Skip to content

බයිබලයේ සඳහන් ස්ත්‍රීන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ සඳහන් ස්ත්‍රීන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් ස්ත්‍රීන් හුඟදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 15:4; 2 තිමෝති 3:16, 17) අපි කරන්න ඕනෙ හොඳ දේවල් ගැනත් කරන්න හොඳ නැති දේවල් ගැනත් එයාලගෙන් ඉගෙනගන්න පුළුවන්. (1 කොරින්ති 10:11; හෙබ්‍රෙව් 6:12) එයාලා අතරින් කිහිපදෙනෙක් ගැන විස්තර අපි කෙටියෙන් බලමු.

  අබිගායිල්

අබිගායිල් කියන්නේ කවුද? රුවැති මෙන්ම නුවණැති කෙනෙක් වුණු අබිගායිල් සිහිබුද්ධියෙන් කටයුතු කරපු නිහතමානී කෙනෙක්. හැබැයි එයාගේ සැමියා වුණු නාබල් හුඟක් පොහොසත් කෙනෙක් වුණත් හරිම නපුරු, සැරපරුෂ කෙනෙක්.—1 සාමුවෙල් 25:3.

එයා කළේ මොනවාද? වෙන්න තිබුණු ලොකු විපතක් වළක්වගන්න අබිගායිල් නුවණැතිව, සිහිබුද්ධියෙන් වැඩ කළා. ඊශ්‍රායෙලයේ රජ වෙන්න නියමිතව හිටිය දාවිත් සාවුල්ගෙන් පලා යන කාලේ හැංගිලා හිටියෙත් අබිගායිල් සහ නාබල් ජීවත් වුණු ප්‍රදේශයේමයි. ඒ කාලේ දාවිත්ගේ සේවකයන් නාබල්ගේ බැටළු රැළවල් සොරුන්ගෙන් ආරක්ෂා කළා. හැබැයි දාවිත් නාබල්ගෙන් කෑම ටිකක් ඉල්ලලා පණිවිඩකරුවන් යැව්වාම නාබල් එයාලට හරිම පහත් විදිහට කතා කරලා කෑම දෙන්න බැහැ කියලා කිව්වා. ඒ ගැන ආරංචි වුණාම දාවිත්ට හොඳටම කේන්ති ගියා. එයා සේවකයන් එක්ක නාබල්වත් නාබල්ගේ නිවසේ හැම පුරුෂයෙක්වමත් මරලා දාන්න පිටත් වෙලා ආවා.—1 සාමුවෙල් 25:10-12, 22.

වෙච්ච දේ ගැන අබිගායිල්ට ආරංචි වුණාම එයා ඉක්මනින්ම එයාට කරන්න පුළුවන් දේවල් කළා. එයා දාවිත්ටත් දාවිත්ගේ සේවකයන්ටත් ඕන කරන කෑම සූදානම් කරලා සේවකයන් අතේ යැව්වා. ඊටපස්සේ දාවිත්ගෙන් සමාව ඉල්ලන්න සේවකයන් පස්සෙන් එයාත් ගියා. (1 සාමුවෙල් 25:14-19, 24-31) අබිගායිල්ගේ නිහතමානිකම, එයා ගෙනාපු තෑගි, එයා දීපු උපදෙස් වගේ දේවල් නිසා දාවිත් ඉක්මනින්ම තේරුම්ගත්තා තමන් අතින් වෙන්න තිබුණු ලොකු විපතක් වළක්වන්න අබිගායිල්ව එවලා තියෙන්නේ දෙවියන්මයි කියලා. (1 සාමුවෙල් 25:32, 33) වැඩි කාලයක් යන්න කලින් නාබල් මැරුණා. ඊටපස්සේ දාවිත් අබිගායිල්ව විවාහ කරගත්තා.—1 සාමුවෙල් 25:37-41.

අබිගායිල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? රුවැති මෙන්ම පොහොසත් කෙනෙක් වුණත් අබිගායිල් තමන් ගැන මහ ඉහළින් හිතුවේ නැහැ. වරදක් වුණේ තමන් අතින් නොවුණත් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා එයා සමාව ඉල්ලුවා. ලොකු පීඩනයක් දැනුණ අවස්ථාවකදී වුණත් එයා සන්සුන්ව, ධෛර්යවන්තව වගේම බුද්ධිමත්ව කටයුතු කළා.

  එස්තර්

එස්තර් කියන්නේ කවුද? යුදෙව්වෙක් වුණු එස්තර්ව තමයි පර්සියානු රජෙක් වුණු අහෂ්වේරොෂ් තමන්ගේ බිසව විදිහට තෝරගත්තේ.

එයා කළේ මොනවාද? එස්තර් රැජින තමන්ට තිබුණු බලතල යොදාගෙන තමන්ගේ සෙනඟට අත් වෙන්න තිබුණු සමූල ඝාතනයක් වළක්වගත්තා. යම් නිශ්චිත දවසකදී පර්සියානු අධිරාජ්‍යය පුරා ජීවත් වෙන යුදෙව්වන් හැමෝවම මරන්න රාජ නියෝගයක් පනවලා තියෙනවා කියලා එයාට දැනගන්න ලැබුණා. ඒ කූට කුමන්ත්‍රණය දියත් කරලා තිබුණේ අගමැති විදිහට කටයුතු කරපු දුෂ්ට හාමාන්. (එස්තර් 3:13-15; 4:1, 5) වැඩිහිටි ඥාති සහෝදරයෙක් වුණු මොර්දෙකයිගේ උදව්වත් ඇතුව එස්තර් රැජින දිවි පරදුවේ තියලා ඒ හැම දෙයක් ගැනම එයාගේ සැමියා වුණු අහෂ්වේරොෂ් රජුට දැනුම් දුන්නා. (එස්තර් 4:10-16; 7:1-10) යුදෙව්වන්ට තමන්ගේ ජීවිත බේරගන්න සංවිධානය වෙන්න කියලා සඳහන් නියෝගයක් නිකුත් කරන්න අහෂ්වේරොෂ් රජ එස්තර්ට සහ මොර්දෙකයිට අවසර දුන්නා. අන්තිමේදී යුදෙව්වන් තමන්ගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම පරාජය කළා.—එස්තර් 8:5-11; 9:16, 17.

එස්තර්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? නිහතමානීව සහ ධෛර්යවන්තව වැඩ කරන එක සම්බන්ධයෙන් එස්තර් රැජින අපිට කදිම ආදර්ශයක්. (ගීතාවලිය 31:24; ෆිලිප්පි 2:3) තමන්ගේ පෙනුම ගැනවත් තමන් සතු බලතල ගැනවත් උඩඟු වෙනවා වෙනුවට එයා නිහතමානීව අනිත් අයගෙන් මඟ පෙන්වීම් සහ උදව් ලබාගත්තා. තමන්ගේ පුරුෂයා එක්ක කතා කරද්දී ගෞරවයෙන් කතා කළා. ඒ වගේම කල්පනාකාරී වුණා. ඒ කොහොමවුණත් අවශ්‍ය දේවල් එයා නොකියා හිටියෙත් නැහැ. යුදෙව්වන්ගේ ජීවිත අනතුරක තිබුණු අවස්ථාවකදී වුණත් තමන් යුදෙව් ජාතියේ කෙනෙක් කියලා කියන්න එයා බය වුණේ නැහැ.

  ඒව

ඒව කියන්නේ කවුද? ඒව තමයි මුල්ම ස්ත්‍රිය. බයිබලයේ සඳහන් ස්ත්‍රීන් අතරින් මුලින්ම සඳහන් වෙන්නෙත් ඒව ගැනයි.

