Skip to content

පටුනට යන්න

දෙවි එක් කළ දෙය වෙන් නොකරන්න

දෙවි එක් කළ දෙය වෙන් නොකරන්න

දෙවි එක් කළ දෙය වෙන් නොකරන්න

“ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.

1, 2. විවාහය තුළ විටින් විට ප්‍රශ්න ඇති වන බව අපේක්ෂා කළ යුත්තේ ඇයි?

ඔබ වාහනයකින් දුර ගමනක් යන්න සූදානම් වෙනවා කියා හිතන්න. ගමන අතරතුර යම් දුෂ්කරතාවයන් සිදු වෙයි කියා ඔබ අපේක්ෂා කරන්නේ නැද්ද? උදාහරණයකට, අයහපත් කාලගුණය නිසා ඔබට වාහනය සෙමින් පදවන්න සිදු වෙයි. නැතිනම් වාහනයේ ඇති විය හැකි යම් කාර්මික දෝෂයක් නිසා, වෙනත් කෙනෙකුගේ උපකාරය පතන්න ඔබට සිදු විය හැකියි. එවැනි තත්වයකට මුහුණ දුන්නොත් ‘මේ ගමන මම නෑවිත් හිටියා නම් හොඳයි’ කියලා ඔබ හිතනවාද? නැතිනම් ඔබේ වාහනය මඟ දමා ඔබ යන්න යනවාද? නැහැ. සාමාන්‍යයෙන් දුර ගමනක් යද්දී ඔබ එවන් දේවල් බලාපොරොත්තු වන අතර ඒවාට මුහුණ දෙන විදිහ ගැනත් ඥානවන්තව කල්පනා කරනවා.

2 විවාහයත් ඒ හා සමාන දිගු ගමනක්. එම ගමනේදීද ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා නම් එය වැරදි සිතුවිල්ලක්. විවාහ ජීවිතය කියන්නේ රෝස මල් යහනාවක් නම් නොවෙයි. පළමුවෙනි කොරින්ති 7:28හි පැහැදිලිව සඳහන් කරන්නේ ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට “මාංසයෙහි දුක්” ඇති වන බවයි. එයට හේතුව, අපි ජීවත් වෙන්නේ ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්වල’ නිසයි. ඒ වගේම ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම අඩු පාඩුකම් ඇති අය නිසාත් විවාහ ජීවිතයේදී ප්‍රශ්න මතු වෙනවා. (2 තිමෝති 3:1; රෝම 3:23) මේ දෙන්නාට දෙන්නා කොතරම් හොඳින් පෑහී කටයුතු කළත් ඔවුන්ට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණත් විටින් විට ගැටලු ඇති වෙන්න පුළුවන්.

3. (අ) අද දින ලෝකයේ බොහෝදෙනා විවාහය සලකන්නේ කෙසේද? (ආ) නමුත් ක්‍රිස්තියානීන් තමුන්ගේ විවාහයන් රැක ගැනීමට උත්සාහ කරන්නේ ඇයි?

3 අද දින ලෝකයේ බොහෝ විවාහයන් තුළ ගැටලු මතු වෙද්දී බහුතරයක් ඊට විසඳුම හැටියට දකින්නේ දික්කසාදයයි. මේ නිසා බොහෝ රටවල දික්කසාද වීමට වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඊට වෙනස්ව සැබෑ ක්‍රිස්තියානීන්ගේ විවාහයන් තුළ ප්‍රශ්න ඇති වෙද්දී, ඉන් පැන යනවා වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ ඒවා විසඳාගෙන විවාහය රැක ගැනීමටයි. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඊට හේතුව විවාහය යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන පරිශුද්ධ යමක් හැටියට ඔවුන් සලකන නිසයි. විවාහක යුවළයන් ගැන යේසුස් පැවසුවේ “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා” කියායි. (මතෙව් 19:6) නමුත් බයිබලයේ සඳහන් එම ප්‍රතිපත්තියට එකඟව ජීවත් වීම හැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. විවාහය සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති ප්‍රමිති නොදන්න නෑදෑයන් සහ විවාහ උපදේශකයන් ලබා දෙන විසඳුම වෙන්නේ වෙන්වීම හෝ දික්කසාදයයි. * නමුත් විවාහය රැක ගැනීම හොඳම දේ බව ක්‍රිස්තියානීන් දන්නවා. ඒ නිසා වෙනත් කිසිම ක්‍රමයකට වඩා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කිරීම ඉතා වැදගත්.—හිතෝපදේශ 14:12.

