Skip to content

පටුනට යන්න

විසිවෙනි පරිච්ඡේදය

“මම විශ්වාස කරනවා”

“මම විශ්වාස කරනවා”

1. මාර්තා දුක් වෙන්නේ ඇයි? ඒ ගැන ඇයට හැඟුණේ කොහොමද?

මාර්තාගේ දයාබර සොහොයුරා වූ ලාසරුස් මිය ගොස් දවස් හතරක් ගත වී තිබුණා. මාර්තා සිටියේ හද පැළෙන තරම් වේදනාවකින්. තම සොහොයුරා මිය ගොස් සිටින බව පිළිගන්න ඇගේ හිත ඇයට ඉඩ දුන්නේ නැහැ. නිවසට පැමිණි නෑදෑ හිතවතුන් සහ අමුත්තන් නිසා ඇය වෙහෙසින් හෙම්බත් වී සිටියා.

2, 3. (අ) යේසුස්ව දුටු විට මාර්තාට හැඟුණේ කොහොමද? (ආ) මාර්තා අවසානයේදී පැවසූ දෙයින් පැහැදිලි වෙන්නේ කුමක්ද?

2 මාර්තාට යේසුස්ව මුණගැසුණු අවස්ථාවේදී ඇගේ සිතේ තිබුණු වේදනාව දෙගුණ තෙගුණ වෙන්න ඇති. ලාසරුස්ගේ හොඳම මිත්‍රයා වන යේසුස් ඒ අවස්ථාවේදී සිටියා නම් තම සොහොයුරා මිය යන්නේ නැති බව මාර්තා දැන සිටියා. කොහොමවුණත් යේසුස් ඇගේ තත්වය හොඳින් තේරුම්ගෙන ඇයට කාරුණිකව සැලකූ නිසා මාර්තාට ලොකු සහනයක් දැනුණා. දුකෙන් වෙළී සිටි මාර්තාට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසයත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවත් ස්ථිර කිරීමේ අරමුණින් යේසුස් ඇගෙන් විවිධ ප්‍රශ්න ඇසුවා. ඔහු සමඟ කතා කිරීමෙන් ඇගේ විශ්වාසය කොතරම් වැඩි වී තිබෙනවාද කියා අවසානයේදී මාර්තා පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට එන්න සිටින තැනැත්තා ඔබ බවත් මම විශ්වාස කරනවා.”—යොහ. 11: 27.

3 මාර්තාට මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා ඇය පැවසූ දෙයින් පැහැදිලියි. ඇය ගැන බයිබලයේ සඳහන් වී තිබෙන්නේ තොරතුරු ස්වල්පයක් වුණත් දෙවි කෙරෙහි අපිට තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීම සඳහා එය අපිට උපකාරවත් වෙනවා. ඒ නිසා ඇය ගැන බයිබලයේ මුල් වතාවට සඳහන් කර තිබෙන සිද්ධිය ගැන බලමු.

‘ඇයි මේ තරම් කරදර වෙන්නේ?’

4. මාර්තාගේ පවුලේ හිටියේ කවුද? ඔවුන් හා යේසුස් අතර තිබුණේ මොන වගේ බැඳීමක්ද?

