Skip to content

පටුනට යන්න

අස්වැන්න නෙළන කාලයටත් කලින් “කෙතෙහි” වැඩ

අස්වැන්න නෙළන කාලයටත් කලින් “කෙතෙහි” වැඩ

අස්වැන්න නෙළන කාලයටත් කලින් “කෙතෙහි” වැඩ

යේසුස්ගේ ගෝලයන් බර කල්පනාවක යෙදී සිටියා. දවස මුළුල්ලේම උපමා කතා කියා දුන් යේසුස් මොහොතකට කලින් ඔවුන්ට තිරිඟු හා කිරිඳි පිළිබඳව කෙටි උපමාවක් කියා දී තිබුණා. යේසුස් තම කතාව අවසන් කළ විගසම අසා සිටි බොහෝදෙනෙක් තම තමන්ගේ ගෙවල් බලා පිටත් වුණා. නමුත් යේසුස්ගේ ගෝලයන් නම් එතැනින් පිටත්ව යන්න කැමති වුණේ නැහැ. මන්ද යේසුස් නිකම්ම රසවත් කතන්දර කියන්නෙක් නොවන බවත්, ඔහු කියා දෙන සෑම උපමා කතාවක් තුළම යම් විශේෂ අර්ථයක් ගැබ් වී තිබෙන බවත් ඔවුන් දැන සිටියා. එමනිසා, ඒ උපමාවල ගැඹුරු අර්ථය දැනගැනීමට ගෝලයන්ට වුවමනා වූ බව පැහැදිලියි. ඔවුන් ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම කල්පනා කරමින් සිටියේ තිරිඟු හා කිරිඳි පිළිබඳ උපමාව ගැනයි.

‘කෙතේ කිරිඳිවල උපමාව තෝරා දෙන්න’ කියා ඔවුන් යේසුස්ගෙන් ඉල්ලා සිටිය බව මතෙව්ගේ සුවිශේෂයෙහි වාර්තා කර තිබෙනවා. අනාගතයේදී ඔහුගේ අනුගාමිකයන්යයි කියාගන්නා විශාල පිරිසක් ඇදහිල්ල අත්හැර යන බව පැහැදිලි කර දෙමින් යේසුස් ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවා. (මතෙව් 13:24-30, 36-39අ, 43) යේසුස් කී දේ අකුරටම ඉටු වූ අතර ප්‍රේරිත යොහන්ගේ අභාවයෙන් පසුව ඇදහිල්ල අත්හැර යෑම පිළිකාවක් මෙන් පැතිරී ගියා. (ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:6-12) එයින් ඇති වන ප්‍රතිඵල කොතරම් හානිකරද කියා යේසුස් පුරෝකථනය කළා. එය ලූක් 18:8හි මෙසේ වාර්තා කර තිබෙනවා. ‘මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි ඔහුට [ඇත්තෙන්ම, NW] පොළොවෙහි ඇදහිල්ල සම්බ වේද?’

වර්ෂ 1914දී යේසුස්ගේ පැමිණීමත් සමඟම තිරිඟු වැනි ක්‍රිස්තියානීන්ගේ “අස්වැන්න” නෙළීමේ කාලය පටන්ගත් අතර, ඒත් සමඟම ‘පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදයද’ ආරම්භ වුණා. එමනිසා අස්වැන්න නෙළන කාලය ආසන්නව තිබියදී ඇතමෙක් බයිබල් සත්‍යයන් ගැන උනන්දුවක් දැක්වීම පුදුමයට කාරණයක් නෙවෙයි.—මතෙව් 13:39NW.

ඉතිහාසය දෙස බලන විට, විශේෂයෙන්ම 15වන සියවසේ සිට කිහිපදෙනෙක්ම බයිබල් සත්‍යයන් වෙතට තම අවධානය යොමු කිරීමට පටන්ගත් බව පැහැදිලියි. ඇතැම් අවස්ථාවලදී “කිරිඳි” වැනි ව්‍යාජ ක්‍රිස්තියානීන් සිටි ක්‍රිස්තියානි ලෝකය තුළ පවා එවැනි අයව දක්නට ලැබුණා. බයිබලය පොදු ජනයාගේ අතට පත්වීමට හා බයිබල් සූචි සකස් කිරීමට පටන්ගත් නිසා අවංක සිත් ඇති ජනයාට ශුද්ධ ලියවිලි පරෙස්සමින් ගවේෂණය කිරීම සඳහා ප්‍රස්තාව විවෘත වුණා.