ගැටලු විසඳාගැනීම

4, 5. (අ) විවාහයේදී ඇති වන අභියෝග මොනවාද? (ආ) ඒවා විසඳාගැනීමේදී බයිබලයේ සඳහන් ප්‍රමිති අදාළ කරගැනීම හොඳම දේ වෙන්නේ ඇයි?

4 විවාහ ජීවිතයේ පැනනඟින ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගැනීමේ අරමුණින්, විටින් විට ඊට හොඳ අවධානයක් දීම වැදගත්. බොහෝවිට මතු වන සුළු සුළු ගැටලු කතා බහ කර නිරාකරණය කරගන්න පුළුවන්. නමුත් සමහර ගැටලු විවාහ බැඳීමට තද බල ලෙස බලපාන ඒවා විය හැකියි. එවැනි අවස්ථාවකදී විවාහ ජීවිතය ගැන අද්දැකීම් තිබෙන ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුගේ උපකාර පැතීමට පුළුවන්. ඉන් අදහස් කරන්නේ ඔබේ විවාහ දිවිය අසාර්ථක වී ඇති බවද? නැහැ. නමුත් ඒ වෙනුවට ඉන් පෙන්වන්නේ ගැටලු විසඳාගැනීම සඳහා බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඉතා ඕනෑකමින් අදාළ කරගැනීමේ ඇති අවශ්‍යතාවයයි.

5 මිනිසාගේ නිර්මාණකරු සහ විවාහයේ නිර්මාතෘ හැටියට යුග දිවිය සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද කියා වෙන කිසිවෙකුටවත් වඩා හොඳින්ම දන්නේ යෙහෝවා දෙවියි. එමනිසා විවාහය සම්බන්ධයෙන් ඔහු දී ඇති උපදෙස්වලට කීකරුවීමට ඔබ සූදානම්ද? එසේ කරනවා නම් ඔබ ඉමහත් ප්‍රයෝජන ලබනවා නොඅනුමානයි. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ මෙසේයි. “අහෝ, ඔබ මාගේ ආඥාවලට කන් දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.” (යෙසායා 48:18) බයිබලයේ සපයන උපදෙස් ඉතාමත් කිට්ටුවෙන් අනුගමනය කිරීම, විවාහය සාර්ථක කරගැනීමට තිබෙන හොඳම ක්‍රමයයි. ස්වාමිපුරුෂයන්ට බයිබලයේ දෙන උපදෙස් සමහරක් ගැන අපි දැන් සලකා බලමු.

‘ඔබේ භාර්යාවට දිගටම ප්‍රේම කරන්න’

6. බයිබලයේ, ස්වාමිපුරුෂයන්ට දී ඇති උපදෙස කුමක්ද?

6 පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපිය තුළ,ස්වාමිපුරුෂයන්ට අදාළ කර ගත හැකි කදිම උපදෙස් ඇතුළත් වී තිබෙනවා. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. එසේම ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරන්නේය. මන්ද, කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. ඒ වෙනුවට, ක්‍රිස්තුස් සභාවට සලකන්නාක් මෙන් ඔහු එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි. එහෙත්, ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය.”—එෆීස 5:25, 28, 29, 33.

7. (අ) ක්‍රිස්තියානි විවාහකයන් අතර තිබිය යුතු වැදගත්ම ගුණාංගය කුමක්ද? (ආ) තම භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න ස්වාමිපුරුෂයන්ට හැක්කේ කෙසේද?

7 පාවුල් මෙහිදී විවාහය තුළ ඇති විය හැකි සෑම ගැටලුවක් ගැනම සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ගැටලු විසඳාගැනීමට උපකාරවත් වන ප්‍රධානතම දෙය ගැන ඔහු අවධාරණය කරනවා. එය නම් ප්‍රේමයයි. එහිදී පාවුල්, ප්‍රේමය යන වචනය හය වතාවක්ම සඳහන් කරනවා. ඔහු ස්වාමිපුරුෂයන්ට උපදෙස් දෙන්නේ “ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. මුලදී, ප්‍රේමයෙන් බැඳීම පහසු දෙයක් වුණත් දිගටම එම ප්‍රේමය ඇතිව සිටීම ලෙහෙසි දෙයක් නොවන බව පාවුල් දැන සිටි බව ස්ථිරයි. ඊට හේතුව, විශේෂයෙන්ම අපි ජීවත් වන මෙම “අන්තිම දවස්වල” සිටින මිනිසුන් “තමුන්ටම ප්‍රේම කරන” “කිසි කාරණයකදී එකඟ නොවන” අය වන නිසයි. (2 තිමෝති 3:1-3) එවැනි ආත්මාර්ථකාමී ස්වභාවයන් නිසා අද බොහෝ විවාහයන් කඩාකප්පල් වෙමින් තිබෙනවා. නමුත් ප්‍රේමණීය ස්වාමිපුරුෂයන් තම සිතුවිලිවලට හෝ ක්‍රියාවලට බලපෑම් කරන්න එවැනි ආකල්පවලට ඉඩ දෙන්නේ නැහැ.—රෝම 12:2.