4 මාර්තා ගැන බයිබලයේ මුලින්ම සඳහන් වෙන්නේ යේසුස් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි. ඒ වන විට ලාසරුස් ජීවතුන් අතර සිටියා. ලාසරුස්ට අමතරව මාර්තාට මරියා නම් සොහොයුරියක්ද සිටියා. ඔවුන් ජීවත් වුණේ බෙතානිය නම් නගරයේයි. මොවුන් ගැන සඳහන් වන අවස්ථාවලදී මාර්තාගේ නම මුලින් සඳහන් වන නිසාත් ආගන්තුක සත්කාරය පිරිනමද්දී ඇය මුල් තැන ගෙන ක්‍රියා කළ නිසාත් ඇය පවුලේ වැඩිමලා විය යුතුයි කියා සමහර පර්යේෂකයන් පවසනවා. (යොහ. 11:5) ඔවුන් තිදෙනා විවාහ වී සිටියාද නැද්ද කියා අපිට නිශ්චිතවම පවසන්න බැහැ. කොහොමවුණත් ඔවුන් යේසුස්ගේ කිට්ටු මිතුරන්. යේසුස් යුදා නගරයේ දේශනා සේවය කරද්දී නවාතැන් ගත්තෙත් ඔවුන්ගේ නිවසෙයි. දේශනා සේවයේදී විවිධ පීඩා අද්දකින්න සිදු වුණත් ඔවුන්ගේ නිවසේ නවාතැන් ගැනීමෙන් යේසුස්ගේ මනසට සහනයකුත් ප්‍රබෝධයකුත් දැනෙන්න ඇති.

5, 6. (අ) යේසුස් පැමිණෙන බව දැනගත් මාර්තා කළේ මොනවාද? (ආ) යේසුස් පැමිණි පසුව මරියා කළේ මොනවාද?

5 ආගන්තුකයන්ට සත්කාර කිරීමේදී මුල් තැන ගෙන ක්‍රියා කළ මාර්තා ඉතා කඩිසර කාන්තාවක්. දැන් ඇය කඩිමුඩියේ සූදානම් වෙන්නේ යේසුස්ට සහ ඔහු සමඟ පැමිණෙන අයට උපරිමයෙන් සංග්‍රහ කරන්නයි. ඒ කාලයේදී ආගන්තුක සත්කාරයට විශේෂ තැනක් හිමි වුණා. සාමාන්‍යයෙන් නිවසට පැමිණෙන අමුත්තන්ව වැලඳගෙන ආදරයෙන් පිළිගන්නවා. ඔවුන්ගේ පාවහන් ගලවා පාද සෝදනවා. ඒ විතරක් නෙවෙයි හිසට සුවඳවත් තෙල්ද ආලේප කරනවා. (ලූක් 7:44-47 කියවන්න.) අමුත්තන්ට හොඳම ස්ථානයක නවාතැන් දීමටත් උපරිමයෙන් සංග්‍රහ කිරීමටත් නිවසේ සිටින අය වගබලා ගන්නවා.

6 තමන්ගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න මරියාත් වෙහෙස නොබලා වැඩ කරනවා. මරියා යම් දේවල් ඉගෙනගන්න ආශාවක් දැක්වූ කෙනෙක් බව ඇත්තයි. නමුත් ඇය ගෙදරදොරේ වැඩ පැහැරහැරියේ නැහැ. යේසුස් ඔවුන්ගේ නිවසට පැමිණීමට කලින් ඇය මාර්තාට අනිවාර්යයෙන්ම අවශ්‍ය උපකාරය ලබා දෙන්න ඇති. නමුත් යේසුස් පැමිණි පසුව ඇය තවදුරටත් මාර්තාට උපකාර කරන්නේ නැහැ. යේසුස් වටිනා තොරතුරු ඉගැන්වීමට පටන්ගත් නිසා මරියා ඔහු අසල වාඩි වී ඉතාමත් උනන්දුවෙන් ඒවාට සවන් දීගෙන සිටියා. ඒ කාලයේ සිටි ආගමික නායකයන් ස්ත්‍රීන්ව පහත් කර සැලකුවත් යේසුස් එසේ කළේ නැහැ. ඔවුන්ට ගෞරවයෙන් සැලකූ යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන වටිනා තොරතුරු කියා දුන්නා. යේසුස්ගෙන් ඉගෙනගැනීමට ලැබී තිබෙන මේ කදිම අවස්ථාව අතපසු කිරීමට මරියා කැමති වෙන්නේ නැහැ.

7, 8. මාර්තාට පීඩනයක් දැනුණේ ඇයි? ඇය යේසුස්ට පැවසුවේ මොනවාද?

