Skip to content

පටුනට යන්න

දෙකෙළවර යා කළ යකඩ පාර

දෙකෙළවර යා කළ යකඩ පාර

දෙකෙළවර යා කළ යකඩ පාර

ලෝකයේ විශාලම රටවල් අතරින් දෙවැනි ස්ථානය හිමි වන්නේ කැනඩාවටයි. නමුත් වර්ෂ 1800 ගණන්වල මැදභාගය පමණ වන තුරුත් එහි ගමන් බිමන් යෑම පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ වන විට “ජනගහනයෙන් හතරෙන් තුනක්ම පදිංචි වී සිටියේ හුදෙකලාව පිහිටි ගොවිපොළොවල” බවත් “පාරවල්වල තත්වය නිසා ගමන් බිමන් යෑම ඉතා අමාරු” වූ බවත් ඉතිහාසඥ පියෙර් බර්ටන් පැවසුවා. එමෙන්ම අවුරුද්දේ මාස පහක්ම එහි වැව් සහ ගංඟාවල් අයිස්වලින් වැසී තිබුණ නිසා බෝට්ටුවල ගමන් කිරීමටත් බැරි වුණා.

එවැනි තත්වයන් යටතේ එහි අගමැති ශ්‍රීමත් ජෝන් ඒ. මැක්ඩොනල්ඩ් 1871දී කැනඩාවේ බටහිර තීරයේ සිට නැඟෙනහිර තීරය දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට යෝජනා කළා. ඊට පෙර ඒ හා සමාන දුම්රිය මාර්ගයක් 1869දී එක්සත් ජනපදයේද ඉදි කර තිබුණා. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා කැනඩාවට එතරම් මුදලක් තිබුණේවත් එහි එතරම් ජනගහනයක් සිටියේවත් නැහැ. ඒ වගේම ව්‍යාපෘතියත් ඉතා විශාලයි. ඒ සියලු හේතු නිසා කැනඩාවේ එක් දේශපාලන නායකයෙක් පැවසුවේ “මේක නම් මහ මෝඩ වැඩක්” කියායි. ඒ වගේම තවත් දේශපාලන නායකයෙක් මෙසේ පැවසුවා. ‘ඊළඟට අපි හඳට යන්නත් රේල් පාරක් හදමු කියලා අගමැති කියයි.’

අධික වියදමක්

මෙම ව්‍යාපෘතිය වසර දහයකින් නිම කිරීමට රජය පොරොන්දු වුණා. ඒ සඳහා ඩොලර් මිලියන 100ක් පමණ වැය වන බව ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවෙක් වන සැන්ෆර්ඩ් ෆ්ලෙමින් පැවසුවා. ඒ කාලයේ හැටියට එය ඉතා විශාල මුදලක්. නමුත් එම මාර්ගය එක්සත් ජනපදය හරහා ඉදි කළා නම් දුර ප්‍රමාණය මෙන්ම වියදමද යම් ප්‍රමාණයකින් අඩු කරගැනීමට තිබුණා. ඒත් කැනඩාවේ අගමැති ඊට කැමති වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ කැනඩාව සතු දේවල් එහිම තබාගැනීමටයි.

මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයි කියා බොහෝ අය සිතූ නිසා ඒ වෙනුවෙන් මුදල් යොදවන්න ඔවුන් කැමති වුණේ නැහැ. කෙසේවෙතත් 1875දී දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් ආරම්භ කළා. පොරොන්දු වූ වසර දහය අවසන් වන විට ව්‍යාපෘතිය අවසන් වී තිබුණේ නැහැ. ඒ වගේම ඩොලර් ලක්ෂ හතරක ණය මුදලක් ගෙවීමටද නියමිතව තිබුණා. එය ජූලි 10වන දා දහවල් 3:00 වන විට නොගෙව්වා නම් ව්‍යාපෘතිය නතර කිරීමට සිදු වෙනවා. නමුත් එදාම දහවල් 2:00 වන විට මේ මුදල් ගෙවීමට රජය තීරණය කළා. ඒ නිසා මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියා.