ඔබේ භාර්යාවගේ අවශ්‍යතා සපුරන්න

8, 9. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් සපුරාලිය යුත්තේ භාර්යාවකගේ කුමන අවශ්‍යතාවයන්ද?

8 තමන් ගැන පමණක් සිතන ලෝකයක ක්‍රිස්තියානි භාර්යාවන්ට අවංකවම ප්‍රේම කිරීමට ස්වාමිපුරුෂයෙක් හැටියට ඔබට හැක්කේ කෙසේද? පාවුල් එෆීසවරුන්ට ලියූ එම ලිපියේ ඒ සම්බන්ධයෙන් කරුණු දෙකක් සඳහන් කරනවා. පළමුවැන්න නම්, ඇයගේ අවශ්‍යතාවයන් සපුරාලීමයි. දෙවැන්න නම්, ඔබව මෙන් ඇයව ආදරයෙන් රැකබලා ගැනීමයි. ඔබ ඇයගේ අවශ්‍යතාවයන් සපුරන්නේ කෙසේද? එක් ආකාරයක් නම් ඇයගේ ශාරීරික අවශ්‍යතාවයන් ලබා දීමයි. එය පාවුල්, තිමෝතිට පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.

9 ඇයට ඉන්න හිටින්න, කන්න බොන්න, අඳින්න පළඳින්න දෙනවාට වඩා වැඩි යමක් සැපයිය යුතුයි. එනම් ස්වාමිපුරුෂයෙක් ඇගේ චිත්තවේගීය අවශ්‍යතා මෙන්ම ඇගේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල්ද සැපයිය යුතුයි. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකුට සභාවේ බොහෝ වගකීම් තිබිය හැකියි. නමුත් පවුලේ හිස හැටියට දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වන දේ අතපසු කිරීමට එය කොහෙත්ම හේතුවක් නොවෙයි. (1 තිමෝති 3:5, 12) අවුරුදු කිහිපයකට පෙර පළ වූ මුරටැඹ සඟරාවක සඳහන් වුණේ මෙසේයි. “ශුද්ධ ලියවිල්ලට අනුව, ‘හොඳ එඬේරෙක් මුලින්ම තම කාර්යභාරය ආරම්භ කරන්නේ ඔහුගේ නිවසෙන්’ කියා කියන්න පුළුවන්. යම් අවේක්ෂකයෙක් තම පවුලේ වගකීම් නොසලකා හැරීම, සභාවේ ඔහු දරණ වගකීම් අහිමි වීමට පවා හේතු විය හැකියි.” * ඉන් පැහැදිලි වෙන්නේ ස්වාමිපුරුෂයෙකු හැටියට ඔබ ඔබගේ භාර්යාවගේ ශාරීරික සහ චිත්තවේගීය අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය දෙයක් බවයි. ප්‍රධාන වශයෙන් ඇගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමටද ඔබ ඇයට උපකාර කළ යුතුයි.

ඇයව ආදරයෙන් රැකබලා ගැනීම

10. තම බිරිඳව ආදරයෙන් රැකබලා ගත හැක්කේ කෙසේද?