7 කිරීමට තිබෙන වැඩ කන්දරාව තනිවම කරන්න මාර්තාට සිදු වෙනවා. බොහෝ ව්‍යංජන පිළියෙල කරන්න සිදු වන නිසාත් අමුත්තන් වෙනුවෙන් කිරීමට තවත් බොහෝ දේවල් තිබුණු නිසාත් ඇයට ලොකු පීඩනයක් දැනෙන්න ඇති. ඇය කඩිමුඩියේ ඒ දේවල් කරන අතරතුරේදී තම සොහොයුරිය යේසුස් අසල වාඩි වී සිටින අයුරු දකිද්දී ඇයට කෝපයක් දැනුණාද? ඇය කෝපය පෙන්වන අයුරින් ක්‍රියා කළාද? එසේ වුණා නම් ඒ ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ.

8 ඇය තවදුරටත් පීඩනය දරාගත නොහැකිව උගන්වමින් සිටි යේසුස්ට බාධා කරමින් මෙසේ පවසනවා. “ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදු වෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න.” (ලූක් 10:40) ඇය එසේ පැවසුවේ යම් නුරුස්නාගතියකින් බව පැහැදිලියි.

9, 10. (අ) යේසුස් මාර්තාට පැවසුවේ මොනවාද? (ආ) වෙහෙස වී කෑම පිළියෙල කිරීම වැරදියි කියා යේසුස් අදහස් නොකළ බව අපි දන්නේ කොහොමද?

9 ඒ අවස්ථාවේදී යේසුස් සන්සුන්ව ඇයට මෙසේ පවසනවා. “මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ? බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” (ලූක් 10:41, 42) එසේ පැවසීමෙන් යේසුස් අදහස් කළේ මොනවාද? දෙවි ගැන ඉගෙනගැනීමට මාර්තාට වුවමනාවක් තිබුණේ නැති බව ඔහු ඉන් අදහස් කළාද? ඇය වෙහෙස මහන්සි වී ආහාර පිළියෙල කිරීම ගැන ඔහු ඇයට දොස් නැඟුවාද? අපි දැන් ඒ ගැන බලමු.

මාර්තා බොහෝ දේවල් ගැන කරදර වුණත් ඇයට ලැබුණු නිවැරදි කිරීම පිළිගත්තා

10 මාර්තා දේවල් කළේ යහපත් චේතනාවකින් බව යේසුස් දැනගෙන සිටියා. භෝජන සංග්‍රහයන් පිළියෙල කිරීම වැරදි නැති බවත් ඔහු තේරුම්ගෙන සිටියා. මතෙව්ගේ නිවසේ පැවැත්වූ ‘විශාල භෝජන සංග්‍රහයකට’ ඔහු සහභාගි වී තිබීමෙන් එය පැහැදිලියි. (ලූක් 5:29) ඒ අනුව මාර්තා වෙහෙස වී කෑම පිළියෙල කිරීමේ වරදක් තිබුණේ නැහැ. වැරැද්ද වුණේ ඇය මුල් තැන දිය යුතුව තිබුණු දෙයට මුල් තැන දෙනවා වෙනුවට කෑම ගැන අනවශ්‍ය ලෙස කරදර වීමයි. ඒ අවස්ථාවේදී ඇය මුල් තැන දිය යුතුව තිබුණේ කුමකටද?

මාර්තා ආගන්තුක සත්කාරය පිරිනැමුවේ යහපත් චේතනාවකින් බව දැන සිටි යේසුස් ඇයව අගය කළා

11, 12. යේසුස් මාර්තාව නිවැරදි කළේ කොහොමද?

