Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

දෙවියන්ට නමස්කාර කළ යුත්තේ පිරිසක් සමඟද?

දෙවියන්ට නමස්කාර කළ යුත්තේ පිරිසක් සමඟද?

ආගමකට සම්බන්ධ නොවී තම නිවසේ සිටම දෙවියන්ට නමස්කාර කිරීම හොඳයි කියා ඔබට සිතෙනවා නම් එලෙස හැඟෙන්නේ ඔබට පමණක් නොවෙයි. එසේ සිතන බොහෝදෙනෙක් ආගමකට සම්බන්ධ නොවී සිටිනවා.

සමහරුන් ආගමික සංවිධානවල සිදු වන බොරුව හා වංචනික ක්‍රියා නිසා ආගම්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් අය සිතන්නේ ආගම්වල තියෙන සැලැස්මට අනුව නමස්කාරයේ යෙදීම කරදරයක් කියායි. තවත් සමහරෙකු සිතන්නේ සංවිධානාත්මක සැලැස්මකින් සිදු වන්නේ දෙවියනුත් ඔහුගේ නමස්කාරකයනුත් අතර සම්බන්ධයක් ඇති කිරීම පමණක් කියායි. එවැනි දෙයක් අත්‍යවශ්‍ය නැති බවත් ඔවුන් කියා සිටියි. බයිබලයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ කුමක්ද?

අතීතයේදී නමස්කාර කළ අයුරු

පුරාණයේ විසූ දෙවිගේ සේවකයන් වන ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වැනි අය දෙවිට නමස්කාර කළ ආකාරය ගැන පැහැදිලි විස්තරයක් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට යෙහෝවා දෙවි පැවසූ මේ දේ සලකා බලන්න. “මම ආබ්‍රහම්ව හොඳින් දැන හඳුනා ගෙන සිටිමි. යෙහෝවා වන මා පෙන්වන මාර්ගයේ ගමන් කිරීමටත් ධර්මිෂ්ඨකම සහ යුක්තිය ඉටු කිරීමටත් ඔහුගේ පුත්‍රයන්ට හා ඔහුගෙන් පැවතෙන සියලුදෙනාට උගන්වන පිණිස මම ඔහුව තෝරාගත්තෙමි.” (උත්පත්ති 18:19) ඉන් පැහැදිලි වන්නේ ආබ්‍රහම්ට දෙවි සමඟ සමීප බැඳීමක් තිබුණු බවයි. දෙවි ඔහුව සැලකුවේ තමන්ගේ මිත්‍රයෙක් ලෙසයි. නමුත් ඔහු පවුලේ අය සමඟත් නමස්කාරයේ හවුල් වුණා. ඒ හා සමානව අතීතයේ විසූ දෙවිගේ වෙනත් සේවකයනුත් ඔවුන්ගේ පවුලේ අය, ඥාතීන් හා ඔවුන් යටතේ සේවය කළ අය එක්ක කණ්ඩායමක් හැටියට දෙවිට නමස්කාර කළා.

පසු කාලයේදී දෙවි ඊශ්‍රායෙල් ජාතියටත් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ටත් පැවසුවේ නමස්කාරය සඳහා එක් රැස් වෙන්න කියායි. (ලෙවී කතාව 23:2, 4; හෙබ්‍රෙව් 10:24, 25) එසේ ඔවුන් එක් රැස් වූ අවස්ථාවලදී ගීතිකා ගායනා කළා, ශුද්ධ ලියවිල්ලේ කොටස් කියෙව්වා, දෙවිට යාච්ඤා කළා. (නෙහෙමියා 8:1-8; කොලොස්සි 3:16) ඒ වගේම සෙනඟ අතරේ සිටි සුදුසුකම් ලත් පුරුෂයන් නමස්කාර කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කළා.—1 තිමෝති 3:1-10.

එක් රැස් වීමෙන් ලැබෙන ප්‍රයෝජන

ඉහත සඳහන් කළ උදාහරණවලින් පෙනී යන්නේ අද දිනත් එකට එකතු වී දෙවිට නමස්කාර කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වන බවයි. එසේ නමස්කාර කිරීමෙන් අපට යම් ප්‍රයෝජන තිබෙනවා.

