Skip to content

පටුනට යන්න

අර්ථවත් අධ්‍යාපනයක් ලැබීමට මගේ දරුවන්ට උපකාර කළ හැකි අයුරු

අර්ථවත් අධ්‍යාපනයක් ලැබීමට මගේ දරුවන්ට උපකාර කළ හැකි අයුරු

අර්ථවත් අධ්‍යාපනයක් ලැබීමට මගේ දරුවන්ට උපකාර කළ හැකි අයුරු

දරුවෙකු ලබන අධ්‍යාපනය ප්‍රීතිය ගෙනදෙන මෙන්ම අභියෝගවලින් පිරුණු ගමනකට සමාන කළ හැකියි. දරුවා මේ ගමන යන්නේ තනියම නෙවෙයි, ඔබත් සමඟයි. ඔබ දරුවාට අවශ්‍ය මඟ පෙන්වීම හා උපකාරය ලබා දෙන්නේ දරුවා යන ඒ ගමනේදී සාර්ථක වෙනවා දකින්න ඔබ කැමති නිසයි. දරුවාට මේ ගමනේදී ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා.

දරුවන් ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය අද්දකින්න හා ප්‍රීතියෙන් කල් ගෙවන්න නම් ඔවුන් හොඳ සාරධර්ම පිළිපැදිය යුතු අතර දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගත යුතුයි. ඔවුන් යෙහෝවා දෙවිව හඳුනාගෙන ඔහුට ප්‍රේම කරනවා නම් දරුවන්ට ලැබිය හැකි හොඳම අධ්‍යාපනය එය කියා පැවසිය හැකියි. ඊට හේතුව එම අධ්‍යාපනයෙන් ඔවුන්ට සදාකාලික ප්‍රයෝජන ලැබෙන නිසයි. ඔබේ දරුවන් ඉගෙන ගන්න දේවල් කෙරෙහිත් ඒවා ගැන ඔවුන් දක්වන අගය කෙරෙහිත් දෙමාපියෙක් හැටියට ඔබට ලොකු බලපෑමක් කළ හැකියි.

ඔවුන්ගේ මේ ගමනේදී බොහෝ අභියෝගයන්වලට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙනවා. යක්ෂයාගේ පාලනය යටතේ තිබෙන ලෝකයේ හානිකර බලපෑම්වලට අපේ දරුවන් පහසුවෙන්ම හසු වෙන්න පුළුවන්. (1 යොහන් 5:19) දරුවාගේ අධ්‍යාපනය ගැන සාතන්ද සැලකිලිමත් වෙනවා. ඔහු දක්ෂ මෙන්ම පළපුරුදු අධ්‍යාපනවේදියෙක් කියා කිව හැකියි. ඔහු දුෂ්ට කෙනෙක් නිසා ඔහු ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වෙන්නේ හොඳ චේතනාවෙන් නම් නෙවෙයි. සාතන් “ආලෝකයේ දූතයෙකු” ලෙස හඳුන්වා තිබෙනවා. ඔහු ලබා දෙන දැනුම ආලෝකය මෙන් පෙනුණද ඇත්තටම එය රැවටිලිකාරයි. එමෙන්ම එය දෙවිගේ වචනයේ තිබෙන දේවලට හා දෙවිගේ කැමැත්තට විරුද්ධයි. (2 කොරින්ති 4:4; 11:14; යෙරෙමියා 8:9) සාතන් සහ ඔහුගේ භූතයෝ අන් අයව රැවටීමට ඉතා දක්ෂයි. ඔවුන් ආත්මාර්ථකාමී වීමට, වංක වීමට හා නරක දේවල් කිරීමට අන් අයව පොළඹනවා.—1 තිමෝති 4:1.

ඔබේ දරුවා වැරදි මඟෙහි යෑමෙන් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද? සත්‍යය දේවල් හා ප්‍රයෝජනවත් දේවල් පමණක් අත් කර ගැනීමට ඔබේ දරුවාට ඔබට ඉගැන්විය හැක්කේ කෙසේද? මේ සඳහා වඩාත් වැදගත් දෙය වන්නේ දෙමාපියෙක් හැටියට ඔබ ඔබ ගැනම සෝදිසි කර බැලීමයි. මුලින්ම ඔබ දරුවාට හොඳ ආදර්ශයක් තැබිය යුතුයි. ඒවගේම අවශ්‍ය තරම් කාලය සොයා ගෙන දරුවාව පුහුණු කිරීම ඔබේ වගකීමක් බව අමතක නොකළ යුතුයි. මුලින්ම අර්ථවත් අධ්‍යාපනයක් සඳහා අඩිතාලමක් දමා ගන්නේ කෙසේද කියා සොයා බලමු.