11 මාර්තාගේ නිවසට පැමිණ තිබෙන්නේ යෙහෝවා දෙවිගේ පුත්‍රයා. ඔහුගෙන් ඉගෙනගැනීමට ලැබී තිබෙන අනගි වරප්‍රසාදයට සම කළ හැකි තවත් දෙයක් නැහැ. ඒ නිසා කෑම වේලක් පිළියෙල කිරීම වෙනුවෙන් මාර්තා දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය ශක්තිමත් කරගැනීමට ලැබී තිබෙන අවස්ථාව අහිමි කරගැනීම ගැන යේසුස් දුක් වෙන්න ඇති. නමුත් ඇයට කැමති තීරණයක් ගැනීමට යේසුස් ඉඩ දෙනවා. * මරියා ගෙන තිබෙන තීරණයට බාධා කරන්න කියා යේසුස්ගෙන් ඉල්ලා සිටින්න මාර්තාට අයිතියක් නැහැ.

12 මාර්තා යම් පීඩනයකින් සිටින බව තේරුම්ගත් යේසුස් ඇයව සන්සුන් කරමින් ඉතා කාරුණිකව දෙවතාවක්ම ඇගේ නම සඳහන් කරනවා. පසුව බොහෝ දේවල් සෑදීමට ‘මේ තරම් කරදර වෙන්න’ අවශ්‍ය නැහැ කියා ඔහු ඇයට පවසනවා. එනම් දෙවි ගැන ඉගෙනගන්න කාලය යොදවන අවස්ථාවන්වලදී ඉතාමත් සරල කෑම වේලක් පිළියෙල කිරීම ප්‍රමාණවත්. එසේනම් කෑම පිළියෙල කිරීම වෙනුවෙන් “වඩාත් හොඳ දෙය” මරියාට අහිමි කරවීමට යේසුස් කැමති වෙයිද!

13. යේසුස් මාර්තාට පැවසූ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 එම සිද්ධියෙන් අපිට වටිනා පාඩම් රැසක් ඉගෙනගන්න පුළුවන්. වෙනත් ඕනෑම දෙයක් නිසා “දෙවිගේ මඟ පෙන්වීම්” ලබාගැනීමට තිබෙන අවස්ථා අපි කිසිවිටෙක අතපසු නොකළ යුතුයි. (මතෙ. 5:3) ආගන්තුක සත්කාරය පිරිනැමීම සම්බන්ධයෙන් හා කඩිසරව වැඩ කිරීම සම්බන්ධයෙන් මාර්තා අපිට කදිම ආදර්ශයක්. නමුත් ආගන්තුක සත්කාරය පිරිනැමීමේදී ඒ ගැන අනවශ්‍ය ලෙස ‘කරදර වීමෙන්’ වඩාත් වැදගත් දේවල් අතපසු නොකිරීමට වගබලා ගමු. අපි සහෝදර සහෝදරියන් සමඟ එකතු වීමේ මූලික අරමුණ වෙන්නේ කෑම කා ප්‍රීති වීම පමණක් නෙවෙයි. ඒ වෙනුවට එකිනෙකාගෙන් දිරිගැන්වීමක් ලැබීමයි. (රෝම 1:11, 12 කියවන්න.) ඒ නිසා එවන් අවස්ථාවන් සඳහා සරල කෑම වේලක් ප්‍රමාණවත්.

සහෝදරයාගේ වියෝව සහ නැවත නැඟිටීම

14. නිවැරදි කිරීමක් ලැබෙද්දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්තා කදිම ආදර්ශයක් වෙන්නේ ඇයි?

14 යේසුස් මාර්තාව නිවැරදි කරමින් පැවසූ දෙයින් ඇය පාඩමක් ඉගෙනගත්තාද? ඔව්. පසු කාලයකදී යොහන් සඳහන් කළ මේ දෙයින් එය පැහැදිලියි. “යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළේය.” (යොහ. 11:5) යේසුස් මාර්තාගේ නිවසට ගිය අවස්ථාවේ සිට දැන් මාස ගණනාවක් ගෙවී තිබෙනවා. යේසුස්, තමන්ව නිවැරදි කිරීම ගැන මාර්තාගේ හිතේ කිසිම අමනාපයක් තිබුණේ නැහැ. විටින් විට අපි සියලුදෙනාටත් යම් නිවැරදි කිරීම් අවශ්‍ය වෙනවා. එවන් අවස්ථාවලදී අපි ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්තා අපට තබා තිබෙන්නේ කදිම ආදර්ශයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද?