ආලෝකය වැඩි වේ

දහඅටවන සියවස අවසන් වීමට ටිකකට කලින් එවැනි අවංක පුද්ගලයෙක් එංගලන්තයේ බර්මිංහම්වල උපත ලැබුවා. ඔහුගේ නම හෙන්රි ගෲ (1781-1862). ගෲට වයස අවුරුදු 13ක් වන විට, ඔහු තම පවුල සමඟ අත්ලන්තික් මුහුද හරහා එක්සත් ජනපදය බලා ගමන් කළා. ඔවුන් 1795 ජූලි 8වනදා අමෙරිකාවට පැමිණි අතර ප්‍රොවිඩන්ස්හි රෝඩ් දූපතෙහි පදිංචි වුණා. ගෲගේ දෙමව්පියන්, ඔහුට කුඩා කාලයේ සිටම දේවවචනය කෙරෙහි ඇල්මක් වර්ධනය කරගැනීමට උපකාර කළා. වර්ෂ 1807දී, වයස අවුරුදු 25ක් වන විට ගෲට කනෙටිකට්හි හාර්ට්ෆඩ්වල පිහිටි බැප්ටිස්ට් පල්ලියේ දේවගැතියා වීමට ආරාධනයක් ලැබුණා.

ගෲ, සභාවට ඉගැන්වීම සැලකුවේ ඉතා බැරෑරුම් වගකීමක් හැටියටයි. ඒ නිසා ඔහුගේ අධීක්ෂණය යටතේ සිටි අයට ශුද්ධ ලියවිලිවලට එකඟව ජීවත් වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, ඔහු හැකි උපරිමයෙන් ඔවුන්ට ලබා දුන්නා. නමුත් දැන දැන පව් කරන අයගෙන් සභාව ආරක්ෂා කළ යුතු බව ඔහු විශ්වාස කළ නිසා, ඇතැම් අවස්ථාවලදී සභාව පවිත්‍රව තබාගැනීම සඳහා පියවර ගත්තා. එවැනි අවස්ථාවලදී ඔහු සහ පල්ලියේ වගකීම් දැරූ අනිත් අය, කාමමිථ්‍යාචාරයේ හෝ වෙනත් අපවිත්‍ර ක්‍රියාවක යෙදී සිටි අයව සභා ඇසුරෙන් කපාහැරියා (නෙරපා දැමුවා).

පල්ලියේ සිදු වූ තවත් සමහර දේවල් ගැනත් ගෲ අසතුටට පත් වුණා. උදාහරණයක් වශයෙන් පල්ලියේ මූල්‍යමය කටයුතුවලදී හා ගීතිකා කීමේදී මූලිකත්වය දැරුවේ පල්ලි සාමාජිකයන් නොවූ අයයි. එම පුද්ගලයන්ට සභාවේ වැදගත් කාරණා පිළිබඳව තම මනාපය අමනාපය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබූ බැවින්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් පල්ලියේ වැඩකටයුතු තමන්ට රිසි පරිදි හැසිරෙව්වා. නමුත් ගෲ විශ්වාස කළේ, එවැනි කාරණා හැසිරවිය යුත්තේ ඇදහිල්ලක් තිබෙන විශ්වාසවන්ත පුරුෂයන් පමණක් බවයි. ඔහු එම විශ්වාසය පදනම් කරගෙන තිබුණේ ක්‍රිස්තියානීන් ලෝකයෙන් වෙන්ව සිටිය යුතුයි යන ප්‍රතිපත්තිය මතයි. (2 කොරින්ති 6:14-18; යාකොබ් 1:27) ඇත්තෙන්ම, නොඇදහිලිකරුවෙක් විසින් දෙවිට ප්‍රශංසා ගී ගැයීම දේව අපහාසයක් කියා ඔහුට හැඟුණා. මේ සම්බන්ධයෙන් ඔහුට තිබූ ස්ථාවරය නිසා 1811දී හෙන්රි ගෲව පල්ලිය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවේදීම ඊට සමාන අදහස් තිබූ වෙනත් සාමාජිකයන්ද පල්ලියෙන් ඉවත් වුණා.