අර්ථවත් අධ්‍යාපනයකට අඩිතාලම

ඊශ්‍රායෙලයේ විසූ ප්‍රඥාවන්ත සාලමොන් රජගෙන් අපට යමක් ඉගෙන ගන්න පුළුවන්. බයිබලයේ පවසන්නේ මෙසේයි. “දෙවි මුහුදු වෙරළේ වැලි මෙන්ම අධික වශයෙන් ප්‍රඥාවද බුද්ධියද සිත් මහත්කමද සාලමොන්ට දුන්නේය. සාලමොන්ගේ ඥානය පූර්ව දිශාවෙහි සියලුදෙනාගේ ඥානයටත් ඊජිප්තුවෙහි සියලු ඥානයටත් වඩා අධික විය. . . .ඔහු උපදේශ වාක්‍යයන් තුන්දාහක් කීය. ඔහුගේ ගීතිකා එක්දාස් පහක් විය.” (1 රාජාවලිය 4:29-34) එපමණක් නොව ඔහුට ශාක මෙන්ම සතුන් ගැනද මනා දැනුමක් තිබුණා. ඒ වගේම යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟීමේදී එහි අධීක්ෂණ කටයුතු කළේද ඔහුයි.

සාලමොන් රජ රචනා කළ ලියවිලිවලින් එකක් වූ දේශනාකාරයා පොත කියවන විට පෙනී යන්නේ ඔහුට මිනිසුන්ගේ ගති පැවතුම් හා ස්වභාවය ගැන හොඳ දැනුමක් තිබුණු බවයි. අර්ථවත් අධ්‍යාපනයක ඇති ප්‍රයෝජන ගැන ලිවීමට දෙවි ඔහුව පෙලඹුවා. “යෙහෝවාට භය වීම ප්‍රඥාවේ පටන්ගැන්ම වේ” කියාද “යෙහෝවාට භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මයි; ශුද්ධ තැනැත්තා දැනගැන්ම තේරුම නම් වේ” කියාද ඔහු පැවසූවේ ඒ නිසයි.—හිතෝපදේශ 1:7; 9:10.

අපි දෙවිට බිය වෙනවා යන්නෙන් අදහස් කරන්නේ අපිට ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබෙනවා යන්නයි. ඒ නිසා ඔහු අකමැති කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඔහු මුළු විශ්වයේම පරමාධිපති දෙවි බවත් අපි ඔහුට යටත් විය යුතු බවත් අපි තේරුම් ගන්නවා. අපේ ජීවිතදායකයාණන් වන දෙවිව නොසලකා හරින අයව ප්‍රඥාවන්තයන් මෙන් මිනිසුන් පිළිගත්තත් ඔවුන්ගේ ප්‍රඥාව “දෙවි ඉදිරියෙහි මෝඩකමකි.” (1 කොරින්ති 3:19) අපේ දරුවන්ට අවශ්‍ය වන්නේ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” මත පදනම් වන අධ්‍යාපනයයි.—යාකොබ් 3:15, 17.

අපි දෙවි අකමැති යමක් කිරීමට බියක් දක්වන්නේ ඔහුට තිබෙන ප්‍රේමය නිසයි. තමන්ගේ සේවකයන් තමන්ට ගරුබිය මෙන්ම ප්‍රේමය දැක්වීම යෙහෝවා දෙවිගේ අපේක්ෂාවයි. මෝසෙස් මෙසේ පැවසුවා. “දැනුදු අහෝ ඊශ්‍රායෙල්, ඔබේ දෙවි වූ යෙහෝවාට භය වන්ටත් දෙවිගේ සියලු මාර්ගවල හැසිරෙන්ටත් දෙවිට ප්‍රේම කරන්ටත් ඔබේ යහපත පිණිස අද මා විසින් ඔබට අණ කරන යෙහෝවාගේ ආඥාද පනත්ද රක්ෂා කොට ඔබේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද ඔබේ දෙවි වූ යෙහෝවාට මෙහෙ කරන්ටත් මිස ඔබේ දෙවි වූ යෙහෝවා ඔබෙන් ඉල්ලන්නේ කුමක්ද”—ද්විතීය කතාව 10:12, 13.