එයා කළේ මොනවාද? දෙවියන් පැහැදිලිව පනවලා තිබුණු නීතියකට ඒව අකීකරු වුණා. එයාගේ පුරුෂයා වුණු ආදම් හා සමානව දෙවියන් ඒවව නිර්මාණය කරලා තිබුණෙත් පරිපූර්ණ කෙනෙක් විදිහට. ඒ කියන්නේ ශාරීරිකවත් මානසිකවත් එයාට කිසිම අඩුවක් තිබුණේ නැහැ. තීරණ ගන්න නිදහසත් එයාට තිබුණා. ඒ විතරක් නෙවෙයි ප්‍රේමය, ප්‍රඥාව ඇතුළු දෙවියන් සතු ගතිලක්ෂණ වර්ධනය කරගන්නත් එයාට හැකියාව තිබුණා. (උත්පත්ති 1:27) උයනේ තිබුණු එක ගහක් පෙන්වලා ඒකෙන් කෑවොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා දෙවියන්, ආදම්ට කියපු දේ ගැන ඒව හොඳින්ම දැනගෙන හිටියා. ඒත් ඒකෙන් කෑවොත් මැරෙන්නේ නැහැ කියලත් මීට වඩා හොඳ ජීවිතයක් ලැබෙනවා කියලත් සාතන් කියපු බොරුවට ඒව රැවටුණා. අන්තිමේදී එයා ඒ ගහෙන් ගෙඩියක් කාලා ආදම්ටත් දුන්නා.—උත්පත්ති 3:1-6; 1 තිමෝති 2:14.

ඒවගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? වැරදි ආශාවන් ගැන දිගින් දිගටම හිතමින් ඉන්න එක කොයි තරම් භයානකද කියලා ඒවගේ අවාදර්ශයෙන් පැහැදිලි වෙනවා. ඒව තමන්ට අයිති නැති දෙයක් ගැන ලොකු ආශාවක් ඇති කරගත්ත නිසා දෙවියන් පැහැදිලිව දීලා තිබුණු නීතියක් නොසලකාහැරියා. එයාට අයිති නැති දෙයක් ගන්න පෙලඹුණා.—උත්පත්ති 3:6; 1 යොහන් 2:16.

  දෙබොරා

දෙබොරා කියන්නේ කවුද? එයා ඊශ්‍රායෙල් දේශයේ හිටිය අනාගතවක්තෘවරියක්. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දෙබොරා මාර්ගයෙන් දැනුම් දුන්නා. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන් අතරේ ඇති වුණු ප්‍රශ්න විසඳන්න දෙවියන් එයාව විනිශ්චයකාරියක් විදිහටත් යොදාගත්තා.—විනිශ්චයකරුවෝ 4:4, 5.

එයා කළේ මොනවාද? අනාගතවක්තෘවරියක් වුණු දෙබොරා ධෛර්යවන්තව දෙවියන්ගේ සේවකයන්ට උපකාර කළා. ඊශ්‍රායෙල් හමුදාව එක්ක ගිහින් කානානිවරුන්ට විරුද්ධව යුද්ධ කරන්න කියලා බාරාක්ට ගිහින් කියන්න කියලා දෙවියන් එයාට කිව්වාම එයා ඒක බාරාක්ට දැනුම් දුන්නා. (විනිශ්චයකරුවෝ 4:6, 7) තමන් එක්ක එන්න කියලා බාරාක් දෙබොරාගෙන් ඉල්ලුවාම එයා බය වුණේ නැහැ. එයා කැමැත්තෙන්ම බාරාක් එක්ක ගියා.—විනිශ්චයකරුවෝ 4:8, 9.

ඒ සටනේදී දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ලොකු ජයග්‍රහණයක් අත් කරලා දුන්නාම දෙබොරා සහ බාරාක් එකතු වෙලා ඒ ජයග්‍රහණය ගැන ගීයක් ගායනා කළා. ඒ ගීයෙන් කොටසක් රචනා කරන්න ඇත්තේ දෙබොරා කියලා හිතන්න පුළුවන්. කානානිවරුන්ව පරාජය කරන්න නිර්භීතව ක්‍රියා කරපු තවත් ස්ත්‍රියක් වන යායෙල් ගැන දෙබොරා ඒ ගීතයේදී සඳහන් කළා.—විනිශ්චයකරුවෝ 5වෙනි පරිච්ඡේදය.

දෙබොරාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙබොරා තමන් ගැන හිතන්නේ නැතුව ධෛර්යවන්තව වැඩ කළා. දෙවියන් ඉදිරියේ හරි දේ කරන්න එයා අනිත් අයව දිරිගැන්නුවා. එයාලා ඒ දේ කළාම දෙබොරා එයාලව ප්‍රශංසා කළා.

  දෙලීලා

දෙලීලා කියන්නේ කවුද? දෙලීලාට තමයි ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙක් වුණු සැම්සන් ආදරේ කළේ.—විනිශ්චයකරුවෝ 16:4, 5.

එයා කළේ මොනවාද? දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව පිලිස්තිවරුන්ගෙන් ගලවගන්න යොදාගත්ත සැම්සන්ව පාවලා දෙන්න කියලා පිලිස්තිවරුන්ගේ අධිපතීන් සල්ලි දුන්නාම දෙලීලා ඒක භාරගත්තා. ආශ්චර්යවත් විදිහට සැම්සන්ට ලැබිලා තිබුණු ශක්තිය නිසා එයාව පරද්දන්න පිලිස්තිවරුන්ට පුළුවන් වුණේ නැහැ. (විනිශ්චයකරුවෝ 13:5) ඒ නිසයි පිලිස්තිවරුන්ගේ අධිපතීන් සැම්සන්ව අල්ලගන්න දෙලීලාගෙන් උදව් ඉල්ලුවේ.

සැම්සන්ගේ ශක්තියට රහස දැනගන්න කියලා පිලිස්තිවරු දෙලීලාට සල්ලි දුන්නා. ඒක භාරගත්ත දෙලීලා කීප වතාවක්ම උත්සාහ කරලා අන්තිමේදී කොහොමහරි සැම්සන්ගේ රහස දැනගත්තා. (විනිශ්චයකරුවෝ 16:15-17) ඊටපස්සේ එයා ඒ ගැන පිලිස්තිවරුන්ට කිව්ව නිසා එයාලා සැම්සන්ව අල්ලන් ගිහින් හිරේ දැම්මා.—විනිශ්චයකරුවෝ 16:18-21.

දෙලීලාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සල්ලිවලට කෑදර වෙන එක කොයි තරම් බරපතළද කියලා දෙලීලාගේ අවාදර්ශයෙන් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් එක්ක කටයුතු කරද්දී දෙලීලා වංක වුණෙත් ආත්මාර්ථකාමී වුණෙත් විශ්වාසය කඩ කළෙත් සල්ලිවලට තිබුණු කෑදරකම නිසයි.

  මරියා (මාර්තාගේ සහ ලාසරුස්ගේ සහෝදරිය)

මරියා කියන්නේ කවුද? තමන්ගේ සහෝදරයා වුණු ලාසරුස් සහ සහෝදරිය වුණු මාර්තා වගේම මරියාටත් යේසුස් එක්ක කිට්ටු මිතුදමක් තිබුණා.