ක්‍රිස්තියානි ලෝකයෙන් වෙන්වීම

පල්ලියෙන් අයින් වූ එම කණ්ඩායම හෙන්රි ගෲ සමඟ එක් වී බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. ඔවුන්ගේ ඉලක්කය වූයේ ඉගෙනගන්නා බයිබල් සත්‍යයන්ට අනුව ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගැනීමයි. වැඩි කල් යන්න කලින් බයිබල් සත්‍යයන් පිළිබඳව ඔවුන්ගේ අවබෝධය වඩ වඩා පුළුල් වෙන්න පටන්ගත් අතර, එය ක්‍රිස්තියානි ලෝකයේ වැරදි හෙළි කිරීමටද මඟ පෑදුවා. උදාහරණයක් වශයෙන්, 1824දී හෙන්රි ගෲ ත්‍රිත්ව ඉගැන්වීමට එරෙහිව බිඳ හෙළිය නොහැකි තර්කයක් ඉදිරිපත් කළා. ඔහු ලිවූ මෙම වගන්තිය කොතරම් තර්කානුකූලද කියා සලකා බලන්න. “‘ඒ දිනය පිළිබඳව හෝ ඒ පැය පිළිබඳව හෝ මිනිසා නොදනිති; ස්වර්ගයෙහි දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති. එය දන්නේ පියා පමණක්ය.’ [මාර්ක් 13:32] එම පදයෙහි සඳහන් අනුපිළිවෙළ සැලකිල්ලට ගන්න. මිනිසා, දේවදූතයෝ, පුත්‍රයා හා පියා. . . . ඔව්, එය ක්‍රමානුකූලව ඉහළම තැනැත්තා දක්වා යන බව පෙනෙයි. ඒ දිනය දැනගෙන සිටියේ පියා පමණක් බවත් අපේ ස්වාමීන් අපට උගන්වා තිබෙනවා. නමුත් පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය එක දෙවි කෙනෙක් තුළ වසන පුද්ගලයන් තුන්දෙනෙක් නම් එය සැබෑවක් විය හැකිද? මන්ද ඒ ඉගැන්වීමට [ත්‍රිත්ව මූලධර්මයට] අනුව . . . පියා දන්නා සෑම දෙයක්ම පුත්‍රයාත් දන්නවා.”

තමන් ක්‍රිස්තුස්ට සේවය කරනවායයි පැවසූ පූජකයන් හා හමුදා නිලධාරීන්ගේ කුහකකමද ගෲ හෙළි කළා. ඔහු 1828දී මෙසේ ප්‍රකාශ කළා. “තම ඇතුල් ගෙට ගොස් සතුරන් වෙනුවෙන් යාච්ඤා කර පසුව යුද පිටියට ගොස් කිසිම අනුකම්පාවකින් තොරව එම සතුරන්වම මරා දමන්න කියා හමුදා භටයන්ට අණ කරන ක්‍රිස්තියානියෙක් ගැන කුමක් කිව හැකිද? ඔහු විදහාපෙන්වන්නේ කුහකකමක් නොවේද? මුල්ම ක්‍රියාවෙන් ඔහු තම මිය ගිය ස්වාමින්ව අනුගමනය කරයි. නමුත් ඊළඟ ක්‍රියාවෙන් ඔහු අනුගමනය කරන්නේ කාවද? යේසුස් නම් තමාව මරණයට පත් කළ අය වෙනුවෙන් යාච්ඤා කළා. නමුත් ක්‍රිස්තියානීන් තමන්ගේ යාච්ඤාවලදී සඳහන් කරන අයවම පසුව මරණයට පත් කරයි.”

ගෲ වඩාත් ප්‍රබල ආකාරයකින් මෙසේ ඇසුවා. “තමාට ‘සරදම් කරන්න බැරි’ බව පවසන සර්වබලධාරි දෙවිව අප විශ්වාස කරන්නේ කවදාද? ‘දුෂ්ටකමේ සේයාවක්වත්’ පෙනෙන්න නොසලස්වන මෙන් අපෙන් අපේක්ෂා කරන එම ශුද්ධ ආගම අප මුළුමනින්ම වටහාගන්නේ කවදාද? . . . එක් අවස්ථාවකදී දේවදූතයෙක් මෙන් ක්‍රියා කරන්නත්, තවත් අවස්ථාවකදී යක්ෂයෙක් මෙන් ක්‍රියා කරන්නත් ක්‍රිස්තුස්ගේ ආගම අනුබල දෙනවායයි කෙනෙක් විශ්වාස කිරීම දෙවිගේ පුත්‍රයාට කරන අපහාසයක් නොවේද?”

