Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

මිනිස්සු දෙවියන්ගෙන් අහන්න කැමති ප්‍රශ්න 3ක්

මිනිස්සු දෙවියන්ගෙන් අහන්න කැමති ප්‍රශ්න 3ක්

සූසන්ට දෙවියන් ගැන විශ්වාසය අඩු වෙන්න පටන්ගත්තේ අවුරුදු හතේදියි. එහෙම වුණේ එයාගේ හොඳම යාළුවා ඇල්ට පෝලියෝ හැදිලා යකඩ පෙණහල්ලක ජීවත් වෙන්න සිද්ධ වුණ නිසයි. එතකොට ඇල්ගේ වයස අවුරුදු 9යි. සූසන් ඒ විස්තරය 2013 ජනවාරි මාසයේ පුවත්පතක (The New York Times) පළ කළා.

දවසක් ඇල්ව බලන්න ගිය වෙලාවේ සූසන් එයාගේ අම්මගෙන් මෙහෙම ඇහුවා. “පොඩි ළමයෙක්ට මේ වගේ දෙයක් වෙන්න දෙවියන් ඉඩ හැරියේ ඇයි?”

“පූජකයන් නම් කියන්නේ දෙවියන්ට ඒකට හොඳ හේතුවක් තියෙනවා කියලා. ඒත් මම නං ඒ හේතුව දන්නේ නෑ” කියලා අම්මා කිව්වා.

ඇල් ලෙඩ වෙලා අවුරුදු දෙකකට පස්සේ පෝලියෝ එන්නත හොයාගත්තා. ඒ ගැන සූසන්ගේ අම්මා කිව්වේ සමහරවිට ඒ එන්නත හොයාගන්න උදව් කරන්න ඇත්තේ දෙවියන් කියලයි.

“දෙවියන්ට එහෙම කරන්න තිබුණේ කලින්. එහෙම වුණා නම් ඇල්ට යකඩ පෙණහල්ලක ජීවත් වෙන්න ඕන වෙන්නේ නැහැ” කියලා සූසන් කිව්වා.

සූසන් එයාගේ අද්දැකීම අවසන් කළේ මෙහෙමයි. “ඇල් අවුරුදු අටකට පස්සේ මැරුණා. ඒ වෙනකොට මට දෙවියන් ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලයි තිබුණේ.”

අද ඉන්න ගොඩක් අය වේදනාකාරී දේවල් අද්දකිනවා. ඒත් සූසන්ට වගේ ඒ අයටත් ‘දෙවියන් මිනිසුන්ට දුක් විඳින්න ඉඩ හැරලා තියෙන්නේ ඇයි’ කියන ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ. ඒ නිසා සමහර අය දෙවි කෙනෙක් ඉන්නවා කියලා කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. තවත් අය දෙවි කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් ඒ ගැන සැක කරනවා.

දෙවියන්ව විශ්වාස කරන්නේ නැති අය හා දෙවියන් ඉන්නවා කියන එක ගැන සැක කරන අය ආගම් ගැන නොදන්න අය නෙමෙයි. සමහරවිට ඔවුන් ඒ තත්වෙට පත් වෙලා තියෙන්නේ ඔවුන් අදහන ආගම නිසා වෙන්න ඇති. මොකද උත්තර දැනගන්න ඕන කරලා තිබුණු සමහර වැදගත් ප්‍රශ්නවලට ඔවුන්ගේ ආගමෙන් හරි උත්තරයක් ලැබිලා නැහැ. ඒත් පුදුමේ කියන්නේ ඒ අයට විතරක් නෙමෙයි දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා කියලා කියන අයත් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දන්නේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් මිනිසුන් දෙවියන්ගෙන් අහන්න කැමති වෙයි කියලා හිතන්න පුළුවන් ප්‍රශ්න තුනක් හා ඒවාට බයිබලයෙන් දෙන පිළිතුරු බලමු.

1 “දුක් වේදනාවලට ඉඩ හැරලා තියෙන්නේ ඇයි?”

ඇයි එහෙම අහන්නේ?

හුඟක් අය හිතන්නේ ‘දෙවියන් ප්‍රේමණීය කෙනෙක් නම් දුක් වේදනා ඇති වෙන්න ඉඩ හරින එකක් නැහැ’ කියලයි.

