Skip to content

පටුනට යන්න

ඔබ උපදෙස් දෙන්නේ කොහොමද?

ඔබ උපදෙස් දෙන්නේ කොහොමද?

ඔබ උපදෙස් දෙන්නේ කොහොමද?

“ඒ ගැන මං මොකද කරන්නේ? ඒ උත්සවයට ගියාට කමක් නැද්ද? මේ රස්සාව හොඳයිද? මට එයාව ගැළපෙයිද?” එවැනි ප්‍රශ්නයක් ඇසුවොත් ඔබ දෙන්නේ මොන වගේ උපදෙසක්ද?

අපි කෙනෙකුට දෙන උපදෙස නිසා අන් අය සමඟ හා දෙවි සමඟ තිබෙන ඔහුගේ බැඳීම ශක්තිමත් වෙන්න හෝ දුර්වල වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා උපදෙස් දීමට පෙර බැරෑරුම්ව සිතා බලන්න. “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි” කියා හිතෝපදේශ 15:28 පවසනවා. ඔබ පුරුදු වෙලා තිබෙන්නේ කොහොම උපදෙස් දෙන්නද? අසන ප්‍රශ්නය මොකක් වුණත් උපදෙස් දෙන විට ප්‍රයෝජනවත් වන බයිබල් ප්‍රතිපත්ති පහක් දැන් අපි සලකා බලමු.

1 තත්වය හොඳින් වටහාගන්න.

“කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.”හිතෝ. 18:13.

ප්‍රයෝජනවත් උපදෙස් දෙන්න නම් මුලින්ම අප එම පුද්ගලයාගේ තත්වය හා ඔහු සිතන ආකාරය තේරුම්ගත යුතුයි. මෙසේ සිතන්න. කෙනෙක් ඔබේ ගෙදරට එන්න පාර අහද්දී උත්තර දෙන්න කලින් ඔබ දැන සිටිය යුත්තේ මොනවාද? ඔහු සිටින තැන ඔබ දන්නේ නැත්නම් එන්න පහසුම පාර කියන්න ඔබට පුළුවන්ද? බැහැ. ඒ හා සමානව උපදෙසක් දීමට කලින් ‘ඔහු සිටින තැන’ නැතහොත් ඔහුගේ තත්වය වටහාගන්න අවශ්‍යයි. සියලුම කාරණා ගැන අපිට සම්පූර්ණ අවබෝධයක් නැත්නම් නිවැරදි උපදෙස් දෙන්න බැරි වෙන අතර දුන් උපදෙස නිසා නැති ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්.—ලූක් 6:39.

කාරණය ගැන ඔහු කොතරම් දුරට සොයා බලා තිබෙනවාද කියා දැනගන්න. ඔහුගෙන් මෙසේ ඇසිය හැකියි. “කාරණේට අදාළ බයිබල් ප්‍රතිපත්ති මොනවාද?” “වාසි අවාසි මොනවාද?” “වෙන විකල්ප තියෙනවාද?” “ඒ ගැන ඔබ සොයාගත්තේ මොන වගේ තොරතුරුද?” “වැඩිමහල්ලෝ, අම්මා, තාත්තා හෝ බයිබල් පාඩම පවත්වන කෙනා දුන්න මඟ පෙන්වීම් මොනවාද?”

නිගමනයකට එන්න කොතරම් දුරට වෑයම් කර තිබෙනවාද කියා එවැනි ප්‍රශ්නවලට ඔහු දෙන උත්තරවලින් තේරුම්ගත හැකියි. තව කෙනෙක් ඔහුට ඒ ගැන උපදෙස් දී තිබෙනවා නම් එයත් සැලකිල්ලට ගෙන උපදෙස් දෙන්න අපිට හැකියි. ඔහුගේ උත්තරවලින් ඔහු අවංකවම මඟ පෙන්වීමක් සොයන කෙනෙක්ද නැත්නම් තමන් කැමති පිළිතුරක් දෙන කෙනෙකුව, එනම් “කන්වලට මිහිරි දේවල් කියන” උපදේශකයෙකුව සොයන කෙනෙක්ද කියාත් දැනගන්න පුළුවන්.—2 තිමෝ. 4:3.

2 හදිස්සි වී පිළිතුරු දීමෙන් වළකින්න.

“සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”යාකො. 1:19.

කෙනෙක් ප්‍රශ්නයක් ඇසූ විට ඔහුට උපකාර කිරීමට තිබෙන වුවමනාව නිසා අපි ඉක්මන් වී පිළිතුරක් දීමට ඉඩ තිබෙනවා. නමුත් “කතා කිරීමට ඉක්මන් වන මිනිසෙකුව ඔබ දන්නෙහිද? ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක” කියා හිතෝපදේශ 29:20හි සඳහන් වෙනවා.

