Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 30

ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද?

ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද?

“හැකි සෑම ආකාරයකින්ම කිහිපදෙනෙකුව හෝ බේරාගැනීමට මම සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් ඒ ඒ අයට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.”—1 කොරි. 9:22.

ගීතිකාව 82 ‘ආලෝකය විහිදුවන්න’

මේ ලිපියෙන් *

1. සමහර රටවල මෑත දශකවල දකින්න ලැබුණ වෙනස මොකක්ද?

අවුරුදු දහස් ගාණක් යන කල් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක්ට මොකක් හරි ආගමක් තිබුණා. ඒත් මෑත දශකවල ලොකු වෙනසක් දකින්න තියෙනවා. දැන් සමහර රටවල ජීවත් වෙන වැඩිදෙනෙක් කියන්නේ එයාලා ආගමක් අදහන්නේ නැහැ කියලයි. *මතෙ. 24:12.

2. හුඟදෙනෙක් ආගමක් අදහන්නේ නැත්තේ ඇයි?

2 මිනිසුන් වැඩිදෙනෙක් ආගමක් අදහන්නේ නැත්තේ මොන හේතු නිසාද? * සමහරු විනෝදයට, එදිනෙදා ප්‍රශ්න විසඳගන්න වැඩි කාලයක් දෙන නිසා ආගමක් අදහන්න එයාලට වෙලාවක් නැහැ. (ලූක් 8:14) තවත් සමහරු කලින් දෙවි කෙනෙක් ගැන විශ්වාස කළත් දැන් ඒ විශ්වාසය නැති වෙලා. තවත් අයට දෙවියන් ගැන විශ්වාසයක් තිබුණත් එයාලා හිතන්නේ ආගමක් අදහන්න ඕනෙ නැහැ කියලයි. ආගම් අද කාලෙට ගැළපෙන්නේ නැහැ කියලත් ඒක විද්‍යාවට එකඟ නැහැ කියලත් එයාලා කියනවා. ජීවය ආරම්භ වුණේ පරිණාමයෙන් කියලා යාළුවෝ, ගුරුවරු සහ මාධ්‍යවේදීන් නිතරම කියනවා එයාලට ඇහුණත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න තියෙන හේතු එයාලට අහන්න ලැබිලා නැති තරම්. තවත් අය ආගමික නායකයන් සල්ලි, බලතල පස්සේ යන විදිහ දැකලා ආගම් ගැන කලකිරිලා. තවත් රටවල ආණ්ඩු පනවන නීති නිසා නිදහසේ ආගමික කටයුතු කරන්න බැහැ.

3. මේ ලිපියේ අරමුණ මොකක්ද?

3 යේසුස් අපිට කිව්වේ “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා. (මතෙ. 28:19) දෙවියන්ට ආදරේ කරන්නත් යේසුස්ගේ ගෝලයෙක් වෙන්නත් ආගමක් අදහන්නේ නැති අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? අපි තේරුම්ගන්න ඕනෙ කෙනෙක් අපේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය එයා හැදුණු වැඩුණු පරිසරයට අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. උදාහරණෙකට යුරෝපයේ කෙනෙක් අපේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරය ආසියානු රටක හැදුණු වැඩුණු කෙනෙක් දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස්. ඒ ඇයි? යුරෝපයේ ඇතිදැඩි වුණ හුඟදෙනෙක් බයිබලය ගැන, නිර්මාතෘ කෙනෙක් ගැන අහලා තියෙනවා. ඒත් ආසියාවේ ඉන්න අයගෙන් වැඩිදෙනෙක් බයිබලේ ගැන දන්නේ නැහැ. එයාලා නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නෙත් නැහැ. ඒ ඕනෙම කෙනෙක්ට හිතට දැනෙන විදිහට ශුභාරංචිය කියන්න අපිට උදව් කරන එකයි මේ ලිපියේ අරමුණ.

