Skip to content

හිතට සහනයක් ලැබෙන දේවල් බයිබලේ තියෙනවාද?

හිතට සහනයක් ලැබෙන දේවල් බයිබලේ තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. (රෝම 15:4) ඔයාත් කාලයක් තිස්සේ ප්‍රශ්න ගැටලු හින්දා ගොඩක් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙමනම් බයිබලේ තියෙන දේවල් ඒවාට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.

මේ ලිපියෙන්

 විසඳුමක් නැති ප්‍රශ්නවලට මුහුණ දෙද්දී

 ගීතාවලිය 23:4: “මම අඳුරු තැනිතලාවක ගමන් කළත් කිසිවකට භය නොවන්නෙමි. මන්ද ඔබ මා සමඟය.”

 තේරුම: ඔයා දෙවියන්ට යාච්ඤා කරනවා නම් ඔහුගේ වචනය වන බයිබලෙන් මඟ පෙන්වීම් පතනවා නම් ඒ ප්‍රශ්නවලට බය නැතුව මුහුණ දෙන්න ඔයාට ලොකු ශක්තියක් ලැබෙනවා.

 ෆිලිප්පි 4:13: “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”

 තේරුම: ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඔයාට ඕනෙ කරන ශක්තිය දෙන්න දෙවියන්ට පුළුවන්.

 ආදරේ කරන කෙනෙක් මැරෙද්දී

 දේශනාකාරයා 9:10: “මන්ද ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”

 තේරුම: මැරුණ අයට කිසිම දෙයක් කරන්න බැහැ. එයාලා දුක් විඳින්නේ නැහැ. අපිට කිසිම හානියක් කරන්නත් එයාලට බැහැ.

 ක්‍රියා 24:15: “නැවත නැඟිටින බව මට විශ්වාසයි.”

 තේරුම: මැරුණ අයට ආයෙත් ජීවිතේ දෙන්න දෙවියන්ට පුළුවන්.

 කරපු වරදක් ගැන හිත ඕනෑවට වඩා වධ දෙද්දී

 ගීතාවලිය 86:5: “යෙහෝවා a දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය. ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය අතිමහත්ය.”

 තේරුම: කරපු වරදක් ගැන අවංකවම දුක් වෙලා ඒක ආයෙත් නොකර ඉන්න අධිෂ්ඨාන කරගත්ත අයට දෙවියන් සමාව දෙනවා.

 ගීතාවලිය 103:12: “බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.”

 තේරුම: දෙවියන් අපිට සමාව දෙද්දී අපේ වැරදි සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඊටපස්සේ ඒවා මතක් කරලා ආයේ ආයේ අපිව රිද්දන්නේවත් අපිට දඬුවම් කරන්නේවත් නැහැ.

 දුකක් දැනෙද්දී

 ගීතාවලිය 31:7: “මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.”

 තේරුම: ඔයා මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම දෙවියන් හොඳටම දන්නවා. ඔයාගේ හිතේ කැකෑරෙන වේදනාව වෙන කාට තේරුණේ නැතත් ඔහුට තේරෙනවා.

 ගීතාවලිය 34:18: “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”

 තේරුම: ඔයාගේ දුකේදී ඔයා ළඟින්ම ඉන්නවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. වේදනාවක් දැනෙද්දී ඒකෙන් ගොඩ එන්න ඔහු ඔයාට ශක්තිය දෙනවා.

 අසනීප වෙද්දී

 ගීතාවලිය 41:3: “ඔහු අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වනු ඇත. දෙවි ඔහුව රැකබලා ගනු ඇත.”

 තේරුම: බරපතළ අසනීපෙකට මුහුණ දෙද්දී හිත සන්සුන්ව තියාගන්න, ශක්තිමත්ව ඉන්න, විඳදරාගන්න දෙවියන් උදව් කරනවා. ඒ වගේ වෙලාවට හොඳට හිතලා බලලා හරි තීරණ ගන්නත් ඔහු උදව් කරනවා.

 යෙසායා 33:24: “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”

 තේරුම: කිසිම කෙනෙක් අසනීප වෙන්නේ නැති කාලයක් ගේනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

 පීඩනයක්, කනස්සල්ලක් දැනෙද්දී

 ගීතාවලිය 94:19: “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”

 තේරුම: ඔයාගේ හිතට ලොකු පීඩනයක්, කනස්සල්ලක් දැනෙද්දී ඔයා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඔයාගේ හිත සනසන්න දෙවියන්ට පුළුවන්.

 1 පේතෘස් 5:7: “ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”

 තේරුම: අපේ දුකේදී දෙවියන් කවදාවත් අහක බලන්නේ නැහැ. හිතට දැනෙන ඕනම බරක් අකුරක් නෑර ඔහුට කියන්න කියලා ඔහු ඔයාගෙන් ඉල්ලනවා.

 යුද්ධ ඇති වෙද්දී

 ගීතාවලිය 46:9: “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”

 තේරුම: හැම යුද්ධයක්ම දෙවියන්ගේ ආණ්ඩුවෙන් නැත්තටම නැති කරලා දානවා.

 ගීතාවලිය 37:11, 29: ‘නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.’

 තේරුම: හොඳ මිනිස්සු මේ පොළොවේ හැමදාම කිසි බයක් නැතුව සමාදානෙන් ජීවත් වෙන්න යනවා.

 අනාගතේ ගැන බයක් දැනෙද්දී

 යෙරෙමියා 29:11: “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.’”

 තේරුම: දෙවියන්ට කීකරු වෙන අයට ලස්සන අනාගතයක් දෙන්න ඔහු බලාගෙන ඉන්නවා.

 එළිදරව් 21:4: “එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”

 තේරුම: දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා අද ඔයා මුහුණ දෙන හැම දුකක්, වේදනාවක්ම නැති කරලා දානවා කියලා.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.