Skip to content

පටුනට යන්න

සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත

සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත

සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත

“මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස, ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.”—යොහන් 4:14.

“සුදු වෛරම් වැටී ඇති දිදුලන නිල් මැණිකක් සඳ පිටුපසින් නැඟී එයි. සුදු සළු මෙන්වූ වලාකුළුවලින් සැරසී සිටින එය දිස් වන්නේ ඝනාන්ධකාරයේ බැබළෙන මුතු කැටයක් විලසිනි.”—අභ්‍යවකාශයේ සිට පොළොව දකින ආකාරය විස්තර කළ ගගනගාමී එඩ්ගර් මිචෙල්.

එම ගගනගාමියා පෘථිවියේ අලංකාරය විස්තර කළේ කාව්‍යමය ආකාරයකිනුයි. පෘථිවියට එතරම් අලංකාරයක් ලැබී තිබෙන්නේ පොළොවෙන් හතරෙන් තුනක්ම ජලයෙන් යට වී තිබෙන නිසයි. පෘථිවිය අලංකාර කරනවාට අමතරව ජීවිතය පවත්වාගෙන යෑමටත් ජලය අත්‍යවශ්‍යයි. මිනිස් සිරුරේ සියයට 65ක් පමණ තිබෙන්නේ ජලයයි. එක් විශ්වකෝෂයක ජලය ගැන මෙවැනි අදහසක් සඳහන් වෙනවා. “ජීවිතයේ පැවැත්මට ජලය නැතුවම බැරි දෙයක්. එය සතුන් සහ ශාක තුළ සිදුවන සෑම ක්‍රියාවලියක් සඳහාම අත්‍යවශ්‍යයි.”—Encyclopædia Britannica.

ජලය කොතරම් භාවිතයට ගැනුණත් එය ප්‍රතිචක්‍රීකරණය වෙනවා. එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “අපි භාවිතයට ගන්නා සෑම ජල බින්දුවක්ම පාහේ නැවතත් මහා මුහුදට එකතු වෙන අතර සූර්ය ශක්තිය නිසා එය වාෂ්ප වී නැවත වර්ෂාව ලෙස පොළොවට ඇද හැළෙනවා. මේ ක්‍රියාවලිය නිසා ජල සම්පත සැමදා පවතිනවා.” (The World Book Encyclopedia) මෙම පුදුම දනවන ක්‍රියාවලිය ගැන මීට වසර 3,000ට පමණ පෙර සිටම බයිබලයේ මෙසේ සඳහන් වුණා. “සියලු ගංගා මුහුදට බැස යයි. එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත. නැවතත් ගංගාවලට ජලය ලැබී ඒවා ගලා යයි.” මෙම ජල චක්‍රය කොතරම් අරුම පුදුම නිර්මාණයක්ද!—දේශනාකාරයා 1:7, නව ලොව පරිවර්තනය, NW.

ජීවිතයට ජලය අත්‍යවශ්‍ය දෙයක් නිසාත් එය පුදුමාකාර ලෙස අපට ලැබෙන ආකාරය නිසාත් බයිබලයේ 700වතාවකට වඩා ජලය ගැන සඳහන් කර තිබීම පුදුමයක් නොවෙයි. අපවිත්‍ර දේවල් පිරිසිදු කිරීමට හා ජීවිතය පවත්වාගෙන යෑමට ජලය අවශ්‍ය වෙනවා. ඒ හා සමානව කෙනෙකුගේ පෞද්ගලිකත්වය සකස් කරගෙන දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට බයිබලයේ සඳහන් දැනුම අවශ්‍ය වෙනවා.—යෙසායා 58:11; යොහන් 4:14.

පවිත්‍ර කිරීමට බයිබලය සතු හැකියාව

අතීතයේ සිටි ඊශ්‍රායෙල් ජාතිය නිරතුරුවම ජලයෙන් තමන්වම සෝදා පවිත්‍ර කරගත් නිසා පිරිසිදුකම අතින් ඔවුන් කැපී පෙනුණා. කෑමක් සඳහා නිවසකට ඇතුල් වීමට පෙර කකුල් සෝදාගැනීම ඒ කාලේ සිරිතක්ව තිබුණා. (ලූක් 7:44) ඊට අමතරව නමස්කාර කටයුතුවලදීද පිරිසිදු වීමේ චාරිත්‍ර පැවතුණා. උදාහරණයකට මණ්ඩපයේ සේවය කළ පූජකයන් නිතරම තමන්වත් තම වස්ත්‍රත් වතුරෙන් සෝදාගත්තා. (නික්මයාම 30:18-21) පසු කාලයකදී සලමොන් රජ ජලය ලීටර් 44,000ක් රැස් කළ හැකි විශාල “තඹ භාජනයක්” දේවමාලිගා භූමියේ ඉදි කළා. එය ඉදි කළේ දෙවිගේ නීතියට අනුව පූජකයන් පවිත්‍ර විය යුතු නිසයි. (2 ලේකම් 4:2, 6) අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට මෙය අදාළ වෙන්නේ කෙසේද?

