Skip to content

පටුනට යන්න

අටවෙනි පරිච්ඡේදය

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලී සිටියා

සුන් වූ බලාපොරොත්තු මැද නොසැලී සිටියා

1. ෂීලෝ නුවරේ වැසියන් වැලපෙන්නේ ඇයි?

මුළු ෂීලෝ නුවරම එහි වැසියන්ගේ කඳුළුවලින් නැහැවී තිබෙන ආකාරය සාමුවෙල් දකිනවා. තමන්ගේ පියවරුන්ව, පුරුෂයන්ව, පුතුන්ව සහ සහෝදරයන්ව නැවත කිසිදා දකින්න නොලැබෙන බව දැනගන්න ලැබීමෙන් ස්ත්‍රීන් සහ දරුවන් හඬා වැලපෙනවා. මේ වන විට පිලිස්තිවරුන් සමඟ කළ යුද්ධයෙන් ඊශ්‍රායෙල්වරුන් 4,000ක් මිය ගොස් වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ. දැන් තවත් 30,000කගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා.—1 සාමු. 4:1, 2, 10.

2, 3. ෂීලෝ නුවරේ තේජස නැති වී යෑමට බලපෑ හේතු මොනවාද?

2 මේ සිදුවීම්වලට කලින් සිදු වුණේ මොනවාද කියලා අපි දැන් බලමු. උත්තම පූජක ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොප්නී සහ පිනෙහාස් ශුද්ධ කූඩාරමේ තිබුණු ගිවිසුම් පෙට්ටිය කඳවුරට රැගෙන ගියා. දෙවිගේ අනුමැතිය ඉන් නියෝජනය වූ නිසා එය රැගෙන ගියොත් පිලිස්තිවරුන් සමඟ කරන සටනෙන් ජය ලැබෙයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා. නමුත් සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඊශ්‍රායෙල් ජාතිය එම යුද්ධයෙන් පරාජය වූ අතර හොප්නී හා පිනෙහාස්ද මිය ගියා. පසුව පිලිස්තිවරුන් ගිවිසුම් පෙට්ටියත් රැගෙන ගියා.—1 සාමු. 4:3-11.

3 සියවස් ගණනාවක් පුරා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ ශුද්ධ කූඩාරමේ. නමුත් දැන් ගිවිසුම් පෙට්ටියට සිදු වී තිබෙන දේ දැනගත් විට එය දරාගත නොහැකිව උත්තම පූජක ඒලී බංකුවෙන් වැටී මිය යනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 98යි. දරු ප්‍රසූතියට ආසන්නව සිටි පිනෙහාස්ගේ බිරිඳ, තම පුරුෂයාටත් මාමණ්ඩියටත් සිදු වූ දේවල් අසන්න ලැබීමෙන් දරු ප්‍රසූතියේදීම මිය යනවා. ඇය මිය යන්න මොහොතකට කලින් ‘දැන් ඊශ්‍රායෙල්හි තේජස නැති වී ගිහින්’ කියා පැවසුවා.—1 සාමු. 4:12-22.

4. මේ පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 මේ තත්වය හමුවේ සාමුවෙල් ක්‍රියා කරන්නේ කොහොමද? ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ අනුමැතිය නැවතත් ලබාගන්න උපකාර කරන්න ඔහුට හැකි වෙයිද? අපි සියලුදෙනාත් යම් අවස්ථාවලදී අභියෝගවලට හා අධෛර්යය කරවන සිදුවීම්වලට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලදී සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද කියා අපි සාමුවෙල්ගේ ආදර්ශයෙන් බලමු.

ඔහු ‘ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළා’

5, 6. සාමුවෙල් ගැන සඳහන් නොවන වසර 20ක කාලය තුළ බයිබලයේ වැඩි අවධානයක් දී තිබෙන්නේ කුමක් ගැනද? ඒ කාලය අතරතුර සාමුවෙල් කළේ මොනවාද?

5 ඒ සිද්ධියෙන් පසුව බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ ගිවිසුම් පෙට්ටිය ගැනයි. පිලිස්තිවරු ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය නිසා ඔවුන්ට මොන තරම් දුක් වේදනාවන් අද්දකින්න සිදු වූවාද කියාත් නැවත එය භාර දෙන්න ඔවුන්ට සිදු වුණේ ඇයි කියාත් එහි සඳහන් වෙනවා. සාමුවෙල් ගැන නැවතත් එහි සඳහන් වෙන්නේ වසර 20ක් ගත වූවාට පසුවයි. (1 සාමු. 7:2) ඒ කාලය අතරතුර සාමුවෙල් මොනවා කරන්න ඇද්ද?

