව්වේ කාටද?

5 රෝම පොතේ තියෙන ඒ උපදෙස ක්‍රිස්තු වර්ෂ 56දී පාවුල් ලිව්වේ රෝමයේ හිටපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. (රෝම 1:7) මුළුමනින්ම වෙනස් වෙන්න කියලත් “සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියලත් පාවුල් ඔවුන්ට දිරිගැන්නුවා. “සමාජයේ රැල්ල” කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද? එදා රෝමයේ හිටපු මිනිසුන් හරි වැරැද්ද ගැන දරපු මත, චාරිත්‍ර, කරපු කියපු දේවල්, අඳින පළඳින විදිහ වගේ හැම දෙයක්ම ඒකට ඇතුළත්. ඒවාට අනුව “හැඩගැසීමෙන් වළකින්න” කියලා පාවුල් කිව්වේ, රෝමයේ හිටපු සමහර ක්‍රිස්තියානීන් ඒ වෙනකොටත් එදා සමාජයේ අය වගේ හිතන්න, යම් දේවල් කරන්න හුරු වෙලා හිටපු නිසයි.

6, 7. රෝමයේ හිටපු කෙනෙක්ට ක්‍රිස්තියානියෙක් වෙන එක අමාරු දෙයක් වුණේ ඇයි?

6 එදා රෝමයේ තිබුණේ මොන වගේ තත්වයක්ද? අතීතයේදී රෝමවරුන් හදපු දේවාල, සොහොන්, ස්මාරක වගේ දේවල් අදටත් දැකගන්න තියෙනවා. ඒ දේවලින් එදා රෝමවරුන් ජීවත් වුණ විදිහ, වන්දනාමාන කරපු විදිහ ගැන අපිට යම් අදහසක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ග්ලැඩියේටර්වරුන්ගේ සටන්, අශ්ව රථ තරඟ, අනාචාරය ඇතුළත් වුණ රැඟුම් ගැයුම් රෝමවරුන් අතරේ ජනප්‍රිය වෙලා තිබුණා කියලා ඉතිහාස පොත්වලත් සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි රෝමය කියන්නේ මිනිසුන්ට මුදල් හොයන්න ඕනෙ තරම් අවස්ථා තිබුණ ධනවත් නගරයක්.—රෝම 6:21; 1 පේතෘ. 4:3, 4.

7 රෝමවරුන්ට හුඟක් දේවස්ථාන තිබුණා වගේම ඔවුන් හුඟක් දෙවිවරුන්ටත් වන්දනාමාන කළා. ඒත් ඔවුන්ට ඒ දෙවිවරුන් එක්ක කිට්ටු බැඳීමක් නම් තිබුණේ නැහැ. ඔවුන්ගේ ආගම්වල ප්‍රධාන තැනක් ගත්තේ වත්පිළිවෙත්. උදාහරණයකට දරුවෙක් ඉපදෙද්දී, විවාහයකදී, මරණයකදී වගේ අවස්ථාවලදී කරන වත්පිළිවෙත් ඔවුන් හරිම වැදගත් දේවල් විදිහට සැලකුවා. රෝමයේ හිටපු ක්‍රිස්තියානීන් හැදී වැඩුණේ ඒ වගේ පසුබිමක. ඒ නිසා ක්‍රිස්තියානීන් වෙන්න කලින් ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් කරන්න සිද්ධ වුණා. යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණාට පස්සෙත් ඔවුන්ගේ ජීවිතවල වෙනස් කරගන්න හුඟක් දේවල් තිබුණා.

8. අද අපි ජීවත් වෙන්නේ මොන වගේ සමාජයකද?

8 අද අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ සමාජයක. සාතන්ගේ නරක බලපෑම අපි හුස්ම ගන්න වාතය වගේ හැම තැනම පැතිරිලා. (එෆීස 2:2, 3; 1 යොහන් 2:16 කියවන්න.) මේ සමාජයේ ඉන්න අයට තියෙන ආශාවන්, ඔවුන් හිතන විදිහ, ඔවුන්ගේ ප්‍රතිපත්ති අපිටත් හුරු කරන්නයි ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරන්නේ. ඒවාට අපි හසු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා “සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන්  වළකින්න” කියලත් ‘පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගන්න’ කියලත් පාවුල් දීපු උපදෙසට කීකරු වෙන එක හරිම වැදගත්. ඒත් ඒක කරන්නේ කොහොමද?