දුෂ්කර කාර්යයක්

මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීම පහසු වුණේ නැහැ. උදාහරණයකට ඔන්ටාරියෝ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ විශාල ගලක් මතයි. එහි අඩියක් තරම්වත් ගනකමට පස් තිබුණේ නැහැ. ඒ නිසා ඈත පළාත්වලින් පස් ගෙන ඒමට සිදු වුණා. ඒ වගේම බොහෝ උමං හා පාලම් ඉදි කිරීමටත් සිදු වුණා. කැනඩාවේ මධ්‍යම පළාත්වල ශීත ඍතුවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 47 දක්වා පහත බසින නිසා ඒ කාලයේදී හිම පතනය අඟල් සිය ගණනින් ඉහළ යනවා. එමෙන්ම රොකී කඳු වැටියත් ඉතා භයානක ප්‍රදේශයක්. එහි හිටිහැටියේම දේශගුණයත් වෙනස් වෙනවා. කොහොමවුණත් අව්ව, වැස්ස සහ හිම යටතේ සෑම දිනකම පැය දහයක් පමණ වැඩ කිරීමට කම්කරුවන්ට සිදු වුණා.

මේ සියලු බාධක ජය ගනිමින් 1885 නොවැම්බර් 7වෙනි දින මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කළා. දෙකෙළවරේ සිට ඉදි කරමින් පැමිණි දුම්රිය මාර්ගය එකිනෙකට සම්බන්ධ කළේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයේදීයි. එතැන ඉදි කළ දුම්රියපොළ ක්‍රේගලාකි ලෙස නම් කළා. එහි අදහස වුණේ “සියලු බාධා ජය ගැනීම” යන්නයි. අවසානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී මෙසේ පැවසුවා. “මට කියන්න තියෙන්නේ මෙච්චරයි. හැම දෙයක්ම හොඳට කරලා තියෙනවා.”

වාසි අවාසි

ව්‍යාපෘතිය සඳහා කම්කරුවන්ව ගෙන්වාගත්තේ චීනයෙනුයි. ඔවුන්ට ඉතා වෙහෙසකර වැඩ කිරීමට තිබුණා වගේම කඳුකර ප්‍රදේශවල වැඩත් ඉතා අනතුරුදායක වුණා. කෙසේ හෝ ව්‍යාපෘතියේ වැඩ අවසන් වුණත් කම්කරුවන්ට තම රට බලා යෑමට මුදල් සොයාගැනීම සඳහා තවත් වසර කිහිපයක්ම කැනඩාවේ වැඩ කිරීමට සිදු වුණා.

මෙම දුම්රිය මාර්ගය නිසා රටේ බටහිර ප්‍රදේශය ව්‍යාපාරික හා ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වුණා. අලුත් නගර බිහි වුණා. ඒ වගේම ශීත ඍතුවේදී පවා මිනිසුන්ට ඔවුන්ගේ ගමන් බිමන් යෑමට අවස්ථාවද ලැබුණා. එමෙන්ම චීනය වැනි රටවලින් කැනඩාවේ පැසිෆික් මුහුදු තීරයට ගෙන්වාගත් ආහාර ද්‍රව්‍ය දින දෙක තුනක් ඇතුළත එම රටේ නැඟෙනහිර දෙසටත් ගෙන යෑමට හැකි වුණා. කොහොමවුණත් මේ දුම්රිය මාර්ගය ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාවට නම් හිතකර වුණේ නැහැ. උදාහරණයකට කලින් ගමන් කළ මාර්ග අබලන් තත්වයකට පත් වුණ නිසා ඒවා අවට තිබුණු කුඩා ව්‍යාපාර හා ආපන ශාලා වසා දැමීමට සිදු වුණා. ඒ වගේම රජයෙන් නියම කළ ජනපදවලට ඒ ඒ ප්‍රදේශවල සිටි ආදිවාසීන්ව ගෙන ගොස් පදිංචි කළා.