10 ඔබ ඇය ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්නේ ඇයට තිබෙන ආදරේ නිසයි. ඇයට එය පෙන්විය හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. එක් ක්‍රමයක් නම් ඇය සමඟ එකට කාලය ගත කිරීමයි. නමුත් ස්වාමිපුරුෂයෙක් එසේ කරන්න අසමත් වෙනවා නම් ඔහු කෙරෙහි තිබෙන ඇගේ ප්‍රේමය කෙමෙන් කෙමෙන් අඩු විය හැකියි. තම භාර්යාව සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කරනවා කියා ස්වාමිපුරුෂයා සිතන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ භාර්යාව ඉන් සෑහීමට පත් වෙනවාද යන්නයි. ඒ ගැන ස්වාමිපුරුෂයා සැලකිලිමත් විය යුතුයි. ඔබ ඇයව ආදරයෙන් රැකබලා ගන්නවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. නමුත් ඇයට ඒ බව දැනෙන්න අවශ්‍යයි. පාවුල් ඒ ගැන පැවසුවේ මෙසේයි. “එකිනෙකා තම තමාගේම ප්‍රයෝජනය නොව, අනික් තැනැත්තාගේ ප්‍රයෝජනය සොයාවා.” (1 කොරින්ති 10:24) ආදරණීය ස්වාමිපුරුෂයෙක් හැටියට ඔබ, ඇගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගැනීම ඉතා වැදගත්.—ෆිලිප්පි 2:4.

11. තම භාර්යාවට සලකන ආකාරය, දෙවි සමඟ ස්වාමිපුරුෂයෙකුට ඇති මිත්‍රත්වයටත් සභාවේ ඔහුට ඇති වගකීම්වලටත් බලපාන්නේ කෙසේද?

11 ඇයව ආදරයෙන් රැකබලා ගත හැකි තවත් ආකාරයක් නම්, ඔබගේ වචනයෙන් සහ ක්‍රියාවෙන් ඇයට, කරුණාවන්ත වීමයි. (හිතෝපදේශ 12:18) පාවුල් කොලොස්සිවරුන්ට ලිව්වේ “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් කෙරෙහි අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. (කොලොස්සි 3:19) එක් පොතකට අනුව පාවුල්ගේ එම වචනවල “ඇයට වැඩකාරියකට වගේ සලකන්න එපා” යන අදහසත් ගැබ් වෙලා තියෙනවා. තම බිරිඳට ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව හිරිහැර කරන ස්වාමිපුරුෂයෙක් ඇයව ආදරයෙන් රැකබලා ගන්නවා කියා පැවසිය නොහැකියි. එවැනි ස්වාමිපුරුෂයෙකුට යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වයද අහිමි විය හැකියි. පේතෘස් ස්වාමිපුරුෂයන්ට මෙසේ පැවසුවා. “ඔබත් දැනගැන්මට අනුව ඔවුන් සමඟ වාසය කරමින්, වඩා දුර්වල භාජනයකට මෙන් ස්ත්‍රියට ගෞරවය දෙන්න. මන්ද ඔබ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට ඔවුන් සමඟ උරුමක්කාරයෝ වන නිසා, ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස එසේ කරන්න.” *1 පේතෘස් 3:7.

12. ස්වාමිපුරුෂයන්ට යේසුස්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

12 ඔබේ භාර්යාවගේ ආදරය ඔබ කෙරෙහි ඉබේටම ඇති වන දෙයක් නොවන බව මතක තබාගන්න. ඔබ ඇයට ඇත්තෙන්ම ආදරේ බව දැනෙන්න සලස්වන්න. යේසුස් තම සභාවට සැලකූ ආකාරය ස්වාමිපුරුෂයන්ට කදිම ආදර්ශයක්. ඔහුගේ ගෝලයන් අතින් නිතර නිතර වැරදි සිදු වුණත් යේසුස්, ඔවුන්ට සමාව දීමෙන්, කරුණාව පෙන්වීමෙන් සහ මෘදු ලෙස සැලකීමෙන් ඔවුන්ට තම ප්‍රේමය පෙන්වුවා. යේසුස්ට මෙසේ කියන්න හැකි වුණේ ඒ නිසයි. “මා වෙතට එන්න. . . . මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් . . . ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.” (මතෙව් 11:28, 29) ඒ ආකාරයෙන් ස්වාමිපුරුෂයන්ටද යේසුස්ව අනුකරණය කළ හැකියි. වචනයෙන් සහ ක්‍රියාවෙන් තම බිරිඳව ආදරයෙන් රැකබලා ගන්නා ස්වාමිපුරුෂයෙක් ඇයව සතුටින් තියනවා.

බයිබල් ප්‍රමිති අදාළ කරගන්නා භාර්යාවන්

13. බයිබලයේ සඳහන් වෙන්නේ භාර්යාවන්ට ප්‍රයෝජනවත් වන කුමන ප්‍රතිපත්තිද?