“මුළුමනින්ම වෙනස්” වෙනවා කියන්නේ මොකක්ද?

9. බව්තීස්ම වෙන්න කලින් හුඟදෙනෙක් කරන්නේ මොන වගේ වෙනස්කම්ද?

9 කෙනෙක් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගෙන ඒවා ජීවිතේට අදාළ කරගද්දී ඔහු දෙවිට තවත් ළං වෙනවා. බොරු දේවල් උගන්වන ආගම්වලින් අයින් වෙලා ජීවිතේ වෙනස්කම් කරගන්නවා. අලුත් පෞද්ගලිකත්වයක් ඇති කරගන්නත් යේසුස් වගේ දේවල් කරන්නත් ලොකු වෑයමක් දරනවා. (එෆී. 4:22-24) හැම අවුරුද්දකම එහෙම කරන දහස් ගණනක් තමන්ගේ ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙන එක ගැන අපි වගේම යෙහෝවා දෙවිත් මොන තරම් සතුටු වෙනවා ඇද්ද!—හිතෝ. 27:11.

සාතන්ගේ දුෂ්ට සමාජයෙන් අයින් වෙලා මුළුමනින්ම වෙනස් වෙන්න (9වෙනි ඡේදය බලන්න)

10. ‘මුළුමනින්ම වෙනස් වෙනවා’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

10 ඒත් “මුළුමනින්ම වෙනස්” වෙන්න නම් එහෙම කරන එක විතරක් ඇද්ද? මදි. ඊට වඩා දෙයක් ඒකට ඇතුළත් වෙනවා. උදාහරණයකට සමහර භාණ්ඩ කලින් කලට නව පෙනුමකින් වෙළඳපොළට එනවා. ඒත් හුඟක් වෙලාවට වෙනස් වෙලා තියෙන්නේ පිට කවරේ විතරයි. ඇතුළේ තියෙන්නේ පරණ භාණ්ඩයමයි. “මුළුමනින්ම වෙනස්” වෙනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ පිටතින් කරන වෙනස්කම් විතරක් නෙවෙයි. ඒ කියන්නේ නරක පුරුදු, නරක කතාබහ, නරක හැසිරීම වගේ දේවල් විතරක් වෙනස් කරගෙන මදි. මොකද, බයිබලයේ තියෙන ප්‍රතිපත්ති දන්නේ නැති සමහර අයත් ඒ වගේ දේවල් වැරදියි කියලා පිළිගන්නවා. එක ශබ්දකෝෂයක රෝම 12:2හි තියෙන “මුළුමනින්ම වෙනස්” වෙනවා කියන අදහස විස්තර කරලා තියෙන්නේ ‘දෙවිගේ බලයේ උදව්වෙන් කෙනෙක් හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා’ කියලයි. ඒ විදිහට “මුළුමනින්ම වෙනස්” වෙන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

11. ‘මුළුමනින්ම වෙනස් වෙන්න’ නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවද?

11 මුළුමනින්ම වෙනස් වෙන්න නම් “අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න” අවශ්‍යයි කියලා පාවුල් කිව්වා. ඒකෙන් ඔහු අදහස් කළේ නිකම්ම කෙනෙක් හිතන දේවල් ගැන විතරක් නෙවෙයි. කෙනෙක් කැමති අකමැති දේවල්, ඔහුගේ ආකල්ප වගේම ඔහු යම් දේවල් අවබෝධ කරගන්න විදිහත් ඒකට ඇතුළත්. කෙනෙක් ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වුණේ නැත්නම් ඔහුගේ ‘මනස දූෂිත වෙන්න’ ඉඩ තියෙනවා. ඒ වගේ කෙනෙක්ගේ මනස ‘අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද තණ්හාවෙන්ද පව්කාරකමින්ද පිරී තිබෙනවා’ කියලත් ඒ නිසා ඔහු “ඊර්ෂ්‍යාවෙන්ද මිනී මරු වෛරයකින්ද අඬදබරවලින්ද වංචාවෙන්ද” කටයුතු කරනවා කියලත් පාවුල් කිව්වා. (රෝම 1:28-31) රෝමයේ හිටපු ක්‍රිස්තියානීන් ජීවත් වුණේ ඒ වගේ මිනිසුන්ගෙන් පිරුණු සමාජයකයි. ‘අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්න’ කියලා පාවුල් ඔවුන්ට කිව්වේ ඒ නිසයි.

