Skip to content

පටුනට යන්න

මානසික පීඩනය පාලනය කිරීම

මානසික පීඩනය පාලනය කිරීම

මානසික පීඩනය පාලනය කිරීම

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව” බයිබලයේ සඳහන් කර තිබෙනවා. (2 තිමෝති 3:1) ඇත්තෙන්ම අප සියලුදෙනාම දැඩි මානසික පීඩනයකට මුහුණ දෙන්නේ අප එවැනි කාලයක ජීවත් වන නිසයි.

ගින්නක් විශාල ලෙස පැතිර ගිය පසු එය නිවා දමනවාට වඩා ගින්න ඇවිළුණ සැණින් නිවා දැමීම පහසු බව ඔබ දන්නවා ඇති. ඒ හා සමානව කාලයක් පුරා පවතින මානසික පීඩනය පාලනය කරනවාට වඩා එය මුල් අවදියේම පාලනය කරගැනීම පහසුයි. ඒ ගැන එක් වෛද්‍යවරියක් මෙසේ පැවසුවා. “අපි කොතරම් කාර්යබහුල වුණත් මානසික පීඩනය පාලනය කිරීම සඳහා සෑම දවසකම යම් කාලයක් වෙන් කිරීම අත්‍යවශ්‍යයි.” *

සෑම දවසකම මානසික පීඩනය පාලනය කිරීම සඳහා යම් කාලයක් වෙන් කිරීමෙහි ප්‍රයෝජන දෙකක් තිබෙනවා. (1) ඊට හේතු වන දේවල් අවම කරගැනීමට හැකිවීම, (2) මානසික පීඩනය ඇති වූ විට ඊට අප දක්වන ප්‍රතිචාරය පාලනය කිරීමට හැකි වීම.

ඇත්තටම මානසික පීඩනය පාලනය කරගැනීමට බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අපට උපකාරවත් වෙනවාද?

බයිබලයේ සඳහන් වටිනා මඟ පෙන්වීම්

අපගේ නිර්මාතෘ සපයා ඇති සහනය ගෙන දෙන අදහස්වලින් බයිබලය පිරී තිබෙන අතර එයින් වටිනා මඟ පෙන්වීම් ලබාගත හැකියි. ඇත්තෙන්ම අපගේ මානසික පීඩනයෙන් සහනයක් ලැබීමට එය විශාල උපකාරයක්. එමෙන්ම ‘භය නොවී, තැති නොගෙන’ කටයුතු කිරීමටත් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීමටත් එය අපට විශාල ශක්තියක්.—යොෂුවා 1:7-9.

යෙහෝවා දෙවි “ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බව” දැනගන්න ලැබීම මානසික පීඩනය අඩු කරගැනීමට උපකාරයක්. (යාකොබ් 5:11) කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්යවරියක් වන පැට්‍රීෂියා ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවිගේ අරමුණු ගැන සහ ඔහු ඒවා ඉටු කර තිබෙන පුදුමාකාර විදිහ ගැන කල්පනා කරන එක මගේ මානසික පීඩනය අඩු කරගන්න උපකාරවත් වෙලා තියෙනවා.”

එදා යේසුස්ගේ කාලයේ ජීවත් වූ බොහෝදෙනෙක් ඉතා පීඩිත තත්වයකට මුහුණ දුන්නා. නමුත් යේසුස් පැවසූ මේ කාරුණික වචන හා ඔහුගේ සැලකිල්ල ඔවුන්ට මොන තරම් සහනයක් වෙන්න ඇද්ද! “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි.”—මතෙව් 11:28-30.

යේසුස් තමා පැවසූ දේට එකඟව ක්‍රියා කරමින් තම අනුගාමිකයන්ගේ හැඟීම් හා අවශ්‍යතාවන් ගැන ඉතා සැලකිලිමත් වුණා. ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් වෙහෙසට පත් වී සිටි අවස්ථාවලදී ඔවුන්ට විවේකයක් ගන්න කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (මාක් 6:30-32) දැන් ස්වර්ගයේ පිහිටුවා තිබෙන දේවරාජ්‍යයේ රජු වන ඔහුට, අප මුහුණ දෙන දැඩි මානසික පීඩනය හොඳින් තේරෙන බව අපට ස්ථිරයි. ඒ නිසා “උපකාර අවශ්‍ය වේලාවේදී” ඔහු අපට එය ලබා දෙනවා.—හෙබ්‍රෙව් 2:17, 18; 4:16.