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ යේසුස් ක්‍රිස්තියානි සභාව “වචනය නමැති වතුරෙන් සෝදා පිරිසිදු කළ” බවයි. කෙනෙකුව ශාරීරිකව පවිත්‍ර කිරීමට ජලයට හැකි සේම කෙනෙකුව සදාචාරමය හා නමස්කාරමය පැත්තෙන් පවිත්‍ර කිරීමට බයිබලයේ ඇති ඉගැන්වීම්වලට හැකියි. ප්‍රතිඵලයක් ලෙස යේසුස්ගේ අනුගාමිකයන්ට “ශුද්ධව සහ කැළැල් නැතුව” සිටීමට හැකියාව ලැබෙනවා. (එෆීස 5:25-27) දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති ඕනෑම කෙනෙක් “නොකිලිටිව, නිකැළැල්ව” සිටීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. (2 පේතෘස් 3:11, 14) ඒ සඳහා දෙවිගේ වචනය වන බයිබලය උපකාරවත් වන්නේ කෙසේද?

දෙවිව සතුටු කිරීමට කැමති අය බයිබලයේ ඇති දැනුම ලබාගත යුතුයි. එම දැනුම සංකේතවත් ලෙස ජලයට සමාන කර තිබෙනවා. එම දැනුම ලබාගැනීම සඳහා නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීම වැදගත්. මේ දැනුම කෙනෙකුගේ සිතට කාවැදුණු විට ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගෙන මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න’ යන බයිබලයේ සඳහන් උපදෙසට කීකරු වෙන්න පෙලඹෙනවා.—රෝම 12:2.

දෙවිගේ කැමැත්ත ගැන නිවැරදි දැනුම ලබාගත් විට කෙනෙකුට තමන්ගේ හැසිරීමේ සහ සිතන ආකාරයේ ඇති දෝෂ හඳුනාගැනීමට හැකි වෙනවා. කාලයක් පුරා දෙවිගේ ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නා විට කෙනෙකුව බරපතළ පාපවලින් පවා ‘සෝදා පවිත්‍ර’ කරන්න දෙවිගේ වචනයට හැකියි.—1 කොරින්ති 6:9-11.

එය අද්දුටු ස්පාඤ්ඤයේ ජීවත් වන ආල්ෆොන්සෝ පවසන දේ සලකා බලන්න. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුණු අපරාධකරුවෙක්ව සිටියා. “අවුරුදු 18දී මට මගේ ජීවිතය එපා වෙලා තිබුණා. මගේ ශරීරයට මං සලකපු විදිහ නිසාත් අනිත් අයට සලකපු විදිහ නිසාත් මට මං ගැනම පිළිකුලක් දැනුණා.

“ඉස්කෝලෙදී මම දැක්කා හොඳ හැදියාවක් තියෙන ගෑනු ළමයෙක්ව. එයා අනිත් ළමයින්ට වඩා හරිම වෙනස්. ඒ නිසා මට හිතුණා මමත් එයා වගේ වෙන්න ඕනේ කියලා. එයා මට කිව්ව විදිහට මම දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. වැඩි කල් යන්න කලින් මම බයිබලය පාඩම් කරලා දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා. අවුරුද්දක් ඇතුළත මට පුළුවන් වුණා මගේ ජීවිතය වෙනස් කරගෙන බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වෙන්න. දැන් අහල පහළ ගෙවල්වල ඉන්න දෙමව්පියන් මට කියනවා මත්ද්‍රව්‍ය ගන්න ඒගොල්ලන්ගේ යෞවන දරුවන්ගේ ජීවිත වෙනස් කරලා දෙන්න කියලා.”

සදාකාල ජීවනය ලබා දෙන ජලය

යාකොබ්ගේ ළිඳෙන් වතුර ගැනීමට පැමිණි සමරිතානු ස්ත්‍රියට යේසුස් “ජීවනදායක වතුර” ගැන සඳහන් කළා. එමෙන්ම ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස, ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.” (යොහන් 4:10, 14) මේ ‘ජීවනදායක වතුරෙන්’ අදහස් වෙන්නේ සදාකාල ජීවනය ලබාගැනීම සඳහා දෙවි දෙන සැපයුම් බව බයිබලයේ පෙන්නුම් කරනවා. මෙම සැපයුම්වලට අයත් එක් ප්‍රධාන දෙයක් වන්නේ යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒ ගැන යේසුස්ම මෙසේ පැවසුවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

කලින් සඳහන් කළ ආල්ෆොන්සෝ දෙවිගෙන් ලැබී තිබෙන මෙම “ජීවනදායක වතුර” එනම් දෙවිගේ සැපයුම් බොහෝ සෙයින් අගය කරන කෙනෙක්. තමා මෙන් නරක ජීවිත ගත කළ අයට සිදු වී තිබෙන දේ ගැන ඔහු මෙසේ පවසනවා. “මගේ අයියයි මට හිටපු යාළුවොයි දැන් ජීවතුන් අතර නැහැ. ඒත් දෙවිගේ වචනයෙන් ලබපු දැනුම නිසා මගේ ජීවිතේ බේරුණා. යෙහෝවා දෙවිගේ සැපයුම් ගැන මම ඔහුට ස්තුති කරනවා.” බයිබලයෙන් ලබා ඇති දැනුම නිසා ඉදිරියේදී දෙවි ලබා දෙන පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ආල්ෆොන්සෝ සතුටින් සිටිනවා.—2 පේතෘස් 3:13.

