Skip to content

පටුනට යන්න

මේවාට වග කිව යුත්තේ දෙවිද?

මේවාට වග කිව යුත්තේ දෙවිද?

මේවාට වග කිව යුත්තේ දෙවිද?

බයිබලයේ දෙවිව හඳුන්වා තිබෙන්නේ “දෙවි ප්‍රේමයය” කියායි. (1 යොහන් 4:8) එමෙන්ම ඔහු යුක්තිසහගත හා දයාන්විත දෙවි කෙනෙක්. තවදුරටත් බයිබලයේ ඔහු ගැන පවසන්නේ මෙයයි. “දෙවි පර්වතයය. දෙවිගේ වැඩ සම්පූර්ණය. මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය. දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි. දෙවි සාධාරණය, ධර්මිෂ්ඨය.”—ද්විතීය කතාව 32:4.

අපේ නිර්මාතෘ හැටියට සිදු විය හැකි විපත් කල්තියා දකින්නත් ඒවා නතර කරන්නත් දෙවිට පුළුවන්. එමෙන්ම බයිබලයේ පවසන්නේ දෙවි ප්‍රේමණීය කෙනෙක් බවයි. එහෙමනම් ස්වාභාවික විපත් ඇතිවීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි * කියා හුඟදෙනෙක් අසන්න පෙලඹෙනවා. දෙවි විසින්ම ඔහුගේ වචනය වන බයිබලය තුළින් ඊට හේතුව ආනාවරණය කර ඇති බව මිලියන ගණන් අය සොයාගෙන තිබෙනවා. (2 තිමෝති 3:16) අපි දැන් ඒ ගැන සලකා බලමු.

දෙවිව එපා කළ යුවළක්

දෙවි පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට සුරක්ෂිත මෙන්ම සන්තෝෂවත් ජීවිතයක් සඳහා අවශ්‍ය සියල්ලම සැපයුවා. ‘දරු සම්පත් ලබා ගණනින් වැඩි වී පොළොව පුරා පැතිර යන්න’ කියා දෙවි දුන් අණට ඔවුන් කීකරු වුණා නම් ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවත එන්නන්ටත් දෙවිගේ රැකවරණය දිගටම බලාපොරොත්තු විය හැකි වුණා.—උත්පත්ති 1:28, නව ලොව පරිවර්තනය, NW.

කනගාටුදායක ලෙස මෙම යුවළ ඔවුන්ගේ නිර්මාතෘ වන දෙවිට හිතාමතාම අකීකරු වුණා. දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර තමන්ට කැමති ආකාරයට ජීවත් වීමට ඔවුන් තීරණය කළා. (උත්පත්ති 1:28; 3:1-6) ඔවුන්ගෙන් පැවත එන බොහෝදෙනෙක්ද ඔවුන්ගේ අඩිපාරේ යමින් සිටිනවා. (උත්පත්ති 6:5, 6, 11, 12) මේ නිසා දෙවිගෙන් කිසිම මඟ පෙන්වීමක් නොලබා මුළු පොළොවම තමන්ට කැමති ආකාරයට ඔවුන් පාලනය කරනවා. දෙවිගෙන් ස්වාධීන වී ඔවුන් යන මේ ගමනේ හානි තිබෙන බව දෙවි දන්නවා. නමුත් එකිනෙකාට තීරණ ගැනීමට දෙවි දී තිබෙන නිදහස ඔහු අගය කරන නිසා ඊට මැදිහත් වෙන්නේවත් ඔහුට යටත් වෙන්න කියා බල කරන්නේවත් නැහැ. *

කෙසේවෙතත් දෙවි මිනිස් පවුල අත්හැර දමා නැහැ. අද වන තුරු ඔහු “දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය” කියා බයිබලයේ සහතික කරනවා. (මතෙව් 5:45) එමෙන්ම දෙවි පොළොව හා එහි සිදු වන ස්වාභාවික චක්‍ර පිළිබඳව දැනුම ලබාගැනීමටද අපිට හැකියාව දී තිබෙනවා. මේ නිසා සිදු විය හැකි කාලගුණික විපර්යාසයන් හා ගිනිකඳු පිපිරීම් වැනි වෙනත් හානිකර තත්වයන් කල්තියාම හඳුනාගන්න පුළුවන්.