ටිකක් හිතන්න. විවිධ සංස්කෘතිවල ඉන්න අයට එකම දේ ගැන තියෙන්නේ විවිධ අදහස්. උදාහරණයකට එක කට්ටියක් කියනවා කතා කරද්දී අනිත් කෙනාගේ ඇස් දෙක දිහා බලනවා නම් ඒකෙන් එයාගේ අවංකකම ඔප්පු වෙනවා කියලා. ඒත් තවත් සංස්කෘතියක අය කියන්නේ ඇස් දිහා බලාගෙන කතා කරන එක අගෞරවයක් කියලයි. ඒත් අපි ඒ සංස්කෘති ගැන දන්නවා නම් අපි ඒ කා ගැනවත් වැරදියට හිතන්නේ නැහැ.

ඒ හා සමානව මිනිස්සුන්ට දෙවියන් ගැන හරි අවබෝධයක් තියෙනවා නම් ඔහු ගැන වැරදියට හිතන්නේ නැහැ. මිනිසුන් දුක් විඳින එකෙන් ඔප්පු වෙන්නේ දෙවි කෙනෙක් නැහැ කියන එකයි කියලා සමහරු හිතනවා. ඒත් දුක් වේදනාවලට දෙවියන් ඉඩ හැරලා තියෙන හේතුව ගැන දන්න අය එහෙම හිතන්නේ නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. දෙවියන් හිතන විදිහ හා ක්‍රියා කරන විදිහ අපිට වඩා ගොඩක් වෙනස්. (යෙසායා 55:8, 9) ඒ නිසා දෙවියන් ක්‍රියා කරන විදිහවත් දේවල් කරන්න මේ තරම් කාලයක් ගන්නේ ඇයි කියන එකවත් අපිට එකපාරටම තේරුම් ගන්න බැහැ.

ඒත් එහෙමයි කියලා දෙවියන් ගැන හොයන එක නතර කරන්න එපා. බයිබලයේ අපිට උනන්දු කරන්නේ දෙවියන් ගැන හොයලා බලන්න කියලයි. එතකොට දෙවියන් යම් දේවල් කරන්නේ ඇයි කියලත් කරන්නේ කොයි වෙලාවේදීද කියලත් තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි. * එහෙම කරද්දී දෙවියන්ට ළං වෙන්නත් ඒක උදව් වෙයි.—යාකොබ් 4:8.

2 “ආගම් අදහනවා කියන අය කුහක විදිහට වැඩ කරන්නේ ඇයි?”

ඇයි එහෙම අහන්නේ?

‘දෙවියන් අවංක නම් දෙවියන්ට නමස්කාර කරන අයත් අවංක වෙන්න ඕන නේද’ කියලා සමහරු හිතනවා.

ටිකක් හිතන්න. තාත්තා කෙනෙක් පුතෙක්ට හරි මාර්ගය කියලා දීලා ආදරයෙන් හදා වඩා ගන්නවා. ඒත් ඒ පුතා ගෙදරින් පිට වෙලා යනවා. ඒකට තාත්තා අකැමති වුණත් පුතාව නවත්තන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ පුතා නරක ජීවිතයක් ගත කරනවා. ඒ නිසා එයාට තාත්තා කෙනෙක් නැහැ කියලා කියන එක හරිද? එහෙමත් නැත්නම් පුතාගේ වැරදිවලට තාත්තට බණින එක හරිද? නැහැ. ඒක වැරදියි. ඒ හා සමානව අද ආගම්වලින් කරන කුහක දේවල්වලටත් වග කියන්න ඕන දෙවියන් නෙමෙයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. දෙවියන් මිනිසුන්ට තීරණ ගැනීමේ නිදහස දීලා තියෙනවා. ඒත් ඒ නිදහස මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ වැරදි විදිහටයි. ඒ නිසා දෙවියන්ව විශ්වාස කරනවා කියන සමහර ආගම් පවා තමන්ට ඕන ඕන විදිහට ආගමික ඉගැන්වීම් හා හරි වැරැද්ද ගැන ප්‍රමිති හදාගෙන තියෙනවා. (මතෙව් 15:7-9) ආගම්වලින් කරන මේ කුහකකම් දෙවියන් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.—යෙරෙමියා 7:29-31; 32:35.