සැමට ආරාධනාවක්

“පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක් දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා” එන ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 22:1) ආදම් සහ ඒව පව් කරන්න කලින් සිටි තත්වයට නැවතත් මනුෂ්‍ය වර්ගයාව ගෙන ඒම සඳහා දෙවි ලබා දෙන සැපයුම් එම ගංගාවෙන් නියෝජනය වෙනවා.

එම ගංගාව ගැන සඳහන් කළායින් පසුව එහි තවදුරටත් මෙවැනි ආරාධනාවක්ද කරයි. “පිපාසය ඇති තැනැත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.” (එළිදරව් 22:17) රටවල් 235ට වඩා වැඩි සංඛ්‍යාවක සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැය බිලියනයකට වඩා වැය කරමින් බයිබලයේ ඇති ජීවනදායක දැනුම මිනිසුන්ට ලබා දෙනවා.

ඔබත් ජීවනදායක වතුර ලබාගැනීමට පිපාසයෙන් සිටින කෙනෙක්ද? එසේනම් අපගේ නිර්මාතෘ දෙවි ලබා දෙන ජීවනදායක සැපයුම් මොනවාද කියා ඉගෙනගෙන ඒවායින් ප්‍රයෝජන ගන්න. එවිට ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගෙන අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමා එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගන්නා’ අය අතරේ සිටින්න ඔබටත් හැකියි.—1 තිමෝති 6:19.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙනෙකුව ශාරීරිකව පවිත්‍ර කිරීමට ජලයට හැකි සේම කෙනෙකුව සදාචාරමය හා නමස්කාරමය පැත්තෙන් පවිත්‍ර කිරීමට බයිබලයේ ඇති ඉගැන්වීම්වලට හැකියි

[15වන පිටුවේ කොටුව/පින්තූර]

අතීත ජල සැපයුම්

පුරාණයේ සිටි අය ජලය තිබෙන ස්ථාන සොයාගැනීමට ඉමහත් වෑයමක් දැරුවා. උදාහරණයකට ආබ්‍රහම් සහ ඊසාක් තම නිවසේ සිටි අයටත් සත්ව රැළටත් ප්‍රමාණවත් ජලය ලබාගැනීම සඳහා බෙයර්-ෂෙබා අසල ළිං හෑරුවා.—උත්පත්ති 21:30, 31; 26:18.

බොහෝවිට නියං කාලයේදී නොගැඹුරු ළිං සිඳී ගියා. ඒ නිසා ප්‍රමාණවත් ජලය ලබාගැනීම සඳහා ළිං ගැඹුරට හෑරිය යුතු වුණා. (හිතෝපදේශ 20:5) ලාකීෂ්වල තිබෙන එවැනි ළිඳක් අඩි 144ක් ගැඹුරුයි. එමෙන්ම ගිබියොන්වලද අඩි 80කට වඩා ගැඹුරු ළිඳක් තිබෙන අතර එය අඩි 35ක් පළලයි. එම ළිද හෑරීමේදී ගල් ටොන් 3,000ක් පමණ ඉවත් කරන්න සිදු වුණා. යාකොබ්ගේ ළිඳෙන් වතුර අදිමින් සිටි සමාරිය ස්ත්‍රිය ‘ළිඳ ගැඹුරුයි’ කියා යේසුස්ට පැවසුවා. එම ළිඳේ වතුර මට්ටම භූමියේ සිට අඩි 75ක් පමණ පහළින් තිබෙන්න ඇති.—යොහන් 4:11.

අතීතයේ මැද පෙරදිග ජීවත් වූ අය ජලය රැස් කිරීමට විශාල පොකුණු තැනුවා. ඔක්තෝබර් සිට අප්‍රියෙල් දක්වා වර්ෂාව ඇදහැළෙන කාලයේදී කඳුකරයෙන් විශාල පොකුණුවලට ජලය ගලා බසින සේ ඇළ මාර්ග තනා ජලය රැස් කළා. ඊශ්‍රායෙල්වරුන් මේ ආකාරයට වතුර එකතු කරගත්තා.—2 ලේකම් 26:10.

ළිංවලින් හා පොකුණුවලින් වතුර ඇදගැනීම පහසු කාර්යයක් වුණේ නැහැ. නමුත් රෙබෙකා හා යෙත්‍රෝගේ දියණියන් දිනපතාම තම නිවැසියන්ට හා සතුන්ට වතුර ඇදීමෙන් විශාල මෙහෙවරක් කළා.—උත්පත්ති 24:15-20; නික්මයාම 2:16.

[15වන පිටුවේ පින්තූරය]

ආල්ෆොන්සෝ දෙවිගේ වචනය උගන්වමින්