සදාකාල ජීවනය උරුමයෙන් නොලැබේ

ගුවන්විදුලිය හා රූපවාහිනිය නොතිබූ එම කාලවලදී පත්‍රිකා ලිවීමෙන් හා ඒවා ප්‍රසිද්ධියේ බෙදාහැරීමෙනුයි බොහෝදෙනෙක් තම අදහස් ප්‍රකාශ කළේ. ගෲ, 1835දී අමරණීය ආත්මය හා නිරාගින්න යන ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලට පටහැනි බව හෙළි කරන වැදගත් පත්‍රිකාවක් නිකුත් කළා. එම ඉගැන්වීම් දෙවිට අපහාසයක් ගෙන දුන් බව ඔහු එහි සඳහන් කළා.

එම පත්‍රිකාව විශාල පෙරළියක් සිදු කළා කියා පැවසිය හැකියි. වර්ෂ 1837දී දුම්රියක ගමන් කරමින් සිටිද්දී වයස අවුරුදු 40ක් වූ ජෝර්ජ් ස්ටෝර්ස්ට එම පත්‍රිකාව සම්බ වුණා. ස්ටෝර්ස් උපත ලැබුවේ නිව් හැම්ශයර්හි ලෙබනන්වලයි. ඒ වෙද්දී ඔහු නියූ යෝක්හි යූටිකාවලට තම පදිංචිය මාරු කර තිබුණා.

ස්ටෝර්ස් මෙතෝදිස්ත පල්ලියේ ඉතා ගෞරවයෙන් සැලකූ බිෂොප්වරයෙක්ව සිටියා. ඔහු කිසි කලෙක සැක නොකළ ක්‍රිස්තියානි ලෝකයේ එම ප්‍රධාන ඉගැන්වීම් දෙකට එරෙහිව එතරම් හොඳ තර්කයක් ඉදිරිපත් කර තිබීම ගැන ඔහු පුදුමයට පත් වුණා. එම පත්‍රිකාවේ කර්තෘ කවුද කියා ඔහු දැනගෙන සිටියේ නැහැ. ඇත්තෙන්ම ඔහුට හෙන්රි ගෲව මුණගැසුණේ ඉන් වසර කිහිපයකට පසුවයි, එනම් 1844දීයි. ඒ කාලයේදී ඔවුන් දෙදෙනාම පදිංචි වී සිටියේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාවලයි. නමුත් මීට කලින්, එම පත්‍රිකාවේ ඉදිරිපත් කර තිබූ අදහස් ගැන ස්ටෝර්ස් අවුරුදු තුනක් පුරාම තනියෙන් සොයා බලා තිබුණා. ඔහු ප්‍රසිද්ධියේ ඒ ගැන කතා නොකළ අතර ඒ ගැන සාකච්ඡා කළේ අනිත් පූජකවරුන් සමඟ පමණයි.

ඔහු ඉගෙනගනිමින් සිටි දේවල් වැරදියි කියා ඔප්පු කිරීමට කිසි කෙනෙක් සමත් වූයේ නැහැ. ඒ නිසා දෙවිට විශ්වාසවන්තව සිටින්න නම් දිගටම මෙතෝදිස්ත පල්ලියේ සාමාජිකයෙක්ව සිටින්න බැරි බව වටහාගත් ඔහු 1840දී පල්ලියෙන් අයින් වීමට තීරණය කළා. ඊට පස්සේ ඔහු නියූ යෝක්හි ඇල්බනිවලට තම පදිංචිය මාරු කළා.

වර්ෂ 1842දී වසන්ත සමයේ ආරම්භයත් සමඟම ස්ටෝර්ස් සති හයක් ඇතුළත “දුෂ්ටයන් අමරණීයද?” යන මාතෘකාව යටතේ දේශන හයක් ඉදිරිපත් කළා. එම දේශනවලට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නිසා ඒවායේ ඉදිරිපත් කළ කරුණු ඔහු පසුව ප්‍රකාශයට පත් කළා. ඊළඟ අවුරුදු 40 තුළදී එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය පුරාම එහි පිටපත් 2,00,000ක් බෙදාහැරියා. පසුව අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීමට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ස්ටෝර්ස් හා ගෲ එකට වැඩ කළා. ගෲ, 1862 අගෝස්තු 8වනදා ෆිලඩෙල්ෆියාවෙහිදී මිය ගියා. ඔහු ඒ වන තෙක් ඉතා ජ්වලිතව දේශනා කිරීමේ වැඩ කටයුතුවල නිරත වී සිටියා.