වියෝදුකින් සිටි ජනයාව සාමුවෙල් සැනසුවේ කොහොමද?

6 ගෙවී ගිය ඒ වසර 20ට කලින් සිටම යෙහෝවා දෙවි ‘තමාට හෙළි කළ වචන සාමුවෙල් දිගටම ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රකාශ කළ බව’ බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමු. 4:1) ඒ වසර 20න් පසුවත් සාමුවෙල් සෑම වසරකදීම ඊශ්‍රායෙල් දේශයේ නගර තුනකට ගොස් ඒ සෙනඟගේ නඩු විභාග කළ බවත් එහි සඳහන් වෙනවා. (1 සාමු. 7:15-17) ඒ තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ බයිබලයේ සාමුවෙල් ගැන කිසිම තොරතුරක් සඳහන් කර නැති කාලය අතරතුරේදීත් ඔහු දිගටම දෙවිගේ සේවයේ කාර්යබහුලව සිටි බවයි.

සාමුවෙල් ගැන බයිබලයේ වාර්තා වී නැති වසර 20 තුළත් ඔහු දිගටම දෙවිට සේවය කළ බව නිසැකයි

7, 8. (අ) සාමුවෙල් සෙනඟට පවසන්නේ මොනවාද? (ආ) සෙනඟ ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?

7 ඒලීගේ පුත්‍රයන් දෙදෙනා අනාචාරයේ සහ දූෂිත ක්‍රියාවල නියැලීම දෙවිගේ සෙනඟට නරක බලපෑමක් වූ නිසා බොහෝදෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගන්න ඇති. සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ පවසනවා. “ඔබ මුළු සිතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔබ ළඟ තිබෙන අෂ්ටොරෙත් රූප හා වෙනත් බොරු දෙවිවරුන්ගේ රූප ඉවත් කර යෙහෝවා දෙවි වෙතට හැරෙන්න. ඔහුට පමණක් නමස්කාර කරන්න. එවිට ඔහු ඔබව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගනියි.”—1 සාමු. 7:3.

8 ඊශ්‍රායෙල් හමුදාව යුද්ධයෙන් පරාජය වූ පසුව පිලිස්තිවරු දෙවිගේ සෙනඟට පීඩා කරන්නේ කිසිම භයක් සැකක් නැතුව. මේ තත්වය හමුවේ සහනයක් අද්දකින්න නම් ඊශ්‍රායෙල්වරුන් අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවි වෙතට හැරිය යුතු බව සාමුවෙල් සෙනඟට පවසනවා. සාමුවෙල් කී දේට සෙනඟ කීකරු වෙයිද? ඔව්. ඔවුන් තමන් ළඟ තිබුණු සියලු රූප අහක දමා ‘යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගන්නවා.’ දැන් සාමුවෙල් සෙනඟට පවසන්නේ යෙරුසලමට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක් වූ මිෂ්පා නුවරට රැස් වෙන්න කියායි. එතැනට රැස් වූ සෙනඟ නිරාහාරව සිටිමින් ඔවුන් කළ පව් ගැන පසුතැවෙනවා.—1 සාමුවෙල් 7:4-6 කියවන්න.

ඊශ්‍රායෙල් සෙනඟ මිෂ්පාහි රැස් වූ අවස්ථාවේදී ඔවුන්ව විනාශ කරන්න පුළුවන් කියා පිලිස්තිවරුන් සිතුවා

9. පිලිස්තිවරුන් සූදානම් වෙන්නේ මොනවා කරන්නද? දෙවිගේ සෙනඟ ඊට මුහුණ දෙන්නේ කොහොමද?

