Skip to content

පටුනට යන්න

දිගු ගමනක අවසානයේ පාරාදීසයක්

දිගු ගමනක අවසානයේ පාරාදීසයක්

ජීවිත කතාව

දිගු ගමනක අවසානයේ පාරාදීසයක්

ජැක් ප්‍රැම්බර්ග්

ස්වීඩනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය තියෙන්නේ ලස්සන කුඩා නගරයකයි. ස්වේච්ඡා සේවකයන් 80කට වැඩි පිරිසක් මෙහේ සේවය කරනවා. මමයි මගේ භාර්යාවයි (කාරින්) වැඩ කරන්නේ මෙතන නැවතිලයි. අපි මෙහෙට ආපු විදිහ ගැන දැන් මම කියන්නම්.

ස්වීඩනයේ 15 හැවිරිදි දැරියක් 1,800 ගණන්වල අවසාන කාලයේදී එක්සත් ජනපදයේ පදිංචියට ගියා. නිව් යෝර්ක් නගරයේ පිටරැටියන්ට නවාතැන් දෙන ස්ථානයකදී ඇයට ස්වීඩන් ජාතිකයෙකුව මුණගැසුණා. ඔහු සේවය කළේ නැවකයි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා ඔවුන් විවාහ වුණා. ඔවුන්ට 1916දී පුතෙක් ලැබුණා. මම තමයි ඒ පුතා. මම ඉපදුණේ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයෙයි. එතකොට පළවෙනි ලෝක මහා යුද්ධය පටන් අරගෙන තිබුණා.

ඊට ටික කාලෙකට පස්සේ අපි බෘක්ලින්වලට ගිහින් පදිංචි වුණා. ඒ කාලේදී තාත්තා බෘක්ලින් පාලම ළඟ ගඟේ මාව මුල් වතාවට කුඩා රුවල් නැවකින් ගෙනිච්චා. ඒ පාලම ළඟ ඉඳලා බැලුවහම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය හොඳට පේනවා. එහෙ සිද්ධ වෙන දේවල් මගේ ජීවිතයට බලපායි කියලා ඒ වෙද්දී මම දැනගෙන හිටියේ නැහැ.

වර්ෂ 1918දී 1වෙනි ලෝක මහා යුද්ධය අවසන් වෙද්දී යුරෝපයේ සිද්ධ වුණ ඝාතනත් නැවතුණා. හමුදා භටයින් තම ගමරට බලා පිටත් වුණත් ඔවුන්ට රැකියා සොයාගැනීම අපහසු වුණා. අග හිඟකම්වලටත් මුහුණ දුන්නා. මේ තත්වය නිසා මගේ තාත්තා හිතුවා ආපහු ස්වීඩන්වලට යන එක හොඳයි කියලා. ඉතින් අපි 1923දී ආපහු එහෙට ගියා. අපි පදිංචි වුණේ දුම්රිය ස්ථානයක් ළඟපාත තිබුණ එරීක්ස්ටාඩ් නම් පුංචි ගම්මානයෙයි. තාත්තා එහේ කාර්මික වැඩපොළක් පටන්ගත්තා. මම හැදී වැඩුණෙත් පාසැල් ගියෙත් එහෙදියි.

අනාගත බලාපොරොත්තුවක්

තාත්තගේ ව්‍යාපාරය දියුණු වුණේ නැහැ. ඒ නිසා 1930 ගණන්වල මුල්භාගයේදී ආපහු ඔහු නැවේ රස්සාවට ගියා. අම්මයි මායි තනි වුණා. අම්මා හිටියේ දුකෙන්. මට සිද්ධ වුණා වැඩපොළ බලාගන්න. දවසක් අම්මා ගියා ඇගේ මස්සිනාව මුණගැහෙන්න. එයාට මං කිව්වේ යූවාන් මාමා කියලයි. ලෝක තත්වය ගැන නිතරම හිත හිත හිටිය අම්මා ඇහුවා “යූවාන්, මේ තත්වය කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද” කියලා.