‘උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.’—එෆී. 4:31

12. අද ඉන්න හුඟදෙනෙක් හිතන්නේ මොන විදිහටද? අපි ඒ විදිහට හිතන්න හොඳ නැත්තේ ඇයි?

12 අද අපි ජීවත් වෙන්නෙත් මනස් දූෂිත වුණ මිනිසුන් ඉන්න සමාජයක. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන එක පරණ  තාලේ දෙයක් කියලයි හුඟක් අය හිතන්නේ. ඒ නිසා ජීවත් වෙන්න ඕනෙ විදිහ ගැන කාගෙන්වත් උපදෙස් ගන්න වැඩිදෙනෙක් කැමති නැහැ. හුඟක් දෙමව්පියන්, ගුරුවරුන් දරුවන්ට ඔවුන් කැමති විදිහට ජීවත් වෙන්න ඉඩහරිනවා. ඒ විතරක් නෙවෙයි, හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා හරියටම තීරණය කරන්න කාටවත් බැරි නිසා, ඕනෙම කෙනෙක්ට තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලත් ඔවුන් හිතනවා. දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා කියලා කියන අය වුණත් හිතන්නේ දෙවි කියන විදිහටම ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කියලයි. (ගීතා. 14:1) ඒ වගේ ආකල්ප හරිම භයානකයි. අපි ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් දෙවිගේ සංවිධානය දෙන මඟ පෙන්වීම් පිළි නොගෙන ඉන්නත් අපි හිතන විදිහට දේවල් සිදු වෙන්නේ නැති වෙද්දී ඒ ගැන දොස් කියන්නත් පෙලඹෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනෝදාංශ ගැන, අන්තර්ජාලය ගැන, උසස් අධ්‍යාපනය ගැන අපිට ලැබෙන මඟ පෙන්වීම්වලට සීයට සීයක් එකඟ නොවෙන්නත් ඉඩ තියෙනවා.

13. අපි ඇත්තටම මොන වගේ අයද කියලා හිතලා බලන එක වැදගත් ඇයි?

13 “සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” නම් අපි ඇත්තටම මොන වගේ අයද කියන එක ගැන හිතලා බලන්න ඕනෙ. ඒකෙන් අදහස් කරන්නේ අපේ ආකල්ප, සමහර දේවල් ගැන අපිට ඇත්තටම හැඟෙන විදිහ, අපිට තියෙන ඉලක්ක ගැන අපි අවංකව හිතලා බලන්න ඕනෙ කියන එකයි. ඒ දේවල් අනිත් අයට පේන්නේ නැහැ. ඒ නිසා අපි හැම දෙයක්ම හොඳට කරනවා කියලා ඔවුන් කියන්න පුළුවන්. ඒත් බයිබලයෙන් අපි ඉගෙනගන්න දේවලට අනුව අපි ඇත්තටම වෙනස් වෙලාද කියලත් දිගටම එහෙම කරන්න කැමැත්තෙන් ඉන්නවද කියලත් දන්නේ අපි විතරයි.—යාකොබ් 1:23-25 කියවන්න.

මුළුමනින්ම වෙනස් වෙන්නේ කොහොමද?

14. අපේ අඩුපාඩුකම් හදාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?

