Skip to content

පටුනට යන්න

සෑම මිනිසෙකුටම හිමි ගෞරවය සිහිනයක් නොවේ

සෑම මිනිසෙකුටම හිමි ගෞරවය සිහිනයක් නොවේ

සෑම මිනිසෙකුටම හිමි ගෞරවය සිහිනයක් නොවේ

“අපි අලුත් ලෝකයක්, එනම් සියලුම මිනිසුන් එකිනෙකාට සැමවිටම ගෞරව කරන වඩාත් හොඳ ලෝකයක් බිහි කළ යුතුයි.”—අමෙරිකාවේ ජනාධිපති හැරී ටෲමන්, සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියාව, 1945 අප්‍රියෙල් 25.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝදෙනා පිළිගත්තා වගේ ජනාධිපති ටෲමන් පවා පිළිගත්තේ මිනිසාට අතීතයෙන් යමක් ඉගෙනගත හැකි බවයි. ඒ කුමක්ද? එනම් මිනිසුන් එකිනෙකාට ගරු කරන “අලුත් ලෝකයක්” බිහි කිරීමේ අවශ්‍යතාවයි. නමුත් මේ වන තෙක් එවැනි ලෝකයක් බිහි කිරීමට මිනිසාට නොහැකි වීම කනගාටුවට කාරණයක්. “මිනිසුන් එකිනෙකාට සැමවිටම ගෞරව කරන” සමාජයකට හරස් කපන්නේ මිනිසා පමණක්ම නෙවෙයි. ඊට මූලිකම හේතුව මිනිසාගේ පරම සතුරායි.

ප්‍රශ්නයේ අග මුල

ඒ සතුරා නම් සාතන් නමැති යක්ෂයා බව බයිබලය පෙන්වා දෙනවා. මේ දුෂ්ට දූතයා, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ පටන් මුළු විශ්වය පාලනය කිරීමට දෙවි සතු අයිතියට අභියෝග කර තිබෙනවා. ඒදන් නම් උයනේදී සාතන්, ඒව සමඟ කළ කතා බහේදී ඔහුගේ යටි අරමුණ වුණේ මැවුම්කරුට නමස්කාර කිරීමෙන් මිනිසාව ඉවතට හරවාගැනීමයි. (උත්පත්ති 3:1-5) ආදම් සහ ඒව, යක්ෂයාගේ උගුලට අසු වූ විට ඇති වූ විනාශකාරී ප්‍රතිඵල ගැන සිතා බලන්න! දෙවි විසින් කන්න එපා කියූ ගසේ පලය කෑමෙන් ඔවුන් දෙවිගේ නීතියට අකීකරු වුණා. ඒ නිසා දෙදෙනා වහාම “යෙහෝවා දෙවි ඉදිරියෙන් . . . සැඟවුණෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් එසේ කළේ ඇයි? ආදම් මෙහෙම කියනවා. මම “නග්නව සිටි බැවින් භයපත්ව සැඟවුණෙමි.” (උත්පත්ති 3:8-10) ආදම් තම ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිගෙන් දුරස් වූ අතර ඔහුට තමන් ගැනම හැඟුණ විදියත් වෙනස් වුණා. යෙහෝවා දෙවි ඉදිරියේ ඔහුට ඇති වුණේ මහත් ලජ්ජාවක්.

ආදම්ව අගෞරවයට පත් කරන්න යක්ෂයාට වුවමනා වුණේ ඇයි? මිනිසාව දෙවිගේ ගුණාංග සහිතව නිර්මාණය කර ඇති නිසා සාතන්ට අවශ්‍ය වුණේ ආදම් තුළින් දෙවිගේ තේජසට කැළලක් ඇති කිරීමටයි. (උත්පත්ති 1:27; රෝම 3:23) අතීතයේ පටන් මිනිසාට හිමි විය යුතු ගෞරවය හීනවීමට හේතුව ඉන් අපට පැහැදිලියි. “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය” පවත්වන මේ කාලයේදී එවැනි ස්වභාවයකට උල්පන්දම් දී තිබෙන්නේ “මේ සමාජ ක්‍රමයේ දෙවි” වන සාතන් නමැති යක්ෂයායි. (2 කොරින්ති 4:4; දේශනාකාරයා 8:9; 1 යොහන් 5:19) ඉන් අදහස් කරන්නේ මිනිසාට හිමි ගෞරවය කිසිදාක නොලැබෙන බවද?