එමෙන්ම වැඩියෙන් භූචලනවලට ගොදුරු විය හැකි ප්‍රදේශ හඳුනාගන්නත් හැකි වී තිබෙනවා. මෙම දැනුම නිසා විපත්වලින් මිනිසුන්ව බේරාගන්නත් ආරක්ෂිත ගොඩනැඟිලි සාදන්නත් අනතුරු අඟවන ක්‍රම භාවිත කරන්නත් හැකි වී තිබෙනවා. කෙසේවෙතත් වාර්ෂිකව සිදු වන ස්වාභාවික විපත් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වන අතර ඊට බලපාන හේතුද ඉතාමත් සංකීර්ණයි.

අවදානම් ප්‍රදේශ

විපතක බරපතළකම මනින්නේ ඉන් සිදු වන හානිය කොපමණද යන්න මතයි. අද සිදු වන ස්වාභාවික විපත් මිනිසුන්ට මෙතරම් බලපාන්නේ ඔවුන් විපත් සිදු වන ප්‍රදේශවල ජීවත් වීම නිසයි. ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික බැංකුව මගින් නිකුත් කළ එක් වාර්තාවක පැහැදිලි කරන්නේ ලෝකයේ මුළු ජනගහනයෙන් සියයට 25කට වැඩියෙන් එනම් රටවල් 160කට වඩා වැඩියෙන් ජීවත් වන්නේ අවදානම් සහිත ප්‍රදේශවල බවයි. “විපත් සිදු වන ප්‍රදේශවල ජනයාව වැඩි වැඩියෙන් පදිංචි කරවීම නිසා ස්වාභාවිකව සිදු වන දෙයක් පවා මහා විපතක් බවට පත් වී තිබෙනවා” කියා අමෙරිකාවේ විද්‍යාඥයෙක් වන ක්ලව්ස් ජේකබ් පවසනවා.

ස්වාභාවික විපත් ඇතිවීමට බලපාන තවත් හේතු ලෙස, විදිමත් සැලසුමක් නොමැතිව කරන ඉදි කිරීම්, කැලෑ එළි කිරීම් සහ සෑම තැනකම කොන්ක්‍රීට් දමා තිබීම් නම් කළ හැකියි. මෙහි සඳහන් කළ අවසාන හේතු දෙක පස් කඳු කඩා වැටීමට හා ගංවතුර ඇතිවීමට බෙහෙවින් හේතු වී තිබෙනවා.

බොහෝදුරට භූමිකම්පාවක් සිදු වන විට ජීවිත හානි සිදු වන්නේ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසයි. භූමිකම්පා සිදු වන විට එම තරංගවලින් පොළොව මතු පිට තිබෙන සියලුම දේ සෙලවීමකට ලක් වුණත් බොහෝදුරට ජීවිත විනාශ වෙන්නේ විපතකට ඔරොත්තු නොදෙන සේ ඉදි කර ඇති ගොඩනැඟිලි කඩා වැටීමෙනුයි. මේ නිසා “මිනිසුන් මැරෙන්නෙ භූමිකම්පාවලින් නොව ගොඩනැඟිලි කඩා වැටීමෙනුයි” කියා භූ විද්‍යාඥයන් පවසන දේහි ඇත්තක් තිබෙනවා.

පවතින ආණ්ඩු මෙවැනි විපත්වලට විසඳුම් සොයාගැනීමට අසමත් වීම විපත්වලින් මිය යන සංඛ්‍යාව වැඩි වීමට හේතු වී තිබෙනවා. දකුණු අමෙරිකාවේ එක් ප්‍රදේශයක ප්‍රධාන නගරය අවුරුදු 400ක් ඇතුළත තුන් වතාවක් භූමිකම්පාවලට හසු වුණා. වර්ෂ 1967දී අවසන් භූමිකම්පාව සිදු වූ දා සිට එහි ජනගහනය පෙරට වඩා දෙගුණයකින් වැඩි වී තිබෙනවා. එක් සඟරාවක පැහැදිලි කරන්නේ “ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා පනවා ඇති නීතිවලට අනුව ක්‍රියා කිරීමෙන් ජීවිතවලට ආරක්ෂාවක් ලැබුණද සමහරවිට මෙවැනි නීති ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හෝ නීති තිබුණත් ඒවා පිළිනොපැදීම ජීවිතවලට තර්ජනක්” වන බවයි.—New Scientist සඟරාව ඇසුරෙන්.