එයා කළේ මොනවාද? යේසුස්ව දෙවියන්ගේ පුතා හැටියට තමන් පිළිගන්නවා කියලත් යේසුස් ගැන තමන්ගේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලත් මරියා කියපු කරපු දේවලින් පැහැදිලිව පේන්න තිබුණා. තමන්ගේ සහෝදරයා වුණු ලාසරුස්ව මරණයෙන් බේරගන්න යේසුස්ට හැකියාව තිබුණා කියන එක ගැන මරියාට කිසිම සැකයක් තිබුණේ නැහැ. මිය ගිය ලාසරුස්ට යේසුස් ආයෙත් ජීවිතය දීපු වෙලේ මරියාත් එතන හිටියා. ගෙදරදොරේ වැඩවලට උදව් කරන්නේ නැතුව යේසුස්ට ඇහුම්කන් දීගෙන හිටිය එක ගැන මරියාගේ සහෝදරිය වුණු මාර්තා එයාට චෝදනා කළා. හැබැයි දෙවියන්ගෙන් ලැබෙන සත්‍ය ඉගැන්වීම් අනිත් හැම දෙයකටම වඩා වටින දෙයක් විදිහට සලකපු එක ගැන යේසුස් මරියාව හුඟක් අගය කළා.—ලූක් 10:38-42.

ආගන්තුක සත්කාරය පෙන්වන එක වැදගත් දෙයක් විදිහට සලකපු මරියා තව අවස්ථාවක යේසුස්ගේ හිසටත් දෙපාවලටත් “මිල අධික සුවඳ තෙල්” වත් කළා. (මතෙව් 26:6, 7) ඒක දැකපු අය මිල අධික දෙයක් මරියා නාස්ති කරනවා කියලා චෝදනා කළා. ඒත් මරියා කරපු දේ වැරදි නැහැ කියලා පෙන්වමින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. ‘ලොව පුරාම [දෙවියන්ගේ රාජ්‍යය ගැන] ශුභාරංචිය දේශනා කරන සෑම තැනකදීම මේ ස්ත්‍රියව සිහි කිරීම සඳහා ඇය කළ දෙය ගැන පවසනු ලබනවා.’—මතෙව් 24:14; 26:8-13.

මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මරියාට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එදිනෙදා ජීවිතයේ දේවලට මුල් තැන දෙනවා වෙනුවට එයා මුල් තැන දුන්නේ දෙවියන්ට කරපු නමස්කාරයට. එයා නිහතමානීව යේසුස්ව ගෞරවයට පත් කළා. ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වුණත් කැමති වුණා.

  මරියා (යේසුස්ගේ මව)

මරියා කියන්නේ කවුද? යුදෙව් යෞවනියක් වුණු මරියා කන්‍යාවක්ව ඉද්දී ආශ්චර්යවත් විදිහට දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස්ව මෙලොවට බිහි කළා.

එයා කළේ මොනවාද? මරියා නිහතමානීව දෙවියන්ගේ කැමැත්ත ඉටු කළා. කාලයක් තිස්සේ හුඟක් අය ආසාවෙන් බලන් හිටිය ගැලවුම්කරුව බිහි කරන්න යන්නේ එයායි කියලා දේවදූතයෙක් ඇවිත් මරියාට කියද්දී මරියා යෝසෙප් එක්ක විවාහ ගිවිසගෙනයි හිටියේ. (ලූක් 1:26-33) දෙවියන්ගෙන් ලැබුණු පැවරුම එයා කැමැත්තෙන්ම භාරගත්තා. යේසුස් ඉපදුණාට පස්සේ මරියා, යෝසෙප්ට දාව පුතුන් හතරදෙනෙකුත් අඩුම තරමින් දියණියන් දෙන්නෙකුත් බිහි කළා. මරියා දිගටම කන්‍යාවක් වෙලා හිටියේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. (මතෙව් 13:55, 56) වෙන කිසිම කෙනෙකුට නොලැබුණු වරප්‍රසාදයක් තමන්ට ලැබුණත් මරියා අනිත් අයගෙන් ප්‍රශංසාවක්වත් විශේෂ සැලකිල්ලක්වත් බලාපොරොත්තු වුණේ නැහැ. යේසුස් සේවය කළ කාලයේදීවත් මුල් ක්‍රිස්තියානි සභාව පිහිටුවපු කාලේදීවත් එයා එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.

මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මරියා බැරෑරුම් වගකීමක් කැමැත්තෙන්ම භාරගත්තා. දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ විතරක් නෙවෙයි ශුද්ධ ලියවිලි ගැන එයාට හොඳ දැනුමකුත් තිබුණා. ලූක් 1:46-55 පදවල මරියා කියලා තියෙන දේවලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. පේන විදිහට ඒ අවස්ථාවේදී එයා ශුද්ධ ලියවිල්ලෙන් 20 වතාවක් විතර උපුටා දක්වලා තියෙනවා.

  • මරියා ගැන තව විස්තර දැනගන්න “මරියාගෙන් අපට ගත හැකි පාඩම්” කියන ලිපිය බලන්න.

  මරියා මග්දලේනා

මරියා මග්දලේනා කියන්නේ කවුද? එයා යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙක්.

එයා කළේ මොනවාද? යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් එක්ක නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය ස්ත්‍රීන් අතරේ මරියා මග්දලේනාත් හිටියා. යේසුස්ගේ සහ ඔහුගේ නියෝජිතයන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් තමන් සතු දේවල් මරියා ලබා දුන්නේ කැමැත්තෙන්මයි. (ලූක් 8:1-3) යේසුස් සේවය කරපු කාලය පුරාම ඔහුගේ සේවයට සම්පූර්ණයෙන්ම සහයෝගය දීපු මරියා යේසුස්ව වධකණුවේ ඇණ ගහපු වෙලෙත් ඒ අසලින්ම හිටියා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුව මුලින්ම දැකපු අය අතරෙත් මරියා හිටියා.—යොහන් 20:11-18.

මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මරියා ත්‍යාගශීලීව එයා සතු දේවල් දෙමින් යේසුස්ගේ දේවසේවයට උදව් කළා. යේසුස්ගේ ගෝලයෙක් විදිහට දිගටම කැපවීමෙන් වැඩ කළා.

  මාර්තා

මාර්තා කියන්නේ කවුද? ලාසරුස්ගේ සහ මරියාගේ සහෝදරිය තමයි මාර්තා. එයාලා ජීවත් වුණේ යෙරුසලමේ තිබුණු බෙතානිය කියන ගමේ.

එයා කළේ මොනවාද? මාර්තා තමන්ටත් තමන්ගේ ‘සහෝදරියටත් ලාසරුස්ටත් බොහෝ සෙයින් ප්‍රේම’ කරපු යේසුස්ගේ කිට්ටු මිතුරියක් වුණා. (යොහන් 11:5) එයා ආගන්තුක සත්කාරයට හුඟක් ළැදි කෙනෙක්. යේසුස් එයාලගේ ගෙදරට ආපු දවසක යේසුස් උගන්වමින් හිටිය දේවල් මරියා අහගෙන හිටියා. හැබැයි මාර්තා වැඩි අවධානයක් දුන්නේ නිවසේ වැඩකටයුතුවලට. මරියා තමන්ට උදව් කරන්නේ නැහැ කියලා මාර්තා යේසුස්ට පැමිණිලි කරද්දී යේසුස් හරිම ආදරෙන් මාර්තාව නිවැරදි කළා. හිතන විදිහ වෙනස් කරගන්න යේසුස් එයාට උදව් කළා.—ලූක් 10:38-42.

ලාසරුස් අසනීප වුණාම මාර්තායි, එයාගේ සහෝදරියයි ඒ ගැන යේසුස්ට දන්වලා යැව්වා. එයාලා එහෙම කළේ තමන්ගේ සහෝදරයාව සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා ඒ දෙන්නාට ලොකු විශ්වාසයක් තිබුණු නිසයි. (යොහන් 11:3, 21) ඒත් ලාසරුස් මැරුණා. මැරුණු අයට නැවත ජීවිතය ලබා දෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැනත් තමන්ගේ සහෝදරයාට ආයෙත් ජීවිතය දෙන්න යේසුස්ට තියෙන හැකියාව ගැනත් මාර්තාට මොන තරම් විශ්වාසයක් තිබුණාද කියලා එයා යේසුස් එක්ක කතා කරපු දේවලින් හොඳින්ම පැහැදිලි වෙනවා.—යොහන් 11:20-27.