අපි අපේ දරුවන් තුළ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට හොඳින් උගන්වා තිබෙනවා නම් ඔවුන්ව ප්‍රඥාවන්තයන් කිරීම සඳහා අර්ථවත් අධ්‍යාපනයකට අඩිතාලමක් දමා තිබෙනවා කියා කිව හැකියි. දරුවන් ඒ අඩිතාලම මත ගොඩනැඟෙන විට ඔවුන්ට සියලු ප්‍රඥාවේ උල්පත වන අපේ නිර්මාතෘ කෙරෙහි තිබෙන අගය වැඩි වෙයි. මෙමගින් දරුවන්ට තමන් ඉගෙන ගන්නා දේවල් අනුව හොඳින් තෝරා බේරා කටයුතු කිරීමටත් වැරදි නිගමනවලට එළඹෙන්නේ නැතුව කටයුතු කරන්නත් හැකි වෙයි. ඔවුන්ට ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ’ හැකියාවද ලැබෙනවා. (හෙබ්‍රෙව් 5:14) එවැනි අඩිතාලමක් දැමීම ඔවුන්ට නිහතමානීව ක්‍රියා කරන්නත් නපුරු දේවලින් ඈත් වී සිටින්නත් උපකාරකයක් වේවි.—හිතෝපදේශ 8:13; 16:6.

දෙමාපියෙනි දරුවන් අනුකරණය කරන්නේ ඔබවයි

අපේ දරුවන්ට යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමටත් ඔහුට ප්‍රේම කිරීමටත් ඉගැන්විය හැක්කේ කෙසේද? මෙයට පිළිතුර මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් ආඥාවේ අඩංගු වෙනවා. ඊශ්‍රායෙල් දෙමාපියන්ට මෙසේ අණ කර තිබුණා. “ඔබේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න; මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය; ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:5-7.

මෙම වගන්තියෙන් දෙමාපියන්ට වැදගත් පාඩමක් උගන්වා තිබෙනවා. එනම් දෙමාපියන් හැටියට ඔබ හොඳ ආදර්ශයක් සැපයිය යුතු බවයි. ඔබේ දරුවා යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න නම් මුලින්ම ඔබ දෙවිට ප්‍රේම කළ යුතුයි. එමෙන්ම දෙවිගේ වචන මුලින්ම ඔබේ සිතේ තිබිය යුතුයි. මෙය එතරම් වැදගත් වන්නේ ඇයි? එයට හේතුව ඔබයි දරුවාගේ මුල්ම ගුරුවරයා. ඔබේ ආදර්ශයෙන් ඔවුන් ඉගෙන ගන්නා දේවල් ඔවුන්ට ලොකු බලපෑමක් කරනවා. දෙමාපියන්ගේ ආදර්ශය තරම් දරුවෙක් තුළ බලපෑමක් ඇති කරන්න වෙන කිසිම දෙයක් නැහැ.

ඔබේ ආශාවන්, ඔබේ ප්‍රතිපත්ති, ඔබේ සාරධර්ම සහ ඔබ වැදගත් කියා හිතන දේවල් ඔබේ වචනයෙන් පමණක් නොව ඔබේ ක්‍රියා තුළින්ද දරුවන්ට දැක ගත හැකියි. (රෝම 2:21, 22) බිළිඳු අවධියේ පටන් දරුවන් දෙමාපියන්ව නිරීක්ෂණය කිරීම තුළින් ඉගෙන ගන්නවා. දෙමාපියන්ගේ ජීවිතයේ වැදගත් දේවල් මොනවාද කියා දැනගන්නා දරුවන් තමන්ගේ ජීවිතයේත් වැදගත් දේවල් බවට පත් කර ගන්නේ එම දේවල්මයි. ඔබ ඇත්තටම යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා නම් දරුවන්ට එය දැන ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ බයිබලය කියවීම හා අධ්‍යයන කිරීම වැදගත්කොට සලකන කෙනෙක් කියා තේරුම් ගන්නවා. ඔබ දේවරාජ්‍ය මුලින්ම තබා කටයුතු කරනවා නම් ඔවුන් එය වටහා ගන්නවා. (මතෙව් 6:33) ඔබ නිතිපතා රැස්වීම්වලට සහභාගී වෙනවා නම් හා රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හවුල් වෙනවා නම් ඔබ එයින් දරුවන්ට කියා පාන්නේ දෙවිට කරන සේවය ඉතා වැදගත් බවයි.—මතෙව් 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25.