උත්සාහය අත්හරින්න එපා

4. අපි උත්සාහය අත්හරින්න හොඳ නැත්තේ ඇයි?

4 වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. කලින් ආගමක් අදහපු නැති හුඟදෙනෙක් හැම අවුරුද්දකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනවා. ඒ අයගෙන් සමහරු සදාචාර ප්‍රමිතිවලට ගරු කරපු, ආගම්වල තියෙන කුහකකම් ගැන කලකිරුණු අය. තවත් අය හොඳ ජීවිත ගත කරපු අය නෙමෙයි. එයාලගෙන් හුඟදෙනෙකුට නරක පුරුදු අත්හරින්න වුණා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” අයව හොයාගන්න අපිට පුළුවන් කියලා අපි දන්නවා.—ක්‍රියා 13:48; 1 තිමෝ. 2:3, 4.

බයිබලේ ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට සාක්ෂි දරද්දී එයාගේ පසුබිම තේරුම් අරන් එයාට කතා කරන්න (5 සහ 6 ඡේද බලන්න) *

5. හුඟක් වෙලාවට අපේ පණිවිඩයට මිනිසුන් සවන් දෙන්නේ ඇයි?

5 අනිත් කෙනාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න. හුඟක් වෙලාවට මිනිසුන් අපේ පණිවිඩය අහන්නේ අපි කියන දේ නිසා නෙමෙයි අපි ඒක කියන විදිහ නිසයි. අපි කාරුණිකව, එයාලගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙලා කතා කරද්දී මිනිසුන් ඒකට කැමතියි. අපි කියන දේ අහන්න ඕනෙමයි කියලා අපි එයාලට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කරන්නේ එයාලා ආගමක් අදහන්නේ නැත්තේ ඇයි කියලා තේරුම්ගන්න. සමහරු අඳුරන්නේ නැති කෙනෙක් එක්ක ආගමක් ගැන කතා කරන්න කැමති නැහැ. තවත් අය තමන්ගේ විශ්වාසයන් ගැන වෙන කෙනෙක් අහනවාට කැමති නැහැ. මොකද එයාලා හිතන්නේ ඒක පෞද්ගලික කාරණයක් කියලා. තවත් අය ලැජ්ජයි එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලේ කියවනවා අනිත් අය දකිනවාට. සේවයේදී හම්බ වෙන්න පුළුවන් ඒ හැම කෙනෙක්ගෙම හැඟීම් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ.—2 තිමෝ. 2:24.

6. එක් එක් පුද්ගලයන්ගේ පසුබිමට අනුව පාවුල් හැඩගැහුණේ කොහොමද? එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

6 “බයිබලය,” “නිර්මාණ,” “දෙවියන්,” “ආගම” වගේ වචන අපි පාවිච්චි කරද්දී කෙනෙක් ඒකට කැමති නැහැ කියලා අපිට දැනුණොත් මොකද කරන්නේ? අපිට පුළුවන් පාවුල්ව ආදර්ශයට අරන් අපි පණිවිඩය කියන විදිහ වෙනස් කරන්න. යුදෙව්වන්ට කතා කරද්දී පාවුල් ශුද්ධ ලියවිලි පාවිච්චි කළා. ඒත් ග්‍රීක දර්ශනවාදීන්ට කතා කරද්දී පාවුල් කිව්වේ නැහැ එයා ඒ දේවල් කියන්නේ ශුද්ධ ලියවිල්ලෙන් කියලා. (ක්‍රියා 17:2, 3, 22-31) බයිබලේ පිළිගන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී ඔයා කියන දේවල් අරන් තියෙන්නේ බයිබලෙන් කියලා නොකියා ඉන්න එක හොඳයි. ඔයාත් එක්ක බයිබලේ කියවනවා අනිත් අය දකිනවාට කෙනෙක් අකමැතියි කියලා ඔයාට තේරුණොත් ෆෝන් එකෙන් හෝ ටැබ් එකෙන් බයිබල් පද පෙන්නන්න.