අද වන විට කැනඩාවේ දුම්රිය වැඩියෙන්ම භාවිත වෙන්නේ බඩු ප්‍රවාහණය කිරීමටයි. ඊට හේතුව අලුතින් තැනූ මහා මාර්ග, නවීන පන්නයේ රථ වාහන හා ගුවන් යානා නිසා දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව අඩු වී තිබීමයි. එදා මෙම මාර්ගය ඉදි කළේ මිනිසුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහායි. ඒ වුණත් අද වන විට කැනඩාවේ නැඟෙනහිර ටොරොන්ටෝ නගරයේ සිට බස්නාහිරින් පිහිටි වැන්කුව නගරය දක්වා පහසුකම් සහිත දුම්රියක මගීන් ගමන් කරන්නේ අවට සිරි නැරඹීමටයි.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ශුභාරංචිය බෙදාගැනීමට උපකාරයක්

කැනඩාවේ සමහර හුදෙකලා ප්‍රදේශවලට යා හැක්කේ දුම්රියෙන් පමණයි. ඒ නිසා එවැනි ප්‍රදේශවලට ගොස් දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට ඉගැන්වීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගමන් කරන්නේත් දුම්රියෙන්මයි. (යෙසායා 9:6, 7; මතෙව් 6:9, 10) “අපි ‘කොහේද යන්නේ’ ‘මොනවාද කරන්නේ’ කියන එක ගැන දුම්රියේ ඉන්න අය උනන්දුවෙන නිසා ඒ අයත් එක්ක කතා කරන්න හරිම ලේසියි” කියා එක් සාක්ෂිකරුවෙක් පැවසුවා.

උතුරු ඔන්ටාරියෝවේ නිපිගොන් විල අසල ආදිවාසීන් පදිංචි වී සිටින ජනපදයකටද සාක්ෂිකරුවන් ගියා. ඒ ගැන ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ පැවසුවා. “ඒක සිරි නරඹන්න නම් අපූරු ගමනක්. බලන්න දේවල් හුඟක් තියෙනවා. ඒත් අපිට වැඩියෙන්ම වටින්නේ එහේදි මුණගැහුණ අයවයි. ඒ දුෂ්කර පළාතට අමුත්තන් වැඩිය යන්නේ නැති නිසා ඒ අය අපිව හොඳින් පිළිගත්තා. අපිට එහේ මෙහේ යන්න සමහර අය එයාලගේ ඔරු පවා දෙන්න කැමති වුණා. ඒ වගේම කිසිම අය කිරීමකින් තොරව අපිට පාවිච්චි කරන්න එයාලගේ පන්ති කාමරයකුත් දුන්නා. මුළු දවසම අපි එයාලගේ ගෙවල්වලට ගිහින් බයිබලයේ තියෙන පණිවිඩය ගැන එයාලට ඉගැන්නුවා. ඊටපස්සේ හවස හැමෝම එකතු වෙලා ලොව පුරා කරන අපේ දේශනා සේවය ගැන තිබෙන වීඩියෝ පටියක් බැලුවා.”

[16වන පිටුවේ පින්තූරය]

ශ්‍රීමත් ජෝන් ඒ. මැක්ඩොනල්ඩ්

[17වන පිටුවේ පින්තූරය]

දුම්රිය මාර්ගය ඉදි කිරීම දුෂ්කර කාර්යයක් වුණා

[17වන පිටුවේ පින්තූරය]

බොහෝ පාලම් සහ උමං තැනීමට සිදු වුණා

[17වන පිටුවේ පින්තූරය]

කැනඩාවේ දුම්රිය මාර්ගය අවසන් කළ අවස්ථාව

[18වන පිටුවේ පින්තූරය]

අද දින එම දුම්රිය මාර්ගය

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: Canadian Pacific Railway (A17566); middle: Library and Archives Canada/C-006513

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top, left to right: Canadian Pacific Railway (NS13561-2); Canadian Pacific Railway (NS7865); Library and Archives Canada/PA-066576; bottom: Canadian Pacific Railway (NS1960)

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: Canadian National Railway Company; right: Courtesy VIA Rail Canada Inc.