උදාහරණයකට අවංකව දෙවිට නමස්කාර කරන කෙනෙකුව සමාන කර තිබෙන්නේ අවහිරකම් තිබෙන පටු මාර්ගයක ගමන් කරන කෙනෙකුට මෙන්ම ධාවන තරඟයක යෙදෙන කෙනෙකුටයි. (මතෙව් 7:14; 1 කොරින්ති 9:24-27) ධාවකයෙක් දුෂ්කර පාරක තනියම බොහෝ දුරක් දුවනවා නම් ඔහු වෙහෙසට පත් වී ධාවන පථයෙන් ඉවත් වීමට තිබෙන ඉඩකඩ වැඩියි. නමුත් ඔහුව දිරිමත් කිරීමට කවුරුන් හෝ සිටිනවා නම් තරඟයේ දිනුම් කණුව කරා දිවීමට ඔහුට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ හා සමානව දෙවි සතුටු වන ආකාරයෙන් නමස්කාර කිරීමට වෑයම් කරන පුද්ගලයෙකුට කොතරම් දුෂ්කරතා පැමිණියත් සෙසු නමස්කාරකයන්ගෙන් ලැබෙන දිරිගැන්වීම නිසා දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමට ඔහුට හැකියි.

බයිබලයේ හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් මේ වදන්වලින් එහි සත්‍යතාව තහවුරු වෙයි. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින්  ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. . . . එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි.” ඇත්තෙන්ම බයිබලයේ සඳහන් වෙන්නේ අවංකව දෙවිට නමස්කාර කරන අය එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් එක්සත්ව නමස්කාර කළ යුතු බවයි.

එෆීස 4:2, 3හි සඳහන් වන්නේ එකිනෙකා අතර ප්‍රේමය හා සමාදානය තිබිය යුතු බවයි. එහි මෙසේ සඳහන් වෙනවා. “ඔබ නිතරම නිහතමානිකමින්, මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින් සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින් සිටිය යුතුයි. එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දැරිය යුතුයි.” ඒත් ඔබ නිවසේ තනියම සිට දෙවිට නමස්කාර කරනවා නම් ඒ උපදෙස ඔබ අදාළ කරගන්නේ කොහොමද?

ඉන් එක් දෙයක් පැහැදිලියි. එනම් දෙවි සතුටු වෙන්නේ අප සෙසු නමස්කාරකයන් සමඟ එකට එකතු වී එක පවුලක් මෙන් දෙවිට නමස්කාර කරනවා දැකීමටයි. දෙවිගේ නමස්කාරකයන්ට බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ ඔවුන් පවසන දේවල් අතර එකඟතාවක් තිබීමටත් භේද ඇති නොවීමටත් ‘එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමටත්’ පුරුදු වන්න කියායි. (1 කොරින්ති 1:10) තනි තනියම නමස්කාර කරන එකට දෙවි සතුටු නම් එවැනි උපදෙසක් ලබා දෙයිද?

එසේනම් කණ්ඩායමක් වශයෙන් එකට එකතු වී දෙවිට නමස්කාර කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වන බව පැහැදිලියි. එසේ නමස්කාර කරනවා නම් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ඔබ තුළ තිබෙන ආශාව දෙවි ඉටු කරයි.—මතෙව් 5:3.

කෙසේවෙතත් අද ලෝකයේ තිබෙන බොහෝ ආගම්වල දූෂිත ක්‍රියා සිදු වන බව සත්‍යයක්. ඉන් අදහස් කරන්නේ ලෝකයේ තිබෙන සෑම ආගමක්ම වැරදියි කියාද? නැහැ. මිනිසුන්ට සැබෑ ප්‍රේමය පෙන්වන, දෙවිගේ ප්‍රතිපත්ති කුමක්ද කියා මිනිසුන්ට අවබෝධ කර දෙන සැබෑ ආගමක් ලෝකයේ තිබිය යුතුයි. එවැනි ආගමකට හැකියි යම් පුද්ගලයෙකු තුළ දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයක් ඇති කරන්න. එය හඳුනාගැනීමට බයිබලයෙන් යම් උපකාර ලබාගත හැකියි.