හිතෝපදේශ 14:1-35

14  ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය.+ නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය.+  ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත.+ නමුත් වංක තැනැත්තා දෙවිව සුළු කොට තකන්නේය.+  අඥානයා උද්ධච්ච ලෙස කතා කරමින් අනුන්ට පහර දෙන පිණිස තම මුඛය වේවැලක් සේ යොදාගනී.+ එහෙත් ප්‍රඥාවන්තයා තම මුවින් ජීවිතය ආරක්ෂා කරගනියි.+  ගවයන් නැති තැන ගවමඩුව පිරිසිදුය. එහෙත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ගවයෙකුගේ ශක්තියෙනි.  විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් බොරු නොකියයි.+ නමුත් බොරු සාක්ෂිකරුවෙකුගේ මුවින් පිට වන්නේ බොරුමය.+  සමච්චල් කරන්නා ප්‍රඥාව සෙව්වත් ඔහුට එය සම්බ නොවේ. නමුත් කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තාට දැනුම ලබාගැනීම පහසුය.+  අඥානයාගෙන් ඈත් වන්න.+ මන්ද ඔහුගේ මුවින් ඔබට දැනුම ලබාගත නොහැක.+  සිහිබුද්ධිය ඇති තැනැත්තාට තමන් යන මඟ ගැන හොඳ වැටහීමක් තිබේ.+ නමුත් අඥානයා තම මෝඩකම නිසා මුළාව ගොස් අන්‍යයන්වත් මුළා කරයි.+  අඥානයෝ තමුන් කරන වැරදි සැහැල්ලුවට ගනිති.+ එහෙත් ප්‍රතිපත්තිගරුක අය අතරේ සාමකාමී සබඳතා පවතී.+ 10  යමෙකුගේ සිතේ තිබෙන වේදනාව දන්නේ ඔහු පමණි.+ ඔහුගේ සිතට දැනෙන සතුට පවා වෙනත් කෙනෙකුට විස්තර කළ නොහැකි තරම්ය. 11  දුෂ්ටයන්ගේ නිවස විනාශ කරනු ලැබේ.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ නිවස දියුණු වෙයි.+ 12  මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+ 13  යමෙකු සිනාසුණත් ඔහුගේ සිතේ ලොකු වේදනාවක් තිබිය හැක.+ විනෝද වීම ශෝකයෙන් කෙළවර විය හැක.+ 14  අවිශ්වාසවන්ත තැනැත්තා තමා කරන දේට අනුව ප්‍රතිඵල ලබන්නේය.+ යහපත් තැනැත්තාද තමා කරන දේට අනුව ප්‍රතිඵල නෙළාගන්නේය.+ 15  අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි.+ නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.+ 16  ප්‍රඥාවන්තයා දෙවි කෙරෙහි ගරුබියක් ඇති නිසා නපුරෙන් ඈත් වෙයි.+ එහෙත් අඥානයා උදහස් වී තම මතයේම එල්බගෙන සිටියි.+ 17  කෝප වීමට ඉක්මන් වන තැනැත්තා මෝඩයෙකු ලෙස හැසිරෙයි.+ හොඳ කල්පනා ශක්තියක් තිබෙන මිනිසා අනුන්ගේ වෛරයට ලක් වෙයි.+ 18  අද්දැකීම් අඩු අය හැසිරෙන්නේ මෝඩයන් ලෙසයි.+ එහෙත් සිහිබුද්ධිය ඇති තැනැත්තා දැනුම ඔටුන්නක් මෙන් පළඳින්නේය.+ 19  දුෂ්ටයා යහපත් මිනිසා ඉදිරියේ දණ නමන්නේය.+ ඔහුට ධර්මිෂ්ඨයාගේ දොරටු ඉදිරියේ දණ නමන්න සිදු වෙයි. 20  දිලින්දාගේ අසල්වැසියෝ පවා ඔහුව හෙළාදකින්නෝය.+ නමුත් පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය.+ 21  තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+ 22  නපුරක් කිරීමට මාන බලන තැනැත්තා මුළාව යන්නේය.+ එහෙත් යහපත කිරීමට උත්සාහ කරන්නා සියල්ලන්ගේ ප්‍රේමය* සහ විශ්වාසය දිනාගන්නේය.+ 23  වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.+ එහෙත් කතාවටම වැටුණොත් අත් වන්නේ අගහිඟකම් පමණි. 24  ප්‍රඥාවන්තයාගේ වස්තුව ඔහුට ඔටුන්නක් මෙන් වෙයි. එහෙත් මෝඩයාගේ ක්‍රියාවන් තව තවත් මෝඩකම්වලට මඟ පාදයි.+ 25  සැබෑ සාක්ෂිකරුවෙක් ජීවිත බේරාගනී.+ එහෙත් බොරු සාක්ෂිකරුවෙකු පවසන්නේ බොරුමය.+ 26  යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට මහත් නිසැකකමක් ඇත.+ ඔහුගේ පුත්‍රයන්ටද ආරක්ෂාවක් ලැබෙනු ඇත.+ 27  යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දැක්වීමෙන් ජීවනය අත් වෙයි.*+ මාරාන්තික උගුල්වලින් ආරක්ෂා වීමටද එය මඟ සලසා දෙයි.+ 28  රජෙකු යටතේ බොහෝ පුරවැසියන් සිටින්නේ නම් ඔහුට මහත් ගෞරවයක් හිමි වෙයි.+ එහෙත් යටත්වැසියන් අඩු වූ විට පාලකයෙකුගේ බලය බිඳ වැටෙයි.+ 29  ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි.+ එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.+ 30  සන්සුන් මනසක් ගතට සුවයකි.+ නමුත් ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි.+ 31  අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය.+ නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.+ 32  දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+ 33  තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි. 34  ධර්මිෂ්ඨකම නිසා ජාතියක් ගෞරවයට පත් වෙයි.+ නමුත් පාපතර ක්‍රියා නිසා ජන සමූහයක්ම නින්දාවට ලක් වෙයි.+ 35  හොඳ අවබෝධයකින් වැඩ කරන සේවකයෙකු රජුට ගෙන දෙන්නේ මහත් සතුටකි.+ එහෙත් ලැජ්ජාසහගතව හැසිරෙන තැනැත්තා ඔහුගේ උදහසට ලක් වෙයි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “ජීවන උල්පතකි.”