Skip to content

පටුනට යන්න

දස දෙසින් සෙනඟක් එක්සත් වෙයි—කෙසේද?

දස දෙසින් සෙනඟක් එක්සත් වෙයි—කෙසේද?

දස දෙසින් සෙනඟක් එක්සත් වෙයි—කෙසේද?

“එක්සත්කම” යන වචනය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? සමහරුන් එය විස්තර කරන්නේ භේද නැති තත්වයක් ලෙසයි. උදාහරණයකට ජාතීන් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සාමයෙන් සිටින බවට ගිවිසුමක් ඇති කරගතහොත් ඔවුන් අතර සාමය පවතිනවා කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එය සැබෑවක්ද? එසේ සිතිය නොහැකියි.

ඉතිහාසය පුරාවටම දහසකුත් සාම ගිවිසුම් ඇති කර තිබුණත් ඒවා බිඳී ගොස් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ලෝක පාලකයන් සාමය හෝ එකමුතුකම ඇති කරනවාට වඩා තමන්ගේ බලය තහවුරු කරගැනීමට ක්‍රියා කිරීමයි. ඇතැම් ජාතීන් බියෙන් සිටින්නේ තමන්ගේ න්‍යෂ්ටික බලයට වඩා අනිකුත් රටවල න්‍යෂ්ටික බලය ඉහළ මට්ටමකට යයිද කියායි.

ජාතීන් දෙකක් අතර යුද්ධයක් පවතින්නේ නැති පමණින් ඔවුන් සාමයෙන් බැඳී සිටිනවා කියා සිතන්න බැහැ. උදාහරණයකට මිනිසුන් දෙදෙනෙක් එකිනෙකාට තුවක්කු එල්ල කරගෙන සිටියත් වෙඩි තියාගත්තේ නැති පමණින් ඔවුන් සිටින්නේ සාමයෙන් කියා පැවසිය හැකිද? එසේ සිතීම පවා අනුවණ දෙයක්. නමුත් අද බොහෝ රටවල් අතර පවතින්නේ එවැනිම තත්වයක්. අවිශ්වාසය වැඩිවීමත් සමඟම ආයුධ ප්‍රහාරයක් දියත් වෙයිද යන බියත් වැඩි වෙනවා. එවැනි තත්වයක් මඟහැරීමට ගෙන ඇති පියවර මොනවාද?

න්‍යෂ්ටික බිය— එක්සත්කමට බාධාවක්

බොහෝදෙනෙක් තම විශ්වාසය තබා තිබෙන්නේ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම වැළැක්වීමේ ගිවිසුම කෙරෙහියි. (Nuclear Non-Proliferation Treaty [NPT]) වර්ෂ 1968දී පිළිගත් මෙම ගිවිසුම මගින් න්‍යෂ්ටික අවි නැති රටවල ඒවා නිපදවීම තහනම් කර තිබෙන අතර න්‍යෂ්ටික අවි තිබෙන රටවල ඒවා බෙදාහැරීම තහනම් කර තිබෙනවා. මෙම ගිවිසුමේ අරමුණ වන්නේ න්‍යෂ්ටික අවි නිපදවීම අත්හිටුවීමයි. මේ වන විට රටවල් 180කට වැඩි ගණනක් මේ ගිවිසුමට අනුමැතිය පළ කර තිබෙනවා.

එම ගිවිසුමේ පරමාර්ථය යම් තාක් දුරකට හොඳයි කියා පෙනෙන්න තිබුණත් සමහර විවේචකයන්ගේ අදහස වන්නේ න්‍යෂ්ටික අවි ආයුධ නිපදවන්නේ නැති රටවල පමණක් ඒවා නිපදවීම තහනම් කිරීම එහි අරමුණ බවයි. ඒ නිසා මේ ගිවිසුමට කැමැත්ත පළ කළ සමහර රටවල් එයින් අහක් වෙයිද කියා පොඩි බයකුත් තිබෙනවා. නමුත් තවත් සමහර රටවල් අවි නිපදවීම තහනම් කිරීම අසාධාරණයි කියා සිතනවා. එයට හේතුව ඒවා තිබෙන විට තමන් ආරක්ෂිතයි කියා ඔවුන්ට හැඟීමයි.