ඒත් දෙවියන් අනුමත කරන ආගමේ අය කුහක නැහැ. * “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා යේසුස් කිව්වා. (යොහන් 13:35) ඒ ප්‍රේමය “කුහකකමින් තොර” එකක් වෙන්න ඕන කියලත් බයිබලයේ කියනවා. (රෝම 12:9) අද තියෙන හුඟක් ආගම් එයාලා උගන්වන දේට අනුව ක්‍රියා කරන්නේ නැහැ. මේ උදාහරණය බලන්න. 1994දී රුවන්ඩාවේ ගෝත්‍ර අතර ගැටුමක් ඇති වුණා. ඒ අවස්ථාවේදී එකම ආගමේ අය, ගෝත්‍රය වෙනස් නිසා එකිනෙකාව මරාගත්තා. ඒත් ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එහෙම කළේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිත පරදුවට තියලා අනිත් ගෝත්‍රයේ අයව බේරගත්තා.

3 “අපේ ජීවිතේ අරමුණ මොකක්ද?”

ඇයි එහෙම අහන්නේ?

‘මිනිස් ජීවිතේ කියන්නේ අවුරුදු 80ක් 90ක් වගේ කෙටි කාලයක් ඉඳලා මැරිලා යන එකද’ කියලා සමහර අය හිතන නිසයි.

ටිකක් හිතන්න. ගොඩක් අය දෙවියන්ව විශ්වාස කරන්නේ නැති වුණත් විශ්වයේ සංකීර්ණත්වයත් හැම දෙයක්ම පිළිවෙළට වෙනවා කියන එකත් පිළිගන්නවා. මේ පොළොව මිනිස් වාසයට සුදුසුම තැන වෙලා තියෙන්නේ පෘථිවිය, අනෙකුත් ග්‍රහලෝක හා සඳ නියමිත ස්ථානවල පිහිටලා තියෙන නිසයි කියලත් ඔවුන් පිළිගන්නවා. භෞතික නීති තිතටම ක්‍රියාත්මක වෙනවා කියලත් ඒවායේ සුළු වෙනසක් වුණොත් මේ පෘථිවිය ජීවත් වෙන්න බැරි තැනක් බවට පත් වෙනවා කියලත් ඔවුන් දන්නවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. මිනිසුන් කෙටි කාලයක් ජීවත් වෙලා මැරිලා යන නිසා දෙවි කෙනෙක් නැහැ කියලා හුඟක් අය හිතුවත් අවට ලෝකය දිහා බැලුවාම දෙවි කෙනෙක් ඉන්නවා කියලා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. (රෝම 1:20) දෙවියන් හැම දෙයක්ම හදලා තියෙන්නේ අරමුණක් ඇතුවයි. මිනිසුන්ව නිර්මාණය කරද්දීත් දෙවියන්ට අරමුණක් තිබුණා. බයිබලයේ කියන්නේ දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන් විදිහට කියලයි. දෙවියන් අරමුණු කළ ඒ දේ ළඟදීම ඉටු වෙනවා.—ගීතාවලිය 37:11, 29; යෙසායා 55:11.

දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ගැනත් දෙවියන්ගේ සමහර ගුණාංග ගැනත් අවට ලෝකයෙන් දැනගන්න පුළුවන්. ඒත් ඒවායින් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර දැනගන්න බැහැ. ඒකට උත්තරේ දෙවියන්ම කියන්න ඕනේ. ඒ උත්තරය තියෙන්නේ බයිබලයේ. * ඒ නිසා ජීවිතේ අරමුණ මොකක්ද කියලා ඔයාත් දැනගන්න කැමති නම් ඒ ගැන බයිබලයේ කියන දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අහලා දැනගන්න ඔයාටත් පුළුවන්.

^ 17 ඡේ. දෙවියන් දුක් වේදනාවලට ඉඩ හරින හේතුව ගැන දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. මෙය www.jw.org/si වෙබ් අඩවියෙත් තියෙනවා.

^ 23 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 15වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.jw.org/si වෙබ් අඩවියෙත් තිබෙනවා.

^ 29 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.jw.org/si වෙබ් අඩවියෙත් තිබෙනවා.