Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

තමන්ගේ ජීවිතය සාර්ථකයි කියලා හිතුව කාන්තාවක් ජීවිතයේ සැබෑ අරමුණ හොයාගත්තේ කොහොමද? කෙනෙක් මැරුණාම වෙන්නේ මොනවාද කියා දැනගත්ත තරුණයෙක් කළේ මොනවාද? ජීවිතේ තිත්ත වෙලා හිටපු තරුණයෙක් දෙවියන් ගැන ඉගෙනගෙන එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ කොහොමද?

“ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මම සෑහෙන කාලයක් කල්පනා කළා”—රොසලින්ඩ් ජෝන්

  • උපත ලැබූ වසර: 1963

  • රට: බ්‍රිතාන්‍යය

  • අතීතයේදී: සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ ලන්ඩන්වල. අපේ පවුලේ දරුවෝ නවදෙනාගෙන් මම හයවෙනියා. මගේ අම්මයි, තාත්තයි දෙන්නම හැදිලා වැඩිලා තියෙන්නේ කැරිබියන් දූපතක් වන ශාන්ත වින්සන්ට්වල. අම්මා මෙතෝදිස්ත ආගමේ. දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියලා හොයලා බලන්න මට නම් කිසිම උවමනාවක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලම මං වැඩියෙන් ආස කළේ පොත් පත් කියවන්න. ඒ නිසා ඉස්කෝලේ නිවාඩු ලැබුණ හැටියෙම මම පුස්තකාලෙන් පොත් ගොඩක් ගෙනල්ලා අපේ ගේ ළඟ තිබුණු විල ළඟට ගිහිල්ලා ඒවා කියෙව්වා.

ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ දුප්පත්, අසරණ අයට උදව් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා මම මුලින්ම ගෙවල් නැති අයටත් ඉගෙනගන්න ඒ තරම් දක්ෂ නැති අයටත් උදව් කරන්න පටන්ගත්තා. ඒ කාලේදිම වගේ සෞඛ්‍ය ගැන මම විශ්වවිද්‍යාල පාඨමාලාවකුත් කළා. ඒ උපාධිය ලැබුවට පස්සේ හිතපු නැති විදිහට මගේ ජීවිතය සාර්ථක වුණා. මම වැඩ කළේ උපදේශිකාවක් විදිහට. හැබැයි මම කිසිම ආයතනයකට බැඳුණේ නැහැ. මගේ වැඩ කරගෙන යන්න මට ඕනෙ වුණේ ලැප්ටොප් එකක් විතරයි. මට ලොකු නිදහසක් තිබුණ නිසා එක එක රටවල සුපිරි හෝටල්වලට ගිහින් හුඟක් විනෝද වුණා. මම හිතුවේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා. ඒ කොහොමවුණත් දුප්පත් අසරණ අයවත් මට අමතක වුණේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු:

ජීවිතේ අරමුණ මොකක්ද කියලා මම සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කළත් ඒ ගැන බයිබලයෙන් උත්තර හොයන්න උත්සාහ කළේ නැහැ. දවසක් 1999දී මගේ නංගි (මාග්‍රට්) මාව බලන්න ආවා. ඒ වෙද්දී නංගි යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වෙලයි හිටියේ. එයා එදා තව යාළුවෙක්වත් එක්කන් ඇවිත් තිබුණා. ඒ කෙනා මාත් එක්ක කතා කළේ හරිම ළෙන්ගතු විදිහට. අන්තිමේදී එයත් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න මම පටන්ගත්තා. හැබැයි මගේ කාර්යබහුල ජීවිතේ නිසා ඒකට වැඩි වෙලාවක් දෙන්න මට පුළුවන් වුණේ නැහැ.