7. 1 කොරින්ති 9:20-23 සඳහන් වෙන විදිහට පාවුල්ව ආදර්ශයට ගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

7 පුද්ගලයන්ව තේරුම්ගන්න. එයාලට හොඳින් සවන් දෙන්න. සමහර අයට ආගම් ගැන කිසිම හැඟීමක් නැත්තේ ඇයි කියලා තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. (හිතෝ. 20:5) පාවුල් ගැන ආයෙත් හිතන්න. එයා යුදෙව්වෙක්. ඒත් එයාට වුණා වෙනත් ජාතීන්ට දේශනා කරන්න. ඒ අයට යෙහෝවා දෙවියන් ගැන, ශුද්ධ ලියවිලි ගැන ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ. ඒ අයට දේශනා කරද්දී එයාලට ගැළපෙන විදිහට පාවුල් හැඩගැහුණා. සේවයේදී අපිට හම්බ වෙන අය හිතන විදිහ තව හොඳින් තේරුම්ගන්න නම් තොරතුරු ගවේෂණය කරන්න හෝ සභාවේ ඉන්න අද්දැකීම් තියෙන අයගෙන් තොරතුරු අහලා දැනගන්න අපිටත් වෙයි.—1 කොරින්ති 9:20-23 කියවන්න.

8. කෙනෙක් එක්ක බයිබලේ ගැන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

8 අපේ අරමුණ “සුදුස්සන්ව” හොයන එක. (මතෙ. 10:11) ඒක කරන්න නම් සේවයේදී හම්බ වෙන අයගේ අදහස් අපි අහන්න ඕනේ. එයාලට ඇහුම්කන් දෙන්න ඕනේ. එංගලන්තයේ සහෝදරයෙක් මිනිසුන් එක්ක කතා කරද්දී විවාහ ජීවිතය සතුටින් ගත කරන එක, දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන එක, අසාධාරණකම් දරාගන්න එක වගේ කාරණා ගැන එයාලගේ අදහස් අහනවා. එයාලට හැඟෙන විදිහ කිව්වාම ඒ සහෝදරයා මෙහෙම අහනවා. “මීට අවුරුදු 2,000කට විතර කලින් ලියපු මේ උපදෙස ගැන ඔයා මොනවාද හිතන්නේ?” ඊටපස්සේ එයා බයිබලේ ගැන සඳහන් කරන්නේ නැතුව එයාගේ ෆෝන් එකෙන් ගැළපෙන බයිබල් පදයක් පෙන්නනවා.

මිනිසුන්ගේ හදවතට කතා කරන්න

9. දෙවියන් ගැන කතා කරන්න එච්චර උනන්දු නැති අයට උදව් කරන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