“මේ තත්වය ඉක්මනින්ම වෙනස් වෙනවා රූත්” කියලා මාමා පැහැදිලි කරලා දිග විස්තරයකුත් කිව්වා. ලෝකයේ පවතින දුෂ්ට දේවල් අවසන් කරලා දේවරාජ්‍යය මගින් පොළොවට ධර්මිෂ්ඨ පාලනයක් ගෙනෙන බවට දෙවි දුන් පොරොන්දුව ගැනත්, යේසුස් ක්‍රිස්තුස් රජ වෙනවා කියලත් මාමා කිව්වා. (යෙසායා 9:6, 7; දානියෙල් 2:44) ඒ දේවරාජ්‍යය ගැන තමයි යේසුස් අපිට යාච්ඤා කරන්න ඉගැන්නුවේ. ඒක ධර්මිෂ්ඨ ආණ්ඩුවක්. දෙවි මේ පොළොව පාරාදීසයක් කරන්න යන්නේ ඒ රාජ්‍යය තුළින් කියලත් ඔහු පැහැදිලි කළා.—මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4.

බයිබලයෙන් පෙන්නුව ඒ පොරොන්දු අම්මගේ හිතට කාවැදුණා. ඊට පස්සේ අම්මා ගෙදර එන ගමන් දිගටම දෙවිට ස්තුති කර කරයි ආවේ. ඒත් අම්මා ආගම ගැන උනන්දුවක් දැක්වුව එකට මායි තාත්තයි කැමති වුණේ නැහැ. ඔය කාලේදී තමයි ඒ කියන්නේ 1930 ගණන්වල මම බටහිර ස්වීඩන්වල ට්‍රෝල්හටන් නගරයේ පදිංචියට ගිහින් විශාල වැඩපොළක රැකියාවක් හොයාගත්තේ. ඊට ටික කාලෙකට පස්සේ තාත්තා නැවේ රස්සාවෙන් නිවාඩුවක් අරගෙන ගෙදර ඇවිත් තිබුණා. පස්සේ අම්මයි තාත්තයි මං ඉන්න තැනට පදිංචියට ආවා. ආපහු අපි පවුලක් හැටියට එකට හිටියා.

දෙවි ගැන තවත් දැනගන්න තිබුණ ආසාව හින්දා අම්මා ඒ පළාතේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ කාලේදී මුල් ක්‍රිස්තියානීන් තමන්ගේ ගෙවල්වල රැස්වීම් පැවැත්තුවා වගේ තමයි ඒගොල්ලොත් රැස්වීම් පැවැත්තුවේ. (ෆිලෙමොන් 1, 2) ඔහොම ඉන්නකොට අපේ ගෙදර රැස්වීම් පවත්වන්න වාරයත් ආවා. අම්මා ටිකක් භයෙන් වගේ තාත්තගෙන් ඇහුවා එයාගේ යාළුවන්ට ගෙදරට එන්න කියන්නද කියලා. එතකොට තාත්තා කිව්වා “ඔයාගේ යාළුවෝ මගෙත් යාළුවෝනේ” කියලා.

එදායින් පස්සේ ඔවුන්ට අපේ නිවස විවෘත වුණා. ඔවුන් නිවසට ඇතුල් වෙද්දී මම පිට වෙලා ගියා. ඒත් ඊට පස්සේ මම එහෙම කරන්නේ නැතුව රැස්වීමට හිටියා. සාක්ෂිකරුවන්ගේ මිත්‍රශීලීකමත්, අවංකකමත්, සරලව දේවවචනය පැහැදිලි කිරීමත් නිසා ඔවුන් ගැන මම දරපු ආකල්පය වෙනස් වුණා. මගේ හිතේ ටිකෙන් ටික අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්න පටන්ගත්තා.

මමත් නැවේ රස්සාවට . . .