කොහොමවුණත් තත්වය තවත් සංකීර්ණ වන්නේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය තහනම් කර තිබුණත් න්‍යෂ්ටික බලය නිපදවීම කිසිම රටක තහනම් කර නොතිබීමයි. උදාහරණයකට න්‍යෂ්ටික බලය යොදාගෙන විදුලිය වැනි දේවල් නිපදවනවා. මෙවැනි ප්‍රයෝජනවත් දේවල් සඳහා න්‍යෂ්ටික බලය යොදාගන්නා අතරේ හොර රහසේම න්‍යෂ්ටික අවි නිපදවයිද යන බිය සමහරුන්ට තිබෙනවා.

දැනටමත් න්‍යෂ්ටික අවි සතුව ඇති රටවල් කලින් සඳහන් කළ ගිවිසුම ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. විවේචකයන් පවසන්නේ න්‍යෂ්ටික අවි ගබඩා කරගෙන ඇති රටවල් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරයි කියා හෝ අවි ප්‍රමාණය අඩු කරයි කියා සිතිය නොහැකි බවයි. එක් මූලාශ්‍රයකට අනුව “එවැනි දෙයක් සිදුවීමට නම් එකිනෙකාට විරුද්ධව නැඟී සිටින රටවල් අතර දැඩි මිත්‍රත්වයක් හා විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදු වෙයි කියා විශ්වාස කරන්න අමාරුයි.”

එක්සත්කම ඇති කරගැනීමට මිනිසුන් කොතරම් වෑයම් දැරුවත් ඒවා නිෂ්ඵල වී තිබෙනවා. ඒ ගැන බයිබලය අධ්‍යයනය කරන අය පුදුම වෙන්නේ නැහැ. එයට හේතුව ‘තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක් නැහැ’ කියා බයිබලයේ සඳහන් වීමයි. (යෙරෙමියා 10:23, නව ලොව පරිවර්තනය, NW) එහි මෙසේද සඳහන් වෙනවා. “යම් මාර්ගයක් නිවැරදියයි යමෙකුට පෙනුණත් එය කෙළවර වන්නේ මරණයෙනි.” (හිතෝපදේශ 16:25NW) එක්සත්කම අත් කරගැනීම සඳහා මිනිස් පාලකයන්ට කළ හැකි ප්‍රමාණය සීමිතයි. නමුත් අපිට බලාපොරොත්තුවක් තිබෙනවා.

සැබෑ එක්සත්කමේ උල්පත

මුළු ලෝකයම එක්සත් වන බවට බයිබලයේ පොරොන්දුවක් දී තිබෙනවා. ඒත් එය ඉටු වන්නේ මිනිස් පාලනයෙන් නෙවෙයි. මිනිසුන්ට එය කිරීමට නොහැකි වුණත් මුළු ලෝකයේම මිනිසුන් සාමයෙන් ජීවත් වීම අරමුණු කළ මැවුම්කරු එය ඉටු කිරීමට නියමිතයි. සමහරුන්ට මෙය විශ්වාස කිරීම අමාරු දෙයක් විය හැකියි. නමුත් ආරම්භයේ සිටම දෙවිගේ අරමුණ වුණේ මිනිස් වර්ගයා එකමුතුව සාමයෙන් ජීවත් වීමයි. * දෙවිගේ එම අරමුණ අදටත් වෙනස් වී නැති බවට බයිබලය තුළ ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. ඒවායින් කිහිපයක් අපි දැන් සලකා බලමු.

• “සෙනඟෙනි, එන්න. යෙහෝවා දෙවිගේ ක්‍රියා බලන්න. ඔහු පොළොවේ කර ඇති පුදුමාකාර දේවල් දෙස බලන්න. පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වන්නේය. ඔහු දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. ඔහු යුධ රථ ගිනිබත් කරන්නේය.”—ගීතාවලිය 46:8, 9NW.

• “මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හිංසා කරන්නේවත් විනාශ කරන්නේවත් නැත. මන්ද මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.”—යෙසායා 11:9NW.

• “ඔහු සදහටම මරණය ගිල දමන්නේය. ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය. පොළොව පුරා පැතිර සිටින තම සෙනඟට ඇති වී තිබෙන නින්දාව ඔහු පහ කර දමන්නේය. එසේ සිදු වන්නේ යෙහෝවා දෙවි එය පවසා තිබෙන නිසයි.”—යෙසායා 25:8NW.

• “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.”—2 පේතෘස් 3:13.

• “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.