9 දෙවිගේ සෙනඟ මිෂ්පා නුවරට රැස් වී සිටින බව දැනගන්නා පිලිස්තිවරු ඔවුන්ව විනාශ කර දමන්න හමුදාව පිටත් කර යවනවා. ඒ ගැන ආරංචි වීමෙන් මහත් සේ කැලඹෙන දෙවිගේ සෙනඟ සාමුවෙල්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියායි. ඔවුන් වෙනුවෙන් දෙවිට කන්නලව් කරන සාමුවෙල්, දෙවිට පූජාවක්ද ඔප්පු කරන්න අමතක කරන්නේ නැහැ. පිලිස්ති හමුදාව ඒ ස්ථානයට පැමිණෙන්නේ ඒ අවස්ථාවේදීයි. නමුත් ඔවුන්ගේ සැලසුම් සාර්ථක වෙන්නේ නැහැ. සාමුවෙල්ගේ යාච්ඤාවට පිළිතුරු දෙමින් යෙහෝවා දෙවි “මහත් ගිගුරුම් හඬක් ඇති කරමින් පිලිස්තිවරුන්ව වියවුලට” පත් කරනවා.—1 සාමු. 7:7-10.

10, 11. (අ) පිලිස්තිවරුන්ට ඇසුණේ සාමාන්‍ය ගිගුරුම් හඬකට වඩා වෙනස් හඬක් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ව පරාජය කිරීමේ ප්‍රතිඵල මොනවාද?

10 කුඩා දරුවන් ගිගුරුම් හඬ ඇසෙද්දී මවගේ පිටුපසට ගොස් සැඟවෙනවා වගේ රණශූර හමුදාවක් වන පිලිස්තිවරුන් ගිගුරුම් හඬකට තිගැස්සෙයි කියා සිතන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. නමුත් මේ අවස්ථාවේදී ඇසෙන හඬට ඔවුන් තිගැස්සෙනවා. ඒ නිසා ඔවුන්ට ඇසුණේ සාමාන්‍ය ගිගුරුම් හඬකට වඩා භයංකාර හඬක් විය යුතුයි. ඒ හඬ ඇසුණේ අහස් කුසෙන්ද නැත්නම් එය කඳු අතරින් නැඟුණු දෝංකාර හඬක්ද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් ඒ හඬ නිසා ඔවුන් වියවුලට පත් වෙනවා. දෙවිගේ සෙනඟව විනාශ කරන්න පැමිණෙන මේ රණශූරයන් අවසානයේදී දෙවිගේ සෙනඟ අතටම පත් වෙනවා. මිෂ්පා සිට බෙත්-කාර්හි දකුණු මායිම දක්වාම පිලිස්තිවරුන්ව ලුහුබැඳ යන දෙවිගේ සෙනඟ ඔවුන්ව මරා දමනවා.—1 සාමු. 7:11.

11 එය දෙවිගේ සෙනඟ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් නෙවෙයිද! සාමුවෙල් විනිශ්චයකරු ලෙස සේවය කළ කාලය පුරාම ඊශ්‍රායෙල් සෙනඟට පිලිස්තිවරුන්ගෙන් කිසිම හිරිහැරයක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් යටත් කරගත් නගර දැන් ඊශ්‍රායෙල්වරුන් එකින් එක අත් පත් කරගන්නවා.—1 සාමු. 7:13, 14.

12. සාමුවෙල් “ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළ” කෙනෙක් කියා පවසන්නේ ඇයි? දිගටම දෙවිට සේවය කරන්න ඔහුට උපකාරවත් වූ ගුණාංග මොනවාද?

12 සියවස් ගණනාවක් ගෙවුණු පසු පාවුල් “ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළ” විනිශ්චයකරුවන් සහ අනාගතවක්තෘවරුන් ගැන සඳහන් කරද්දී සාමුවෙල්ගේ නමත් ඇතුළත් කළා. (හෙබ්‍රෙ. 11:32, 33) ධර්මිෂ්ඨ ජීවිතයක් ගෙවූ සාමුවෙල් අන් අයටත් දෙවිට විශ්වාසවන්තව සිටීමට උපකාර කළා. විවිධ පීඩා, අධෛර්යය වීම් මැද වුණත් දිගටම දෙවිට සේවය කිරීමට ඔහුට හැකි වුණේ දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසයි. දෙවි ලබා දුන් සෑම දෙයකටම ස්තුති කරන්නත් ඔහු අමතක කළේ නැහැ. මිෂ්පාහිදී දෙවිගේ සෙනඟ ලද ජයග්‍රහණය ගැන සිහි වීමට ලකුණක් තැබීමෙන් එය පැහැදිලියි.—1 සාමු. 7:12.

13. (අ) සාමුවෙල් මෙන් අපිත් වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද? (ආ) එම ගුණාංග අපි වර්ධනය කරගත යුත්තේ කුමන කාලයේ සිටද?