ආරෙට යනවා වගේ මාත් තාත්තා වගේම නැවේ රස්සාවට ගියා. දෙවිට ළං වෙන්න මට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා අපේ නැව වරායක නවත්වපු හැම වෙලාවකම මම උත්සාහ කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහෙන්නයි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වලදී මම තැපැල් කන්තෝරුවකට ගිහින් ඔවුන්ව හොයාගන්න ක්‍රමයක් තියෙනවාද කියලා බැලුවා. ඒ සේවකයන් මාත් එක්ක ටිකක් කතා කළාට පස්සේ මට ලිපිනයක් දුන්නා. ඒ වෙලාවෙම මම ඒ තැන හොයාගෙන ගියා. දොර ළඟට ආවේ වයස අවුරුදු දහයක විතර දැරියක්. ඇය සිනාමුසු මුහුණින් මාව පිළිගත්තා. මම අමුත්තෙක් වුණත් ඇය සහ ඇගේ පවුලේ අය මගේ කිට්ටු මිතුරන් වගෙයි මට දැනුණේ. ඇත්තෙන්ම ඒ අවස්ථාවේ මම අද්දැක්කේ පුදුමාකාර ජාත්‍යන්තර සහෝදරත්වයක්!

මං කතා කරන භාෂාව ඔවුන් දැනගෙන හිටියේ නැතත් ඔවුන් දිනදර්ශනයක් සහ දුම්රිය කාලසටහනක් බලලා මාර්ග සටහනක් අඳිද්දි මට තේරුණා ඒ කිට්ටුව තිබුණ හාලෙම් නම් නගරයේ එක්රැස්වීමක් පවත්වන බව. මම ඒ රැස්වීමට ගියත් එක වචනයක්වත් තේරුණේ නැහැ. ඒත් මට ලොකු සතුටක් දැනුණා. එක්රැස්වීම තිබුණ දවස්වලම සාක්ෂිකරුවන් ඉරිදා ප්‍රසිද්ධ කථාවට ආරාධනාපත් බෙදාහරිනවා මම දැක්කා. මටත් ලොකු ආසාවක් ඇති වුණා ඒකට සහභාගි වෙන්න. ඒ නිසා සමහර මිනිස්සු අහක දැම්ම ආරාධනාපත් අරගෙන මම ආපහු ඒවා වෙන අයට බෙදුවා.

එක අවස්ථාවක අපි ආර්ජන්ටිනාවේ බුවනෝස් අයරීස්වල අපේ නැව නැවැත්තුවා. මම ඒ නගරයේ තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය හොයාගත්තා. ඒකෙ කාර්යාලයක් වගේම ගබඩාකාමරයකුත් තිබුණා. මේසයක් ළඟ කාන්තාවක් රේන්ද ගොතමින් හිටියා. ඒ අසල පුංචි දැරියක් බෝනික්කෙක් එක්ක සෙල්ලම් කර කර හිටියා. සමහරවිට ඒ ඇගේ දියණිය වෙන්නත් ඇති. පිරිමි කෙනෙකුත් පොත් රාක්කෙන් පොත් වගයක් ගන්නවා දැක්කා. ඒ අතරේ ස්විඩන් භාෂාවෙන් මැවීම ගැන ලියවුණු පොතකුත් තිබුණා. ඔවුන්ගේ සිනාමුසු මුහුණු දැක්කම මට හිතුණා ඒගොල්ලන් වගේ මමත් යෙහෝවා දෙවිගේ සාක්ෂකරුවෙක් වෙන්න ඕනෙ කියලා.

ආපහු අපේ රටට එද්දී, නිව්ෆවුන්ඩ්ලන්තයේ වෙරළට කඩා වැටුණ ගුවන් යානයක හිටිය කැනේඩියානු හමුදා භටයින් පිරිසක් අපේ නැවට අරගන්න අපිට සිද්ධ වුණා. දවස් කීපයකට පස්සේ අපි ස්කොට්ලන්තයට ආවා. එහෙදී ඔවුන්ගේ නාවික හමුදා බෝට්ටුවක් අපිව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අපෙන් ප්‍රශ්න කරන්න අපිව ඕර්ක්නි දූපත්වල කර්ක්වෝල්වලට අරගෙන ගියා. ඒ වෙනකොට දෙවෙනි ලෝක මහා යුද්ධය පටන් අරගෙන. හිට්ලර්ගේ නාට්සි හමුදාව 1939 සැප්තැම්බර්වලදී පෝලන්තය ආක්‍රමණය කරලා තිබුණා. දවස් කීපයකට පස්සේ අපිව නිදහස් කළා. කිසි කරදරයක් නැතුව අපි ආපහු ස්වීඩන්වලට ආවා.