මෙම බයිබල් පදවල තිබෙන පොරොන්දු ඇත්තෙන්ම විශ්වාස කරන්න පුළුවන්. එයට හේතුව අපේ මැවුම්කරු ලෙස යෙහෝවා දෙවිට මිනිසුන්ව එක්සත් කිරීමට අවශ්‍ය බලයත් හැකියාවත් තිබීමයි. (ලූක් 18:27) එමෙන්ම එය කිරීමට ඔහු සිටින්නේ ඉමහත් ආශාවකිනුයි. බයිබලයේ සඳහන් ආකාරයට ‘දෙවිගේ අරමුණ වන්නේ ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කිරීමයි.’—එෆීස 1:8-10.

‘ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් පොළොවක්’ ගැන දෙවි දී තිබෙන පොරොන්දුව විශ්වාස කළ නොහැක්කක් නොවෙයි. (2 පේතෘස් 3:13) තමා දුන් පොරොන්දු ගැන යෙහෝවා දෙවි මෙසේ පවසනවා. “මා පවසන දේ ඉටු නොවී මා වෙතට නැවත හැරී එන්නේ නැත. මාගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉටු වන්නේය. මා අරමුණු කරන දේ එලෙසම සිදු වන්නේය.”—යෙසායා 55:11NW.

දෙවිගේ වචනය නිසා එක්සත් වී

කලින් ලිපියේ සඳහන් වූ පරිදි ආගම් විසින් මිනිසුන්ව එක්සත් කරනවාට වඩා ඔවුන් අතර භේද ඇති කර තිබෙනවා. මේ ගැන ටිකක් සිතා බලන්න. මැවුම්කරුවෙක් සිටිනවා කියා අපි පිළිගන්නවා නම් ඔහුට නමස්කාර කරන්නන් අතර එකමුතුකම තිබිය යුතුයි කියා බලාපොරොත්තු වීම සාධාරණ නැද්ද? ඇත්තෙන්ම සාධාරණයි.

අද තිබෙන ආගම් දෙවිගේ කැමැත්ත ගැන මිනිසුන්ට උගන්වනවා වෙනුවට එක්සත්කම ගෙනෙන්න මනුෂ්‍යයන්ට පුළුවන් කියා පවසනවා. බොහෝවිට මිනිසුන් අතර භේද ඇති කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ආගම්. යෙහෝවා දෙවිවත්, ඔහුගේ වචනය වන බයිබලයවත් ඊට වගකිව යුතු නැහැ. පුරාණයේ සිටි එවැනි ආගමික නායකයන්ව යේසුස් “කුහකයන්” කියා හැඳින්නුවා. එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “යෙසායා කී මේ අනාවැකිය ඔබට හොඳින් ගැළපේ ‘මේ ජනයා තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන්නාවූ නමස්කාරයෙන් පලක් නැත. මන්ද, ඔවුන් මූලික ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥාය.’”—මතෙව් 15:7-9.

යෙහෝවා දෙවිට නමස්කාර කිරීම නිසා මිනිසුන් අද එක්සත් වී සිටිනවා. ඒ ගැන අනාගතවක්තෘවරයෙක් වූ යෙසායා මෙසේ පැවසුවා. “අන්තිම දවස්වලදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද අන් සියලුම කඳුවලට වඩා ඉහළින්ද ස්ථිර ලෙසද පිහිටවනු ලබන්නේය. එය සියලුම කඳුවලට වඩා උසස් වන්නේය. ඒ කාලයේදී සියලු ජනයා වැල නොකැඩී ඒ කන්දට නඟින්නෝය. ඔහු ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය. ජාතීන් අතරේ තිබෙන ගැටලු විසඳා කාරණා නිවැරදි කරන්නේය. ඔවුන් තමුන්ගේ කඩුවලින් නගුල් තළද පිහිවලින් දෑකැතිද සාදාගනියි. තවදුරටත් ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:2, 4NW.

අද දින රටවල් 230කට වඩා වැඩි ගණනක වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්සත්කම සම්බන්ධයෙන් දෙවි සපයා ඇති තොරතුරු අදාළ කරගනිමින් සිටිනවා. ඔවුන් අතර ඇති එකමුතුකමට පදනම කුමක්ද? බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ පවසනවා. “ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.” (කොලොස්සි 3:14) මෙහිදී පාවුල් යොදාගෙන ඇති “බැඳීම” යන වචනය ග්‍රීක් අර්ථයෙන් යොමු දක්වන්නේ මිනිස් සිරුරේ තන්තුමය පටක එකට බැඳී තිබෙන ආකාරයටයි. එම තන්තුමය පටක ඉතාමත් ශක්තිමත්. එමගින් කාර්යයන් දෙකක් ඉටු වෙනවා. ඒවා ශරීරයේ විවිධ අවයව නිසි ස්ථානයේ රඳවා තබන අතර අස්ථිද එකට සම්බන්ධ කර තබනවා.