9 දෙවියන් ගැන කතා කරන්න ඒ තරම් උනන්දුවක් නැති කෙනෙක්ගේ හිතේ උනන්දුවක් ඇති කරන්න පුළුවන් එක විදිහක් තමයි එයා දැනටමත් උනන්දු වෙන දෙයක් ගැන කතා කරන එක. උදාහරණෙකට හුඟක් අය සොබාදහමේ තියෙන දේවල් ගැන පුදුම වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මෙහෙම කියන්න. “විද්‍යාඥයන් නව නිර්මාණ හඳුන්වලා දෙන්නේ දැනටමත් තියෙන දේවල් අනුකරණය කරලයි කියලා ඔයා දන්නවා ඇති. උදාහරණෙකට මයික්‍රෆෝන් හදන අය සතුන්ගේ කනේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරනවා. කැමරා හදන අය ඇස් ගැන අධ්‍යයනය කරනවා. මේ පොළොවේ තියෙන දේවල් දකිද්දී ඔයා මොනවාද හිතන්නේ? ඒවා ආවේ ඉබේමද? නැත්නම් කවුරු හරි කෙනෙක් ඒවා හැදුවාද? එහෙමත් නැත්නම් ඔයාට ඒ ගැන වෙන අදහසක් තියෙනවාද?” එයාගේ අදහසට ඇහුම්කන් දුන්නාට පස්සේ අපිට මෙහෙම කියන්න පුළුවන්. “විද්‍යාඥයන් කන්වල, ඇස්වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරද්දී එයාලා අධ්‍යයනය කරන්නේ කවුරු හදපු දේවල්ද? අතීතයේ හිටපු කෙනෙක් ලියපු මේ දේ මගේ හිතට ගියා. ‘කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද? දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද? මිනිසුන්ට දැනුම ලබා දෙන තැනැත්තා ඔහුයි.’ සමහර විද්‍යාඥයනුත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා.” (ගීතා. 94:9, 10) ඊටපස්සේ අපිට පුළුවන් jw.org® වෙබ් අඩවියේ “අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා” යටයෙන “නොදුටු පැත්ත හෙළි වෙයි” කියන වීඩියෝවලින් එකක් එයාට පෙන්නන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න.) එහෙම නැත්නම් ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද’ හෝ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව එයාට දෙන්න.

10. දෙවියන් ගැන කතා කරන්න අකමැති කෙනෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් තව විදිහක් මොකක්ද?

10 වැඩිදෙනෙක් ආසයි එයාලගේ අනාගතය හොඳ එකක් වෙනවාට. ඒත් පොළොව ඉදිරියේදී විනාශ වෙයි නැත්නම් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනක් වෙයි කියලා හුඟක් අය බයෙන් ඉන්නවා. නෝර්වේවල ඉන්න චාරිකා සේවකයෙක් කියනවා කෙනෙක් දෙවියන් ගැන කතා කරන්න අකමැති වුණත් ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න අකමැති නැහැ කියලා. කෙනෙක්ව හම්බ වුණාම එයාට ආචාර කරලා එයා මෙහෙම අහනවා. “අපිට හොඳ අනාගතයක් ලබා දෙන්න පුළුවන් කාට කියලාද ඔයා හිතන්නේ? දේශපාලනඥයන්ටද? විද්‍යාඥයන්ටද? නැත්නම් වෙන කාට හරිද?” එයාගේ අදහසට ඇහුම්කන් දුන්නාට පස්සේ ඒ සහෝදරයා අනාගතය ගැන සඳහන් වෙන බයිබල් පදයක් කියවනවා. එහෙම නැත්නම් එතන තියෙන දේ එයාට කියනවා. පොළොව සදහටම පවතිනවා කියලත් හොඳ මිනිසුන්ට පොළොවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලත් බයිබලේ සඳහන් පොරොන්දුව දැනගත්තාම හුඟක් අය තව කතා කරන්න උනන්දු වෙනවා.—ගීතා. 37:29; දේශ. 1:4.

11. සාකච්ඡාවන් පටන්ගන්න අපි වෙනස් විදි පාවිච්චි කරන්න ඕනෙ ඇයි? රෝම 1:14-16 අනුව පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

11 හම්බ වෙන හැමෝටම එකම විදිහට කතා කරන්නේ නැතුව අපි විවිධ විදි පාවිච්චි කරන්න ඕනේ. මොකද කෙනෙක් උනන්දුවෙන් කතා කරන දෙයක් ගැන තවත් කෙනෙක් කතා කරන්න අකමැති වෙන්න පුළුවන්. සමහරු දෙවියන්, බයිබලය ගැන කතා කරන්න අකමැති නැහැ. ඒත් තවත් අය එක්ක සාකච්ඡාවන් පටන්ගන්න ඒ විෂයන් පාවිච්චි කරන්න බැහැ. ඒ කාව හම්බ වුණත් එයාලට කතා කරන්න ලැබෙන අවස්ථාව අපි නැති කරගන්න හොඳ නැහැ. (රෝම 1:14-16 කියවන්න.) හරි දේට ඇලුම් කරන අයගේ හිතේ සත්‍යය කියන බීජය වර්ධනය වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියන් කියලා මතක තියාගමු.—1 කොරි. 3:6, 7.