ආපහු ගෙදර එන්න ලැබීම සතුටක් වගේම දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගන්න අවස්ථාව උදාවීමත් ලොකු සතුටක්. මට ඕන වුණේ දෙවිගේ සෙනඟගෙන් කෙනෙක් වෙන්නයි. ඒ වගේම ඔවුන් එක්ක එකට රැස් වෙන්නයි. (හෙබ්‍රෙව් 10:24, 25) නැවේ වැඩ කරද්දිත් මම නිතරම අනිත් සේවකයන්ට සාක්ෂි දැරුවා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් පසු කාලෙකදී සාක්ෂිකරුවෙක් වුණා.

විශේෂ සේවයක්

වර්ෂ 1940 මුල් කාලයේදී මම ස්ටොක්හෝම්වල සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ගියා. ඒ කාලයේදී ස්වීඩන්වල දේශනා සේවය අධීක්ෂණය කළ ජොහෑන් එච්. ඊනරෝට් මාව ආදරයෙන් පිළිගත්තා. මටත් පූර්ණකාලීනව දේශනා සේවයේ හවුල් වෙන්න ඕනෙ කියලා මම ඔහුට කිව්වා. ඔහු මං දිහා හොඳට බලලා මෙහම ඇහුවා. “මේක දෙවිගේ සංවිධානය කියලා ඔයා විශ්වාස කරනවාද?”

“ඔව්” කියලා මම කිව්වා. ඊට පස්සේ මම 1940 ජූනි 22දා බව්තීස්ම වුණා. ශාඛා කාර්යාලයේ ආදර්ශවත් අය එක්ක ප්‍රීතියෙන් වැඩ කරන්නත් මට අවස්ථාව උදා වුණා. අපි සති අන්ත වෙන් කළේ දේශනා සේවයටයි. ගිම්හාන කාලයේදී අපි පාපැදිවලින් දුර ඈත පළාත්වලට ගිහින් දේශනා කළා. රාත්‍රියේ නිදාගත්තේ පිදුරු මඩුවලයි.

වැඩිපුර දේශනා කළේ ස්ටොක්හෝම් අවට ගෙයින් ගෙට සේවයේ ගිහින්. මං දවසක් එහෙම යද්දී එක්කෙනෙක් දාඩිය දාගෙන කැඩිච්ච බොයිලේරුවක් හදන්න මහන්සි වෙනවා දැක්කා. මම ඉක්මනින්ම මගේ කමිස අත්දෙකත් නවාගෙන ඔහුට උදව් කරමින් කාන්දු වෙන තැන හරිගැස්සුවා. ඔහු ස්තුති කරන ගමන්ම මා දිහා බලලා මෙහෙම කිව්වා. “මං හිතන විදිහට ඔයා එන්න ඇත්තේ වෙන කාරණයකටයි. අපි උඩට යමු. අත් දෙකත් හෝදගෙන කෝපි එකක් බොන ගමන් කතා කරමු.” කෝපි එක බොන ගමන් මම ඔහුට සාක්ෂි දැරුවා. අන්තිමේදී ඔහුත් සාක්ෂිකරුවෙක් වුණා.

ස්වීඩනය යුද්ධයට හවුල් නොවුණත් ස්වීඩන් ජාතිකයන්ට යුද්ධය නිසා පීඩා විඳින්න සිද්ධ වුණා. තරුණයන්ව හමුදාවට බන්දගත්තා. මටත් බැඳෙන්න කිව්වත් මම යුධ පුහුණුව ලබාගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා කෙටි කාලෙකට මාව හිරේට දාලා පස්සේ සිරකඳවුරේ වැඩ කරන්න යැව්වා. මේ වගේ තරුණ සාක්ෂිකරුවන්ට නිතරම විනිශ්චයකරුවන් ඉදිරියේ පෙනී ඉන්න සිද්ධ වුණත් ඔවුන්ට පුළුවන් වුණා ඒ අවස්ථාවලදී දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන්න. ඇත්තෙන්ම “මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබන්නේය” කියා යේසුස් කිව්ව අනාවැකිය ඉටු වුණා කියන්න පුළුවන්.—මතෙව් 10:18.