13 සාමුවෙල් මෙන් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? එසේනම් ඉවසීම, නිහතමානිකම සහ දෙවි ලබා දෙන දේවලට ස්තුති කිරීම වැනි ගුණාංග වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි. (1 පේතෘස් 5:6 කියවන්න.) සාමුවෙල් තරුණ කාලයේ සිටම මෙම ගුණාංග වර්ධනය කරගෙන තිබුණු නිසා ජීවිතයේ පසු කාලයේදී නොසිතූ තත්වයන්ට හොඳින් මුහුණ දෙන්න ඔහුට හැකි වුණා.

“ඔබේ පුත්‍රයන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි”

14, 15. (අ) මහලු වයසේදී සාමුවෙල්ට අද්දකින්න සිදු වුණේ මොනවාද? (ආ) ඒලී මෙන් සාමුවෙල් තම වගකීම් පැහැරහැරියාද? පැහැදිලි කරන්න.

14 ඒ සිද්ධීන්වලින් පසුව සාමුවෙල් ගැන නැවතත් සඳහන් කරන විට ඔහු සිටින්නේ මහලු අවදියේයි. මේ වෙද්දී ඔහුට යෝවෙල් සහ අබියා කියා පුතුන් දෙදෙනෙක් සිටිනවා. සාමුවෙල් විනිශ්චය කිරීමේ යම් වගකීම් ඔවුන්ට භාර දුන්නත් ඔවුන් සාමුවෙල් මෙන් විශ්වාසවන්තව ඒ වගකීම් ඉටු කරනවා වෙනුවට ඉන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අල්ලස් ගනිමින් යුක්තිය පෙරළනවා.—1 සාමු. 8:1-3.

15 දිනක් ඊශ්‍රායෙල් දේශයේ සිටි වැඩිමහල්ලන් සාමුවෙල්ට චෝදනා කරමින් “ඔබේ පුත්‍රයන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි” කියා පවසනවා. (1 සාමු. 8:4, 5) සිදු වෙන ඒ දේවල් ගැන සාමුවෙල් දැන සිටියාද නැද්ද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොමවුණත් ඒලී මෙන් සාමුවෙල් තම වගකීම් පැහැරනොහැරිය බව නම් නිසැකයි. ඒලී තම වගකීම් පැහැරහැරිය නිසා යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් ඔහුට ඒ ගැන අවවාද කළා. (1 සාමු. 2:27-29) නමුත් සාමුවෙල්ට යෙහෝවා දෙවි එවැනි අවවාදයක් දුන් බව බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

පුතුන්ගේ අකීකරුකම සාමුවෙල් දරාගත්තේ කොහොමද?

16. දරුවන්ගේ අකීකරුකම දෙමාපියන්ට බලපාන්නේ කොහොමද? එවැනි දෙමාපියන්ට සාමුවෙල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 තම පුතුන්ගේ හැසිරීම ගැන දැනගන්න ලැබීමෙන් සාමුවෙල් ඒ ගැන දුක් වුණාද කලකිරුණාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් දරුවන්ගේ අකීකරුකම නිසා සාමුවෙල්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද කියා ඕනෑම දෙමාපියෙක්ට තේරුම්ගන්න පුළුවන්. අද අපි ජීවත් වෙන්නේ අසීරු දවස්වල නිසා බොහෝ දරුවන්ද දෙමාපියන්ට අකීකරුයි. (2 තිමෝති 3:1-5 කියවන්න.) එවැනි දරුවන් නිසා දුක් විඳින දෙමාපියන්ට සාමුවෙල්ගෙන් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. දරුවන් දෙවිට අකීකරු වුණත් සාමුවෙල් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා. දෙමාපියන් දෙන හික්මවීම් පිළිගන්නේ නැති දරුවන් වුණත් දෙමාපියන්ගේ ආදර්ශය නිසා යම් දිනක වෙනස් වීමට ඉඩ තිබෙනවා. සාමුවෙල් මෙන් ඕනෑම තත්වයක් හමුවේ දෙමාපියන් දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් ඔවුන්ගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දෙන්න ඔවුන්ට හැකි වෙනවා.

“අපිටත් රජෙක් හිටියා නම් හොඳයි”

17. වැඩිමහල්ලන් සාමුවෙල්ගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ඔහුට ඒ ගැන හැඟුණේ කොහොමද?