තම දේශන හය ඉදිරිපත් කරමින් සිටි කාලයේදී, ස්ටෝර්ස් විලියම් මිලර්ගේ ඉගැන්වීම් ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. මිලර් ඉගැන්වූයේ ක්‍රිස්තුස් 1843දී දෘශ්‍යමානව නැවත පැමිණෙනවා කියායි. ස්ටෝර්ස් අවුරුදු දෙකක්ම එම පණිවිඩය එක්සත් ජනපදයේ ඊසාන දිග ප්‍රදේශය පුරාම දේශනා කළත් 1844න් පසුව ඔහු ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීමට දිනයක් සඳහන් කරන්න ගියේ නැහැ. ඒ වුණත් ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීම ඉතා ආසන්නව තිබුණ බැවින් විභාග කිරීමේ දවස එන තෙක් ක්‍රිස්තියානීන් ආත්මිකව අවදිව සිටිය යුතු බව ඔහු විශ්වාස කළ නිසා, වෙනත් අය කාලනිර්ණය කිරීම සම්බන්ධයෙන් දැක්වූ උනන්දුව ඔහු හෙළා දුටුවේ නැහැ. නමුත් මිලර්ගේ කණ්ඩායම අමරණීය ආත්මය, පොළොව ගින්නෙන් දැවී විනාශ වීම හා දෙවිව නොදැන මිය යන අයට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව නොතිබීම වැනි ශුද්ධ ලියවිල්ලට පටහැනි ඉගැන්වීම් පිළිගත් නිසා ස්ටෝර්ස් ඔවුන්ගෙන් වෙන් වී යෑමට තීරණය කළා.

දෙවිගේ ප්‍රේමය මඟ පෙන්වන්නේ කුමකටද?

දෙවි දුෂ්ටයන්ව නැවත නැඟිටුවන්නේ ඔවුන්ව නැවත මරණයට පත් කිරීමේ චේතනාවෙන් බව ඇඩ්වෙන්ටිස්ට් පල්ලියේ කළ ඉගැන්වීම ස්ටෝර්ස් පිළිකුල් කළා. දෙවි එවැනි කෲර පළිගන්නෙක් බව විශ්වාස කිරීමට ශුද්ධ ලියවිලි කිසිම පදනමක් සපයන්නේ නැති බව ඔහු පැවසුවා. නමුත් ස්ටෝර්ස් සහ ඔහුගේ මිත්‍රයන් සමහර කාරණා සම්බන්ධයෙන් අන්තවාදී මත දැරුවා. උදාහරණයක් වශයෙන්, දුෂ්ටයන්ට නැවත නැඟිටුවීමක් ලැබෙන්නේ නැති බව ඔවුන් විශ්වාස කළා. අධර්මිෂ්ඨයන්ගේ නැවත නැඟිටුවීම පිළිබඳව ඔවුන් බයිබලයෙන් කියවා තිබුණත් ඔවුන්ට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් විශ්වාස කළ දේ දෙවි ප්‍රේමනීය කෙනෙක් යන අදහසට වඩාත් ගැළපෙන බව ඔවුන් සිතුවා. කෙසේවෙතත්, වැඩි කල් යන්න කලින් දෙවිගේ අරමුණ ගැන වැඩිමනත් තොරතුරු හෙළි වුණා.

වර්ෂ 1870දී ස්ටෝර්ස් අසනීප වූ අතර මාස කිහිපයකටම ඔහුගේ වැඩ නතර කිරීමට සිදු වුණා. ඒ කාලය අතරතුරේදී තමා ජීවත්ව සිටි අවුරුදු 74 පුරාම ඉගෙනගත් දේවල් ගැන නැවත සිතා බලන්න ස්ටෝර්ස්ට ප්‍රස්තාව ලැබුණා. එහෙම කරද්දී, මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ පිළිබඳව වැදගත් කාරණයක් අවබෝධ කරගැනීමට තමා අසමත් වී තිබුණ බව ඔහුට වැටහුණා. ‘ආබ්‍රහම් දෙවිට කීකරු වූ නිසා පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබනවා’ කියමින් දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම දෙවිගේ අරමුණට විශේෂ ආකාරයකින් සම්බන්ධ වන බව ඔහු අවබෝධ කරගත්තේ එවිටයි.—උත්පත්ති 22:18; ක්‍රියා 3:25.