මම 2002දී එංගලන්තයේ නිරිතදිග පළාතේ පදිංචියට ගියා. එහෙදී සමාජ විද්‍යා පර්යේෂණය ගැන පශ්චාත් උපාධියක් හැදෑරුවා. ඒ කාලේදී මම මගේ පොඩි පුතාවත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට එක්කගෙන ගියා. කොච්චර උපාධි අරන් තිබුණත් ජීවිතේ ප්‍රශ්න ගැටලු සාර්ථකව විසඳගන්න පුළුවන් කොහොමද කියලා මම දැනගත්තේ බයිබලය ඉගෙනගන්න පටන්ගත්තට පස්සෙයි.  මතෙව් 6:24 කියන විදිහට ස්වාමිවරු දෙන්නෙකුට දාසයෙක් වෙන්න බැහැ කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා ජීවිතේ මුල් තැන දෙන්නේ දෙවිටද වස්තුවටද කියලා තීරණය කරන්න මට සිද්ධ වුණා.

කලින් අවුරුද්දේ සාක්ෂිකරුවන් පුංචි කණ්ඩායමක් විදිහට පවත්වපු රැස්වීමකටත් මම සහභාගි වුණා. ඒකෙදී සාකච්ඡා කළේ සාක්ෂිකරුවන්ගේම ප්‍රකාශනයක් වන ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොත. ඒකෙන් මම දැනගත්තා අපි අද්දකින හැම ප්‍රශ්නෙකටම විසඳුමක් දෙන්න පුළුවන් එකම කෙනා අපිව නිර්මාණය කරපු යෙහෝවා දෙවි බව. හැබැයි විශ්වවිද්‍යාලෙන් ඉගැන්නුවේ දෙවි කෙනෙක්ව විශ්වාස කරන්න කිසිම පදනමක් නැහැ කියලා. ඒ ගැන මට හුඟක් කේන්ති ගියා. ඒ නිසා මාස දෙකකට පස්සේ මම විශ්වවිද්‍යාලෙට යන එක නතර කරලා දෙවි ගැන තවත් වැඩියෙන් ඉගෙනගන්න තීරණය කළා.

මම ජීවත් වෙන විදිහ වෙනස් කරගන්න ඕනේ කියලා මට තදින්ම කාවැදුණු බයිබල් පදයක් තමයි හිතෝපදේශ 3:5, 6. එතන මෙහෙම කියනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න කොට ලැබෙන ප්‍රයෝජන කිසිම උපාධියකින් ලැබෙන්නේ නැහැ. මේ පොළොව ගැන දෙවිට තියෙන අරමුණ ගැනත් යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් වැඩි වැඩියෙන් ඉගෙනගද්දී මගේ ජීවිතය දෙවිට කැප කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා 2003දී මම බව්තීස්ම වුණා. කාලයත් එක්කම මම මගේ ජීවිතය හුඟක් සරල කරගත්තා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු:

යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්ත නිසා මගේ ජීවිතේ ආලෝකවත් වුණා. දෙවිගේ සෙනඟව ආශ්‍රය කරන්න ලැබෙන එකත් මට ලොකු සතුටක්. මේ හැම දෙයක්ම මම සලකන්නේ දෙවිගෙන් ලැබුණු මිල කරන්න බැරි ආශීර්වාද විදිහට.

සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තට පස්සේ, පොඩි කාලේ ඉඳලා දැනුම රැස් කරගන්න මට තිබුණ ආසාව සන්සිඳුණා. ප්‍රශ්න ගැටලු මැද වුණත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලත්, අනාගතේදී පාරාදීස පොළොවක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලත් මම දැන් අනිත් අයට කියලා දෙනවා. මම 2008 ජූනි මාසයේ ඉඳලා පූර්ණකාලීන සේවකයෙක් විදිහට යෙහෝවා දෙවිට සේවය කරන්න පටන්ගත්තා. ජීවිතේ සැබෑ අරමුණ මොකක්ද කියලා දැන් මම දන්නවා. ඒ හැම දේටම මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුති කරනවා.