15, 16. (අ) ලාසරුස් අසනීප වූ විට මාර්තා මොනවා කරන්න ඇද්ද? (ආ) මාර්තා සහ මරියාගේ බලාපොරොත්තු සුන් වුණේ ඇයි?

15 නොසිතූ ලෙස ලාසරුස් අසනීප වෙනවා. තම සොහොයුරාව රැකබලා ගැනීම සඳහා මාර්තා ඇයට කළ හැකි සියල්ල කරන්න ඇති. නමුත් දිනෙන් දින ඔහුගේ අසනීප තත්වය උග්‍ර වෙනවා. මේ තත්වයේදී මාර්තා සහ මරියා එක මොහොතකටවත් ලාසරුස්ව තනි කරන්නේ නැහැ. තම සොහොයුරාගේ මලානික මුහුණ දෙස බලන මාර්තාට ඔවුන් කුඩා කාලයේ සිටම දුක සැප එක සේ බෙදාගෙන ගත කළ ජීවිතය සිහි වෙන්න ඇති.

16 තම සොහොයුරා වෙනුවෙන් තමන්ට කළ හැකි තවත් කිසිවක් නැති බව තේරුම්ගන්නා මාර්තා සහ මරියා යේසුස්ට මේ පණිවිඩය යවනවා. “ස්වාමීනි, ඔබේ හිතවත් මිත්‍රයා අසනීපයෙන් සිටිනවා.” (යොහ. 11:1, 3) ඒ වෙද්දී යේසුස් සිටියේ ළඟපාතක නෙවෙයි. ඔහු සිටි ස්ථානයට පයින් යෑමට දවස් දෙකක් පමණ ගත වෙනවා. යේසුස් තමන්ගේ සොහොයුරාට බෙහෙවින් ප්‍රේම කරන බව දැන සිටි මාර්තා සහ මරියා ඔහුගේ ජීවිතය බේරා දීමට යේසුස් පැමිණ කුමක් හෝ කරයි කියා බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තුව සුන් කරමින් ලාසරුස් මියැදුණා.

17. මාර්තා කල්පනා කරන්න ඇත්තේ මොනවා ගැනද? යේසුස් එන බව ආරංචි වූ සැණින් ඇය කළේ මොනවාද?

17 හද පැළෙන තරම් වේදනාවකින් වුණත් මාර්තා සහ මරියා තම සොහොයුරාගේ නිසොල්මන් දේහය තැන්පත් කිරීමට සූදානම් කරනවා. ඒ අතරතුරේදී බෙතානියෙන් හා ඒ අවට ප්‍රදේශවලින් බොහෝ පිරිසක් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. නමුත් යේසුස් තවමත් නැහැ. මොහොතින් මොහොත ගෙවී යද්දී යේසුස් තවමත් නැත්තේ ඇයි කියා මාර්තා කල්පනා කරන්න ඇති. දින හතරක් ගෙවුණු පසුව යේසුස් බෙතානියට පැමිණ තිබෙන බව මාර්තාට ආරංචි වෙනවා. දුකින් වෙළී සිටි මේ මොහොතේ වුණත් ඒ ආරංචිය ලැබුණු සැණින් ඇය යේසුස්ව හමු වීමට යන්නේ මරියාටවත් පවසන්නේ නැතුවයි.යොහන් 11:18-20 කියවන්න.

18, 19. මාර්තාට තිබුණු බලාපොරොත්තුව කුමක්ද? එය අගය කරන්න වටින්නේ ඇයි?