මාර්තාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මාර්තා වෙහෙස නොබලා ආගන්තුක සත්කාරය පෙන්නුවා. උපදෙසක් ලැබෙද්දී එයා නිහතමානීව ඒක පිළිගත්තා. තමන්ට හැඟෙන විදිහ ගැනත් තමන්ගේ විශ්වාසයන් ගැනත් එයා විවෘතව කතා කළා.

  මිරියම්

මිරියම් කියන්නේ කවුද? මිරියම් තමයි මෝසෙස්ගේ සහ ආරොන්ගේ සහෝදරිය. බයිබලයේ අනාගතවක්තෘවරියක් හැටියට මුලින්ම සඳහන් වෙන්නේ මිරියම් ගැනයි.

එයා කළේ මොනවාද? අනාගතවක්තෘවරියක් හැටියට මිරියම්, දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩ ගැන අනිත් අයට දැනුම් දුන්නා. ඊශ්‍රායෙල්වරුන් එයාට සැලකුවේ ලොකු ගෞරවයකින්. දෙවියන් ඊජිප්තු හමුදාව රතු මුහුදේදී විනාශ කළාම ඊශ්‍රායෙල්වරු ගයපු ජයග්‍රහණ ගීයට එයාත් හවුල් වුණා.—නික්මයාම 15:1, 20, 21.

කාලයක් ගියාට පස්සේ මිරියම් සහ ආරොන් මෝසෙස් ගැන විවේචනාත්මක විදිහට කතා කළා. පේන විදිහට එයාලා එහෙම කරන්න පෙලඹිලා තියෙන්නේ උඩඟුකම සහ ඊර්ෂ්‍යාව නිසයි. එයාලා කියපු දේවල් අහන් හිටිය යෙහෝවා දෙවියන් එයාලට තදින් උපදෙස් දුන්නා. (ගණන් කතාව 12:1-9) ඊටපස්සේ දෙවියන් මිරියම්ට ලාදුරු රෝගය හැදෙන්න සැලැස්සුවා. පේන විදිහට දෙවියන් එහෙම කළේ මෝසෙස්ට විරුද්ධව මුලින්ම කතා කරන්න පටන්ගත්තේ මිරියම් නිසා වෙන්න ඇති. හැබැයි මිරියම්ට වැලඳුණු රෝගය සුව කරන්න කියලා මෝසෙස් දෙවියන්ගෙන් ඉල්ලුවාම දෙවියන් එයාව සුව කළා. දවස් හතක් ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටතට වෙලා හිටියාට පස්සේ ආයෙත් කඳවුරට එන්න මිරියම්ට අවසර ලැබුණා.—ගණන් කතාව 12:10-15.

ඒ වාර්තාව ගැන බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා මිරියම් දෙවියන්ගෙන් ලැබුණු හික්මවීම පිළිගත්තා කියලා. සියවස් ගාණකට පස්සෙත් දෙවියන් මිරියම්ට ලැබිලා තිබුණු විශේෂ වරප්‍රසාදය ගැන මතක් කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.”—මීකා 6:4.

මිරියම්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? තමන්ගේ සේවකයන් කතාබහ කරද්දී එයාලා කතා වෙන දේවල් ගැනත් අනිත් අය ගැන කතා වෙන දේවල් ගැනත් යෙහෝවා දෙවියන් හොඳ අවධානයකිනුයි ඉන්නේ. උඩඟුකම නිසාවත් ඊර්ෂ්‍යාව නිසාවත් අනිත් අයගේ හොඳ නමට හානියක් වෙන කිසිම දෙයක් කියන්නවත් කරන්නවත් හොඳ නැහැ. දෙවියන්ව සතුටු කරන්න නම් අපි ඒ වගේ දේවලින් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න ඕනේ.

  යායෙල්

යායෙල් කියන්නේ කවුද? යායෙල් විවාහ වෙලා හිටියේ ඊශ්‍රායෙල්වරයෙක් නොවුණු හෙබෙර් එක්කයි. දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න යායෙල් බය නැතුව ඉදිරිපත් වුණා.

එයා කළේ මොනවාද? කානානිවරුන්ගේ හමුදාවේ නායකයා වුණු සිසෙරා තමන්ගේ කඳවුරට ආපු වෙලේ යායෙල් බුද්ධිමත්ව කටයුතු කළා. ඊශ්‍රායෙල්වරුන් එක්ක කරපු සටනෙන් පැරදුණු සිසෙරාට හැංගෙන්නත් විවේක ගන්නත් පුළුවන් තැනක් හොයාගන්නයි ඕන වෙලා තිබුණේ. ඒ නිසා තමන්ගේ කූඩාරමට ඇවිත් විවේක ගන්න කියලා යායෙල් එයාට ආරාධනා කළා. සිසෙරාට නින්ද ගියාට පස්සේ යායෙල් එයාව මරලා දැම්මා.—විනිශ්චයකරුවෝ 4:17-21.

යායෙල් කරපු දෙයින් “යෙහෝවා දෙවි සිසෙරාව හසු කර දෙන්නේ ස්ත්‍රියකටයි” කියලා දෙබොරා කියලා තිබුණු අනාවැකිය ඉටු වුණා. (විනිශ්චයකරුවෝ 4:9) ‘ස්ත්‍රීන් අතරින් බොහෝ ආශීර්වාද ලත් තැනැත්තියක්’ කියලත් එයාට ප්‍රශංසා කරලා තියෙනවා.—විනිශ්චයකරුවෝ 5:24.

යායෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යායෙල් නිර්භීතව, අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය දේ කළා. තමන්ගේ අරමුණ ඉටු කරගන්න දෙවියන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා යායෙල්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා.

  යෙසබෙල්

යෙසබෙල් කියන්නේ කවුද? යෙසබෙල් තමයි ඊශ්‍රායෙල් දේශයේ රජෙක් වුණු ආහබ්ගේ බිරිඳ වුණේ. එයා ඊශ්‍රායෙල් ජාතියේ කෙනෙක්වත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු කෙනෙක්වත් නෙවෙයි. එයා නමස්කාර කළේ කානානිවරුන් නමස්කාර කරපු බාල් දෙවියන්ට.

එයා කළේ මොනවාද? කිසිම හිතක් පපුවක් නැති, දරුණු රැජිනක් වුණු යෙසබෙල් හැමෝවම යටත් කරගන්න උත්සාහ කළා. බාල් දෙවියන්ට කරපු නමස්කාරයටත් ඒකට සම්බන්ධ වෙලා තිබුණු අනාචාර ක්‍රියාවලටත් එයා දිරි දුන්නා. ඒ විතරක් නෙවෙයි සැබෑ දෙවියන් වන යෙහෝවාට කරන නමස්කාරය නැත්තටම නැති කරන්න එයා වෑයම් කළා.—1 රාජාවලිය 18:4, 13; 19:1-3.

බොරු කියලා, මිනී මරලා හරි තමන්ට ඕන දේ ලබාගන්නයි යෙසබෙල්ට ඕන වුණේ. (1 රාජාවලිය 21:8-16) ඒත් අන්තිමේදී දෙවියන් කියලා තිබුණු විදිහටම එයා කුරිරු මරණයක් අද්දැක්කා. එයාගේ සිරුර ඉතිරි වුණේ නැති නිසා එයාව තැන්පත් කරන්න ලැබුණෙත් නැහැ.—1 රාජාවලිය 21:23; 2 රාජාවලිය 9:10, 32-37.

යෙසබෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙසබෙල් ක්‍රියා කරපු විදිහ කොයි තරම් පහත්ද කිව්වොත් කිසි ලැජ්ජාවක් බයක් නැතුව වැරදි වැඩ කරන, අධිකාරියට ගරු කරන්නේ නැති, අනාචාරයේ යෙදෙන කාන්තාවන්ව හඳුන්වන්න පස්සේ කාලෙක එයාගේ නම පාවිච්චි කළා. පරෙස්සම් වුණේ නැත්නම් අපිත් යෙසබෙල් ක්‍රියා කරපු විදිහට ක්‍රියා කරන්න පෙලඹෙන්න පුළුවන්.

  ලෙයා

ලෙයා කියන්නේ කවුද? ලෙයා තමයි යාකොබ්ගේ පළවෙනි බිරිඳ. ලෙයාගේ නංගි වුණු රාකෙල් තමයි යාකොබ්ගේ අනිත් බිරිඳ වුණේ.—උත්පත්ති 29:20-29.

එයා කළේ මොනවාද? ලෙයා පුතුන් හයදෙනෙක්ව බිහි කළා. (රූත් 4:11) යාකොබ්ට ඕන වුණේ රාකෙල්ව විවාහ කරගන්න මිසක් ලෙයාව විවාහ කරගන්න නෙවෙයි. ඒත් රාකෙල්ගෙයි, ලෙයාගෙයි තාත්තා වුණු ලාබන් යාකොබ්ට මුලින්ම විවාහ කරලා දුන්නේ ලෙයාව. ලාබන් තමන්ව රැවැට්ටුවා කියලා දැනගත්තාම යාකොබ් ඒ ගැන එයාත් එක්ක කතා කළා. එතකොට ලාබන් කිව්වා සාමාන්‍යයෙන් සිරිතක් විදිහට වැඩිමල් දුවව විවාහ කරලා දෙන්න කලින් බාල දුවව විවාහ කරලා දෙන්නේ නැහැ කියලා. සතියකට පස්සේ යාකොබ්, රාකෙල්වත් විවාහ කරගත්තා.—උත්පත්ති 29:26-28.

යාකොබ්, ලෙයාට වඩා වැඩියෙන් ආදරේ කළේ රාකෙල්ට. (උත්පත්ති 29:30) ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිටිය නිසා යාකොබ්ගේ ආදරේ දිනාගන්න ලෙයා පුළුවන් හැම දේම කළා. ලෙයාගේ හැඟීම් ගැන හොඳින්ම තේරුම්ගත්ත යෙහෝවා දෙවියන් ලෙයාට ආශීර්වාද කළා. ඒ නිසා පුතුන් හයදෙනෙක්වත් දුවෙක්වත් බිහි කරන්න ලෙයාට පුළුවන් වුණා.—උත්පත්ති 29:31.

ලෙයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? පවුල් ජීවිතේ ප්‍රශ්න අද්දැක්කාම එයා දිගටම දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් එයා වෙනුවෙන් කරපු දේවල් එයා හුඟක් අගය කළා. (උත්පත්ති 29:32-35; 30:20) බහුභාර්ය විවාහයන් මොන තරම් අසාර්ථකයිද කියලා ලෙයාගේ අද්දැකීමෙන් තේරුම්ගන්න පුළුවන්. දෙවියන් ඒ වගේ විවාහයන්ට යම් කාලෙකට ඉඩ දීලා තිබුණා. හැබැයි දෙවියන් මුල්ම විවාහය ඇති කළේ එක පුරුෂයෙක් සහ එක ස්ත්‍රියක් අතරෙයි. දැනටත් දෙවියන් අනුමත කරන්නේ ඒ වගේ විවාහයන් විතරයි.—මතෙව් 19:4-6.

  • ලෙයා ගැන තව විස්තර දැනගන්න “සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’” කියන ලිපිය බලන්න.

  • තමන්ගේ සෙනඟ අතරේ සිදු වුණු බහුභාර්ය විවාහයන්ට දෙවියන් ඉඩ දීලා තිබුණේ ඇයි කියලා දැනගන්න “බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?” කියන ලිපිය බලන්න.

  රාකෙල්

රාකෙල් කියන්නේ කවුද? රාකෙල් ලාබන්ගේ දුවෙක්. යාකොබ් වැඩියෙන්ම ආදරේ කරපු බිරිඳ වුණෙත් රාකෙල්.

එයා කළේ මොනවාද? රාකෙල් යාකොබ් එක්ක විවාහ වෙලා පුතුන් දෙන්නෙක්ව බිහි කළා. ඒ පුතාලා මාර්ගයෙන් තමයි ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 බිහි වුණේ. රාකෙල්ට යාකොබ්ව මුණගැහුණේ තාත්තාගේ බැටළු රැළ බලාගනිමින් හිටිය අතරතුරේදී. (උත්පත්ති 29:9, 10) එයාගේ අක්කා වුණු ලෙයාට වඩා රාකෙල් හුඟක් “රූමත්” කෙනෙක්.—උත්පත්ති 29:17.

යාකොබ්, රාකෙල්ට මොන තරම් ආදරේ කළාද කිව්වොත් එයා වෙනුවෙන් අවුරුදු හතක්ම ලාබන් ළඟ වැඩ කරන්න කැමති වුණා. (උත්පත්ති 29:18) හැබැයි ලාබන් එයාව රැවැට්ටුවා. මුලින්ම එයා යාකොබ්ට විවාහ කරලා දුන්නේ ලෙයාව. ඊටපස්සේ තමයි රාකෙල්ව විවාහ කරගන්න එයා යාකොබ්ට අවසර දුන්නේ.—උත්පත්ති 29:25-27.

ලෙයාටයි, ලෙයාගේ දරුවන්ටයි වඩා වැඩියෙන් යාකොබ් ආදරේ කළේ රාකෙල්ටයි, රාකෙල්ගේ පුතුන් දෙන්නාටයි. (උත්පත්ති 37:3; 44:20, 27-29) ඒ නිසා ඒ ස්ත්‍රීන් දෙන්නා අතරේ ලොකු තරඟයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණා.—උත්පත්ති 29:30; 30:1, 15.

රාකෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? පවුල් ජීවිතේ හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නත් දෙවියන් තමන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා කියන බලාපොරොත්තුව රාකෙල් නැති කරගත්තේ නැහැ. (උත්පත්ති 30:22-24) බහුභාර්ය විවාහයන් තුළ හුඟක් ප්‍රශ්න අද්දකින්න වෙනවා කියලා රාකෙල්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. එක පුරුෂයෙක්ට ඉන්න ඕනෙ එක භාර්යාවක් විතරයි කියන, දෙවියන් ඇති කරපු සැලැස්මට එකඟව වැඩ කරන එක කොයි තරම් ප්‍රඥාවන්තයිද කියන එකත් රාකෙල්ගේ කතාවෙන් පැහැදිලි වෙනවා.—මතෙව් 19:4-6.

  • රාකෙල් ගැන තව විස්තර දැනගන්න “සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’” කියන ලිපිය බලන්න.

  • තමන්ගේ සෙනඟ අතරේ සිදු වුණු බහුභාර්ය විවාහයන්ට දෙවියන් ඉඩ දීලා තිබුණේ ඇයි කියලා දැනගන්න “බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?” කියන ලිපිය බලන්න.