එම සත්‍යය වටහාගැනීම තුළින් ඔහු තවත් කාරණයක් වටහාගත්තා. ‘සියලු පවුල්’ ආශීර්වාද ලබන්න යනවා නම් ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කළ යුතුයි. එය ඉටුවීමට යන්නේ කොහොමද? දැනටමත් මිය ගොස් ඇති මිලියන ගණන් ජනයා ගැන කුමක් කිව හැකිද? වැනි ප්‍රශ්න ඔහුගේ මනසට නැඟුණා. බයිබලය තවදුරටත් අධ්‍යයනය කරද්දී, මිය ගිය “දුෂ්ට” අය කොටස් දෙකකට බෙදිය හැකි බවත් ඔහු අවබෝධ කරගත්තා. ඒ කොටස් දෙක නම්, දෙවිගේ ප්‍රේමය හිතාමතාම ප්‍රතික්ෂේප කළ අය හා දෙවිව නොදැන මිය ගිය අයයි.

දෙවිව නොදැන මිය යන අයට, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවෙන් ප්‍රයෝජන අත් කරගැනීමේ ප්‍රස්තාව හිමි කර දීම සඳහා නැවත නැඟිටුවීමක් ලබා දිය යුතු බව ස්ටෝර්ස් නිගමනය කළා. ඔවුන් අතරින් මිදීමේ මිල පූජාව පිළිගන්නා අයට පොළොවේ සදාකාල ජීවනය හිමි වන බවත්, එය ප්‍රතික්ෂේප කරන අයට විනාශය අත් වන බවත් ඔහු අවබෝධ කරගත්තා. දෙවි යමෙකුට නැවත නැඟිටුවීමක් ලබා දෙන්නේ ඔහුට ජීවනය තෝරාගැනීමේ ප්‍රස්තාව ඉදිරිපත් කරමිනුයි කියා ස්ටෝර්ස් විශ්වාස කළා. එයින් අදහස් කරන්නේ, අවසානයේදී ආදම්ගේ පාපය නිසා ආදම් මිස වෙන කිසිවෙක් වන්දි නොගෙවන බවයි! නමුත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීමේදී ජීවත්ව සිටින අයගේ තත්වය කුමක්ද? ඔවුන්ව දැනුවත් කිරීම සඳහා ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ වැඩයක් ආරම්භ කරන්න වේවි කියා ස්ටෝර්ස් තේරුම්ගත්තා. එවැනි දෙයක් ඉටු කරන්න යන්නේ කොහොමද කියා ඔහු දැනගෙන සිටියේ නැතත් ඔහු විශ්වාසයෙන් යුක්තව මෙසේ පැවසුවා. “බොහෝදෙනෙක් යමක් ඉටු කරන්නේ කෙසේද කියා තමන්ට වටහාගත නොහැකි වූ විට එය ඉටු කළ නොහැකි දෙයක් වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. එයින් ඔවුන් අඟවන්නේ දෙවිටත් එය ඉටු කළ නොහැකි බවයි. ඇත්තෙන්ම ඔවුන්ට දෙවිගේ බලය වටහාගැනීමට තරම් ශක්තියක් නැහැ.”

ජෝර්ජ් ස්ටෝර්ස් නියූ යෝක් බෘක්ලින්හි තම නිවසේදී 1879 දෙසැම්බර් මාසයේ මිය ගියා. පසු කලෙක ඔහු අපේක්ෂා කළ දේශනා කිරීමේ වැඩය ආරම්භ වූ අතර, එම වැඩකටයුතු මෙහෙයවූ ස්ථානය තිබුණේ ඔහුගේ නිවසට ඉතා ආසන්නවයි.