18 යේසුස්ව හමු වූ මොහොතේම හිතේ තද කරගෙන සිටි දෙය ගැන ඇය මෙසේ පවසනවා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” නමුත් ඇය බලාපොරොත්තු සුන් කරගෙන තිබුණේ නැහැ. දැන් වුණත් යේසුස්ට යමක් කරන්න පුළුවන් බව ඇය තුළ නිසැකකමක් තිබුණා. “ඔබ දෙවිගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දෙවි ඔබට දෙන බව මම දන්නවා” කියා ඇය පැවසුවේ ඒ නිසයි. ඒ අවස්ථාවේදී යේසුස් ඇයට පැවසුවේ “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියායි.—යොහ. 11:21-23.

19 යේසුස් පැවසුවේ අනාගතයේදී සිදු වන නැවත නැඟිටීම ගැන කියා සිතූ මාර්තා “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී ඔහු නැඟිටින බව මම දන්නවා” කියා යේසුස්ට පවසනවා. (යොහ. 11:24) නමුත් ඒ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් පිරිසක් වන සද්දුසිවරුන් නැවත නැඟිටීම විශ්වාස කළේ නැහැ. (දානි. 12:13; මාක් 12:18) කොහොමවුණත් මාර්තාට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන තිබුණු නොසැලෙන විශ්වාසය අගය කරන්න වටිනවා. යේසුස් නැවත නැඟිටීම ගැන ඉගැන්නුවා පමණක් නෙවෙයි කිහිපදෙනෙකුව නැවත නැඟිටෙවූ බවත් ඇය දැන සිටියා. නමුත් මිය ගොස් දින ගණනාවක් ගෙවුණු පසු යේසුස් නැවත නැඟිටෙවූ කෙනෙක් ගැන නම් ඇය මීට පෙර අසා තිබුණේ නැහැ. ඒ නිසා යේසුස් මොනවා කරයිද කියා ඇය සිතන්න ඇති.

20. යේසුස් මාර්තාට පැවසූ දෙයින් අදහස් වුණේ මොනවාද? මාර්තා පැවසූ දෙයින් පැහැදිලි වෙන්නේ මොනවාද?

20 ඒ අවස්ථාවේදී “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි” කියා යේසුස් ඇයට පැවසුවා. ඒ වන විටත් මිය ගොස් සිටින අයව අනාගතයේදී නැවත නැඟිටුවීමේ බලය යෙහෝවා දෙවි යේසුස්ට දී තිබුණා. ඒ නිසා යේසුස් “ඔබ මේ දේ විශ්වාස කරනවාද” කියා මාර්තාගෙන් අසනවා. මේ පරිච්ඡේදයේ දෙවෙනි ඡේදයේ සඳහන් පිළිතුර ඇය පැවසුවේ එවිටයි. ඇය දුන් පිළිතුරෙන් පැහැදිලි වෙන්නේ යේසුස් ගැලවුම්කරු බවත් ඔහු යෙහෝවා දෙවිගේ පුත්‍රයා බවත් අනාගතවක්තෘවරුන් පවසා තිබුණේ මොහු ගැන බවත් මාර්තාට නොසැලෙන විශ්වාසයක් තිබුණු බවයි.—යොහ. 5:28, 29, යොහන් 11:25-27 කියවන්න.

21, 22. (අ) වියෝදුකෙන් සිටි අය සමඟ යේසුස් දුක් වුණා කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) ලාසරුස්ගේ නැවත නැඟිටීම විස්තර කරන්න.

