Skip to content

එළිදරව් පොතේ අර්ථය මොකක්ද?

එළිදරව් පොතේ අර්ථය මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 එළිදරව් පොතට ග්‍රීක භාෂාවෙන් කියන්නේ “අපොකලිප්සිස්” (A·po·kaʹly·psis) කියලයි. ඒ නමේ තේරුම “නිරාවරණය” හෝ “හෙළි කිරීම” යන්නයි. සැඟවුණු දේවල් නිරාවරණය කරනවා කියන එක සහ හුඟක් කාලෙකට කලින් ලියපු අනාවැකි ඉටු වෙන විදිහ හෙළි කරනවා කියන එක ඒකෙන් ඇඟවෙනවා. ඒකේ සඳහන් කරලා තියෙන අනාවැකි බොහොමයක් ඉටු වෙන්නේ ඉදිරි අනාගතයේදියි.

එළිදරව් පොත ගැන කෙටියෙන් සලකා බලමු

එළිදරව් පොත තේරුම්ගන්න උපකාරවත් වෙන කරුණු

  1.   “අපොකලිප්සිස්” කියන වචනය සමහරු ලෝක විනාශයක් සමඟ සම්බන්ධ කරලා තියෙන නිසා එළිදරව් පොතේ නම ඇහෙද්දිම හුඟදෙනෙක් බය වෙනවා. ඒත් එළිදරව් පොත පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් ‘එහි පණිවිඩය කියවලා, තේරුම්ගෙන, පිළිපදින අය සන්තෝෂවත්’ කියලයි. (එළිදරව් 1:3; 22:7) ඒ නිසා ඒකේ තියෙන පණිවිඩය යෙහෝවා දෙවියන්ගේ සේවකයන් තුළ නම් බයක් ඇති කරන්නේ නැහැ.

  2.   එළිදරව් පොතේ හුඟක් දේවල් ලියලා තියෙන්නේ සංකේත යොදාගෙන නිසා ඒවා වචනානුසාරයෙන්ම තේරුම්ගන්න උත්සාහ කරන්න එපා.—එළිදරව් 1:1.

  3.   එළිදරව් පොතේ තියෙන සංකේත හා වැදගත් කරුණු ගැන බයිබලයේ වෙනත් පොත්වලත් සඳහන් කරලා තියෙනවා.

  4.   දර්ශන අදාළ වෙන්නේ ‘ස්වාමීන්ගේ දවසටයි.’ ඒ දවස ආරම්භ වුණේ 1914දී දේවරාජ්‍යය පිහිටුවලා යේසුස් රජු හැටියට එහි පාලනය ඇරඹීමත් සමඟයි. (එළිදරව් 1:10) ඒ නිසා එළිදරව් පොතේ සඳහන් දේවල ප්‍රධාන ඉටුවීම අපේ කාලයේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  5.   එළිදරව් පොතේ තියෙන තොරතුරු තේරුම්ගන්න බයිබලයේ අනිත් පොත් තේරුම්ගන්න උපකාර වෙන දේවල්ම අවශ්‍යයි. ඒවාට දෙවියන්ගේ ප්‍රඥාවත් දැනටමත් ඒවා තේරුම් අරගෙන ඉන්න අයගේ උපකාරයත් ඇතුළත් වෙනවා.—ක්‍රියා 8:26-39; යාකොබ් 1:5.