ආසියාවේ ඇතිදැඩි වුණ අයත් එක්ක අපේ පණිවිඩය බෙදාගන්නේ කොහොමද?

දෙවියන් ගැන, බයිබලේ ගැන විශ්වාසයක් නැති අයව සේවයේදී හම්බ වෙද්දී ප්‍රචාරකයන් හුඟදෙනෙක් එයාලා ගැන අවංක සැලකිල්ලක් පෙන්නලා බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් එයාලත් එක්ක බෙදාගන්නවා (පාඩම් ලිපිය 12-13 ඡේද බලන්න)

12. නිර්මාතෘ කෙනෙක් ගැන හිතලාවත් නැති, ආසියාවේ හැදුණු වැඩුණු අයත් එක්ක අපේ පණිවිඩය බෙදාගන්න පුළුවන් කොහොමද?

12 ලෝකේ විවිධ රටවල ඉන්න ප්‍රචාරකයන්ට ආසියාවෙන් ආපු හුඟදෙනෙක්ව දැන් සේවයේදී හම්බ වෙනවා. ඒ අය අතරේ ආණ්ඩුවෙන් ආගමික වැඩකටයුතුවලට සීමාවන් දාපු රටවලින් ආපු අයත් ඉන්නවා. සමහර ආසියානු රටවල ඇතිදැඩි වුණ හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක් ගැන හිතලාවත් නැහැ. ඒ ගැන දැනගන්න එයාලගෙන් සමහරුන්ට කුතුහලයක් ඇති වෙනවා. ඒ නිසා බයිබලේ පාඩම් කරන්න එයාලා කැමති වෙනවා. ඒත් තවත් අයට ඒ වගේ අලුත් අදහසක් ගැන දැනගන්න ඒ තරම් කැමැත්තක් නැහැ. එහෙම අයට උදව් කරන්න පුළුවන් කොහොමද? අද්දැකීම් ලත් ප්‍රචාරකයන් තේරුම්ගත්ත දෙයක් තමයි ඒ වගේ අයට අපේ පණිවිඩය එකපාරටම කියනවා වෙනුවට මුලින් එයාලත් එක්ක මිත්‍රශීලී වෙන එක හොඳ දෙයක් කියලා. ඊටපස්සේ සුදුසු වෙලාවක් ලැබුණාම බයිබලේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා තමන් ලබලා තියෙන ප්‍රයෝජන ගැන එයාලට කියන්න පුළුවන්.

13. මිනිසුන්ගේ හිතේ බයිබලේ ගැන උනන්දුවක් ඇති කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

13 එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනවත් වෙන බයිබලේ තියෙන මඟ පෙන්වීම් දැක්කාම හුඟදෙනෙක්ට බයිබලේ ගැන උනන්දුවක් ඇති වෙනවා. (දේශ. 7:12) නිව් යෝර්ක්වල ඉන්න චීන භාෂාව කතා කරන අයට දේශනා කරන සහෝදරියක් මෙහෙම කියනවා. “මට හම්බ වෙන අය ගැන මං අවංක සැලකිල්ලක් පෙන්නනවා. එයාලට හොඳින් ඇහුම්කන් දෙනවා. එයාලා මෙහෙට ළඟදී ආපු අය නම් මං එයාලගෙන් මේ වගේ ප්‍රශ්න අහනවා. ‘මෙහේ ජීවිතේට දැන් හුරුයිද? ඔයාට රස්සාවක් හම්බ වුණාද? මෙහේ අය කොහොමද?’” එයාලත් එක්ක ටිකක් කතා කළාට පස්සේ ඒ සහෝදරිය මෙහෙම අහනවා. “ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව අනිත් අය එක්ක සාමයෙන් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? බයිබලේ තියෙන ලස්සන උපදෙසක් මං ඔයාට පෙන්නන්නද? එතන මෙහෙම කියනවා. ‘රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.’ ඒක හොඳ උපදෙසක් කියලා ඔයා හිතනවාද?” (හිතෝ. 17:14) ඒ විදිහට කෙනෙක් එක්ක කතා කරද්දී අපිට තේරුම්ගන්න පුළුවන් බයිබලේ තියෙන දේවල් තව දැනගන්න එයා කැමතිද කියලා.

14. දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති අයට ඈත පෙරදිග රටක ඉන්න සහෝදරයෙක් දේශනා කරන්නේ කොහොමද?

14 දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට දේශනා කරන්න පුළුවන් කොහොමද? ඈත පෙරදිග රටක ඉන්න සහෝදරයෙක් කරන දේ බලන්න. එයා මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් මෙහේ කෙනෙක් ‘මං දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නෑ’ කියලා කියද්දී එයා අදහස් කරන්නේ ඒ පැත්තේ වැඩිදෙනෙක් අදහන දෙවිවරුන් ගැන එයාට විශ්වාසයක් නැහැ කියලයි. ඒ නිසා මං එයාට කියනවා ‘ඇත්ත, මිනිසුන් අදහන හුඟක් දෙවිවරුන්ව හදාගෙන තියෙන්නේ මිනිසුන්ම තමයි’ කියලා. ඊටපස්සේ මං යෙරෙමියා 16:20 එයාට පෙන්නනවා. එතන කියන්නේ ‘පිහිට ලබාගැනීම සඳහා දෙවිවරුන්ව සාදාගැනීමට මනුෂ්‍යයන්ට පුළුවන්ද? ඔවුන් දෙවිවරුන් සාදාගත්තද ඒ දෙවිවරුන් සැබෑ දෙවිවරුන් නොවේ.’ ඊළඟට මං අහනවා ‘සැබෑ දෙවියන් කවුද මිනිසුන් හදාගත්ත දෙවිවරු කවුද කියලා අපි කොහොමද හරියටම දැනගන්නේ’ කියලා. එයාට ඇහුම්කන් දීලා යෙසායා 41:23 තියෙන මේ දේ මං පෙන්නනවා. ‘අනාගතය ගැන නිවැරදිව අපිට කියා දුන්නොත් ඔබ දෙවිවරුන් කියා අපි පිළිගන්නෙමු.’ ඊටපස්සේ අනාගතය ගැන යෙහෝවා දෙවියන් කියපු දෙයක් ඉටු වුණේ කොහොමද කියලා මං එයාට පෙන්නනවා.”

15. නැඟෙනහිර ආසියාවේ ඉන්න සහෝදරයෙක්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 නැඟෙනහිර ආසියාවේ ඉන්න සහෝදරයෙක් නැවත බැලීම්වලදී කරන දෙයක් ගැන මෙහෙම කියනවා. “බයිබලේ තියෙන මඟ පෙන්වීම්, ඉටු වෙලා තියෙන අනාවැකි, භෞතික නීති මං එයාලට පෙන්නනවා. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා ඒවාවලින් තේරෙන්නේ කොහොමද කියලා මං එයාලට පැහැදිලි කරනවා. දෙවි කෙනෙක් ඉන්න පුළුවන් කියලා කෙනෙක් පිළිගත්තොත් යෙහෝවා දෙවියන් ගැන බයිබලේ තියෙන දෙයක් මං එයාට පෙන්නනවා.”