14 මුළුමනින්ම වෙනස් වෙන්න නම් අපි ඇතුළතින්ම වෙනස් වෙන්න ඕනෙ. ඒක කරන්නේ කොහොමද? බයිබලය කියවලා අධ්‍යයනය කරද්දී අපි තේරුම්ගන්නවා දෙවි කැමති, අපි මොන වගේ අය වෙනවටද කියන එක. එතකොට අපි ළඟ තියෙන අඩුපාඩු මොනවද කියලා අපි හඳුනගන්නවා. හැබැයි මුළුමනින්ම වෙනස් වෙන කෙනෙක් එතැනින් නතර වෙන්නේ නැහැ. ඔහු අවශ්‍ය වෙනස්කම්ද කරගන්නවා. දෙවිගේ “සම්පූර්ණ කැමැත්ත” කරන්න ඔහුට පුළුවන් වෙන්නේ එතකොටයි. එහෙමනම් ඔබ මොන වගේ කෙනෙක්ද කියලා හිතලා බලන්න.—රෝම 12:2; හෙබ්‍රෙ. 4:12.

15. යෙහෝවා දෙවි අපිව සකස් කරද්දී සිද්ධ වෙන්නේ මොන වගේ වෙනසක්ද?

15 යෙසායා 64:8 කියවන්න. යෙසායා අපිව මැටිවලටත් යෙහෝවා දෙවිව කුඹල්කරුවෙකුටත් සමාන කළා. කුඹල්කරුවෙක් යම් භාණ්ඩයක් හදන්න කලින් මැටි සකස් කරනවා. ඒ වගේ යෙහෝවා දෙවිත් අපිව සකස් කරනවා. ඒත් ඒක නිකම්ම පිටතින් කරන සකස් කිරීමක් නෙවෙයි. ඔහු අපිව ඇතුළතින්ම සකස් කරනවා. එහෙම කරන්න අපි දෙවිට ඉඩ දෙනවා නම් අපිව මුළුමනින්ම වෙනස් කරන්න ඔහුට පුළුවන්. මේ සමාජයේ වැරදි දේවලට හසු නොවී ඉන්න අපිට පුළුවන් වෙන්නේ අපි ඒ විදිහට මුළුමනින්ම වෙනස් වුණොත් විතරයි.

16, 17. (අ) කුඹල්කරුවෙක් භාණ්ඩයක් හදන්න කලින් කරන්නේ මොනවද? (ආ) වටිනා පුද්ගලයෙක් වෙන්න දේවවචනය අපිට උදව් කරන්නේ කොහොමද?

16 වටිනා භාණ්ඩයක් හදද්දී කුඹල්කරුවෙක් ඒ සඳහා ගන්නේ හොඳම මැටි. ඒත් ඒ මැටිවලින් භාණ්ඩය හදන්න කලින් ඔහු කරන දේවල් දෙකක් තියෙනවා. මුලින්ම ඔහු වතුර එකතු කරලා මැටිවල තියෙන කුණුරොඩු ඉවත් කරගන්නවා. ඊළඟට අවශ්‍ය තරමට වතුර දාලා මැටි ටික පදම් කරගන්නවා. එතකොට ඒ මැටි ටිකෙන් කුඹල්කරුට ඕනෙ විදිහට භාණ්ඩයක් හදන්න පහසුයි.

17 වතුර දැම්මම මැටිවල කුණුරොඩු ඉවත් වෙනවා වගේම ඒ මැටි ටිකෙන් කුඹල්කරුට ඕනෙ විදිහේ භාණ්ඩයක් හදන්නත් පහසු වෙනවා. වතුර හා සමාන දේවවචනයටත්  පුළුවන් ඒ වගේ දෙයක් කරන්න. කෙනෙක් ළඟ තියෙන නරක පුරුදු අතහැරලා ඔහුට වෙනස් වෙන්න උදව් කරන්න දේවවචනයට පුළුවන්. කෙනෙක් බයිබලයෙන් දෙවි ගැන ඉගෙනගද්දී මේ දුෂ්ට සමාජයේ මිනිසුන් වගේ හිතන එක නවත්තලා දෙවි වගේ හිතන්න පුරුදු වෙනවා. එතකොට දෙවිට පුළුවන් ඔහුව මුළුමනින්ම වෙනස් කරලා වටිනා කෙනෙක් කරන්න. (එෆී. 5:26) අපි දිනපතා බයිබලය කියවද්දී, නිතිපතා රැස්වීම්වලට හවුල් වෙද්දී අපි කරන්නේ අපිව සකස් කරන්න යෙහෝවා දෙවිට ඉඩහරින එකයි.—ගීතා. 1:2; ක්‍රියා 17:11; හෙබ්‍රෙ. 10:24, 25.