“ඒ දුක දරාගන්න මට ලේසි වුණේ නැහැ”—රොමෑන් අර්නස්බර්ගර්

  • උපත ලැබූ වසර: 1973

  • රට: ඔස්ට්‍රියාව

  • අතීතයේදී: සූදුවේ නියැලුණු කෙනෙක්

මගේ අතීතය:

මං හැදුණේ වැඩුණේ ඔස්ට්‍රියාවේ බ්‍රව්නව් කියන පුංචි නගරයේ. එහේ හිටියේ වත්පොහොසත් මිනිස්සු. ඒ නිසා අපරාධයක් ගැන අහන්න ලැබුණේ හරිම කලාතුරකින්. අපේ පවුලේ හැමෝම කතෝලිකයන්.

වයස අවුරුදු 11දී වෙච්ච සිද්ධියක් මට අද වගේ මතකයි. එදා අපේ යාළුවෝ ටික හරිම සතුටින් සෙල්ලම් කළා. හැබැයි එදා දවල්  මට ආරංචි වුණා මාත් එක්ක සෙල්ලම් කරපු යාළුවෙක් වාහනෙකට හැප්පිලා මැරිලා කියලා. ඒ වෙලාවේ මට කොහොම හැඟෙන්න ඇද්ද කියලා ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන් නේද? ඒ දුක දරාගන්න මට ලේසි වුණේ නැහැ. අපි මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියලා එදා ඉඳන් මම කල්පනා කළා.

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කළා. ඔය කාලෙදිම තමයි මම සූදුවට ඇබ්බැහි වුණේ. ඒත් මම කවදාවත් ණය වෙලා නැහැ. වැඩි කල් යන්න කලින් හෙවි මෙට්ල් සංගීතයටත් මගේ හිත ඇදිලා ගියා. ඒ නිසා රාත්‍රී සමාජ ශාලාවලට ගිහින් ඇති තරම් විනෝද වුණා. කොයි තරම් සතුටු වුණත් මගේ ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා මට දැනුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු:

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් 1995දී අපේ ගෙදරට ආවා. ඒ වෙන කොටත් මගේ යාළුවාගේ මරණේ අද ඊයේ වගේ මට මතක තිබුණා. ඒ නිසා මැරුණු අයට මොකද වෙන්නේ කියලා මම එයාගෙන් ඇහුවා. එතකොට ඒ ප්‍රශ්නෙට බයිබලයෙන් උත්තර පැහැදිලි කරලා තිබුණු පොතක් එයා මට දුන්නා. මම හරිම ආසාවෙන් ඒ පොත සම්පූර්ණෙන්ම කියෙව්වා.

මැරුණට පස්සේ වෙන්නේ මොකක්ද කියලා ඒ පොතේ සරල විදිහට පැහැදිලි කරලා තිබුණා. මම හැදිලා වැඩුණේ කතෝලිකයෙක් විදිහට නිසා මට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. හැබැයි බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කොට යේසුස්ගේ පියා වන යෙහෝවා දෙවි ගැනත් මම ඉගෙනගත්තා. දෙවි අභිරහස් කෙනෙක් නෙවෙයි කියලත් දෙවිව දැන හඳුන ගන්න කැමති අයට දෙවි උදව් කරනවා කියලත් දැනගත්තාම මට පුදුමත් හිතුණා. (මතෙව් 7:7-11) දෙවි කියන එක වචනයක්වත් බොරු වෙන්නේ නැහැ කියලත් මම ඉගෙනගත්තා. ඒ නිසා බයිබලයේ තියෙන අනාවැකි ගැනත් ඒවා ඉටු වුණු විදිහ ගැනත් හොයලා බලන්න මට ආස හිතුණා. ඒවා ගැන හොයලා බැලුවම මට දෙවි ගැන තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා.

බයිබලයේ තියෙන දේවල් ගැන මිනිස්සුන්ට කියලා දෙන්න අවංක උනන්දුවක් තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විතරයි. සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවන කොට ඒවාවල සඳහන් කරලා තිබුණු බයිබල් පද මං මගේ බයිබලෙන්ම පෙරළලා බැලුවා. ඒ පොත් පත්වල තියෙන දේවල් ගැන වැඩි වැඩියෙන් හොයලා බලද්දී සත්‍ය ආගම මොකක්ද කියලා මම තේරුම්ගත්තා.

