Skip to content

පටුනට යන්න

3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?

3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?

ඉයන්ගේ තාත්තා බීමට ඇබ්බැහි වෙලා හිටපු නිසා එයාට කුඩා කාලේ ඉඳලා තාත්තගේ ආදරේ එච්චර ලැබුණේ නැහැ. අනික් දේවල්වලින් නම් අඩුවක් තිබුණේ නැති වුණාට තාත්තගේ ආදරේ නැති අඩුව ඉයන්ට තදින් දැනුණා. තාත්තා ගැන එයාට හැඟුණු විදිහ එයා මෙහෙම කිව්වා. “තාත්තගේ බීමත්කම හින්දත් අම්මට එයා සලකපු විදිහ හින්දත් මට තාත්තා ගැන ආදරයක් තිබුණේ නැහැ.” වයසින් ටිකෙන් ටික වැඩෙද්දී ඉයන් කල්පනා කළා “දෙවි කෙනෙක් ඉන්නවා නම් මිනිසුන්ට මේ විදිහට දුක් විඳින්න ඉඩඇරලා තියෙන්නේ ඇයි” කියලා.

එහෙම හිතෙන්නේ ඇයි?

අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න අහිංසක මිනිස්සු දුක් විඳින එක ගැන ඔයාත් කනගාටු වෙනවා ඇති. ඔයාත් ඉයන් වගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු නිසා කලකිරිලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ආදරේ කරන කෙනෙක් බරපතළ අසනීපයක් නිසා දුක් විඳිනවා නම් නැත්නම් මේ වෙද්දීත් එයාගේ ජීවිතේ නැති වෙලා නම්, අපි මේ තරම් දුක් විඳින්න හේතුව මොකක්ද කියලා ඔයාත් කල්පනා කරනවා ඇති.

සමහර අය ඒකට උත්තර දෙන්නේ කොහොමද?

සමහර අය හිතන්නේ දෙවියන් අපිට දුක් විඳින්න ඉඩ දීලා තියෙන්නේ නිහතමානී වෙලා අනික් අය ගැන සානුකම්පිතව හිතන්න අපිව පුහුණු කරන්න කියලයි. තවත් අය හිතනවා අපි දැන් දුක් විඳින්නේ ගිය ආත්මේ අපි කරපු වැරදි නිසා කියලා.

ඔවුන් නොකියා කියන්නේ මොකක්ද?

දෙවි දුෂ්ට කෙනෙක්. අපි දුක් විඳින එක ගැන දෙවියන්ට කිසි තැකීමක් නැහැ.

ඒ ගැන බයිබලයේ තියෙන්නේ මොනවාද?

මිනිස්සු මේ තරම් දුක් විඳින එකට දෙවියන් කොහෙත්ම වග කියන්න ඕන නැති බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) දෙවියන් කවදාවත් දුෂ්ටකම් සිද්ධ කරයි කියලා හිතන්නවත් බැහැ. ඒ ඇයි?

බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවි ප්‍රේමය’ කියලයි. (1 යොහන් 4:8) දෙවියන් තමන්ගේ සෙනඟට කියලා තියෙන මේ දෙයින් ඒක තවත් හොඳින් පැහැදිලි වෙනවා. ‘මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? මවක තම දරුවාව අමතක කළත් මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි.’ (යෙසායා 49:15) ආදරණීය අම්මෙක් තාත්තෙක් කවදාවත් තමන්ගේ දරුවට ඕන කමින්ම රිද්දයිද? කැමැත්තෙන්ම දුක් විඳින්න සලස්වයිද? නැහැ නේද? ඒ වගේ තමයි අපේ ප්‍රේමණීය දෙවියන් කවදාවත් අපිට දුක් විඳින්න සලස්වන්නේ නැහැ.—උත්පත්ති 18:25.

‘දෙවියන් ඇත්තටම අපිට ආදරෙයි නම් අපිට දුක් විඳින්න දීලා බලාගෙන ඉන්නේ ඇයි’ කියලා ඔයා කල්පනා කරයි.

දුක් වේදනා පවතින්න දෙවියන් ඉඩ හැරලා තියෙන්නේ හොඳ හේතු ඇතුව. අද සිද්ධ වෙන හුඟක් දුෂ්ටකම්වලට වගකියන්න ඕනේ මිනිසුන්මයි. දුෂ්ට මිනිස්සු නිසා අහිංසක මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ නිසා අද පවතින දුක් වේදනාවන් නැති වෙන්න නම් මේ පොළොවේ ඉන්න දුෂ්ට වැඩ කරන මිනිසුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න දෙවියන්ට සිද්ධ වෙනවා.

දෙවියන් තවමත් ඒ දුෂ්ට මිනිසුන්ව විනාශ කරලා නැත්තේ ඇයි? ‘සමහරුන් හිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වෙනවා කියලා. ඒත් ඇත්තෙන්ම ඔහු ප්‍රමාද වෙන්නේ නැහැ. කිසි කෙනෙක් විනාශ වෙනවාට දෙවියන් කැමති නැහැ. ඔහු ආස පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දෙන්න. ඒ නිසා ඔහු ඉවසනවා.’ (2 පේතෘස් 3:9) සියලු බලය හිමි යෙහෝවා දෙවි මේ තරම් ඉවසීමෙන් වැඩ කරන්නේ ඔහු මිනිස් වර්ගයාට ඒ තරම්ම ආදරය කරන නිසයි.

කොහොමවුණත් අහිංසක මිනිසුන්ට පීඩා කරන අයට දෙවියන් ළඟදීම ප්‍රතිඵල විඳින්න සලස්වනවා. බයිබලයේ සඳහන්වෙන්නේ ඒ අයට “ලැබෙන දඬුවම නම් සදාකාල විනාශය” කියලයි.—2 තෙසලෝනික 1:6-9.

කලින් සඳහන් කළ ඉයන් මිනිස්සු මේ තරම් දුක් විඳින්න හේතුව මොකක්ද කියලා දැනගත්තා. ඒ ගැන මේ සඟරාවේ 13වන පිටුවේ සඳහන් වෙනවා.