යෙහෝවා දෙවි මිනිසාට හිමි ගෞරවය දුන්නා

ආදම් සහ ඒව පව් කරන්න පෙර ඒදන් උයනේ තිබූ තත්වය ගැන නැවත සිතන්න. එහි ඔවුන්ට ඇති තරම් කන්න බොන්න තිබුණා. ඔවුන්ට කරන්න තිබුණු වැඩවලින්ද ඔවුන් ලැබුවේ මහත් තෘප්තියක්. ඒ විතරක් නෙවෙයි, ආදම් සහ ඒවටත් ඔවුන්ගේ දරු මුනුබුරන්ටත් තිබුණේ කිසිම අසනීපයකින් තොර නිමක් නැති ජීවිතයක්. (උත්පත්ති 1:28) ඔවුන් ජීවිතයේ භුක්ති විඳි සෑම දෙයකින්ම ඉස්මතු වුණේ මිනිසා සඳහා දෙවිගේ ප්‍රේමණීය මෙන්ම ගෞරවනීය අරමුණයි.

ආදම් සහ ඒව පව් කළ විට දෙවි මිනිසාට දැක්වූ ගෞරවයේ යම් වෙනසක් වුණාද? නැහැ. ඔවුන් නග්නව සිටීමෙන් ඇති වූ ලජ්ජාව ගැන වටහාගත් දෙවි ඒ වන කොටත් ඔවුන් අත්තික්කා කොළ එකට ගොතා සාදාගෙන තිබූ ඇඳුම් වෙනුවට “සම්වලින් [දිග] ඇඳුම් සාදා” දුන්නා. (උත්පත්ති 3:7, 21) දිගින් දිගටම ලජ්ජාවෙන් ඉන්න හරිනවා වෙනුවට දෙවි ඔවුන්ව ගෞරවයෙන් යුතුව සැලකුවා.

පසු කාලයේදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කරන විටත් සමාජයේ ඉතා පහසුවෙන් අගෞරවයට ලක් වන පියා නැති දරුවන්ට, වැන්දඹුවන්ට සහ විදේශිකයන්ට දයානුකම්පාව පෙන්නුවා. (ගීතාවලිය 72:13) උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන් තම ගොයම් කපද්දී, ඔලීව ගස්වලින් සහ මිදි වතුවලින් පල රැස්කරද්දී ඉන් වැටුණු ඒවා හෝ රැගෙන යෑමට අමතක වූ ඒවා නැවත ගැනීමට යන්න එපා කියා දෙවි කිව්වා. ඒ වෙනුවට දෙවි අණ කළේ “ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය” කියායි. (ද්විතීය කතාව 24:19-21) සෙනඟ එම නීති අදාළ කරගත් විට, තමන් අතර සිටි දිලිඳු අය සිඟමන් අයදින්නේ නැතිව ඒවා එකතු කරගැනීමෙන් යම් ගෞරවාන්විත වැඩක් කළා.

යේසුස් අන්‍යයන්ට ගෞරව කළා

දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් පවා මේ පොළොව මත සිටියදී අන්‍යයන්ට ගෞරව කළා. උදාහරණයකට ගලීලය නම් නගරයේ ඔහු සිටින විට ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ රෝගියෙක් ඔහු වෙතට ආවා. දෙවි මෝසෙස්ට දුන් නීතියට අනුව එවැනි රෝගියෙක් ගමන් කරන විට, අන්‍යයන්ට එය බෝවීමෙන් වැළැක්වීම සඳහා තමා “අපවිත්‍රය, අපවිත්‍රයයි!” කියා කෑගැසිය යුතු වුණා. (ලෙවී කතාව 13:45) කෙසේනමුත් මේ අවස්ථාවේදී ඔහු යේසුස් වෙතට එද්දී එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු, යේසුස් ඉදිරියේ මුණින් වැටී අයැද සිටියේ “ස්වාමිනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්” කියායි. (ලූක් 5:12) යේසුස් මොනවාද කළේ? නීතිය කඩ කරමින් ඔහු කළ වරදට බැණ වැදුණාද? එහෙම නැත්නම් ඒ මිනිසාව ගණන් නොගෙන මඟහැර ගියාද? නැහැ. ඒ වෙනුවට ඔහුට හිමි ගෞරවය දෙමින් ඒ රෝගියා මත කාරුණිකව තම අත තබමින් යේසුස් කිව්වේ “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියායි.—ලූක් 5:13.