වැඩිමනත් ආලෝකය සඳහා අවශ්‍යතාව

හෙන්රි ගෲ හා ජෝර්ජ් ස්ටෝර්ස් වැනි මිනිසුන්ට සත්‍යය පිළිබඳව අද සිටින අපට තරම් අවබෝධයක් තිබුණාද? නැහැ. ඇත්තෙන්ම තමන් අවබෝධ කර නොගත් තව බොහෝ දේවල් තිබෙන බව ඔවුන් පිළිගත්තා. ස්ටෝර්ස් 1847දී පැවසූ මෙම වචනවලින් එය පැහැදිලියි. “අපි දැන් ආත්මික අන්ධකාරයේ සිට ආලෝකය කරා ගමන් කරන්න පටන්ගත්තා විතරයි කියා මතක තබාගත යුතුයි. ඒ නිසා අපි තවමත් ‘බබිලෝනීය වස්ත්‍ර’ ඇඳගෙන සිටිනවා කියා ඉදිරියේදී අපිට දැනගන්න ලැබුණොත් අපි ඒ පිළිබඳව පුදුමයට පත් නොවිය යුතුයි.” උදාහරණයක් වශයෙන් ගෲ යේසුස්ගේ මිදීමේ මිල පූජාව අගය කළත්, එය “අනුරූප මිදීමේ මිලයක්” වූ බව වටහාගෙන තිබුණේ නැහැ. (1 තිමෝති 2:6NW) ඒ කියන්නේ යේසුස් තම පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය පූජා කළේ ආදම් නැති කරගත් පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය වෙනුවෙන් බව ඔහු දැන සිටියේ නැහැ. යේසුස් දෘශ්‍යමානව නැවත පොළොවට පැමිණෙනවා යන වැරදි ඉගැන්වීමත් හෙන්රි ගෲ පිළිගෙන සිටියා. නමුත් පො.යු. දෙවෙනි සියවසේ සිට බොහෝදෙනෙක් වැඩිය ගණනකට නොගත් කාරණයක් වන යෙහෝවාගේ නාමය විශුද්ධවත් කිරීම කෙරෙහි නම් ගෲ විශේෂ සැලකිල්ලක් දැක්වුවා.

ජෝර්ජ් ස්ටෝර්ස්ටද වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. පූජක පක්ෂය බොරු ඉගැන්වීම්වලට අනුබල දුන් බව ඔහු දුටුවා. නමුත් ඔහු සමහර අවස්ථාවලදී ඔවුන් ඉගැන්වූ නිවැරදි දේවල් පවා ප්‍රතික්ෂේප කළා. උදාහරණයක් හැටියට, සම්ප්‍රදායික ඉගැන්වීම්වලට ඇලී සිටි පූජකයන් සාතන් ගැන දැරූ මතය, එනම් යක්ෂයා සැබෑ පුද්ගලයෙක් යන අදහස ඔහු එක හෙළා ප්‍රතික්ෂේප කළා. ඔහු ත්‍රිත්ව ඉගැන්වීම ප්‍රතික්ෂේප කළත්, සෑහෙන කාලයක් යන තෙක් ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙක්ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබාගෙන තිබුණේ නැහැ. ඔහු ඒක හරියටම වටහාගත්තේ මිය යෑමට ටික කලකට පෙරයි. යේසුස් ක්‍රිස්තුස් නැවත පැමිණෙන්නේ අදෘශ්‍යමානවයි කියා ඔහු පිළිගෙන තිබුණත්, පසු කලෙක දෘශ්‍යමාන පැමිණීමකුත් තිබෙනවා කියා ඔහු විශ්වාස කළා. කොහොම වුණත්, එම පුරුෂයන් දෙදෙනාම අවංක සිතින් දෙවිට සේවය කළ බව නම් පැහැදිලියි. ඒ වගේම ඒ කාලයේ සිටි වෙන කිසිම කෙනෙකුට වඩා ඔවුන්ට සත්‍යය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා.

යේසුස් තිරිඟු හා කිරිඳි පිළිබඳ තම උපමාවේ විස්තර කළ ‘කෙතේ’ අස්වැන්න නෙළීම සඳහා ඒ වන විට නියමිත කාලය පැමිණ තිබුණේ නැති බව ඇත්තයි. (මතෙව් 13:38) නමුත් ගෲ, ස්ටෝර්ස් මෙන්ම ඔවුන් හා සමාන වෙනත් අයද අස්වැන්න නෙළන කාලයට කලින් ‘කෙතට’ බැහැගෙන වැඩ කළ බව පැහැදිලියි.

මෙම සඟරාව 1879දී ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ චාල්ස් ටේස් රසල් එම මුල් කාලවල් ගැන මෙසේ අදහස් දැක්වුවා. “ඔහුගේ වචනය අධ්‍යයනය කිරීම සඳහා අපේ ස්වාමීන් බොහෝ ආකාරවලින් අපට උපකාර කළා. ඔහු අපේ ප්‍රේමාන්විත සහෝදර ජෝර්ජ් ස්ටෝර්ස් තුළිනුත් අපට විශේෂ ආකාරයකින් උපකාර සපයා තිබෙනවා. ස්ටෝර්ස් වචනයෙන් පමණක් නෙවෙයි ලියූ දේවලිනුත් අපට සෑහෙන්න උපකාර කළා. නමුත් පුද්ගලයෙක් කොතරම් යහපත් වුවත්, ප්‍රඥාවන්ත වුවත් අප අනුගමනය කළ යුත්තේ මනුෂ්‍යයන්ව නොව, නමුත් ‘ප්‍රිය දරුවන් මෙන් දෙවිව’ පමණක් බව අපි මතක තබාගනිමු.” ඔව්, ගෲ හා ස්ටෝර්ස් වැනි අය සොයාගත් දේවල් අවංක බයිබල් ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වුණත්, සත්‍යයේ සැබෑ උල්පත වන බයිබලය සෝදිසි කර බැලීමේ වැදගත්කම දිගටම පැවතියා.—යොහන් 17:17, 18අ.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