21 මාර්තාට තිබුණා හා සමාන විශ්වාසයක් තිබෙන අයව යෙහෝවා දෙවි සහ යේසුස් අගය කරනවාද? ඊළඟට සිද්ධීන් පෙළ ගැසෙන ආකාරයෙන් ඊට පිළිතුර දැනගන්න පුළුවන්. යේසුස් පැමිණ සිටින බව තම සොහොයුරියට දැනුම් දීමට මාර්තා හැකි විගසින් නිවසට යනවා. මාර්තා, මරියා සමඟ යේසුස් සිටි ස්ථානයට නැවතත් පැමිණෙද්දී ඔවුන්ගේ නිවසේ සිටි අනික් අයත් ඔවුන් සමඟ පැමිණෙනවා. හඬා වැලපෙන මරියාව සහ අනික් සෙනඟව දකිද්දී යේසුස්ට මහත් ශෝකයක් දැනෙන නිසා ඔහුගේ දෙනෙත් කඳුළින් පිරෙනවා. වැඩි වේලාවක් යන්න කලින් ලාසරුස්ව තැන්පත් කර තිබෙන ගුහාව අසලට යන යේසුස් එහි ගල අහකට ගන්න කියා පවසනවා.—යොහ. 11:28-39.

22 යේසුස් පැවසූ දේ ඇසුණු සැණින් තම සොහොයුරා මිය ගොස් දැන් දවස් හතරක් ගෙවී තිබෙන නිසා මිනිය හොඳටම ගඳ ගසනවා ඇති කියා මාර්තා පවසනවා. ඇය එසේ පවසන්නේ එදිනෙදා ජීවිතයේදී සෑම දෙයක් ගැනම හොඳින් සිතා බලා වැඩ කිරීමට පුරුදු වී සිටි නිසයි. එවිට යේසුස්, “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව මම ඔබට කිව්වා නේද” කියා ඇයට පවසනවා. යේසුස් පැවසූ දේ මාර්තාට තම දෙනෙතින්ම දැකගැනීමට වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ. මිය ගොස් සිටින ලාසරුස්ව නැඟිටුවන්න යෙහෝවා දෙවි තම පුත්‍රයාට බලය ලබා දුන් නිසා ඔහු ලාසරුස්ට මෙසේ අණ කරනවා. “ලාසරුස්, පිටතට එන්න.” ඒ මොහොතේම සියල්ලන්වම මවිතයට පත් කරමින් අත් පා රෙදි පටිවලින් ඔතා සිටි ලාසරුස් ගුහාවෙන් පිටතට පැමිණෙනවා. එවිට “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියා යේසුස් පවසනවා. ඒ අවස්ථාවේ තම සොහොයුරා වෙත දිව යන මාර්තා සහ මරියා ඔහුව ආදරයෙන් වැලඳගන්නවා. (යොහන් 11:40-44 කියවන්න.) ඒ මොහොතේ මාර්තා මොන තරම් ප්‍රීතියට පත් වෙන්න ඇද්ද!

මාර්තා යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ආශීර්වාද ලැබුවා

23. යෙහෝවා දෙවි සහ යේසුස් ආශාවෙන් බලා සිටින්නේ කුමකටද? ඔබ කළ යුත්තේ මොනවාද?

23 මිය ගිය අයව නැවත දැකගැනීම සඳහා තිබෙන බලාපොරොත්තුව නිකම්ම සිතේ මවාගත් දෙයක් නොවන බව ඉන් පැහැදිලියි. එය බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීමක් පමණක් නෙවෙයි, එය සත්‍යයක් බව ඔප්පු වී තිබෙනවා. (යෝබ් 14:14, 15) දෙවි කෙරෙහිත් යේසුස් කෙරෙහිත් පූර්ණ විශ්වාසයක් තිබුණු නිසා මාර්තාට, මරියාට සහ ලාසරුස්ට බොහෝ ආශීර්වාද ලැබුණා. අදටත් විශ්වාසයක් තිබෙන අයට ආශීර්වාද කිරීමට යෙහෝවා දෙවි සහ යේසුස් ආශාවෙන් බලා සිටිනවා.

“සංග්‍රහ කරමින් සිටියේ මාර්තාය”

24. බයිබලයේ අවසාන වතාවට මාර්තා ගැන සඳහන් වෙන්නේ මොනවාද?