13 භාර්යාවන්ට ප්‍රයෝජනවත් උපදෙස්ද බයිබලයේ ඇතුළත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එෆීස 5:22-24 සහ 33හි මෙසේ සඳහන් වෙනවා. “භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද, ක්‍රිස්තුස් සභාව වන ශරීරයේ ගැලවුම්කාරයාද හිසද වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. ඉතින්, සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නාක් මෙන්, භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට සියලු කාරණාවලදී යටත් විය යුතුය. . . . භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.”

14. යටත්කම දක්වන්න කියා බයිබලය භාර්යාවකගෙන් ඉල්ලා සිටීම ඇයව සුළු කිරීමක් නොවන්නේ ඇයි?

14 පාවුල් මෙහිදී කාවද්දන්නේ භාර්යාවන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත්කම සහ ගෞරවය පෙන්විය යුතු බවයි. එය දෙවිගේ සැලැස්මයි. ස්වර්ගයේ සහ පොළොවේ සිටින සෑම කෙනෙකුම යම් කෙනෙකුට යටත්. යේසුස් පවා යෙහෝවා දෙවිට යටත් වුණා. (1 කොරින්ති 11:3) ස්වාමිපුරුෂයෙකු, තම මූලිකත්වය මෙහෙයවන්නේ ප්‍රේමණීය ආකාරයකින් නම් ඔහුට කැමැත්තෙන්ම යටත් වීමට භාර්යාවක් පෙලඹෙයි.

15. බයිබලයේ භාර්යාවන්ට දී ඇති උපදෙස් සමහරක් මොනවාද?

15 භාර්යාවක් “තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතු” බවද පාවුල් අවධාරණය කරනවා. එමෙන්ම ඇය “තැන්පත් වූ මෘදු වූ ගතිය” ඇතිව සිටිය යුතු බවද පාවුල් පෙන්වා දෙනවා. ඉන් අදහස් කරන්නේ ඇය, මූලිකත්වයට ගරු නොකරමින් හිතුවක්කාර ලෙස ස්වාධීන තීරණ ගන්නේ නැති බවයි. (1 පේතෘස් 3:4) දේවභක්තික භාර්යාවක් තම පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කරන අතර එමගින් තම ස්වාමිපුරුෂයාට ගෞරවය කරනවා. (තීතස් 2:4, 5) ඇය තම ස්වාමිපුරුෂයාගේ යහපත් ගුණාංග අගය කිරීමට උත්සාහ කරන අතර අන් අය ඉදිරියෙහි ඔහුට අගෞරවය ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන්නේද නැහැ. තම ස්වාමිපුරුෂයාගේ සැලසුම් සාර්ථක කරගැනීමට ඇය තම උපරිම සහයෝගය ලබා දෙනවා.—හිතෝපදේශ 14:1.

16. සාරා සහ රෙබෙකාගෙන්, භාර්යාවන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 භාර්යාවක් තැන්පත් සහ මෘදු තැනැත්තියක් විය යුතු නිසා, ඇයගේ යෝජනා සහ අදහස් කිසි වටිනාකමක් නැති ඒවා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. සාරා, රෙබෙකා වැනි ඇදහිලිවන්ත භාර්යාවන් තම අදහස් සහ යෝජනා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට නොවළහා ප්‍රකාශ කළා. යෙහෝවා දෙවිද ඒවා අනුමත කළා කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 21:8-12; 27:46–28:4) ඒ හා සමානව අද දින සිටින භාර්යාවන්ටද තම අදහස් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට විවෘතව ප්‍රකාශ කළ හැකියි. නමුත් එය කළ යුත්තේ ස්වාමිපුරුෂයාව පහත් කරන ආකාරයකින් නොව, කාරුණික සහ ගෞරවාන්විත ආකාරයකිනුයි. එවිට ඒ අදහස් හුවමාරුව වඩාත් සාර්ථක එකක් වෙයි.

දෙදෙනාටම හිමි කාර්යය

17, 18. විවාහ බැඳීම විනාශ කිරීමට උත්සාහ කරන යක්ෂයාගේ වෑයම්වලට විරුද්ධ වීමට විවාහක යුවළයන්ට හැක්කේ කෙසේද?