අමෙරිකාවේ ලුසියානාවල පිහිටි නිව් ඔර්ලියන්ස් නම් නගරය පහත් බිම් ප්‍රදේශයක් නිසා නිතර ගංවතුරට ගොදුරු වෙනවා. ගංඉවුරු මත ආරක්ෂක බැමි දමා තිබුණත්, වතුර ඉවත් කිරීමට පොම්ප සවි කර තිබුණත් 2005දී සිදු වූ හරිකේන් කැට්රිනා චණ්ඩ මාරුතය නිසා මහ විපත්තියකට මෙම ප්‍රදේශය මුහුණ දුන්නා. එක් වාර්තාවක මේ ගැන සඳහන් වුණේ “ජනතාව කල් වේලා ඇතිව කළ අනතුරු ඇඟවීම්වලට” අවනත නොවූ බවයි.—USA Today පුවත්පත ඇසුරෙන්.

ඒ හා සමානව වායු ගෝලය උණුසුම් වීම නිසා මුහුදු මට්ටම ඉහළ යෑමෙන් විපත් ඇති විය හැකියි කියා විද්‍යාඥයන් දෙන අනතුරු ඇඟවීමද ඔවුන් නොසලකාහැර තිබෙනවා. මෙවැනි දේවලට දෙවි වග කිව යුතු නැති අතර මේවා දේශපාලනික හා ආර්ථික වාසි තකා මිනිසුන් කරන ක්‍රියාවල ප්‍රතිඵලයි. බයිබලයේ මේ ගැන පවසන්නේ “තමාගේ පියවර මෙහෙයවන්න” මිනිසාට හැකියාවක් නැති බවයි. (යෙරෙමියා 10:23, NW) තවත් වැදගත් කාරණයක් වන්නේ ස්වාභාවිකව දෙන අනතුරු ඇඟවීම් හා අදාළ බලධාරීන් විසින් දෙන අනතුරු ඇඟවීම් කෙරෙහි මිනිසුන්ට තිබෙන ආකල්පයයි.

අනතුරු ඇඟවීම් හඳුනාගන්න

අනතුරු ඇඟවීමකින් තොරව වුණත් ස්වාහාවික විපත් සිදු විය හැකියි. බයිබලයේ දේශනාකාරයා පොතේ 9:11හි [NW] පවසන්නේ “නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම් සියලුදෙනා පිට පැමිණේ” කියායි. බොහෝවිට විපතක් ගැන කලින්ම අනතුරු ඇඟවීම් ස්වාභාවිකව හෝ අදාළ බලධාරීන් විසින් දෙනු ලබනවා. එම අනතුරු ඇඟවීම්වලට සවන් දෙනවා නම් එම විපත්වලින් බේරීමට තිබෙන හැකියාව වැඩියි.

වර්ෂ 2004දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් දහස් ගණනක් මිය ගියත්, ඉන්දුනීසියාවට අයත් දූපතක් වූ සිමෙයියුලුහි වැසියන්ගෙන් මිය ගියේ හත්දෙනෙක් පමණයි. අසාමාන්‍ය ලෙස මුහුදු ජලය හිඳී යන බව දුටු විට එය යෝධ රළ පහරක් පැමිණීමේ පෙර නිමිත්තක් බව ඔවුන් හඳුනාගත්තා. එම ලකුණට ඉක්මනින්ම ප්‍රතිචාරය දක්වා එතැනින් පලා ගිය නිසා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වුණා. ඒ හා සමානව අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාරය දැක්වීමෙන් සමහර අය දරුණු සුළිසුළං හා ගිනිකඳු පිපිරීම් වැනි සිදුවීම්වලින් ජීවිත ආරක්ෂා කරගෙන තිබෙනවා. ඔබ ජීවත් වන්නේ අවදානම් සහිත ප්‍රදේශයක නම් යම් කාලගුණික විපර්යාසයන් ගැන බලධාරීන් දෙන අනතුරු ඇඟවීම් හා ස්වාභාවිකව ලැබෙන අනතුරු ඇඟවීම් යන දෙක පිළිබඳවම දැනුවත්ව සිටීම නුවණට හුරුයි.