වෙනත් අවස්ථාවලදී යේසුස් මෙවැනි සුව කිරීම් කළේ රෝගියාව ස්පර්ශ කරන්නේවත් නැතිවයි. සමහර වෙලාවට රෝගියාගේ ළඟටවත් යන්නේ නැතිවයි. නමුත් ඉහත සඳහන් සිද්ධියේදී ඔහු ඒ රෝගියා මත අත තැබුවා. (මතෙව් 15:21-28; මාක් 10:51, 52; ලූක් 7:1-10) මේ මිනිසාගේ “ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර” තිබුණු නිසා අවුරුදු ගණනාවකට කිසිවෙකු ඔහුව ස්පර්ශ කර තිබුණේ නැති බව සහතිකයි. නමුත් කාලයකට පස්සේ නැවතත් තවත් මිනිසෙකු තමාව ස්පර්ශ කරද්දී එය ඔහුට කොහොම දැනෙන්න ඇද්ද! ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේ තමාගේ රෝගය සුව කරගැනීම පමණයි. ඒ වුණත් යේසුස් ඔහුව සුව කළ ආකාරයෙන් ඔහුගේ රෝගය සුවවීමට වඩා වැඩි දෙයක් ඉටු වුණා. එනම් ඒ මිනිසාට හිමි ගෞරවය නැවත ඔහුට ලබා දීමයි. මිනිසාට ගරු කිරීම සම්බන්ධයෙන් දක්වන එවැනි සැලකිල්ලක් අද දින අපිට දක්නට තිබෙනවාද? එවැනි ගෞරවයක් තිබෙනවා නම් අපි එය පෙන්වන්නේ කොහොමද?

ගරු කිරීමට මඟ පාදන අණ

යේසුස් පැවසුවේ “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය” කියායි. එය හඳුන්වන්නේ රන් අණ ලෙසයි. (මතෙව් 7:12) ඒ උපදෙස බොහෝදෙනෙක් සලකන්නේ මිනිසුන් අතර ඇති බැඳීම් ශක්තිමත් කරගැනීමට උපකාර වන සුප්‍රකට උපදේශයක් ලෙසයි. පුද්ගලයෙක් අන්‍යයන්ගෙන් තමාට ගෞරවය ලබාගන්න කැමති නම් තමාද අන්‍යයන්ට ගරු කළ යුතු බව එය පෙන්වයි.

නමුත් ඉතිහාසය දෙස බලද්දී ඒ අණ ක්‍රියාත්මක වී නැති තරම්. හැරල්ඩ් ලෙස අපි හඳුන්වන තැනැත්තාගේ අද්දැකීම සලකා බලන්න. “මම ඒ දවස්වල අනිත් අයට කැපෙනසුලු කතා කියන්න හරිම කැමතියි. මං වචන දෙක තුනක් කියන කොට ඒ අයගේ මුහුණු ලජ්ජාවෙන් රතු වෙනවා. සමහරු අඬලත් තියෙනවා.” නමුත් දැන් හැරල්ඩ් වෙනස්. අනිත් අයට සලකන විදිය වෙනස් කරගන්න හැරල්ඩ්ට හේතු වූ කාරණය ගැන ඔහු මෙහෙම කියනවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක්ම මාව බැහැදකින්න ආවා. මං ඒ අයට කරපු කියපු දේවල් ගැන කල්පනා කරන කොට මට මං ගැනම ලජ්ජා හිතෙනවා. නමුත් සාක්ෂිකරුවෝ දිගටම මාව බැහැදකින්න ආවා. ටිකෙන් ටික බයිබලයේ ඉගැන්වීම් මට වැටහෙද්දී මං වෙනස් වෙන්න පටන්ගත්තා.” දැන් හැරල්ඩ් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා.

ඒ අද්දැකීමෙන් මේ වචන කොයි තරම් සත්‍යයක්ද කියන එක පැහැදිලියි. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇටමිදුලුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12) පුද්ගලයෙක් සිතන විදිහ සහ ක්‍රියා කරන විදිහ නිවැරදි කරන්න තරම් දෙවිගේ වචනය බලවත්. අන්‍යයන්ට හිමි ගෞරවය ලබා දීමේ රහස ඉගෙනගන්න. අන් අයගේ හිත රිද්දනවා වෙනුවට මුළු හිතින්ම ඔවුන්ට උදව් කරන්න. අවමන් කරනවා වෙනුවට ගරු කරන්න.—ක්‍රියා 20:34; රෝම 12:10.