මගේ ජීවිතය වෙනස් වී

වර්ෂ 1945 වෙද්දී යුරෝපයේ යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ ඒ අවුරුද්දෙම ලෝක ව්‍යාප්ත දේශනා සේවය ගැන අධීක්ෂණය කරමින් බෘක්ලින්වල හිටිය නේදන් එච් නෝර් සහ ඔහුගේ ලේකම් වූ මිල්ටන් හෙන්ෂල් අපිව බලන්න ආවා. ස්වීඩනයේ දේශනා සේවය ආපහු සංවිධානය කරන්නත්, පෞද්ගලිකව පිළිවෙළට දේවල් කරන්නත් ඔවුන්ගේ පැමිණීම මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න හැකියාවක් තියෙන බව දැනගත්ත ගමන් මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා.

ඊළඟ අවුරුද්දේ මට ඒ පාසැලෙන් මාස පහක පුහුණුවක් ලබාගන්න අවස්ථාව එළඹුණා. ඒක පැවැත්තුවේ නිව් යෝර්ක්හි දකුණු ලැන්සින්ග්වලයි. ඒ පුහුණුවත් එක්කම බයිබලය සහ දෙවිගේ සංවිධානය ගැන තිබුණ මගේ අගය තවත් වැඩි වුණා. ලෝක ව්‍යාප්ත දේශනා සේවය අධීක්ෂණය කරන අය මිත්‍රශීලී වගේම සැලකිලිමත් අය බව මං දැනගත්තා. අපිවත් හවුල් කරගෙන ඔවුන් හුඟක් මහන්සි වෙලා වැඩ කළා. (මතෙව් 24:14) ඔවුන් හොඳ අය බව දැනගෙන හිටියත් ඔවුන් එක්කම ගැවසිලා පෞද්ගලිකවම ඒක අද්දකින්න ලැබුණ එක ලොකු සතුටක්.

අටවෙනි ගිලියද් පාසැල 1947 පෙබරවාරි 9වෙනිදා අවසන් වෙනවත් එක්කම සහෝදර නෝර් අපිව යවන්නේ මොන රටවලටද කියලා නිවේදනය කළා. මගේ වාරය ආවහම ඔහු මෙහෙම කිව්වා. “සහෝදර ප්‍රැම්බර්ග් තමන්ගෙම රටේ සහෝදරයන්ට සේවය කරන්න ස්වීඩන්වලට යනවා.” අවංකවම කියනවා නම් ආපහු මගේම රටට යන්න ලැබීමෙන් මං හිතුව තරම්ම සතුටක් ලැබුණේ නැහැ .

විශාල අභියෝගයකට මුහුණ දුන්නා

මං ආපහු ස්වීඩන්වලට ගියාම හුඟක් රටවල දිස්ත්‍රික්ක මට්ටමින් අලුත්ම සේවයක් ආරම්භ කරන බව දැනගන්න ලැබුණා. මාව තමයි ස්වීඩනයේ මුල්ම දිස්ත්‍රික් අවේක්ෂක හැටියට පත් කළේ. මට මුළු රටේම දේශනා සේවය අධීක්ෂණය කරන්න සිද්ධ වුණා. චාරිකා එක්රැස්වීම් සංවිධානය කරලා ස්වීඩනය පුරා එක් එක් නගරවල ඒවා පැවැත්තුවා. මේක අලුත්ම වැඩපිළිවෙළක් නිසා මට වැඩි දැනුමක් තිබුණේ නැහැ. සහෝදර ඊනරෝට් මාත් එක්ක ඉඳගෙන හොඳ වැඩසටහනක් සකස් කළා. මේ පැවරුම ඉටු කරන්නේ කොහොමද කියලා භයකුත් දැනුණා. මම ඒ ගැන යෙහෝවා දෙවිට අනන්ත වාරයක් යාච්ඤා කරන්න ඇති. ඊට පස්සේ අවුරුදු 15ක්ම දිස්ත්‍රික් සේවය කරන්න මට ප්‍රස්තාව ලැබුණා.