යෙහෝවා දෙවි කැමති අපි දෙවි දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා දකින්නයි. එෆීස 4:22-24 කියන විදිහට ‘මගේ පරණ පෞද්ගලිකත්වය අහක දාලා ඒ වෙනුවට අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්න ඕනේ’ කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා මම ගත කරපු අනාචාර ජීවිතයට මම සමු දුන්නා. ඒ විතරක් නෙවෙයි සූදුවේ නියැලෙන කොට කෙනෙක් තුළ මුදලට කෑදරකමක් ඇති වෙන නිසා මම ඒකත් නතර කළා. (1 කොරින්ති 6:9, 10) මගේ පරණ යාළුවන්ව දිගටම ආශ්‍රය කරන්න ගියොත් කවදාවත් ඒ වෙනස්කම් කරන්න වෙන්නේ නැති නිසා මම ඒ අය වෙනුවට සාක්ෂිකරුවන් අතරින් හොඳ යාළුවන්ව හොයාගත්තා.

හැබැයි ඒ දේවල් වෙනස් කරන්න මට ලේසි වුණේ නැහැ. මම දිගටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියා. ඒ අයව කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ විතරක් නෙවෙයි පුරුද්දක් විදිහට බයිබලය අධ්‍යයනය කරන්නත් අමතක කළේ නැහැ. හෙවි මෙට්ල් සංගීතයට ආයුබෝවන් කියලා පිළිවෙළකට අඳින්න පටන්ගත්තා විතරක් නෙවෙයි හැම දෙයක්ම දෙවි කැමති විදිහට කරන්නත් මම උත්සාහ කළා. ඒ හැම දෙයක්ම කළාට පස්සේ 1995දී මම සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු:

මං දැන් සල්ලි පස්සේ දුවන්නේ නැහැ. ඉස්සර නම් මට හොස්ස ළඟින්  මැස්සා ගියත් කේන්ති යනවා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සරහට මොනවා වෙයිද කියලා අනවශ්‍ය විදිහට ලත වෙන්නෙත් නැහැ.

ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ අය කොච්චර ප්‍රශ්නවලට මුහුණ දුන්නත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නවා. දැන් මමත් උත්සාහ කරන්නේ මාවම සතුටු කරගන්නවා වෙනුවට යෙහෝවා දෙවිව සතුටු කරලා දෙවි ගැන අනිත් මිනිස්සුන්ටත් කියලා දෙන්න. ඒ ගැන මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.

“දැන් මගේ ජීවිතේට අරමුණක් තියෙනවා.”—ඉයන් කිං

  • උපත ලැබූ වසර: 1963

  • රට: එංගලන්තය

  • අතීතයේදී: ජීවිතේ ගැන කලකිරිලා හිටිය කෙනෙක්

මගේ අතීතය:

මම ඉපදුණේ එංගලන්තයේ. හැබැයි මට වයස අවුරුදු හතේදී අපි ඕස්ට්‍රේලියාවට ගිහින් ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් වෙරළ කියන ප්‍රදේශයේ පදිංචි වුණා. අපි එච්චර පෝසත් අය නෙමෙයි. ඒ වුණත් අපිට ඕන කරන දේවල් තිබුණා.

මට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ තිබුණට මං හිටියේ සතුටින් නෙමෙයි. මට ජීවිතේ තිත්ත වෙලයි තිබුණේ. මගේ තාත්තා බීමට ඇබ්බැහි වුණු කෙනෙක්. තාත්තගේ බීමත්කම හින්දත් අම්මට එයා සලකපු විදිහ හින්දත් මට තාත්තා ගැන ආදරයක් තිබුණේ නැහැ. පස්සේ කාලෙක තමයි මං තේරුම්ගත්තේ තාත්තා ඒ විදිහට හැසිරුණේ ඇයි කියලා. තාත්තා ඉස්සර හිටියේ හමුදාවේ. මලයාවේ තිබුණු යුද්දෙදී එයා ගොඩක් දරුණු දේවල්වලට මුහුණ දීලා තිබුණා.