ප්‍රේමයත් ඒ හා සමානයි. මෙම ගුණාංගය මගින් මිනිසුන් එකිනෙකාව මරාගැනීම වළක්වනවාට වඩා වැඩි යමක් සිදු කෙරෙනවා. යේසුස් විදහා පෑ ප්‍රේමය අනුකරණය කරනවා නම් විවිධ පසුබිම්වලින් පැමිණෙන අය සමඟ එකමුතුව සිටීමට හැකි වෙනවා. උදාහරණයකට එසේ කිරීමෙන් “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුයි” කියා මතෙව් 7:12හි සඳහන් වන යේසුස් දුන් ප්‍රතිපත්තිය අනුව ජීවත් වීමට මිනිසුන්ට හැකි වෙනවා. මෙම ප්‍රතිපත්තිය අදාළ කරගැනීමෙන් තමන් තුළ තිබූ අගතිසහගත හැඟීම් නැති කරගන්න බොහෝදෙනෙක්ට හැකි වී තිබෙනවා.

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් පැවසූ මෙම වදන් පිළිපැදීමෙන් තමන් යේසුස්ගේ ගෝලයන් බව ඔප්පු කර තිබෙනවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) ජාතිවාදී අරගල සහ දේශපාලන කලබල සහිත කාලවලදී විශිෂ්ට ආකාරයකින් සාක්ෂිකරුවන් එවැනි ප්‍රේමයක් විදහා පා තිබෙනවා. උදාහරණයකට 1994දී රුවන්ඩාවේ හුටු සහ ටුට්සි ගෝත්‍ර දෙක අතර දරුණු අරගලයක් පැවතුණා. ඒ කාලයේදී හුටු ගෝත්‍රයට අයත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිවි පරදුවේ තබා ටුට්සි ගෝත්‍රයේ සිටි තමන්ගේ ආගමේ අයව ආරක්ෂා කළා.

මුළු ලොවම එක්සත් වන තරමටම ජාතීන් අතරේ එක්සත්කමක් ඇති කරන්න මිනිසුන්ට බැහැ. බයිබලයේ සඳහන් වන ආකාරයට එක්සත්කම ඇති කළ හැක්කේ දෙවිට පමණයි. සුදුසු කාලය පැමිණි විට ඔහු එය ඉටු කරාවි. අද වුණත් ප්‍රේමයෙන් කටයුතු කිරීමෙන් මිනිසුන්ට හැකියි එක්සත්කම වර්ධනය කරගන්න.

පසුගිය වසර තුළදී බයිබලය ගැන සහ එහි සඳහන් ප්‍රතිපත්තිවල වටිනාකම ගැන මිනිසුන්ට කතා කිරීමට සාක්ෂිකරුවන් පැය බිලියනයකටත් වඩා වැය කර තිබෙනවා. කලින් සතුරන්ව සිටි මිලියන ගණන්දෙනෙක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් එක්සත් වී තිබෙනවා. ඒ අතරට අරාබි සහ යුදෙව් ජාතිකයන්ව, තුර්කීය ජාතිකයන් සහ ආමේනියන්වරුන්ව, ජර්මානුවන් සහ රුසියානුවන්ව ඇතුළත් කළ හැකියි.

එක්සත්කම ඇති කිරීමට බයිබලයේ සඳහන් වටිනා තොරතුරු උපකාරවත් වන ආකාරය ගැන තවත් බොහෝ දේ ඉගෙනගන්න ඔබ කැමතිද? එසේනම් ඔබට හැකියි ඔබේ රටේ වෙසෙන සාක්ෂිකරුවන්ට හෝ මෙහි දෙවෙනි පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලියන්න.

[පාදසටහන]

^ 12 ඡේ. මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 3වන පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දහසකුත් සාම ගිවිසුම් ඇති කරගත්තත් ඒවා බිඳී ගොස් තිබෙනවා

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මනුෂ්‍ය ආණ්ඩුවලින් කළ නොහැකි දේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් කළ හැකියි

[5වන පිටුවේ පින්තූරය]

සැබෑ එක්සත්කමේ උල්පත කුමක්ද කියා දේවවචනය පෙන්නුම් කරයි

[7වන පිටුවේ පින්තූරය]

හුටු සහ ටුට්සි ගෝත්‍රවල සිටින සාක්ෂිකරුවන් එකතු වී නමස්කාර ස්ථානයක් ඉදි කරමින්