17 තමන්ගේ හැසිරීම මේ තරම් දුර දිග යයි කියා සාමුවෙල්ගේ පුතුන් දෙදෙනා සිතන්නවත් නැතුව ඇති. ඊශ්‍රායෙල් දේශයේ සිටි වැඩිමහල්ලන් සාමුවෙල්ට මෙසේ පවසනවා. “වෙනත් ජාතීන්ට මෙන් අපිටත් රජෙක් හිටියා නම් හොඳයි. අපිව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න.” සාමුවෙල් වසර ගනණාවක් පුරා දෙවි පත් කළ විනිශ්චයකරු ලෙස විශ්වාසවන්තව ක්‍රියා කර තිබුණා. නමුත් දැන් මේ සෙනඟට අවශ්‍ය වී තිබෙන්නේ සාමුවෙල් වැනි විනිශ්චයකරුවෙක් වෙනුවට අවට ජාතීන්ට මෙන් තමන්ව පාලනය කිරීමට රජෙක්ව පත් කරගැනීමටයි. සාමුවෙල්ට ඒ ගැන කොහොම හැඟෙන්න ඇද්ද? ‘ඔවුන් කළ එම ඉල්ලීම ගැන සාමුවෙල් කනගාටු වෙනවා.’—1 සාමු. 8:5, 6.

18. යෙහෝවා දෙවි සාමුවෙල්ව සනසවන්නේ කොහොමද? සෙනඟ කර තිබෙන්නේ මොන තරම් බරපතළ වරදක්ද කියා දෙවි පෙන්වා දෙන්නේ කොහොමද?

18 මේ ගැන සාමුවෙල් යෙහෝවා දෙවිට පවසනවා. එයට සවන් දෙන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේයි. “සෙනඟ පවසන දේට සවන් දෙන්න. මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබව නොව, ඔවුන්ගේ රජු වන මාව.” එය ඇසීමෙන් සාමුවෙල්ගේ සිතට සහනයක් දැනුණත් රජෙක්ව ඉල්ලා සිටීමෙන් ඔවුන් යෙහෝවා දෙවිට කරන්නේ මොන තරම් අගෞරවයක්ද! රජෙක්ව පත් කරගැනීමෙන් ඔවුන්ට අත්විඳින්න සිදු වන දේවල් ගැන යෙහෝවා දෙවි සාමුවෙල් මාර්ගයෙන් අනතුරු අඟවනවා. නමුත් ඊට කන් නොදෙන ඔවුන් එකහෙළාම කියා සිටින්නේ ‘අපව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න’ කියායි.—1 සාමු. 8:7-19.

19, 20. (අ) ඊශ්‍රායෙල් රජු ලෙස සාවුල්ව අභිෂේක කරද්දී සාමුවෙල් යෙහෝවා දෙවිට කීකරු වුණේ කොහොමද? (ආ) සාමුවෙල් දිගටම දෙවිගේ සෙනඟට උදව් කළේ කොහොමද?

19 දෙවි පැවසූ ලෙසම සාමුවෙල්, සාවුල්ව රජු ලෙස අභිෂේක කරනවා. ඔහු එය කරන්නේ කැමැත්තෙන්මද? නැත්නම් හිතේ දුකත් කේන්තියත් සඟවාගෙනද? සාමාන්‍යයෙන් එවැනි තත්වයකට මුහුණ දෙන කෙනෙක් එලෙස ක්‍රියා කරන්න පුළුවන්. නමුත් සාවුල්ව රජු ලෙස තෝරා තිබෙන්නේ යෙහෝවා දෙවි නිසා සාමුවෙල් ඔහුව අභිෂේක කරන්නේ කැමැත්තෙන්මයි. සාවුල්ව සිප වැලඳගැනීමෙන් සාමුවෙල් පෙන්නුවේ ඔහුව රජු ලෙස පිළිගන්නා බව හා කැමැත්තෙන්ම ඔහුට යටත් වන බවයි. සාමුවෙල් ඊශ්‍රායෙල් සෙනඟට සාවුල්ව පෙන්වමින් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි තෝරාගත් තැනැත්තාව ඔබ දුටුවාද? ජනයා අතරේ ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”—1 සාමු. 10:1, 24.