ඉස්කෝලේ යන කාලෙදිම මං වෙරි වෙනකං බොන්න පටන්ගත්තා. වයස අවුරුදු 16දී ඉස්කෝලෙන් අයින් වෙලා නාවික හමුදාවට බැඳුණා. ඒ කාලෙදී තමයි මං කුඩු ගහන්නයි සිගරට් බොන්නයි පුරුදු වුණේ. සති අන්තවල විතරක් වෙරි වෙනකං බොන්න පුරුදු වෙලා හිටපු මම, හැමදාම වගේ බොන්න පටන්ගත්තා. මට ඒවා නැතුවම බැරුව ගියා.

මේ අතර ‘දෙවි කෙනෙක් ඉන්නවා නම් මිනිසුන්ට මේ විදිහට දුක් විඳලා මැරිලා යන්න ඉඩඇරලා තියෙන්නේ ඇයි’ කියලා මං කල්පනා කළා. මට දෙවි ගැන කොච්චර කලකිරීමක් ඇති වුණාද කියනවා නම් මේ ලෝකේ සිද්ධ වෙන දේවල්වලට දෙවිට දොස් කියලා මං කවිත් ලිව්වා.

අවුරුදු 23ක් වෙද්දී මං නාවික හමුදාවෙන් අයින් වුණා. ඊටපස්සේ මං රස්සාවල් කීපයක්ම කළා. අවුරුද්දකට විතර පිටරටත් ගිහින් හිටියා. ඒ මොනවා කළත් මට දැනුණු කලකිරීමෙන් නම් ගොඩ එන්න බැරි වුණා. මට ජීවිතේ එපා වෙලයි තිබුණේ. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හොඳ රස්සාවක් කරන්න, ගෙයක් දොරක් හදාගන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. අඩියක් ගහලා සිංදුවක් දෙකක් අහද්දී විතරයි මට පොඩි සැනසීමක් ලැබුණේ.

ඇත්තටම මේ ජීවිතෙට අරමුණක් තියෙනවාද කියලා හොයන්න ඕනේ කියලා මට හිතුණේ පෝලන්තයේ ගාල් කඳවුරක් බලන්න ගිය වෙලාවකයි. ඒ කඳවුරේ සිද්ධ වුණු අමානුෂික දේවල් ගැන මං පොත් පත්වලින් කියවලා තිබුණා. හැබැයි ඇත්තටම එතැනට ගිහින් ඒ කඳවුර දැක්කම තමයි තේරුණේ ඒක කොච්චර ලොකු තැනක්ද කියලා. ඒ වෙලාවේ මගේ හිතට කියාගන්න බැරි ලොකු දුකක් දැනුණා. කඳවුර වටේ ඇවිදගෙන යද්දී මගේ ඇස් කඳුළින් පිරුණා.  මිනිස්සු මිනිසුන්ටම මෙච්චර කෲර විදිහට සලකන්නේ කොහොමද කියලා මට අදහාගන්න බැරි වුණා. ඒ වෙලාවේ ‘ඇයි මේ වගේ අපරාධ වෙන්නේ’ කියන ප්‍රශ්නේ මගේ හිතට ආවා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු:

රට ගිහින් ආවට පස්සේ මං බයිබලේ කියවන්න පටන්ගත්තා. මගේ හිතට ආපු සමහර ප්‍රශ්නවලට උත්තර ඒකෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා. ඔය කාලෙදිම වගේ ඒ කියන්නේ 1993දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් එයාලගේ සමුළුවකට එන්න කියලා මට ආරාධනා කළා. ඒ සමුළුව තිබුණේ අපේ ගෙවල් කිට්ටුව තිබුණු ක්‍රීඩාංගණයක. ඒකට යන්න මං තීරණය කළා.