මුළුමනින්ම වෙනස් වුණ කෙනෙකුට ප්‍රශ්න ගැටලු සාමකාමීව විසඳගන්න පහසුයි (18වෙනි ඡේදය බලන්න)

18. (අ) බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕනෙ ඇයි? (ආ) අපි හිතන්න ඕනෙ ප්‍රශ්න මොනවද?

18 දේවවචනය යොදාගෙන අපිව මුළුමනින්ම වෙනස් කරන්න දෙවිට ඉඩ දෙන්න නම් අපි බයිබලය කියවලා විතරක් මදි. හුඟක් අය බයිබලය කියවනවා. ඒකේ තියෙන දේවල් ගැනත් දන්නවා. සමහරුන්ට බයිබල් පද කටපාඩමෙන් කියන්නත් පුළුවන්. * ඒත් බයිබලයෙන් ඉගෙනගන්න දේවලට අනුව ඔවුන් හිතන විදිහවත් ඔවුන්ගේ ජීවිතවත් වෙනස් කරගෙන නැහැ. ඒ ඇයි? කෙනෙක්ට මුළුමනින්ම වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ ‘දේවවචනයේ ඉගැන්වීම්වලට සවන් දීලා ඒවා ඉගෙනගන්නවා’ නම් විතරයි. (ගලා. 6:6) ඒ කියන්නේ බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ගැන ගැඹුරින් කල්පනා කරලා ඒවා හිතට ගන්නවා නම් විතරයි. ඒ නිසා බයිබලය කියවද්දී මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න. මේවා නිකම්ම ආගමික ඉගැන්වීම් විතරද? මේවා ඇත්තටම සත්‍යයයි කියලා මම අද්දැකලා තියෙනවද? අනිත් අයට උගන්වන දේවල් මම අදාළ කරගන්නවද? මේ දේවල් දෙවි මටම කියන දේවල් කියලා මට හැඟෙනවද? ඒ වගේ ප්‍රශ්න ගැන හොඳට හිතනවා නම් දෙවිට තවත් ළං වෙන්න අපිට පුළුවන්. බයිබලයෙන් ඉගෙනගන්න දේවල් හදවතට කාවදිද්දී අපේ ජීවිත වෙනස් කරගන්න අපි පෙලඹෙනවා. එතකොට දෙවිත් ඒ ගැන සතුටු වෙනවා.—හිතෝ. 4:23; ලූක් 6:45.

19, 20. බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්න එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

19 “පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කර, දෙවි ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” කියලා පාවුල් කිව්වා. (කොලො. 3:9, 10) අලුත් පෞද්ගලිකත්වයක් ඇති කරගන්න නම් අපි නිතිපතා බයිබලය කියවන්නත් කියවපු දේ ගැන ගැඹුරින් කල්පනා කරන්නත් ඒ දේවල් අපේ ජීවිතේට අදාළ කරගන්නත් ඕනෙ. සාතන්ගේ උගුල්වලට හසු නොවී ඉන්න ඒක අපිට උදව්වක්.

20 පේතෘස් කියපු මේ උපදෙස අපි හිතට ගමු. ‘ඔබ මීට පෙර තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න.’ ඒ වෙනුවට “ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.” (1 පේතෘ. 1:14, 15) මුළුමනින්ම වෙනස් වෙන්න අපිට පුළුවන් හැම දේම අපි කරනවා නම් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම අපිට ආශීර්වාද කරනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ par. 18 1994 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 10වෙනි පිටුවේ 7වෙනි ඡේදයේ තියෙන අද්දැකීම බලන්න.