Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

යෙහෝවා දෙවි අසාධාරණයට කැමති නැහැ

යෙහෝවා දෙවි අසාධාරණයට කැමති නැහැ

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 8:9) එම වචන පවසා දැනට වසර 3,000ක් පමණ ගෙවී තිබුණත් අදටත් එය සත්‍යයක්. බොහෝදෙනෙක් තම බලතල අයුතු ලෙස යොදාගන්නවා. ඉන් පීඩා විඳින්නේ අසරණ මිනිසුන්. ඒ ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද? ඊට පිළිතුර එසකියෙල් 22:6, 7 සහ 31 යන පදවලින් සොයාගත හැකියි.—කියවන්න.

යම් අධිකාරියක් ඇති අය ඔවුන් සතු බලතල යොදාගත යුත්තේ අනික් අයට හානියක් නොවන ආකාරයෙන් බව යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට පවසා තිබුණා. ඔවුන්ට දෙවිගේ ආශීර්වාදය ලැබුණේ දෙවි පවසා තිබූ දෙයට ඔවුන් කීකරු වුණොත් පමණයි. (ද්විතීය කතාව 27:19; 28:15, 45) කොහොමවුණත් පසු කාලයකදී යෙරුසලමේ සහ යුදයේ සිටි අධිපතීන් තමන් සතු බලය යොදාගෙන දිලිඳුන්ට බොහෝ හිංසා පීඩා කළා.

බයිබලයේ පවසන්නේ “අනුන්ගේ ලේ වගුරුවන පිණිස ඔවුහු තමන් සතු බලය” යොදාගත් බවයි. (එසකියෙල් 22:6) නීතිය ආරක්ෂා කිරීමට සිටින අධිපතීන් ඔවුන් සතු බලය අනිසි ලෙස යොදාගන්නා විට මිනිසුන්ට සාධාරණය ඉටු වෙයිද?

අධිපතීන් පමණක් නොවෙයි ඔවුන්ට සහාය වූ අයත් යෙහෝවා දෙවි පවසා තිබූ දේවල් ගණනකට ගත්තේ නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔවුහු තම පියාටත් මවටත් අවමන් කර ඇත.” (එසකියෙල් 22:7) පියාට සහ මවට ගෞරව කරන්න කියා දෙවි පැහැදිලිව පවසා තිබුණත් ඔවුන් ඊට කීකරු වුණේ නැහැ.—නික්මයාම 20:12.

ඔවුන් හිතාමතාම අහිංසක මිනිසුන්ට හිංසා පීඩා කළා. විදේශිකයන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කියා දෙවි ඔවුන්ට පවසා තිබුණත් ඔවුන් ඊට සවන් දුන්නේ නැහැ. (නික්මයාම 22:21; 23:9; ලෙවී කතාව 19:33, 34) ඔවුන් ‘විදේශිකයන්ට වංචා කළා.’—එසකියෙල් 22:7.

කිසිම පිළිසරණක් නැති අයට යෙහෝවා දෙවි විශේෂ සැලකිල්ලක් දැක්වුවා. කෙනෙක් ‘පියා නැති දරුවන්ටත් වැන්දඹුවන්ටත් හිරිහැර කළොත්’ දෙවි ඔහුට දඬුවම් කරනවා කියා පවසා තිබුණේ ඒ නිසයි. (නික්මයාම 22:22-24) එය කිසි ගණනකට නොගත් අධිපතීන් ඔවුන්ට දිගින් දිගටම හිරිහැර කළා.—එසකියෙල් 22:7.

ඒ ආකාරයට ඒ දුෂ්ට මිනිසුන් හිතාමතාම දෙවිට අකීකරු වුණා. ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කරන්න තීරණය කළා. (එසකියෙල් 22:31) ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන්ට යෙරුසලම යටත් කරගන්න දෙවි ඉඩහැරියේ ඒ නිසයි.

එම සිද්ධියෙන් අපිට කරුණු දෙකක් පැහැදිලි වෙනවා. එකක් නම් යෙහෝවා දෙවි අසාධාරණය හෙළා දකින බවයි. දෙවන එක නම් අසරණ මිනිසුන් ගැන දෙවි සැලකිලිමත් වෙන බවයි. අදටත් යෙහෝවා දෙවි වෙනස් වී නැහැ. (මලාකි 3:6) ඉතා ළඟදී දුෂ්ටකම් කරන අයව මේ පොළොවෙන් තුරන් කරන බවට ඔහු පොරොන්දු වී තිබෙනවා. (හිතෝපදේශ 2:21, 22) යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට ළං වෙන්න ඔබ කැමති නැද්ද?—ගීතාවලිය 37:28.

අගෝස්තු මාසයට නියමිත බයිබල් කියවීම:

එසකියෙල් 21 සිට 38 දක්වා

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අධිකාරියක් ඇති අය බලතල යොදාගත යුත්තේ අනික් අයට හානියක් නොවන ආකාරයෙන් බව දෙවි පැවසුවා