  රාහබ්

රාහබ් කියන්නේ කවුද? රාහබ් කානාන් දේශයේ යෙරිකෝව කියන නගරයේ ජීවත් වුණු ගණිකාවක්. පස්සේ කාලෙක එයා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.

එයා කළේ මොනවාද? කානාන් දේශයේ තොරතුරු හොයලා බලන්න ආපු පුරුෂයන් දෙන්නෙක්ට රාහබ් හැංගෙන්න උදව් කළා. එයා එහෙම කළේ යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ වුණු ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවරුන් අතිනුත් අමෝරිවරුන් අතිනුත් ගලවගත්ත විදිහ ගැන අහලා තිබුණු නිසයි.

ඔත්තුකාරයන්ට උදව් කරපු රාහබ් එයාලගෙන් ඉල්ලුවා ඊශ්‍රායෙල්වරු යෙරිකෝ නගරය විනාශ කරද්දී එයාවයි, එයාගේ පවුලේ අයවයි බේරගන්න කියලා. ඒ පුරුෂයන් රාහබ්ගේ ඉල්ලීමට එකඟ වුණා. හැබැයි ජීවිත ගලවගන්න නම් එයාලා ගැන කාටවත් කියන්න එපා කියලත් ඊශ්‍රායෙල්වරු නගරයට පහර දෙන්න ආවාම පවුලේ අයව එයාගේ නිවස ඇතුළෙම තියාගන්න කියලත් රාහබ්ට කිව්වා. ඒ වගේම එයාගේ නිවස හඳුනගන්න පුළුවන් වෙන්න ජනේලයේ රතු ලණුවක් එල්ලලා තියන්න කියලත් රාහබ්ට කිව්වා. ඒ හැම මඟ පෙන්වීමකටම කීකරු වුණු නිසා ඊශ්‍රායෙල්වරු යෙරිකෝ නගරය විනාශ කරද්දී රාහබ්ගෙත් පවුලේ අයගෙත් ජීවිත බේරුණා.

පස්සේ කාලෙකදී රාහබ් ඊශ්‍රායෙල්වරයෙක් එක්ක විවාහ වුණා. දාවිත් රජගේ සහ යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තණියක් වීමේ වරප්‍රසාදයත් රාහබ්ට ලැබුණා.—යොෂුවා 2:1-24; 6:25; මතෙව් 1:5, 6, 16.

රාහබ්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? බයිබලයේ රාහබ්ව ශක්තිමත් විශ්වාසයක් තිබුණු කෙනෙක් විදිහට හඳුන්වලා තියෙනවා. (හෙබ්‍රෙව් 11:30, 31; යාකොබ් 2:25) දෙවියන් සමාව දෙන්න සූදානමින් ඉන්න කෙනෙක් කියලත් හැමෝටම එක හා සමානව සලකනවා කියලත් රාහබ්ගේ කතාවෙන් ඉගෙනගන්න පුළුවන්. ඕනම පසුබිමක, ඕනම ජාතියක ඉන්න කෙනෙක් දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් දෙවියන් ඒ අයට ආශීර්වාද කරනවා.

  රූත්

රූත් කියන්නේ කවුද? රූත් මෝවබ් ජාතික කාන්තාවක්. එයා තමන් හැදුණු වැඩුණු ගම් පළාතත් තමන්ගේ පවුලේ අයවත් අත්හැරලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තා.

එයා කළේ මොනවාද? තමන්ගේ නැන්දම්මා වුණු නායොමිට රූත් පෙන්වපු ආදරේ හරිම විශේෂයි. නායොමි එයාගේ සැමියායි, පුතුන් දෙන්නායි එක්ක මෝවබ් දේශයට ඇවිත් තිබුණේ ඊශ්‍රායෙල් දේශයේ පැවතුණු සාගතයක් නිසයි. එයාගේ පුතුන් දෙන්නා මෝවබ් ජාතික ස්ත්‍රීන් වුණු රූත් සහ ඕපා එක්ක විවාහ වුණා. හැබැයි කාලයක් යද්දී නායොමිගේ සැමියායි, පුතුන් දෙන්නායි මැරුණා. අන්තිමේදී ඉතිරි වුණේ වැන්දඹුවන් තුන්දෙනා විතරයි.

ඊශ්‍රායෙල් දේශයේ පැවතුණු සාගතය අවසන් වෙලා කියලා දැනගන්න ලැබුණාම නායොමි ආයෙත් එහේට යන්න තීරණය කළා. රූත් සහ ඕපා තමන් එක්ක යන්න සූදානම් වෙද්දී එයා ඒ දෙන්නාට කිව්වා එයාලගේ නෑදෑයන් ළඟට යන්න කියලා. ඕපා ඒකට එකඟ වුණා. (රූත් 1:1-6, 15) හැබැයි නායොමිව දාලා යන්න රූත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. රූත්, නායොමිට හුඟක් ආදරේ කළා. ඒ වගේම එයාට ඕන වුණා නායොමි නමස්කාර කරන යෙහෝවා දෙවියන්ටම නමස්කාර කරන්න.—රූත් 1:16, 17; 2:11.

රූත් තමන්ගේ නැන්දම්මාට සලකපු විදිහ නිසාත් කඩිසරව වැඩ කරපු නිසාත් නායොමි ජීවත් වුණු නගරය වුණු බෙත්ලෙහෙමේ හිටිය අය අතරේ එයාට හොඳ නමක් තිබුණා. කෙත්වතු යායක් හිමි ධනවතෙක් වුණු බෝවස්, රූත් කටයුතු කරන විදිහ ගැන හුඟක් සතුටු වුණා. අදිමදි කරන්නේ නැතුව රූත්ටත් නායොමිටත් කෑම දෙන්න එයා පෙලඹුණේ ඒ නිසයි. (රූත් 2:5-7, 20) කාලයක් යද්දී රූත්, බෝවස් එක්ක විවාහ වුණා. පස්සේ කාලෙකදී දාවිත් රජගෙත් යේසුස් ක්‍රිස්තුස්ගෙත් මිත්තණියක් වීමේ වරප්‍රසාදය රූත්ට ලැබුණා.—මතෙව් 1:5, 6, 16.

රූත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? නායොමි ගැනත් යෙහෝවා දෙවියන් ගැනත් හිතේ තිබුණු ආදරේ නිසා රූත් එයා හැදුණු වැඩුණු පළාතත් එයාගේ පවුලේ අයවත් දාලා ආවා. අභියෝග රැසකට මුහුණ දෙන්න වුණත් රූත් දිගටම කඩිසරව, විශ්වාසවන්තව සහ කැපවීමෙන් වැඩ කළා.

  රෙබෙකා

රෙබෙකා කියන්නේ කවුද? ඊසාක්ගේ බිරිඳ වුණේ රෙබෙකා. එයා ඊසාක්ට දාව යාකොබ් සහ ඒසව් කියන නිවුන් පුතුන් දෙදෙනාව බිහි කළා.

එයා කළේ මොනවාද? අමාරුම අවස්ථාවලදී වුණත් රෙබෙකා දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වුණු දේ කළා. දවසක් එයා ළිඳකින් වතුර අදිමින් ඉද්දී මිනිසෙක් බොන්න වතුර ටිකක් ඉල්ලුවා. ඒ වෙලාවේ රෙබෙකා ඉක්මනින්ම ඒ මිනිසාට බොන්න වතුර දීලා එයාත් එක්ක හිටිය ඔටුවන්ටත් වතුර ඇදලා දුන්නා. (උත්පත්ති 24:15-20) රෙබෙකාගෙන් වතුර ඉල්ලුවේ ආබ්‍රහම්ගේ සේවකයෙක්. එයා ලොකු දුරක් ගෙවාගෙන ඇවිත් තිබුණේ ආබ්‍රහම්ගේ පුතා වුණු ඊසාක්ට ගැළපෙන සහකාරියක්ව හොයාගන්න. (උත්පත්ති 24:2-4) ඒකට මඟ පෙන්වන්න කියලා එයා දෙවියන්ට යච්ඤා කරලත් තිබුණා. රෙබෙකා කොයි තරම් කඩිසරද කියලත් ආගන්තුක සත්කාරයට කොයි තරම් ළැදිද කියලත් දැක්කාම ඊසාක්ට සුදුසුම සහකාරිය තෝරගන්න දෙවියන් එයාට උදව් කරනවා කියලා එයා තේරුම්ගත්තා.—උත්පත්ති 24:10-14, 21, 27.

