Skip to content

පටුනට යන්න

ඔබ වෙනත් ආගම් සෝදිසි කර බැලිය යුතුද?

ඔබ වෙනත් ආගම් සෝදිසි කර බැලිය යුතුද?

ඔබ වෙනත් ආගම් සෝදිසි කර බැලිය යුතුද?

“මම අවුරුද්දක් විතර ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියා. ඒ වගේම දෙවිගේ රාජ්‍යය ගැන අනිත් අයට කීමෙන් ප්‍රීතියක් අද්දැක්කා” කියා දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වී සිටින දකුණු අමෙරිකාවේ ජීවත් වන මිගේල් පවසයි. ඔහු තවදුරටත් මෙසේ කියයි. “ඊට පස්සේ මම ගුවන් විදුලියේ යන වෙනත් ආගමික වැඩසටහන්වලට ඇහුම්කන් දෙන්නත්, පූජකවරුන්ගේ වැඩසටහන් රූපවාහිනියේ පෙන්නනකොට බලන්නත් පටන්ගත්තා. මම හිතුවා මේ වගේ වැඩසටහන්වලින් වෙනත් ආගම්වල ඉන්න අයව හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙයි කියලා. එයාලගේ ඉගැන්වීම් කොහොමටවත් බයිබලයට එකඟ නැහැ කියල මට තේරුණත් මට පුදුම කුතුහලයක් තිබුණා ඒවා ගැන දැනගන්න.”

එම රටේම සිටින හෝර්හේ මහත් ජ්වලිතයකින් සැබෑ නමස්කාරය ගැන අනෙක් අයට ඉගැන්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකි. ඔහු පවා කාලයකදී ගුවන් විදුලියේ යන ආගමික වැඩසටහන්වලට සවන් දීමට සහ රූපවාහිනියේ ප්‍රචාරය කරන ලද ආගමික වැඩසටහන් නැරඹීමට උනන්දු විය. ඔහු නිතර පැවසුවේ, “මට දැනගන්න ඕනෙ අනික් අය සිතන්නේ මොනවාද කියලා විතරයි” කියායි. බොරු ඉගැන්වීම් කෙරෙහි උනන්දුවක් දැක්වීමෙන් යම් අනතුරු සිදු විය හැකිදැයි ඇසූ විට ඔහු පැවසුවේ, “බයිබල් සත්‍යය දන්න කෙනෙකුගේ ඇදහිල්ලට එවැනි දේවලින් කිසිම හානියක් සිදු වෙන්නේ නැති” බවයි. නමුත්, මෙම අද්දැකීම්වලින් එක් වැදගත් ප්‍රශ්නයක් පැන නැඟේ. එනම් වෙනත් අයගේ විශ්වාසයන්ට සවන් දීම කොතෙක් දුරට ඥානවන්තද යන්නයි.

සැබෑ ක්‍රිස්තියානි ආගම හඳුනාගැනීම

ප්‍රේරිතවරුන්ගේ මරණින් පසු ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ ව්‍යාජ ක්‍රිස්තියානි ආගම් නිසා සැබෑ නමස්කාරය දූෂිත විය. මෙම අන්තරාව යේසුස් කලින්ම දුටු හෙයින් ව්‍යාජ ක්‍රිස්තියානි ආගමෙන් සැබෑ ක්‍රිස්තියානි ආගම වෙන් කර හඳුනාගැනීමට එක් මාර්ගයක් පෙන්වා දුන්නේය. පළමුවෙන්ම ඔහු මෙසේ අනතුරු ඇඟවීය. “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.” ඉන්පසු ඔහු මෙසේ පැවසීය. “ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය.” (මතෙව් 7:15-23) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ඔහු ඉගැන්වූ දෙයට එකඟව ක්‍රියා කරන අතර ඔවුන්ගේ යහපත් ක්‍රියා තුළින් ඔවුන්ව හඳුනාගත හැක. යේසුස් කළ ආකාරයටම ඔවුන් මනුෂ්‍යයන් වෙතට ගොස් ශුද්ධ ලියවිලි තුළින් දෙවිගේ රාජ්‍යය ගැන පැහැදිලි කර දෙයි. එමෙන්ම යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඔවුහු දේශපාලන කටයුතුවලින් සහ සමාජීය මතිමතාන්තරවලින් ඈත් වී සිටිති. ඔවුන් බයිබලය දෙවිගේ වචනය ලෙස පිළිගන්න අතර එහි ඇති සත්‍යයට ගරු කරයි. තවද ඔවුහු දෙවිගේ නාමය අනෙක් අයට දැනුම් දෙති. එමෙන්ම දෙවි උගන්වන ප්‍රේමයට අනුව ක්‍රියා කිරීමට වෑයමක් දරන නිසා ඔවුන් යුද්ධවලට සහභාගි නොවෙයි. ඒ වෙනුවට ඔවුන් එකිනෙකාට සලකන්නේ සහෝදරයන්ට මෙන්ය.—ලූක් 4:43; 10:1-9; යොහන් 13:34, 35; 17:16, 17, 26.

ලියවිලි පෙන්වා දෙන ආකාරයට, ‘ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවිට සේවය කරන්නා සහ ඔහුට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස’ දැකගැනීමට පුළුවන. (මලාකී 3:18) පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් මෙන් අදදින සිටින සැබෑ නමස්කාරකයන්ද සිතන්නේ හා ක්‍රියා කරන්නේ එකම ආකාරයකටය. (එපීස 4:4-6) මෙවන් අවංක ක්‍රිස්තියානි ජනකායක් දැන හඳුනාගත් පසුත් අන් අයගේ විශ්වාසයන් ගැන සොයා බැලීමට කුතුහලයක් ඇති කරගන්නේ මන්ද?