අදහස් හුවමාරුවේ වැදගත්කම

මානසික පීඩනය අඩු කරගැනීමට තවත් වැදගත් ක්‍රමයක් වන්නේ අන් අය සමඟ හොඳ අදහස් හුවමාරුවක් පැවැත්වීමයි. ඒ ගැන බයිබලයේද මෙසේ සඳහන් වෙනවා. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 15:22) ඒ අනුව ඔබ මුහුණ දෙන ගැටලු ගැන ඔබේ විවාහ සහකරු හෝ මිතුරෙකු සමඟ කතා කළ හැකියි. එයින් සහනයක් ලැබෙන බව බොහෝදෙනාගේ අද්දැකීමයි.

නමුත් ඔබේ “සිතේ තිබෙන දේ” හෙළි කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා ඔබේ ගැටලුව ගැන ඔහුට පවසන්න. එසේ කිරීමෙන් “කිසි දෙයක් ගැන කනස්සලු” නොවී සිටීමට එය ඔබට විශාල උපකාරයක්. බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබෙන්නේ තමන්ගේ ගැටලු ගැන දෙවිට පැවසීමෙන් ‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක් තමන්ට භුක්ති විඳින්න හැකි වී තිබෙන බවයි.’ ඒ තුළින් එවැනි අයගේ ‘හදවතත් මනසත් ආරක්ෂා’ වෙන බව බයිබලයේ සඳහන් වෙනවා.—ෆිලිප්පි 4:6, 7; හිතෝපදේශ 14:30.

මානසික පීඩනය ගැන එක් පොතක මෙවැනි අදහසක් පළ වුණා. “නිතරම සෑම දෙයක්ම තනියෙන් කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට වඩා අන් අයගෙන් උපකාර ලබන පුද්ගලයන් මානසික පීඩනයට හොඳින් මුහුණ දෙනවා වගේම හොඳ මානසික තත්වයකින්ද පසු වෙනවා.” ඒ අනුව මානසික පීඩනයට මුහුණ දෙන අයට උපකාර ලැබිය හැකි හොඳම ක්‍රමය වන්නේ සැබෑ දෙවි යෙහෝවාට නමස්කාර කරන අයව ඇසුරු කිරීමයි. බයිබලයේ මඟ පෙන්වීම්වලට අනුව ඔවුන් නොකඩවා රැස්වීම් පවත්වන අතර එයින් එකිනෙකාව දිරිගන්වනවා. (හෙබ්‍රෙව් 10:24, 25) එවැනි රැස්වීමකට සහභාගි වන කෙනෙක් මෙසේ පැවසුවා. “සමහර වෙලාවට මට එක දිගට පැය ගාණක් වැඩ කරන්න සිද්ධ වෙන නිසා මම ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. ඒ වුණත් රැස්වීමට ගියාට පස්සේ මට ලොකු සහනයක් දැනෙනවා.”

ජීවිතයට හාස්‍ය රසය මුසු කරගැනීමත් මානසික පීඩනය අඩු කරගැනීමට වැදගත් ක්‍රමයක්. “අඬන්න කාලයක්ද සිනාසෙන්න කාලයක්ද” තිබෙනවා කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 3:4) සිනාසීමෙන් අපට නැවුම් බවක් ලැබෙනවා වගේම යහපත් සෞඛ්‍යයකටද හේතු වෙයි. එක් වෛද්‍යවරයෙක් පැවසුවේ “සිනාසෙන විට අපේ ශරීරයෙන් එන්ඩෝෆින් නමැති රසායනික ද්‍රව්‍ය නිපදවෙන අතර ඒ මගින් මානසික පීඩනයට හේතු වන ඇඩ්‍රිනලින් හෝමෝනය නිපදවීම වළක්වනවා” කියායි. එක් භාර්යාවක් ඒ ගැන මෙසේ පැවසුවා. “මම මානසික පීඩනයෙන් ඉන්න අවස්ථාවලදී මගේ මහත්තයා මොනවා හරි හිනා යන දෙයක් කියනවා නැත්නම් කරනවා. ඇත්තටම ඒක මට ලොකු සහනයක්.”