20 සාවුල්ගේ අඩුපාඩු ගැන හිතනවා වෙනුවට සාමුවෙල් වැඩි අවධානයක් දෙන්නේ ඔහුගේ හොඳ ගුණාංගවලටයි. තමන් යෙහෝවා දෙවිට කොතරම් විශ්වාසවන්තව සේවය කළාද කියා සාමුවෙල් රැස් වී සිටින සෙනඟට මතක් කර දෙනවා. (1 සාමු. 12:1-4) ඔවුන්ව පාලනය කිරීමට සාවුල්ව රජු ලෙස පත් කළත් සාමුවෙල් දිගටම සෙනඟට අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඔහු සෙනඟව දිරිගන්වන්නේ බොරු දෙවිවරුන් පසුපස යනවා වෙනුවට දිගටම දෙවිට කීකරු වෙන්න කියායි. ඔහු පැවසූ දේවල් සෙනඟගේ සිත්වලට මොන තරම් කාවැදුනාද කියනවා නම් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා සෙනඟ සාමුවෙල්ගෙන් ඉල්ලනවා. ඒ නිසා සාමුවෙල් ඔවුන්ට මෙසේ පවසනවා. “මම ඔබ වෙනුවෙන් යාච්ඤා නොකළොත් එය යෙහෝවා දෙවිට විරුද්ධව කරන වරදක්. එවැනි දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔබ යා යුතු හරි මඟ මම කියා දෙන්නම්.”—1 සාමු. 12:21-24.

ඊර්ෂ්‍යාව හා කේන්තිය වැනි නරක ගුණාංග අපි තුළ වර්ධනය වීමට ඉඩහැරීම සුදුසු නැති බව සාමුවෙල්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන්

21. වෙන කෙනෙකුට ලැබෙන සේවා වරප්‍රසාදයක් ගැන ඔබට කලකිරීමක් ඇති වෙනවා නම් සාමුවෙල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

21 වෙන කෙනෙකුට යම් සේවා වරප්‍රසාදයක් ලැබෙද්දී ඔබට ඒ ගැන කලකිරීමක් හෝ යම් දුකක් දැනී තිබෙනවාද? එවැනි අවස්ථාවලදී ඊර්ෂ්‍යාව හා කේන්තිය වැනි නරක ගුණාංග අපේ සිත්වල වැඩෙන්න ඉඩහැරීම කොහෙත්ම සුදුසු නැහැ. සාමුවෙල් ඒ සම්බන්ධයෙන් අපිට කදිම ආදර්ශයක්. (හිතෝපදේශ 14:30 කියවන්න.) දෙවිගේ සේවය තුළ අපි හැමෝටම කරන්න ඕනෑ තරම් කාර්යයන් තිබෙන නිසා ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.

“ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?”

22. සාවුල් අනික් අය අතර කැපීපෙනෙන්න හේතු වූ කාරණා මොනවාද?

22 සාවුල්ට කඩවසම් පෙනුමක් තිබුණු නිසා ඔහු අන් අය අතර කැපී පෙනුණා. ඒ විතරක් නෙවෙයි ඔහු ඉතාම නිර්භීත, දක්ෂතාවලින් පිරිපුන් කෙනෙක්. නමුත් ඒ කිසිම දෙයක් ගැන උඩඟු නොවූ ඔහු හැසිරුණේ ඉතාමත් යටහත්පහත් ලෙසයි. (1 සාමු. 10:22, 23, 27) ඔහු තුළ තිබුණු තවත් විශේෂත්වයක් නම් හරි වැරැද්ද හඳුනාගෙන තනිවම තීරණ ගැනීමේ හැකියාවයි. (ද්වි. 30:19) නමුත් ඔහු ඒ හැකියාව නිසි ලෙස භාවිතා කළාද?

23. සාවුල් නැති කරගත් වටිනා ගුණාංගය මොකක්ද? සාවුල් උඩඟු ලෙස ක්‍රියා කළේ කොහොමද?