ගිනිකඳු විශේෂඥයින් පවසන්නේ “මිනිසුන් විපතක් අත ළඟ එන බව දැනදැනත් ඒවා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ” කියායි. සමහරවිට මීට පෙර දී තිබූ අනතුරු ඇඟවීම් වැරදි ඒවා වූ නිසා හෝ එවැනි සිදුවීමක් මීට හුඟක් කාලයකට පෙර සිදු වූ දෙයක් නිසා මිනිසුන් ඒවා එතරම් තැකීමක් කරන්නේ නැති වෙන්න පුළුවන්. විපතක් සිදු වන බව ස්ථිර වශයෙන්ම පෙනෙන්න තිබුණත් සමහර අය තමන් සතු වස්තුව දේපොළ අතහැර යන්න කැමති වන්නේ නැහැ.

ආරක්ෂිත ස්ථානයක් කරා යෑමට බොහෝ අයට හරස් වන්නේ ඔවුන්ගේ දිලිඳුකමයි. මෙවන් තත්වයන්ට දෙවිට දොස් නඟනවා වෙනුවට ඊට හේතුව මිනිසුන්ගේ වැරදි පාලනය බව අපි තේරුම්ගත යුතුයි. නිදසුනකට බොහෝ ආණ්ඩු කරන්නේ දිලිඳු අයගේ අවශ්‍යතා සපුරනවා වෙනුවට අවි ආයුධවලට වියදම් කිරීමයි.

කෙසේවෙතත් මිනිසුන් මොන තත්වයක සිටියත් දෙවි ඔහුගේ වචනය වන බයිබලය තුළින් දෙන ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගත හැකියි.

වටිනා ප්‍රතිපත්ති කිහිපයක්

දෙවිව පරීක්ෂා නොකරන්න. බයිබලයේ අපට උපදෙස් දෙන්නේ “ඔබගේ දෙවි වූ යෙහෝවා පරීක්ෂා නොකරන්න” කියායි. (ද්විතීය කතාව 6:16) මේ නිසා යෙහෝවා දෙවිට නමස්කාර කරන ක්‍රිස්තියානීන් දෙවි සෑම විපතකින්ම තමන්ව ආරක්ෂා කරයි කියන වැරදි මතය දරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මේ උපදෙසට අවනත වෙනවා. “නැණවත් අය අවදානම දුර තියා දැක ඉන් සැඟවෙති. නමුත් අද්දැකීම් අඩු අය විපත්තිය දැක දැකත් ඒ වෙතට ගොස් දුක් විඳිති.”—හිතෝපදේශ 22:3, NW.

සැප සම්පත්වලට වඩා ජීවිතය අනර්ඝ බව සලකන්න. “යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” (ලූක් 12:15) සැප සම්පත්වලින් ප්‍රයෝජන ලැබෙන බව ඇත්තයි. නමුත් ඒවා ජීවිතයේ වටිනාකමට සම කළ නොහැකියි. ජීවිතයත් දෙවිට සේවය කිරීමට ලැබී තිබෙන වරප්‍රසාදයත් අනර්ඝ දෙයක් ලෙස සලකන අය දේපොළ රැකගැනීම සඳහා තම ජීවිත පරදුවට තබන්නේ නැහැ.—ගීතාවලිය 115:17.