මානසික පීඩනය අඩු කරන යහපත් ගුණාංග

මානසික පීඩනය අඩු කරගැනීම සඳහා උපකාරවත් වන යහපත් ගුණාංග වර්ධනය කරගන්න කියා බයිබලයේ සඳහන් වෙනවා. එම ගුණාංග නම් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” යන ඒවායි. එම ගුණාංග කෙනෙකු තුළ වර්ධනය වන්නේ ‘දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වන විටයි.’ නමුත් “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා” වැනි දේවලින් වළකින්න කියාද එහි උපදෙස් දී තිබෙනවා. එමෙන්ම එහි අපට මෙසේද උනන්දු කරනවා. “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.”—ගලාති 5:22, 23; එෆීස 4:31, 32.

බයිබලයේ සඳහන් එවැනි උපදෙස් මේ කාලයේ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරයෙක් පැවසුවා. එමෙන්ම “අනික් අයත් එක්ක කටයුතු කරද්දී ඔවුන්ට ගෞරව කිරීම මානසික පීඩනය බොහෝ සෙයින් අඩු කරගැනීමට වැදගත් පියවරක්” කියාද ඔහු සඳහන් කළා. නිහතමානීව කටයුතු කිරීමට හා අපගේ හැකියාවන් ගැන සාධාරණ මට්ටමින් සිතීමටත් බයිබලය අපට උපකාර කරනවා.—මීකා 6:8.

අපගේ හැකියාවන් සීමිත බවත් අප කැමති සෑම දෙයක්ම අපට කළ නොහැකි බවත් අප නිහතමානීව පිළිගන්නවාට යෙහෝවා දෙවි කැමතියි. ඒ නිසා අපට කළ හැකි දේවල් මොනවාද කියා තේරුම්ගන්නා අතරතුර අපට බැරි දෙයක් කරන්න කියා අන් අය ඉල්ලා සිටින විට කාරුණිකව එය ප්‍රතික්ෂේප කිරීමටද අප ඉගෙනගත යුතුයි.

අප මෙතෙක් සාකච්ඡා කළ බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ක්‍රියාත්මක කළත් මානසික පීඩනයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න බැරි බව ඇත්තයි. ඊට හේතුව නම් සාතන් නමැති දෙවිගේ විරුද්ධකාරයා, දෙවිගේ සේවකයන්ට හැකි තරම් පීඩනයන් ඇති කර ඔවුන් දෙවිට කරන නමස්කාරය නතර කිරීමට උත්සාහ කිරීමයි. (එළිදරව් 12:17) නමුත් දෙවි ඔහුගේ සේවකයන්ට මානසික පීඩනය අඩු කරගැනීමටත් එය දරාගැනීමටත් බොහෝ ආකාරවලින් උපකාර කරනවා. *

[පාදසටහන්වල]

^ 3 ඡේ. මානසික පීඩනය කාලයක් පුරා පවතිනවා නම් හෝ එය විවිධ ලෙඩ රෝගවලට හේතු වී ඇත්නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය විය හැකියි.

^ 20 ඡේ. මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීම සඳහා අමතර තොරතුරු දැනගැනීමට 2005 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “මානසික පීඩනයෙන් මිදීමට හැකි නම්!” යන ලිපි මාලාව සහ 2001 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “කාර්යබහුල දිවියකට මුහුණ දීමේ අභියෝගය” නමැති ලිපියද බලන්න.

[9වන පිටුවේ කොටුව]

මානසික පීඩනය අඩු කරගැනීමට ක්‍රම කිහිපයක්

● කළ නොහැකි දේවල් ඔබෙන් හෝ අන් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා.—දේශනාකාරයා 7:16.

● වඩා වැදගත් දේවල් හඳුනාගන්න.—ෆිලිප්පි 1:10, 11.

● නිතිපතා ව්‍යායාම්වල යෙදෙන්න.—1 තිමෝති 4:8.

● දෙවි කර ඇති නිර්මාණ නිරීක්ෂණය කර ප්‍රීතියක් ලබන්න.—ගීතාවලිය 92:4, 5.

● නිතිපතා නිස්කලංකව සිටීමට කාලයක් වෙන් කරන්න.—මතෙව් 14:23.

● ප්‍රමාණවත් විවේකයක් හා නින්දක් ලබාගන්න.—දේශනාකාරයා 4:6.

[7වන පිටුවේ පින්තූරය]

මානසික පීඩනය අඩු කරගැනීමට අදහස් හුවමාරුව ඉතා වැදගත්

[7වන පිටුවේ පින්තූරය]

යහපත් ගුණාංග වර්ධනය කරගැනීම මානසික පීඩනය අඩු කරගැනීමට උපකාරයක්