24 මාර්තා ගැන බයිබලයේ සඳහන් අවසන් වාර්තාව ගැන අපි බලමු. මේ වන විට යේසුස් මිහිමත ගෙවමින් සිටියේ ඔහුගේ අවසාන සතියයි. තමන්ට මුහුණ දීමට සිදු වන වේදනාකාරී තත්වයන් ගැන දැන සිටි නිසා මනසට යම් සහනයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් යේසුස් බෙතානියේ ලාසරුස්ගේ නිවසට පැමිණෙනවා. එහි සිට යෙරුසලමට තිබෙන්නේ කිලෝමීටර් තුනක පමණ දුරක්. යේසුස්, ලාසරුස් සමඟ සීමොන්ගේ නිවසේ භෝජන සංග්‍රහයක් භුක්ති විඳිමින් සිටිනවා. ඒ අවස්ථාවේදී “සංග්‍රහ කරමින් සිටියේ මාර්තා” බව බයිබලයේ සඳහන් වෙනවා.—යොහ. 12:2.

25. මාර්තා මෙන් කටයුතු කරන සහෝදරියන් අප අතරේ සිටීම ආශීර්වාදයක් වෙන්නේ ඇයි?

25 මාර්තා මොන තරම් කඩිසර කාන්තාවක්ද! බයිබලයේ ඇය ගැන මුල් වතාවට සඳහන් වූ සිද්ධියේදීත් ආගන්තුකයන්ට සත්කාර කිරීම සඳහා ඇය වෙහෙස නොබලා වැඩ කරමින් සිටියා. මාර්තා ගැන සඳහන් අවසන් සිද්ධියේදීත් ඇය අමුත්තන්ට සංග්‍රහ කරනවා. මාර්තා අන් අය වෙනුවෙන් තමන්ට හැකි උපරිමය කළා. අදටත් මාර්තා මෙන් අන් අය වෙනුවෙනුත් දේවල් කරන සහෝදරියන් අපි අතරේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් වෙහෙස නොබලා දෙවිට සේවය කරනවා. සමහරවිට මාර්තාත් එසේ කරන්න ඇති. එසේ කළා නම් දිවි ගමනේදී මුහුණ දීමට සිදු වූ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීමට ඇය සමත් වෙන්න ඇති.

26. මාර්තාට දෙවි කෙරෙහි තිබුණු පූර්ණ විශ්වාසය උපකාර කළේ කුමක් කරන්නද?

26 තමා බෙහෙවින්ම ආදරය කළ යේසුස්ගේ වියෝව දරාගැනීමටත් මාර්තාට සිදු වෙනවා. යේසුස්ව මරා දැමූ මිනී මරුවන් මීට පෙර ලාසරුස්වත් මරා දැමීමට තැත් කර තිබුණා. ඔවුන් එසේ කළේ ලාසරුස්ගේ නැවත නැඟිටීම නිසා බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමට පටන්ගෙන තිබුණු නිසයි. (යොහන් 12:9-11 කියවන්න.) කල් ගත වෙද්දී මරණය නිසා මාර්තාට ඇගේ සොහොයුරාගෙනුත් සොහොයුරියගෙනුත් වෙන් වෙන්න සිදු වුණා. එය සිදු වුණේ කොහොමද, කවදාද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් ඇය අවසානය දක්වාම දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටියා කියා අපිට සිතන්න පුළුවන්. ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අනුකරණය කරන්න අපිත් කළ හැකි සියල්ල කළ යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

^ 11 ඡේ. මුල් සියවසේදී යුදෙව් සමාජයේ අය සිතුවේ කාන්තාවන්ට අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍ය නැහැ කියායි. කාන්තාවන්ව මූලිකව පුහුණු කළේ ගෙදරදොරේ වැඩ කටයුතු හොඳින් කරගෙන යෑමට. ඒ නිසා තමන්ගේ සොහොයුරිය ගුරුවරයෙක් අසල ඉඳගෙන උගන්වන දේවල් අසාගෙන සිටිනවා දකිද්දී මාර්තාට එය අසාමාන්‍ය දෙයක් ලෙස සිතෙන්න ඇති.