ඉක්මන් වී පිළිතුරු නොදී අදාළ කාරණය ගැන දෙවි සිතන ආකාරය හොඳින් සිතා බලන්න. “මේ ලෝකයේ සිටින අයගේ බලපෑම” ඔබේ උපදෙස්වලට පදනම කරගන්න එපා. (1 කොරි. 2:12, 13) යේසුස්ට සිදු වෙන්න යන දේ දැනගත් විට පේතෘස් මෙසේ කිව්වා. “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ.” ඉන් පැහැදිලි වන්නේ හොඳ චේතනාවක් තිබෙන කෙනෙකු වුණත් ‘දෙවි සිතන විදිහට නොව මිනිසුන් සිතන විදිහට’ සිතා උපදෙස් දීමට ඉඩ තිබෙන බවයි. (මතෙ. 16:21-23) එමනිසා හොඳ චේතනාවක් තිබුණත් ඉක්මන් වී පිළිතුරු දීමෙන් වළකින්න. කතා කිරීමට පෙර දෙවරක් සිතන්න. යම් දේවල් ගැන අපිට කොතරම් අද්දැකීම් තිබුණත් එය දෙවි සතු ප්‍රඥාව සමඟ සසඳන්න කොහෙත්ම බැරි බව අමතක නොකරන්න.—යෝබ් 38:1-4; හිතෝ. 11:2.

3 පදනම ලෙස බයිබලය භාවිත කරන්න.

“මම මග්ම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත් පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත් ඔබට වැටහෙයි.”යොහ. 8:28.

සුළු කාරණයක් ගැන කෙනෙක් අපෙන් අහද්දී “මම නං කරන්නෙ මේකයි” කියා පිළිතුරු දීමට ඉඩ තිබෙනවා. නමුත් පොළොවේ සිටි ප්‍රඥාවන්තම මිනිසා වූ යේසුස් කළ දේ ගැන සිතන්න. සෑමවිටම ඔහු නිහතමානිව පැවසුවේ ‘මා කතා කරන විට මම ඉදිරිපත් කරන්නේ මගේ අදහස් නොවෙයි. පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා. එමනිසා මම පවසන දේවල් පියාණන් මට කියා දුන් ආකාරයටම මම පවසනවා’ කියායි. (යොහ. 12:49, 50) ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම් හැමවිටම පදනම් වුණේ දෙවි පැවසූ දේවල් මතයි.

උදාහරණයකට යේසුස්ව අත් අඩංගුවට ගත් මිනිසුන්ට පහර දෙන්නද කියා ගෝලයන් ඇසුවා. එය අසීරු අවස්ථාවක් වුණත් දෙවි සිතන විදිහ ඔවුන්ට තේරුම් කර දෙන්න ඔහු උත්සාහ කළා. (ලූක් 22:49; මතෙ. 26:52-54) ඔවුන්ට උපදෙස් දුන්නේ උත්පත්ති 9:6හි ඇති ප්‍රතිපත්තියත් ගීතාවලිය 22හි හා යෙසායා 53හි ඇති අනාවැකිත් පදනම් කරගෙනයි. ඒ නිසා කිසි මිනී මැරීමක් සිදු වුණේ නැහැ. දෙවි ඒ ගැන සතුටු වූ බව නිසැකයි.

4 සංවිධානයේ ප්‍රකාශන භාවිත කරන්න.

ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”මතෙ. 24:45.

දැනුම ලබා දීමට යේසුස් විශ්වාසවන්ත නුවණ ඇති දාසයෙකුව පත් කර තිබෙනවා. අන් අයට උපදෙසක් හෝ මඟ පෙන්වීමක් දීමට පෙර එම දාසයා පළ කර තිබෙන ප්‍රකාශන හොඳින් ගවේෂණය කිරීමට ඔබ කාලය ගන්නවාද?

මුරටැඹ ප්‍රකාශන සූචිය හෝ CD තැටියේ තිබෙන මුරටැඹ පුස්තකාලය මගින් විවිධ විෂයන් යටතේ තොරතුරු රැසක් පහසුවෙන් සොයාගන්න පුළුවන්. * ඔබ දන්නා භාෂාවකින් එය ලබාගත හැකි නම් එය හොඳින් භාවිත කරන්න. කෙනෙකුට සිතියමක් භාවිත කර තමන් සිටින තැන, යන්න අදහස් කරන තැන හා එතනට යා හැකි හොඳම පාර ආදි තොරතුරු සොයාගන්න පුළුවන්. ඒ හා සමානව සංවිධානයේ ප්‍රකාශන භාවිත කර තමන් සිටින තත්වය වටහාගැනීමටත් සදාකාල ජීවනය අත් කරගැනීමට ගත යුතු හොඳම තීරණ මොනවාද කියා දැනගැනීමටත් කෙනෙකුට හැකියි. බයිබල් ප්‍රතිපත්ති සොයාගෙන ඒ අනුව හොඳ තීරණයක් ගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා දක්ෂකමක් ඔබට තිබෙනවාද?