ඔබේ වගකීම පැහැර නාරින්න

දෙමාපියන්ට ද්විතීය කතාව 6:5-7දක්වා වගන්තිවලින් ඉගෙන ගත හැකි තව පාඩමක් නම් දරුවන්ව පුහුණු කිරීමේ වගකීම දෙමාපියන් සතු බවයි. පුරාණයේ විසූ යෙහෝවා දෙවිගේ සෙනඟ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම ඇත්තේ දෙමාපියන්ට බව තේරුම් ගත්තා. පළමු ශත වර්ෂයේ විසූ ක්‍රිස්තියානීන් අතර සිටි දෙමාපියන්ද තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී පෙරමුණ ගෙන කටයුතු කළා. (2 තිමෝති 1:5; 3:14, 15) පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට, විශේෂයෙන්ම පියවරුන්ට මෙලෙස උපදෙස් දුන්නා. “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව [දරුවන්ව] ඇති දැඩි කරන්න.”—එෆීස 6:4.

අද පවතින කාර්ය බහුල ජීවිතය හා වෙනත් හේතු නිසා දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීමේ වගකීම අන් අයට පැවරිය හැකියි. සමහරුන් මෙම වගකීම පාසැලේ ගුරුවරයාට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින ගුරුවරුන්ට පවරනවා. ඒත් මේ කිසිම කෙනෙකුට ප්‍රේමණීය දෙමාපියෙකුගේ අඩුව පුරවන්න බැහැ. ඔබේ දරුවාට ඔබ අවශ්‍ය කරන බවත් ඔබේ බලපෑම දරුවාට මහත් රුකුලක් බවත් අමතක කරන්න එපා. මේ සම්බන්ධයෙන් ඔබට උපකාර අවශ්‍ය නම් එය ඥානවන්තව තෝරා ගන්න. නමුත් දෙවි ඉදිරියේ ඔබේ වගකීම පැහැර නාරින්න.

දරුවාව පුහුණු කිරීමට කාලය ගන්න

දෙමාපියන්ට ද්විතීය කතාව 6:5-7දක්වා වගන්තිවලින් ඉගෙන ගත හැකි තවත් පාඩමක් නම් දරුවන්ව පුහුණු කිරීමට කාලය හා වෑයම අවශ්‍ය බවයි. ඊශ්‍රායෙල් දෙමාපියන්ට දෙවි පිළිබඳ සත්‍යය තමන්ගේ දරුවන්ට ‘මනාකොට ඉගැන්වීමට’ තිබුණා. මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව මනාකොට ඉගැන්වීම යන්නෙන් අදහස් කළේ “නැවත නැවත කීමයි.” මෙය දවස පුරාම කළ යුතු දෙයක් වුණා. උදේ පටන් රෑ වෙන තුරුද “ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද” එසේ කළ යුතු වුණා. දෙවි සිතන ආකාරයට දරුවන්ට සිතන්නත් ඔහුගේ කැමැත්තට අනුව හැසිරෙන්නත් පුහුණු කරන්න නම් කාලය හා වෑයම අවශ්‍යයි.

ඔබේ දරුවන්ට අර්ථවත් අධ්‍යාපනයක් ලබා දීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? කළ යුතු හොඳම දේ නම් යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුට ගරුබිය දැක්වීමටත් ඉගැන්වීමයි. ඔබ ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න. දරුවාට ඉගැන්වීමේ ඔබ සතු වගකීම පැහැර නාරින්න. ඔවුන්ව පුහුණු කිරීමට අවශ්‍ය කාලය සොයා ගන්න. ඔබ දරුවන්ව පුහුණු කරන විට ඔබ අතින් යම් යම් අඩු පාඩු සිදු වෙන්න පුළුවන්. නමුත් ඔබ අවංකව දෙවිගේ කැමැත්ත කිරීමට වෑයම් කරනවා නම් ඔබේ දරුවන් එය අගය කරන අතර එයින් ප්‍රයෝජන ලබනවා නියතයි. හිතෝපදේශ 22:6හි මෙසේ පවසා තිබෙනවා. “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න; එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය.”

අධ්‍යාපනය හරියට ජීවිත කාලය පුරාම යන ගමනක් වගේයි. ඔබත් ඔබේ දරුවාත් දෙවිට ප්‍රේම කරනවා නම් මේ ගමනෙන් ඔබ මෙන්ම ඔබේ දරුවාද සදාකාලික තෘප්තියක් ලබනවා. ඊට හේතුව යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණු ගැන අපට කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැරි නිසයි.—දේශනාකාරයා 3:10, 11.

[15වන පිටුවේ පින්තූරය]

ඔබ ඔබේ දරුවා සමඟ බයිබලය කියවනවාද?

[16වන පිටුවේ පින්තූරය]

නිර්මාතෘ ගැන ඔබේ දරුවාට උගන්වන්න කාලය ගන්න