ඒ කාලයේදී එක්රැස්වීම් පවත්වන්න සුදුසු ස්ථාන හොයාගන්න එක පහසු වුණේ නැහැ. හරි හැටි නඩත්තු කරලා නැති, අවශ්‍ය ප්‍රමාණයට උණුසුම් කරලා නැති රංගන ශාලා වැනි ස්ථානවලයි අපිට එක්රැස්වීම් පවත්වන්න සිද්ධ වුණේ. ෆින්ලන්තයේ එක්රැස්වීම පැවැත්තුවේ ප්‍රජා ශාලාවකයි. ඒ දවස්වල හිම කුණාටුවක් තිබුණා. සෙල්සියස් අංශක සෘණ 20ට උෂ්ණත්වය පහළ බැස්සා. ඒ නිසා අපි විශාල උදුන් දෙකක ගින්දර පත්තු කළා. ඒත් ඒවායේ දුම් කවුළුවලින් දුම් පිටවෙනවා වෙනුවට ශාලාව පුරාම දුම පැතිරුණා. දුම් කවුළුව ඇතුළේ කුරුළු කූඩු හදලා තිබුණ නිසයි එහෙම වුණේ කියලා පස්සෙයි අපි දැනගත්තේ. ඇස් දැවිල්ල ගත්තත්, අපි උඩු කබා පොරවගෙන කොහොමහරි රැස්වීම පැවැත්තුවා. මට කවදාවත් ඒ එක්රැස්වීම අමතක වෙන්නේ නැහැ.

දවස් තුනේ චාරිකා එක්රැස්වීම් පවත්වද්දී සහභාගි වෙන අයට ආහාර සපයන්නත් අපිට උපදෙස් දීලා තිබුණා. මුලින් අපිට නිසි උපකරණත් ඒක කරන විදිහ ගැන අද්දැකීම්වත් තිබුණේ නැහැ. ඒත් අපේ කදිම සහෝදර සහෝදරියන් ඒ අභියෝගයත් සතුටෙන් භාරගත්තා. එක්රැස්වීමට කලින් දවසේ ඔවුන් ලහි ලහියේ වැඩ කළා. සමහරු ලොකු භාජනයක් වටේ නැවීගෙන අල සුද්ද කරපු විදිහ බලන්න හරිම අපූරුයි. සහෝදර සහෝදරියන් මහන්සි වෙලා එකට වැඩ කරද්දී ඔවුන් අතරේ නොබිඳෙන මිතුදම් ඇති වුණා.

ඒ කාලේ චාරිකා එක්රැස්වීම් පවත්වන අතරතුරේම වෙලාවක් වෙන් කරලා තිබුණා ප්‍රසිද්ධ කතාවට ජනයාට ආරාධනා කරන්න. ඒකට අපි නිවේදනය සටහන් කරපු පුවරු කරේ එල්ලගෙන පාර දිගේ ඇවිද්දා. වැඩිදෙනෙක් අපිට කරුණාවන්තව ගෞරවයෙන් සැලකුවා. එක නගරයකදී කර්මාන්ත ශාලාවක වැඩ ඇරිලා ගෙදර යන පිරිසක් පාරට ආවා. ඔවුන්ගෙන් කෙනෙක් එකපාරටම මහ හයියෙන් මෙහෙම කිව්වා. “මේ බලන්න, හිට්ලර්ටවත් මෙල්ල කරන්න බැරි වුණ කට්ටිය!”