ජපානයේ ජීවත් වූ ටඩාෂි 2004දී ඇති වූ භූමිකම්පාවක් නිසා තම නිවස අත්හැර ගියා. ඔහු එසේ කළේ බලධාරීන් විසින් ඒ ගැන දැනුම් දීමටත් පෙරයි. ඔහු සතු දේපළට වඩා වටිනාම දෙය ලෙස ඔහු සැලකුවේ ඔහුගේ ජීවිතයයි. ඒ ප්‍රදේශයේම ජීවත් වූ අකීරා පවසන්නේ මෙයයි. “විපතකින් සිදු වන හානිය කොපමණද කියා තීරණය වෙන්නේ අහිමි වන දේපොළ මත නෙවෙයි. කෙනෙක් ඒ දෙස බලන ආකාරය මතයි. මේ විපත දෙස මම බැලුවේ මගේ ජීවිතය සරල කරගන්න හොඳ අවස්ථාවක් හැටියටයි.”

බලධාරීන් දෙන අනතුරු ඇඟවීම්වලට අවනත වන්න. “උසස් බලධාරීන්ට යටත් වන්න.” (රෝම 13:1) ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියා හෝ වෙනත් ආරක්ෂක පියවර අනුගමනය කරන්න කියා බලධාරීන් පවසනවා නම් ඊට අවනත වීම ඥානවන්තම දෙයයි. එම ප්‍රදේශයෙන් ඉවත් වන්න කියා බලධාරීන් විසින් දුන් අනතුරු ඇඟවීමට ටඩාෂි කීකරු වූ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා වූ අතර අතුරු බලපෑම්ද අත් විඳීමට සිදු වුණේ නැහැ.

ස්වාභාවික විපතක් ගැන බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම් නොලැබුණත් ඊට අදාළ වන සිදුවීම් සලකා බලා ඉක්මනින්ම ආරක්ෂක පියවර ගැනීම ඔබම තීරණය කළ යුත්තක්. ආණ්ඩුව විසින් ස්වාභාවික විපතකින් ආරක්ෂා විය හැකි ආකාරය ගැන සමහර ප්‍රදේශවාසීන්ට උපදෙස් සපයනවා. ඔබ ජීවත් වන ප්‍රදේශය ගැනත් එවැනි උපදෙස් ලැබී ඇත්නම් ඔබ ඒ ගැන හොඳින් දැනුවත් වී සිටිනවාද? ඔබේ පවුලේ අය සමඟ ඒ ගැන සාකච්ඡා කර තිබෙනවාද? (මේ සමඟ ඇති කොටුව බලන්න.) ලොව පුරා බොහෝ ප්‍රදේශවල ජීවත් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තම ප්‍රදේශයේ ශාඛා කාර්යාලය මගින් ස්වාභාවික විපතකට මුහුණ දීමට පෙර ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් කර තිබෙන අතර එම මඟ පෙන්වීම් ඔවුන්ට මහඟු උපකාරයක් වී තිබෙනවා.

එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. . . . මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 13:34) අන් අයට සැබෑ ප්‍රේමයක් හා සැලකිල්ලක් පෙන්වන අය මෙවැනි විපතකදී ඕනෑම ආකාරයකින් අන් අයට උපකාර කිරීමට සැදී පැහැදී සිටිනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින පෙරමුණ ගෙන කටයුතු කරන අය විපතක් සිදු වුණොත් සභාවේ සාමාජිකයන්ව ඉක්මනින්ම ආරක්ෂිත ස්ථානයකට ගෙන යෑමට තමන්ට හැකි උපරිමය කරනවා. එමෙන්ම විපතට ගොදුරු වූවන්ට අවශ්‍ය කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ බෙහෙත් වර්ග සැපයීමටද ඔවුන් වග බලා ගන්නවා. එමෙන්ම ආරක්ෂිත ප්‍රදේශවල වාසය කරන අනික් සාක්ෂිකරුවන් තම නිවෙස් විපතට පත් වූ අය වෙනුවෙන් විවෘත කරන්න කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ. එවැනි ප්‍රේමයක් ඇත්තෙන්ම “එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:14.

