Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස් මොහු කවරෙක්ද?

යේසුස් ක්‍රිස්තුස් මොහු කවරෙක්ද?

යේසුස් ක්‍රිස්තුස් මොහු කවරෙක්ද?

ඉතිහාසයේ විශ්වාසදායක වාර්තාවලට අනුව යේසුස් නම් තැනැත්තා මීට වසර 2,000ට පෙර උපන්නේ යුදයේ කුඩා නගරයක් වන බෙත්ලෙහෙමෙහිය. එකල හෙරොද් රජ යෙරුසලමේ රජ වී සිටි අතර සීසර් ඔගස්ටස් රෝමයේ අධිරාජ්‍යයාව සිටියේය. (මතෙව් 2:1; ලූක් 2:1-7) ඒ කාලයේදී රෝම පාලකයන් ක්‍රිස්තියානි ආගම නැති කර දැමීමට වෑයම් කරමින් සිටි නිසා ක්‍රිස්තු වර්ෂ මුල් සියවස් දෙකේදී සිටි ඉතිහාසඥයෝ යේසුස් ගැන සඳහන් කිරීමෙන් වැළකුණාහ.

කෙසේවෙතත් එක් ග්‍රන්ථයක සඳහන් වන්නේ මෙවැන්නකි. “ලෞකික මට්ටමකින් පමණක් බැලුවත්, ඉතිහාසයේ වෙන කිසිදු කෙනෙකුගේ ක්‍රියාකාරකම්වලට වඩා, යේසුස්ගේ ක්‍රියාකාරකම්වලට ඉතිහාසයේ සුවිශේෂ තැනක් හිමි වෙනවා. ලෝකයේ ප්‍රධානතම ශිෂ්ටාචාර මගින් පිළිගෙන තිබෙන පරිදි, ඔහුගේ උපතින් නව යුගයක් ආරම්භ වුණා.”—The Historians’ History of the World ග්‍රන්ථය.

ඉතිහාසයේ විසූ සියල්ලන් අතරින් වැඩිම පොත් ප්‍රමාණයක් ලියැවී තිබෙන්නේ යේසුස් ගැනය කියා ටයිම් සඟරාවේ වාර්තා විය. මෙම පොත්වලින් වැඩි කොටසක වැඩි අවධානයක් දී තිබෙන්නේ යේසුස් ඇත්තෙන්ම කවරෙක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමටය. මිනිස් ඉතිහාසයේ වෙනත් කිසිම විෂයක් මේ තරම් විවාදයට ලක් වී නැත.

ඔහු කවරෙක්ද යන්න ගැන ප්‍රශ්න කළේ අතීතයේ සිටයි

ඇයට දරුවෙකු පිළිසිඳෙන බවත්, දරුවාට යේසුස් යන නම තබන්න කියාත් මරියාට පැවසූ අවස්ථාවේදී ඈ මෙසේ ඇසුවාය. “මේ දේ සිදු වන්නේ කෙසේද? මන්ද මා පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා නැත.” ගාබ්‍රියෙල් දේවදූතයා මෙවැනි පිළිතුරක් දුන්නේය: “ශුද්ධාත්මය ඔබ පිට පැමිණ, මහෝත්තමයාණන්ගේ බලය ඔබව වසාගන්නේය. එහෙයින් උපදින තැනැත්තා ශුද්ධයයිද, දෙවිගේ පුත්‍රයායයිද කියනු ලබන්නේය.”—ලූක් 1:30-35.

එතැන් පටන් කාලයක් ගෙවී ගිය පසු, යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යයන් දැක ඔහුගේ ප්‍රේරිතයෝ මවිතයට පත් වූහ. ගලීල මුහුදේ සිටියදී විශාල කුණාටුවක් නිසා තම බෝට්ටුව පෙරළීමට ගිය අවස්ථාවේදී යේසුස් සුළඟට තරවටු කරමින්, “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න!” කියා පැවසූ විට සුළඟ නැවතී, මහත් නිශ්චලතාවක් ඇති විය. ඔහුගේ ප්‍රේරිතයෝ අතිශයින් බිය වී, පුදුමයෙන් මෙසේ ඇසුවෝය. “ඇත්තටම මොහු කවුද?මාක් 4:35-41; මතෙව් 8:23-27.