මගේ දිවියේ නව මං පෙතක්

ගුණ යහපත් තැනැත්තියක් වූ කාරින්ව මුණගැසීමත් සමඟම මගේ සංචාරක සේවයෙත් වෙනසක් සිද්ධ වෙන ලකුණු තිබුණා. මේ අතරතුරේ 1953 ජූලි මාසයේදී නිව් යෝර්ක් නගරයේ යැංකි ක්‍රීඩාංගණයේ පැවැත්තුව ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙන්න අපි දෙන්නටම ආරාධනයක් ලැබුණා. සැසිවාර දෙකක් අතරේ 20වෙනි සඳුදා මිල්ටන් හෙන්ෂල් අපේ විවාහය සිදු කළා. මේ වගේ දෙයක් ඒ ක්‍රීඩාංගණයේ ඊට කලින් සිද්ධ වෙලා තිබුණේ නැහැ. එදා ඉඳලා අපි දෙන්නා 1962 වෙනකම් සංචාරක සේවයේ යෙදුණා. ඊට පස්සේ ස්වීඩන් බෙතෙල් පවුලට එක් වෙන්න කියලා අපිට ආරාධනාවක් ලැබුණා. මුලින්ම මම වැඩ කළේ සඟරා අංශයේ. ඊට පස්සේ කාර්මික ශිල්පියෙක් හැටියට මම ලබාගෙන තිබුණු පුහුණුව නිසා ශාඛා කාර්යාලයේ මුද්‍රණාලයෙත් වෙනත් යන්ත්‍රවලත් වැඩවලට මාව යෙදෙව්වා. කාරින් අවුරුදු කීපයක් ලොන්ඩරියේ වැඩ කළා. ඊට පස්සේ ඇය මේ වෙන තෙක්ම පරිවර්තන අංශයේ සෝදුපත් කියවන්නියක් හැටියට වැඩ කරනවා.

විවාහක යුවළක් හැටියට අපිට අවුරුදු 54කට වැඩි කාලයක් අර්ථවත් සේවයක යෙදෙන්න ලැබීම මොන තරම් සතුටක්ද! ඇත්තෙන්ම යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානයටත් වෙහෙසී වැඩ කරන සේවකයන්ටත් ආශීර්වාද කරලා තියෙනවා. මේ ශාඛාවේ 1940දී මම සේවය කරන්න පටන්ගනිද්දී ස්වීඩනයේ හිටියේ සාක්ෂිකරුවන් 1,500යි. ඒත් දැන් 22,000කට වඩා ඉන්නවා. ලෝකයේ වෙනත් ස්ථානවලත් විශාල වර්ධනයක් දකින්න තිබෙන නිසා දැන් මුළු ලෝකයේම සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන හයහමාරකටත් වැඩියි.

අපේ සේවයට දෙවිගේ බලයේ උපකාරය නිරතුරුවම ලැබෙන නිසා වැඩි වැඩියෙන් අපිට සෙනඟ එක් වෙනවා. අපේ වටපිටාවේ කැලඹුණු මුහුද වගේ ජනකායක් හිටියත් අපි බාධාවට පත් වෙන්නේ නැහැ. ඒ තරමටම අපේ ඇදහිල්ල ශක්තිමත්. අපි මේ යන ගමන කෙළවර කරන්න තව තියෙන්නේ ටික දුරයි. පාරාදීසය පේන තෙක් මානයේ තියෙනවා වගෙයි අපිට දැනෙන්නේ. දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන හැම දේකටම අපි දෙන්නා ස්තුතිවන්ත වෙනවා. ඔහුට දිගටම විශ්වාසවන්තව ඉන්න ශක්තිය දෙන්න කියලා මමයි කාරිනුයි හැමදාම දෙවිට යාච්ඤා කරනවා. එහෙම හිටියොන් අන්තිමේදී අපිට දෙවිගේ අනුමැතියත් සදාකාල ජීවනයත් ලැබෙනවා.—මතෙව් 24:13.

[12වන පිටුවේ පින්තූරය]

මගේ අම්මාගේ ඔඩොක්කුවේ

[13වන පිටුවේ පින්තූරය]

තාත්තත් එක්ක 1920 ගණන්වල මුල් කාලයේදී කුඩා රුවල් නැවෙන් ගිය ස්ථානය

[15වන පිටුවේ පින්තූරය]

හර්මන් හෙන්ෂල් (මිල්ටන්ගේ පියා) එක්ක 1946දී ගිලියද් පාසැලේ

[16වන පිටුවේ පින්තූර]

අපි 1953 ජූලි 20වෙනිදා විවාහ වුණ ක්‍රීඩාංගණය