23 සාමාන්‍යයෙන් කෙනෙකුට බලය ලැබෙද්දී යටහත්පහත්කම ගිලිහී යන්නේ නිරායාසයෙන්මයි. සාවුල්ටත් ඒ දේම සිදු වෙනවා. මුලදී ඉතා යටහත්පහත් කෙනෙක් වූ ඔහු පසුව උඩඟු වෙන්න පටන්ගන්නවා. දෙවි සාමුවෙල් තුළින් පවසන දේවලට ඔහු කීකරු වෙන්නේ නැහැ. එවකට පූජා ඔප්පු කරන්න යෙහෝවා දෙවි පත් කර තිබුණේ සාමුවෙල්ව බව හොඳින්ම දැන සිටි ඔහු ඉතා උඩඟු ලෙස පූජාවක් ඔප්පු කරන්නත් පෙලඹෙනවා. ඔහු කරන්නේ මොන තරම් බරපතළ වරදක්ද කියා සාමුවෙල් මාර්ගයෙන් ඔහුට පෙන්වා දෙන යෙහෝවා දෙවි ඔහුගේ පවුලේ කිසිම කෙනෙකුට නැවත රජකම ලැබෙන්නේ නැහැ කියාත් දැනුම් දෙනවා. මේ දේවල් නිසා සාවුල් තමන් අතින් සිදු වූ වැරදි පිළිගෙන ඒවා නිවැරදි කරගනියිද? නැහැ. තව තවත් උඩඟු වන ඔහු ඊටත් වඩා බරපතළ වැරදි කරනවා.—1 සාමු. 13:8, 9, 13, 14.

24. (අ) අමලෙක්වරුන්ට විරුද්ධව කළ සටනේදී සාවුල් යෙහෝවා දෙවිට අකීකරු වුණේ කොහොමද? (ආ) සාමුවෙල් වරද පෙන්වා දෙද්දී සාවුල් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? යෙහෝවා දෙවිගේ තීරණය කුමක්ද?

24 අමලෙක්වරුන්ට විරුද්ධව සටන් කරන්න කියා යෙහෝවා දෙවි සාවුල්ට දැනුම් දෙනවා. ඒ යුද්ධයේදී අමලෙක්වරුන්ගේ රජු වන ආගග්ව මරා දමන්න කියාත් කළ යුතු තවත් දේවල් ගැනත් යෙහෝවා දෙවි, සාවුල්ට පැහැදිලිවම පවසනවා. නමුත් මේ අවස්ථාවේදීත් යෙහෝවා දෙවිට අකීකරු වන සාවුල්, ආගග් රජුවත් අමලෙක්වරුන් සතුව තිබුණු හොඳම දේවලුත් ඉතුරු කරගන්නවා. මේ වරද ගැන සාමුවෙල් ඔහුට පෙන්වා දුන්නත් ඔහු එය පිළිගන්නවා වෙනුවට වරද පටවන්නේ සෙනඟ පිටයි. හොඳම සතුන්ව ඉතුරු කරගත්තේ යෙහෝවා දෙවිට පූජා කරන්න කියා පවසමින් නිදහසට කරුණු කියනවා. ඒ අවස්ථාවේදී “පූජාවලට වඩා කීකරුකම වටිනවා” කියා පවසන සාමුවෙල්, යෙහෝවා දෙවි ඔහුගෙන් රජකම පහ කරන්න තීරණය කර තිබෙන බව නිර්භීතව පවසනවා. *1 සාමු. 15:1-33.

25, 26. (අ) සාමුවෙල්, සාවුල් ගැන දුක් වුණේ ඇයි? සාමුවෙල්ව යෙහෝවා දෙවි ප්‍රේමණීයව නිවැරදි කළේ කොහොමද? (ආ) දාවිත්ව අභිෂේක කිරීමට ගිය අවස්ථාවේදී සාමුවෙල් ඉගෙනගත් වැදගත් පාඩම කුමක්ද?

25 සාවුල්ගේ ක්‍රියාකලාපය ගැන දරාගත නොහැකි වේදනාවකින් සිටින සාමුවෙල් ඒ ගැන හැඬූ කඳුළින් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. සාවුල් තුළ තිබුණු හොඳ ගතිගුණ සහ දක්ෂතා නිසා සාමුවෙල්ට ඔහු ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණත් දැන් ඒ හැම දේම සුනුවිසුනු වී යනවා. යෙහෝවා දෙවිට අකීකරු වීමට තරම් සාවුල්ගේ සිත දැඩි වෙලා. මෙතැන් පටන් සාමුවෙල්ට, සාවුල්ව යළි කිසි දිනක මුණගැසෙන්නේ නැහැ. සාමුවෙල් දිගින් දිගටම සාවුල් ගැන දුක් වෙන නිසා යෙහෝවා දෙවි ඔහුව ප්‍රේමණීයව නිවැරදි කරමින් මෙසේ පවසනවා. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද? මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි. ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”—1 සාමු. 15:34, 35; 16:1.