ඒ සේවකයා ඇවිත් තියෙන හේතුව ගැන දැනගත්තාම රෙබෙකා කැමති වුණා එයාත් එක්ක ගිහින් ඊසාක්ව විවාහ කරගන්න. (උත්පත්ති 24:57-59) කාලයක් යද්දී රෙබෙකාට නිවුන් පුතුන් දෙන්නෙක් ලැබුණා. වැඩිමලාගේ නම ඒසව්. බාලයාගේ නම යාකොබ්. දෙවියන් කලින්ම රෙබෙකාට කියලා තිබුණා පුතුන් දෙන්නා අතරින් වැඩිමලා බාලයාට සේවය කරයි කියලා. (උත්පත්ති 25:23) ඒ නිසා ඊසාක් කුලුඳුලා වුණු ඒසව්ට ආශීර්වාද කරන්න යද්දී රෙබෙකා ඒ ආශීර්වාදය යාකොබ්ට ලැබෙන විදිහට දේවල් සැලසුම් කළා. මොකද එයා හොඳින්ම දැනන් හිටියා දෙවියන්ගේ කැමැත්ත වුණේ ඒකයි කියලා.—උත්පත්ති 27:1-17.

රෙබෙකාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? රෙබෙකා නිහතමානී, කඩිසර වගේම ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් වුණු නිසා බිරිඳක් විදිහටත් මවක් විදිහටත් සැබෑ දෙවියන්ගේ සේවිකාවක් විදිහටත් සාර්ථකව දේවල් කරන්න පුළුවන් වුණා.

  ලොත්ගේ බිරිඳ

ලොත්ගේ බිරිඳ කියන්නේ කවුද? එයාගේ නම ගැන බයිබලයේ සඳහන් වෙලා නැහැ. හැබැයි එයායි, එයාගේ පවුලේ අයයි ජීවත් වුණේ සොදොම් කියන නුවරේ කියලත් එයාට දූවරුන් දෙන්නෙක් හිටියා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 19:1, 15.

එයා කළේ මොනවාද? දෙවියන් දීපු අණකට එයා අකීකරු වුණා. සොදොම් කියන නුවරේ මිනිසුන් ඉවක්බවක් නැතුව අනාචාරයේ යෙදුණු නිසා ඒ නුවර විනාශ කරන්න දෙවියන් තීරණය කරලයි තිබුණේ. ඒත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගෙවපු ලොත් සහ එයාගේ පවුලේ අය ගැන දෙවියන්ගේ හිතේ තිබුණු ආදරේ නිසා එයාලව ආරක්ෂිත තැනකට එක්කන් යන්න දෙවියන් දේවදූතයන් දෙන්නෙක්ව එව්වා.—උත්පත්ති 18:20; 19:1, 12, 13.

ඒ දේවදූතයන් ලොත්ගේ පවුලේ අයට කිව්වා ඉක්මනින්ම ඒ නගරයෙන් පලා යන්න කියලා. ඒ යන අතරතුරේදී පිටුපස හැරිලා බලන්න එපා කියලත් එහෙම කළොත් මැරෙන්න වෙයි කියලත් එයාලට කිව්වා. (උත්පත්ති 19:17) ඒත් ලොත්ගේ බිරිඳ පලා යන අතරතුරේදී පිටුපස හැරිලා බැලුවා. ඒ නිසා එයා “ලුණු කණුවක්” වුණා.—උත්පත්ති 19:26.

ලොත්ගේ බිරිඳගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ලොත්ගේ බිරිඳ ධන සම්පත්වලට කොයි තරම් ඇලුම් කළාද කිව්වොත් දෙවියන්ට අකීකරු වෙන්න පවා එයා පෙලඹුණා. ධන සම්පත්වලට ඇලුම් කරන එක කොයි තරම් භයානකද කියලා එයාගේ කතාවෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. “ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා” කියලා යේසුත් අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි.—ලූක් 17:32.

  ෂූලම්මීය ළඳ

ෂූලම්මීය ළඳ කියන්නේ කවුද? බයිබලයේ සලමොන්ගේ ගීතිකාව කියන පොතේ ප්‍රධාන චරිතය වන ෂූලම්මීය ළඳ හරිම ලස්සන ගැමි තරුණියක්. එයාගේ නම ගැන බයිබලයේ සඳහන් වෙලා නැහැ.

එයා කළේ මොනවාද? එඬේර කොලුවෙක් එක්ක ආදරෙන් බැඳිලා හිටිය ෂූලම්මීය ළඳ දිගටම එයාගේ පෙම්වතාට විශ්වාසවන්තව හිටියා. (සලමොන්ගේ ගීතිකාව 2:16) එයා හුඟක් ලස්සන කෙනෙක් නිසා පොහොසත් රජෙක් වුණු සලමොන්ගේ හිත එයාට ඇදිලා ගියා. (සලමොන්ගේ ගීතිකාව 7:6) සලමොන් ඒ තරුණියගේ හිත දිනාගන්න පුළුවන් හැම දේම කළත් ඒ කිසිම දේකින් පලක් වුණේ නැහැ. සලමොන් රජට කැමති වෙන්න කියලා අනිත් අයත් ෂූලම්මීය ළඳව දිරිගැන්නුවා. ඒත් එයා ආදරේ කළේ ඒ තරම් වත්පොහොසත්කමක් තිබුණේ නැති එයාගේ එඬේර කොලුවාට විතරමයි.—සලමොන්ගේ ගීතිකාව 3:5; 7:10; 8:6.

ෂූලම්මීය ළඳගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? රූමත්කම, අනිත් අයගෙන් ලැබුණු අවධානය නිසා උඩඟු විදිහට කටයුතු කරන්න එයා පෙලඹුණේ නැහැ. දිගටම නිහතමානීව කටයුතු කළා. ධනවත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ලැබුණු අවස්ථාව නිසාවත් අනිත් අයගෙන් ආපු බලපෑම නිසාවත් එයාගේ ආදරේ වෙනස් වුණේ නැහැ. එයා තමන්ගේ හැඟීම් පාලනය කරගනිමින් දිගටම නිර්මලව හිටියා.

  සාරා

සාරා කියන්නේ කවුද? ආබ්‍රහම්ගේ බිරිඳ සහ ඊසාක්ගේ අම්මා තමයි සාරා.

එයා කළේ මොනවාද? තමන් ජීවත් වුණු ධනවත් නගරයක් වුණු ඌර් නගරය අත්හැරලා කානාන් දේශයට යන්න කියලා දෙවියන් ආබ්‍රහම්ට කිව්වාම සාරා කැමැත්තෙන්ම ඒකට කීකරු වුණා. එහෙම කළේ තමන්ගේ පුරුෂයා වුණු ආබ්‍රහම්ට දෙවියන් දීලා තිබුණු පොරොන්දුව ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණු නිසයි. දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වෙලා තිබුණා එයාට ආශීර්වාද කරලා එයාගෙන් ලොකු ජාතියක් බිහි වෙන්න සලස්වනවා කියලා. (උත්පත්ති 12:​1-5) ඒ වෙද්දී සාරාට අවුරුදු හැටකටත් වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්. ඒ කාලේ ඉඳන් සාරා තමන්ගේ සැමියා එක්ක තැනින් තැනට ගිහින් කූඩාරම්වල ජීවත් වුණා.