සංවිධානයේ ප්‍රකාශන භාවිත කරමින් ගවේෂණය කිරීමට බොහෝ වැඩිමහල්ලන් ප්‍රචාරකයන්ට උපකාර කර තිබෙනවා. ඒ නිසා තනිවම ගවේෂණය කිරීමටත් තමන්ගේ ප්‍රශ්නවලට දෙවි ලබා දෙන පිළිතුරු දැනගැනීමටත් සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් පැතීමටත් ඔවුන් පුරුදු වී තිබෙනවා. එවැනි අය ‘තම වටහාගැනීමේ හැකියාව භාවිත කර හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටින’ බව බයිබලයේ පවසනවා.—හෙබ්‍රෙ. 5:14.

5 අනුන් වෙනුවෙන් තීරණ ගැනීමෙන් වළකින්න.

“සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.”ගලා. 6:5.

දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න කැමතිද නැද්ද කියා තීරණය කිරීමේ නිදහස දෙවි හැමෝටම දී තිබෙනවා. (ද්වි. 30:19, 20) යම් අවස්ථාවලදී බයිබල් ප්‍රතිපත්ති කිහිපයක්ම අදාළ කරගැනීමට සිදු වෙනවා. නමුත් අවසාන තීරණය ගත යුත්තේ උපදෙස් පතන පුද්ගලයායි. අනික් අතට උපදෙස් දීමට සිදු වන විට උපදෙස් පතන කෙනාගේ වයසත් අදාළ කාරණයත් ගැන සිතා ‘මේක හසුරුවන්න මට අයිතියක් තියෙනවාද’ කියා සිතා බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී සුදුසුම දෙය වන්නේ ප්‍රශ්නය හැසිරවීමට වැඩිමහල්ලන්ට භාර දීමයි. උපදෙස් පතන්නා බාලයෙක් නම් එය ඔහුගේ දෙමාපියන් විසින් හැසිරවීම වඩාත් ඥානවන්තයි.

[පාදසටහන]

^ 20 ඡේ. Watch Tower Publications Index (සූචිය) භාෂා 45කින් හා Watchtower Library (CD තැටිය) දැන් භාෂා 39කින් ලබාගත හැකියි.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පවුලක් ලෙස අධ්‍යයනය කරද්දී

කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට පවුලේ පාඩමේදී කාලය වෙන් කරගන්න. උදාහරණයකට ‘විවාහයට’ අදාළ ප්‍රශ්නයක් ඇසුවා නම් ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති හා දාසයා පළ කළ ලිපි සොයාගන්නේ කොහොමද? මුරටැඹ හා පිබිදෙව් සඟරාවල දෙසැම්බර් කලාපයේ අවසන් පිටුවල ඇති ‘වසරේ පළ වූ ලිපි’ නමැති කොටස බලන්න. මුරටැඹ සඟරාවේ “පාඩම් ලිපි” සහ “ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග” වගේම පිබිදෙව් සඟරාවේ “බයිබලයෙන් පිළිතුරක්,” “යෞවන අය අසති” වැනි ප්‍රධාන මාතෘකා යටතේ බලන්න. ඊට අදාළ වෙනත් ලිපිත් තිබෙනවාද කියා බලන්න. ඔබට තේරෙන භාෂාවකින් Index හෝ Watchtower Library CD තැටිය තිබෙනවා නම් ඒවායින්ද ප්‍රයෝජන ගන්න.

[9වන පිටුවේ කොටුව]

දෙවි තම සංවිධානය මගින් අපට උපදෙස් දෙන අතර අන් අයට උපදෙස් දිය හැකි ආකාරයත් අපට කියා දෙනවා. දේශනාකාරයා 12:11හි මෙසේ සඳහන් වෙනවා. “ප්‍රඥාවන්තයන්ගේ වචන කෙවිටක් හා සමානය. එඬේරෙකුගෙන් ලැබෙන එම වදන් එකතු කර තබාගන්නා අය හොඳට සවි කළ ඇණ මෙනි.” ප්‍රේමණීය උපදෙස් සතුන්ව නිසි මාර්ගයේ ගෙන යෑමට භාවිත කරන “කෙවිටක්” හා සමානයි. ඒවා පිළිගැනීමෙන් කෙනෙකුට නිවැරදි මාර්ගයේ යෑමට හැකි වෙනවා. “හොඳට සවි කළ ඇණ” නිසා යමක් ශක්තිමත්ව සෑදිය හැකි සේම හොඳ මඟ පෙන්වීම්වලින් අපේ ජීවිතය සාර්ථක කරගත හැකියි. ඒවා අපව ශක්තිමත් කරයි. අපේ ප්‍රඥාවන්ත එඬේරා වන යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීම් “එකතු කර” ඒවා හිතට ගෙන ඉතා කැමැත්තෙන් පිළිපදිනවා නම් අපත් ප්‍රඥාවන්ත අය වෙයි.

අන් අයට උපදෙස් හා මඟ පෙන්වීම් දීමට ලැබෙන අවස්ථා ඇත්තටම වරප්‍රසාදයක්! එවැනි හැමවිටම අපි බයිබල් ප්‍රතිපත්ති පදනම් කරගන්නවා නම් ඒවා ලබන අයට ඉන් යහපතක් සිදු වෙයි. එසේ කර අපේ ප්‍රේමණීය එඬේරා වන යෙහෝවා දෙවිව ආදර්ශයට ගනිමු.