හෙන්රි ගෲ විශ්වාස කළ දේවල්

යෙහෝවාගේ නාමය අගෞරවයට පත් කර තිබෙන අතර එය විශුද්ධවත් කළ යුතුයි.

ත්‍රිත්වය, අමරණීය ආත්මය හා නිරාගින්න පිළිබඳ ඉගැන්වීම් අසත්‍යයයි.

ක්‍රිස්තියානි සභාව ලෝකයෙන් වෙන්ව විය යුතුයි.

මේ ලෝකයේ පවතින යුද්ධවලට ක්‍රිස්තියානීන් කිසිවිටෙකත් සම්බන්ධ නොවිය යුතුයි.

ක්‍රිස්තියානීන් සෙනසුරාදා හෝ ඉරිදා දිනක සබත පවත්වන්නේ නැහැ.

ක්‍රිස්තියානීන් ෆ්‍රීමේසන්ස් (17වන සියවසේදී පමණ ආරම්භ වූ රහස් සංවිධානයක්) වැනි රහස් සංවිධානවලට කිසිවිටෙක සම්බන්ධ නොවිය යුතුයි.

ක්‍රිස්තියානීන් අතර පැවිදි පංතියක් හා ගිහි පංතියක් නොතිබිය යුතුයි.

ආගමික පදවි නාම පැමිණෙන්නේ අන්ත ක්‍රිස්තුස්ගෙන්.

සෑම සභාවකම වැඩිමහල් මණ්ඩලයක් තිබිය යුතුයි.

වැඩිමහල්ලන් හැසිරීමෙන් ශුද්ධ විය යුතු අතර, දෝෂාරෝපණයට ලක් වූ කෙනෙක් නොවිය යුතුයි.

සෑම ක්‍රිස්තියානියෙක්ම ශුභාරංචිය දේශනා කළ යුතුයි.

ඇතමෙක් පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳින්න යනවා.

ක්‍රිස්තියානි ගීතිකාවලින් යෙහෝවාටත්, ක්‍රිස්තුස්ටත් ප්‍රශංසාව දිය යුතුයි.

[හිමිකම් විස්තර]

ඡායාරූපය: Collection of The New-York Historical Society/​69288

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජෝර්ජ් ස්ටෝර්ස් විශ්වාස කළ දේවල්

යේසුස් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් කොට දුන්නා.

ශුභාරංචිය දේශනා කිරීම තවමත් (1871දී) ආරම්භ වී නැහැ.

ඒ කාලයේදී (1871දී) අන්තිමය ආසන්නව තිබෙනවා කියා පැවසිය නොහැකියි. ඒ නිසා දේශනා කිරීමේ වැඩය කිරීමට නියමිතව තිබුණේ අනාගතයේදීයි.

පොළොව මත සදාකාල ජීවනය උරුම කරගන්නා සෙනඟක් සිටියි.

දෙවිව නොදැන මිය ගිය අයට නැවත නැඟිටුවීමක් තිබෙනවා. ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව පිළිගන්නා අයට පොළොවේ සදාකාල ජීවනය බලාපොරොත්තු විය හැකියි. එය ප්‍රතික්ෂේප කරන අය විනාශය අද්දකියි.

අමරණීය ආත්මය හා නිරාගින්න පිළිබඳ ඉගැන්වීම් දෙවිව අගෞරවයට පත් කරන බොරු ඉගැන්වීම්.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වාර්ෂිකව සැමරිය යුතුයි. එය සැමරිය යුත්තේ නීසාන් 14වන දිනයේදීයි.

[හිමිකම් විස්තර]

ඡායාරූපය: SIX SERMONS, by George Storrs (1855)

[29වන පිටුවේ පින්තූර]

වර්ෂ 1909දී “සයන්ස් වොච් ටවර්හි” සංස්කාරක වූ සී.ටී. රසල් අ.එ.ජ. නියූ යෝක්හි බෘක්ලින්වලට තම පදිංචිය මාරු කළා