කූඩාරම්වල ජීවත් වෙන එක අනතුරුදායක දෙයක් වුණත් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන්න සාරා ආබ්‍රහම්ට උපරිමයෙන් සහයෝගය දුන්නා. (උත්පත්ති 12:10, 15) අවුරුදු ගාණක් ගත වුණත් තමන්ට දරුවෙක් ලැබුණේ නැති නිසා සාරා ඒ ගැන හුඟක් දුක් වුණා. ඒත් දෙවියන් පොරොන්දු වෙලා තිබුණා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරනවා කියලා. (උත්පත්ති 12:7; 13:15; 15:18; 16:1, 2, 15) කාලයක් ගියාම දෙවියන් පොරොන්දු වුණා සාරාට ආබ්‍රහම්ගෙන් දරුවෙක් ලැබෙන්න සලස්වනවා කියලා. ඒ වෙද්දී සාරා හිටියේ දරුවෙක් බිහි කරන්න පුළුවන් වයසක නෙවෙයි. මොකද ඒ වෙද්දී එයාට වයස අවුරුදු 90යි. ආබ්‍රහම්ට වයස අවුරුදු 100යි. (උත්පත්ති 17:17; 21:2-5) හැබැයි දෙවියන් කියපු දේ ඒ විදිහටම ඉටු වුණා. ලැබුණු දරුවාට එයාලා ඊසාක් කියන නම දුන්නා.

සාරාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙවියන්ට අනිවාර්යයෙන්ම තමන්ගේ පොරොන්දු ඉටු කරන්න පුළුවන් කියලා සාරාගේ අද්දැකීමෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. කවදාවත් ඉටු වෙන එකක් නැහැ කියලා පේන්න තියෙන දේවල් වුණත් ඉටු වෙන්න සලස්වන්න දෙවියන්ට පුළුවන්. (හෙබ්‍රෙව් 11:11) බිරිඳක් සැමියාට ගෞරවයෙන් සලකන එක කොයි තරම් වැදගත්ද කියලත් සාරාගේ ආදර්ශයෙන් පැහැදිලි වෙනවා.—1 පේතෘස් 3:5, 6.

  හන්නා

හන්නා කියන්නේ කවුද? හන්නා තමයි එල්කානාගේ බිරිඳ සහ ඊශ්‍රායෙල් දේශයේ ප්‍රසිද්ධ අනාගතවක්තෘවරයෙක් වුණු සාමුවෙල්ගේ අම්මා.—1 සාමුවෙල් 1:1, 2, 4-7.

එයා කළේ මොනවාද? දරුවන් ලැබුණේ නැති එක ගැන ලොකු හිත් වේදනාවකින් හිටිය හන්නා තමන්ට සහනයක් ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා. හන්නාගේ ස්වාමිපුරුෂයාට භාර්යාවන් දෙන්නෙක් හිටියා. අනිත් භාර්යාවගේ නම පෙනින්නා. විවාහ වෙලා සෑහෙන කාලයක් ගත වෙලා තිබුණත් හන්නාට දරුවන් ලැබුණේ නැහැ. හැබැයි පෙනින්නාට නම් දරුවන් ලැබුණා. පෙනින්නා හිතාමතාම ඒ ගැන හන්නාට නින්දා, අපහාස කළා. ඒත් හන්නා තමන්ට සහනයක් ලබා දෙන්න කියලා දිගටම දෙවියන්ගෙන් ඉල්ලුවා. හන්නා දෙවියන්ට පොරොන්දු වුණා දෙවියන් එයාට පුතෙක්ව ලබා දුන්නොත් ජීවිත කාලය පුරාවටම ශුද්ධ කූඩාරමේ සේවය කරන්න පුතාව කැප කරනවා කියලා. අතීතයේදී තැනින් තැනට ගෙනියන්න පුළුවන් විදිහට හදලා තිබුණු ශුද්ධ කූඩාරමට ඇවිත් තමයි ඊශ්‍රායෙල්වරුන් දෙවියන්ට නමස්කාර කළේ.—1 සාමුවෙල් 1:11.

හන්නාගේ යාච්ඤාවට දෙවියන් උත්තර දුන්නා. ඒ නිසයි සාමුවෙල්ව බිහි කරන්න හන්නාට අවස්ථාව ලැබුණේ. දීපු පොරොන්දුව හන්නා ඒ විදිහටම ඉටු කළා. එයා පුංචි සාමුවෙල්ව ශුද්ධ කූඩාරමට එක්කන් ගිහින් හැමදාමත් එහේ සේවය කරන්න එයාව භාර දුන්නා. (1 සාමුවෙල් 1:27, 28) හන්නා හැම අවුරුද්දකම අත් නැති කුඩා වස්ත්‍රයක් මහගෙන සාමුවෙල්ව බලන්න ගියා. කාලයක් යද්දී තවත් පුතුන් තුන්දෙනෙක්වත් දුවලා දෙන්නෙක්වත් බිහි කරන්න දෙවියන් එයාට අවස්ථාව ලබා දුන්නා.—1 සාමුවෙල් 2:18-21.

හන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මුළු හදවතින්ම යාච්ඤා කරපු එක පීඩා දරාගන්න හන්නාට උදව් වුණා. 1 සාමුවෙල් 2:1-10 සඳහන් වෙලා තියෙන, හන්නා දෙවියන්ට ස්තුති කරමින් කියපු යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා එයාගේ හිතේ දෙවියන් ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියලා.

  • හන්නා ගැන තව විස්තර දැනගන්න “ඇය සිතේ තිබුණු සියල්ල දෙවිට පැවසුවා” කියන ලිපිය බලන්න.

  • අතීතයේදී දෙවියන් තමන්ගේ සෙනඟ අතරේ හිටිය පුරුෂයන්ට ස්ත්‍රීන් කිහිපදෙනෙක්ව විවාහ කරගන්න ඉඩ දීලා තිබුණේ ඇයි කියලා දැනගන්න “බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?” කියන ලිපිය බලන්න.

 බයිබලයේ සඳහන් ස්ත්‍රීන් ජීවත් වුණු කාලය ගැන දැක්වෙන කාල රේඛාව

  1.  ඒව

  2. ජලගැල්ම (ක්‍රි.පූ. 2370)

  3.  සාරා

  4.  ලොත්ගේ බිරිඳ

  5.  රෙබෙකා

  6.  ලෙයා

  7.  රාකෙල්

  8. ඊජිප්තුවෙන් නිදහස් වීම (ක්‍රි.පූ. 1513)

  9.  මිරියම්

  10.  රාහබ්

  11.  රූත්

  12.  දෙබොරා

  13.  යායෙල්

  14.  දෙලීලා

  15.  හන්නා

  16. ඊශ්‍රායෙලයේ පළවෙනි රජ (ක්‍රි.පූ. 1117)

  17.  අබිගායිල්

  18.  ෂූලම්මීය ළඳ

  19.  යෙසබෙල්

  20.  එස්තර්

  21.  මරියා (යේසුස්ගේ මව)

  22. යේසුස්ගේ බව්තීස්මය (ක්‍රි.ව. 29)

  23.  මාර්තා

  24.  මරියා (මාර්තාගේ සහ ලාසරුස්ගේ සහෝදරිය)

  25.  මරියා මග්දලේනා

  26. යේසුස්ගේ මරණය (ක්‍රි.ව. 33)