මාස කීපයකට කලින් මං ඒ ක්‍රීඩාංගණයටම මැච් එකක් බලන්න ගියා. හැබැයි එදා ඒ ක්‍රීඩාංගණය තිබුණු විදිහයි සමුළුව දවසේ තිබුණු විදිහයි අහසට පොළොව වගේ. එදා සාක්ෂිකරුවන් විනීතව ඇඳ පැළඳ හිටියා. එයාලා අනිත් අයට සැලකුවෙත් හරිම කාරුණිකවයි. එයාලගේ දරුවන් පවා හොඳින් හැසිරුණා. කෑම වෙලාවෙදී සාක්ෂිකරුවන් හුඟදෙනෙක් කෑම කෑවේ පිට්ටනියට ගිහින්. හැබැයි එයාලා එතන එක කොළ කෑල්ලක්වත් විසි කරලා තිබුණේ නැහැ. සාක්ෂිකරුවන් හැමෝම වගේ හිටියේ හරිම සතුටින් කියලත් එයාලා අතරේ භේද නැහැ කියලත් මං දැක්කා. මමත් හෙව්වේ ඒ ටිකමයි. එදා දීපු එක කතාවක්වත් මට මතක නැහැ. හැබැයි එදා මං දැක්ක දේවල් මගේ හිතට තදින්ම වැදුණා.

මීට අවුරුදු ගාණකට කලින් මගේ ඥාති සහෝදරයෙක් කියපු දෙයක් එදා හවස මට මතක් වුණා. එයාත් බයිබලේ කියවපු, එක එක ආගම් ගැන අධ්‍යයනය කරපු කෙනෙක්. යේසුස් කියපු විදිහට නියම ක්‍රිස්තියානීන්ව අඳුනගන්න පුළුවන් වෙන්නේ එයාලගේ ගතිගුණවලින් කියලා එයා මට කිව්වා. (මතෙව් 7:15-20) ඒ නිසා යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් ඇයි කියලා හොයලා බලන්න මං හිතුවා. කවදාවත් නැති විදිහට එදා මගේ හිතට පොඩි බලාපොරොත්තුවක් ආවා.

අපේ ගෙදරට මුලින් ආපු සාක්ෂිකරුවන් දෙන්නා ඊළඟ සතියේ ආපහු ආවා. බයිබලේ පාඩම් කරන්න කැමතිද කියලා එයාලා මගෙන් ඇහුවා. මං බයිබලේ පාඩම් කරන්න විතරක් නෙමෙයි එයාලගේ රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා.

බයිබලේ පාඩම් කරද්දී මට තේරුණා දුක් වේදනා ඇති කරන්නේ දෙවියන් නෙමෙයි කියලා. මිනිසුන් කරන නරක දේවල් ගැන දෙවියනුත් ගොඩක් දුක් වෙනවා කියලා මං දැනගත්තා. (උත්පත්ති 6:6; ගීතාවලිය 78:40, 41) ඒ නිසා දෙවියන් ගැන මං කලින් හිතාගෙන හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මං හිතාගත්තා දෙවියන්ගේ හිතට දුකක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. මට ඕන වුණේ දෙවියන්ගේ හිත සතුටු කරන්නයි. (හිතෝපදේශ 27:11) සිගරට් බීමයි, සීමාව පැනලා බොන එකයි මං අත්හැරියා. ඒ වගේම මං ගත කරපු දුරාචාර ජීවිතෙත් අත්හැරියා. ඊටපස්සේ 1994 මාර්තු මාසේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට මං බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු:

ඉස්සර වගේ නෙමෙයි දැන් මං ඉන්නේ හරිම සතුටින්. ඉස්සර නම් ප්‍රශ්න විසඳන්න මං කළේ බීපු එක. ඒත් දැන් මං මගේ හැම ප්‍රශ්නයක්ම යෙහෝවා දෙවිට භාර දීලා තියෙන නිසා මගේ හිත හරිම සැහැල්ලුයි.—ගීතාවලිය 55:22.

මීට අවුරුදු 10කට කලින් මම කැරන් එක්ක විවාහ වුණා. ඒ වෙද්දී කැරන්ට දුවෙක් හිටියා. එයාගේ නම නෙලා. අපි තුන්දෙනා අපේ කාලෙන් වැඩිහරියක් ගත කරන්නේ සැබෑ දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්නයි. අපි ඒ සේවයේ හවුල් වෙන්නේ හරිම සතුටින්. දැන් මගේ ජීවිතේට අරමුණක් තියෙනවා.