යේසුස් ඇත්තටම කවරෙක්ද යන්න ගැන ප්‍රශ්න කිරීම ඔහු විසූ කාලයේදීත් සාමාන්‍ය දෙයක් විය. තමා ගැන මිනිසුන් කුමක්ද පවසන්නේ කියා ඔහු තම ප්‍රේරිතයන්ගෙන් විමසුවේ ඒ නිසාය. “සමහරු යොහන් බව්තීස්තය කියාද, අන් අය එලියාය කියාද කියති. තවත් අය, යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් එක් කෙනෙකුය කියා පවසති” යි ඔවුහු කීවෝය. ඒ වන විට ප්‍රේරිතයන් එසේ සඳහන් කළ සියලුදෙනාම මියගොස් සිටියහ. එවිට යේසුස් මෙසේ ඇසීය. “එහෙත් ඔබ? ඔබ මා කවුරුන් කියා කියනවාද?” සීමොන් පේතෘස් පිළිතුරු දුන්නේ මෙසේය. “ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය.” දුෂ්ට දූතයන් වන භූතයෝ පවා “ඔබ දෙවිගේ පුත්‍රයා” යයි පැවසූහ.—මතෙව් 16:13-16; ලූක් 4:41.

යේසුස් තමාව හඳුන්වා දුන්නේ . . .

තමා දෙවිගේ පුත්‍රයා කියා යේසුස් පැවසුවේ ඉඳහිට වුවත් ඔහු එය පිළිගෙන සිටි බව පැහැදිලිය. (මාක් 14:61, 62; යොහන් 3:18; 5:25, 26; 11:4) එනමුත් ඔහු සැමවිටම ඔහු ගැන පවසන විට කියා සිටියේ ඔහු “මනුෂ්‍ය පුත්‍රයා” කියාය. එලෙස තමාව හඳුන්වා දීමෙන් ඔහු ඇත්තෙන්ම මිනිසෙකු ලෙස උපන් තැනැත්තෙකු බව අවධාරණය කළේය. දානියෙල් දර්ශනයකින් දැක තිබූ සර්ව බලධාරී දෙවි වන “පුරාතන දවස්වල තැනැත්තා” ඉදිරියේ පෙනී සිටි “මනුෂ්‍ය පුත්‍රයා” තමා බවද යේසුස් හෙළි කළේය.—මතෙව් 20:28; දානියෙල් 7:13.

තමා දෙවිගේ පුත්‍රයාය කියා ප්‍රකාශ කරනවා වෙනුවට අන්‍යයන්ටම එය තේරුම්ගැනීමට යේසුස් ඉඩහැරියේය. ප්‍රේරිතයන්ට අමතරව යොහන් බව්තීස්ත මෙන්ම යේසුස්ගේ මිතුරියක වන මාර්තාද ඇතුළු අනෙකුත් ජනයාද තේරුම්ගත්තේ එයයි. (යොහන් 1:29-34; 11:27) පොරොන්දු කර තිබූ ගැලවුම්කාරයා යේසුස් බව ඔවුහු විශ්වාස කළහ. දෙවි විසින් බලවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකු ලෙස ස්වර්ගයෙහි විසූ යේසුස්ව ප්‍රාතිහාර්යයක් මගින් කන්‍ය මරියාගේ කුසේ පිළිසිඳීමට සැලැස්වූ බව ඔවුහු දැනගත්හ.—යෙසායා 7:14; මතෙව් 1:20-23.