17 විවාහය කියන්නේ සදාකාලික බැඳීමක්. එය සාර්ථක කරගන්න දෙදෙනාටම අවංක ආශාවක් තිබිය යුතුයි. විවෘතව අදහස් හුවමාරු කරන්නේ නැතිනම් ප්‍රශ්න තවත් උග්‍ර වෙන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු පැනනඟින විට බොහෝ යුවළයන් කරන්නේ අදහස් හුවමාරු කරන එක නතර කිරීමයි. ඉන් සිදු වෙන්නේ එකිනෙකා අතර නුරුස්සන ස්වභාවයක් ඇතිවීමයි. ඒ නිසා සමහරුන් විවාහ බැඳීමෙන් පිටත අය සමඟ ප්‍රේම සබඳතා ඇති කරගැනීමට පවා පෙලඹෙන්න පුළුවන්. ඒ ගැන යේසුස් අනතුරු ඇඟවූයේ මෙසේයි. “කාම ආශාවක් ඇති වන ලෙස ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ පරදාර සේවනයේ යෙදී ඇත.”—මතෙව් 5:28.

18 විවාහ වූ අය ඇතුළු සියලුම ක්‍රිස්තියානීන්ට පාවුල් උපදෙස් දුන්නේ මෙසේයි. “කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.” (එෆීස 4:26, 27) අපිව දෙවිගෙන් ඈත් කිරීමට යක්ෂයා නිතරම උත්සාහ කරනවා. ඒ සඳහා ක්‍රිස්තියානීන් අතර ඇති විය හැකි යම් යම් එකඟ නොවීම් සහ මතගැටුම් ඔහු අතකොළුවක් හැටියට යොදා ගන්නවා. ඔහුට ජය ගැනීමට ඉඩ දෙන්න එපා! ගැටලු ඇති වන විට බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කර යෙහෝවා දෙවිගේ කෝණයෙන් ඒ කාරණය දෙස බලන්න උත්සාහ කරන්න. ගැටලුව ගැන සන්සුන්ව සහ අවංකව සාකච්ඡා කරන්න. ඔබ ක්‍රියා කරන ආකාරය නිතරම දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වන බවට ස්ථිර වන්න. (යාකොබ් 1:22-25) ඔබ දෙදෙනාම එක්ව යෙහෝවා දෙවි සමඟ දිගටම ගමන් කිරීමට අධිෂ්ඨාන කරගන්න. දෙවි එක් කළ දෙය වෙන් කිරීමට කිසිවෙකුට හෝ කිසිම දෙයකට ඉඩ දෙන්න එපා!—මීකා 6:8.

[පාදසටහන්වල]

^ 3 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත, 2002 පෙබරවාරි 8 පිබිදෙව් කලාපයේ 10වන පිටුවේ ඇති “වෙන්වීම හා දික්කසාදය” යන කොටුව බලන්න.

^ 9 ඡේ. වර්ෂ 1989 මැයි 15 මුරටැඹ කලාපයේ 12වන පිටුව (ඉංග්‍රීසියෙන්) හෝ 1989 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 10වන පිටුව (සිංහලෙන්) බලන්න.

^ 11 ඡේ. ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරීමට සුදුසුකම් ලැබීමට නම්, ස්වාමිපුරුෂයෙක් “ගහගන්නෙකු” නොවිය යුතුයි. එනම් අන් අයට වචනයෙන් හෝ ක්‍රියාවෙන් පහර දෙන්නෙකු නොවිය යුතුයි. වර්ෂ 1991 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 21වන පිටුවේ ඒ ගැන මෙසේ සඳහන් වුණා. “වෙනත් ස්ථානවල භක්තිමත් ස්වභාවයකින් ක්‍රියා කරන, නමුත් ගෙදරදී කෲර ලෙස ක්‍රියා කරන්නෙක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ නැත.”—1 තිමෝති 3:2-5, 12.

ඔබට මතකද?

• සත්‍ය නමස්කාරකයන්ගේ විවාහයන් තුළ පවා ගැටලු ඇති විය හැක්කේ ඇයි?

• ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ අවශ්‍යතාවයන් සපුරන බවත් ඇයව ආදරයෙන් රැකබලා ගන්නා බවත් පෙන්විය හැක්කේ කෙසේද?

• තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් ඇති බව පෙන්වීමට භාර්යාවකට හැක්කේ කෙසේද?

• යුවළකට තම විවාහ බැඳීම ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

ස්වාමිපුරුෂයා, තම භාර්යාවට කන්න අඳින්න පමණක් නොව ඇගේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල්ද සැපයිය යුතුයි

[21වන පිටුවේ පින්තූරය]

තම භාර්යාව ආදරයෙන් රැකබලා ගන්නා ස්වාමිපුරුෂයෙක් ඇයව සතුටිත් තබයි

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි භාර්යාවන් තම අදහස් ගෞරවනීයව තම ස්වාමිපුරුෂයාට හෙළි කළ යුතුයි