යෙසායා 57:1-21

57  ධර්මිෂ්ඨයා විනාශ වී ගියත්+ කිසිවෙක් ඒ ගැන තකන්නේ නැත.+ විශ්වාසවන්තව* කටයුතු කරන ජනයා මිය යති.+ මිය යන නිසා ඔවුන් නපුරෙන් ගැලවෙන බව කිසිවෙක් වටහාගන්නේ නැත.+  ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන+ ඔවුන්ට මරණය සැනසීමකි. ඔවුහු මිනී වළෙහි+ සැනසීමෙන්+ සැතපෙන්නෝය.+  “මායාකාරියකගේ පුත්‍රයෙනි,+ අනාචාරයේ යෙදෙන වේශ්‍යාවකගේ දරුවෙනි,+ මා ඉදිරියට එන්න.+  ඔබ කවටකම් කරන්නේ කාටද?+ ඔබ දිව දික් කර ඔච්චම් කරන්නේ කාටද?+ ඔබ ඇත්තටම පව්කාරයන්ගේ දරුවෝය. බොරුකාරයන්ගේ පුත්‍රයෝය.+  දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+  “ඔබේ* උරුමය වන්නේ නිම්නවල තිබෙන සිනිඳු ගල්ය.+ ඔබ වෙන් කරගත් කොටස වූයේ ඒවාය.+ ඔබ ඒ ගල් මත පාන පූජා+ වත් කරමින් පඬුරු පුදති. මේ දේවලින් මගේ සිත සැනසෙයි කියා ඔබ සිතුවාද?+  ඔබ උස් කන්දක් මතට ඔබේ යහන ගෙන ගොස්+ ඒ ස්ථානයේදීත් පූජා ඔප්පු කළහුය.+  ඔබ සිහිවටනයක් ලෙස දොර පිටුපසත් උළුවහු කණුවලත් සලකුණු දමා තිබේ.+ ඔබ මාව අත්හැර දැමුවහුය. ඔබේ වස්ත්‍ර අහක් කර ඒ ස්ථානවලට නැඟී ගොස් ඔබේ යහන තවත් විශාල කරගත්තහුය.+ ඔබට වාසියක් වේයයි සිතමින් වෙනත් අය සමඟ ගිවිසුම් ගසාගත් ඔබ ඔවුන් සමඟ සැතපුණේ මහත් ආශාවෙනි.+ එහිදී ඔබ පුරුෂ ඉන්ද්‍රිය දුටුවහුය.  ඔබ පිරී ඉතිරී යන ලෙස බඳුන්වල සුවඳ තෙල් පුරවාගෙන+ මෙලෙක්* වෙතට යන්නහුය. ඔබ දුර ඈත දේශයන් වෙතට ඔබේ නියෝජිතයන්ව යවමින් මිනී වළට+ යන තරමටම පහත් ලෙස හැසිරුණහුය. 10  ඔබ නොයෙකුත් උපක්‍රම යොදමින් වෙහෙසුණත්,+ ‘මෙයින් පලක් නැත’ යයි කීවේ නැත. මන්ද ඔබේම ශක්තියෙන් ඔබ යළි ප්‍රාණවත් වී තිබේ.+ ඔබ දුර්වල නොවුණේ ඒ නිසාය.+ 11  “ඔබ බොරු කියන්න පටන්ගත්තේ+ කාට භය වෙලාද?+ ඔබට මාව සිහි වුණේ නැත.+ ඔබ කිසිවක් සිතට ගත්තේ නැත.+ ඔබ මට ගරුබිය නොපෙන්වූයේ+ මා නිහඬව සිට ඔබේ ක්‍රියා ගැන පියවර නොගත් නිසා+ නොවෙයිද? 12  ඔබ කළ දේවල්ද+ ඔබේ බොරු ධර්මිෂ්ඨකමද+ මම හෙළි කරන්නෙමි. ඒ කිසිම දෙයකින් ඔබට ප්‍රයෝජනයක් නොලැබෙයි.+ 13  ඔබ උපකාර පතා අයැදින විට ඔබ එකතු කරගත් දේවතා රූප ඔබව ගලවාගන්නේ නැත.+ ඒ සියල්ල සුළඟට ගසාගෙන යයි.+ එක හුස්මකට සියල්ල ගසාගෙන යයි. එහෙත් මාගේ රැකවරණය පතන අය+ දේශය උරුම කරගෙන මාගේ ශුද්ධ කන්ද අයිති කරගන්නෝය.+ 14  ඒ කාලයේදී, යමෙක් මෙසේ කියයි. ‘ජනයෙනි, මාර්ගය සකසන්න! එය එළි පෙහෙළි කර+ මගේ සෙනඟ ඉදිරියේ තිබෙන සියලු බාධක ඉවත් කරන්න.’ ”+ 15  සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+ 16  මම උදහස් වී තරවටු කළත් හැමදාමත් එසේ නොකරන්නෙමි.+ මන්ද මා එසේ කළොත් මා සෑදූ+ මිනිසාගේ ශක්තිය හීන වෙයි.+ ඔවුන්ට එය දරාගත නොහැකි වෙයි. 17  “මම ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට දඬුවම් කළෙමි. ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවාගතිමි.+ මන්ද ඔවුහු වැරදි දේ පසුපස හඹා යමින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ මා ඔවුන්ට තරවටු කළත් ඔවුහු මුරණ්ඩු ලෙස+ තම තමන්ගේ වැරදි ආශා පසුපස හඹා ගියෝය. 18  මම ඔවුන්ගේ හැසිරීම සෝදිසි කර බැලුවෙමි. මම ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දී+ ඔවුන්ව සුව කළෙමි.+ ඉන්පසු මම ඔවුන්ටත් ඔවුන් සමඟ ශෝකයෙන් සිටින සියල්ලන්ටත්+ සැනසිල්ල ලබා දුන්නෙමි.”+ 19  “මා ඔවුන් වෙනුවෙන් කරන දේ නිසා ඔවුහු තම මුවින් මට ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරති.*+ මම දුර ඈත සිටින තැනැත්තාවද ළඟ සිටින තැනැත්තාවද සුව කර+ ඔවුන්ට නිමක් නැති සමාදානය ලබා දෙමි”+ යයි යෙහෝවා දෙවි පවසන්නේය. 20  “එහෙත් දුෂ්ටයා, කිසිවිටෙක සන්සුන් නොවන කැලඹුණු මුහුද මෙනි. එහි කැලතුණු ජලය කුණු රොඩු මතු කරයි. 21  දුෂ්ටයා කිසිවිටෙක සමාදානය අද්දකින්නේ නැත”+ යයි මාගේ දෙවි කියන්නේය.

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
එනම්, සියොන් හෙවත් යෙරුසලම.
මෙය වෙනත් දේශයක රජෙකුට හෝ බොරු දෙවියෙකුට දී තිබුණු නමක් හෝ පදවියක් විය හැකියි.
මූ.අ., “තොල්වල පල.”