16. හෙබ්‍රෙව් 11:6 අනුව බයිබල් ශිෂ්‍යයන් දෙවියන් ගැනත් බයිබලේ ගැනත් විශ්වාසයක් ඇති කරගන්න ඕනෙ ඇයි? ඒ විශ්වාසය ඇති කරගන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

16 දෙවි කෙනෙක්ව විශ්වාස නොකරන කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරද්දී දෙවි කෙනෙක් ඉන්නවා කියන දේ ගැන විශ්වාසයක් ඇති කරගන්න අපි දිගටම එයාට උදව් කරන්න ඕනේ. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) බයිබලේ ගැනත් විශ්වාසයක් ඇති කරගන්න අපි එයාට උදව් කරන්න ඕනේ. ඒක කරන්න බයිබලේ තියෙන සමහර ඉගැන්වීම් ආයේ ආයේ එයාත් එක්ක කතා කරන්න වෙයි. පාඩම කරන හැම වතාවකම බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් කියන්න තියෙන සාක්ෂි අපිට පෙන්නන්න වෙයි. ඒක කරන්න පුළුවන් කොහොමද? ඉටු වෙලා තියෙන අනාවැකි ගැන, බයිබලය විද්‍යාවට, ඉතිහාසයට එකඟයි කියන්න තියෙන හේතු ගැන, බයිබලේ තියෙන මඟ පෙන්වීම් එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන දේ ගැන අපිට කතා කරන්න පුළුවන්.

17. අපි මිනිසුන්ට ආදරෙන් සලකද්දී ඒක එයාලට උදව් වෙන්නේ කොහොමද?

17 කෙනෙක් ආගමක් ඇදහුවත් නැතත් අපි එයාලට ආදරෙන් සලකනවා නම් යේසුස්ගේ ගෝලයන් වෙන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන්. (1 කොරි. 13:1) අපි එයාලට උගන්වද්දී අපේ අරමුණ වෙන්න ඕනෙ දෙවියන් අපිට කොච්චර ආදරේද කියලත් අපේ ආදරේ ලබන්න දෙවියන් කැමතියි කියලත් තේරුම්ගන්න එයාලට උදව් කරන එකයි. ආගමක් අදහපු නැති දහස් ගාණක් හැම අවුරුද්දකම බව්තීස්ම වෙනවා. ඒ දෙවියන් ගැන එයාලට ආදරයක් ඇති වුණ නිසයි. ඒ නිසා සේවයේදී හම්බ වෙන ඕනෙම කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් කියලා හිතන්න. හැම කෙනෙක් ගැනම අවංක සැලකිල්ලක් පෙන්නන්න. එයාලට ඇහුම්කන් දෙන්න. එයාලව තේරුම්ගන්න. ඔයාගේ ආදර්ශයෙන් යේසුස්ගේ ගෝලයන් වෙන්න එයාලට උගන්වන්න.

ගීතිකාව 76 ඔබට හැඟෙන්නේ කොහොමද?

^ 5 ඡේ. කිසිම ආගමක් අදහන්නේ නැති අයව සේවයේදී හම්බ වෙන ප්‍රමාණය දැන් දැන් වැඩියි. බයිබලේ තියෙන සත්‍යයන් එයාලට උගන්වන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. බයිබලයේ තියෙන තොරතුරු ගැනත් යෙහෝවා දෙවියන් ගැනත් විශ්වාසයක් ඇති කරගන්න ඒ අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

^ 1 ඡේ. සමීක්ෂණවලට අනුව අයර්ලන්තය, අසර්බයිජානය, ඇල්බේනියාව, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ජපානය, ජර්මනිය, ඩෙන්මාර්කය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, නෝර්වේ, ප්‍රංශය, වියට්නාමය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, හොං කොං කියන රටවල් ඒකට ඇතුළත්.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: මේ ලිපියේ ආගමක් අදහන්නේ නැති අය කියද්දී ඒකට දෙවියන් ගැන විශ්වාසයක් නැති අයත් ඇතුළත්.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් එයාත් එක්ක ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක්ට සාක්ෂි දරනවා. පස්සේ අවස්ථාවක ඒ කෙනා අපේ වෙබ් අඩවිය බලනවා.