ස්වාභාවික විපත් සිදුවීම තව තවත් වැඩි වෙයිද? සමහරවිට එසේ සිදු විය හැකියි. නමුත් එය කෙටි කලකට පමණයි. දෙවිගෙන් ඈත් වී මිනිසුන් ගත කරන මේ දුක්ඛිත කාලයේ නිමාව අත ළඟවීම ඊට හේතුවයි. ඉන්පසුව මුළු පොළොවත් එහි වාසය කරන සියලුම වැසියනුත් මවිතාකාර ආශීර්වාද ඇතිව දෙවිගේ ප්‍රේමණීය පාලනයට යටත්වීමට නියමිතයි. ඒ ගැන ඊළඟ ලිපියෙන් කියවා බලන්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වැනි ස්වාභාවික සිදුවීම් විපතක් බවට පත් වෙන්නේ ඉන් මිනිස් ජීවිතවලට හෝ දේපොළවලට හානි සිදු වෙනවා නම් පමණයි.

^ 6 ඡේ. දෙවි තාවකාලිකව දුක් වේදනාවලට ඉඩ දී තිබීමට හේතුව ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත, 2006 නොවැම්බර් පිබිදෙව්! කලාපයේ, “‘ඇයි’—පිළිතුරක් දීමට අමාරුම ප්‍රශ්නය” යන ලිපි මාලාව සහ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 11වෙනි පරිච්ජේදය බලන්න.

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

ප්‍රදේශයෙන් පලා යෑමට ඔබ සූදානම්ද?

හදිසි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් සපයන එක් ආයතනයක් මෙවන් යෝජනාවක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ අදහස වුණේ ස්වාභාවික විපත් සිදු වන ප්‍රදේශවල වෙසෙන අය “අත්‍යවශ්‍ය දෑ ඇතුළත් බෑගයක්” ඇතිව සිටිම නුවණනට හුරු බවයි. ඒ සඳහා ශක්තිමත්, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි බෑගයක් භාවිත කිරීම යෝග්‍යයයි. එයට ඇතුළත් කළ හැකි දේවල් කිහිපයක් පහත සඳහන් වෙනවා: *

▪ අත්‍යවශ්‍ය ලියකියවිලිවල පිටපත් (වතුර නොයන සේ ආවරණය කරන්න)

▪ නිවසේ සහ වාහනයේ අමතර යතුරු

▪ ක්‍රෙඩිට් කාඩ් සහ මුදල්

▪ වියළි ආහාර හා බීමට ජලය

▪ විදුලි පන්දමක්, කුඩා ගුවන්විදුලි යන්ත්‍රයක්, ජංගම දුරකථනයක්, බැටරි කිහිපයක්

▪ සතියකට පමණ ප්‍රමාණවත් බෙහෙත් හා ඒවා ගත යුතු ආකාරය ගැන සටහනක්, වෛද්‍යවරයා විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුව, වෛද්‍යවරුන්ගේ නම් හා දුරකථන අංක (බෙහෙත්වල කල් ඉකුත් වීමේ දිනය ගැන සැලකිලිමත් වන්න)

▪ ප්‍රථමාධාර සඳහා අවශ්‍ය දෑ

▪ හොඳ, ශක්තිමත් සපත්තු ජෝඩුවක් හා වැහි කබායක්

▪ හදිසි අවස්ථාවකදී පවුලේ අනිත් අයව ඇමතිය හැකි දුරකථන අංක හා හමු විය හැකි ස්ථාන පිළිබඳ සටහනක්

▪ කුඩා දරුවන්ට අවශ්‍ය දේවල්

[පාදසටහන]

^ 35 ඡේ. ඉහත ලැයිස්තුවේ සඳහන් සියලුම දේවල් ඔබට අවශ්‍ය නොවිය හැකියි. පුද්ගලයාගේ තත්වය අනුව මෙම ලැයිස්තුවට ඇතුළත් කළ යුතු දේවල් වෙනස් විය හැකියි. නිදසුනකට මහලු හා ආබාධිත අයට විශේෂිත වූ භාණ්ඩ තිබෙන නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න.

[4වන පිටුවේ හිමිකම් විස්තර]

USGS, David A. Johnston, Cascades Volcano Observatory ▸