සියල්ලන්ටම හිමි ගෞරවය නැවතත්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුම මිනිසුන්ට බයිබලයේ තිබෙන පොරොන්දුව ගැන කතා කරනවා. එසේ කරන්නේ අන්‍යයන්ට හිමි ගෞරවය දීමට ඔවුන්ට තිබෙන කැමැත්ත නිසයි. (ක්‍රියා 5:42) කෙනෙකුට හිමි ගෞරවය දීමට හැකි හොඳම ක්‍රමය නම් “යහපත් දේ ගැන යහපත් ආරංචිය” ඔවුන් වෙතට ගෙන යෑමයි. (යෙසායා 52:7) මෙම ‘යහපත් දේට’ අයත් වන්නේ “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගැනීමයි. එමගින් කෙනෙකුට ඇති ‘අනතුරුදායක ආශාවක්’ වන අවමන් කිරීමේ නැඹුරුවාව නසා දැමීමට උපකාර වෙනවා. (කොලොස්සි 3:5-10) එම යහපත් ආරංචියට තවත් දෙයක් අයත් වෙනවා. එනම් මිනිසාට හිමි ගෞරවය උදුරාගන්නා හේතුසාධක සහ ආකල්ප වගේම එවැනි දේට පොලඹවන සාතන් නමැති යක්ෂයාවත් ඉතා ඉක්මනින් තුරන් කර දැමීමයි. එය යෙහෝවා දෙවිගේ අරමුණයි. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10; එළිදරව් 20:1, 2, 10) සියල්ලන්ටම හිමි ගෞරවය ලැබෙන්නේ ‘යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන’ ඒ කාලයේදී පමණයි.—යෙසායා 11:9.

මේ විශිෂ්ට පොරොන්දුව ගැන ඉගෙනගන්න කියා අප ඔබට ආරාධනා කරනවා. බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කරගෙන අන් අයට හිමි ගෞරවය දෙන ආකාරය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබටම දැකගන්න පුළුවන්. ඒ වගේම දේවරාජ්‍යය මගින් “සියලුම මිනිසුන් එකිනෙකාට සැමවිටම ගෞරව කරන” ‘වඩාත් හොඳ ලෝකයක්’ බිහි කරන්නේ කෙසේද කියාත් ඉගෙනගන්න ඔබට පුළුවන්. එය සිහිනයක් නොව සැබෑවක්!

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවිට විශ්වාසවන්තව සිටීම අපේ ගෞරවය රැක දුන්නා

දෙවන ලෝක යුද්ධය සමයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් 2,000දෙනෙකුට වැඩි පිරිසක් නාට්සි ගාල් කඳවුරුවල සිර බත් කෑවේ ඔවුන්ගේ ඇදහිල්ල නිසයි. ඒ නොසැලෙන ස්ථාවරය ගැන රාවන්ස්බෲක් ගාල් කඳවුරේ සිරකාරියක්ව සිටි ගෙමා ලග්වාදියා ග්ලූක් තමන්ගේ පොතේ මෙහෙම සඳහන් කරනවා. “එක අවස්ථාවකදී නිලධාරියෙක් කිව්වා තමන්ගේ විශ්වාසයන් අත්හැර ඒ ලියවිල්ලට අත්සන් තබන ඕනෑම බයිබල් ශිෂ්‍යයෙකුව නිදහස් කරන බව. එහෙම කරන අයට තවදුරටත් වධ හිංසා විඳින්න සිදු වෙන්නේ නැහැ කියලත් කිව්වා.” (My Story නම් පොත) ඒ ලියවිල්ලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ අය ගැන ඇය මෙහෙම සඳහන් කරනවා. “ඔවුන් වධ හිංසා විඳින්න තෝරාගත් අතර ඔවුන්ගේ ගැලවීම ලැබෙන ඒ දවස එන තෙක් ඉසීමෙන් යුතුව බලා සිටියා.” ඔවුන් එලෙස ක්‍රියා කළේ ඇයි? දැන් අසූගණන්වල පසු වෙන කලින් ලිපියේ සඳහන් කළ මග්දලේනා ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති කඩලා ජීවත් වෙනවාට වඩා ඔහුට පක්ෂව සිට මැරෙන එක හොඳයි. දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අපේ ගෞරවය රැකෙනවා.” *

[පාදසටහන]

^ 23 ඡේ. කුසේරෝ පවුල ගැන සවිස්තරාත්මකව දැනගන්න 1985 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ 10-15 දක්වා පිටු බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

යේසුස් තමා සුව කළ අයට හිමි ගෞරවය දුන්නා

[7වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් “යහපත් දේ ගැන යහපත් ආරංචිය” බෙදා දීමෙන් අන්‍යයන්ට ගෞරවය දෙයි