26 යෙහෝවා දෙවි පැවසූ දේවල් සිතට ගන්නා සාමුවෙල් තවදුරටත් සාවුල් ගැන ළත වෙන්නේ නැහැ. දෙවි කී ලෙසම අනාගත රජු ලෙස දෙවි තෝරාගෙන තිබෙන තැනැත්තාව අභිෂේක කරන්න ඔහු බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේගේ නිවස බලා පිටත් වෙනවා. එහිදී යෙස්සේගේ කඩවසම් පුත්‍රයන් කිහිපදෙනෙක්වම සාමුවෙල්ට මුණගැසෙනවා. නමුත් පෙනුම දෙසවත් උස මහත දෙසවත් බලන්න එපා කියා මුල සිටම යෙහෝවා දෙවි ඔහුට පවසනවා. (1 සාමුවෙල් 16:7 කියවන්න.) අවසානයේදී යෙහෝවා දෙවි රජු ලෙස තෝරා තිබෙන්නේ යෙස්සේගේ බාල පුත්‍රයා වන දාවිත්ව කියා සාමුවෙල් තේරුම්ගන්නවා. දෙවිගේ සේවකයන් ඔහුට අකීකරු වුණත් ඔහු තමන් අරමුණු කරන දේ ඉටු කරගන්න එය බාධාවක් කරගන්නේ නැති බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ නැද්ද! එක සේවකයෙක් අකීකරු වුණත් වෙනත් සේවකයෙක්ව ඒ සඳහා යොදාගන්න දෙවිට පුළුවන්.

ඕනෑම ප්‍රශ්නයක් යෙහෝවා දෙවිට විසඳිය හැකි බවත් එවැනි තත්වයක් ආශීර්වාදයක් බවට පත් කරන්න දෙවිට හැකි බවත් සාමුවෙල් තේරුම්ගන්නවා

27. (අ) සාමුවෙල්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය දිගින් දිගටම වැඩි වීමට හේතු වුණේ මොනවාද? (ආ) සාමුවෙල්ගේ ආදර්ශය ගැන ඔබට සිතෙන්නේ මොනවාද?

27 සාවුල් වෙනුවට දාවිත්ව රජු ලෙස පත් කරන්න යෙහෝවා දෙවි ගත් තීරණය මොන තරම් ඥානවන්තද කියා සාමුවෙල් තේරුම්ගන්නවා. රජ බවට පත් වූ දාවිත් ගැන සාවුල්ට කොතරම් කේන්තියක්, ඊර්ෂ්‍යාවක් දැනුණාද කියනවා නම් ඔහු දාවිත්ව මැරීමට තැත් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙවි පිළිකුල් කරන ක්‍රියාවලත් ඔහු නියැලෙනවා. ඔහුට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් වූ දාවිත්ට දේවගරුබිය, පක්ෂපාතකම, නිර්භීතකම වැනි දෙවි ප්‍රිය කරන ගුණාංග රැසක්ම තිබුණා. දැන් මහලු වියේ පසු වන සාමුවෙල්ට දෙවි ගැන තිබුණු විශ්වාසය දිගින් දිගටම වැඩි වෙනවා. විසඳුමක් නැහැයි කියා මිනිසුන්ට සිතෙන ඕනෑම ප්‍රශ්නයක් යෙහෝවා දෙවිට විසඳිය හැකි බවත් එවැනි තත්වයක් ආශීර්වාදයක් බවට පත් කරන්න ඔහුට හැකි බවත් සාමුවෙල් තේරුම්ගන්නවා. අවසානයේදී ඔහු මිය යන්නේ සෑම කෙනෙකුටම යහපත් ආදර්ශයක් තබමින්. ඔහුගේ වියෝව ගැන මුළු ඊශ්‍රායෙල් දේශයම හඬා වැලපෙනවා. සාමුවෙල්ගේ කදිම ආදර්ශය අනුකරණය කිරීම ඔබටත් ප්‍රයෝජනවත් කියා සිතෙන්නේ නැද්ද!

^ 24 ඡේ. සාමුවෙල් ආගග් රජුව මරා දැමුවා. ඔහුවත් ඔහුගේ පවුලේ කිසිම කෙනෙක්වත් අනුකම්පාවක් ලබන්න වටින්නේ නැහැ. පසු කාලයකදී දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න “ආගග්ගෙන් පැවත ආ හාමාන්” කුමන්ත්‍රණයක් දියත් කළා.—එස්ත. 8:3; මේ පොතේ 15වෙනි සහ 16වෙනි පරිච්ඡේද බලන්න.