බොරු ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් වන්න

බයිබලයේ අඩංගු සත්‍යය දැනගත් පසුව පවා බොරු ඉගැන්වීම්වලින් කෙනෙකුගේ ආත්මිකත්වය දූෂණය විය හැකි බව බයිබලය පෙන්වා දෙයි. මේ පිළිබඳව ප්‍රේරිත පාවුල් මෙසේ අනතුරු ඇඟවීය. “[ක්‍රිස්තුස්ට] එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න [ගොදුරක් කරගන්න, NW] කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.” (කොලොස්සි 2:8) ඇත්තෙන්ම මෙම බයිබල් පදය බොරු ගුරුවරුන් සම්බන්ධයෙන් පැහැදිලි දසුනක් මෙන්ම අවබෝධයක්ද ලබා දෙයි. මෘගයෙකු ඔබව ගොදුරු කරගෙන ගිල දැමීමට මාන බලන ආකාරයට බොරු ගුරුවරුන් ඔබව ගොදුරු කරගැනීමට මාන බැලිය හැක.

පාවුල් අන් අයගේ විශ්වාසයන් පිළිබඳව සැලකිල්ලක් දැක්වූ බව සත්‍යයකි. ඔහු එක් අවස්ථාවක මෙසේ ප්‍රකාශ කළේය. “අතීනසයේ මනුෂ්‍යයෙනි, දෙවිවරුන් ඇදහීමට නුඹලා ලැදිව සිටින බව සියලු කාරණවලදී මට පෙනේ. මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි.” (ක්‍රියා 17:22, 23) නමුත් පාවුල් දිගින් දිගටම ග්‍රීක් දර්ශනවාදීන්ගේ අදහස්වලට සවන් යොමු කළේ නැත.

බොරු ආගම්වල මූලාරම්භය සහ ඒවායේ විශ්වාසයන් පිළිබඳව දැනුමක් ලබාගැනීම හා එම ඉගැන්වීම්වලින් අපේ මනස් දිගින් දිගටම පෝෂණය කිරීම අතර විශාල වෙනසක් ඇත. * යෙහෝවා ඔහුගේ වචනය උපයෝගි කරගෙන අපට ඉගැන්වීමට “විශ්වාසවූ නුවණ ඇති [දාසයාව]” පත් කර තිබේ. (මතෙව් 4:4; 24:45) බොරු ඉගැන්වීම්වලට දිගින් දිගටම සවන් දීමෙන් ඇති වන හානිය පිළිබඳව පාවුල් මෙසේ අනතුරු අඟවා ඇත. ‘යෙහෝවාගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන. අපි යෙහෝවා උදහස් කරන්න කැමැත්තෙමුද?’—1 කොරින්ති 10:20-22.

කලින් සැබෑ ක්‍රිස්තියානීන්ව සිටි අය පවා සත්‍යයේ මාර්ගය අත්හැර බොරු ගුරුවරුන් බවට පත් වී ඇත. (යූද් 4, 11) මෙය අපව පුදුමයට පත් කරවන්නේ නැත. මන්ද, යේසුස් අභිෂේක ලත් අයගෙන් නියෝජනය කරන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ගැන පැවසීමෙන් පසු “මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන” සෙසු දාසයන්ට තළන්න පටන්ගන්න ‘නපුරු දාසයෙකු’ ගැනද පැවසුවේය. (මතෙව් 24:48, 49) මෙම නපුරු දාස පංතියට අයිති අයට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට ඔවුන්ටම කියා හරි ඉගැන්වීමක් නැත. ඔවුන්ගේ එකම චේතනාව වන්නේ අනෙක් අයගේ ඇදහිල්ල බිඳ දැමීමයි. මෙවැනි පුද්ගලයන් ගැන ප්‍රේරිත යොහන් මෙසේ පැවසීය. “නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.”—2 යොහන් 10; 2 කොරින්ති 11:3, 4, 13-15.

අවංක මනුෂ්‍යයන් සත්‍යය සොයන අරමුණෙන් වෙනත් ආගම් ගැන ඉතා සුපරීක්ෂාකාරි වෙයි. ඇත්තෙන්ම සත්‍යය සොයන එවැනි අවංක හදවත් ඇති අයට දෙවි ආශීර්වාද කරනු ඇත. දෙවි සපයන ප්‍රඥාව ගැන බයිබලයේ මෙසේ පවසයි. “රිදී සොයන්නාක් මෙන් ඇය සොයා, සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කළොත් . . . දෙවි පිළිබඳ වූ සැබෑ දැනුම අත් කරගන්නෙහිය.” (හිතෝපදේශ 2:4, 5NW) බයිබලයෙන් සහ ක්‍රිස්තියානි සභාව තුළින් දෙවි පිළිබඳ දැනුම ලබාගෙන, එම දැනුමට අනුව ක්‍රියා කරන අයට යෙහෝවා ආශීර්වාද කරන ආකාරය අද්දැකීමෙන් පසු සැබෑ ක්‍රිස්තියානීන් දිගටම බොරු ආගමික ඉගැන්වීම්වලට සවන් යොමු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.—2 තිමෝති 3:14, 15ආ.

[පාදසටහන]

^ 10 ඡේ. දෙවි සඳහා මනුෂ්‍යවර්ගයාගේ ගවේෂණය (ඉංග්‍රීසියෙන් sh, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.) නමැති පොතේ, ලෝකයේ ඇති බොහෝ ආගම්වල පසුබිම සහ ඉගැන්වීම් පිළිබඳව මූලික දැනුමක් සපයා ඇත.