මුල් මිනිසා වූ ආදම්ට සමාන වූ අන්දම

යේසුස් බොහෝ ආකාරවලින් මුල් මිනිසා වූ ආදම්ට සමාන විය. උදාහරණයකට ඔවුන් දෙදෙනාටම මනුෂ්‍ය පියෙකු නොසිටි අතර ඔවුහු දෙදෙනාම පරිපූර්ණ මිනිස්සු වූහ. (උත්පත්ති 2:7, 15) එමනිසා බයිබලයෙහි යේසුස්ව හඳුන්වන්නේ “අන්තිම ආදම්” කියාය. පරිපූර්ණ මිනිසෙකුව සිටි නිසා ඔහුට “අනුරූපී මිදීමේ මිලයක්” ලෙස මෙහෙවරක් ඉටු කිරීමට හැකි විණ. පරිපූර්ණ මිනිසෙකු ලෙස දෙවි විසින් මවනු ලැබූ ‘පළමුවන මිනිසා වූ ආදම්ගේ’ ජීවිතය යේසුස්ගේ ජීවිතයට සමාන විය.—1 කොරින්ති 15:45; 1 තිමෝති 2:5, 6.

මුල් මිනිසා වූ ආදම්ව බයිබලයෙහි හැඳින්වූයේ “දෙවිගේ පුත්‍රයා” කියාය. (ලූක් 3:38) එහෙත් ආදම් හිතාමතාම දෙවිට අකීකරු වීමෙන් දෙවිගේ පුත්‍රයා ලෙස තිබූ අගනා සබඳතාව අහිමි කරගත්තේය. කෙසේවෙතත් යේසුස් තම ස්වර්ගික පියාණන්ට සැමදා විශ්වාසවන්තව සිටි නිසා දෙවිගේ අනුමැතිය ඔහුට කිසිදා අහිමි වූයේ නැත. (මතෙව් 3:17; 17:5) යේසුස් කෙරෙහි විශ්වාසය තබන, ගැලවුම්කරුවා ලෙස ඔහුව පිළිගන්නා සියලුදෙනාටම සදාකාල ජීවනය ලැබිය හැකි බව බයිබලයෙහි සඳහන් වේ.—යොහන් 3:16, 36; ක්‍රියා 5:31; රෝම 5:12, 17-19.

එහෙත් ඇතමෙක් යේසුස්, දෙවිගේ පුත්‍රයා පමණක් නොව ඔහු දෙවිමය කියාද වාද කරති. ඔවුන් පවසන්නේ යේසුස් සහ ඔහුගේ පියාණන් යන දෙදෙනාම සර්වපරාක්‍රම දෙවියන් කියාය. ඔවුන් නිවැරදිද? යේසුස් යම් ආකාරයකින් දෙවියන්ගේ කොටසක් වේද? යේසුස් හෝ බයිබල් ලේඛකයන්ගෙන් කවරෙකු හෝ එවැන්නක් පවසනු ලැබුවාද? ඇත්තෙන්ම එකම සැබෑ දෙවි කවරෙක්ද? යේසුස් දෙවිව හඳුන්වා දුන්නේ කවරෙකු ලෙසද? අපි ඒ ගැන සෝදිසි කර බලමු.

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මොහු මෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ වෙන කෙනෙක් නැත

යේසුස්ගේ සමකාලීනයන් හතරදෙනෙකු වන මතෙව්, මාක්, ලූක් සහ යොහන් විසින් ඔහුගේ ජීවිතය පිළිබඳ වාර්තාව ලියන ලදි. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඔහුව ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ අයයි. ඔවුන්ගේම නම් දරන ඔවුන්ගේ පොත් හඳුන්වන්නේ සුවිශේෂයන් කියායි. මේවා අතුරෙන් සමහර ඒවා භාෂා දෙදහසකට වඩා පරිවර්තනය කර ඇත. මෙම කුඩා පොත් බයිබලයේ අනික් පොත් සමඟමයි යොදා තිබෙන්නේ. ඉතිහාසයේ මෙතෙක් තිබී ඇති පොත් අතුරින් වැඩියෙන්ම බෙදාහැර තිබෙන්නේ සුවිශේෂ පොත් කියා නිසැකව පැවසිය හැකියි. එසේ කර තිබෙන්නේ තනි තනි පොත් ලෙස හෝ බයිබලයේ කොටසක් ලෙසය. එසේනම් එදා මෙදා තුර ජීවත් වූවන්ගෙන් වැඩිම ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ යේසුස් වීම පුදුමයට කාරණයක් නොවේ.

[23වන පිටුවේ පින්තූරය]

‘ඇත්තටම මොහු කවුද’ කියා ප්‍රේරිතයෝ ඇසුවෝය